කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය යන අදහස ඉස්මත්තට පැමිණීමත් සමග ඊට එරෙහිව අවි අමෝරාගත් පොහොට්ටු භික්‍ෂූන්, විසකුරු ජාතික චින්තකයන් හා ව්‍යාජ උගතුන් කියන කතාවලින් මේ දිනවල ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල ප්‍රවාත්ති ප්‍රකාශ පිරී තිබේ. මේ පිරිසගේ අවශ්‍යතාව වන්නේ පාර්ලිමේන්තුව රැස් නොකර, ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ඒකාධිපති ආණ්ඩුවක් දිගටම පවත්වා ගැනීමත්, ලද පළමුවැනි අවස්ථාවේ මහමැතිවරණය පැවැත්වීමත්ය.

මේ උදවිය අතර සමහරුන් නගන තර්කයක් වන්නේ, විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවට ජන බලයක් නැති බවයි. එක පැත්තකින් මෙය ඇත්තකි. ඒ, විසුරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුවේ බලය අහෝසි වන බැවිනි.

එහෙත්, නැවත කැඳවීම අවශ්‍ය නම්, නැවත රැස්වී, සියලූ ව්‍යවස්ථාදායක කටයුතු කිරීමට අවශ්‍ය වන සියලූ නීත්‍යානුකූල බලතල විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවට තිබේ.

එය කළ හැක්කේ, ජනාධිපතිවරයා නිකුත් කොට තිබෙන, ‘පාර්ලිමේන්තුව විසුරුවා හැර, නාමයෝජනා කැඳවීමේ සහ මහ මැතිවරණයක් පැවැත්වීමේ’ ගැසට් පත්‍රය ඔහු විසින්ම අහෝසි කෙරේ නම් පමණකි.

යම් හෙයකින් ඔහු එසේ කරයි නම්, පාර්ලිමේන්තුවට නීත්‍යනුකුල පාර්ලිමේන්තුවක් ලෙස නැවත රැස්විය හැකිය.

එකක්, මේ පාර්ලිමේන්තුව පත්වී තිබුණේ, අවුරුදු පහක කාලයකටය. ඒ කාලය අවසන් වන්නේ ලබන අගෝස්තුවේය. එහි තේරුම, ඒ වන තෙක් පාර්ලිමේන්තුව නීත්‍යනුකූල බලය සහිත එකක් වීය යන්නයි. එය විසුරුවා හරින ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා, ඔහුට ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලය යටතේ, තමාට පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් අවශ්‍යය යන දේශපාලන තර්කය පෙරදැරිවය. එය බලහත්කාරයකි. එහෙත්, නීත්‍යනුකූලය. බලතල බෙදීමේ නියමයට අනුව, හරි නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බලය ලැබිය යුත්තේ, පාර්ලිමේන්තුව තම බලය අවභාවිත කරමින්, නීතියට එරෙහිව හැසිරෙන විටය. එහෙත්, අපේ ව්‍යවස්ථාවේ, එවැනි මාර්ගෝපදේශයක් නැත. එනිසා, අවුරුදු හතරහමාර ඉක්මවූ විට, හේතුවක් නොදක්වාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ජනාධිපතිට ව්‍යවස්ථාවෙන්ම තිබේ.

මේ පාර්ලිමේන්තුවට නීත්‍යනුකූල බලයක් නැති, මහජන අනුමැතියක් නැති බව මවා පෙන්වන්නට හදන පිරිසේ එක තර්කයක් නම්, එයින් දැන් මහජන මතය නියෝජනය නොවන බවයි. මහමැතිවරණයකින් පාර්ලිමේන්තුවක් පත්වන්නේ අවුරුදු පහක කාලයකටය. ඒ අවුරුදු පහට පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ, මහමැතිවරණයේදීය. එසේ ලැබෙන බලය, ජනාධිපතිවරයා විසුරුවා හරින තෙක් හෝ, සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසිර යන තෙක් හෝ, අවුරුදු පහ ඉක්ම යන තෙක් හෝ, කියන තුනෙන් එකක් වෙන තුරු නීත්‍යනුකූලව පවතියි. එහි කිසිම සැකයක් නැත. ඒ අනුව, ඉකුත් මාර්තු 2වැනිදා  ජනාධිපතිවරයා විසුරුවා නොහැරියේ නම් පාර්ලිමේන්තුව අගෝස්තු වන තෙක්ම පවතියි.

මේ පිරිස කියන්නේ, 2015 අගෝස්තුවේ පාර්ලිමේන්තුවේ වැඩි බලය අත්පත් කරගත් පක්‍ෂ සන්ධානයට ප්‍රතිවිරුද්ධ සන්ධානය නියෝජනය කළ ගෝඨාභය රාජපක්‍ෂ, 2019 නොවැම්බරයේදී ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ බැවින්, දැන් පරණ පාර්ලිමේන්තුවට මහජන අනුමැතියක් නැති බවයි. මෙය දැන දැනම ව්‍යවස්ථාවත් නීතියත් කඩා බිඳ දමන තක්කඩි තර්කයකි.

පෙර කී පරිදි පාර්ලිමේන්තුව පත්වන්නේ අවුරුදු පහකට වන විට, ඊට පෙර පවත්වන ජනාධිපතිවරණයකින් පාර්ලිමේන්තුවේ බලය අහිමි වන්නේ කෙසේද? එසේ නම්, පළාත් පාලන මැතිවරණයකින්ද, පළාත් සභා මැතිවරණයකින්ද පාර්ලිමේන්තුවේ බලය අහිමි විය යුතුය. මේ තක්කඩි තර්කය නිවැරදි නම්, අවුරුද්දකට දෙකකට සැරයක් ගානේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහමැතිවරණ පවත්වන්නට සිදුවෙයි. මන්ද යත්, පළාත් සභා, පළාත් පාලන හෝ ජනාධිපතිවරණ යන කුමනාකාරයක හෝ ඡන්ද විමසීමක් අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවේ මැතිවරණ කැලැන්ඩරයේ එලැඹෙන බැවිනි. මේ තර්කයට අනුව, පාර්ලිමේන්තුවේ මහජන අනුමැතිය, ඊට පසු පැවැත්වෙන පළාත් සභා ඡන්දයකින් විරුද්ධ පක්‍ෂය ජයගතහොත් අහෝසි වෙයි. පළාත් සභාවල බලය, ඊට පසු පවත්වන පළාත් පාලන ඡන්දයකින් විරුද්ධ පක්‍ෂය ජයගතහොත් අහෝසි වෙයි. පළාත් පාලන ආයතනවල බලය, ඊට පසු පවත්වන ජනාධිපතිවරණයකින් විරුද්ධ පක්‍ෂය ජයගතහොත් අහෝසි වෙයි.

මේ කුමන විකාරයක්ද යන්න අනෙක් පැත්තට තර්ක කිරීමෙන් වටහා ගත හැකිය. එනම්, පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පක්‍ෂයම, පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අවුරුද්දකට පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණයකදී ජයගතහොත්, එහි තේරුම පාර්ලිමේන්තුවට අවුරුදු හයක් දක්වා බලයේ සිටිය හැකිය යන්නයි. (පාර්ලිමේන්තු ධුරකාලයෙන් ගෙවී ඇති අවුරුද්ද හා පළාත් සභාවලට බලය ලැබී තිබෙන අවුරුදු පහ එකතු කළ විට)  මේ තර්කය පතුරන අය, එවැනි විකාර ප්‍රවාදයක්ද තහවුරු කිරීමට සමහර විට අනාගතයේ තර්ක ගොඩනොනැගුවහොත් පුදුමය. කබරගොයා තලගොයා කිරීම දිවිහිමියෙන් ඔවුන්ට ඇති ‘ජාතික වගකීම’ වන බැවිනි.

මේ උදවියම, 2018 ඔක්තෝබරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවේදීද, මහමැතිවරණයක් පැවැත්වීම සාධාරණීකරණය සඳහා කුතර්කයක් ඉදිරිපත් කළහ. එනම්, ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ‘හරිද වැරදිද’ යන්න තීරණය කිරීම සඳහා මහමැතිවරණයේදී ජනතාවට බාර දිය යුතුය යන්නයි. ‘අවසාන තීරකයා මහජනතාවයි’ යන අර්ධ සත්‍යය, නිරපේක්‍ෂ න්‍යායක් හැටියට ඔවුහු ඒ අවස්ථාවේදී වනන්නට වූහ.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ව්‍යාජ බුද්ධිමතුනට කනේ පහරක් වැනි තීන්දුවක්, ඒකමතිකවම ලැබිණ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ, ව්‍යවස්ථාව අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට ඒ වෙලාවේ ජනාධිපතිට බලයක් නැත යන්නයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී එක්තරා වැදගත් කාරණයක් ඉස්මත්තට ආවේය. එනම්, මහජනතාව නීති හෝ ව්‍යවස්ථාව හෝ තනන නමුත්,  ඕනෑම දෙයක්  ඕනෑම අවස්ථාවක ‘අවසාන වශයෙන් තීරණය කිරීමේ බලයක්’ මහජනතාවට නැතිය යන්නයි. එනම්, මහජනතාව හදන ව්‍යවස්ථාවට, ඒ මහජනතාවම යටත්විය යුතුය යන්නයි. ‘නීතිය (ව්‍යවස්ථාව) මහජනතාව විසින් බිහිකරන නමුත්, බිහිවූ තැන් පටන් නීතිය (ව්‍යවස්ථාව) තමන්ට අනන්‍ය ගමනක් පටන්ගනියි. මහජනතාවද ඒ නීතියට යටත් විය යුතුය.’ යනුවෙන් එය තවත් විදියකට කිව හැකිය.

අවුරුදු පහකට පාර්ලිමේන්තුව පත්කළ විට, ඒ කාලයට පෙර පාර්ලිමේන්තුව ගැන තීරණයක් ගන්නට (ජනාධිපති විසුරුවා නොහැරියොත්, පාර්ලිමේන්තුව තමන්ම විසිර නොගියොත්, අවුරුදු පහ ඉක්ම නොගියොත්) මහජනතාවට නොහැකිය. ඒ නිසා මහජනතාවගෙන් කොපමණ කොටසක් අකමැති-කැමති වුණත්, ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් නියම වන තෙක්ම මහජනතාව බලා සිටිය යුතු වෙයි.

දැන් පාර්ලිමේන්තුව තිබෙන්නේ විසුරුවා හැර ඇති තත්ත්වයකය. අලූත් පාර්ලිමේන්තුවක් පත්කරගන්නට, එළැඹෙන අගෝස්තුව දක්වාවත් නොහැකි වන බව පෙනේ. අප්‍රේල් 20 වැනිදායින් පසු කොරෝනා වසංගතය මැඬලන්නටවත් වියදම් කිරීමට ආණ්ඩුවට මුදල් නැත. අප්‍රේල් 20 වැනිදා වන තුරු අතුරු සම්මත ගිණුමකින් වියදම් කිරීමේ බලය දී ඇත්තේද, කොරෝනා වසංගතයක් ගැන නොසිතාය. (එනිසා සම්මත වී ඇති අතුරු සම්මත ගිණුම වුවද, යළිත් සංශෝධනය විය යුතුය.)  ජනාධිපතිට තනියෙන් රජයේ කිසිම අරමුදලකින් වියදම් කළ නොහැකිය. ඔහුට අතුරු සම්මත ගිණුම් සම්මත කළ නොහැකිය. මුදල් අනුමත කිරීම, රාජ්‍යයේ මූල්‍ය පාලනය යනාදි සියලූ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවටම පමණකි. කොරෝනා මැඬලීමේ මුවාවෙන් වුණත්, ඒ කිසිවක් නොතකා, වැඩ කරන්නට ගියොත්, ජනාධිපති ඒකාධිපති වෙයි.

ඉතින්, අඩු ගණනේ රටේ ව්‍යවස්ථාව නොකඩා, රට ඒකාධිපති පාලනයකට ඇදගෙන නොගොස්, පාර්ලිමේන්තුවේද සහායෙන් කොරෝනා අභියෝගය ජයගැනීමට හැකි එකම ක්‍රමය නම්, විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමයි. ඊට අදාළ සකලවිධ වලංගුභාවයත්, නීත්‍යනුකූල බලයත් දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවට නිසැක වශයෙන්ම ඇත.

ඒ පාර්ලිමේන්තුව නැවත රැස්වී, මහජන මුදල් කාබාසිනියා කරමින්, දිනපතා විවාද පැවැත්වීම අවශ්‍ය නැත. කොරෝනා මැඬලීමට අවශ්‍ය මුදල් සම්මත කර දීමත්, එම මුදල් නිසි ලෙස වියදම් වන්නේද යන්න අධීක්‍ෂණය කිරීමත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පාලනය පවත්වාගෙන යෑමත්, විධායකය සිය බලය අනිසි ලෙස යෙදවීම පාලනය කිරීමත් මේ අසීරු කාලයේ පාර්ලිමේන්තුවට කළ හැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂවලින්, මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ කමිටු  ඕනෑ නම් පවත්වාගෙන යා හැකිය. පාර්ලිමේන්තුව පවතින කාලය තුළ තමන්ගේ වැටුප් සහ දීමනා ලබා නොගෙන වැඩකිරීමෙන් ආදර්ශවත් වීමටද මන්ත්‍රීවරුන්ට හැකිය. වසංගතයකදී වුවද, ඒකාධිපතිත්වය හිස නොඔසවා, නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සජීවීව පවත්වාගත හැක්කේ එවිටය.