ඡන්දෙ ඉවර වෙලා සතියක් යන්න කලින් අවට පරිසරයේ මොකක්දෝ ලොකු වෙනසක් වෙලා. වෙනදා උදේට වැඩට එනකොට, පාර දෙපැත්තේ අහුමුළුවල, පාලම බෝක්කු ළඟ, සිලිබෑග් පුරවලා තොග පිටින් කුණු අතහැරලා ගිහින් තියනවා දකින්න පුළුවන්. පහු ගිය ටික දවසක ඉඳන් ටිකක් ඒ වැඬේ අඩු වෙලා වගේ දැනෙනවා. අමුතුවෙන් කුණු දාන්න තැන් හැදිලා නෙවෙයි. පාලම් බෝක්කු ළඟට ආමි එකෙන් දාලත් නැහැ. ඒත් හැඩි කරන වැඬේ පාලනය වෙලා. පොලීසිවලට අනුයුක්තව පරිසර පොලිස් අනුඛණ්ඩයක් තිබුණු බව අහලා තිබුණා. සාමාන්‍ය පොලිස් යුනිෆෝම් එකට උඩින් ‘පරිසර පෝලිස්’ කියලා ගහලා තියෙන ජැකට් එකක් ඇඳ ගත්ත පොලිස් කට්ටිය පාරේ ඇවිදිනවා දැකලා තිබුණා. ඔවුන් සමහර වෙලාවට ඇවිද ගියේ උතුරන කුණු බක්කි උඩින් පැනගන. ඒත් පරිසරය කුණු ජරා වෙන එක ගැන කාටවත් හැඟීමක් තිබුණු බවක් පෙනුණේ නැහැ. ඡුන්දෙන් පස්සේ අවට පරිසර විෂුවල් එකේ මොකක්දෝ වෙනසක් නම් ඇතිවෙලා.


මේ නගර, මංමාවත්, පාලම්, බෝක්කු අයිති පරණ නගර සභාවලටමයි. ඒවායේ වැඩ කරන්නේ පරණ අයමයි. පරිසර නීතිය රකින්නේ, ඒ ගැන හොයලා බලන්නේ පරණ පරිසර පොලිසිමයි. ඒ ඔක්කොටම වඩා පාරේ යන්නේ පරණ මිනිස්සුමයි. පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තුවමයි. වෙනස් වුණේ ජනාධිපති විතරයි. ඒ වුණාට මාර වෙනසක්.! කාටදෝ බය වෙලා වගේ.


එක්තරා වයසක් යනතුරු, පොඩි ළමයින් සමහර දේවල් කරන්නේත්, නොකරන්නේත් බයට. පොඩි කාලේ බයට කරපු-නොකරපු දේවල් ලොකු වුණාම හොඳ-නරක දේවල් ලෙස අවබෝධ කරගන ඒ පුරුද්ද දිගටම කරගන යනවා. පොඩි කාලේ හොඳ නරක උගන්වන්න වැඩිහිටි අය, ප‍්‍රායෝගික පාඩමට පොඩි බයකුත් එකතු කරනවා. එතකොට තමයි සමහර පාඩම් ජීරණය වෙන්නේ. බය නිසා විතරක් හොඳට හැසිරෙන්න පුරුදු වෙලා ඉන්න පන්තියකට පරිසර පාඩම කියලා දෙන්න සැර සර් කෙනක් ඇවිත්.


මීට අවුරුදු තුනකට උඩදී, මට භූතානයට යන්නට අවස්ථාවක් ලැබුණා.
භූතානය කියන්නේ ලෝකයේ කුඩාම රටවලින් එකක්. එහෙත් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඒ රටේ මිනිස්සුන්ගේ කැපවීම ලෝකේ අනිත් කිසිම රටකට වඩා ඉහලයි කියලයි ඒ ගමනේදී මට වැටහුණේ. ගුවන් තොටුපලින් බැහැලා එළියට එනකොටම හිතෙනවා මේ පය ගහලා තියෙන්නේ වෙනම පාරාදීසයකට කියලා. ඉහලට අදින හුස්ම පොදින් පවා ඒක දැනෙනවා. පාරේ තැන තැන කුණු පොදක් තබා සිගරට් කොටයක් වත් දකින්න නැහැ. ඕනෑම ඇළ දොලකට බැහැලා, බය නැතුව බොන්න පුළුවන් තරමට වතුර පිරිසිදුයි.


