කැලණි විශ්වවිද්‍යාලයේ සීසීටීවී කැමරා ඉවත් කිරීම සහ උසාවි නියෝග කඩ කරමින් මහාමාර්ගය අවහිර කිරීම යන හේතු මත, තරුණ භික්‍ෂූහු කිහිප දෙනෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදහ. මේ සිද්ධි දෙකම විශ්වවිද්‍යාල ප‍්‍රජාව මුල්වූ සිද්ධි වෙයි. අන්තර්ජාල වේදිකාවේ කිසිවෙකු නීතියට කොටුවූ ගිහි පැවිදි ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් ගැන අනේ අපොයි කීවේ නැත. යහ පාලන යුගයේ අලි හොරකම්, අධිකරණයට අපහාස කිරීම් ආදි සිද්ධීන් නිසා උසාවියට ගාල් කළ භික්‍ෂූන්ට පක්‍ෂව දැක්වූ ප‍්‍රතිචාරයන් මීට වඩා බෙහෙවින් වෙනස් වේ. නව ප‍්‍රවනතාව සත්තකින්ම යහපත් ය. හැට නව ලක්‍ෂයක් ජනතාව පත් කළ නව පාලකයා කී ආකාරයට රටේ නීතිය විනය සම්බන්ධව ළෙන්ගතුකම් තිබිය යුතු නැත. එක් අන්තර්ජාල ප‍්‍රකාශකයෙකු අන්තරය, මෙම තරුණ භික්‍ෂූන් පළිහක් හැටියට යොදාගන්නා බව සටහන් කර තිබිණ. අන්තරය පමණක් නොව රාජපක්‍ෂලා පවා ඒ වැඬේ කළේය.

භික්‍ෂුව සතු නායකත්වය මෙන්ම, සාමාජික වගකීම් කිසිවෙකු ප‍්‍රතික්‍ෂේප නොකළ යුතුවේ. හේතුව අප සමාජය තුළ භික්‍ෂුවට පැවරුණ විශාල ඓතිහාසික කාර්යභාරයක් පවත්නා හෙයිනි. මාදුළුවාවේ සෝභිත හිමියන් ඊට එක් නිදසුනකි. එහෙත් කිසිදු භික්‍ෂුවකට සිවුර අවියක් ලෙස දක්වා රටේ නීතියට සාමයට මිනිස් අයිතිවාසිකම්වලට අත තැබීමට රටේ නීතියෙන් හෝ ශාසනික රීතීන්ගෙන්ද අවසරයන් නැත. ගලගොඩඅත්තේ භික්‍ෂුවට සිරදඬුවම් නියම කළ විට, සිවුර සිර කළ නොහැකි බවට තර්ජනය කළහ. ඒ සාසන ගෞරවය නිසා බවට සැක නැත. සත්‍ය ලෙසම අද බෞද්ධ භික්‍ෂුව ඓතිහාසිකව උපයා ගත්  ආවේණික ගරුත්වය අහිමි කරගෙන සිටියි. ඔවුන් එක එකාගේ අතකො`ථ බවට පත් ඇත. වර්තමාන භික්‍ෂුව කවුදෝ  විසින් සමාජයට එරෙහිව යුද ටැංකි ලෙස පාරට බැස්සවීම නතර වන්නේ කවදාද? ඔවුන් අද වන විට පරමාර්ථ ගවේෂී නොවෙති. ශ‍්‍රමණ සාරුප්‍යයෙන් ඈත් වී හමාරය. අතුරලියේ රතන, අම්පිටියේ සුමංගල, ගලගොඩඅත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ආදි ප‍්‍රකට භික්‍ෂූහු ඊට නිදසුන් වෙති. නොවැම්බර් 16න් පසුව එකී භික්‍ෂුන් හැසිරෙන්නේ (ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙස නොවේ.* කඳවුරුවල ගාල් කර සිටින යුද සෙබළුන් මෙන් ය. (මහ මැතිවරණයට* නැවත අණ ලැබෙන තෙක් බලා සිටිත්..?  ඍජු පටිපන්න බෞද්ධ භික්‍ෂු සාධකය එසේ විය යුතු නැත. භික්‍ෂුත්වය අමතක කළ සමහර භික්‍ෂූහු වහලූන් සේ හැසිරෙති. සීසීටීවී කැමරා ඉවත් කළ පසුව එකී භික්‍ෂුව කළ ප‍්‍රකාශය හරහා බෞද්ධ භික්‍ෂුව සතු සමාජ වගකීම් ගැන එකී ශිෂ්‍ය භික්‍ෂුවට කිසිදු අවබෝධයක් නොපැවති බව පැහැදිලි විය. පුද්ගලයෙකු නිල ඇඳුමක් පැළඳි විට, ඔහුගෙන් මෛති‍්‍රය උපේක්‍ෂාව අපේක්‍ෂා කළ නොහැකිය. පුද්ගලයෙකු චීවරයක් දරන තෙක් ඔහු කුමන ආස්ථානයක පසු වුවද, එකී පුද්ගලයා චීවරය දරන්නෙකුසේ හැසිරිය යුතුවේ. කිසිවෙකු චීවරය සන්නද්ධ ඇඳුමක් ලෙස භාවිත කිරීම අනුමත කළ නොහැකිය.

1946 පෙබාරවාරි 13 වෙනි දින ප‍්‍රකාශිත, විද්‍යාලංකාර පිරිවෙනේ ඓතිහාසික ප‍්‍රකාශයේ මෙසේ දැක්වේ. ‘අද පවත්නා ආරාම පන්සල් ජීවිතය, පිරිවෙන් ජීවිතය, සිංහල සංස්කෘතිකාදි භාෂා ශාස්ත‍්‍ර ඉගෙනීම හා ඉගැන්වීම, විභාග ජය ගැනීම, පොත්පත් පත‍්‍ර ස`ගරා සකස් කිරීම, නායක පදවි දීම හා නිලතල දැරීම ආදි කුදුමහත් කටයුතු ගැන සලකා බලන කල භික්‍ෂු ජීවිතය වෙනස් වී තිබෙන තරම පැහැදිලිව පෙනේ. එබැවින් විනය ශික්‍ෂාපද වෙනස් නොකළ නමුත් ජීවිතය වෙනස් වී  තිබෙන බවත් එම වෙනස්වීම නොවැළැක්විය හැකි දෙයක් බවත් පිළිගත යුතුය.’ කිරිවත්තුඩුවේ ශී‍්‍ර ප‍්‍රඥාසාර, යක්කඩුවේ ප‍්‍රඥාරාම, වල්පොල රාහුල ආදි යතිවරුන් කෙටුම්පත් කළ මේ ප‍්‍රකාශය අදටත් අරගලකාරී භික්‍ෂූන්ට ලබාදෙන මාර්ගදේශකත්වය අතිමහත්ය. මෙහි දැක්වෙන වෙනස පාරට පැන නීතිය කඩා ජන ජීවිතය අඩාල කිරීම හෝ සැදැහැති බෞද්ධයන් තුළ අප‍්‍රසන්නභාවය ඇති කිරීම නොවේ. ‘එම වෙනස්වීම නොවැළැක්විය හැකි දෙයක් බවත් පිළිගත යුතුය. ඒ විනය ශික්‍ෂාපද වෙනස් නොකිරීමේ අවබෝධය මතය.’ ගිහියන් මේ ප‍්‍රකාශය විග‍්‍රහ නොකළ යුතුවේ. එහෙත් කඩිනමින් භික්‍ෂු සමාජය මේ ගැන යම් කියවීමක් කළ යුතුව ඇත.

ඉතිහාසය පුරා බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කළ සමාජ හා දේශපාලනික මැදිහත්වීම් බොහෝය. එහෙත් ඒ සෑම ව්‍යාපාරයක්ම පාහේ අරමුණක් නොදැක අතරමග ඇනහිටි බව පැහැදිලිය. වල්පොල රාහුල හිමි ප‍්‍රමුඛ විද්‍යාලංකාර පිරිවෙනේ භික්‍ෂූහු වහන්සේ කෙටි කලක් තුළ පසුබා ගියහ. ඉන්පසුව බෞද්ධ භික්‍ෂුන් වහන්සේ 1956  අරගලය මුවහත් කළහ. එය සංස්කෘතික පෙරළියක් ලෙස විස්තර වේ. එහෙත් එකී පෙරළිය තුළ කිසිදු සංස්කෘතික වටිනාකමක් නොතිබිණ. පැවතියේ බෞද්ධ හා සිංහල ජනතාව ජාති ආගම් අරමුණ මත ප‍්‍රකෝප වීම පමණකි. එකම සතියේ දෙදිනක් තුළ අනෛතික කි‍්‍රයාවන්ට මූලිකවීම හෝ එවැන්නක් සඳහා පිරිස් මෙහෙයවීම මත භික්‍ෂූන් පිරිසක් රිමාන්ඞ් කර ඇත. ඒ සිද්ධි දෙකම සාසනික නොවේ. ජාතික නොවේ. මතවාදීව විරෝධාකල්පයෙන් රටේ නීතියට අභියෝග කිරීමකි.  එවැන්නක් කළ හැකිද?  කළ හැකි නම් රටට නීතියක් විනයක් අවශ්‍ය නොවේ.

කැලණි විශ්වවිද්‍යාලයේ පොදු දේපල විනාශ කිරීම බරපතළ තත්වයකි. රිමාන්ඞ් කළ පැවිද්දාගේ භික්‍ෂූත්වය වෙනුවෙන්  කිසිදු පාර්ශ්වයක් මෙතෙක් කරුණු දක්වා  නැත. අප මෙහිදී අමතක නොකළ යුතු දෙයක් ඇත. වර්තමාන පාලනය ගොඩ නැගීමට මුල්වූ ගලගොඩඅත්තේ, උඩුවේ ආදිහු උසාවි දක්කන විට කතා කළ  භික්‍ෂූන් කිසිවෙකු මේ සිද්ධියේදී දක්නට නැත. 1956 දේශපාලන පෙරළිය හරහා ජනතාව බොහෝ දේ අපේක්‍ෂා කළහ. එහෙත් සිංහල දෙමළ ආරවුල මත භික්‍ෂුන් වහන්සේ එකී ප‍්‍රශ්නයට මැදිහත්වූ ආකාරය නිසා ඉතිහාසයේ බොහෝ නිවැරදි කළ නොහැකි කි‍්‍රයාදාමයන් සිදුවිය. ඒ සඳහා දිය හැකි ප‍්‍රකට උදාහරණය බණ්ඩාරනායක-චෙල්වනායකම් ගිවිසුමය. එය ඉරා විසි කරන ලෙස අගමැති බණ්ඩාරනායකට භික්‍ෂූන් බලකළේ රාජ්‍ය නායකයා වෙත පැවරුණ වගකීම් හෑල්ලූ කරමිනි. එදා එසේ නොහැසිරුණා නම්, තිස් අවුරුදු යුද්ධය ඇති වන්නේ, දකුණේ බෝම්බ පිපිරෙන්නේ නැත.

2014 වසරෙහි අගභාගයේ පොදු අපේක්‍ෂකත්වය ගැන සමාජය තුළ කතාබහක් ඇති විය. එහිදී බොහෝ් දෙනා අදහස් කළේ මාදුළුවාවේ හාමුදුරුවන් වහන්සේ ඒ සඳහා සුදුසු බවය. එය විවේචනය කළ එක් විචාරකයෙකු කීවේ එය අයතුල්ලා කුමේනි වර්ගයේ සම්ප‍්‍රාප්තියක් බවය. එහෙත් ඉහළ පෙළේ සාකච්ඡුාවක් අතර, කතෝලික පූජා ප‍්‍රසාදිවරයෙකු කීවේ පොදු අපේක්‍ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමි ඉදිරිපත් විය යුතු බවය. එවැන්නක් සිදුවුණොත් අන්‍යාගමික ලබ්ධිකයන්ගේ සහාය ගත හැකිද යන්න ප‍්‍රශ්න කෙරිණ. ඊට පිළිතුරු දෙමින් පූජා ප‍්‍රසාදිවරයා කීවේ, බෞද්ධ භික්‍ෂුව සමාජය කෙරෙහි දරන වගකීම කිසි විටෙක අත් නොහරින බවය. ඒ සත්‍යය නොවිය හැකිය. එහෙත් එය ගැඹුරු අවබෝධයකි. සීසීටීවී කැමරා කඩා දැමීමෙන් ග‍්‍රාම නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට කුණුහරුපයෙන් බැනීමෙන්, මිනිසුන්ට පහරදීමෙන් ඉහත කී පූජා ප‍්‍රසාදිවරයාගේ අවබෝධය හැකිළෙනවාය. මෙය බරපතළ තත්වයකි. පූජා ප‍්‍රසාදිවරුන් එසේ කල්පනා කළාට සමහර බෞද්ධයෝ එසේ නොසිතති. එහෙම සිතයි නම් දුමින්ද සිල්වා නිදහස් කරවා ගැනීමට බෞද්ධ භික්‍ෂූන් කඬේ යවන්නේ නැත. අලි සොරකම් කළ භික්‍ෂූන් වෙනුවෙන් සාමණේරවරු පෙළගස්වන්නේ නැත.

නොවැම්බර් 16 තෙක් බුද්ධ සාසනය, සංඝ ගෞරවය, මුස්ලිම් ව්‍යාප්තවාදය,  බැංකු සොරකම්, රාජ්‍ය දේපළ, ආබාධිත රණවිරුවන්, සිරගත කළ රණවිරුවන් ගැන කතා කළ සමහර භික්‍ෂූන් අද කතාකරන්නේ දුමින්ද සිල්වා වෙනුවෙනි. එකී හැසිරීම භික්‍ෂුන් කඬේ යාම පිළිබඳ හොඳම නිදසුනකි. ඒ සියල්ල අතර, භික්‍ෂුවට දේශපාලනය අකැප වැනි මතයක් සමාජගත වෙමින් පවතී. ඒ ඇයි? සාසනය කෙරෙහි පවත්නා ගෞරවයෙන්ද? නැත. මහින්දට වෙනස් ගමනක් යාමට කල්පනා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට භික්‍ෂූන්ගේ දේශයට, නීතියට, ජනතාවට ඉසිලිය නොහැකි අධිපතිවාදය අවහිරයක්ව හිසරදයක්ව ඇති බැවිනි. නැගෙනහිර කෙළවරක අන්‍ය ලබ්ධික ලෝගුවකින් සැරසුණ පුජකයෙකුගේ පූජකත්වය ගැන විමසීමට මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමන භික්‍ෂුවට අවසර දුන්නේ කාදිනල් මැල්කම් රංජිත්ද? ඒ ආකාරයට භික්‍ෂුවකගෙන් එසේ භික්‍ෂූත්වය ගැන ඇසුවා නම් ලැබෙන උත්තරය කනේ පාරකි. සමාජ අසාධාරණත්වය ඇත්තේ ඒ වෙනස තුළය. රටේ නීතිය කි‍්‍රයාත්මක වන්නේ ඇදහීමකට සම්බන්ධ පිරිසකගේ ප‍්‍රමාණයෙන් නොවේ. ජාතියක ගෝත‍්‍රයකට ඇතුළත් සාමාජික පිරිසගේ ප‍්‍රමාණයට නොවේ. එකී ඇදහීම දරන හෝ කුලය ගෝත‍්‍රය නියෝජනය කරන පුද්ගලයාගේ මනුෂ්‍යත්වයේ ප‍්‍රමාණයටය. අදටත් මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව ගැන රජය තීරණයක් නොගන්නේ ඒ නිසාය. සත්තකින්ම විවෘත සමාජයේ පිරිසකට පමණක් එසේ මුහුණ වසා සිය අනන්‍යතාව ස`ගවා සිටීම නීතියට පටහැනිය. අනෙක් පුද්ගලයන්ගේ ආරක්‍ෂාවට එකී හැසිරීම අනතුරකි.

භික්‍ෂුව තම සීමා ඉක්මවා යා යුතු නැත. බුදුන් මුගලන් හිමියන්ට වදාළේ ලෝක විෂය පවා අචින්ත්‍ය බවය. රාජ්‍ය පාලන විෂය බෞද්ධ භික්‍ෂුවට යම් ප‍්‍රමාණයකට අකැපය. හේතුව භික්‍ෂුවද රාජ්‍ය නීතියට යටත් නිසාය. භික්‍ෂුන්ට නීීති පැනවීමට ගිහියන්ට බෑ යන්න තකතීරු ගොන් කතාවකි. භික්‍ෂුව කලහකාරි වීම, පාරට බැසීම පාලකයන්ට නොව, රටේ පැවැත්මට අහිතකරය. එම්සීසී ගිවිසුමට එරෙහිව උපවාස කළ ආරණ්‍යවාසි භික්‍ෂුව අපවත් වෙලාද? නැත. සත්තකින්ම එදා උපවාසය හරහා යම් දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් චිවරය අවභාවිත කිරීම හැර වෙන යමක් සිදුවුණේ නැත. වසර සිය ගණනකට පෙර මේ රටේ ගෝඨාභය නමින් රජෙක් විය. හෙතෙම අධර්මවාදී භික්‍ෂුන්ගේ පිටේ හණ ගසා රටින් පිටුවහල් කළේය. අද සිටින්නේ ගෝඨාභය නම්වූ ජනාධිපතිවරයෙකි. මැදගොඩ අභයතිස්ස භික්‍ෂුව ලලිත් වීරතුංගලාට නියම කළ දඩය ගෙවීමට, පිණ්ඩපාතික පාත‍්‍රය ගෙන පාරට බැස්ස කාලයේ රට පාලනය කළේ ගෝඨාභය නම් රජු නම් පිටේ හණ ගසා රටින් පිටුවහල් කරනු නියතය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ පාලකයා වූ පසුව බොහෝ සාධනීය ඇමතුම් පැවතුම් සිදුවෙනු පෙනේ. භික්‍ෂුන්ට දේශපාලනය තහනම් කළ යුතු බවට අස්ගිරි මහ නාහිමියන් කළ ප‍්‍රකාශය එවැන්නකි. එසේම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් කඩිනමින් සංශෝධන සහිතව හෝ ථෙරවාද කතිකාවත් පනත නීතිගත කොට භික්‍ෂූන් පාලනය කිරිම පිණිස නිකායික කථිකාවත් බල ගන්වා ගැනීම කළ යුතුවේ. එසේ නොවන්නට, ශී‍්‍ර සම්බුද්ධ අර්හත් ධජය කහකඩයක් වෙන දවස ඈතක නොවනු ඇත. x

x නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න