මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙනු ඇති බවත්, මේ වනවිට ගෝඨාභය රාජපක් ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු ප‍්‍රමාද වීමේ ඉඩක් තිබෙන බවත් වාර්තා වෙයි.

මෙම ප‍්‍රමාදය සඳහා බලපා ඇති එක් කරුණක් වන්නේ තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ අයදුම්පත‍්‍රය ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ඉදිරිපත් කර තිබීමත්, ඒ සඳහා සාමාන්‍යයෙන් මාස කිහිපයක සිට අවුරුද්දක් දක්වා කාලයක් ගතවීමත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අයදුම් කිරීමත් සමඟ ඔහුට එරෙහිව ඇමෙරිකානු අධිකරණවලට අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වනු ඇතැයි අනුමාන කෙරෙයි. යම් පුරවැසියකුට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත්, එම පැමිණිල්ල විභාග කර අවසන් වන තුරු ඒ පුද්ගලයාගේ පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධ කටයුතු ක‍්‍රියාත්මක නොවීම මෙම ප‍්‍රමාදය සඳහා අනෙක් හේතුව වශයෙන් සැලකේ.

දැනට නිල නොවන ආකාරයට ප‍්‍රචාරය වෙමින් තිබෙන්නේ, ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිඳ වන සොනාලි වික‍්‍රමතුංග, වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි. සොනාලි වික‍්‍රමතුංග මහත්මිය දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටී. මේ අතර අනිද්දා සමඟ අදහස් දැක්වීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙකු වන ප‍්‍රසන්න රණතුංග මහතාද ප‍්‍රකාශ කළේ, ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගතහොත් පමණක් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබෙනු ඇති බවයි. මාර්තු 24 වැනිදා අනිද්දා පුවත්පත වාර්තා කළ ආකාරයට, මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර මාර්තු 12 වැනිදා පැවති සාකච්ඡුාවේදීද, මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂට කියා ඇත්තේ අපේක්ෂකත්වය ලබාගන්නට නම් ඉක්මනින් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත යුතු බවය. එසේ නොකර අපේක්ෂකත්වය බලාපොරොත්තු නොවන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභයට උපදෙස් දී ඇත.