භූතානය කියන්නේ ලෝකයේ ‘දළ ජාතික සතුට‘ දර්ශකයෙන් ඉහළම තැනක වැජඹෙන රටක්. මේ දර්ශකය තැනෙන කුලූනු හතරින් එකක් තමයි පරිසර සංරක්ෂණය. භූතානු රජයේ ව්‍යවස්ථාවෙන් ම නියම කරලා තියෙනවා රටේ සියයට 60ක වන ගහනයක් පවත්වාගත යුතුයි කියලා. ඒක ජාතික ප‍්‍රතිපත්තිය. මා එහි ගිය 2016 වසර වන විට භූතානයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 80.89% වනාන්තර ආවරණය යටතේ පැවතුණා. 2016, භුතාන ජාතික පරිසර කොමිසමේ පරිසර වාර්තාවට අනුව, මුළු බිම් ප‍්‍රමාණයෙන් 51.40% (වර්ග කි.මී. 16,396.4* ජාතික වනෝද්‍යාන හා අභයභූමි 10කින් සමන්විත ආරක්ෂිත ප‍්‍රදේශවලට අයත් වුණා.


වේගයෙන් දියුණු වෙමින් තියන බවක් පෙනෙන භූතානය කොහොමද මේක ප‍්‍රායෝගිකව පවත්වාගන යන්නේ කියලා මම රාත‍්‍රී කෑම භෝජනයක දී හමු වුණු එවකට අගමැති ඔියැරසබට ඔදඉට්හගෙන් ඇහුවා. ඔහු කිවුවේ, ”ඒක අභියෝගයක් නෙවෙයි. මිනිස්සු ගස් වවනවා. රටේ කැලේ එන්න එන්න වැඩි වෙනවා” කියලයි.
රටෙන් 51%කට වඩා රක්ෂිත වනාන්තර ප‍්‍රතිශතයක් කිසිම ආසියානු රටක නැහැ. භූතානයේ රක්ෂිත වන ගහනයෙන් බොහොමයක් නිදහස් ගංගා සමඟ බැඳී ඇති නොවෙනස් වනාන්තර. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රාජකීය බෙංගාල ව්‍යාඝ‍්‍රයන්, මිනිස් ඇස ගැටුණු විගස පැන යන්නට බලන හිම දිවියන්, අලංකාර කළු කොක්කුන්, අලි ඇතුන් ඇතුළු ස්වදේශික වන ජීවීන් හැමෝම ආරක්ෂිත වන ජාලය ඇතුලේ බයක් සැකක් නැතුව නිදහසේ සැරිසරනවා. ඉහළ ඉඳන් බලා ඉන්න අදෘශ්‍යමාන බලයකට බයෙන් ද නම් දන්නේ නැහැ, සංරක්ෂණය සඳහා වූ මෙම කැපවීම පිළිබඳ සාක්ෂි භූතානයේ හැම මිනිහෙකු තුළම දකින්න පුළුවන්.


භූතානයේ මේ පරිසර ප‍්‍රතිපත්තිය සහ පැවැත්ම නිසා භූතානයටත් වඩා ප‍්‍රයෝජන තියෙන්නේ ලෝකයටයි.


භූතානය පිහිටා තිබෙන්නේ නැගෙනහිර හිමාලයේ හදවතෙහි. එය ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ජලය සපයන කලාපයක්. භූතානයේ යහපත් පරිසර ප‍්‍රතිපත්තිය නිසා භූතාන් දේශ සීමාවෙන් පිටතට ගලන්නේ ¥ෂණය නොවුණු පිරිසිදු ජලය. වෙන රටවල් වායුගෝලය කාබන් ඩයොක්සයිඞ් වායුවෙන් ¥ෂණය කරද්දී භූතානය ඒ විෂ වායුව අවශෝෂණය කරගන්නවා. ලෝකයේ දේශගුණික විපර්යාසය වළක්වාගන්නට උපකාරී වන රටක්. පහුගිය මාසයේ කොළඹ නගරය ඉන්දියානු විෂ දුමින් ¥ෂණය වුණා. දේශසීමා තුට්ටුවකට නොතකා එන මේ විෂ දුම් ආක‍්‍රමණය පාලනය කරන්න නීතියක් නැහැ. ඒවා දරාගන්න තරම් වන ගහනයක් කොළඹ අවට ඇත්තෙත් නැහැ. අපි වගේ පුංචි රටවලට අනුන්ගේ පවු හෝදන්න වෙලා. නොමිලේම.


භූතානය තමන්ගේ ආර්ථික සහ සමාජ සංවර්ධන සැලසුම් සකසන්නේ සහ ක‍්‍රියාත්මක කරන්නේ තමන් සතු වටිනාම සම්පත ලෙස සැලකෙන මේ වන සහ ජෛව විවිධත්ව පරිසරය සංරක්ෂණය කිරීම කේන්ද්‍ර කරගන. ඒ උපාය මාර්ගයේ ප‍්‍රධානම කර්මාන්තය තමයි සංචාරක කර්මාන්තය. භූතානය සංචාරක කර්මාන්තයේ ආදායම වැඩි කරගන්නේ රට තුළට එන ඔළු ගෙඩි ගණන වැඩි කරගන නෙවෙයි. ‘සංචාරක අත්දැකීමේ ගුණාත්මක බව’ ඉහළ දැමීමෙන්. වසරක් තුළ රටට සංචාරකයන් ගෙන්වා ගන්නේ දරාගන්න පුළුවන් ප‍්‍රමාණයට විතරයි. ඒ වසරේ අපේක්ෂිත ආදායම පැමිණෙන සංචාරකයන්ගෙන් එකතු කරගන්න ඔවුන් සැලසුම් කරනවා. ඉල්ලූම් කරන හැම කෙනෙකුටම වීසා ලැබෙන්නේ නැහැ. කිසියම් අවම මට්ටමකට ඉහළ වියදමක් ඔවුන් රට තුළ කරන බවට සහතික වුණොත් විතරයි සංචාරක වීසා ලැබෙන්නේ. සංචාරකයන් එන්නේ පරිසරය විඳින්න නම්, එයින් රටටත් තමන්ටත් තමන්ටත් ආදායමක් ලැබෙනවා නම් ඒ පරිසරය රැුක ගන්න සාමූහිකව ඒ රටේ මිනිස්සු කැප වෙන එක පුදුමයක් නෙවෙයි.


ලංකාවටත් සංචාරකයන් එන්නේ මූලිකවම පරිසරය විඳින්න. වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක නටබුන් නැරඹීමත් ඒ අතරම තියෙනවා. ස්වාභාවික වන ගහනය, වෙරළ, මුහුද, රැකගැනීම ලංකාවේ ආර්ථික සංවර්ධන සැලසුමේ ප‍්‍රධාන අවධානයක් හිමි විය යුතු කලාපයක්. රක්ෂිත වනාන්තර විතරක් නෙවෙයි, පුද්ගලික ඉඩම් වුණත් හිතුමනාපෙට ඩෝසර් කරලා ගෙවල් හදන්න නිදහස දෙන එකට පාලනයක්, සැලසුමක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් නගර තනිකරම කොන්ක‍්‍රීට් වනාන්තර වන්නට වැඩි කාලයක් යන එකක් නැහැ. ලංකාවේ සමස්ත ජනගහනයට ආහාර සපයන්න දේශීය කෘෂිකර්මාන්තයෙන් පුළුවන් කියලා හිතන එකත් මිථ්‍යාවක්. එහෙම කරන්න නම්, වැඩි ඵලදාවක් ගෙන දෙන රසායනික පොහොර යොදන්නම වෙනවා. කෘමි, වල්නාශක ගහන්න ම වෙනවා. එහෙම වස ගහලා වවාගන කාල ජීවත් වෙන්න හිතුවට ඒ ජීවිතේට වැඩි ආයුෂ නැහැ. ලංකාවේ ගොවිතැන කාබනික ගොවිතැනට සීමා කරලා, මදි පාඩුව ආනයනය කරන එක තමයි හොඳම විසඳුම.

ගොවිතැනේ ආවස්ථික පිරිවැය ඉහළයි. ඊට වඩා වැඩි ආදායමක් ලැබෙන පරිසර හිතකාමී කර්මාන්තවලට අප යොමු වෙන්න ඕනේ. කසළ කළමනාකරණය, ප‍්‍රතිචක‍්‍රීයකරණය ආශ‍්‍රිත කර්මාන්ත අද්‍යතන ලෝකයේ හොඳ ආදායම් ලැබෙන කර්මාන්ත.
පරිසරය ¥ෂණය වෙන්නේ කැලි කසළවලින් විතරක් නෙවෙයි.

ලංකාවේ පරිසර ¥ෂණයේ ප‍්‍රධාන සංරචකයක්, ශ‍්‍රව්‍ය-දෘශ්‍ය ¥ෂණය. නිස්කලංක පරිසරයක් ඈත ගමකවත් අද නැහැ. පන්සලේ හාමුදුරුවෝ ගමට තමන් ඉන්නවා කියලා දැනෙන්න දවස පුරාම දාලා තියෙන ලවුඞ්ස්පීකරය, බණ පිරිත් එපා කරවනවා. තව දුරටත් ඒවා හිත නිවන ඒවා නෙවෙයි. නිශ්ශබ්ද මොහොතක් ඈත ගමකවත් විඳින්න ලැබෙන්නේ නැහැ. අඩුම තරමින් ලොතරැුයිකාරයෙක්, චූන්පාන්කාරයෙක් හරි ඒ නිහැඬියාව බිඳිනවා. ශබ්දයක් නො අසා ඉන්න බැරි තරමට අපේ කන් ඒවාට හුරු වෙලා. කිසි කලාත්මක අදහසකින් තොරව හිතුමතේට ඉදිකරන ගොඩනැගිලි, අටවන බිල් බෝර්ඞ් සහ පිළිමවලිනුත් පොදු අවකාශය විපරීත කරනවා.
පන්ති බාර සැර සර් මේ ගැනත් අවවධානය යොමු කරලා පරිසර පාඩම කියලා දුන්නොත් තමයි සිලබස් එක කවර් වෙන්නේ.


අශෝක හඳගම