කලකට ඉහත මා ලියූ දේශපාලන විචාරයක් අතර, ඩිංග ගැසීම ගැන සඳහනක් විය. එය කියැවු කිහිප දෙනෙකු කළ විමසීම් අනුව, ඔවුනට ඒ වචනය ආගන්තුක මෙන්ම නුහුරු තේරුම නො දන්නා යෙදුමක් බව මට හැ`ගිණ. එක් ප‍්‍රාමාණික බුද්ධිමතෙකු මගෙන් විමසා සිටියේ ඩිංගි ගැසීම නැටුමක් නොවේද කියාය. එය ඇසූ මට සිනහව නතර කර ගත නොහැකි විය. මගේ සිනහව තේරුම් ගත් ඔහු කියා සිටියේ මම මේ තර්ක කරන්න යනවා නොවෙයි. අසන්නේ එහි ස්වරූප සහ යථා ස්වභාවය ආදිය ගැන බවය.

ඩිංගි නැටුමේ ස්වභාවය ගැන කියන්නේ කුමක්ද? ඒ ගැන සමහර විට දන්නේ  ඩිංගි ගහන කොල්ලන් පමණක් විය හැකිය. එහෙම කියන්නේ යම් විෂයයක් වෘතිය මට්ටමෙන් භාවිතා කරන අය ඒ ගැන යමක් දැනගෙන සිටිය යුතුය යනු අනුමානයෙනි. එහෙත් ඒවා එහෙමම වෙන්නේ නැත. වරක් කොළඹ මරදානේ පදික වේදිකා වාසි පුලන්නෙකුට එරෙහිව පාදඩ පනත යටතේ නඩු පවරා තිබිණ. ඔහු වෙනුවෙන් සාක්කි දිමට ජයන්ත වීරසේකර නම්  විශිෂ්ඨ භාෂා වේදියා උසාවියේ පෙනි සිටියේය. අර  චුදිත පුලන්නා වෙනුවෙන් සාක්කි දෙමින් ජයන්ත විරසේකරයන් කියා සිටියේ ඔහු තම ගුරුවරයෙකු බවය. එවැනි ගරු කටයතු කෙනෙකු පාදඩයෙකු ලෙස අධිකණයට ඉදිරිපත් කිරිම යම් වැරදිමක් විය හැකි බව සාක්කිය අතර උසාවියට ප්‍රකාශ කළේය. තවදුරටත් සාක්ෂි කරු කියා සිටියේ තම ගුරුවරයා වෘතියෙන් රබන් වාදකයෙකු වන අතර. බොහෝ කොට පදික වේදිකාවේ රබන් ගසමින් ජීවත්වන බවය. කිසිදු අනන්‍යතාවක් නැති මේ මිනිසා ජයන්ත වීරසේකරයන්ට ගුරු වූ හැටි අධිකරණයේ  විනිසුරුතුමා  ප්‍රශ්න කළේය.

‘මොහු විරිදු ගායකයෙක්. ඔහුට විරිදු ලියා දුන්නේ මමයි. ඒ වෙනුවට මේ අය මට රබන් සුරල් ඉගැන්නුවා.’

 අර පුද්ගලයා ජයන්ත වීරසේකරයන්ගේ ඒ සාක්කිය නිසා නිදහස් විය. අර විරිදුකාරයා  රබන් ගැසීම දැන සිටියේය. එහෙත් විරිදු ප්‍රබන්ධයට බුහුටි නොවිණ. ඒවා එහෙමය.

අප නැවත ඩිංගි පදය ගැන සාකච්ඡා කරමු.  මෙවැනි යම් අවිනිශ්චිත කාරණයක් විස්තර කිරීමේදී ශාස්ති‍්‍රය පොතපත වෙත යොමු විය යුතුවේ. එහෙත් ඩිංගි ගැහිල්ල ගැන කිසිවෙකු අධ්‍යයනයක් කර නැතිවා විය හැකිය. ඒ නිසා ඒ ගැන ඍජුව පරිහරණය කළ හැකි පොතපත ගැන තොරතුරු සොයා ගැනීමට  ලැබෙන්නේ නැත. එවැනි අවස්ථාවල අප පළමුවෙන් කළ යුත්තේ අදාල භාෂාවට අදාල ශබ්ද කෝෂ පරිහරණය කිරීම හෝ ආශ්‍රය කිරීම පමණකි.

ඩිංගි යනු කුඩා ලපටි පැටි ආදි ලෙස අර්ථ දැක්වෙන පදයක් බව සිංහල ශබ්දකෝෂවල දැක්වේ. මේ වඩනය හෝඩි හෝ සෝඩි වැනි  පණ්ඩිතමානි නොවන එහෙත් සම්භාව්‍ය සාහිත්‍ය ලක්‍ෂණ රැගත් ජනශ්‍රති පුරා දැක්වෙන සිංහල වචනයකි.  ඩිංගි යන්න ටික බවත් ඩිගිති යනු ඉතා  ටික (ඩිංගිත්ත) ආදි ලෙස අර්ථ ගැන්වෙන බව ශ්‍රි සුංමගල ශබ්ද කෝෂය විස්තර කරයි.  එහෙත් ශ්‍රි සුංමගල ශබ්ද කෝෂ කර්තෘන් වහන්සේලා ඩිංගි යන්න ඩිගිති යයි දක්වන විට ලොප්වු නිග්ගහිතය හෙවත් බිංදුවේ සඥාව සඳහා යෙදෙන සංඥාව ඩිගිති යන තැන ගි යන්න  සමග යොදා නැත.

ඩිංගි යන්න හරිශ්චන්ද්‍ර ශබ්ද කෝෂයට අනුව එසේම හෝඩි යනු වර්ණ මාලාව හෙවත් අක්‍ෂර ලෙස දැක්වේ. මෙහි හෝ යනු ධාතුවකි.  එහි නිදිම යන අර්ථ දැක්වේ. දැන් ඩිංගි ගැහිල්ලට බසිමු.

උඩරට පුද්ගල නාම අතර මේ ඩිංගි යන වචනය නිතර හමුවේ. ඩිංගිරි බණ්ඩා, ඩිංගිරි මැණිකේ ඩිංගිරි එතනා ඩිංගිරී ආදී වශයෙනි. වලව්වේ මහකුමාරිහාමි සමහර ගම්මුන්ට ඩිංගිරි හාමුුදුරුවෝ වන්නාහ. එසේම ඒ අර්ථයම ලබාදෙන හැ`ගන ටිකිරි කුඩා පුංචි ආදි වචනද මේ ආකාරයට මැණිකේ, එතනා බණ්ඩා ආදි නාමයන්ට විශේෂණ ලෙස භාවිතා වේ.

හෝඩි යන්නද මෙයට සමාන වේ. හෝඩි යන වචනය සෝඩි යන ලෙසද භාවිතා වේ. සෝඩි ටිකිරි පුන් පියවුරු පතුල් ටිකිරි වැන්නේ ආදි තන්හී මේ වචන යෙදෙයි. එක් යුගයක පාසල්වල පැවති පහළ බාලාංශය ඉහළ බාලාංශය ආදි ආරම්භක පන්තින් හෝඩියේ පන්තිය ලෙස දැක්විනි. හෝඩියේ හොද්දා ආදි ලෙස දුර්වල ළමුන් සඳහා උපහාස ආමන්ත්‍රණද භාවිතා විය. 

ඩිංගි ගැහිල්ල නැටුමක්ද? මෙයට ඔව් හෝ නැත කීම අවදානමකි. නැටුම යනු ආවාට ගියාට කරන දෙයක් නොවේ. මට මෙහිදී නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ සිහිපත් වේ. වරක් ඔහු මා සමග කීවේ උඩරට නැටුම විශිෂ්ඨ ශාස්ති‍්‍රය රංග සම්ප්‍රදායක් බවය. ඒ නැටුම සඳහා අඳින්නේ පළඳීන්නේ දේවාභරණ බව ඒ පුරෝගාමි විද්වතාගේ මතය විය. වෙස් බැඳීමත් දේව කාරියක් බව ඔහු විස්තර කළේය.

‘‘මහත්තයෝ දැන් සමහර අපේ එවුන් වෙස් තට්ටුව බැඳගෙන  පිනුම් ගහනවා. බස්වල යනකොට වෙස් පෙට්ටිය ගෑනු ඉඳගෙන ඉන්න  සීට් එක යට දාගෙන යනවා. නටලා තානම් කියලා ඉවර වෙලා ගිහින් නැටුම් බලාගෙන සිටි අයට ගිහින් තිරිත්තුවක් නැතිව වැඳ වැඳ අත පාලා තෑගි  ඉල්ලනවා.  මේවා නැටුමට කරන අවනම්බු. සාස්තරේ විදියට පදේට නටලා ගැටුම ඉවර කරනවා මිසක එහෙම හි`ගන සිරිතක් අපේ නැටුමේ නැහැ. ඉස්සර නම් නටනවාට ගම්වර පිටින් දීලා තිබුණා. ආයේ වෙනම අත පාල හි`ගන්න උවමනාවක් නැහැ. මේ නම්බුකාර රස්සාවක්.’’

අප කතා කළ ඩිංගි ගැහිල්ල නැටුමක් නොවේ. ඩිංග ගැහිල්ල යනු අර නිත්වෙල ගුණයා ගුරුන්නාන්සේ කී ආකාරයට නැටුව අහවර කොට වැඳ අත  පා කරන දේට සමාන එකකි. හෙවත් ඩිංගි  ගැහිල්ල යනු චාරයක් නැති බඩගොත්තර සෙල්ලමකි. ඩිංගි ගිහිල්ලට රිදම්  එකක් සම්ප්‍රදායක් චාරයක් නැත.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න