මානව හිමිකම් කොමිසම ඉල්ලයි

රජයේ රූපවාහිනී නාළිකාවලින් ප‍්‍රවෘත්ති විකාශය කිරීමේදී සංඥා භාෂාව පාවිච්චි කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැවගෙන් ඉල්ලා ඇත.

අපේ‍්‍රල් 08 වැනිදා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගමගේ අත්සනින් යුතුව යවන ලද ලිපියක් මගින් එම ඉල්ලීම කර ඇත. එම ලිපියෙහි මෙසේ සඳහන්ය.

‘ශ‍්‍රී ලංකාව තුළ කොවිඞ්-19 වෛරස් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රජය විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අතරතුර මේ පිළිබඳ විශේෂ ප‍්‍රවෘත්ති, රජයේ නිවේදන සහ ප‍්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබේ. මෙම ප‍්‍රවෘත්ති සහ රජයේ නිවේදන සංඥා භාෂාව මගින් විකාශය නොවීම නිසා, ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන බිහිරි ජන ප‍්‍රජාව වෙත උක්ත ප‍්‍රවෘත්ති පිළිබඳ දැනගැනීමට ගැටලූවක් පවතින බව අදාළ ප‍්‍රජාව විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත.

ඉහත තත්වය සලකා විශේෂ ප‍්‍රවෘත්ති, රජයේ නිවේදන සහ ප‍්‍රවෘත්ති රූපවාහිනී නාළිකා ඔස්සේ ප‍්‍රචාරය කිරීමේදී උක්ත ප‍්‍රවෘත්ති සංඥා භාෂාව මගින්ද සමාන්තරව විකාශනය කරන මෙන් සියලූම රූපවාහිනී නාලිකා වෙත දැනුම්දෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

මේ පිළිබඳව ඔබ දෙපාර්තමේන්තුව කඩිනම් මැදිහත්වීමක් සිදුකොට ඒ පිළිබඳව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.’

අනුරංග ජයසිංහ