No menu items!
22.6 C
Sri Lanka
19 May,2024

පල්ලිය වල දැමූ බොරලැස්සේ පාස්කු නාට්ටියට අවුරුදු සීයයි

Must read

ලංකාවේ ඇත්තන්ට පාස්කු කී විට දැන්නම් මුලින්ම මතකයට එන්නේ 2019 එල්ල කළ පාස්කු දින ප්‍රහාරය වුවත් අතීතයේදී අසිරිමත් පාස්කු මංගල්ලය කී සැණින් අපේ මතකයට ආවේ මීගමුව දූවේ පාස්කු නාට්‍යය බව රහසක් නොවේ. වර්ණකුලසූරියලා, මිහිඳුකුලසූරියලා, කුරුකුලසූරියලාගෙන් පිරිගිය මීගමුව දූවේ රඟ දැක්වෙන අසිරිමත් පාස්කු නාට්‍ය ලංකාවම දැනසිටියත් වයඹ පළාතේ ලුණුවිලට නොදුරු බොරලැස්ස නම් ගම්පියසේ අදින් සියවසකට පෙර ආරම්භ කළ ‘බොරලැස්ස පාස්කු නාට්‍ය’ සම්ප්‍රදාය ගැන දන්නෝ අතිශය විරලය.

බොරලැස්ස පාස්කු නාට්‍යය ආරම්භ කරනුයේ කේ. ලෝරන්ස් පෙරේරා මාස්ටර් විසිනි. 1890 බොරලැස්සේදී ලෝරන්ස් පෙරේරා උපත ලබනුයේ රිදී හැන්ද මුවේ තබාගෙනය. ඔහුගේ පිය පාර්ශ්වයෙන් මහා ධනස්කන්ධයක් උපදින විටත් ලෝරන්ස් පෙරේරාට උරුමව තිබුණි. එහෙයින් ජීවත්වන්නට රැකියාවක් කරන්නට කියා විශේෂ උවමනාවක් ඔහුට තිබුණේ නැත. එහෙයින් ලෝරන්ස් පෙරේරාගේ හිත කලාවට ඇදී ගියේය. සංගීතය හැදැරූ ඔහු නාට්‍ය නිෂ්පාදනයටද අත ගසන්නේය. සිටු පවුලක පුතෙකුව ඉපිද කලා ලෝකයට පය ගැසූ ලෝරන්ස් පෙරේරා ගැන ඔහුගේ දියණි ශීලා ලොරන්සි පෙරේරා සිය මතකය මෙසේ අවදි කරන්නීය.

ශීලා

‘අපේ තාත්තාගේ තාත්තාට උතුරන්න සල්ලි තිබිලා තියනවා. අපේ තාත්තා නාට්‍ය කරන්න කලා කටයුතු කරන්න වියදම් කළේ ඒ සල්ලි. කොහොම හරි තාත්තා ගොඩක් අඩු වයසේදී එංගලන්තයට යනවා. ඒ කියන්නේ 1907දී. බැරිස්ටර් කෙනෙක් වෙන්න ඉගෙනගන්න. ඒත් තත්තාගේ හිත තියෙන්නේම කලාව පැත්තේ. ඒක හින්දා නීතිය සමගම සංගීතයත් ඉගෙනගන්න එයා අමතක කරන්නේ නෑ. 1910 වෙනකම්ම තාත්තා කරලා තියෙන්නේ සංගීතය සහ නාට්‍ය ඉගෙන ගන්න එක. ලංකාවේදීත් එයා ශේක්ස්පියර්ගේ නාට්‍ය කලාව හදරලා තියනවා.’ අතමිට අඩුපාඩු නොවුණු නිසා ලෝරන්ස් පෙරේරා එංගලන්තයට කොටුවූයේ නැත. ඔහු එහි සිට ප්‍රංශයට, ඉතාලියටද ගියේය. ඒ හැම තැනකදීම ඉඩ ලද පමණින් නාට්‍යයේ හා සංගීතයේ නූතන ප්‍රවණතාවන් හදාරන්නට කටයුතු කළේය. මේ වන විට ලෝරන්ස් පෙරේරාගේ තරාදියේ එක පසක බැරිස්ටර්වරයාද අනෙක් පස නාට්‍යකාරයාද විය. කොතෙක් තුලනය කරන්නට හැදුවත් නාට්‍යකාරයාගේ පැත්ත බර වැඩි විය. අවසානයේ බැරිස්ටර්වරයා සමගම තරාදිය තේම්ස් ගඟට දැමූ ලෝරන්ස් පෙරේරා ජර්මනියට ගියේය. මෙන්න මේ ජර්මානු ගමන ඔහුට පමණක් නොව ලංකේය නාට්‍ය කලාවටම වැදගත් එකක් විය. ලෝරන්ස් පෙරේරා පාස්කු නාට්‍ය හා ගැටගැහෙන්නේ මේ ගමනේදීය. තාත්තාගෙන් අතීතයේ අසා දැනගත් ඒ ගමනේ විත්ති ශීලා මෙසේ ලියුම්කරු සමග කීවාය.

‘එංගලන්තයේදී ලංකාවේ තිබුණූ සාම්ප්‍රදායික නාඩගම් සහ නූර්ති කලාවට වඩා වෙනස් ආකාරයක් ගත්ත යුරෝපීය සම්ප්‍රදායට එයාගේ අවධානය යන්න ඇති. තාත්තා 1910දී ජර්මනියට යනවා. එහෙ තියනවා කතෝලිකයන්ට වැදගත් තැනක්. ඒක පාස්කු ගම්මානයක්. ‘ඔපර් අමර් ගෝ’ නමින් තමයි ඒ පාස්කු ගම්මානය හඳුන්වන්නේ. ඒ ගමේ පාස්කු නාට්‍ය රඟදක්වන්නේ අවුරුදු 10කට එක සැරයයි. අපේ තාත්ත්තා 1910 මේ ගමේ පාස්කු නරඹනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. මොකද ගමේ විවිධ තැන්වල මේ නාට්‍යයේ විවිධ සංදර්ශන පවත්වනවා. හරියටම සතියක් යනවා නාට්‍යය පෙන්නලා ඉවර කරන්න.’

මේ ආකාරයෙන් ඔපර් අමර් ගෝ පාස්කු අසිරිය විඳ ලංකාවට එන ලෝරන්ස් පෙරේරා මාස්ටර් නැවත සිය කළා කටයුතු අරඹන්නේය. ඒ අනුව 1914දී ඔහු ‘ඔස්ටින් සහ ඇග්නස්’ නමින් ආගමික නාට්‍යයක් වේදිකාගත කරන්නේය. ළමුන්ට පමණක් නොව, බෝලවලාන ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඔහු ගුරුවරුන්ටද සංගීතය උගන්වන්නේය. මේ මොනවා කළත් ඔපර් අමර් ගෝහිදී දුටු පාස්කු නාට්‍යය ඔහුගේ සිතේ පැළපදියම්ව තිබුණේය. ඒ වන විටත් මීගමු දූවේ පාස්කු නාට්‍ය ලංකාවේ පතළව තිබුණි. සුරුවම් ආශ්‍රයෙන් කළ ඒ පාස්කු නාට්‍ය සජීවි නළුනිළියන් යොදා රඟදක්වන්නේ නම් වඩාත් හොඳින් ආගමික පණිවිඩය සමාජගත කළ හැකි බව ඔහුගේ විශ්වාසය විය. ඒ අනුව නාඩගම් හා නූර්ති ආභාසයෙන් ඔබ්බට ගොස් යුරෝපා සම්ප්‍රදාය හෝ ශේක්ස්පියර් නාට්‍ය සම්ප්‍රදායේ සිරගත නොවනා නාට්‍ය රාමුවක් තුළ ලංකාවේ පාස්කු නාට්‍ය රඳවන්නට ඔහුට ඕනැ විය.

ජර්මනියේ ඔපර් අමර් ගෝහි මෙන් ලංකාවේ සතියක් නාට්‍ය පෙන්වීම කළ නොහැකිය. එහෙයින් ලංකාවට ගැළපෙන එහෙත් ලංකාවේ ප්‍රේක්ෂකයාට අලුතින් අමතන පාස්කු නාට්‍යයක් හැදීම ලෝරන්ස් මාස්ටර්ගේ අදහස විය. ඒ අනුව බිහිකළ බොරලැස්සේ පස්කු නාට්‍යය 1923 වසරේදී තම ඉඩමේම ඉදිකළ පාස්කු මඩුවක රඟදක්වන්නට ලෝරන්ස් මාස්ටර් කටයුතු කළේය. මේ පාස්කු නාට්‍යය දූවේ පාස්කු නාට්‍යවලට එහාගිය එකක් විය. සුරුවම් වෙනුවට සැබෑ නළුවෝ එහි රඟපෑවෝය. නාට්‍යද පැය දෙක තුනක් නොව පුරා වරුවක් පැවැත්වූයේය. හවස හයේ කණිසමට ඇරඹුණු බොරලැස්සේ පාස්කු නාට්‍යය නිමවූයේ පසුවදා අලුයම පහටය. පුරා දොළොස් පැයක් පාස්කු නටන්නට ප්‍රධාන නළුවන් 108 දෙනෙක්ද සහය නළුවන් හතලිස් ගණනක් ද ඇතුළුව 150 කට වැඩි පිරිසක් එක්වූවෝය.

බොරලැස්සේ පාස්කු නාට්‍යය විශේෂ වන්නේ එහි රඟපෑ දැවැන්ත නළුවන් කන්දරාව හෝ පැය දොළහක් රඟ දැක්වූ නිසා නොවේ. එහි තවත් විප්ලවීය අංග ගණනාවක් විය. මෙතුවක් පාස්කු නාට්‍යවල කුරුසියේ ඇණගැසුවේ සුරුවම් ය. එහෙත් ලෝරන්ස් මාස්ටර් එම සම්ප්‍රදාය වෙනස් කර සජීවී පුද්ගලයෙකු කුරුසියේ තබා ඇණ ගැසුවේය. ඇඟ ලොමුදැහැගැන්වෙන ඒ කථාව ගැන ලෝරන්ස් මාස්ටර්ගේ දියණිය මෙසේ පවසයි. ‘ඒක ඉතිහාසයේ පොත්වල, පත්තරවල ලියවිලා තියනවා. ඒ සඳහා කළ යුතු විශේෂ ක්‍රම, පේවීම් වගේ දේවල් තියෙනවා. තාත්තා විතරක් නොවේ 1997 මමත් රෝමයේදී පාප්වහන්සේගේ අවසරය මත මේ දර්ශනය පැවැත්වූවා. නැවත 2010 බොරලැස්සේදීත් මම මෙම දර්ශනය පැවැත්වුවා. ඒක අපේ පවුලට සම්බන්ධ විශේෂ ක්‍රමයක්. ඒක නිසා ඒ ගැන මීට වඩා මට කථා කරන්න බෑ.’

ලෝරන්ස් මාස්ටර්ගේ පාස්කු නාට්‍යය තවත් එක් කරුණක් නිසා සුවිශේෂ වෙයි. එකල නාට්‍යවල ගැහැනු සහ පිරිමි චරිත සියල්ල රඟපෑවේ පිරිමින් ය. ආගමික නැඹුරුවක් සහිත නාට්‍යවල මේ තත්ත්වය වඩාත් විශේෂ විය. තාක්ෂණ සහ සන්නිවේදන පහසුකම් අවම වූ යුගයක වුවද ලෝරන්ස් මාස්ටර් යනු කුඩා දිවයිනක උපන් මහාද්වීපයක සිතිවිලි සහිත කලාකරුවෙක් විය. කිසිකලකත් ඔහු තම නාට්‍ය භාවිතයට සම්ප්‍රදාය නැංගුරමක් කර නොගත්තේය. එහෙයින් 1939දී රඟදැක්වූ සිය පාස්කු නාට්‍යය සඳහා අභීත අත්හදා බැලීමක් කළේය. එම වසර ප්‍රතිසංස්කරණ වසරක් ලෙස නම්කළ ඔහු දේවමෑණියන්ගේ චරිතය හැර සෙසු ප්‍රධාන කාන්තා චරිත හතරක් වන මරියමග්දලේනා, ෆ්ලොමි, ජුහාරා, මාර්තාගේ චරිත සඳහා බාලිකාවන් සිව් දෙනෙකු යොදවා ගැනීමට තීරණය කළේය. මේ තරුණියන් හතර දෙනාගෙන් එක් අයෙක් මාස්ටර්ගේ ඥාතිවරියක් වූවාය. අනෙක් තිදෙනා නාට්‍යයේ රඟපෑ සෙසු ශිල්පීන්ගේ පවුල්වලම සාමාජිකාවෝ වූහ.

ලොරන්ස් මාස්ටර්ගේ පාස්කු නාට්‍යය එකම මංගල්ලයක් විය. අවට හතර දිග්භාගයෙන්ම ආගම් භේදයකින් තොරව මහා ජන ගංගාවක් බොරලැස්සට පැමිණියෝය. එහැමටම සංග්‍රහ කරන්නට ලෝරන්ස් මාස්ටර්ට හැකියාව තිබුණද අවට කඩපිල්ද ඉදිව තිබු බව පැරැන්නෝ පවසති. ලෝරන්ස් මාස්ටර්ගේ පාස්කු සංදර්ශනය කොතරම් හොඳ වැඩක් වුවද, බොහෝ හොඳ වැඩවලට මෙන් ඊටද එදිරිවාදිකම් කළෝ බොහෝය. අන්න ඒ පිරිසට පාස්කු වේදිකාවට කන්තාවන් ගොඩවීමද ඇල්ලුවේ නැත. ඔවුහු මාස්ටර්ගේ පාස්කු දැක්මට වට කරගෙන ගහන්නට වූහ.

මේ ආකාරයේ කුහකකම් නිසා 1923 දී ඇරඹුණ බොරලැස්සේ පාස්කු නාට්‍යයට ආයුෂ තිබුණේ 1939 වනතෙක් පමණි. පාස්කු නාට්‍යයට ලැබෙනා ජනප්‍රසාදය සහ ඉන් ලෝරන්ස් මාස්ටර් ලබනා ආර්ථික වාසි දෙස බලා සිටිය නොහැකි වූවෝ ඔහුට එරෙහිව කඳවුරු බැන්දෝය. විශේෂයෙන් රංගනයේ සහ වෙනත් චර්යාවන්ගේ ගැටලු නිසා මාස්ටර් සිය පාස්කු නාට්‍ය කණ්ඩායමෙන් නෙරපා හළ පුද්ගලයෝ ඊට මුල් වූහ. එහිලා දැකිය හැකි වඩාත්ම අවාසනාවන්ත සිදුවීම වූයේ මේ පිරිස කඳවුරු බඳින්නේ අන් තැනක නොව යාබද පල්ලියක වීමය. ශීලා මෙසේ කියන්නීය.

‘අන්තිමට බිෂොප්ට බොරු කියලා තාත්තාගෙ පස්කු නාට්‍යයට තහනමක් පැනවුවා. කොළඹ පදවියේ නාට්‍යය පෙන්නන්න බෑ කියලා. ඒ කාලයේ කොළඹ පදවියට වත්මන් හලාවත පදවියද ඇතුළත්, ඒ නිසා තාත්තාට තම උපන්ගමේ පාස්කු නාට්‍යය නතර කරන්නට වුණා. තව නොයෙක් කරදර කළා. පල්ලිය නොමග යවපු මිනිස්සු නාට්‍යය බලන්න ගමට ආපු අයට බොන්න ළිංවලින් වතුරවත් දුන්නෙ නෑ. අන්තිමට තාත්තා සමාව ඉල්ලුවා. ඒත් දුන්නෙ නෑ. අවුරුදු දහයක්ම ආයේ නාට්‍යය කරන්න බලාන හිටියා. ඒත් අවසරය ලැබුණේ නෑ. දැඩි මානසික වේදනාවක් වින්ද තාත්තා අන්තිමට හිතේ සැනසීම හොයාගෙන බුද්ධාගමට ගියා. ඒ නිසා මාත් බෞද්ධ වුණා. තාත්තා අවුරුදු ගානක් පාස්කු නාට්‍යය කරපු ගමේ පාස්කු මඩුවත් 1948 මිනිස්සු ගිනි තිබ්බාලු.’ ඇය දිගු කථාවක් කෙටියෙන් කියා නිමකර සුසුමකින් ළය සැහැල්ලු කරගත්තාය.

පල්ලිය විසින් වල දැමූ පාස්කු සම්ප්‍රදායක නිර්මාතෘ ලෝරන්ස් මාස්ටර්ගේ චරිතාපදානය ඉකුත් 23 වනදා බොරලැස්සේදි එළිදක්වන ලදි. එය හුදු පුද්ගල චරිතාපදානයක් නොව ආගමික සංස්ථාවන් සමාජයට කළ අයහපත් බලපෑමක තොරතුරුද සමාජගත කරන්නට ගත් උත්සාහයකි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි