‘කාගෙද යකෝ මේ අමුඩ කෑලි’ රෙදි වේලන වැලේ තිබෙන කපු රෙදි කැබලි දැක අයියා එසේ කියමින් බැණවැදුණු හැටි සිහිපත් වෙයි. අප සිටියේ නාගරික නිවාස තිබුණු මාවතක නිවසකය. දන්නා තරමින් ඒ මාවතේ ජීවත් වූ සෑම කාන්තාවකම පාහේ තමන්ගේ ඔසප් දිනයේදි අඳින්නට පුරුදු වී සිටියේ රෙදි කැබැල්ලක්ය. ඒ රෙදි කැබලි හැඳින්වුවේ ‘අමුඩ’ යනුවෙනි. සනීපාරක්ෂක තුවා කියා දෙයක් තිබෙනවාද කියාවත් ඒ කාන්තාවන් අතරින් බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. බැලූ බැල්මට ඒ කතාව අතිශයෝක්තියක් බව කෙනෙකු කිව හැකිය. එහෙත් එය යථාර්ථයයි. මමද සනීපාරක්ෂක තුවා යනු කුමක්දැයි දැන නොසිටියෙමි. සනීපාරක්ෂක තුවා ගැන දැන සිටි කෙනෙකුට වුව ඒවා මිලදී ගැනීමට හැකියාවක් තිබුණේ නැත.


එකල මගේ අම්මා, අක්කා මෙන්ම මාද සනීපාරක්ෂක තුවා ඇන්දේ නැත. ඇත්තය. සනීපාරක්ෂක තුවා පාවිච්චි නොකිරීමේ අසීරුව මමද විඳ ඇත්තෙමි. ඒ නිසාම සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ පොරොන්දුවේත්, සනීපාරක්ෂක තුවා පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් ඇතිවීමේත් වැදගත්කම මම හොඳින් දන්නෙමි. ඒ නිසා මේ කතාව ගැන අනුන්ගේ අත්දැකීම් නොව, මගේම අත්දැකීම් බෙදාගත යුතු බව සනීපාරක්ෂක තුවා සංවාදය මතුවෙද්දී ඉටා ගත්තෙමි.


මා වැඩිවියට පත්වුණාට පසු මාසිකව ඔසප් වී ලේ ගලන විට අක්කා මගේ අතට රෙදි කැබැල්ලක් දී, යට ඇඳුමට කටු දෙකක් ගසා එය අඳින්නැයි උපදෙස් දුන්නාය. මේ රෙදි කැබැල්ල ඇඳ සිටීම කෙතරම් අසීරු අත්දැකීමක්දැයි වචනවලින් විස්තර කළ හැක්කක් නොවේ. ලංකාවේ සිටින කාන්තාවන් ලක්ෂ ගණනක් ඒ අත්දැකීම විඳ ඇත. එය කෙතරම් අසීරු අත්දැකීමක්දැයි ඒ සියලූ කාන්තාවෝ දනිති.


මේ කර්කශ රෙදි කැබලි ඉකිල්ලේ තබාගැනීමටත් වඩා අසීරු කටයුත්ත වන්නේ රෙදි කැබලි නැවත පාවිච්චිය සඳහා සෝදාගැනීමයි. මගේ ජීවිත කාලය තුළ ඒ රෙදි කැබලි සේදීම තරම් අප‍්‍රසන්න අත්දැකීමක් තවත් තිබේදැයි කල්පනා කිරීමටවත් නොහැකිය. රෙදි කැබැල්ලකින් රුධිරය වහනය වීම හරිහැටි නවතින්නේ නැත. අනිවාර්යයෙන්ම රුධිරය යට ඇඳුමටත් ගමන් කරයි. ඇතැම්විට ඇඳ සිටින ඇඳුමටත් ඒ රුධිරය ගමන් කරයි.


රුධිරය තැවරුණු ඇඳුම් වතුර දමමින් කොතරම් සෝදා හැරියත් ඉන් වහනය වන අප‍්‍රියජනක දුගඳ ඉවසා දරා ගැනීම කළ නොහැක්කකි. කෙතරම් සේදුවද ඒ රෙදිවලින් රුධිරයෙහි දුගඳ ඉවත්වෙන්නේ නැත. අසල්වැසි නිවෙස්වල කාන්තාවෝ ඒ රෙදි කැබලි වේලා, නැවතත් ඊළඟ මාසය දක්වා අල්මාරියේ තබාගනිති. එය අනුමානයක් නොවේ. අනුන්ගේ අත්දැකීමක් නොවේ. මගේම අත්දැකීමකි. නැවත නැවතත් මෙවැනි රෙදි කැබලි පාවිච්චි කරද්දී විෂබීජ ශරීරගත වීමේ අවදානම කෙතරම්දැයි සිතාගත නොහැකි තරම්ය.


මගේ අම්මා කලෙක විදේ්ශගත රැුකියාවක යෙදුණාය. ඇය විදේශගතව සිටියදී සනීපාරක්ෂක තුවා හෙවත් පෑඞ් මිලදී ගෙන පාවිච්චි කළ බව ඇය කියා ඇත. එහෙත් ලංකාවේදී ඇයද රෙදි කැබලි පාවිච්චි කළාය. අපගේ නිවසේ කාන්තාවෝ තිදෙනෙකි. ඉතින්, සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට වඩා රෙදි කැබලි ඇඳීම ලාභදායකය.


අක්කා මට වඩා අවුරුදු අටක් වැඩිමහල්ය. ඇය මුල්වරට සනීපාරක්ෂක තුවායක් ඇන්දේ පළමු දරුවා ලැබීමෙන් පසුවය. දරුවෙකු ලද පසුව සනීපාරක්ෂක තුවා අඳින ලෙස මාතෘ රෝහලෙන් නිර්දේශ කර තිබුණි. ඇය සනීපාරක්ෂක තුවා ඇන්දේ ඒ නිසාය. අසළ ෆාමසියකින් සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ගෙන ඒම පැවරුණේ මටය. වෙළඳසැලෙන් සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ඉල්ලූ විට එතැන සිටි අය මා දිහා බැලූවේ මා අපරාධයක් කළ කෙනෙකු ලෙස සලකමින් මෙන්ය.


ඇතැම් විට කාන්තාවන් සනීපාරක්ෂක තුවා පාවිච්චි නොකර අමුඩ යැයි හැඳන්වූ රෙදි කැබලි පාවිච්චි කරන්නට හේතුව වන්නේ සනීපාරක්ෂක තුවා වෙළඳසැල්වලින් මිලදී ගැනීමට තිබෙන ලැජ්ජාව නිසා විය යුතුය.
එකල අප ජීවත්වූ මාවතේ පොදු පයිප්පය අසළ කාන්තාවන් රෙදි කැබලි සේදීම පවා බොහෝ දෙනෙකුගේ පිළිකුලට හේතුවන කාරණාවකි. ‘අප්පෝ අර ගෑනි අතන අමුඩ සෝදනවා. මල ජරාව, දවසම මූසලයි’ වැනි කතා පිරිමින් කියන්නේ එවැනි අවස්ථාවකය. ඒ පෙදෙසේ පිරිමි හිතන්නේ එවැනි අවස්ථාවක් දැකීම අසුබ කාරණාවක් බවය.


සනීපාරක්ෂක තුවා යනු කුමක්දැයි බොහෝ කාන්තාවන් දැන නොසිටි බව මම කීවෙමි. ඇත්තෙන්ම මාද ඒ ගැන දැනගත්තේ වැඩිවියට පත්වීමෙන් සෑහෙන කාලයකට පසුය. පාසලේ සෞඛ්‍ය පාඩමටවත් සනීපාරක්ෂක තුවා ගැන කියා දුන්නේ නැත. රූපවාහිනියේ සනීපාරක්ෂක තුවා ගැන දැන්වීම් විකාශය වූ නිසා දිනක් අප ඒ ගැන ගුරුවරියකගෙන් විමසූ විට ඇය උරණ වූ අන්දම අදටත් මට හොඳහැටි මතකය.


රෙදි කැබලි ඇන්දාට පසුව රුධිරය ඇඳුම්වලටම කාන්දු වන බව කලින් කීවෙමි. ලොකුම ගැටලූව පාසල් සිසුවියන්ටය. සුදු ගවුම පසුපස ලේ බිංදු තිබෙනවාදැයි නිතර මිතුරියන්ගෙන් අප විමසන්නේත්, මිතුරියන් අපෙන් විමසන්නේත් ඒ නිසාය. සනීපාරක්ෂක තුවා ඇන්දත් අද පවා ඇඳුමට රුධිරය කාන්දු වී ඇතිදැයි ඉඳහිට චකිතයක් දැනෙන්නේ එදා පුරුද්දට විය යුතුය.


සනීපාරක්ෂක තුවා ගැන සංවාදය ඉහළට මතුවීමෙන් පසු, ඒ මාතෘකාව ගැන ඉතාම පැහැදිලි දත්ත සහ තොරතුරු දැනටමත් සමාජගත වී හමාරය. සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදිය නොහැකි බවට අකුරු කරන අය අතර බොහෝ පිරිමින්ද සිටිනු දැකීම පුදුමයට කාරණාවක් විය. කාන්තාවන් වෙනුවෙන්ම පෙනී සිටින බව හඟවන එක් ලේඛිකාවක ලියා තිබුණේ නොමිලයේ සනීපාරක්ෂක තුවා දෙන බව කීම කාන්තාවන්ව හිඟන තත්වයට ඇදදැමීමක් බවය.


එහෙත් 2018 වර්ෂයේදී කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදෙන්නට පටන්ගත්තේ ලොව බොහෝ රටවල් අතරින් දියුණු, ධනවත් රටක් ලෙස සලකන ස්කොට්ලන්තයයි. එය ස්කොට්ලන්තයේ කාන්තාවන්ව හිඟමනට ඇදදැමීමක් ලෙස කිසිවෙකු අකුරු කළේ නැත. ලොව දියුණුම රටවල සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදෙන වැඩසටහන් ඇත.


ආර්තවය ගැන කතාව මතුවූ විට එය උපහාසයට ලක් කරන, එය ලැජ්ජා නැති කතාවක් යැයි කියන බොහෝ අය පෙන්වන්නේ තමන්ගේ ගෝත‍්‍රිකත්වයෙහි තරමය. එලෙස කතාකරන බොහෝ පිරිමින් තමන්ගේ සහකාරියගේ, මවගේ, දියණියගේ ආර්තවය ගැනවත් අවධානයක් යොමු කරනවාදැයි සැක සහිතය. මේ ගැන කතාකරන කාන්තාවන් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නට සමාජීය, ආර්ථික, සංස්කෘතික පසුබිමක් නැති බොහෝ දෙනෙකු ගැන සිහිනෙන්වත් අසා නැතිවා විය යුතුය.


අමතක නොකළ යුතු වැදගත් කාරණාවක් ඇත. මා ජීවත්වුණේ ලංකාවේ දුෂ්කර ගම්මානයක නොවේ. ආර්ථික අගනගරය මැද්දේය. මා ඉහත අත්දැකීම් ලැබුවේ වසර විස්සකට තිහකට පෙර නොවේ. වසර දහයක් ඇතුළතය. අදටත් මේ තත්වයන් බොහෝදුරට එලෙසම පවතින බව මම හොඳින් දනිමි. අනෙක මා අයත්වුණේ ඉතා අඩු ආදායමක් තිබුණු අතිශය දිළිඳු පවුලකට නොවේ. ලංකාවේ දිළිඳු යැයි සැලකිය හැකි පවුල්වලට වඩා බොහෝ යහපත් ආදායමක් මා ඉහත කී මාවතේ ජීවත්වුණ පවුල්වලට තිබුණි. සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ලංකාවේ කාන්තාවන් අතරින් සීයට 30ක් පමණක් බව සමීක්ෂණ ඇසුරෙන් කියන කතාවය. ඒ අනුව ලංකාවේ තත්වය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත.


දියුණු රටවල් සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදෙන තැනට පත්වන්නේ මන්දැයි අමුතුවෙන් කල්පනා කළ යුතු නැත. දරිද්‍රතාව ඒ රටවලටද අමුතු තත්වයක් නොවේ. ‘පීරියඞ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දරිද්‍රතාව’ යනු ලෝකයේ දියුණු රටවල පවා දැවැන්ත සංවාදයකි. අදටත් ‘ආර්තව සමානත්මතාව’ වෙනුවෙන්, ලොව පුරා විරෝධතා පැවැත්වෙයි. ආර්තවය සිදුවන්නේ ධනය ඇති කාන්තාවන්ට පමණක් නොවේ.


සනීපාරක්ෂක තුවා නොහැඳ සිටීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලූ අතිශය භයානකය. නැවත නැවතත් රෙදි කැබලි ඇඳීමෙන් ලංකාවේ කාන්තාවන්ගේ සිරුරුවලට විෂබීජ ඇතුළත්වීම්, චර්ම රෝග ආදියට මුහුණදෙන්නට සිදුව ඇති අවස්ථා කෙතරම්දැයි කිසිවෙක් සමීක්ෂණය කර නැත. කාන්තාවන්ගේ පෞරුෂයට රෙදි කැබලි ඇඳීමෙන් සිදුව ඇති බලපෑමත්, ඒ නිසා ඇතිවන මානසික ප‍්‍රශ්න ගැනත් ගණනය කළ නොහැකි තරම්ය. රෙද්දක් හැඳ සිටීම මානසික වශයෙන් මහත් පීඩාවක් ගෙනදෙන කාරණාවකි.


ඒ නිසා ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ‘පෑඞ් මෑන්’ කෙනෙකු වෙන්නට උත්සාහ කිරීමෙන් ලංකාවේ කාන්තාවන් තුළ ඔහු කෙරෙහි ඇතිවූ ප‍්‍රසාදය පිරිමින්ගේත් වරප‍්‍රසාද ලත් ගැහැනුන්ගේත් ඔළුගෙඩිවලට කිසිසේත්ම අනුමාන කරන්නට බැරි තරම් දැවැන්ත බව මගේ හැඟීමය.