No menu items!
26.3 C
Sri Lanka
14 July,2024

මැටි වලක පාවෙන බෝලගල හෝටලය

Must read

බස්නාහිර සහ වයඹ දෙපළාත් දෙපසට කරමින් ගලායන මා ඔය මිටියාවත මැටි වැඩවලට පතළය. මීට දෙතුන් අවුරුද්දකට පෙර ලංකාවේ පළමු මැටි ඇමති බිහිවූයේද මේ කියන්නා මා ඔය බඩ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එමතුදු නොව තවමත් විටින් විට හිස ඔසවන ගම්පහ දිස්ත්‍රික්කයේ පස් පාතාලයේ තිඹිරිගෙයද මා ඔය නිම්නයේ මැටි කර්මාන්තයේ අංගයක් වන ‘මැටි කැපීම’ බව පැවසිය හැක්කේය.

මා ඔය නිම්නයේ බොහෝ දෙනෙකුගේ ජීවිත මැටි කර්මාන්තය හා බැඳී ඇත්තේය. මැටි කැණීම් යන වචනය අපට යම් නුහුරු බවක් ගෙන ආවද මා ඔය නිම්නයේ වැසියන්ට එය හොඳට හුරුපුරුදු වචනයකි. මැටි කණින්නේ මැටිවළං සෑදීමට පමණක් නොවේ. මහා පරිමාණයෙන් කරනා මැටි කැණීම් බහුතරය සිදුවන්නේ උළු ගඩොල් නිෂ්පාදනය වෙනුවෙනි. මෙලෙස පොළව හාරා පස් ලබාගැනීම ආවාට ගියාට සිදුකළ හැක්කක් නොවේ. ඒ සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නෛතික අවසරය ලබාගත යුත්තේය.

කාර්යාංශය ඒ අවසරය දෙන්නේ පස් කපාගන්නා ස්ථාන යළි නියමිත ආකාරයෙන් ගොඩකරනා බවට පොරොන්දුව මතය. භූවිද්‍යාවේ භෂාවෙන් ඊට කියනුයේ භූමි පුනරුත්ථාපනය කියාය. එහෙත් ලංකාවේ අන් බොහෝ පොරොන්දු මෙන් මෙකී භූමි පුනරුත්ථාපන පොරොන්දුවද බොහෝ තැන්වල නිකම්ම නිකම් කඩවුණ පොරොන්දුවක් බවට පත්ව ඇත. මා ඔය නිම්නයේ බොහෝ තැන්වල අඩි තිහ හතලිහ ගැඹුරු ආවාට බඳු වලවල් ඉතිරිව ඇත්තේ එසේ කඩවුණ පොරොන්දු නිසාය.

එහෙත් නිර්මාණශීලී මිනිසුන්ට මැටි කපා අතහැර දමනා වළවල් පවා විස්මිත නිර්මාණයන් බවට හැරවිය හැක්කේය. එමතුදු නොව පංච මහා විල් සිහිකරනා එවැනි වලවල්වල ලෝක පුදුම මවන්නටද හැක්කේය. භූවිද්‍යා කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ කැණීම් ඉංජිනේරුවා වූ කුෂාන් ගුණසේකර එවැනි නිර්මාණශීලී මනසක් තිබූ මිනිසෙකි. ඔහුට පමණක් නොව භූවිද්‍යා කාර්යාංශයටම ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකුම ලොකු ප්‍රශ්නයක් ඉතිරිව තිබුණේය. ඒ බෝලගල හල්පේ විලය. වතුර පිරී ඇති නිසා විල යයි කීවාට එය මැටි වලවල් පොකුරක එකතුවකි. මඩම්පැල්ල, බෝලගල ගමේ පිහිටි, කලක සිට මැටි ලබාගන්නට හෑරූ අඩි තිහ හතලිහක් ගැඹුර වලවල් කිහිපයකට වැසි ජලය පිරීමෙන් සහ අතේ දුරින් ගලායන මා ඔයේ උල්පත් සක්‍රිය වීමෙන් බිහිවුණ හල්පේ විල අක්කර හැට හැත්තෑවක් පුරා පැතිර ඇති දැවැන්ත වලවල් රැසක එකතුවකි.

නිසිලෙස භූමි පුනරුත්ථාපනය නොකරන මිනිසුන් අතරේ එම රාජකාරිය හරියටම කරනා මැටි ව්‍යාපාරිකයෝ නැත්තේ නොවෙති. පිය උරුමයක් ලෙස මැටි සහ වැලි කැණීම කරනා කැළුම් පෙරේරාද එවැනි එක් ව්‍යවසායකයෙකි. හල්පෙ විල ගොඩකළ හැකිදැයි කැණීම් ඉංජිනේරු කුෂාන් ගුණසේකර කැළුම්ගෙන් නිකමට විමසන්නේය. කැළුම්ගේ පිළිතුර වනුයේ හල්පේ විල පස් දමා නොව වතුරෙන්ම පුරවා භූමි පුනරුත්ථාපනය කිරීම හැර වෙන විකල්ප නැති බවය. ‘එහෙනම් කැළුම් ඕකේ පාවෙන හෝටලයක් හදන්නකෝ.’ දකුණු ආසියාවේ හතරකොන ඇවිද්දත් සොයාගත නොහැකි පාවෙන හෝටලයක් හල්පේ විලේ ඉදිකිරීමේ ආරම්භය එකී යෝජනාවය. මේ වන විට මැටි වල විලක් වී එහි තරු හතරේ පාවෙන හෝටලයක්ද ඉදිවී හමාරය. දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විවෘතවූ ලංකාවේ අලුත්ම හෝටලය වී ඇත්තේ මේ කියනා බෝලගල ෆ්ලෝටින් රිසෝර්ට් එකය.

මැටි වලක හෝටලයක් හදා පා කිරීම වූ කලී එසේ මෙසේ වැඩක් නොවේ. ඊට කරගැසූ කැළුම් පෙරේරාට මතුවූ මුල්ම ප්‍රශ්නය වූයේ මේ දැවැන්ත කාර්යයට අවශ්‍ය හවුල්කාරයන් සොයා ගැනීමය. ප්‍රකට ව්‍යාපාරිකයෝ ‘ඕක රිස්කි වැඩක්’ බව කියමින් කැළුම්ට පිටුපෑවෝය. ඒත් ඒ රිස්ක් එක ගන්නට කැමති, ව්‍යාපාරිකයන් නොවනා වෘත්තිකයෝ සහ ක්‍රීඩකයෝ කැළුම්ගේ පාවෙන හෝටලයේ අපූර්වත්වය දැක්කෝය. ඒ අතර ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ අදටත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරනා ඔෂධ ප්‍රනාන්දුද වෙයි. ඒ දෙදෙනාද ඇතුළුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෝ රැසක් ආයෝජකයන් ලෙස මීට එක් වූහ. මිලියන දහසකින් වැඩ නිම කරන්නට සිතා ඔවුහු වැඩේට බැස්සෝය. එහෙත් ලෝකයම ගෙවල් තුළ සිරකළ කොරෝනා වසංගතය සහ ලංකාවේ ආර්ථිකය බංකොළොත් වීම යන කරුණු නිසා මිලියන දහසින් නිමකරන්නට ගත් වැඩේ මිලියන 1800 දක්වා දිග්ගැසුණේය. කෙසේ හෝ දැන් වැඩේ නිමා වී ඇත්තේය.

බෝලගල ෆ්ලෝටින් රිසෝර්ට් අපූරු නිර්මාණයක් වන්නේ එය මැටි කපා අතහරින ලද වලක ඉදිකිරීම නිසා හෝ පාවෙන හෝටලයක් වීම නිසා නොවේ. එය සංකල්පීය වශයෙන් වෙනස් හෝටලයකි. එහි කබානා ගණන පනහකට ආසන්නය. ඒ සියල්ල ඇත්තේ ජල තලය මතය දෙපසට පැද්දෙමිනි. කබානා දහය වඩාත් විශේෂිතය. ඊට හේතුව වන්නේ නියමු මැදිරියක් මගින් එකී කබානා ජලාශයේ තෝරාගත් මාර්ගයක ගමන් කරවීමට හැකි වීමය. මේ කබානවල නවාතැන් ගන්නා අමුත්තෙක් කෙටි නින්දකින් පිබිදෙන විට දකින්නේ මුළු මනින්ම වෙනස් පරිසරයකි. ඒ අත්දැකීම වෙනත් හෝටලයකදී ලබනවා තබා සිතන්නටවත් නොහැක. හෝටලයේ දැවැන්ත පිහිනුම් තටාකය එක්වර පනස් දෙනෙකුට පහසුකම් සපයයි. එයද ඇත්තේ ජය තලය මත දෙපසට පැද්දෙමිනි.

අවන්හලද ඒ ආකාරයෙන් ජලයේ පාවෙමින් තිබේ. අමුත්තන්ගේ ආහාර අවශ්‍යතාවන්ගෙන් 90%ක් හෝටලය ආශ්‍රයෙන්ම සපයාදීමේ අරමුණින් ඉදිකර ඇති හරිතාගාරය තවත් විශේෂ අංගයකි. සීතල නුවරඑළියේ වැවෙනා බෙල් පෙපර්, කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු සහ ස්ට්රෝබෙරි වැනි පලතුරු රැසක් කාබනික ක්‍රමයට වවා ඇති මේ හරිතාගාරයද ඇත්තේ ජලය තලය මත පාවෙමිනි.

සංචාරකයන් වෙනුවෙන් සැබෑ ලාංකේය ගම්මානයක අත්දැකීම ලබාදෙන්නට ඉදිවූ ගම්මානයක්ද මෙහි ඉදිකර ඇත. එය හුදු ගැමියන් ලෙස නළුවන් රඟනා රඟමඩලක් නොව සැබෑ ගම්මානයකි. සංචාරකයන් ආවත් නාවත් එහි වැසියෝ තම හුරුපුරුදු දිවි පෙවෙත ගතකරති, කුඹල් ගෙදර, ගොවි ගෙදර, රා කඩේ, ආරච්චි නිවස වැනි පැරණි ගමක අංග සියල්ල එහි වෙයි.

මිලියන දෙදහසකට ආසන්න පිරිවැයක් දරමින් මේ විස්මිත නිර්මාණය නිමකළද ඊට රජයෙන් හිමිවිය යුතු අවම පහසුකම්වත් ලබාදීමට වග කිවයුත්තන් කටයුතු කර නැත. කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයෙන් හැරී හෝටලය වෙත යාමට ඇති මාර්ගය අප්‍රිකානු සෆාරි ගමනක අත්දැකීම් ලබාදෙන තරමට ජරාජීර්ණය. නිරතුරු එහි ගමන් ගන්නා පස් ලොරි නිසා දුවිල්ලෙන් වැසී ඇති පටු මාර්ගය එක් පසකින් මායිම්ව ඇත්තේ මැටි කැපීමෙන් හෑරී ඇති අඩි හතලිහක් තරම් ගැඹුරු ප්‍රපාතයකටය. මෙම මාර්ගය නිසාම මේ හෝටලය සංචාරකයන් අධෛර්ය වීමට පුළුවන. ආණ්ඩුවේ නිලධාරීන්ගේ කම්මැලි වැඩ නිසාම කටුනායක සිට සී ප්ලේන් මගින් සෘජුවම සංචාරකයන් හෝටලයට ගෙන ඒමට කළමනාකාරිත්වය සැලසුම් කරමින් සිටිනා බව බෝලගල ෆ්ලෝටින් රිසෝර්ට් සභාපති කැළුම් පෙරේරා පැවසීය.

හල්පේ මැටි වල නොසිතූ ආකාරයෙන් තරු හතරේ හෝටලයක් පාවෙන, විලක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. එහෙත් කිසිදු භූමි පුනරුත්ථාපනයකට ලක් නොවූ දැවැන්ත මැටි වලවල් රැසක් ජනජීවිතයට අනතුරුදායක ලෙස මා ඔය නිම්නයේ විසිරී ඇත. පොතේ හැටියට මැටි කැපීම් සඳහා අවසර දෙන්නේ එකි වළවල් පුරවා පුනරුත්ථාපනය කිරීමේ කොන්දේසිය පිටය. එසේනම් සෑම මැටි වලක්ම නියමිත පරිදි පුරවා නිමකළ යුතුය. එහෙත් නොපිරවූ වලවල් සෑම තැනකම දැකිය හැක. එසේ වන්නේ කෙසේදැයි වගකිවයුත්තෝ උත්තර දිය යුත්තෝය.

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි