කෞශල්‍ය කුමාරසිංහගේ දෙවැනි නවකතාව වන ‘නිම්නාගේ ඉතිහාසය’ වෙළඳපොළට නිකුත් වී තිබේ. මේ එම නවකතාව ලිවීමේ අත්දැකීම පිළිබඳව කළ සංවාදයකි.



නවකතාවේ ප‍්‍රධාන චරිතය වන නිම්නා උපත ලද දිනය විශේෂයි නේද?


නිම්නා කියන ගෑනු ළමයා උපදින්නේ 1989 නොවැම්බර් 9 වැනිදා. ඒ දවස ගෝලීයවත්, ලංකාවේත් ඉතිහාසයේ ඝෝෂාව වැඩි දවසක්. බර්ලින් තාප්පය බිඳවැටුණු දිනය කියලා ඓතිහාසිකව හඳුන්වන්නේ එදා. නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය අතර දේශසීමා විවෘත කිරීමයි එදින සිද්ධවුණේ. ඒක තනි පුද්ගලයෙකුගේ උපත එතරම් තදින් නොදැනුණු දවසක්. න්‍යායිකව සලකමින් විසිවැනි සියවස අවසාන වන දිනය ලෙස ඒ දිනය හඳුන්වනවා. ලෝක දේශපාලනයෙහි නිදහස හා සමානත්මතාව අතර පසමිතුරුතාව අවසන් වෙලා නිදහස ජයගත් බව කීවේ බර්ලින් තාප්පය බිඳවැටීම යන සංකේතාත්මක සිදුවීමෙන් පසුව.


ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා වැනි විද්වතුන් ඉන්පස්සේ ඉතිහාසය අවසන් වූ බව කීවා. බදියු වැනි කෙනෙක් විසිවෙනි සියවසේ අවසානය ලෙස සංකේතවත් කරන්නේත් 1989 වර්ෂය. මේ වගේ න්‍යායාත්මක කරුණු නවකතාවේ නැහැ. එහෙත් ඇය උපදින්නේ ඒ අවුරුද්දේ. නවකතාව ඇගේ වයස අවුරුදු විසිපහක් වන තුරු ගමන් කරනවා. එහෙත් ඒ අවුරුදු විසිපහ තුළ අවුරුදු සීයක විතර කතාවක් තියෙනවා. ඇගේ මවගේ, මිත්තණියගේ සහ මී මිත්තණියගේ චරිත තියෙනවා. පිරිමි චරිත පවා එහි ඉන්නවා. එහෙත් මේ නවකතාවෙහි ගැහැනු චරිතවලට තියෙන අවධානය වැඩි බව මටත් ඇහෙනවා.


නවකතාවක් ලිවීම අත්දැකීමක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද?


නවකතාවක් ලියන වෙලාව මම ජීවිතය බොහොම තීව‍්‍ර ලෙස විඳින වෙලාවක්. බොහොම රසවත්ව කරන වැඩක්. පළවැනි නවකතාවෙන් අවුරුදු පහකට පසුවයි දෙවැනි නවකතාව එළිදක්වන්නේ. පොතක් කියවන පාඨකයන්, ඒ ගැන ලියැවෙන විචාර, ඇතිවෙන සංවාද නවකතා ලියද්දී අත්‍යවශ්‍ය බව මම දන්නවා. ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව ගැන තවමත් විවිධ ප‍්‍රතිචාර එනවා. එය දෙමළ, හින්දි හා උර්දු භාෂාවලට පරිවර්තනය වූ නිසා නවකතාව ගැන විවිධ භාෂාවලින් කරපු සංවාදවලට පවා මම ගියා.


ඒ සංවාද තිබුණත් නැතත් ලිවීම කියන්නේ මගේ පැවැත්මේ කේන්ද්‍රීය දෙයක්. ලිවීම කියන්නේ කල්පනා කිරීම සඳහා තියෙන වෙනත් ක‍්‍රමයක්. ලියන කෙනෙකුට මා කියන දේ වැටහෙනවා. ලියද්දී ඇඟිලි තුඩු එක්ක බද්ධ වෙලා අකුරු ලෙස මතුවෙන ඇතැම් සිතිවිලි, නොලියන මොහොතක අපි කල්පනා කරද්දී එන්නේ නැහැ. ලියපු දෙයක් කියවන මොහොතක ඒ අදහස මම කලින් හිතපු එකක් නෙවෙයි නේද කියලා හිතනවා. ලිවීම තුළ වෙනම තර්කණයක් තියෙනවා. ඒ දැනුමට පිවිසීමේ හැකියාව ලැබෙන්නේ ලීවොත් විතරයි. ලීවීම තමන් නොදන්නා අඳුරු කලාපයකට ආලෝකයක් වැටීමක්.


ඔබේ පළමු නවකතාව ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ ගැන සැලකිය යුතු තරමේ සංවාදයක් ගොඩනැගුණා. ඒ සංවාදයෙහි උණුසුම තිබියදීම දෙවැනි නවකතාව එළිදක්වන්නට උත්සාහ නොකළේ ඇයි?


ලෝකයේ ඕනෑම නවකතාකරුවෙක් පළවැනි නවකතාව ලියා ඉතා කෙටි කාලයකින් දෙවැනි නවකතාව ලියනවා. මුල් නිර්මාණය ගැන මතකය යන්න කලින් තවත් නිර්මාණයක් වෙනවා. එසේ ලිවීම වරදක් නෙවෙයි, සාමාන්‍ය පුරුද්දක්. අවුරුද්දකට වතාවක් පොතක් ලියන්න පුළුවන් නම් හොඳයි. ඒත් මට ඒක බැහැ.


ඔබ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු වීමත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ඔබට ඇති අත්දැකීමත් නවකතාවට බලපෑවාද?


මගේ අධ්‍යාපනික වැඩකටයුතු සහ මා කළ සමීක්ෂණ ආදියෙන් ලද දැනුමත්, මගේ සමාජ ක‍්‍රියාකාරිත්වයත් නවකතාවට පෝෂණය සැපයුවා. එහෙත් මගේ දේශපාලනයේදී, සමීක්ෂණයකදී හෝ අධ්‍යාපන කටයුත්තකදී ලියන්නේ නැති දේවල් බොහොමයක් නවකතාවේ තියෙනවා. ප‍්‍රබන්ධයක් ලියද්දී මට අනෙක් කලාපවලදී නොලියන දේවල් ලියන්න පුළුවන්. දේශපාලන, සමාජ ක‍්‍රියාකාරිකයෙක් වෙද්දී මට සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ මා කියන දේවල් මෙන්ම නොකියන දේවල් තියෙනවා. නවකතාවට ඒ සීමා නැහැ.


උදාහරණයක් කීවොත්..


මම යම්කිසි දේශපාලන පක්ෂයකට යම් කාලයකදී පෙනීසිටින බව හිතමු. ඒ පක්ෂයට මේ නවකතාවේදී විවේචන පවතින්න ඉඩ තියෙනවා. මම එකඟ නොවෙන අදහස් මේ නවකතාවේ චරිතයකට තියෙන්න පුළුවන්. ජාතිවාදී ක‍්‍රියාකාරකම්වල යෙදෙන චරිතයක් සිටින බව හිතමු. මම ජාතිවාදයට විරුද්ධ වුණත් ඒ චරිතයෙහි බර රකින්නට මට සිද්ධවෙනවා. සමාජ ක‍්‍රියාකාරිකයෙක්ට සාමාන්‍ය සමාජයේදී ජාතිවාදී අදහස් තියෙන කෙනෙක්ව දැඩිව විවේචනය කරමින් කතාකරන්න පුළුවන්. එහෙත් නවකතාකරුවෙක්ට තමන්ගේ චරිතයකට එතරම් නපුරු වෙන්න බැහැ. අප බොහෝ නිර්මාණවලදී දකිනවා යම් නිර්මාණකරුවෙකුගේ අදහස් අනවශ්‍ය තැන්වලින් චරිතවලට බලපෑම් කරන බව. එහෙත් ඒ චරිතයටත් ජීවිතයක් තියෙනවා.


ලංකාවේ නිර්මාණවලදී බොහෝ චරිත නිර්මාණකරුවාගේ පූර්ව නිගමන මත පාලනය කෙරෙන බව පෙනෙනවා. ඒ චරිත කතාකරන දේවල් පවා නිර්මාණකරුවන්ගේ අධිකාරයට අහුවෙනවා…
එසේ කළොත්, ප‍්‍රචාරකවාදී ගතියක් එනවා නේද. අපට අදහස් තියෙන්න පුළුවන්.

නවකතාකරුවා ආගමට පක්ෂ හෝ විරුද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ආගමට බර අයිති චරිතයකට ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඇත්තටම නවකතාවක් ලියද්දී අපි මොනතරම් සැලසුම් හැදුවත්, සමහරවිට එක් චරිතයක් ඇවිල්ලා ඒ සැලසුම් සියල්ල අවුල් කරලා දාන්න පුළුවන්. චරිතයට ජීවිතයක් තියෙන නිසා. සමහර වෙලාවට පොත ඉවරවෙද්දී අපි අකමැති අදහස් තියෙන චරිතයක් ඉතා ශක්තිමත්ව මතුවෙන්නත් පුළුවන්.


මමංකාරය තදින් තියෙනවා නම්, හොඳ නවකතාවක් ලියන්න අමාරුයි. මට අනෙක් හැම චරිතයක් තුළටම දියවෙන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. දුබල මමංකාරයක් තිබීම වැදගත්. ඇතැම් නවකතාකරුවන්ගේ එදිනෙදා ජීවිතයේ මමංකාරය ඔවුන්ගේ නිර්මාණවල දකින්න පුළුවන්. එවැනි නවකතාකරුවන්ට නිර්මාණය අබිබවා මතුවෙන්න ඕනෑ. ඇත්තටම තවත් මනුෂ්‍යයෙක් හිතන විදිය නිරූපණය කිරීම අසීරු කටයුත්තක්. තවත් කෙනෙකු ලෝකය දකින විදියට ලෝකය දකින්න සිද්ධවෙනවා.


ඔබේ නවකතාවෙහි සිදුවීම් පෙළ කලින් හදාගත්ත ආකෘතියකට අනුව පෙළගස්වනවාද?


මම ගොඩක් අපිළිවෙළ කෙනෙක්. මම කටු සටහන් තොගයක් හදාගෙන ලියන කෙනෙක් නෙවෙයි. ඡුායාමය අදහසක් මට තියෙනවා. කෙටි සටහනකුත් තියෙනවා තමයි. එහෙත් ඒක මූලිකම අදහසක් විතරයි. මම නවකතා දෙකම ලීවේ පරිගණකයෙන්.


ඇත්තටම මේ නවකතාව මේ තරම් දිග ඉතිහාසයකට රැුගෙන යන්න මම සැලසුම් කළේ නැහැ. මගේ මුල් නවකතාව ලියද්දී පද්මි වැනි චරිතයකට දීර්ඝ ඉඩක් ලබාදෙන්න මම හිතුවේ නැහැ. ඇය පොඩි වැඩකට ආපු චරිතයක්. ඒත් ඇය දිගින් දිගටම කතාවේ රැුඳෙන්න ගත්තා. ඉන්පස්සේ ඒ චරිතය මා හදාගත් සැලසුම් සියල්ල අවුල් කළා.


මේ නවකතාවේත් එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා. ඒ චරිතය පුංචි කටයුත්තකට ආවා. ඒත් පසුව එයා සම්පූර්ණයෙන්ම වැඬේ අතට ගත්තා. නැවත හැරිලා බලනකොට මේ නවකතාව ගැන මට තිබුණු මූලික අදහස තියෙනවා. ඒත් මම නොසිතූ බොහෝ දේවල් එකතු වෙලා තියෙනවා.


එහෙත් සටහන් තබාගැනීමත් වැදගත්. මම පොඩි නෝට් බුක් එකක් පාරේ යනකොටත්, ?ට නිදාගන්නකොටත් ළඟ තියාගන්නවා. යම් දෙබස් කොටසක්, යම් සිදුවීමක් මට ක්ෂණිකව මතක් වෙනවා. ඒක අමතක වෙන්න කලින් එහි ලියාගන්නවා. ඒ සටහන් බැලූවොත් කිසි කෙනෙක්ට වැටහෙන්නේ නැහැ. දැක්කොත් මට පිස්සු කියලා හිතයි. එතරම් අපිළිවෙළයි. සම්පූර්ණ කතාවේ ආකෘතිය මම සටහන් තබාගන්නේ නැහැ.


