ජනාධිපතිවරණයට පැවති නොවැම්බර් 16 වැනිදාට දින දෙකකට පෙර කැලණිය විහාරයට නාග ලෝකයෙන් ධාතු 14ක් ලබාදුන් බවට දෙරණ නාළිකාවේ පුවතක් විකාශය විය. ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් සම්පූර්ණ මෝඩයන් ලෙස සලකමින් එම පුවත විකාශය වූ බව බැලූ බැල්මට පෙනී ගියේය. එහෙත් පසුව දකින්නට ලැබුණු කාරණය වන්නේ මෙම පුවත සැබෑවක් ලෙස පිළිගනිමින් කැලණිය විහාරයට ඒ ධාතූ නරඹන්නට පැමිණි විශාල පිරිසක් සිටි බවය. මෙම කතාව සැබෑවක් ලෙස සැලකූ අහිංසක සාමාන්‍ය පුරවැසියෙකු හෝ දෙන්නෙකුට ලියුම්කරුට සියැසින්ම දකින්නට ලැබුණි.

ආගම මුල් කරගනිමින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළකිරීම කෙතරම් පහසු කටයුත්තක්දැයි ලියුම්කරුට වැටහුණේ ඒ විශ්වාසයන් දකිද්දීය.
මෙම ධාතූ කතාව සම්පූර්ණයෙන්ම කැලණිය විහාරාධිපති මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශීර්වාදය මත පැළ කරන ලද පුවතකි. මැතිවරණයේ නොනගත කාලය පටන්ගන්නට දවසකට පෙර ප‍්‍රසිද්ධ වූ මෙම ප‍්‍රවෘත්තිය නිසා කැලණි විහාරයට ධාතූ වන්දනාවට විශාල පිරිසක් පැමිණ තිබුණි. එලෙස පැමිණෙන පුද්ගලයන්ට කැලණි විහාරයේ පිරිසක් නෙළුම් පොහොට්ටු බෙදමින් රට ආරක්ෂා කරගන්නට ඡුන්දය පාවිච්චි කරන ලෙස උපදෙස් දුන් බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එය නිරීක්ෂණය කරන්නට ගිය පසුව පොහොට්ටු බෙදීම නවතා දමා තිබූ බවත් මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග කියයි.


මෙම ප‍්‍රවෘත්තියෙහි ඇති කරුණු ගැනත්, එයට සම්බන්ධ පුද්ගලයන් ගැනත් දීර්ඝ වශයෙන් මෙහි කතාකිරීම පලක් නැතැයි අපි සිතන්නෙමු. අපගේ පාඨකයන් මෙවැනි කතාවක් කිසිසේත්ම විශ්වාස කරනු ඇතැයි අපට හැෙඟන්නේ නැත. ඒ නිසා මේ කතාව මොහොතකට හෝ සැබෑවක් බව මොහොතකටවත් අප අනුමාන කරන්නේ නැත. එහෙත් කාරණා කිහිපයක් ගැන සිහිතබාගනීම වටී.


දෙරණ නාළිකාවේ මිතුරෙකු කීවේ මෙම පුවත පළ කරන්නැයි ඉහළින් නියෝග ලැබී තිබුණු බවය. ඒ ප‍්‍රවෘත්තිය ප‍්‍රකාශ කරද්දී නිවේදකයන් අනුගමනය කළ ක‍්‍රමවේදයත් අපූරුය. සාමාන්‍යයෙන් ලංකාවේ රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදකයන් ප‍්‍රවෘත්ති කියන්නේ තමන් තහවුරු කරගත් ප‍්‍රවෘත්ති ලෙස නොවේ. තුන්වැනි පාර්ශ්වයක් උපුටා දක්වමින්ය. උදාහරණයක් ලෙස යම් දිනයක යම් රිය අනතුරක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි යනුවෙන් ඔවුන් ප‍්‍රවෘත්ති පළකරන අවස්ථා ඇත. බොහෝවිට මාධ්‍ය නිවේදනයක්, යම්කිසි පුද්ගලයෙකුගේ ප‍්‍රකාශයක් උපුටා දැක්වීම ඔවුහු සිදුකරති. එහෙත් කැලණිය විහාරයට නාග ලෝකයෙන් සර්වඥ ධාතු ලැබුණු බව ඔවුන්ගේ ප‍්‍රවෘත්තිය පළකළේ උපුටා දැක්වීමක් ලෙස නොව දෙරණ රූපවාහිනී නාළිකාවේම ප‍්‍රකාශකයන් ලෙසය. ඒ අනුව නිවේදකයන් කීවේ කැලණි විහාරයට නාග ලෝකයෙන් ධාතු ලැබී ඇති බවය.


එම පුවතේ කී ලෙස ‘ගුප්ත විද්‍යා විශාරද‘ යන විශේෂඥ පදයක් සමඟ හඳුන්වනු ලැබූ උදාර මධුශංඛ නමැත්තෙක් මෙම ධාතු හඳුන්වාදීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටියේය. අන්තර්ජාලයේ ඔහු ගැන සොයද්දී මීට පෙර ඔහු තමන් බුදුවූ බවත් කී අයෙකු බව සොයාගැනීම අසීරු නොවේ. අන්තර්ජාලයේ ඔහු විවිධ පුද්ගලයන් සමඟ ප‍්‍රසිද්ධ කළ ඡුායාරූප ආදියත් සොයාගැනීම අසීරු නොවේ. ඔහු බුදුවූ කතාව ගැන අද කියන්නේ කුමක්දැයි පැහැදිලි නැත. ඒ ගැන දැන් සඳහනක් නැත.


ඔහු පසුව දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක්ද ලබාදී තිබුණි. එවැනි පුවත්පත්වලින්ද ජනාධිපතිවරණය අස්සේ ආ මේ අපූරු කතාවට සහායෝගය දක්වා තිබුණි. ඒ පුවත්පතේ උදාර මධුශංඛ කියා තිබුණේ මණිඅක්ඛික නම් නාග රාජයා තමන් සමඟ සන්නිවේදන කටයුතු කරන බවය. භාවනාවෙන් මණිඅක්ඛික රජු තමන් සමඟ කතාකරන බව ඔහු කියා තිබුණි. බැලූ බැල්මට මානසික ව්‍යාධියක ප‍්‍රතිඵල ලෙස පෙනී යා හැකි කරුණු ගණනාවක්ම ඔහු කියා තිබුණු අතර, ඉරිදා පුවත්පතේ ඉහළ ඉඩක් ඔහුගේ එම කතාවට ලබාදී තිබුණි.


උදාර මධුශංක පවසන අන්දමට ඔහු ධාතු ලබාගැනීමට කැලණි ගඟට ගොස් ඇත්තේ තවත් දෙදෙනෙකු සමඟය. සහායට ගිය පුද්ගලයන් ගැනත් ඔහු අපූරු කතා කිහිපයක්ම කියයි.


ඒ ධාතු වන්දනා කරන්නට පැමිණි බව කියන නාගයෙකු ප්ලාස්ටික් බෝතලයකට අල්ලාගැනීමටත් උදාර මධුශංක කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් සම්පූර්ණ කතාවේ සැබෑ අරමුණ වැටහුණේ කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් කී කතාවෙනි.


‘උදාර මධුසංක කියන මහත්මයෙක් ඒ ස්ථානයේ පූජා පවත්වනවා. නාග ලෝකයෙන් කැලණි විහාරයට ධාතුන් වහන්සේ පරිත්‍යාග කිරීමට සූදානම් බව අවුරුදු තුනක පමණ කලෙක සිට නාග ලෝකයෙන් කැලණි විහාරයට ධාතු පූජා කරන්නට යෙදෙන බව දන්වා තිබුණා. පසුගිය වෙසක් පොහෝ දින ඒ දේ ලැබෙනවා කියා ස්ථිර ලෙසම ප‍්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නෑ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන් වහන්සේ නව වැනිදා ලැබෙනවා කියා. ඒ අනුව එදින රාත‍්‍රී දහයට පමණ සිවුරුගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහත්තයා සේවකයන් දෙදෙනෙකුගේ සහායෙන් කැලණි ගඟට ගියා. ටික වේලාවකින් අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වේලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා. මීට පෙර දුටුගැමුණු රජ්ජුරුවො රුවන්මැලි සෑය නිර්මාණය කළායින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන්වහන්සේ නමක් නාග ලෝකයට ගිහිල්ලා ධාතුන්වහන්සේ ගෙනත් තැන්පත් කළ බව සඳහන් වෙනවා. මේවා අතර අනුශංගයක් තියනවා කියලා මට හිතෙනවා. දෙදාස් විස්ස වර්ෂය වන විට අපට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනඟන්නට අවකාශය ලැබෙනවා කියන පණිවුඩයත් ඒ සමඟම අපට ලැබුණා.‘


බැලූ බැල්මටම මේ කතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ කතාවකි. ඒ නිසාම මැතිවරණ කොමිෂන් සභාවේද අවධානය මෙම සිදුවීමට යොමුවී තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳ පරීක්ෂණ කරමින් සිටී. ඒ අනුව ඇතැම්විට ඉදිරියේදී මැතිවරණයට මෙවැනි කතාවක් සම්බන්ධ කිරීම පිළිබඳ නඩු පැවරීමේ ඉඩකඩක්ද ඇත.
කෙසේ වෙතත් මේ ප‍්‍රවණතාව අප තේරුම් ගත යුතුය. කැලණිය විහාරයේ ආරංචිමාර්ග පවසන්නේ ඉදිරියේදී මෙම ධාතු තැනින් තැන ගෙනගොස් ප‍්‍රදර්ශනය කරන්නටත් සැලසුම් කර ඇති බවය. ඒ අනුව ලංකාවේ දැනට පවතින ධාතු ප‍්‍රදර්ශනය කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ ප‍්‍රවණතාවයෙහිම දිගුවක් බවට මෙය පත්වෙනු ඇත.


ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයක් ධාතූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කරන්නේ නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු කීවේ එසේ පරීක්ෂා කළහොත් දළදා මාලිිගයේ ඇති ධන්ත ධාතූන් වහන්සේ පවා සැබෑ ධාතුවක් නොවේයැයි ඔප්පු වීමේ අවදානමක් ඇති බවයි. දීර්ඝ ඉතිහාසයක් තිස්සේ අතින් අත හුවමාරු වූ එවැනි වස්තූන් ඉතිහාසයේ කොතැනකදී හෝ වෙනස් විය හැකි බව එම නිලධාරියා කීය. ඒ නිසා කාල නිර්ණයක් හෝ වෙනත් පුරාවිද්‍යා පරීක්ෂණයක් ඒවාට අදාලව කළහොත් මිනිසුන්ගේ විශ්වාසය පිළිබඳ බරපතළ තත්වයක් ඇතිවිය හැකි බව ඔහු කීය. ඒ නිසා ඒවා ආගමික සංකේත ලෙස සලකමින් පරීක්ෂාවට ලක් නොකරන බව ඔහු පැවසීය. මේ ඉඩකඩ නිසාම ඕනෑම පුරාවස්තුවක් ගැන ව්‍යාජ කතාවක් පැතිරවීමේ හැකියාවක් ඕනෑම කෙනෙකුට ඇත. මිනිසුන්ගේ විශ්වාසය ලාභ ලබන අවස්ථාවක් බවට හරවාගන්නට කැමති ඕනෑ කෙනෙකුට මෙවැනි කතාවක් ගැන බොරු ප‍්‍රචාරය කළ හැක. ප‍්‍රවේශම් විය යුත්තේ භක්තියකින් එවැනි ප‍්‍රචාරයන් පසුපස යන පුද්ගලයන්ය.


අපුරු කාරණය වන්නේ මෙතෙක් සිරස ආදි නාළිකාවලින් ප‍්‍රදර්ශනය කළ ධාතු විදේශ රටවලින් ලැබුණු බව කීවත්, මේ ධාතූන් වෙනත් ජීවී විශේෂයකින් හමුවූ බව කීමය. ලෝකයේ නාසා ආයතනය ඇතුළු ආයතන ගණනාවක් දැවැන්ත වියදමක් කරමින් යානා යවමින් තවත් ජීවී විශේෂයක් විශ්වයේ සිටීදැයි පරීක්ෂණ කරන අතරතුර අවකාශයේ දොරටු විවෘත කරගනිමින් වෙනත් ලෝකවලින් සර්පයන් පෘථිවියට පැමිණෙන බව කීමම විකාර කතාවකි. ඒ කතාව දශමයකින් හෝ සත්‍ය බව විශ්වාස කරන්නට පදනමක් තිබේනම් දැන් මුළු ලෝකයම ලංකාවට දෙසට අවධානය යොමු කරනු ඇත. එපමණක් නොව, නුදුරේදී ලංකාව පුරාවට මෙවැනි ධාතු සහ ධාතු වන්දනා පහළවෙන්නට පටන්ගතහොත් ඒ ගැන පුදුම විය යුතුද නැත. ආගම අබිං යැයි කාල්මාක්ස් කීය. රටේ සිදුවන කිසිවක් නොදැක, භක්තියෙන් මත්ව ධාතු වන්දනා කරන්නට පුරුදු වුවහොත් එය රටේ සංවර්ධනයට නම් යහපත් තත්වයක් නොවනු ඇත.

අනුරංග ජයසිංහ