එදා වේල හරි හම්බකරගෙන ජීවත්වෙන අන්ත අසරණ මිනිස් ජීවිත පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව, ඔවුන් ජීවත් කරන්නට කිසිදු ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිව ආණ්ඩුව, රට තුළ ඇඳිරිනීතිය පැනවීය. මෙනිසා දැන් මේ දුප්පතුන් සිටින්නේ කරකියා ගන්නට ක‍්‍රමයක් නොමැතිවය. මෙම තත්ත්වය තුළ රටට ප්‍රෝටීන් ලබාදෙන, මත්ස්‍ය අපනයනය මගින් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙනත් දෙන ධීවර ප‍්‍රජාවගේ තත්ත්වය කෙබඳුද?


ලංකාවේ සමස්ත ධීවර ජනගහනය මිලියන දෙකකට ටිකක් වැඩි බව දැනගන්නට ලැබේ. මෙම පිරිසෙන් 60%ක් පමණ දුප්පත්තු ය. එදාවේල හරි හම්බකරගෙන ජීවිතේ ගැටගසා ගත් පුද්ගලයෝ ය. මොවුන්ට මෙම කොවිඞ් වසංගත තත්ත්වය තුළ උදාවී ඇති ජීවිතය මොන වගේද? අපි සොයා බැලූවෙමු. ඒ අනුව ධීවර කර්මාන්තය කියූ සැණින් මතකයට එන මීගමුවට, පුත්තලමට, කල්පිටියට කතා කෙළෙමු. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත අප මේ කියන කරුණු ලංකාවේ සමස්ත ධීවර ජනතාවටම පොදු තත්ත්වය විය හැකිය.

සතියකට නැවැත්තුවා


‘මීගමුවේ ධීවර කර්මාන්තය දැන් නතර වෙලා වගේ තමයි තියෙන්නේ. 25%ක් වත් ධීවරයෝ දැන් මුහුදු යන්නේ නෑ. ගියත් අස්වැන්න විකුණාගන්න ක‍්‍රමයක් නෑ. කල් තියාගන්න අයිස් නෑ. මීගමුවට මුලතිව් කෝකිලායි, මන්නාරම, කල්පිටිය මේ හැමතැන්වලින්ම මාළු ලොරි ආවා. දැන් මේ ඇඳිරිනීතිය නීතිය නිසා එන්නේ නෑ. මීගමුවේ මාළු වෙළඳපොළේ දෛනික කටයුතු සේරම අඩාල වෙලා තියෙන්නේ. අනික සිල්ලරට විකුණන අයට මාළු ගන්න එන්න දෙන්නේ නෑ. මේ හින්දා ධීවර ජනතාවගේ වගේම මාළු වෙළඳාම එක්ක ජීවත්වුණ බොහෝ පිරිසකට රස්සාව නෑ දැන්. මේ අය බොහෝ දෙනෙක් දවසේ වියදම සොයා ගත්ත මිනිස්සු. ගොඩාක් අයට සමෘද්ධියවත් නෑ.’ මීගමුවේ ධීවර ප‍්‍රජාවගේ වර්තමානය පිළිබඳව සමස්ත ලංකා ඒකාබද්ධ ධීවර සමිතියේ හිටපු කැඳවුම්කරුවෙකු වන එම් විජේන්ද්‍රන්ගේ අදහස ඔවැනිය. ඔහු ප‍්‍රකාශ කරන්නේ ආණ්ඩුව මෙම ගැටලූ තව තවත් උත්සන්න වීමට ප‍්‍රථම ඒවාට විසඳුම් ලබාදිය යුතු බවය.

කිසිම සහනයක් නෑ


‘රජය කියනවා ධීවරයන්ට සුපුරුදු විදිහට රස්සාවට යන්න කියලා. එහෙම කිව්වාට රජයට ධීවර සංස්ථාවට නිසි වැඩපිළිවෙළක් නෑ ගොඩට එන මාළු ටික ගන්න. ධීවර සමිතිවලටත් කිසිදු වැඩපිළිවෙළක් නෑ. නැත්තං මේ වෙනකොට මීගමුවේ ධීවර සමිතිවලට සල්ලි තියෙනවා. ඔවුන්ට පුළුවන් මාළු ටික සල්ලි දීලා අරගෙන සංස්ථාවට විකුණන්න වැඩක් හදන්න. නමුත් ඒක වෙන්නේ නෑ. ඒක හේතුව සංස්ථාවත් මාළු ගන්න සුදානමක් නැතිකම වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා බහුදින ධීවර යාත‍්‍රාවක් ගේන ලක්ෂ 60ක මාළු ලක්ෂ 20කට තමයි දෙන්න වෙලා තියෙන්නේ.

ලක්ෂ 10ක් විතර යනවා තෙල්වලට විතරක්. එතකොට මුදලාලිට අතින් කයිට්. දැන් මේ හේතුව නිසා බහුදින යාත‍්‍රා මුහුදු යන්නේ නෑ. දවසේ රස්සාව කරන පොඩි බෝට්ටු වුණත් 25%ක් විතර තමයි රස්සාව කරන්නේ. මේ දවසේ බෝට්ටුවල රස්සාව කරන ගොඩක් අය දවසේ වියදම හොයාගන්න පිරිස්. ඔවුන්ට දවසේ ආදායමෙන් 25%යි ලැබෙන්නේ. එක බෝට්ටුවක සාමාන්‍යයෙන් දෙදෙනෙක් යනවා. සමහර බෝට්ටුවක තුන්දෙනෙක් යනවා. මීගමුවේ විතරක් දවසේ රස්සාවට යන බෝට්ටු 2000ක් විතර තියෙනවා. හිතන්න එතකොට පවුල් කීයක් මේකෙන් යැපෙනවාද කියලා.

මේ ධීවරයෝ ගොඩාක් දෙනෙක්ට සමෘද්ධියවත් නෑ. රජය දෙනවා කියන එක සහනයක්වත් මේ මිනිසුන්ට තවම නෑ. අනික මේ සහන ගන්න මේ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ. මේ බොහෝ පිරිසකට ඒ සඳහා දැනුමක් නෑ. මීට අමතරව මාදැල් තෙප්පම් කරන අය. කළපු ධීවරයෝ, දැල් බේරන පිරිස, කරවල වාඩිවල කම්කරුවෝ, මේ ගොඩක් කට්ටිය එදා වේල හම්බ කරගෙන දුෂ්කර ජීවිත ගතකරපු මිනිස්සු. දැන් ඔවුන්ගේ තත්ත්වය හිතාගන්නවත් අමාරුයි.’ මෙලෙස අදහස් දැක්වූවේ වැල්ලවීදිය කුඩාපාඩුව ඒකාබද්ධ ධීවර සමිතියේ හිටපු සභාපතිවරයකු වන මැක්සි කූඤ්ඤ මහතාය.


මීගමුව ප‍්‍රදේශය පිළිබඳව කතා කරනවිට එහි ධීවර ජනගහනය 2012 සංඛ්‍යාලේඛනවලට අනුව 35,208කි. මේ ප‍්‍රමාණය මේ වනවිට 50,000කට වැඩි බව දැනගන්නට ඇත. මේ ප‍්‍රදේශයට අදාළව ධීවර සමිති 50කට වැඩි ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වේ. තොටුපළ සංඛ්‍යාවද 100කට වැඩිය. එහෙත් තවමත් මාළු ගන්නට නිසි ක‍්‍රමවේදයක් නැත. මීට අදාළව ධීවර සංස්ථාව ද කිසිත් කරන බවක් පෙනෙන්නට නැත. මෙම තත්ත්වය තුළ දැනට කෙරෙන සීමිත මත්ස්‍ය නිෂ්පාදනයද හෙට දවසේ නැවතෙනු ඇත. එම තත්ත්වය තුළ මෙම ධීවර ප‍්‍රජාවගේ හෙට දවස අවිනිශ්චිතය!. අනෙක් පැත්තෙන් මේ වනවිට මත්ස්‍ය අපනයන කර්මාන්තයද කඩාගෙන වැටී ඇත.

එම තත්ත්වය තුළ මත්ස්‍ය අපනයන කර්මාන්ත තුළ රැුකියා කළ පිරිසගේ ජීවිත තත්ත්වය ද පහළට වැටී ඇත. රටේ විදේශ විනිමය ආදායමද පහළට වැටී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ වුවද සමහර ධීවර සමිති නායකයෝ තවමත් මාළු මිලදී ගනිමින් දුෂ්කරතා මැද තම ධීවර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නට කටයුතු කරමින් සිටිති. පුත්තලම සින්නපාඩුව ග‍්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති ජෙම්සන් ප‍්‍රනාන්දු එවැනි පුද්ගලයෙක් ය. ඔහු අනිද්දා වෙත සිය අදහස් පළකළේ මෙලෙසින් ය.


‘මේ වෙනකොට අපේ අල්ලපු ගම පෙරියපාඩුවේ රස්සාව කරන එක නතර කරලා. එතන ධීවර පවුල් 300ක් ඉන්නවා. ජීවත් වෙන්න කිසිම ක‍්‍රමයක් නෑ ඔවුන්ට. දවසේ බෝට්ටුවල රස්සාවට යනවා කියන්නේ දවසේ කුලිය කරනවා වගේ තමයි. ධීවරයෝ කියන්නේ සල්ලි එකතු කරගෙන බැංකුවල දාගෙන ඉන්න ප‍්‍රජාවක් නෙවෙයි. මේක ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. දැනට ධීවර ජනතාව කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. ඒත් තව මාසයක් විතර ගියොත් මේ මිනිස්සුන්ට මොනවා හරි කරන්න වෙයි. දැනට නම් අපිට රජයෙන් කියලා කිසිම සහනයක් නෑ. ඔය දෙනවාය කියන කිසි දෙයක් තවම නෑ. සමිතියේ නායකයා කියලා මට මේ මිනිස්සුන්ට රස්සාවට යන්න එපා කියන්න බෑ.

එහෙම කියලා සති දෙකක් විතර ගියාම මේ මිනිස්සු මාව හොයාගෙන එයි කන්න බොන්න නෑ කියලා. මේක ලොකු ප‍්‍රශ්නයක්. මම දැනට අමාරුවෙන් මාළු ටිකක් ගන්නවා. මම මෙහෙම මේ මිනිස්සු ගැන හිතලා මාළු ටික ගන්න උත්සාහ කළාට ඇඳිරිනීති බලපත‍්‍ර ගන්න පොලිසියට ගියාම මේ හැමදෙයක්ම එපා වෙනවා. දවස් තුනකට සැරයක් ගන්න ඕනෑ. ඒක ගන්න ගියාම ලොකු රස්තියාදුවක්. මාළු ගත්තත් ආයි සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙනවා ඒක විකුණන්න. මොකද දැන් මිලත් බැහැලා. මේ වගේ ප‍්‍රශ්න රැුසක් ධීවර ජනතාවට තියෙනවා. හැබැයි මේ කිසි ප‍්‍රශ්නයක් ආණ්ඩුව හෝ රජය තේරුම් අරං නෑ‘.


මෙම තත්ත්වය මත මීගමුවේ සාමාන්‍යයෙන් රුපියල් 150ට අලෙවිවූ සුඩයා මාළු කිලෝවක මිල රුපියල් 450ක පමණ මිලකට ඉහළ ගොස් ඇත. ඒ අනුව ගෙදරට වී සිටින මිනිසුන්ට මාළු කෑල්ලක් දැන් කන්නට වෙලා තියෙන්නේ ගිනි ගානටය. මෙම තත්ත්වය ගැනවත් සිතා මෙම මත්ස්‍ය නිෂ්පාදන නිසි මිලකට ගෙන රට පුරා බෙදාහැරීමේ ක‍්‍රමයක් ගැන ධීවර සංස්ථාව සිතා බැලිය යුතුය.