No menu items!
20.6 C
Sri Lanka
17 December,2025

බිංදුවෙන් කොයිබටද? තිසරණි ගුණසේකර

Must read

2014 ඔක්තෝබර්- කොස්ලන්ද
2016 මැයි- අරණායක
2020 සැප්තැම්බර් -බූවැලිකඩ (නුවර)
2022 දෙසැම්බර් -නුවර

මේ නායයාම් හා ගංවතුර උවදුරු අද අප මුහුණ දෙන ඛේදවාචකය පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් විය.
2014 කොස්ලන්ද වතුයායේ මීරියබැද්ද කොටස නායයාම, 2004 සුනාමියෙන් පසු වූ බිහිසුණුම ස්වාභාවික විපත ලෙස සැලකිණි. මෙවැනි නායයාම් විපතක් මෙම ස්ථානයේ විය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  මුලින්ම අනතුරු හැඟවූයේ 2005 මැයි මාසයේය. දෙවැනි අනතුරු හැඟවීම නොවැම්බර් 2011දී භඊඍධ ආයතනය නිකුත් කළේය.

බලධාරීන්ට හා කොස්ලන්ද වත්ත අයිති මස්කෙළිය වතු සමාගමට උවමනාවක් තිබුණා නම් නායයාම වළක්වාගත නොහැකි වුවද, ඉන් වූ ජීවිත හානිය වළක්වාගත හැකිව තිබුණි. නමුත් එවැනි උවමනාවක් දේශපාලන, රාජ්‍ය හෝ ධන බලය සතු වූ කිසිවකුටත් නොතිබුණි. තම අනතුරු හැඟවීම් සැලකිල්ලට ගන්නැයි බලපෑම් කිරීමට නීතිමය බලයක් භඊඍධ ආයතනයට නොතිබූ නිසා මෙම ප්‍රදේශයේ ජීවත් වූ වතු කම්කරු ජනතාවට නීතියේ රැකවරණයද අහිමි විය. එහි ප්‍රතිඵලය වූයේ 2014 ඔක්තෝබර් මස වූ නායයාමෙන් සියයකට අධික ජීවිත හානියක් සිදුවීමයි.

අරණායක දිප්පිටියේ සාමසර කන්ද ජනාවාසයක් බවට පත්වූයේ 1960 දශකයේය. එහි නිවැසියෝ ජීවනෝපායක් ලෙස හෝ හා සුළු අපනයන බෝග වගාවේ යෙදුණහ. මෙම ඉදිකිරීම් හා කෘෂිකාර්මික ක්‍රියාකාරිත්වය 2016 නායයාමට මූලික හේතුවක් විය.

2020 සැප්තැම්බර් මස නුවර බූවැලිකඩ පස්මහල් නිවසක් කඩා වැටුණි. නිවස අයත් වූයේ fදාඩන්වල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයකු වූ අනුර ලෙව්කේ මහතාටය. ලෙව්කේ මහතා හා ඔහුගේ පවුල නිවස කඩා වැටීමට පෙර ඉන් ඉවත්වුවද, ඊට පහලින් වූ නිවසක ජීවත් වූ තරුණ යුවළක් හා ඔවුන්ගේ බිළිඳු දියණිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූහ.
මේ මානුෂීය ඛේදවාචකය නිසා මෙම සිද්ධියට විශාල මහජන අවධානයක් ලැබිණි. මියගිය කාන්තාව නීතිඥවරියක වීම නිසා සිද්ධිය පිළිබඳ නීතිමය පියවරක් ගන්නැයි නීතිඥ සංගමයෙන්ද දැඩි බලපෑමක් එල්ල විය. පොලිසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් අතර, භඊඍධ ආයතනය අනතුරු පිළිබඳ ගවේෂණයක් කළේය. එහි මූලික වාර්තාවට අනුව මුලින් අවසර ලැබී ඇත්තේ දෙමහල් නිවසක් ගොඩනැගීමටය. ඉතුරු මහල් තුන පසුව ක්‍රම ක්‍රමයෙන් ඉදිකර ඇත. නිවස ඉදිකර ඇත්තේ මතුපිට හා උප මතුපිට  ජලය ගලා යන මං අවහිර කරමිනි.

අනතුර නිසා අනීතික ඉදිකිරීම් ප්‍රශ්නය හා එහි ප්‍රතිවිපාක පිළිබඳව යම් කතිකාවක් ඇතිවිය. නුවර මහා නගර සභාවත් සමග එක්ව නගරය තුළ ඇති අනීතික ඉදිකිරීම් පිළිබඳ ගවේෂණයක් කරන බවට  ආයතනය නිවේදනය කළේය. මධ්‍යම පළාත තුළ අධි අවදානම් නායයාම් කලාප හඳුනාගත් බවත්, ඒවායේ ඇති ගොඩනැගිලි පිළිබඳ කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් යෝජනාවක් සකස් කර ඇති බවත් භඊඍධ ආයතනය පසුව ප්‍රකාශයට පත් කළේය.

කතාව එතැනින් නතර විය.

2022 දෙසැම්බර් මස වැටුණු වැස්සෙන් නුවර නගරයට සැලකිය යුතු ගංවතුර හා නායයාම් හානියක් සිදුවිය. ජීවිත දෙකක් අහිමි වූ අතර, නිවාස 98කට අලාභහානි සිදුවිය. මෙම ගංවතුර විපතට හේතුව අනීතික ඉදිකිරීම් බව එවකට නගරාධිපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය. ජලමාර්ග වසා කර ඇති ඉදිකිරීම් සියල්ල (ඒවායේ ස්වභාවය හා අයිතිකරුගේ තරාතිරම නොබලා) ඉවත් කළ යුතු බවත්, එසේ නොකළොත් නගරය මුළුමනින්ම විනාශ වන බවත් ඔහු අනතුරු හැඟවූයේය.
ඒ අනතුරු හැඟවීම අද සැබෑවක් බවට පත්ව ඇත.

අපට සුලි කුණාටු නතර කළ නොහැක. නමුත් ඉන් සිදුවන ගංවතුර හා නායයාම් අවදානම හා ඉන් සිදුවන ජීවිත හා දේපල හානි අවම කරගත හැක.

භඊඍධ ආයතනයට අනුව 2002 වසර වන තෙක් නායයාම් මෙරට සුලබ නොවීය. නායයාම් සිදුවූවත් ඒවා සුළු පරිමාණ ඒවා විය. නමුත් 2003දී නායයාම් ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගියේය. ඉන් පසු ගතවූ කාලය තුළ නායයාම් අපේ සාමූහික ජිවිතයේ සාමාන්‍ය සංසිද්ධීන් බවට පත්විය.

2014 වන විට ලංකා භූමියෙන් 20%ක් නායයාම් අවදානමට මුහුණ දෙන බවත්, මෙරට ජනගහනයෙන් තුනෙන් එකක් මෙම අනතුරට ලක්වන බවත්, භඊඍධ ආයතනය ප්‍රකාශ කළේය. බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රිික්කවලට අයත් ප්‍රදේශ මෙම නායයාම් අවදානමට ලක්වන බව එම ප්‍රකාශයේ සඳහන් විය.

වර්ග සැතපුම් 25,332ක් පමණක් වූ රටක වර්ග සැතපුම් 5,066ක් නායයාම් අනතුරට මුහුණ දීම බරපතළ තත්වයකි. නමුත් දේශපාලන සමාජය හෝ සිවිල් සමාජය මෙම අවදානම සැලකුවේ නැත. මෙහි එක් ප්‍රතිඵලයක් නම් මේ වන විට ලංකාවේ නායයාම් කලාපය තවත් පුළුල් වීමය. ගම්පහ, කුරුණෑගල හා මොනරාගගල දිස්ත්‍රික්කද දැන් නායයාමේ කලාපයට ඇතුළත්ව ඇත.

නායයාම් හා ගංවතුර අනතුරු වර්ධනය වීම පිළිබඳව භඊඍධ ආයතනය දිගින් දිගටම කළ අනතුරු හැඟවීම් නොසලකා සිටීමේ ප්‍රතිවිපාක අද අපි සමාජයක් ලෙස භුක්ති විඳිමු. අනතුරු හැඟවීම්වලට අවම හෝ අවධානයක් යොමුකර, අඩුම තරමින් අලුත් නීති විරෝධී ඉදිකිරීම් හා වගුරු බිම් ගොඩකිරීම් නතර කළා නම් දිට්වා සුළි කුණාටුවෙන් වූ හානිය යම් තරමකට පාලනය කර ගත හැකිව තිබුණි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළාක් මෙන් අද අපට සිදුව ඇත්තේ බිංදුවෙන් පටන්ගැනීමටය. ප්‍රශ්නය, බිංදුවෙන් පටන්ගෙන අප යන්නේ කොහාටද යන්නය. අප යළිත් පරණ මගම යනවා නම් අප අත්කරගන්නා සියලු ආර්ථික හා මානුෂීය ජයග්‍රහණයන් ඊළඟ ස්වාභාවික විපතෙන් විනාශ විය හැක. අද අප බිංදුවට වැටී ඇත්තේ මෙතෙක් අප ආ මාර්ගයේ ඇති වැරදි හා අඩුපාඩු නිසාය. වැරදි හා අඩුපාඩු ප්‍රතිනිර්මාණය කිරීම යනු යළිත් බිංදුවට වැටීමට මාර්ගය සකස් කිරීමයි.
පරිසර විරෝධී වෘද්ධිය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්ෂිකව මානව සංවර්ධන වාර්තාවක් ප්‍රකාශයට පත්කරයි. 1996 වාර්තාව වෙන්වූයේ ආර්ථික වෘද්ධිය හා මානව සංවර්ධනය අතරැති සංකිර්ණ සබඳතාව විස්තර කිරීමටය. ඉහළ ආර්ථික වෘද්ධිය හැමවිටම මානුෂීය සංවර්ධනයට හේතු නොවන බවත්, ඇතැම් විට ආර්ථික වෘද්ධිය හා මානුෂීය සංවර්ධනය පරස්පර විරෝධී දිශාවන්ට ගමන් කළ හැකි බවත් යථාර්ථයක් වුවද, එය සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව පිළිගත් මුල් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

1996 ඹභෘඡ වාර්තාව මානුෂීය සංවර්ධනය අඩාළ කරන ආර්ථික වෘද්ධි කාණ්ඩ 5ක් හඳුනාගත්තේය. රැකියා වියුක්තික වර්ධනය – රැකියා උත්පාදනය නොකරන වෘද්ධිය; අනුකම්පා විරහිත වර්ධනය  ඇති -නැති පරතරය වැඩි කිරීමට තුඩු දෙන ආර්ථික වෘද්ධිය; හඬක් නැති වර්ධනය  ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා නිදහස පුළුල් කිරීමට හේතු නොවන වර්ධනය; මුල් සිඳගත් වර්ධනය – සංස්කෘතික අනන්‍යතාවන් හා සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් අහිමි කරන වර්ධනය; හා අනාගතයක් නැති වර්ධනය -ස්වභාව ධර්මය- එබැවින් ස්වාභාවික සම්පත් -වනසන වර්ධනය යනු ඒ 5යි.

මින් මුල් හතර සමාජ දේශපාලන පිපිරීම්වලට හේතු විය හැක. ඒ හා සසඳන විට ස්වභාවධර්මය නොසලකන හා ස්වාභාවික සම්පත් අපයෝජනය කරන වෘද්ධි මාර්ගය අනතුරු අඩු මගක් ලෙස මෙම දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට හා පොදු ජනතාව වන අපට සිතිය හැක.

කඳු, ගංගා හා වනාන්තරවලට ඡන්දයක් නැති නිසා, උද්ඝෝෂණය කිරීමේ, කෑමොර දීමේ හැකියාවක් නැති නිසා වනාන්තර හෙළිකිරීමට හා ගං ඉවුරු රක්ෂිත ප්‍රදේශවල හා කඳුමුදුන් හා බෑවුම්වල ගොඩනැගිලි ඉදිකිරීමට දේශපාලන හෝ ආර්ථික මිලක් ගෙවීමට අනවශ්‍යයැයි බැලූබැල්මට පෙනිය හැක.

නමුත් සත්‍යය අනෙකකි. ස්වභාව ධර්මය අපයෝජනය කරන ආර්ථික වෘද්ධි මාවත අන් සියල්ලටම වඩා භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි බව අපේ වත්මන් අත්දැකීමෙන් පැහැදිලිය.

අප මෙතැනින් යන්නේ විනාශකාරීත්වය අවම අනාගතයකටද? නැතහොත් යළිත් බිංදුවෙන් (ඇතැම් විට ඍණ අගයකින්) නිමාවෙන පරණ වෘද්ධි මාවතක් වෙතද?

සංචාරක කර්මාන්තය මෙම තෝරාගැනීම පිළිබඳ කදිම උදාහරණයකි.
සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයට අත්‍යවශ්‍ය බව අවිවාදිතය. එසේ වුවද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුත්තේ යම් පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් සමග සමගාමීවය. නමුත් දැන් සිදුවන්නේ සංචාරකයන් සංඛ්‍යාව ඉහල දැමීමේ ව්‍යායාමයක් විනා සංචාරක කර්මාන්තයෙන් උපරිම ප්‍රතිලාභ ලැබීම (හා එහි සමාජීය/පාරිසරික පිරිවැය අවම කිරීමේ) අරමුණ කරගත් මෙහෙයුමක් නොවේ.

සංචාරක කර්මාන්තය හා නායයාම් අනතුරු අතරැති සබඳතාව අලුත් එකක් නොවේ. ඉවක් බවක් නොමැතිව සංචාරක හෝටල් ඉදිකිරීම නිසා වන හානිය පිළිබඳව භඊඍධ ආයතනය අනතුරු හඟවන්නේ මෙයට දශකයකටත් පෙර සිටය. උදාහරණයක් ලෙස 2014 මැයි මස එවකට භඊඍධ ආයතනයේ නායයාම් අංශයේ ප්‍රධානී එම් එස් බණ්ඩාර මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල ඉදිකර ඇති හෝටල් හා නිකේතන පිළිබඳව සංචාරක මණ්ඩලය සොයා බැලිය යුතු බවයි. (ගතවූ වසර 11ක කාලය තුළ සංචාරක මණ්ඩලය එවැනි කිසිම සොයාබැලීමක් නොකළ බව නම් අනුමාන කළ හැක). ඊට දින කිහිපයකට පෙර ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ඇතිවූ නායයාම ඒ අවට සංචාරක හෝටල්වල හා මාර්ගයේ ඉදිකිරීම්වල ඇති දුර්වලතාවන් නිසා වූවක් බවද ඔහු කියා සිටියේය. නායයාම් අවදානම් නොතකා සිදුකරන මාර්ග ඉදිකිරීම් නිසා නායයාම් අවදානම ඉහළ යන බව එවකට පේරාදෙණිය සරසවියේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය කපිල දිසානායක මහතා කියා සිටියේය.

මේ සියලු අනතුරු හැඟවීම් එදා පමණක් නොව ඊයේ වනතුරුත් බීරි අලින්ට වීණා වැයීමක් විය. ඒ අඳ ගොළු බිහිරි බව හෙටද පැවතුණොත් මෙයටත් වඩා දරුණු ව්‍යසනයක් අත ළඟ විය හැක.

අම්බුළුවාවේ කතාව අපේ වැරදි අතීතයත් වත්මන් තෝරාගැනීමුත් සංකේතවත් කරයි. අම්බුළුවාව කන්ද මත ජෛව විවිධත්ව ආයතනයක් හා අඩි 157ක් උස කුලුනක් ඉදිකිරීම ආරම්භ කළේ 2009දී එවකට අගමැති දිමු ජයරත්න මහතාය. මෙම ඉදිකිරීම සඳහා වූ පාරිසරික අධ්‍යයනය මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව කළ පාරිසරික අධ්‍යයනය ගණයේ එකක් වන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ ඉදිකිරීම් ආරම්භ කළ දා සිටම කන්දේ සුළු නායයාම් හටගත් නිසාය.

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාවකට 2023දී අනුමැතිය ලැබුණේ මෙම සංදර්භය තුළය. මෙම ව්‍යාපෘතිය ්පඉැර ්ාඩැබඑමරු නම් සමාගමත් ක්‍යසබ් ඵ්ජයසබැ ඊමසකාසබට ෂබඑැරබ්එසදබ්ක ක්‍දරචදර්එසදබ සමාගමත් ඒකාබද්ධව කරන්නකි. මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීමට පෙර අම්බුළුවාව කන්දේ සුළු නායයාම් වීමට හේතු සලකා බැලුවාද යන්න අවිනිශ්චිතය.

2024 දී කන්ද අසල වූ සිංහපිටිය ගම්මානයේ වැසියෝ, කඳු මුදුනේ සිදුවන මහා පරිමාණ පස් ඉවත්කිරීමක් පිළිබඳව තම ග්‍රාම නිලධාරිවරයා හරහා ගම්පොළ- උඩපළාත දිසා ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියට පැමිණිලි කළෝය. ඇය කැණීම් නිරීක්ෂණය කොට පාරිසරික හානි සිදුවන නිසා කේබල් කාර් ව්‍යාපෘතිය නතර කරන්නට නියම කළාය. සමාගම තහනම ඉවත් කරවා ගැනීම සඳහා අධිකරණයට ගියේය. ව්‍යාපෘතියට අදාළ රාජ්‍ය ආයතනවල පූර්ව අනුමැතිය ලැබී ඇති බැවින් එය නතර කිරීමෙන් ප්‍රදේශීය ලේකම් තම බලය ඉක්මවා කටයුතු කර ඇති බව අධිකරණය තීන්දු කළේය.

ප්‍රාදේශීය ලේකම්වරිය ලේඛන ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිපතිවරයා හරහා මෙම ලේඛන ඉදිරිපත් නොකළ බැවින් ඒවා සලකා බැලීමට තමන්ට අවසර නැති බවත් විනිසුරුවරයා නඩු තීන්දුවේ සඳහන් කළේය. මේ ලේඛන මොනවාද, ඒවා ප්‍රාදේශීය ලේකම්වරිය පෞද්ගලිකව ඉදිරිපත් කළේ නීතිපතිවරයා ඒවා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසාද, එසේ නම් නීතිපතිවරයා එලෙස කළේ මන්ද යන්න උත්තර නැති ප්‍රශ්නය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අමුබුළුවාව කන්දේ සුළු නායයාමක් හටගෙන ඇත. මෙම තත්වය කන්දේ හා ඊට සම්බන්ධ ගොඩනැගිලිවල ආරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුකරයි. මෙහිදී ආණ්ඩුවට තෝරාගැනීම් දෙකක් ඇත. එකක් නම් කිසිදු සොයාබැලීමකින් තොරව සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයන් මිලියන් 3ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයේ නාමයෙන් කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට ඉඩ දීමයි. අනෙක නම් භඊඍධ හා අනෙකුත් අදාළ ආයතනවලට කන්දේ තත්වය පිළිබඳ විද්‍යාත්මක ඇගයුමක් කිරීමට ඉඩ දී ඒ අනුව තීරණය ගැනීමයි.

අනුර කුමාර ජනාධිපතිවරයා මේ තෝරාගැනීම් දෙකෙන් කවරකට අනුමැතිය දෙන්නේද යන්න ආණ්ඩුවේත් ලංකාවේත් අනාගතය පිළිබඳ ඉඟියක් වනු ඇත.

පරණ පාරේම යමුද? අලුත් මඟක් සොයමුද?

දිට්වා ව්‍යසනයෙන් පසු රට යළි ගොඩනැගීම සඳහා ඍැඉමසකාසබට ීරස ඛ්බන් ත්‍මබා නම් අරමුදලක් ජනාධිපතිවරයා ආරම්භ කර ඇත. එය කළමනාකරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ රාජ්‍ය නිලධාරීන් හැරුණු විට මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකි.

දිට්වා ව්‍යසනයට ප්‍රධානතම හේතුවක් නම් පරිසරය නොතකා – ඇතැම් විට පරිසරයට පසමිතුරුව- ගෙනගිය ආර්ථික හා මානව ක්‍රියාකාරකම්ය. අපට අනාගතයක් ඇත්තේ එවැනි ක්‍රියාකාරකම් අවම කරන, පරිසරය හා හැකිතාක් සමගාමීව යන ආර්ථික මගකින් පමණය. ආර්ථිකය පරිසරය තුළ අන්තර්ගතවී ඇති බවත් පරිසරයෙන් පරිබාහිරව ආර්ථිකයට පැවතිය නොහැකි බවත් ලෝක බැංකුව තම නව වාර්තාවෙන් කියා සිටියේ එබැවිනි.

ජනාධිපතිවරයාගේ කමිටුවේ සිටින ව්‍යාපාරිකයන් මේ අවස්ථාවේ තම සුපුරුදු ලාභ පරමාර්ථය දෙවැනි තැන ලා රටේ පොදු යහපතට ප්‍රමුඛතාව දෙනවා යැයි අනුමාන කරමු. එසේ වුවද පරිසරයට සමගාමී අයුරින් රට යළි ගොඩනැගීමට අවශ්‍ය දැක්ම, අවබෝධය හා විද්‍යාත්මක දැනුම ඔවුන්ට තිබේද? මෙවැනි කමිටුවකට අඩුම තරමින් එක් පරිසරවේදියෙකු, පරිසර විද්‍යාඥයෙකු, භූවිද්‍යාඥයෙකු අවශ්‍ය එබැවිනි. එවැන්නන්ගෙන් ලැබිය හැකි විශේෂඥ දැනුමෙන් තොර යළි ගොඩනැගීමක් ගැන සිතීම කෙතරම් අදූරදර්ශීද? දිට්වා කුණාටුවෙන් දරුවන් 2,75,000ක් විපතට හා පීඩාවට පත්ව ඇති බව ඹබසජැf ආයතනය කියයි. මෙම දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමට නම් අධ්‍යාපනඥයන් මෙන්ම ළමා මනෝ විශේෂඥයන්ද අවශ්‍යය. කුණාටුවේ ප්‍රතිවිපාක ලෙස දුප්පතුන්ගේ දුප්පත්කම පමණක් නොව දරිද්‍රතා මට්ටමෙන් පහළ සිටින ජන අනුපාතයද ඉහළ යනු ඇත. විරැකියාව හා හිසට වහලක් නැතිවීම අනෙක් ප්‍රධාන ගැටලුය. කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද ස්වයං රැකියාලාභීන්ටද වන හානිය ඉමහත්ය. දිසානායක ජනාධිපතිවරයා තෝරාගත් ව්‍යාපාරිකයන් කිසිවකුටත් මෙවැනි විවිධ හා සංකීර්ණ ප්‍රශ්න ගැන ප්‍රමාණවත් අවබෝධයක් තිබේද? ඒ කිසිවක් නොමැතිව නිවැරදි ප්‍රමුඛතාවන් තීරණය කිරීමේ හැකියාවක් ඔවුන් සතුව තිබිය හැකිද?

පවුල් 15,000ක් (පුද්ගලයන් 60,000ක්) නායයාම් හා ගල් කඩාවැටීමේ අවදානම අධික කලාපවල ජීවත් වන බව භඊඍධ ආයතනය කියයි. මොවුන් ඒ ස්ථානවලින් ඉවත් කර ගැනීම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක ප්‍රමුඛතාවකි. නමුත් එවැන්නක් කිරීම සඳහා භඊඍධ ආයතනයට තවමත් නීතිමය බලයක් නොමැත. අනීතික ඉදිකිරීම්වල නිරත වන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය භඊඍධ ආයතනයට ලබාදෙන පනතක් 2012 සිට තවමත් සකස් වෙමින් පවතී. මේ වසරේ සම්මත කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනතින් නායයාම් අනතුරු හැඟවීම් නොසලකා හරින පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය භඊඍධ ආයතනයට ලැබුණද නායයාම්වලට තුඩුදෙන ඉදිකිරීම් සිදුකරන සංවිධාන හා පුද්ගලයන්ට (මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා සංඝයා වහන්සේලාද ඇතුළුව) එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ බලය ඉන් නොලැබේ. මේ බලය ලැබෙන අයුරින් නව පනත සංශෝධනය කිරීම හදිසි අවශ්‍යතාවකි.

තවත් හදිසි අවශ්‍යතාවක් නම් නව තත්වයන්ට ගැළපෙන ජාතික ගොඩනැගිලි සංග්‍රහයක්  ලබන වසරේදීම සම්පූර්ණ කිරීමයි. (මෙය 2026-29 අතර කාලය තුළ නිමවීමට නියමිතය.) මෙරට නගර පුරා ඉදිවෙන මහල් නිවාසවල ගින්නෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කොන්දේසිවත් සපුරා තිබෙනවාද යන්න සැකසහිතය. අප දිට්වාවලින් පීඩා විඳිද්දී හොංකොං නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ගින්නට ඔරොත්තු නොදෙන/උපකාර වන ගොඩනැගිලි ද්‍රව්‍ය හේතුවෙන් ගිනි ආපදාවකට ලක්විය. අප නව ගොඩනැගිලි ඉදිකිරීම් නීති පද්ධතියක් හඳුන්වා දී එය ක්‍රියාත්මක නොකළහොත් හොංකොං නගරයේ වුණා වැනි විපතක් මෙරටද සිදුවීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

කොතරම් විදේශ ආධාර ලැබුණද පිළිසකර කටයුතු සඳහා අරමුදල් වැඩි ප්‍රමාණය සොයාගන්නට වන්නේ ආණ්ඩුවටය. ඒ සඳහා ‘ජාතිය ප්‍රවර්ධනය කිරීමේ බද්ද’ වැනි අලංකාර නමකින් තවත් වක්‍ර බද්දක් ජනතාව මත පැටවීමට තරම් ආණ්ඩුව අඥාන හා අනුකම්පා විරහිත වේද? සුළි කුණාටුවෙන් වූ විනාශය නිසා ජීවිතය පවත්වාගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම නොවැළැක්විය හැක. මොනයම් හේතුවක් නිසාවත් වක්‍ර බදු වැඩි කළහොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ 2022 ආර්ථික අර්බුදයෙන් හා 2022-24 කාලය තුළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථිකය යථාවත් කිරීමට ගත් ඇතැම් පියවරයන්ගෙන් බැට කා, දිට්වා කුණාටුවෙන් අන්ත අසරණව සිටින නැති-බැරි හා පහළ මධයම පන්තික ලාංකිකයන් මත දරාගත නොහැකි බරක් පැටවීමයි. එහි සමාජ-ආර්ථික ප්‍රතිවිපාක කෙලෙස වනු ඇත්දැයි අමුතුවෙන් මතක් කර දීම අවැසි නොවේ.

අනාගත කාලගුණ විපතකින් වන හානිය අවම වන අයුරින් රට යළි ගොඩනැගීමට ගත යුතු තීරණ ජනප්‍රිය ඒවා නොවනු ඇත. ධනවතුන්ගේ, දේශපාලනඥයන්ගේ හා භික්ෂූන් ඇතුළු ආගමික නායකයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගෙන් කොටසකගේද උදහසට එම තීරණ හේතු වනු ඇත. එවැනි තීරණ ගැනීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් සඳහා අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය ජනාධිපතිවරයා සතුව තිබේද යන්න මත රටේත්, අපේත්, ඔහුගේත් අනාගතය තීරණය වනු ඇත.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි