මෙම කොලම ලියැවෙන්නේ මහා සිකුරාදා ය. එය බොහෝ විට කිහිප වරක් සංශෝධනය කර අවසන් පිටපත යැවෙන්නේ පාස්කු දිනය වීමට ඉඩ ඇත. යුදෙව් ආගමේ ‘පසුකර යෑමේ මංගල්‍යය’ට සමාන්තර ව පළමු ව යුදෙව් කිතුනුවන් ද පසු ව සෙසු සියලූ කිතුනූවන් ද සැමරූ ආගමික උත්සවය ‘පසුකර යාම’ යන අරුත දෙන ග‍්‍රීක ‘පැස්කා’ යන වචනය සිංහලෙන් ‘පාස්කු’ වූවා විය හැක. පාස්කුව සති අන්තයේ ලොව පුරා කිතුනුවෝ මෙනෙහි කරන්නෝ තම ශාස්තෲගේ මරණය හා නැවත නැගිටීම හෙවත් උත්ථානය ගැන ය. සමකාලීන අර්ථයෙන් ටෝචර් හෙවත් වධබන්ධනයට ලක් ව අනතුරු ව කුරුසයකට බැඳ ඇණ ගසා මැරෙන්නට හළ තම ශාස්තෘ ගැන කිතුනුවෝ බොහෝ විට නිරාහාර ව හිඳ මහා සිකුරාදා කම්පාවෙන් සිහිපත් කරති. එහෙත් ඔවුහු මහත් ජ්වලිතභාවයකින් සමරන්නෝ පාස්කුව ය. අදාළ ආගම පසෙක ලමු; පාස්කුව බලාපොරොත්තු දල්වන සාධනීය සංකල්පයකි. එය නව ප‍්‍රාණයක්, ජීවයක් හා ඇරඹුමක් සනිටුහන් කරයි. වර්තමාන කෝවිදියානු යථාර්ථය විසින් සාංදෘෂ්ටික තලයකට තල්ලූ කරන ලද සමකාලීන ලෝකය ද දැන් කල්පනා කරන්නේ උත්ථානය ගැනයි.  ඒ කෝවිදියානු වෛරසයෙන් මියගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව සම්බන්ධයෙන් නොව සමකාලීන ශිෂ්ටාචරයේ මූලික පදනමක වන ආර්ථිකය පිළිබඳ ව ය.  

මේ වන විට සියලූ රටවල් තම ආර්ථික කුරුස කර ගසා ගොල්ගොතා කන්ද නගිමින් සිටියි. තමන් විසින් ම කර ගසා ගෙන කඳු මුඳුනට රැගෙන ගිය බරැති කුරුසයේ ම ආර්ථිකය ඉක්මනින් හෝ පමා වී ඇණ ගැසෙනු ඇතැයි ලොව පුරා භීතියක් ජනිත වී ඇත. කෝවිදියාවෙන් බිඳ වැටුණු ආර්ථිකය උත්ථානය කරන්නේ කෙසේ ද යන උභතෝකෝටිකය මෙතෙක් වෛද්‍යවරුන් හෙදියන් හා වසංගතවේදීන් වෙත එල්ල වී තිබුණු අවධානයේ ලයිම් ලයිටය කෙමෙන් ආර්ථික විද්යාඥයන්ට හා ඊට සම්බන්ධ ප‍්‍රතිපත්ති තීරකයන්ට යොමු ව ඇත.        

මීට සති දෙහෙකට තුනකට පෙර නියමිත කලට පෙරාතුව තම මහා බැංකු රැකියාවෙන්  අසෝක හඳගම විශ‍්‍රාම ගියේ ය. ඒ ගැන ඔහුට සමාජයෙන් නොමඳ සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණේ දැන් ඔහුට පූර්ණකාලීන ව කලා කටයුතුවල නිමග්න විය හැකියි යන අපේක්ෂාව නිසා විය හැක. එනයින් හඳගම විශ‍්‍රාම ගියේ ය යන්න නොමග යවනසුලූ ය. ඔහු විවේක සුවයෙන් පසු වීම නොවේ ඔහුගේ රසිකයෝ බලාපොරොත්තු වන්නෝ. අවාසනාවකට කෝවිදියා පරිසරය ප‍්‍රාමාණික කලා කටයුත්තකට අත පොවන්නට හඳගමට පමණක් නොව කාට හෝ ඉඩ නොදේ. කෝවිදියා නොනගතය තුළ බොහෝ අය කරන පරණ පොටෝ ඇදීම වෙනුවට හඳගම වෙනදට වඩා දැන් තම අදහස් ලියයි; පළ කරයි. ඔහු මහා බැංකු දොරින් පිටමං වන්නට පෙර දින ලියූ ‘මේ නිද්‍රාවෙන් ඇහුරුණු පසු ලියවිල්ල (මෙය අනිද්දා ‘වෘත්තය’ කොලමයි.) අතිශය දාර්ශනික හා සාංදෘෂ්ටික ගැඹුරකින් සමන්විත ය. අජිත් නිවාර්ඞ් කබ්රාල් ඉදිරිපත් කළ අර්ථසාධක තැන්පතු ජනතාවට රිසි නම් යම් ප‍්‍රමාණයක් නැවත ගැනීමේ නව ප‍්‍රතිපත්ති යෝජනාව නිමිත්ත කරගෙන හඳගම ලියූ ෆෙස්බුක් පෝස්ටුව ඉතා වැදගති යි මම සිතමි.

කබ්රාල්  මහතාගේ වෘත්තීය හා දේශපාලන කැරැට්ටුව අතිශය මිශ‍්‍රිත එකක බව නොරහසකි. එනමුත් හඳගම කබ්රාල් යෝජනාව ස්ථානගත කළේ පුළුල් ඓතිහාසික ආර්ථික විද්‍යා සන්දර්භයක් මත ය. ඒ, ජෝන් මේනාර්ඞ් කේන්ස් නමැති ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයා මහා ආර්ථික අවපාත (ගේ‍්‍රට් ඩිප්‍රෙෂන්) සමය තුළ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය විසªම් මාලාවේ ස්වභාවය හා ඊට සබැඳි ආර්ථික විද්‍යා න්‍යාය ගැන ය. මගේ තක්සේරුව අනුව එය හඳගම විසින් ගිහියන්ට දෙසූ සුමධුර ආර්ථික විද්‍යා බණකි.

යට කී හඳගම ප‍්‍රයත්නය කාලීන මැදිහත් වීමක් ලෙස මා දකින්නේ විශේෂිත හේතුවක් නිසාවෙනි. එනම් ලාංකීය (සිංහල) කතිකාවත තුළ ආර්ථිකය පිළිබඳ ව ප‍්‍රමාණවත් සහභාගිත්වයක් පුළුල් සමාජය තුළ නොමැතිකමයි. දේශපාලන හා සමාජ විද්‍යා විෂය යටතට වැටෙන කතිකාවතෙහි නම් අධිසැපයුමක් දක්නට ඇත. එය එක්තරා ‘ඔක්කොම ඇඞ්ඩින්; ඔක්කොම මැම්බර්’ වැනි තත්ත්වයකි. නිදසුනක් ලෙස මෙය ගනිමු. තරංගනියේ පෙර-දැක්මක් ලෙස තිරගත වූ චිත‍්‍රපටයක් බලා එතැන සිටින අය සමග කෙටි සල්ලාපයක නිරත ව බෞද්ධාලෝක මාවතට පැමිණෙන විට විචාර දුසිම් භාගයක් පමණ පෝස්ටුගත වී හමාරය. රියල්-ටයිම් විචාර ලෙස මේවා සැලකේ. මෙවන් මැගී පන්නයේ විචාරවල ගුණය හා හරය කෙසේ වෙතත් එහි යම් සාධනීය පැතිමානයක් ඇත. එනම් අදාළ විෂයන් ගැන විචාරය වරලත් විශේෂඥ පැලැන්තියකට පමණක් සීමා නොවී පුළුල් සාකච්ඡාවකට භාජනය වීම යි. 

යට කී හඳගම පෝස්ටුවට විශාල ප‍්‍රතිචාරයක් ලැබිණ. එහෙත් බොහෝ ප‍්‍රතිචාරයන්හි හරය වූයේ අපට ඔබේ දැනුම ගැන විශ්වාසයි නමුත් මේ ගැන වැඩි යමක් සාකච්ඡා කරන්න තරම් දැනුමක් නැහැ යන්න යි. එක ප‍්‍රතිචාරයක මෙම පණිවිඩය අපූරුවට සංක්ෂිප්ත වී තිබිණ : ‘සමහර එකෝන් කෑලි තේරෙන්නේ නෑ අප්ප‘. මෙසේ කීවේ ප‍්‍රකට ගුරුවරයෙකු හා ප‍්‍රවීණ විචාරකයෙකි. හෙතෙම නිතර සමාජ දේශපාලන කථිකා අතර කේන්ද්‍රීය චරිතයකි. ඉන් විද්‍යමාන වන්නේ ආර්ථිකය ආශ‍්‍රිත විචාරය යම් ගුඪ දේවාලයක තිරයෙන් එපිට පිහිටි අද්භූත පිළිමවහන්සේ කෙනෙකු වන් බව ය.

ආර්ථිකය ගැන වරලත් නොවන විචාර නොවන්නේ ද නොවේ. එසේ කරන ස්කූටි කල්ලි කිහිපයක් දක්නට ඇත. බොහෝ විට  මොවුන්ගේ විචාරයේ සැකිල්ල වන්නේ මෙය ය : ඒක නරක යි. ඒ නිසා අපි ඒකට කැමති නැහැ. ඒ නිසා එය වැරදියි (හෝ, ඒක ෂෝක්. ඒ නිසා අපි ඒකට කැමතියි. ඒ නිසා එය නිවැරදියි). සංකල්පීය මට්ටමින් කළු ලෑල්ලක හා සුදුහුණු කූරක් පමණකින් සන්නද්ධ මෙම ආර්ථික විචාරය බොහෝ විට ජවිපෙ ආර්ථික රෙටරිකයකයට ද සමපාත වේ. හොඳ-නරක ලෙස ආර්ථික ප‍්‍රතිපත්ති ගොඩවල් දෙකකට බෙදන්නට රිසි මෙම විචාරය නොර්මටිව් (normative) තලයේ පහුරු ගැසීමක් මිස ඉන් එහා ගැඹුරකට යන්නේ නැත.                                         

ආර්ථිකය ගැන පුළුල් කතිකාවක මඳ බව කෝවිදියානු තත්ත්වය තුළ තව දුරටත් බරපතළ වන්නේ මා ගිය සතියේ විස්තර කළ ‘ෂොක් ඩොක්ට්රයිනය’ හරහා ධනවාදය ව්‍යසන, ආපදා හා වසංගත වැනි අධි-අර්බුද තත්ත්ව තුළ නොසිතූ විරූ ලෙස තම සිතැඟි ඉටුකරගන්නා කලක ය. බොහෝ විට සමාජයෙන් වියුක්ත වූ විශේෂඥයන් අතලොස්සක අගුළු දාගත් ප‍්‍රතිපත්ති කුටිවල පමණක කෙරෙන විචාර හා විසඳුම් සෙවීම් පුළුල් පරාසයකට ගෙන ආ යුතුය. ඒ අරභයා මුලින් ම කළ යුත්තේ ආර්ථික විද්‍යාව ඞී-මිස්ටිෆයි (de-mistify) කිරීම හෙවත් එහි ගුඪබව හරණය කිරීමයි. ඉන් යම් ආර්ථික සාක්ෂරතාවක් ගිහියන් අතර ද ගොඩ නැගේ. පුළුල් සහභාගිත්ව විවාදයකට එම ආර්ථික සාක්ෂරතාව කොන්දේසියකි. බන්ධුල නානායක්කාරවසම්ගේ පද රචනයෙන් සුනිල් එදිරිසිංහ ගයන ගීතයක තරමක් රී-මික්සයකින් අපට ‘රිටයර් වූ පසුවයි පෙනෙන්නේ හඳයාගේ අබිමන්‘ කියා අසෝක හඳගම මෙම බලවත් අඩුපාඩුව පිරිමසන්නට කළ අනගි ප‍්‍රයත්නය ගැන පැසසුම් සහගත ව ‘කොරෝනා කාලේ සින්දු‘ තීරය හරහා ගායනා කළ හැක.

උදන් ප‍්‍රනාන්දු