යේෂා ෆර්නෑන්ඩු ෆේස්බුක් අවකාශයේ දහසකුත් කවියන් අතර කවිකම් ප‍්‍රකට කරන කිවිඳියක්. ඇගේ හයිකුමය කවිතාව අප කවිය මතටම අලවනවා. එහෙම ඇලිලා රහ විඳින්න පුළුවන් කවි ලියන්නන් දුලබ ෆේස්බුක් අවකාශයක යේෂාමය කවි අමුතු වෙනවා. පහුගිය දවසක ඇගේ කාව්‍යාවලිය පොතකට අරගෙන ‘ලිලැක්’ නමින් අපට තිළිණ කළා. සැරින් සැරේ ඩිජිටල් අවකාශයක කියවපු මේ කවි මුද්‍රිත අවකාශයකට ඇවිත්, එකදිගට කියවගෙන යනකොට හිතුණා, ඇය සමග කවිමය සල්ලාපයකට යන්න ඕනෑ කියලා.

‘හිතවත් රෝස මල
කටුවක් දිය හැකිද කුලියට..?
බඹරෙකු එන බව කිව්වා
හවසට’


මම කැමතියි දැනගන්න, හයිකු කවි වගේ ලියැවෙන මේ රෝමාන්තික කවි පොකුරු ඉපදෙන තැන. ඒ මෙතන කියලා පෙන්වන්න පුළුවන්ද?


ඔව්, ඒ මෙතන, බෙල්ලට පොඞ්ඩක් පහළින් පපුවේ වම් පැත්ත, ඒ මගේ හදවත. හදවත කියන්නේ මනස. හදවතට, දුකක්, දැඩි පීඩාවක්, අග‍්‍ර ගණයේ සතුටක්, තනිකමක්, පාළුවක් දැනෙන හැම වෙලාවකම වගේ ඒ සිතුවිලි මගෙන් පිටවෙන්නේ, මේ වගේ කවිවලින්. මගේ කවි කෙටියි, හේතුව මම දිගු පැහැදිලි කිරීම්වලට අකමැතියි!. කියන්න හුඟක් දේ තියෙනකොට තමයි මම ඒ කවිවලට කෙටි සටහනකුත් එකතු කරන්නේ. මේ රෝමාන්තික කවි පොකුරු ඉපදෙන තැන, තවත් විටෙක මගේ ඇස් දෙක. දෙනෙතින් දකින යම් සිද්ධියක්, නැත්නම් ආදරණීය රූපයක්, පරිවර්තන ග‍්‍රන්ථයක එක සුන්දර වචනයක්, සමහර වෙලාවට මගේ අතින් මුළු කවියක්ම යුනිකෝඞ් කරවනවා.


කැපචිනෝ, අයිස්කොෆී, ලිලැක් මල්, මේ වගේ වෙස්ටනීය වචන සෑහෙන්න මල් වගේ පිපෙන කවි තමයි ඔබගේ මේ කවි කෙරුවාව අස්සේ තියෙන්නෙම. මේ වචන ක‍්‍රීඩාව ගැන ටිකක් කතාකරමුද?


ඔව්, ඒක ක‍්‍රීඩාවක්, හැබැයි සාම්ප‍්‍රදායික පාසල් ඇතුළේ කියලා දෙන ක‍්‍රීඩා වගේ අධි විනයකින් යුතු ක‍්‍රීඩාවක් නෙමේ. අපූරු ජපන් ඉස්කෝල වගේ මට මං වෙන්න ඉඩ දෙන ක‍්‍රීඩාවක්. මම කිසිම දවසක ලංකාවෙන් පිටට අඩියක් තියලා නැහැ, ඒත් මේ හැම වෙස්ටනීය දෙයක්ම මං විඳලා තියෙනවා කියලා හැඟීමක් මට තියෙනවා. ඉතිං මට මගේ කියලා දැනෙන, ඒ ඉඬේ මං එයාලව මගේ සෙල්ලමට ලේසියෙන්ම ඇදගන්නවා. මං සාම්ප‍්‍රදායික එළිසමය හෝ අක්ෂර වින්‍යාස හෝ වචනවල නිවැරදිභාවය තකන්නියක් නොවන නිසා, මං මගේ කවි ඇතුළේ ඔබ්බලා තියෙනවා මගෙම වචන. ඒවා ඇතැම් වෙලාවට මට කියන්න ඕනෑ සිංහල වචනේ වෙනුවට, ඒ වචනයම ප‍්‍රංශ නැත්නම් ස්පාඤ්ඤ භාෂාවෙන් කියවෙන විදිහ බලලා ඒක සිංහල සමඟ හයිබි‍්‍රඞ් කරලා හදන වචන.

රූමි වගේ කවියෙකුගේ කවි අස්සේ නළියන පිපිරෙන්න බලන් ඉන්න ඒ ශාන්තකම මම ඔබගේ කවිවල දකිනවා. පොඩි වදන් හෑල්ලක් රිද්මයකට අමුණලා, අපිට හැඟීමක් එක්කම හිතේ සිතුවමක් අඳින මිකැනිසම් එක කොහොමද ඉගෙනගත්තේ..

රූමි සොබාදහමෙන් ආශීර්වාද ලත් මනුස්සයෙක්, විශිෂ්ටයෙක්. මමත් ආශීර්වාදලත් ගැහැනියක්, ජිවිතේ අප‍්‍රමාණ ගැටලූවලින්. පුංචි කාලේ ඉඳලාම මගේ පවුලේ හිටපු කළු තාරාවා මම. මගේ දඩබ්බරකම්, වෙඩි වගේ වචන, ඇතැම්විට මගේ සමේ කළු පැහැය නිතරම මාව මගේ නෑදෑයන්, අසල්වැසියන් අතරදිත් තනිකරලා තිබ්බා. ‘දෙනෝදාහක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ’ කියන තනිවීම මට දැනෙන්නේ මේ වැඩිහිටිවියේදී විතරක් නෙමේ. ඉතිං මගේ සිතුවිලි, මං කිව්වේ මං එක්කමයි, මම මගේම ඇතුළට නැඹුරු වුණ හිතක් දරනවා, ඒ සංයමය වෙන්න පුළුවන් ඔබට ‘කවි අස්සේ නළියන පිපිරෙන්න බලන් ඉන්න ඒ ශාන්තකම‘ විදිහට හැෙඟන්නේ. ‘හැඟීමක් එක්කම හිතේ සිතුවමක් අඳින මිකැනිසම්‘ එක මා සතු බව ඔබ කියනවනම් මං පිළිගන්නම්. ඒත් ඒ මිකැනිසම් එක මෙහෙමයි කියලා විග‍්‍රහ කරන්නනම් මට තේරෙන්නේ නැහැ. ඒ සමහර විට කවි එක්ක ඉමැජිනේෂන් කියන්නේ ලියන මායි කියවන ඔබයි යන දෙපිරිසම එකට එකතු වෙලා කරන ටීම් ප්‍රොජෙක්ට් එකක් නිසා වෙන්න ඇති.


ඔබ ආදරය, විවාහය, ලිංගිකත්වය වගේ මාතෘකා ගැන තියුණු කවි ලියනවා. මේ කවි අස්සේ ඉන්න යේෂා කියන ගැහැනියයි, මම ඉස්සරහ ඉන්න යේෂා කියන ගැහැනියයි දෙබිඩිද?


ප‍්‍රශ්නවලින් වෙඩි තියනවා කියන්නේ මේකට වෙන්නැති. හොඳයි, මං ඔබේ උණ්ඩෙට ලිලැක් කවි පොතේ 40 වෙනි පිටුව පළිහක් විදිහට අල්ලනවා.
‘ඒත් දැන් මං බොන්න ආසයි. ඒ කෙමිකල් ඉන්බැලන්ස් වීම කියලා උගන්වන්නේ සදාචාරවත්, දැමුණු, සුහික්මුණු නහර ඇතුළේ බලෙන් හිරකරන් ඉන්න හැඟීම්, වචන, ආදරය ඇල්කොහොල් එක්ක විප්ලවීයව සන්ධානගත වුණාම ඒ හිරගේ කඩාගෙන තමන් ඉන්න ඕනෑ තැනට එන නිසා. එතකොට හැබෑ සිහියෙන් ඉද්දි මේ ඉලව් සමාජේ ඉස්සරහ දමලා ගහන්න බැරි මගේ නිදහස අසිහියෙන් ඉද්දි මං භුක්ති විදින නිසා. එතකොට සමාජය ඒක බොල් ණයක් ලෙස කපා හරින හින්දා. ‘අහ් දෙකක් වැදිලානේ හොඳ සිහියෙන් නෙමේනේ‘ කියලා එයාලාගේ මහ ලොකු නිහතමානී පණ්ඩිතකමින් ඒක බැහැර කරලා දාන නිසා. ඒත් එයාලා දන්නවාද හොඳ සිහියෙන් ඉද්දිත් මට හැසිරෙන්න ඕනෑ මේ විදිහට තමයි කියලා? හොඳ සිහියෙන් ඉද්දිත් මට මෙන්න මේ භාෂණයේ නිදහස, හිරකරන්, ගුලිකරන් ඉන්න හැඟීම් මේ විදිහටම බෝම්බ වගේ අතාරින්න ඕනෑ කියලා.’

කවි කියන්නේ මගේ මත්වීම. මත්වුණු හැමවෙලාවකම එතන ඉන්නේ සැබෑම මනුස්සයා හෝ ගැහැනිය!

මම දැක්කා වැලන්ටයින් දවසට කලින් දවසේ ‘ආදරයත් දේශපාලනිකයි’ කියලා ඔබලා සංවාදයක් ලෑස්ති කරලා තිබෙනවා. ආදරයේ සහ ලිංගිකත්වයේ දේශපාලනය මනුස්සයෙක් විදිහට ඔබ අල්ලාගන්නේ කොතැනින්ද?


නිවැරදි විය යුතුයි, ‘ආදරයත් දේශපාලනිකයි?’ ලෙස. එය ප‍්‍රශ්නාර්ථයක්. ලිංගික සම්බන්ධතාවක් ඇතුළේ දේශපාලනය සහ බලය ගලා යෑම තියෙන්න පුළුවන්, ඉරියව්වක පවා. නමුත් මිත‍්‍රයා ආදරය කියන්නේ නිදහසේ ගලා යායුතු දෙයක්. ආදරය ඇතුළට දේශ+පාලනය කියන වචනය එනවාත් එක්කම ඒක වෙනස් වෙනවා. ඉතිං එතකොට එතැනින් එහාට තියෙන්නේ ආදරය නෙමේ, ආදරය කියලා ලේබල් ගහපු වෙන මොකක්දෝ එකක්. මං ආදරය කියන්නේ ඒ බල අරගලයෙන්, අයිතිවාසිකම් කීමෙන්, නිදහස සීමා කිරීමෙන්, පාලනය කිරීමෙන් සහ කොටු කිරීමෙන් තොර සැබෑ ආදරයට. ඔබ අහයි ඒක කොච්චර දුරට ප‍්‍රායෝගිකද, එහෙම මිනිස්සු ඉන්නවාද කියලා. ඔව් ඉන්නවා. ඒ සැබෑ ආදරය විඳින්නන්ට තමා ‘මල් දරුවන්‘ නැත්නම් ‘හිපි‘ කියන්නේ. මං තවම ඉන්නේ ඊට සෑහෙන මෙහායින්. ඒ නිසා මං හිතන්නේ අපි ආදරය විඳින්නේ යමෙකුට ආදරෙයි කියලා ආදරේ ප‍්‍රකාශ කරන්න කලින් ඔහුට හෝ ඇයට හිතින් ආදරේ කරන කාලේදී, එහෙම නැත්නම් හිමිකරගන්න බෑ කියලා පැහැදිලිව පෙනෙන කෙනෙකුට කොටුවෙන් පිට පැනලා ආදරේ කරන කාලේදී විතරයි. එතැනින් එහා හිමි කරගැනීම් ඇතුළේ සුළු වශයෙන් හෝ තියෙන්නේ දේශපාලනය මිස සැබෑ ආදරය නොවෙයි.

ඔබ කාන්තාවක් වීම සහ ඔබ කවිකාරියක් වීම සෑහෙන්න රෝමාන්තිකකරණය කරලා තිබෙනවා. මුහුණු පොත වගේ තැන්වල. යේෂා කියන කෙල්ල සාම්ප‍්‍රදායික ගැහැනියට ප‍්‍රතිවිරුද්ධව තමා හිටවලා තියෙන්නේ. ගැහැනියක් හරි, පිරිමියෙක් හරි එහෙම හිටවලා බලං ඉන්න නිශ්චිත තැනක් තියේද?


මට අනුව නැහැ. ඔබ ගහක් ගලක් නොවෙයිනේ භෞතිකව හෝ මානසිකව හෝ නිශ්චිත එක තැනක ඉන්න. ඔබ ගැහැනියක් වේවා, පිරිමියෙක් වේවා ඔබට නිශ්චිත තැනක් තියෙනවා කියන්නේ ඔබට නඩත්තු කරන්න වෙනවා කියන එක. නඩත්තු කරන්න වෙනවා කියන්නේ අමතර වෙහෙසක්. පිටින් ඉඳන් ලියන නිසා ඔබට අවශ්‍ය නම් මාව සම්ප‍්‍රදායට විරුද්ධ රෝමාන්තික ගැහැනිය වගේ නිශ්චිත තැනක තියන්න පුළුවන්. ඒත් ඉස්සරහට මම රෝමාන්තික කවි සම්පූර්ණයෙන්ම බැහැර කරලා සමාජ විරෝධාකල්ප කවි ලියන්න ගන්න පුළුවන්. ඉතිං එතකොට? මට නම් මම හෝ වෙනත් ගැහැනියක් හරි පිරිමියෙක් හරි එහෙම හිටවලා බලං ඉන්න නිශ්චිත තැනක් නැහැ, ඔවුන් වෙනස් වෙනවා, ගලා යනවා.

‘ලිලැක්‘ එළියට දාපු විදිහත් ටිකක් අමුතුයි. අද කවි පොත් එළියට එන්නේ දේශන, ජනගත කිරීම් වගේ සංදර්ශනීය අවකාශයක. මාර්කටින් තමයි ගොඩාක් තැන්වල තියෙන්නේ. කවි පොත විකුණාගැනීම වගේම කවියෙකු විදිහට සෑහෙන්න ඉදිමිලා සමාජය ඉස්සරහට එන්නේ කොහොමද කියන එක තමයි ඒ ගොඩාක් සල්පිල් වගේ උත්සවවල තිබෙන්නේ..


මම ඇත්තටම සයිබර් අවකාශයේ කිසිම කල්ලියකට හෝ කල්ට් එකකට අයිති කෙනෙක් නෙමේ. මම තනියි. ඉතිං එතකොට මගේ පොත් එළිදැක්වීමකට එන්නේ ඔවුන් නෙමෙයි. මං කොහේ මොනා කළත් ඒ ගැන ගැටලූවක් නැති, සමහරවිට මං වුණත් පළමුවෙනි පාරට අඳුනාගන්න පිරිසක්. ඉතිං බිත්ති හතරක් ඇතුළට ‘ලිලැක්’ කියන නිදහස කොටු කරලා, බර දේශනා තියලා ඒ කල්ට් එකකට කොටු නොවුණු මිනිසුන්ව ඈනුම් ඇරවන්න මට ඕනෑ වුණේත් නැහැ. ලාභ ලැබීමේ චේතනාවක් තිබුණේ නෑ පොතක් කරනවාය කියන හීනයක් හැබෑවීමක් මිස. දුවිලි සුවඳ දැනෙන මහපාරක පදික වේදිකාවක නිදහස් එකෝස්ටික සංගීතයක් එක්ක, පොඩි කප් කේක්, චොකලට්, අයිස් කොෆී වගේ බටහිර කෑම රසත් මුහුකරලා පොතක් රසවිදින්න මෙතෙක් නොලැබුණු ඉතාම ස්වාභාවික ඉඩක් ලබාදෙන්නයි මට ඕනෑ වුණේ. ග‍්‍රීන් පාත් එකේ සිතුවම් කලාවට, සාහිත්‍යමය එළිදැක්වීමක් මුහුවුණේ පළවෙනි වතාවට වුණාට, හැබෑවටම පොතක් රසවිඳින්න එතැනට ආපු මිනිස්සු එකිනෙකාව අඳුනාගනිමින් ඒ තරම් නිදහසේ ඒ හැන්දෑව ගතකළේත්, ඒ ලබාදුන් නිදහස නිසාමයි කියලා මං විශ්වාස කරනවා. ලියපු පොත ඔවුන්ට බලලා තමන්ගේ රසය විඳින්න පුළුවන්කම තියෙද්දී, දේශනා තියලා, වැනුම් වනාගෙන අනුන්ගේ අදහස් ඔළුවට ඔබ්බලා කියවන්න යන රසිකයාට පොතට රාමුවක් හදලා දෙන්නේ මොකටද?

අද මුහුණු පොතේ කවිකාරයෝ කවිකාරියෝ වැහිවැහැලා. කෙනෙකුට කියන්න පුළුවන් කාව්‍යක්කාරකම මේ හරහා පහළට වැටිලා කියලා. තවත් පිරිසක් මේක තාගෝර්මය බුද්ධි ඇසකින් නරඹමින් සතුටු සාද පවත්වන්න පුළුවන්. ඇත්තටම වර්තමාන කවිය කියන ප‍්‍රකාශන මාධ්‍ය ගැන ඔබගේ අදහස සහ කියවීම මොකද්ද?.


මං කවිය කියන ප‍්‍රකාශන මාධ්‍යය දකින්නෙත් අනෙක් ප‍්‍රකාශන මාධ්‍ය දකින විදිහටමයි. එයින් කරන්නේ ඔබේ අදහස් නිදහස් කිරීම සහ එය පිරිසක් අතරට යෑමට සැලැස්වීම. මේ හැම ප‍්‍රකාශන මධ්‍යයකදීම වගේම කවියේදීත් රසවින්දන මට්ටම් සහ අවබෝධය සඳහා බුද්ධිය කියන එක බලපානවා. හැම කෙනෙක්ටම රූමිව, මායා ඇන්ජලෝව, පැබ්ලෝ නෙරූදාව හෝ මහගම සේකරව තේරෙන්නේ නැහැ. ඉතිං එහෙම අය තමන්ට ඉතාම සරලව දැනෙන පද ගැළපුම්වලට (ඇතැම් විට නොගැළපුණත්* කවි කියනවා. ඒවා ලියන අයව කවියන් විදිහට හඳුන්වනවා. එහෙම නැත්නම් ඔවුන් තමාගේ මිතුරෙක් නිසා, නැත්නම් හැමෝම කියන නිසා එහෙමත් නැත්නම් ඔවුන් තමාගේ කල්ලියට අයත් නිසා වැනි විවිධ කාරණා නිසා කවියක් කියා එවැනි කෙනෙක් ඉදිරිපත් කරන ඕනෑම දෙයක් ඔන්න ඔය කියන පිරිස බල්ටි ගහලා, විසිල් දාලා පිළිගන්නවා. අන්න එතැනදී කවි ලිවීම ඔස්සේ ලබා ගත හැකි පේජ් ලයික්ස්, සමාජ අවධානය, ආකර්ෂණය වගේ යම් යම් ලාබ අරමුණු ඔස්සේ කවි ලිවීම ටෙ‍්‍රන්ඞ් එකක් වෙද්දී කවියන් සහ කිවිඳියන් කියන පිරිස වැහි වැහලා ඉන්නවා කියන ඔබේ කතාව මං පිළිගන්නවා. නමුත් ඒක අපේ රසවින්දනයට අනුව සාපේක්ෂයි. ඒ නිසා මුහුණු පොතේ කවියන් සහ කිවිඳියන් ලෙස පෙනී සිටිනා 1000ක් ඉන්නවනම් එතැනින් මගේ රසවින්දනයට අනුව මං කවියන් සහ කිවිඳියන් ලෙස පිළිගන්න පිරිස 50ටත් අඩුයි. එතකොට කවිය කියන ප‍්‍රකාශන මාධ්‍ය ඇතුළෙන් මට සැබෑ රසයක් දිය හැකි කවියන් සහ කිවිඳියන් තවම නම් වැහි වැහැලා නැහැ. ඒ නිසාම මට අනුව නම් කවිකම කියන්නේ තවම දුර්ලභ සහ වටිනාකම් අහිමි නොවූ දෙයක්.