ඔබ ලියන්නේ පහළ මධ්‍යම පන්තික මිනිසුන්ගේ ඉතිහාසය. ප‍්‍රභූන්ගේ ඉතිහාසය ලියනවාට වඩා එය අසීරු කටයුත්තක් වුණාද?


මේක ඓතිහාසික නවකතාවක් බව මම කියන්නේ නැහැ. මගේ මූලික අවධානය වර්තමානය වටහාගැනීම. මේ වර්තමානය බිහිවන ක‍්‍රියාදාමය ගැන මම අවධානය යොමු කරනවා. කොළඹ නගරයේ මහා නිවාස අතරමැද්දේ තියෙන ඉතාම පුංචි පහළ මධ්‍යම පන්තික ගෙවල් දැකලා ඇති. නිම්නාගේ ගෙදර එවැන්නක්. මම නවකතාවට තෝරාගන්නේ කළුබෝවිල, කිරුළපන හා නුගේගොඩ ආශ‍්‍රිත කලාපය. මට විවෘත විශ්වවිද්‍යාලයේ සිට කළුබෝවිලට පයින් එන පුරුද්දක් තිබුණා. මහාචාර්ය ජයදේව උයන්ගොඩත් එහෙම එන කෙනෙක්. ඔහුත් මාත් එකට එන අවස්ථා තිබුණා. ඔහු සමග ගත කරන හැම මොහොතක්ම බුද්ධිමය මොහොතක් බවට පත්කිරීමේ හැකියාව ඔහුට තිබුණා.


ලංකාවේ ඉන්නවා ඒ වගේ ඇත්තටම විද්වතුන් යැයි හඳුන්වන්න පුළුවන් සුළුතරයක්. මහාචාර්ය උයන්ගොඩ ඒ සුළුතරය අතර ඉන්න කෙනෙක්. ඔහුට බුද්ධිමය තර්කණයක් පත්තියම් වෙලා තියෙනවා. ඔහු ඉතාම සාමාන්‍ය දෙයක් කියනවා. එහෙත් එය පසුපස න්‍යායාත්මක දැනුමකුත් තියෙන බව පේනවා. අපි දෙන්නා අර පාරේ ඇවිදගෙන එනකොට ඒ පාරෙදී කතාකළ දේවල් මට මේ ප‍්‍රදේශය තෝරාගැනීමට හේතු වුණා.


මම නවකතාව ලියන්න පටන්ගත්තාට පස්සේ ලේඛනාගාරයට ගිහින් පැරණි පුවත්පත් බැලූවා. පැරණි වෙළඳ දැන්වීම් ආදිය දැක්කා. ඊට අමතරව මම පශ්චාත් උපාධිය වෙනුවෙන් ආදරය සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී ආදරයේ ඉතිහාසය ගැනත් අධ්‍යයනය කළා. ලංකාවේ සාහිත්‍යයේදී ආදරයේ විකාශනය සිද්ධවුණ විදිය ගැන මා අධ්‍යයනය කළා.


යටත් විජිතකරණය කරන්නේ චින්තනමය ආක‍්‍රමණයක්. අපි ලෝකය දකින විදිය යටත් විජිතකරණයෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි අපේකමක් හොයන්න පටන්ගන්නේ ඒ ආක‍්‍රමණයෙන් පස්සේ. ජාතියක්, ආගමක්, එක ගැහැනියක් ආදිය ඒ පසුබිමෙහි හැදුණු රාමුවක්. මේ කතාවේ ඉන්න මිලිනෝනා කියන චරිතය ඒ රාමුවේ අග්ගිස්සේ ඉන්න කෙනෙක්. එහෙත් මෙහි ඉන්න අනෙක් චරිත සියල්ල ඒ රාමුව තුළ ඉන්නවා. මට යම් සිදුවීමක් ගැන කරුණු දැනගන්නට අවශ්‍යතාවක් ආවොත් කලින් පරම්පරාවේ අය සමග කතාබහ කළා. වැඩිපුරම මා එක්ක කතාකළ කෙනෙක් තමයි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය. ඇයත් එක්ක සාමාන්‍ය කතාබහක් පටන්ගන්නවා. ලක්ෂ්මන් විජේසේකර මහතාත් එවැනි කතාබහකට එක්වෙනවා.


ඔබ ආචාර්ය උපාධිය සඳහා ඉන්දියාවේ දිල්ලි නගරයට ගියා. එහි ගතකළ වසර කිහිපය නවකතාව ලිවීමට බලපෑවාද?


ඔය කාලයෙන් සැලකිය යුතු කාලසීමාවක් මහාචාර්ය ජයදේව උයන්ගොඩත් ඉන්දියාවේ හිටියා. අප නිතර මුණගැහුණා. අපි දෙන්නා හැන්දෑවට මුණගැහිලා කෑම කන ගමන් කතාකරනවා. නැත්නම් අපි ටිකක් ඇවිදින්න යනවා. සසංක පෙරේරා, ප‍්‍රදීප් ජෙගනාදන් ඇතුළු ඉන්දියාවේ හිටපු ලාංකිකයන් එක්ක කළ ගනුදෙනුව පවා බලපෑවා. ඊට අමතරව මේ කලාපීය චින්තනය තියෙන පිරිස් හමුවුණා. එවැනි මුණගැසීම්, අත්දැකීම් බෙදාගැනීම් එක්ක මේ නවකතාවට පොදු බවක් තියෙනවා. මගේ අත්සනින් පොත පළවුණාට ඒ පසුපස තවත් අය ඉන්නවා.


මට ගෙදරදී හෝ නවාතැනේදී ලියන්න බැහැ. ගෙදරදී ලියන්නට බැරි බව කීම ටිකක් බොළඳ අදහසක් ලෙස පෙනෙන්න පුළුවන්. මම ලියන්නේ කැෆේවලදී. හොඳ කැෆේ වෙන්න ඕනෑ නැහැ. මම සාමාන්‍ය බාර්වලදී පවා ලියනවා. දිල්ලියේ හිටියත්, මම බොහෝවිට දිල්ලියෙන් ටිකක් ඈතට ගිහින් ලීවා. රිෂිකේශ්, හිමාචල් වගේ පැත්තකට ගිහින් පොඩි හෝටලයක සති දෙකක් පමණ නැවතිලා එක දිගට වැඩකළා. දිල්ලියේ හිටියත් මම බොහෝවිට කැෆේ එකක එක දිගට වැඩ කරනවා. ඒවායේ ඉතාම අඩු මිලට තේ එකක් බොන ගමන් විවේකීව කාලය ගත කරන්න පුළුවන්. මම කතාබහට තේමා කරගන්න එදිනෙදා පරිසරයෙන් ඈත්වීම මට උදව්වක් වුණා. භෞතික යථාර්ථයෙන් ටිකක් ඈත්වෙලා, පරිකල්පනයට වැඩි ඉඩක් ලබාගැනීමට හැකි වුණා.

ලංකාවෙන් ඈත්වුණාම ලිවීමේදී විනයකුත් ඇතිවෙනවා. ලංකාවේදී යාළුවන්ව මුණගැහෙන්න සිද්ධවෙනවා. විවිධ දේවලට මැදිහත් වෙන්න වෙනවා. මේ නවකතාව මම අවුරුදු තුනහමාරක් තිස්සේ ලීව විශාල නවකතාවක්. ලංකාවේ හිටියා නම් කතාවෙහි සියලූ දේ හිසේ දරාගන්න අමාරුයි. විදේශගත වීම සෑහෙන පහසුවක්. පොතෙන් සීයට දහයක් පමණයි ලංකාවේදී ලීවේ. මම මුලින්ම කීවා ලිවීම රසවත් අත්දැකීමක් බව. ඒ අත්දැකීම මට දැන් හුරුවෙලා තියෙන්නේ ඇවිදිමින් ලිවීමෙහි.