කළුතර කැලිඩෝ වෙරළ තීරය ගැන මට තිබෙන්නේ සිනමාත්මක මතකයකි. ඒ 2005 තරම් ඈතක මෙම වෙරළ තීරයේ මා කෙටි චිත‍්‍රපටයක් රූගත කළ අතීතය නිසාය. එවක කැලිඩෝ වෙරළ යනු විශාල කඩොලාන නිර්මිතයක් ය. කළු ගඟ ගෙනෙන වැලි මුහුදු රළ හා තරග කර ගිමන් නිමාලන මේ භූමිය නිසා, එදා මුහුදේ ලූණු වතුර ගංගාවට මිශ‍්‍ර වුණේ නැත. සමහර ගංවතුර සමයක වැලි පරය කපා ගං මෝය පළල් කළත් කළුගඟ වාර්ෂිකව මුහුද වෙත රැගෙන එන වැලි පරිමාව ඉහළ බැවින් එයින් හානියක් වුණේ නැත. එහෙත් වරාය නගරය ඉදිකිරීමත් සමග දැන් හරිත කැලිඩෝ වෙරළක් කළුතරට නැත. මුහුද අරගෙන යන වැලි පරිමාවට සාපේක්ෂව ගංගාව මුහුද වෙත වැලි ගෙන එන්නේ ද නැති නිසා වැලි පරයක් නිර්මාණය වීමේ අවකාශයක් ද නැත. මේ තත්ත්වය නිසා දැන් කළුඟගේ ලවණ සාන්ද්‍රණය ඉහළ ගොස් ඇත. එහි වර්තමාන ප‍්‍රතිඵලය භයානකය. දැන් කළුතර ප‍්‍රදේශය උග‍්‍ර පානීය ජල ගැටලූවකට මුහුණ දෙමින් සිටී. මේ තත්ත්වයට හේතුව පාරිසරික තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමය.

මෙම තත්ත්වයට වරාය නගරය මෙන්ම කළුගඟ ඉහළ අසීමිතව වැලි ගොඩදැමීමද, මැණික් සඳහා ගංගාවේ පතුල හැරීම ද හේතු වෙයි. දැන් ඡුන්ද සමය නිසා වාසුදේව නානායක්කාර, පවිත‍්‍රා වන්නිආරච්චි, පේ‍්‍රමලාල් ජයසේකර වැනි රත්නපුර  ප‍්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ඉල්ලීමට හොරෙන් ගංගා හාරා මැණික් සොයන පුද්ගලයන් සොයා විශේෂ කාර්ය බලකාය හෝ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වැටලීම් කරන්නේද නැත. කළුගෙඟ් වර්තමානය ගැන මෙලෙස කතා කළේ  ඊටත් වඩා බරපතළ ප‍්‍රශ්නයක් පිළිබඳව ඔබගේ අවධානය රැුගෙන යන්නට ය. ලංකාවේ දිගම ගඟ වන මහවැලිය වැලි කැණීම සඳහා මේ ඡන්ද සමයේ වෙන්දේසි වන්නට පටන්ගැනීම ගැන කතාව දැන් ඔබට පැවසිය හැකිය.

ගඟක කතාව

ගඟක් යනු ස්වාභාවික පරිසර පද්ධතියකි. පරිසරය යනු එහි ජීවී කොටස් පමණක් නොවේ. වැලි මැටි ගල් පස් මේ සියලූ දේ ජීවි පරිසරය කෙරෙහි බලපානු ලබයි. මෙම පරිසර පද්ධතිය තුළ ජලය රඳවා තබා ගන්නේ වැලි සහිත පස් මගිනි. මැටි සහිත පසකට වඩා වැලි සහිත පසක ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ඉතාමත් වැඩිය. ගඟක දෙපස ඇති පිටාර තැනි, සියවස් ගණනාවක සිට ගඟ තම පෝෂක පෙදෙස තුළ වර්ෂාව මගින් ප‍්‍රවාහනය කෙරුණු රොන්මඩ හා වැලි ස්තර තැන්පත් කරගැනීමෙන් සෑදී ඇත. එම වැලි නිධි ජලය රැස් කර තබා ගන්නා ජල ගබඩා ටැංකි වැනි යැයි සිතාගත්තත් වැරදි නැත. ඉතිං ගඟ දෙපස මෙලෙස එක් රැුස්වන ජලය ගෙඟ් ජල මට්ටම අනුව එහෙට මෙහෙට වෙයි. ගෙඟ් ජලය, අවට ස්තරවලට ගලා යාම මෙම වැලි ස්තරවල ඇති වැලි ප‍්‍රමාණය මත රඳා පවති. ගඟක ජලය සිඳෙන්නට අනුලෝමව ඒ අවට ළිංවල ජල මට්ටම පහළ යෑම සමානුපාතික වන්නේ මේ හේතුව නිසා ය.  මෙනිසා කළු ගෙඟ් ලවණතාව වැඩි වීම පානීය ජලයේ ලවණතාව වැඩි වීමේ ප‍්‍රශ්නයක් ලෙස මතු වුවද මහවැලි ගෙඟ් ලවණතාව වැඩි වීම අවට ජනයාට සහ පරිසරයට දැනෙනුයේ වෙනත් ආකාරයකටය. එයට හේතුව එම පෙදෙස්වල ඇති මෙම භූවිද්‍යාත්මක සැකැස්මයි. මහවැලි ගෙඟ් පහළ ප‍්‍රදේශයට කළු ගඟට අද උරුමවී ඇති ව්‍යසනයම උදාවුණොත් ඒ අවට ප‍්‍රදේශයට කුමක් සිදුවිය හැකිද? කළු ගඟ වාගේ නොව සිදුවන්නට නියමිත විනාශය අතිමහත් විය හැකිය.

අප ඉහත විස්තර කළ ලෙස පැතිරුණු පිටාර තැන්න හේතුවෙන් එම විශාල ජල ධරයම ලූණුු සහිත වී අක්කර 50000 වන මුළු කෘෂිකාර්මික භූමියම සෝඩියම් රසයෙන් තිත්ත වී යනු ඇත. අතීතයේ මුතුරාජවෙලට උරුම වූ කරුමය කන්තලේ අල්ල ගොවි ජනපදයට සිද්ධවිය හැකිය. පාලකයන්ට විද්‍යාව, පරිසරය අදාළම නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඡුන්දය සහ යහමින් මුදල් ය. එනිසා අල්ල ගොවි ජනපදයට අනාගතයේ කුමක් වූවත් කමක් නැත. දැන් රත්තරං කිකිළිය මරා, රත්තරං බිත්තර ටික සන්තක කරගැනීම හොඳටම ප‍්‍රමාණවත් ය.

මහවැලියේ වැලි කෙළිය

පරිසරය රකින්නේනම යැයි පුරසාරම් දෙඩූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පරිසර අමාත්‍යවරයා ලෙස පත්කරගත්තේ එස් එම් චන්ද්‍රසේන මහතාය. ඔහු දැන් පරිසරය සුරැුකීම පසෙක ලා පරිසරය කාබාසිනියා කිරීමේ රාජකාරියට බැස ඇත. ගම් වදින අලි මරන්න තුවක්කු දීමේ සිට විල්පත්තුව එළිකර කෝමාරිකා වැවීම දක්වා ඔහුගේ වර්තමාන කෙරුවාව ලිවිය හැකිය. එයට අලූතින්ම එකතුවෙන්නේ මහවැලි ගෙඟ් පහළ කොටසට අසීමිතව වැලි කැණීම් බලපත‍්‍ර ලබාදීමය.

පසුගිය මාර්තු දෙවෙනිදා කොළඹ කෝට්ටේ පිහිටි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට කන්තලේ, සේරුනුවර ආදි ප‍්‍රදේශවලින් මිනිසුන් පටවාගත් බස් රථ දෙකක් පැමිණියේ ය. පසුව මෙම බස් රථවලින් පැමිණි මිනිසුන් එම කාර්යාංශයේ පෝලිම්වලට එකතුවුණේ තමන්ටත් මහවැලියේ වැලි කැණීමට බලපත‍්‍රයක් ලබා ගන්නට ය. පරිසර අමාත්‍යවරයාගේ සහ පොහොට්ටු දේශපාලනයේ ප‍්‍රබලයන්ගේ උපදෙස් මතය. දැන් මෙම පර්මිට් ලබාදීමේ කෙරුවාව එළිදරව් වී ඇත.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සේරුවිල, මුතුර්, වෙරුගල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන තුළ සිදුකෙරෙන මහා පරිමාණ වැලි කැණීම් ජාවාරමේ කතාවට දිග ඉතිහාසයක් ඇත.

2015 ජනවාරි 8 යහපාලනය පැමිණීමට ප‍්‍රථම මෙම ප‍්‍රදේශය තුළ විශාල වශයෙන් වැලි කැණීම සිදුවිය. 2013 වර්ෂයේ සිට මෙම ප‍්‍රදේශයේ වැලි කැණීම සඳහා බලපත‍්‍ර වැඩි වශයෙන් ලබාදී ඇති බව දැනගන්නට ලැබේ. එම තත්ත්වය 2015 පසු තරමක් අඩුවිය. ඒ අනුව 2019 වසර වනවිට ත‍්‍රිකුණාමලය සිත්තාරු පාලම අසල සිට මුතූර් දක්වා කිලෝමීටර් 26ක දුර ප‍්‍රමාණය තුළ වැලි කැණීම සඳහා බලපත‍්‍ර දහසකට ආසන්න ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක විය. එහෙත් දැන් ඇමති ගෝලයන්ට සහ ආධාරකරුවන්ට වෙන වෙනම ලෙසත් ගමේ පුද්ගලයන්ට වෙනමත් කැටගරිකරණය කර බලපත‍්‍ර 3500ක් දෙන්නට නියමිතය. ඒ  සඳහා 3500ක් වූ පුද්ගලයන්ගෙන් බලපත‍්‍ර ගාස්තු අය කරමින් සිටින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයයි. කිලෝමීටර් 26ක ප‍්‍රදේශය තුළ මේ පුද්ගලයන් 3500 වැලි කැණීම සඳහා ගඟට බැස්ස විට තත්ත්වය කෙලෙසක විය හැකිද? මෙලෙස ආණ්ඩුව දේශපාලන සූදුවක් සඳහා වැලි කැණීම් බලපත‍්‍ර නිදහස් කළහොත් වැලි කැණීම් බලපත‍්‍ර 5000කට ආසන්න ප‍්‍රමාණයක් මෙම කිලෝමීටර් 26 තුළ ක‍්‍රියාත්මක වෙනු ඇත!. එම ප‍්‍රමාණය අල්ල ගොවි ජනපදය විනාශය කරා ගෙනියන්නට ප‍්‍රමාණවත් වනු නොඅනුමානය.

අල්ල ගොවියෝ

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට අයත් අල්ල ගොවි ජනපදය ආරම්භ කරන්නේ 1952 වසරේදී ය. මහවැලි ගඟ මුතූර් ප‍්‍රදේශයෙන් මුහුදට වැටීමට පෙර කොටස් දෙකට බෙදී ගමන් කරයි. එයින් එක් ශාඛාවක් මාවිල්ආරු ප‍්‍රදේශය පසුකොට වෙරුගල් හරහා ගලා ගොස් ලංකා පටුන ප‍්‍රදේශයෙන් මුහුදට එක්වෙයි. අනෙක් ශාඛාව අල්ල කන්තලේ පාලම යටින් ගලා ගොස් මුතූර් පොලිස් ස්ථානය අසලින් මුහුදට වැටෙයි. මෙම දෙගං මැදි ඩෙල්ටාව අල්ල ගොවි ජනපදය ලෙස හඳුනා ගන්නට පුළුවන. එය විශාල සරුසාර ප‍්‍රදේශයක්ය. මෙම ගොවි ව්‍යාපාරය යටතේ කන්තලේ කුඹුරු අක්කර 28000ක් ද සේරුනුවර අක්කර 30000ක් පමණද අස්වැද්දේ. එයින් යැපෙන පවුල් සංඛ්‍යාව සුවිසල් ය. මෙම වැලි සූදුව නිසා මේ මිනිසුන්ගේ හෙට දවස විනාශවී යා හැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී අලූත් ආණ්ඩුව පත්වූදාට පසුදාම මහවැලි ගෙඟ් මනම්පිටිය පාලම අන්තයේ සිට ගඟ පහළට මූතූර් දක්වා නීතියට පිටතින් වැලි කැණීම් ස්ථාන බොහෝ ස්ථාපනය වූ බව නොරහසකි. ඉන් පසුව ඇරඹියේ සේරුවිල ප‍්‍රදේශයේ පොහොට්ටුව දේශපාලනයට උදව් උපකාර කරන ව්‍යාපාරිකයන්ට වැලි කැණීම් බලපත‍්‍ර ලබාදීම බව දැනගන්නට ඇත. එලෙස පිටස්තර පුද්ගලයන් වැලි කැණීම් බලපත‍්‍ර ගෙන ගඟට බැස්ස පසු ගංගාව දෙපස ජීවත්වෙන මිනිසුන්ද මේ වැලි පර්මිට් යුද්ධයට අතගසා ඇත. ඒ අනුව දැන් ආණ්ඩුව තීරණය කර ඇත්තේ තම ආධාරකරුවන්ටද කන් කෙඳිරිගාන ගමේ මිනිසුන්ටද ආදි ලෙස දෙපාර්ශ්වයම වැලි බලපත‍්‍ර ලබාදී වැඬේ සමහන් කරන්නට ය. එහෙත් අල්ල ජනපදයේ ගොවියන් කියන්නේ මෙම වැලි බලපත‍්‍ර ලබාදීම හෝ බලපත‍්‍ර නොමැතිව වුණත් නිදහසේ වැලි කැණීම සඳහා අවසර දීම නිසා අනාගතයේ තමගේ ගොවිබිම කිවුල් දියෙන් විනාශවී යා හැකි බවය. මෙම තත්ත්වය තුළ අල්ල ගොවි ජනපදය බේරාගැනීම සඳහා සහ මහවැලි ගංගාව ආරක්ෂා කරගැනීම සඳහා, මේ දේශපාලන සූදුව නතර කිරීමට ආණ්ඩුවට බලකළ යුතුය. ඡන්දය වෙනුවෙන් මසක කාලයකට පරිසරය විනාශ කරන්නට ඉඩදීම කෙතරම් බුද්ධිහීන වැඩක් දැයි බැලිය යුතුය.x