No menu items!
23.3 C
Sri Lanka
20 April,2024

2000-2022 අතර අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හේතුවෙන් 298ක් මියගොස් 1054ක් තුවාල ලබලා

Must read

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවක් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති අතර එහි විධායක සාරාංශයේ සඳහන් කරන්නේ දුම්රිය හරස් මාර්ග නොමැති වීම නිසා හා පවත්නා දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිත බව හේතුවෙන් 2000-2022 අතර කාලයේදී පුද්ගලයින් 298ක් මියගොස් පුද්ගලයින් 1054ක් තුවාල ලබා ඇති බවයි.
එසේම 2022 මාර්තු 11 දිනට පවත්නා දත්ත අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමට යටත්වන දුම්රිය හරස් මාර්ග 1362කින් කුමන හෝ හරස් මාර්ග ආරක්ෂණ පද්ධති තිබී ඇත්තේ 855කට බවයි.

2013 වර්ෂය වනවිට ආරක්ෂා නොකළ දුම්රිය හරස් මාර්ග 533කින් 200ක් සඳහා සීනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීම සඳහා 2013 වර්ෂයේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ඒ ද්විත්ව දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 25ක් සඳහා හා තනි මාර්ගයේ හරස් මාර්ග 175ක් සඳහාය. හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම, අත්හදා බැලීම හා භාරදීම එම ප්‍රසම්පාදනයට අයත්වී ඇත. ඒ අනුව අදාළ ප්‍රසම්පාදනය Consortium Consisting of M/S. N- Able (pvt) Ltd සමාගම සමග ඒකාබද්ධ වූ jQ Uni Consultancy Services- Univercity of Moratuwa වෙත ප්‍රදානය කර තිබේ. එම ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආයතනයක් බැවින් SLS සහතිකය නොමැතිව ප්‍රසම්පාදනය ලබාදීමට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබේ. එහෙත් එම ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් නොවන බව එහි උප කුලපතිවරයා විසින් විගණනයට දන්වා තිබේ. එහෙත් එම ආයතනයේ ලිපිනය ලෙස සඳහන් කර තිබී ඇත්තේද අංක 272, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව යන මොරටුව විශ්වවිද්‍යාලයේ ලිපිනයමයි.

එම ප්‍රසම්පාදනයෙන් ස්ථාපනය කරන ලද විදුලි පද්ධති 200න් පද්ධති 50ක් 2023 ජුනි 23 වනවිට අක්‍රියව පැවති බව විගණනයට නිරීක්ෂණය වී ඇති අතර ඒ අනුව ඒ වෙනුවෙන් දරන ලද රුපියල් මිලියන 242.13ක මුදල අනාර්ථික වී ඇති බව හා ඒ මගින් අපේක්ෂිත කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය කර ඇත. 2000 වර්ෂයේ සිට 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ සීනු හා ආලෝක පද්ධති ඉදිකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැයකර ඇති මුදල රුපියල් 1,452,893,571ක් වන අතර ස්ථාපනය කර ඇති සීනු හා ආලෝක මාර්ග ආරක්ෂණ පද්ධති ගණන 252කි.

මෙම විගණයේදී විෂය පථය සීමාවීම සඳහා කරුණු කිහිපයක් බලපා තිබූ අතර ඉන් එකක් වන්නේ දුම්රිය හරස් මාර්ගවල යථා ස්වභාවය පිළිබඳ දත්ත කාලානුරූපීව පිළියෙළ කර නොතිබීමය. ඒ හේතුවෙන් මාර්ග ආරක්ෂණ පද්ධතිවල අවශ්‍යතාව පිළිබඳ නිවැරදි තොරතුරු ගැනීමේ දුෂ්කතරතාවක් පැනනැගී ඇත. එමෙන්ම ගැසට් නිවේදන, අණ පනත් හා ලේඛන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබෙන අතර ඇතැම් ලේඛන දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබී නැත.

1856 දී හා 1960දී දුම්රිය ආඥා පනතට සිදුකරන ලද සංශෝධන මගින් සඳහන් කර ඇත්තේ ගේට්ටු දුම්රිය සුළු හරස් මාර්ගවලදී මාර්ගය හරස් වන පරිදි ඉබි යතුරු දමා ඒවා වසා දැමිය යුතු බවත්, එම ගේට්ටුවල යතුරු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අනුමැතිය ලබාදුන් පුද්ගලයෙකු භාරයේ තැබිය යුතු බවත්ය. එම සුළු ගේට්ටු හරස් මාර්ගය භාවිත කිරීමට අවශ්‍ය වූ විට එම පුද්ගලයා විසින් අවශ්‍යතාව සඳහන් කරමින් බලයලත් පුද්ගලයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව හා බලයලත් පුද්ගලයා විසින් මහජනතාවගේ ආරක්ෂාව සහතික වන පරිදි විධිවිධාන සලසා ගෙට්ටුව විවෘත කිරීමට ඉඩ දෙනු ලැබිය යුතු බව එහි සඳහන් කර තිබේ.

2022 මාර්තු 11 දින වනවිට ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග ස්ථාන 1362ක් තිබී ඇත. ඉන් සීනු හා ආලෝක පද්ධති තිබී ඇති සංඛ්‍යාව 310ක් වන අතර විදුලියෙන් ක්‍රියාත්මක බාධක තිබී ඇත්තේ 46කය. අතින් ක්‍රියාත්මක වන බාධක 38ක් තිබී ඇති අතර යාන්ත්‍රිකය ක්‍රියාත්මක වන බාධක 70ක් තිබී ඇත. විදුලියෙන් හා යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන බාධන 01ක් තිබී ඇත. අන්තර් අගුළු බාධක 40ක් තිබී ඇති අතර අනාරක්ෂිත හරස් මාර්ග 36ක් තිබී ඇත. සීනු හා ආලෝක ක්‍රියාත්මක නොවන බම්බු ගේට්ටු 08ක් තිබී ඇති අතර ගේට්ටුකරු නොමැති බම්බු ගේට්ටු 07ක් තිබී ඇත. සම්පූර්ණ විධිමත් ගේට්ටු 20ක් හා විධිමත් ගෙට්ටු 01ක් තිබී ඇත. යාන්ත්‍රික බැරියර් සහිත ගේට්ටු 16ක් හා ස්වයංක්‍රීය බැරියර් සහිත ගේට්ටු 01ක් තිබී ඇත. පොලීසිය මගින් ආරක්ෂා කරන ගේට්ටු 463ක් තිබී ඇති අතර ගොවිපල ආකාරයේ බාධක 18ක් තිබී ඇත. පෞද්ගලික හරස් මාර්ග 119ක් තිබී ඇති අතර පොදු හරස් මාර්ත (රජයේ) 15ක් තිබී ඇත. හම්ප් 03ක් තිබී ඇත.

2000-2012 අතර කාලයේදී දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව 740ක් වන අතර ඉන් සිදුවී ඇති ජීවිත හානි සංඛ්‍යාව 194කි. තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 615කි. 2013 දී අනතුරු 77ක් සිදුවී ඇති අතර ඉන් ජීවිත හානි 11ක් සිදුවී ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව 46කි. 2014 දී අනතුරු 39ක් සිදුවී ඇති අතර ජීවිත හානි 03ක් සිදුවී ඇත. 27 දෙනෙකු තුවාල ලබා ඇත. 2015 දී අනතුරු 67ක් සිදුවී ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත. 35 දෙනෙකු තුවාල ලබා ඇත. 2016 දී අනතුරු 84ක් සිදුවී ඇති අතර 14 දෙනෙකු මියගොස් ඇත. 47 දෙනෙකු තුවාල ලබා ඇත. 2017 දී අනතුරු 86ක් සිදුවී ඇති අතර 12 දෙනෙකු මියගොස් ඇත. 59 දෙනෙකු තුවාල ලබා ඇත. 2018 දී අනතුරු 101ක් සිදුවී ඇති අතර 13 දෙනෙකු මියගොස් ඇත. 69 දෙනෙකු තුවාල ලබා ඇත. 2019 දී අනතුරු 82ක් සිදුවී ඇති අතර 10 දෙනෙකු මියගොස් ඇත. 30 දෙනෙකු තුවාල ලබා ඇත. 2020 දී අනතුරු 61ක් සිදුවී ඇති අතර 09 දෙනෙකු මියගොස් ඇත. 36 දෙනෙකු තුවාල ලබා ඇත. 2021 දී අනතුරු 70ක් සිදුවී ඇති අතර දෙදෙනෙකු මියගොස් ඇත. 45 දෙනෙකු තුවාල ලබා ඇත. 2022 දී අනතුරු 94ක් සිදුවී ඇති අතර 18 දෙනෙකු මියගොස් ඇත. 45 දෙනෙකු තුවාල ලබා ඇත.

(2021 වර්ෂයට අදාළ දුම්රිය අනතුරු එහි නැත. ඒ කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීම නිසා විය හැක)

ඉඳුවර බණ්ඩාර

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි