No menu items!
29.2 C
Sri Lanka
6 June,2025

රැහේ මාන්නය රැක ගන්න බිලි දුන් දරුවා – ආචාර්ය සුජාතා ගමගේ

Must read

යටත් විජිතවාදීන්ගෙන් අපට ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත පාලන ක්‍රමයක්  හා ඒ සමාන්තර  පරිපාලන පද්ධතියකින් සමන්විත රාජ්‍යයක් උරුම වුණා. අද වන විට එම උරුමය අප විසින්ම අකාර්යක්ෂම හා අසංවේදී රාජ්‍යයක් බවට පත් කරගෙන තියෙනවා. 2025 අප්‍රේල් 29 වන දින 15 හැවිරිදි දිල්ෂි අම්ෂිකා සිසුවියගේ දිවි නසා ගැනීම තරම් මේ රටේ රාජ්‍යයේ ඛේදනීය තත්වය විදහා පාන වෙනත් කිසිවක් මට හිතන්න බැහැ.
දරුවාගේ මරණයට හේතු වූ සිදුවීම්වල කාලරාමුව පෙන්නුම් කරන පරිදි, මෙම සිද්ධියට අදාල බම්බලපිටියේ රාමනාදන් විදුහලේ විදුහල්පති ප්‍රධාන විදුහල් ප්‍රජාව, අම්ෂිකා දැරිය අවසාන වරට පාසලේ ගුරුවරයකු මගින් ලිංගික අපයෝජනයට ලක් වුණ 2025 දෙසැම්බර් 08 වන දින සිට මාසයකට පසු ඇය වෙනත් පාසලකට මාරු කිරීම දක්වා කාලය තුළ, දරුවා සහ ඇගේ පවුලේ අය නැවත නැවතත් කළ ආයාචනයන් නොසලකා හැර තම  විදුහලේ නම රැක ගැනීමට පමණක් උත්සාහ කර  තිබෙන බව පෙනෙනවා.  කලාප මට්ටමේ අධ්‍යාපන බලධාරීන් ද දරුවා වෙනත් පාසලකට මාරු කිරීමෙන් තම දෑත් සෝදා ගෙන තිබෙන බව පෙනෙනවා.
තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළේ 2024 දෙසැම්බර් 10 වන දින දරුවා පරීක්ෂා කිරීමෙන් පසු ළමා අපයෝජනයක් පිළිබඳව පොලිසියට වාර්තා කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් පමණයි. නමුත් රෝහලෙන් එවැනි  සිද්ධීන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමට ක්‍රියා පටිපාටියක් තිබුණු බව පෙනෙන්නේ නැහැ. ඒ තත්වයන් යටතේ 2025 ජනවාරි 08 වන දින සිට චුදිත ගුරුවරයා ජනවාරි 08 වැනි දින අත්අඩංගුවට ගන්නා තෙක් ඔහුට විදුහල්පතිවරියගේ ආශීර්වාදය ඇතුව පාසලේ කටයුතු කිරීමට හැකි  වී තිබෙනවා. 2025 මැයි 18 අනිද්දා පත්තරේ රේඛා නිලු‍ක්ෂි හේරත්ගේ ලිපියකට අනුව එම කාලය තුළ දරුවා මවට පවසා ඇත්තේ “ඇයි අම්මා මං වෙනුවෙන් කිසිම ගුරුවරයෙකු කතා කරන්නේ නැත්තේ? වැරදි කරපු ගුරුවරයා විදුහල්පතිනිය එක්ක එක ළඟ වාඩි වෙලා කතා කරනවා. කිසිම වැරැද්දක් කළේ නැති මට ඇයි හැමෝම බනින්නේ?” යනුවෙනි.
අපගේ රාජ්‍ය සේවකයින්ගෙනුත් විශේෂයෙන් දරුවන් සඳහා සංවේදී විය යුතු සේවිකාවක වන වන රාමනාදන් විදුහලේ  විදුහල්පතිවරිය මේ තරම් අකාරුණික වූයේ ඇයි?  ඇය ප්‍රධාන බලධාරීන් විසින් සාධාරණත්වයේ යුක්තියේ එක බිඳක් ඇයට ලබා නොදුන්නේ ඇයි? අපගේ දේශපාලනඥයින්ද ශෝකයට මෙන්ම සහ පීඩාවට පත් එම දෙමාපියන්ට වචනයකින් වත් සිත නිවීමට තරම් සංවේදී නොවූයේ ඇයි?
කාලරේඛාව දෙස සවිස්තරාත්මකව බැලීමෙන් පෙනී යන්නේ ඇත්තෙන්ම මෙම සිදුවීම ඕනෑම දරුවෙකුට ඕනෑම තැනක සිදුවිය හැකි බවයි. චුදිතයා ආරක්ෂා කිරීම සඳහා විදුහල්පතිවරියගේ ක්‍රියා කලාපය, ඒ හා සමාන තත්වයකට මුහුණ දෙන ඕනෑම විදුහල්පතිවරයෙකු මගින් සිදු විය හැකියි. මන්ද, ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (එන්සීපීඒ) නිවැරදිව පෙන්වා දෙන පරිදි, මූලික හේතුව පාසල් සංස්කෘතිය තුළ මෙන්ම සමස්ත සමාජයේත් කණ්ඩායම් අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වින්දිතයින්ගේ දුක්ගැනවිලි යටපත් කරන සංස්කෘතියක් තිබීමයි.
“පාසල්වල ළමුන්ට සිදුවන ශාරීරික, මානසික සහ ලිංගික අපයෝජන වාර්තා කිරීමට එම ආයතන දිගින් දිගටම පැහැර හරින බවත් එවැනි හෙළිදරව් නොකිරීම් බොහෝ විට ආයතනවල කීර්තිනාමය ආරක්ෂා කිරීමට හෝ වින්දිතයින්ගේ හඬ මර්දනය කිරීමට ගන්නා උත්සාහයන් බවත් පෙනෙනවා. (එන්සීපීඒ, මැයි 09, 2025).”
මෑතකදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පවත්වන සතිපතා සූම් කතිකාවේදී, එන්සීපීඒහි අධ්‍යක්ෂවරයෙකු විසින් මෙම කණ්ඩායම් අවශ්‍යතා පිළිබඳව තවදුරටත් විචිත්‍රව පැහැදිලි කරමින්  පවතින සංස්කෘතිය රැහේ මානසිකත්වයක් ලෙස නම් කරනවා. රැහැ යන්න ශ්‍රී ලංකාවේ ආදිවාසීන් විසින් තම කණ්ඩායමක අනන්‍යතාව විස්තර කිරීමට භාවිත කරන වචනයක්. (එම වචනය මේ අවස්ථාවේදී යොදාගැනීම කිසි සේත්ම එම ආදිවාසී සමාජය සන්දර්භයට අදාල වැදගත් භාවිතාවක් වන  රැහේ සංකල්පය අවමානයට ලක් කිරීමේ  උත්සාහයක් නොවන බව මෙහිදී සටහන් කළ යුතුයි.)
දිල්ෂි අම්ෂිකා දැරියගේ සියදිවි නසාගැනීමේ කාලරාමුව
(2025 මැයි 18 වන දින අනිද්දා පුවත්පතේ ලිපිය හා සහ අන්තර්ජාලයේ අමතර මූලාශ්‍ර මත පදනම්ව)
2024 දෙසැ 08; බම්බලපිටියේ රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු වයස අවුරුදු 15 ක් වන දිල්ෂි අම්ෂිකාට අතවර කළ බවට ඇය මිතුරියන්ට පවසනවා. මිතුරියන් විසින් එදිනම ගුරුවරුන්ට සහ අංශ ප්‍රධානියාට සහ විදුහල්පතිවරයාට ඒ බව දැනුම් දෙනවා. ආරංචි මාර්ගවලට අනුව මෙය මෙම ගුරුවරයා අම්ෂිකාට කළ පළමු අපයෝජනය නොවෙයි.
2024 දෙසැ 09; මව පාසැලට පැමිණ විදුහල්පතිවරිය මුණ ගැහෙනවා. චෝදනාවට ලක්වූ අපයෝජක ගුරුවරයාද එම හමුවට සහභාගි වෙනවා. දැරිය මානසිකව අස්ථාවර බව ඔහු පවසන අතර ඇය මානසික රෝහලකට ගෙන යා යුතු බව ඔහු පවසනවා.
2024 දෙසැ 10; පහුවදාම මව අම්ෂිකා ලේඩි රිජ්වේ රෝහලට රැගෙන යනවා; වෛද්‍යවරුන් දරුවාට මානසික රෝගයක් නොමැති බවත් අපයෝජනය පිළිබඳ ඇය සත්‍යය පවසන බවත් නිගමනය කර, රෝහලේ අධිකරණ නිලධාරියා බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ගොනු කරනවා; පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරනවා; පොලිස් පරීක්ෂණ ගැන කනස්සල්ලට පත්ව සිටින විත්තිකරු ගුරුවරයා විදුහල්පතිවරියගෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා; එම පරීක්ෂණයෙන් ඔහු නිවැරදිකරුවෙක් ලෙස තීරණය කෙරෙනවා; අම්ෂිකා මානසිකව අස්ථාවර බවට කටකතාව එදින සිට පාසල පුරා පැතිර යනවා.
2025 ජන 08; පොලිස් විමර්ශනයකින් පසු ගුරුවරයා අත්අඩංගුවට ගනු ලබනවා.
2025 ජන 09; විදුහල්පතිවරිය පාසල් සංවර්ධන සංගමයේ සාමාජිකයින්ට ගුරුවරයා අහිංසක බවත් පාසලේ හොඳ නම ඇති කිරීමට එම සංගමයට රුපියල් ලක්ෂ 10ක් පමණ වැය කිරීමට සිදුවිය හැකි බවත් පවසනවා.
2025 ජන 10;  ගුරුවරයා ඇප මත නිදහස් වෙනවා. (නීතිඥ මතයට අනුව අදාල චෝදනාවට එසේ ඇප ලබා දීම නීතියට අනුකූලයි).
2025 ජන   .. දරුවා කොටහේන ප්‍රදේශයේ පාසලකට මුදා හරින ලෙස ඉල්ලා දෙමාපියන් කලාප කාර්යාලයට එනවා.
2025 ජන   .. අම්ෂිකා කොටහේන ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කරනවා;
නව පාසලේදී ඇය වඩා සතුටින් සිටි බව ඇගේ මව පවසනවා.
2025 ජන 18; අම්ෂිකා කොටහේන ප්‍රදේශයේ උපකාරක පන්තියකට පළමුවරට යනවා. එදින පන්තියේදී ඇයට සිහිය නැති වූ බවත්, ප්‍රථමාධාර ලබා දීමෙන් පසු ඇය ගෙදර යැවූ බවත් උපකාරක පන්තියේ හිමිකරු පවසනවා. සෙනසුරාදා දිනවල පවත්වන පසුකාලීන පන්තිවලදීද ඇය අසනීප වූ බව ඔහු කියනවා.
2025 පෙබ 15; අම්ෂිකාගේ මව පවසා ඇති ආකාරයට, එම උපකාරක ආයතනයේ ප්‍රධානියා විසින් රාමනාදන් විද්‍යාලයේ පිරිමි ගුරුවරයෙක් සම්බන්ධව පොලීසි ගිය කෙනෙකු හැටියට ඇයට චෝදනා කර ආයේ මෙහෙ එන්න එපා කියනවා. මෙය අම්ෂිකා උපකාරක පන්තියේ ගත කරන අවසාන දිනයයි. ඉන් පසු අලුත් පාසලේත් ඇයව කොන් වෙනවා.
2025 අප්‍රේල් 29; අම්ෂිකා දැරිය දිවි නසා ගන්නවා.
2015 මැයි 08; 1929 දුරකථන අංකය හරහා ළමා ආරක්ෂක අධිකාරියට දෙමාපියන් පැමිණිලි කරනවා; පාසල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා; ගුරුවරයා පුත්තලම සහිරා විද්‍යාලයට මාරු කිරීමේ තීරණය දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා.
2025 මැයි 09; අම්ෂිකාගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත් වෙනවා; චුදිත ගුරුවරයා අමාත්‍යංශය විසින් අනිවාර්ය නිවාඩු යවනවා; ළමා ආරක්ෂණ අධිකාරිය විසින් දරුවන්ගේ  අපයෝජනය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට  නියෝග මාලාවක් නිකුත් කරනවා.
2025 මැයි 10; ඉගෙනුම් උපකාර මධ්‍යස්ථාන හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අබියස තමන්ගේ නිර්දෝෂී බවට ප්‍රකාශයක් නිකුත් කරනවා.
2025 මැයි 11; මැයි 11-16 සතිය තුළ නායකත්ව තනතුරු දරන සිසුන්ගේ දෙමාපියන් සඳහා පාසල් විදුහල්පතිවරිය  විසින් රැස්වීමක් පවත්වන බවද අනිද්දා පුවත් පත් වාර්තාවේ දැක්වෙනවා.
රැහේ මානසිකත්වයට පිළියම් නැද්ද?
රැහේ මානසිකත්වය හෙවත් කණ්ඩායම් මානසිකත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවෙයි. උදාහරණ ලෙස  ඇමෙරිකාවේ බොස්ටන් නුවර හාවඩ් වෛද්‍ය විද්‍යාලය විසින් මුලින් “ගෝත්‍රවාදය: යහපත, නරකය සහ අනාගතය” යන මාතෘකාව යටතේ වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ කණ්ඩායම් විශේෂඥ ගෝත්‍රිකයින් ලෙස හඳුන්වා පළ කරන ලද ශාස්ත්‍රීය ලිපිය පසුව විශේෂඥ  සයිලෝ ලෙස වෙනස් කර පළ කළා. මෙම ලිපිය  බලගතු වැඩිහිටියන් කණ්ඩායම් තමන්ගේ ගෝත්‍රය ආරක්ෂා කර ගැනීම හා ඒ නිසා වෙනත්  අය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි. ලිංගික අපයෝජනයෙන් කම්පනයට පත් වූ තනි දරුවෙකුට ඇය ආරක්ෂා කළ යුතු අය විසින් තමන්ගේ ගෝත්‍රය ආරක්ෂා කර ගැනීමට මුල් තැන දීම ඒ හා  සසඳන විට අන්ත සාහසික ක්‍රියාවක් නොවේද?
ළමා අපයෝජනවලට භාජනය වන දරුවන් තව දුරටත් පාසල් පද්ධතිය හා සමාජ සංස්ථා මගින්ද මානසික අපයෝජනයට  වීමට හේතුව රැහේ මානසිකත්වය නිසා රැහේ අය එකිනෙකා ආරක්ෂා කර ගැනීම නම් එය තුලනය කර ගැනීමේ අපට යාන්ත්‍රණ අවශ්‍ය වෙනවා.
දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බිම් මට්ටමේ යාන්ත්‍රණ
දරුවාගේ මරණයෙන් පසු මැයි 08 වැනි  දින දෙමාපියන් විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 1929 විශේෂ අංකය ඔස්සේ කළ දැනුම් දීම කළ වහාම එම අධිකාරිය විසින් ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් නියෝග මාලාවක් නිකුත් කරනවා. එයට ළමා අපයෝජනයක් සිදුවූ බව දැනගත් වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනිවාර්ය වාර්තා කිරීම, විමර්ශනය පැවැත්වෙන අතර රාජකාරිවලින් සැකකරුවන් සේවයෙන් ඉවත් කිරීම, විමර්ශන අතරතුර ළමයින්ට නැවත මානසික ආතතියක් ඇති නොකිරීම, ඔවුන් කොන් නොකිරීමට, බලපෑම් නොකිරීම හෝ පාසලෙන් ඉවත් නොකිරීම ආදි නියෝග අයත් වෙනවා.
පමාවී හෝ මෙවැනි නියෝග නිකුත් කළාට ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති අතර නොවිසඳුණු නඩු රාශියක් සැමග අලු‍ත් පැමිණිලි ගැන ඔවුන්ට සොයා බලන්නට හැකියාව ඇතිද යන්න ප්‍රශ්නයක්.  අපට අවශ්‍ය රැහේ මානසිකත්වය යම් තරමකට හෝ තුලනය කෙරෙන බිම් මට්ටමේ යාන්ත්‍රණයි.
ඇත්තෙන්ම නීතියේ හැටියට දරුවන්ගේ ආරක්ෂාව සඳහා මූලික වගකීම පාසල් ප්‍රජාව සහ අදාළ නිලධාරීන් සතුයි. මේ සඳහා, 1997 දී මධ්‍යම රජය විසින් පනවන ලද සිසුන්ගේ පාසල් පැමිණීම පිළිබඳ කමිටු රෙගුලාසිය 2016 ගැසට් අංක 1963/30 න් යාවත්කාලීන කරනවා.
එම රෙගුලාසියට අනුව, සෑම පාසලකටම පාසල් පැමිණීමේ කමිටුවක් තිබිය යුතුයි. මෙම කමිටුවට විදුහල්පති සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින්ගෙන් දෙදෙනෙකු බැගින් ඇතුළත් වෙනවා. දරුවෙකු පාසලට නොපැමිණෙන සියලු‍ කරුණු සම්බන්ධයෙන් මෙම කමිටුව සැලකිලිමත් විය යුතුයි. නිදසුනක් වශයෙන්, “‍පැමිණීම අක්‍රමවත් සහ පාසලෙන් ඉවත් වීමේ අවදානමක් ඇති සිසුන් හඳුනා ගැනීම සහ එවැනි හැසිරීම් සඳහා හේතු හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නිතිපතා පැමිණීමට පහසුකම් සැලසීම”‍ සඳහා එම කමිටුව වගකිව යුතුයි.
මෙම කමිටු වහාම සක්‍රිය කළ හැකි අතර, මේවා තුළින් දරුවන්ට සමීපතම ප්‍රජාව වන පාසල් ප්‍රජාවට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කරන සියලු‍ ගැටලු පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය හැකි අතර අදාළ අධ්‍යාපන අංශයේ සහ පරිපාලන අංශයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඒවාට විසඳුම් සෙවිය හැකියි.
විදුහල්පතිවරයා හෝ පාසල් කමිටුව විසින් යුක්තිය ඉටු නොකළහොත්, ශිෂ්‍යයෙකුට හෝ දෙමව්පියෙකුට ඊ ළඟ ඉහළ කමිටුව සහ ඊළඟ අදාළ බලධාරීන් වෙත යා හැකියි. 2015 එනක 1 රෙගුලාසියේ සඳහන් වන්නේ පාසල් කමිටුව අධීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ කමිටුවක් තිබිය යුතු බවයි.
ජාතික පාසල් සඳහා ඉහළ මට්ටමේ රජයේ බලධාරීන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. සෑම දෙනාටම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවෘතයි. අදාළ බලධාරීන් අවශ්‍ය දේ නොකරන්නේ නම්, මැදිහත් වීම සඳහා අපි ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් මහජන නියෝජිතයින් පත් කරගෙන තියෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයින්ගේ ළබැඳියාවේ ගැටුමක් ඇති බවට සැකයක් පවතිනවා. එය එසේ නොවී දරුවාගේ මරණින් පසු හෝ සාධාරණය ඉටු වේ යයි මම පතනවා.
බිම් මට්ටමේ යාන්ත්‍රණයන් තිබුණා නම් අම්ෂිකා බේරා ගැනීමට තිබුණාද?
ඇත්තටම දිල්ෂි අම්ෂිකා දැරියගේ සියදිවි නසාගැනීමේ කාලරාමුවෙන් පෙනී යන්නේ රාමනාදන් විදුහලේ  විදුහල්පතිවරිය විසින් පිළිවෙළින් දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළත් පාසල් සංවර්ධන සංගමයට හා ශිෂ්‍ය නායකයින්ගේ දෙමාපියන්ට පිළිවෙළින් 2025 ජනවාරි 09 සහ 2025 මැයි 11 සතියේ බලපෑම් කිරීමට උත්සාහ කළ බවයි. මේ සටහන් වී ඇති අවස්ථා දෙකක් පමණයි. මෙම පාසල පාසල් පැමිණීමේ කමිටුව වැනි දෙයක් පිහිටුවා තිබුණත් එම විදුහල්පතිවරිය ඔවුන්ගේ හඬ යටපත් කිරීමට හැකියාව ඇති අයෙකු බව පෙනෙනවා.
දෙමාපියන් හෝ වෙනත් අදාළ පාර්ශ්වයක් කොට්ඨාස මට්ටමේ ඇති  ඉහළ කමිටුවක් ගැන දැන සිටියේ නම් ඔවුන්ට ඒ සඳහා යා හැකිව තිබූ අතර, එසේ වූවා නම් එම කමිටුව හරහා අධ්‍යාපන බලධාරීන්ට අමතරව  ළමා ආරක්ෂණය පිළිබඳව කොට්ඨාස මට්ටමෙන් සේවය කරන අනිත් නිලධාරීන්ද දැනුවත් වෙනු ඇති. එවිට  අම්ෂිකාට වෙනත් පාසල් කලාපයකට යාමට අවසර ලබා දීමෙන් ගැටලු‍වෙන් ඉවත් වීමට අධ්‍යපන බලධාරීන්ට නොහැකි වනු ඇති. රැහේ අය බේරා ගැනීමේ මානසිකත්වය සම්පූර්ණයෙන් අයින් කරන්න බැරි වුවත් විවිධ ආයතනවල සම්බන්ධීකරණය කෙරෙන කමිටු තුළින් එම ආකල්ප හා හැසිරීම් අවම කර ගන්න පුළුවන් කියා මම හිතනවා.
ඊට අමතරව වෙනත් වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 08 වන දින සිදුවීමට පෙර 2024 ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළත් අම්ෂිකා අතවරයට භාජනය වෙලා තියෙනවා. සමීප වැඩිහිටියන්ගේ ලිංගික අතවරයන්ගෙන් මිදෙන්නේ කෙසේද සහ උපකාරය සඳහා යා යුත්තේ කොතැනටද යන්න කුඩා කල සිටම අම්ෂිකා වැනි දරුවන්ට ඉගැන්විය යුතුයි. වරක් ග්‍රාමීය  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කාර්යාලයක්  තුළ ළමයින්ට එවැනි උපදෙස් දෙන ආකර්ෂණීය පෝස්ටරයක් දුටුවා මට මතකයි. එය බොහෝ විට යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රාථමික පාසල් වයසේ දරුවන් සඳහා නිර්මාණය කළ එකක්.
අප විසින් දිගින් දිගටම පුළුල් ලිංගික අධ්‍යාපන විෂය මාලාවක් සඳහා බලපෑම් කරත් අපේ ගුරුවරුන් එම විෂය ඉගැන්වීමට පැකිලෙනවා. ඒ අතරතුර අපි ළදරු පාසල් දරුවෙකුට වුවත් පැහැදිලි කර දිය හැකි ලිංගික අතවරවලින් මිදීම සඳහා සරල උපදෙස් අපේ දරුවන්ට ලබා දෙන්නේ නැහැ. එවැනි තොරතුරු සියලු‍ම වයස්වල දරුවන්ට වහාම සන්නිවේදනය කළ යුතුයි.
ඊටත් අමතරව සියලු‍ම ගුරුවරුන් සඳහා ලිංගික අපචාර පිළිබඳ දැනුවත් කිරීමක් අනිවාර්ය විය යුතුයි.
අවසාන වශයෙන් අප අධ්‍යාපන පද්ධතියේ පෙනීමට තිබෙන සංසිද්ධියක් වන දරුවන්ගේ ආරක්ෂාව නොසලකා තම තමන්ගේ අය හෝ ආයතන ආරක්ෂා කිරීම නැවැත්වීමට ආරම්භක යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට මම කැමතියි.
1. 2016  ගැසට් අංක 1963/30 න් ප්‍රකාශ කර ඇති 2015 අංක 1 දරන දරුවන්ගේ අනිවාර්ය පාසල් පැමිණීමේ කමිටු රෙගුලාසියට අනුව හෝ නව රජය විසින් අවශ්‍ය නම් යාවත්කාලීන කරන ලද වෙනත් රෙගුලාසියක් යටතේ සෑම දරුවෙකුටම පාසලේ හිතකර පරිසරයක් සැපයීමේ වගකීම ඇති කමිටු වහාම පිහිටුවන්න. ඒවා නිසි පරිදී අධීක්ෂණය කිරීමේ වගකීම පළාත් බලධාරීන්ට පවරන්න. මධ්‍යම රජයත් වාර්ෂිකව ඒවා පිළිබඳව විමසීමක් කරන්න.
2. පාසලකට දරුවෙකු ඇතුළත් කරන අවස්ථාවේදී දෙමාපියන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් මෙන්ම පාසලෙන් සහ ප්‍රාදේශීය, කලාප, පළාත් සහ ජාතික බලධාරීන්ගෙන්, නොයෙකුත් කමිටු වලින්  සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දෙමාපියන්ට ලබා ගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් භාවිත කරමින් සියලු‍ම දෙමාපියන් දැනුවත් කිරීම පාසල්වලට අනිවාර්ය කරන්න.
3. ලිංගික අතවරවලින් ආරක්ෂා වීම පිළිබඳව ළමයින්ව දැනුවත් කරන පෝස්ටරයක්, වීඩියෝවක් සහ පොත් පිංචක් සකස් කර සියලු‍ම දරුවන් දැනුවත් කරන්න (එක්සත් ජාතීන්ගේ ආයතනවල දැනටමත් මෙම සම්පත් තිබිය හැක).
4. ඒ හා සමාන්තරව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා ලිංගික අපචාර පිළිබඳ දැනුවත් කිරීමේ ලේඛන සකස් කර ඒ අය නැවත නැවත දැනුවත් කරන්න.
- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි