පිටකොටුවෙ දෙවෙනි හරස් විදියට ගිහිං කොහේටද යන්නේ කියලා කල්පනා කළා. යන්න තැනක් නැහැ වගේ. දැක්කහම බඩ පිරෙන දත් හිරිවැටෙන අච්චාරු කරත්තයක් ළඟ නැවතුනා. නත්තල ළඟ නිසාද කොහේද මිනිස්සු එක පොදියට එහෙට මෙහෙට වෙනවා. කඩ අඟුවල, ජංගම වෙළෙන්ඳෝ ළඟ නතරවෙන මිනිස්සු කේවල් කරලා කරලා කොහොමහරි ලාභ බඩු අයිති කරගන්නවා. ඊළඟ නත්තල වෙනකම්වත් තියෙයිදනම් සැකයි! හොඳටම බඩගිනි හින්දා බීෆ් රහා රොටියක් කන්න මුස්ලිම් නානාගේ කඩේට ගොඩ වුණා. කඩේ ඉස්සරහා පාට පාට කෑම ජාතිවලින් ලස්සන වෙලා. බූන්දී විතරයි නම දන්නේ. දොදොල් වර්ග, මස්කට් වර්ග වීදුරු කූඩුවල ඉඳලා ගෙදර අරගෙන යන්න කියලා කියනවා. බීෆ් රොටියක රහා බලනකොට ළඟ හිටපු එකා ආමන්ඩ් එක්ක රටඉඳි මික්ස් කරපු මිල්ක්සේ එකක් බොනවා. ආමන්ඩ් එක්ක රටඉඳි ගහලා දානවා කියලා හිතුවා. දෙකම උනුසුම් බොස්. දෙකම සෙක්ස්වලට හොඳයි. මගේ මුස්ලිම් මිත්‍රයා කියනවා. ආයිත් ඉතිං තව මොනවද? අපි බිව්වා ආමන්ඩ් විත් ඩේට්ස් රහා මිල්ක්සේ.. එතකොට තමයි හොයාගෙන යන්න හිතුණේ රටඉඳි.. මගේ මිත්‍රයාත් එකපයින් කැමති වුණා. අපි එක හුස්මට ආමන්ඩ් එක බීලා ඒ රහා දිව අස්සේ හංඟගෙන රටඉඳි කතාවක් හෙව්වා. රතු පල්ලිය ඉස්සරහා කපපු ගස්ලබු ගිලින මුසල්මානුවෝ සිනාසෙනවා.

රෙඩ් ලේඩී ඔහොම ගිල්ලාම හොඳට බඩ සුද්දවෙනවා මම කියනවා.. දෙවෙනි හරස් පාරේ ජනීජන ඝෝෂාව පහවෙලා එහෙන් මෙහෙන් වාහන අස්සෙන් පැනලා අපි පරණ මූවර් වීදිය සොයා ගත්තා. ඕල් මූවර් ස්ට්‍රීට්. අම්මෝ නහය වීදියට කිට්ටුවෙන්න ඕන්න මෙන්න කතාවක් කියනවා. පරණ මූවර් වීදිය තමයි කොළඹ කොටුවේ වීදි අතරේ මට සුවඳම වීදිය! කුළුබඩුවල රැජිණිය එනසාල් සුවඳ එක්ක කරාබුනැටි, සාදික්කා වසාවාසි, ඉඟුරු, ගම්මිරිස්, රතුමිරිස් සුවඳ තමයි කාබන්මොනොක් සයිඩ් එක්ක මාත්තුවෙලා නහය ඇතුලට ගලන්නේ. සුවඳට ආස වුණාට එහෙම උරලා ආයාසයෙන් ගන්න පුලුවන් වායුවක්‍ යෑ කොළඹ තියෙන්නේ. ඉතිං අපි පරණ මූවර් වීදියේ ඇතුලට ඇවිද්දා…

කෝපි සුවඳ අපිව නතර කළා


ඊබ්බ්‍රහීම් නානගේ වීදිය මේ.. සහරාන්ගේ කතාවත් එක්ක ලියවුණ වීදිය. සහරාන්ගේ සිද්ධියත් එක්ක මේ වීදියේ ඉන්න අපේ මුසල්මානු මිත්‍රයින් තවමත් ඉන්නේ බයෙන්. සැකයෙන්. ඊබ්බ්‍රහීම්ගේ කුළුබඩු කඩය වහලා දාලා. ‘මිනිහාට තිබුණේ අපි හැවෝම යටකරගෙන යන බිස්නස් එකක්. මිනිහගේ බිස්නස් එක හින්දා ගොඩාක් පොඩි කඩ වැහුණා’ මගේ මිත්‍රයා කියනවා. ඊබ්බ්‍රහීම් ගේ කතාවත් එක්ක නිරන්තර ප්‍රශ්න කිරීම්වලට ලක්වුණ අය මේ වීදියේ එමටයි. ඊබ්බ්‍රහීම් පරණ මූවර් වීදියේ කුළුබඩු බිස්නස් එක ඇල්ලුවා. පුතාලා ඒ ලැබුණ සල්ලිවලින් අන්තවාදය වැළඳගෙන මරාගෙන මැරුණා. ඉතිං සහරාන්ගේ කතාව නිසා මේ කතාව කැලේ යවන්නේ මක්කටෙයි කියලා අපි කෝපි කඩේකට ගොඩවුණා. ලංකාවේ හැදෙන හොඳම කෝපි තියෙන්නේ මෙතන කිව්වොත් ඔබ ඒක පිළිගනියිද මන්දා!! ඒත් ඇත්ත ඒකයි.

ද බීන්ස්’ ඒකයි නම. කඩේ මුහුන කෝපි එක්කම සිනාසෙනවා. Premium Ginger coffee, House Blend, Traditinal Sukku coffee, Ceylon Espresso, Traditinal Sri Lankan coffee, ඔයවගේ නාමකරණ කෝපි බෝතල් තමයි මුලින්ම මේ කඩේට යන්නෙකුගේ ඇහැට පනින්නේ. ආ කියන්න අමතක වුණා. මුල්ම හැඟීම අරගෙන එන්නේ සුවඳ.. ඒක වචනවලින් විස්තර කරන්නේ කොහොමද?..

1503 විතර වෙනකොට මූවර්වරුන් නැතිනම් අරාබි ජාතිකයෝ අපිට කෝපි ශාකය හඳුන්වා දෙනවා. හැබැයි මේක වානිජ වගාවක් විදිහට මුලින්ම කරන්න පටන්ගන්නේ ඕලන්ද ජාතිකයෝ. ඒ 1658දි විතර. ඒත් මේ වගාව සාර්ථක වෙන්නේ 1825න් පස්සේ ඉංග්‍රීසි මිනිස්සු මේක වගාකරන්න පටන්ගත්තට පස්සේ. 1825න් පස්සේ සිලෝන් සිනමන් කියන නම වගේම සිලෝන් කෝපි කියන නමත් ලෝකය පුරා ජනප්‍රිය වෙනවා. 1870 දිලීර රෝගයක් ඇවිත් කෝපි වගාව විනාශ වෙනකොට අපි ලෝකයට පවුම් මිලියන 100ක කෝපි අවුරුද්දකට දෙනවා. ලෝකයේ ලොකුම කෝපි අපනයනය කරන රට විදිහට. කෝපි ඉතිහාසය සිලෝන් කියන නාමය එක්ක ලියවෙන්නේ එහෙම.
දැන් ලෝකය ගත්තොත් දවසකට කෝපි කෝප්ප බිලියන දෙකක් මිනිස්සු බොනවා. ලෝකයේ වැඩියෙන්ම කෝපි පානය කරන්නේ ෆින්ලන්ත ජාතිකයින්. සාමාන්‍යයෙන් ෆින්ලන්යෙ වෙසෙන වැඩිහිටි අයකු දිනකට කෝපි කෝප්ප 4 ක් 5 ක් පානය කරනවා කියලා තමයි කියන්නේ. අද ලෝකයේ විශාලම කෝපි නිශ්පාදකයා බ්‍රසීලය. ලෝක සැපයුමෙන් 40%කට ඔවුන් වගකියනවා. 1870 වෙනකොට අංක එකට හිටිය අපි අද 48 වෙනියට තමයි ඉන්නේ. කෝපි රස විග්‍රහ කළොත් කෝපිවල තියෙන කැෆේන් නිසා තමයි අපි කෝපිවලට ඇලෙන්නේ. ඇලුනට පාඩු නෑ කෝපි ගොඩක් බිව්වහම අපේ ජීවිතය තවත් දික්වෙනවා. ඒ වගේම කෝෆි කියන්නේ උත්තේජකයක්. කොහොම වුණත් දවසකට කෝපි කෝප්ප 100ක් විතර බිව්වොත් නම් මරණය තමයි.

ඉතිං අපි ආයි ‘ ද බීන්’ කෝපි කඩේට එමු. අපිට ඕනී කෝපි එක මොකද්ද කියලා කිව්වහම එවෙලෙම බෙලෙන්ඩ් කරලා හදලා දෙනවා. ගණන්නම් ටිකක් සැරයි. Ceylon Espresso කියන කෝපි වර්ගය බොමු මගේ මූවර් මිත්‍රයා කියනවා. ‘සීනි ඕනීද?’ නැහැ එපා.. මොහොතකින් සුදුපාට පෝසලේන් පුංචි අඩු කෝප්පෙක කෝපි මිලිලීටර් 50ක් විතර එනවා. අරක්කුනම් එක සොට්ටෙකක් වගේ. අම්මෝ සුවඳ.. මුලින්ම ඒ කැෆේන් සුවඳ අපිව වෙන ලෝකෙකට අරගෙන යනවා. හරිම ඝණ දියරයක් සුදුපාට කෝප්පේ ඇලිලා අමාරුවෙන් තමයි දෙතොලතරට එන්නේ. ‘උබලා ඔච්චර ඝණට බොන්නේ නෑ නේ.. අපිනම් ගෙදරත් බොන්නේ ඔහොම’ මගේ මිත්‍රයා කියනවා. අපි කෝපි රස අස්සේ ඇසිල්ලක් නතර වෙනවා. මේතරම් රස කෝපී! ලංකාවේ! පියෝ සිලෝන් ටී රසය නම් දිවට කීප සැරයක්ම අරගෙන තියෙනවා. ඒත් පියෝ සිලෝන් කෝපි රසය.. ඒක අමතක නොවන රසය.. මේ කෝපි එකෙන් ග්‍රෑම් 100ක් කීයද? ග්‍රෑම් 100ක් දෙන්නේ නෑ බොස්. ග්‍රෑම් 200ක් ගන්න පුලුවන්.  රුපියල් 1000ක් වෙනවා. කෝපි කඩේ සනා කියනවා. මිනිහා කැමති නෑ පොටෝවලට එන්න. ඒක කරදරයක් වෙන්න පුලුවන් කියලා සැකයක් මිනිහට තියෙනවා. කොහොම වුණත් මිනිහගේ පරණ මූවර් වීදියේ මේ කෝපි කඩේ කෝපි රසවතුන්ට ආගන්තුක තැනක් නෙවෙයි. දැනට ලංකාවේ ඇරබිකා වර්ගයේ අනගිම කෝපි එන්නේ මාතලෙන්. කොහොමත් කුළු බඩුවලට මාතලේ බඩුම තමයි!! නුවර නුවරඑළිය පැතිවලිනුත් කෝපි එනවා කියලා කියනවා. කෝපි බොන්න පුරුදුවුණ එකා කෝපිම තමයි බොන්නේ. එහෙම අයට මෙතන කෝපි කඩේට ආවොත් අමතක නොවන කෝපි රසයක් දිවේ අලවගන්න බැරි නෑ. ඊට පස්සේ ගෙදරත් අරං යන්න පුලුවන්.. කොහොම වුණත් අපි ආයිත් කෝපි ගැන හිතන්න ඕනී කියලයි මටනම් හිතෙන්නේ..

රටඉඳි කඩේ..


රටඉඳි හොයාගෙන ආපු ගමන චුට්ටක් කෝපි කඩේ නිසා නතර වුණා. කොහොම හරි නියම තැනට අපි ආවා අන්තිමට. පරණ මූවර් වීදියේ රටඉඳි අපනයනය කරන ආයතන 6ක් විතර තියෙනවා. ඒ අස්සේ ජනප්‍රියම එකක් තමයි බෙස්ට් ෆුඩ් මාකටින් කියන්නේ. අපි රටඉඳි කඩේ අස්සට ගියා. සෝකෙස්වල හැමතැනම රටඉඳි. එක එක වර්ගවලින්. එක එක පාටින්. එක එක සුවඳින්. රසත් වෙන වෙනස් වෙන්න ඇති කියලා හිතෙනවා. බලමු ඇතුලට ගිහිංම. මාකටින් මැනේජර් රීසා මහරූප් අපි එක්ක කතාවට සෙට් වුණා. මාර වැඩේ කියන්නේ මිනිහත් පොටෝවලට ඔහොක් කරගන්න කැමති නෑ. ලස්සනට හිනාවෙලා ගම්මු පොටෝ එකක්.. මම කියනවා. ‘බෑ බෑ අම්මෝ. අපි එක එක ප්‍රොමෝෂන් කරනවා ඒවගේ වැඩවලදිත් අපි පොටෝ ගන්නේ නෑ’

රීසා කියන විදිහට ලංකාවෙ වැඩිපුරම රටඉඳි කන්නේ මුස්ලිම් මිනිස්සු නෙවෙයි. සිංහලයෝ සහ දෙමළ මිනිස්සු. ‘ පහුගිය අවුරුදු තුන ගන්න එක අවුරුද්දකවත් රටඉඳි ආනයනය කරන ප්‍රමානය වැඩිවුණා මිසක් අඩු වුණේ නෑ. ලංකාවේ මිනිස්සු දැන් ගොඩාක් හෙල්ත් එක ගැන හිතනවා. දවසට රටඉඳි ගෙඩි දෙකක් තුනක් කනවා කියන්නේ ඒක ඇගට මාර ගුණයි. ඉතිං මිනිස්සු අතර එන්න එන්නම රටඉඳි ජනප්‍රිය වෙනවා. අපි සවුදි අරාබියෙන් අබුඩාබියෙන් තමයි රටඉඳි ගෙන්නන්නේ. අපි රටඉඳි වර්ග 38ක් ලංකාවට ආනයනය කරනවා’

රටඉඳි ඉතිහාසය


කි.ව 8වෙනි සියවස තරම් දිගයි මූවර්වරුන් සහ අපි අතර වෙළඳාමට. ඉතිං ලංකාවට රටඉඳි ආපු ඉතිහාසයත් මේතරමටම දිගයි කියලා හිතන්න පුලුවන්. අපි රටඉඳි කිව්වහම දන්නේ මුස්ලිම්වරු උපවාස කාලය ඉවර කරන්නේ රටඉඳි ගෙඩියක් දෙකක් කාලා වතුර බීලා කියලා. අනික තමයි ලිංගික ශක්තිය වර්ධනය කරගන්න මුස්ලිම්ස්ලා රටඉඳි කනවා කියන එක. මැදපෙරදිග කාන්තාර දේශගුණය අස්සේ හැදෙන ප්‍රධාන පළතුර තමයි මේ ඉඳි ගෙඩිය. එතකොට මේ ගහා මුස්ලිම් සංඛේතයක්. කොහොම වුණත් ශක්තිය අධික ප්‍රමාණයක් රඳවගෙන ඉන්න ශක්ති ජනක බෝම්බයක් වගේ තමයි රටඉඳි ගෙඩිය. රටඉඳි ගෙඩි 100ක කැලරි 300ක් තියෙනවා. ඊට අමතරව කැල්සියම් මැග්නීසියම් යකඩ වගේ මිනරල්ස් ගොඩාක් මේ පුංචි ගෙඩිය අස්සේ ගබඩා වෙලා තියෙනවා. එතකොට ලෝකය පුරා රටඉඳි ජනප්‍රිය වෙන්න ඒක එක හේතුවක්.

අජුවා


‘ අජුවා කියන රටඉඳි වර්ගය තමයි ලෝකයේ ජනප්‍රියම රටඉඳි වර්ගය. මේක සවුදියේ මෙදීනාවල විතරයි හැදෙන්නේ.’ මොහොමඩ් නබීතුමාත් කෑවේ ඔය රටඉඳි වර්ගය නේද? මගේ මිත්‍රයා අහනවා. ‘ඔව්.. මේක සාමාන්‍යයෙන් ලොකු රටඉඳි වර්ගයක්. මේකෙන් එක එක වර්ග තියෙනවා. රුපියල් 17000ට විතර කිලෝ එකක් මිලවෙන රටඉඳිත් තියෙනවා. මෙජුල් කියන්නේ ඒවගේ රටඉඳි වර්ගයක්. මේක තමයි ලොකුම රටඉඳි වර්ගය. ඔයා එකපාරක් මෙජුල් කෑවොත් වෙන කිසිම රටඉඳි වර්ගයක් ඔයා ආයිත් කන්නේ නෑ. කොහොම වුණත් මේ හැම රටඉඳි වර්ගයක්ම රසය ගුණය එක්ක වෙනස්’ දැන් ඉතිං රටඉඳි රස බලන්නම වෙනවා.. අපේ මිත්‍රයා දිගටම රටඉඳි කතාවක!
‘ලංකාවේ මිනිස්සු අතරේ ගොඩාක් ජනප්‍රිය කලාස්, බර්හි කියන රටඉඳි වර්ග දෙක. මේ දෙකම ටිකක් මිල අඩුයි. කිලෝ එකක් රුපියල් 1000ට අඩුයි. සුකාරි කියන වර්ගය හරිම ක්‍රංචි. ඒක වරකා මඳුළු වගේ. ඒක කහට බොන්න හොඳයි. කඩලා කෑලී කෑලි කනකොට තමයි ගොඩාක් රස. තව කෙනසි කියලා රටඉඳි වර්ගයක් තියෙනවා ඒක පොඩි වෙරළු ගෙඩියක් වගේ. පැණි රහා එක්ක මිශ්‍රවුණ ඇඹුල් රසක් තමයි කෙනසි එකේ තියෙන්නේ. තව මබෲස් කියලා වර්ගයක් තියෙනවා. ඒක තද රතුපාටයි. චුයින්ගම් එකක් වගේ හප හපා ඉන්න පුලුවන්’. අපේ මිත්‍රයා එක එක රටඉඳි වර්ගවල රස විස්තර කරනවා.

රහා බලන්න අපි ඉතිං හදිස්සි වෙනවා. අපේ කඩවල්වල තියෙන්නේ එකට ඇලිච්ච රටඉඳි. හැබැයි මෙතන එහෙම එකම රටඉඳි වර්ගයක්වත් නෑ. අපේ මිතුරා කියන විදිහට මිනිස්සු රටඉඳි අමුවෙනුත් කනවා. ඉඳීමයි පැහීමයි අතරදිත් කනවා. ‘ඔව් ඇල්ජීරියන් රටඉඳි එකක් තියෙනවා. ඒක බාගෙට ඉඳිනු රටඉඳි එකක්. කිනිත්තත් එක්ක තමයි තියෙන්නේ. හරිම රසයි. ඒ රසය වෙනස්.’ රටඉඳි කල්තියාගන්න සීනි පැණි මිශ්‍ර කරනවා කියන කතාව ඇත්තද? එහෙම නැත්තං මොනාහරි රසායනිකයක් එකතුකරනවද?..’ නැහැ.. ඒක අපි අතර තියෙන මතයක්. මම අහලා තියෙනවා රටඉඳි ගෙඩියේ තියෙන පැණි ටික මිරිකලා අරං සීනී දාලා තමයි මේ තියෙන්නේ කියලා මිනිස්සු කියනවා. ඒක වැරදි මතයක්. පැණි ගත්තට පස්සේ රටඉඳි ගෙඩියක් නෑ. රොඩ්ඩක් විතරයි ඉතුරු වෙන්නේ. සාමාන්‍යෙන් රටඉඳි ගෙඩියක් අවුරුදු 5ක් තියාගන්න පුලුවන්.’ රටඉඳි ගෙඩි වගේම රටඉඳි ශිරප් නැත්තං රටඉඳි පැණියත් අද ලෝකය පුරාම ජනප්‍රියයි.

රටඉඳි කෑම


රටඉඳි ගහා ගැන කතා කළොත් ඉරාකය තමයි නිජබිම විදිහට සැලකෙන්නේ. ඉරාකයේ ඉඳලා නැගෙනහිරට පකිස්තානය වෙනකම්, බටහිරට ඊජීප්තුව වෙනකම් මේ ගහා දැන් පැතිරිලා ඕසෙට. සාමානයෙන් වැඩුණු ගහක් මීටර් 23ක් විතර උසයි. මේක පාම් ගසක් නේහ්. අතු මීටර් හයක විතර උපරිමයකට දික්වෙනවා. අන්තර්ජාලය කියන විදිහටනම් බර්හි කියන වර්ගය තමයි රස්වත්ම. හලාවි, තූරි, ෆාර්ඩ්, ෂහිදී, ඔයවගේ අපේ මිත්‍රයා කියපු වර්ගවලට අමතර වර්ග තියෙනවා. ඉතිං රටඉඳි රහා හොයන කෙනෙක්ට මේවා හොයාගන්න මාරු නෑ. අපේ මිතුරානම් කියන්නේ රුපියල් ලක්ෂයක විතර මිලක් නියමවෙන රටඉඳි ලෝකයේ තියෙනවා. ඊජීප්තුව, ඉරානය, ඇල්ජීරියාව, සවුදිය තමයි රටඉඳි ලෝකයට සපයන ප්‍රධාන රටවල්. මේවෙනකොට රටඉඳි පළතුරක් විදිහට කනවට අමතරව බත්වලට බිරියානිවලට විතරක් නෙවෙයි අච්චාරුවලටත් රටඉඳි මික්ස් වෙනවා. රටඉඳි කේක් නත්තලට හදන්නේ නැති ගෙදරක් ලංකාවේ තියෙයිද මමනම් දන්නේ නෑ. කොක්ටේල්වලට රටඉඳි සිරප් මිශ්‍රවෙනවා. ඒ විතරක් නම් මදෑ රටඉඳි වයිනුත් අද හරි ජනප්‍රියයි. නත්තල ගැන කියපු නිසා කියන්න ඕනී කියලා හිතෙනවා. මරිය මව්තුමිය ජේසු ප්‍රසූත කරන්න ඔන්න මෙන්න රටඉඳි කෑවා කියලා කියනවා. එහෙම බැලුවහම කුරානය අස්සේ වගේම බයිබලය අස්සෙත් රටඉඳි රහා ලියවෙලා තියෙනවා. ඉතිං පරණ මූවර් වීදියට ආවොත් ඔහේලටත් පුලුවන් කෝපි එකක් බීලා රටඉඳි ගෙඩියක් කටේ දාගන්න…