29.6 C
Sri Lanka
2 October,2022

අත තැබූ-නොතැබූ කියුබාවට අන්තිමේ වුණේ මොකක්ද?

Must read

කියුබාව, වසර 45ක් තනි කැමරාකරුවකුගේ ඇසින්
Cuba and the Cameraman (2017)

වර්ෂ 2000 වන විට තත්වය තරමක් සතුටුදායක වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය නිසාය. හවානා නුවර සංචාරක හෝටල් නවීකරණය වෙමින් තිබේ. කලා වෙළඳ පොළ සංචාරකයින්ගෙන් පිරී ඇත. චේ ගුවේරාගේ සුප්‍රසිද්ධ අලේඛ්‍ය ඡායාරූප විවිධ ආකාරයෙන් ඩොලර්වලට අලෙවි වෙයි.

■ අතුල දිසානායක

සමාජවාදය අදහන තුන්වන ලෝකයේ රටවල වාමාංශිකයන්ගේ පරමාදර්ශී රාජ්‍යයක් වූයේ කියුබාවයි. ෆිදෙල් කස්ත්‍රෝ සහ චේ ගුවේරා විසින් ආයුධ සන්නද්ධ අරගලයකින් සමාජවාදී කියුබාව පිහිටුවනු ලැබුවේ 1959 දීය. සීතල යුද සමයේ තෙවන ලෝක යුද්ධයක් ඇතිවිය හැකිව තිබූ එක් මර්මස්ථානයක් වූයේ ද කියුබාවයි. කියුබානු රජය පෙරලා දැමීමට 1961 දී ඇමරිකාව ගත් අසාර්ථක ප්‍රයත්නයත් සමග 1962 දී රුසියාව කියුබාවේ න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කිරීමට ගත් උත්සාහය නිසා ලෝකයම විනාශය කරා ගෙන යා හැකි යුද්ධයක් මහ බලවතුන් දෙදෙනා අතර ඇතිවීමට ඉඩ තිබුණි. අවසානයේ කියුබානු මිසයිල අර්බුදය සාමකාමීව විසඳෙන්නේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ සෝවියට් නායක නිකිතා කෘෂේව්ගේ දුර දක්නා තීරණය නිසාය.


සමාජවාදී කියුබාව දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර කඳවුරේ බලවතා වූ ඇමරිකාවේ දොරකඩ නොසැලී සිටීම එකල ලංකාවේ සමාජවාදීන් ප්‍රහර්ෂයෙන් පිනා යන කරුණක් විය. ඔවුන් පසුගිය දශකය මැද දක්වා මහත් ආඩම්බරයෙන් කියුබාව ගැන කියූ ජනප්‍රිය කතාවක් ඇත. “බලන්න සහෝදරයා ඇමරිකාවේ මිනිස්සු ඇමරිකානු ජනාධිපතිවරු දහයකට වැඩිය දැක්කා. ඒත් ඔවුන් දැක්කේ එක පිදෙල් කස්ත්‍රෝ කෙනයි.” එකල කිසිදු ප්‍රතිතර්කයක් නොනගා එය අසා සිටියත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ලංකාවේ එක් රාජ්‍ය නායකයකුගේ වසර පහක වත් ධුරකාලයක් අපට ඉවසාගත නොහැකි නම්, තනි පක්ෂයක් ඇති කියුබාවේ මිනිසුන් එක් පාලකයකු දශක පහකට ආසන්න කාලයක් කෙසේ ඉවසා සිටින්නට ඇත් ද? යන සාධාරණ ප්‍රතිතර්කය දැන් නගන්නට සිතෙන්නේ නිරායාසයෙනි.


ඇමරිකානුවන්ගේ එදිරිවාදිකම්වලට කියුබාව ලක්වන වාරයක් පාසා ලංකාවේ වාමාංශිකයන්, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට “කියුබාවට අත නොතබනු” යනුවෙන් සටන් පාඨ කීවේ කියුබාව පිළිබඳ වූ සමාජවාදී අනුරාගයෙනි. එහෙත් දැන් පෙර කී ලෙස “කියුබාවට අත නොතබනු” යනුවෙන් සටන් පාඨ කියන්නට ලෝකයේ කවර තැනක වත් ඉදිරිපත් වන සමාජවාදීහු නැත. දැන් කියුබාවට අත තියන්නට ඇමරිකාවට අවශ්‍ය නැති නිසාය. “අත නොතබනු” යයි කියූ කියුබාවට සත්‍ය වශයෙන්ම අවසානයේ කුමක් සිදුවීද?


ඇමරිකානු වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු සහ ජනමාධ්‍යවේදියකු වන ජෝන් ඇල්පර්ට් (Jon Alpert) දශක පහක් තිස්සේ (1972-2016) ඇමරිකාවේ සිට කියුබාවට යමින් එමින් රූගත කොට නිමවූ පැයකුත් විනාඩි 53 ක් පුරා දිවෙන Cuba and the Cameraman (2017) අපූරු වාර්තා චිත්‍රපටයකි. ඔහු කියුබාවට සිදුවූ දේ පිළිබඳ චිත්‍රයක් තාර්කික ප්‍රවේශයකින් අප ඉදිරියේ ඇඳ පෙන්වයි. වාර්තා චිත්‍රපටය සහභාගිත්ව (Participatory) ශානරයට ඇතුළත් වේ. එය දේශපාලනික මෙන්ම මානව විද්‍යාත්මක වටිනාකමක් ඇති සුවිශේෂ වාර්තා චිත්‍රපටයකි. කියුබාවේ ඈත ගමක වෙසෙන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියක ද, නාගරිකව වෙසෙන පවුල් කිහිපයක් ද කේන්ද්‍ර කරගනිමින් කියුබාවේ අවශේෂ සමාජ, ආර්ථික හා දේශපාලනමය තත්වයන් තුළින් කියුබාවේ සමාජවාදී පසුබිම දශක පහකට ආසන්න කාලයක් පැවැති අන්දම රූපණය කරන්නට ජෝන් ඇල්පර්ට් මෙම වාර්තා චිත්‍රපටයෙන් උත්සාහ දරයි.


ජෝන් ඇතුළු පිරිස නිව්යෝර්ක් නගරයේ ජනයා මුහුණ දෙන විවිධ කාලීන සමාජ සහ ආර්ථික ප්‍රශ්නය වීඩියෝ කැමරාව ආධාරයෙන් ගවේෂණය කරමින් සිටිති. ඒ පටිගත කිරීමේ පහසුකම් සහිත ජංගම වීඩියෝ කැමරාව හඳුන්වා දුන් මුල් කාලයයි. මේ අතර නිව්යෝර්ක් නගරයේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්නවලට සමානව කියුබාවේ වැසියන් මුහුණ දෙන ප්‍රශ්නවලට පිළියම් යෙදීමට කියුබානු විප්ලවීය ආණ්ඩුවේ ෆිදෙල් කස්ත්‍රෝ සමාජ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යන බව ජෝන් ඇල්පර්ට්ට දැනගන්නට ලැබෙයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, සෑම කෙනෙකුටම නිවාස ආදිය මේ වැඩසටහන යටතේ කියුබානු වැසියන්ට ලැබෙයි. මේ අතර කියුබානු නායකයා හවානා නුවර දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් අමතමින් මෙසේ කියයි. “අපි සටන් කරනවා. අපේ කම්කරුවන් ඇමරිකාවේ ධනපතියන්ට යටත් නැත. ඇමරිකානු එක්සත් ජනපදයේ දොරකඩ සමාජවාදී විප්ලවයක් සිදු කිරීම ඔවුන් ඉවසන්නේ නැහැ.”


අනතුරුව දර්ශනය වන්නේ ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනෙඩි මියාමිහිදී ඇමරිකානු ජනතාව අමතන අන්දමයි. එහිදි ඔහු මෙසේ කියයි. “කියුබානුවන් ආර්ථිකමය වශයෙන් සූරාකෑම නිම කරන බවට කියුබානු ජනතාවට පොරොන්දු ලබා දී ඇත. ඔවුන්ට පොලිස් රාජ්‍යයක් ලැබී ඇත. මට සහතික කරලා කියන්න පුළුවන් දවසක කියුබාව නැවත නිදහස ලබන බව.”


1972 දී කියුබාව අතහැර ලක්ෂ ගණනාවක් ඇමරිකාවට පලාආහ. ජොන් ඇල්පර්ට් සිතන්නේ සත්‍ය තත්වය දැක ගැනීමට තමන්ම කියුබාවට යා යුතු බවයි. ඔහු සිය කැමරා ආම්පන්න රැගෙන කියුබාව බලා යාත්‍රා කරයි.


එතැන් සිට දශක පහක පමණ කාලයක් වරින් වර කියුබාවට යමින් ජෝන් සිය කැමරාවෙන් කියුබානු ජනජීවිතය රූගත කරයි. මුලින්ම රූගත කරන්නේ හවානා නගරයට දුරින් වූ ගමක ගොවියන් වූ 64 හැවිරිදි Cristobal සහ ඔහුගේ සොයුරන් වූAngel, Gregorio සහ සහෝදරිය වූ Lilo ය. මේ ගොවියෝ ස්වයංපෝෂිතය. එහෙත් ගොවිතැන කෙරෙන්නේ අතිප්‍රාථමික ස්වරූපයෙනි. ඉඩම් රජය සතු වන අතර ඔවුන්ගේ ශ්‍රමයට ගෙවීමක් නොලැබේ. ඔවුන් සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි. එය විප්ලවය වෙනුවෙන් තමන් කළ යුතු උදව්වක් ලෙස ඔවුහු හඳුන්වති. සරල ජීවිතයක් ගත කරන මේ ගැමියෝ වැඩ අහවර වූ පසු ප්‍රිය සම්භාෂණ සංවිධාන කොට, අඩියක් පුඩියක් ගසා ගීතයක් ගයා සිය ගැමි ජීවිතය ගෙවා දමයි.
මේ වන විට කියුබාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමට දැවැන්ත ලෙස ගොඩනැගිලි ඉදිවෙයි. රජය සෑම වැසියෙකු සඳහාම නොමිලේ නිවසක් ලබාදීමට, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින අයුරු ජෝන් දකියි. ෆිදෙල් මේ සියලු කාර්යයන් කරන්නේ සෝවියට් දේශය ලබා දෙන ආධාර මත පදනම් වෙමිනි. උක් වගාව සරුවට කෙරෙන අතර 1975 වන විටත් කියුබානු සමාජවාදය හොඳින් ක්‍රියාත්මක වන බව පෙනේ. නගරයේ ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස තිබෙන බව පෙනේ.


1979දී ෆිදෙල් කස්ත්‍රෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණෙයි. කියුබාවෙන් ඇමරිකාවට පලා ආ මිනිස්සු කියුබානු නායකයාට විරෝධතා දක්වති. ගුවන් යානය තුළ දී ජෝන් ෆිදෙල්ගෙන් අසන්නේ මිනිසුන් ඔබව මරා දැමීමට අවශ්‍ය බව කියනවා ඒ ගැන බියක් නැතිද? යනුවෙනි. එහි දී ෆිදෙල් සිනහවෙමින් කියන්නේ “කිසිවෙකු ඔහුගේ වෙලාව එනතුරු මැරෙන්නෙ නෑ” යනුවෙනි. මිනිසුන් නිරන්තරයෙන් පවසන්නේ ෆිදෙල් වෙඩි නොවදින ඇඳුමක් ඇඳ සිටින බව යයි ජෝන් කියයි. සිය සුරුට්ටුව පසෙකට කළ ෆිදෙල් සිය හමුදා ඇඳුම නිරාවරණය කොට කිසිදු ආරක්ෂිත ඇඳුමක් නැති බව පෙන්වයි. තමන්ට ඇත්තේ සදාචාරය නමැති ආරක්ෂිත කබාය බවත් එය ශක්තිමත් බවත් තමන් නිව්යෝර්ක් නුවරට ගොඩබසින්නේ එලෙස බවත් ෆිදෙල් කියයි.


එක්සත් ජාතීන් අමතමින් ෆිදෙල් කියා සිටින්නේ පොහොසත් රටවල් සහ දුප්පත් රටවල් අතර සබඳතාවන් සාමකාමි ලෙස සහ බුද්ධිමත් ලෙස ගොඩ නැගෙන්නේ නැතිනම් අනාගතය විනාශයක් වනු ඇති බවය.


විප්ලවය සමග සිටින්නට බැරි නම් රට හැර යන්නට කාලය පැමිණ ඇති බව ෆිදෙල් ජනතාවට කියා සිටී. කියුබාව හැර යන්නන් රැගෙන යාමට ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකානු බෝට්ටුවලට ඉඩ දුන්නේය. සමාජවාදය හැර යන්නන්ට ෆිදෙල් එසේ ඉඩ දුන්නේ සූක්ෂ්ම උපායක් නිසා බව පසු කාලයකදී අනාවරණය විය. කියුබාව හැර යන්නන් ගොඩේ ෆිදෙල් කියුබානු ඔත්තුකරුවන්ට ද ඇමරිකාවට යන්නට ඉඩ සැලසූ බව කියවේ. 2019 වසරේ තිරගත වූ Wasp Network චිත්‍රටය එලෙස පලාගිය ඔත්තුකරුවකුගේ සත්‍ය කතාවක් ඇතුළත් වෘත්තාන්ත චිත්‍රපටයකි.මෙලෙස කියුබාව හැර යන්නවුන් අතර කියුබානු සිරගෙවල්වල සිටි සාමාන්‍ය සිරකරුවෝ ද, දේශපාලන සිරකරුවෝ ද, මානසික රෝහල්වල සිටි රෝගීහු ද වූහ.


ජෝන් නැවතත් කියුබාවේ ගැමි මිතුරන් හමු වීමට යයි. ඔහු දැන් 80 වියේ පසුවෙයි. ඔවුන්ගේ ජීවිතවල කිසිදු වෙනසක් වී නැත. ඔවුන් සතුටින් සිටින බව පෙනේ. එහි රහස නිතරම වැඩ කිරීම යයි ඔවුහු කියති. නවීකරණය වී නැති, ගරා වැටෙමින් පවතින නගරයේ ගෙවල් අතරින් ජෝන් යන්නේ අවුරුදු 16 කට පෙර රූගත කළ දැරියක සොයා ගෙනය. ඇය දැන් අඩු වයසින් විවාහ වී ඇත.


මේ 1989 වර්ෂයයි. කියුබාවට සැතැපුම් 3000 ක දුරින් යුරෝපයේ බටහිර ධනේශ්වර ජර්මනියත්, නැගෙනහිර සමාජවාදී ජර්මනියත් වෙන් කළ බර්ලින් තාප්පය බිඳ වැටෙයි. ඒ සමගම සමාජවාදී සෝවියට් දේශයත් බිඳ වැටෙන අතර සෝවියට් දේශයෙන් කියුබාවට ඒ වන විට ලැබෙමින් තිබූ සහනාධාර ද නැවතෙයි. ජනතාව අමතමින් ෆිදෙල් කස්ත්‍රෝ කියන්නේ තමන් දුෂ්කර කාලයකට පිවිස ඇති බවත් එහෙත් කියුබානු විප්ලවය සහ කියුබානු සමාජවාදය ආරක්ෂා කිරීම සුවිශේෂ කාර්යයක් බවත්ය.


ක්‍රමයෙන් කියුබාවේ ඉදිකිරීම් අංශයේ තාක්ෂණික උපකරණ කැඩී බිඳී යයි. ඉදිකිරීම්වලට අවශ්‍ය ද්‍රව්‍ය පුරවාගත් සෝවියට් නැව් සෝවියට් දේශය බිඳ වැටුණු පසු නැවත පැමිණ නැත. අතිප්‍රාථමික තත්වයෙන් පවත්වාගෙන යන බස් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත. වෙළඳසැල්වල රාක්ක හිස්වී ඇත. කියුබාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික නිෂ්පාදනය වූ සීනි ඇති තරම් අලෙවියට තිබුණත් ඒවා නිකුත් කරන්නේ සලාක ක්‍රමයකටය. ආහාර සඳහා දිගු පෝලිම්ය. සතියකට එක් පවුලකට ලැබෙන්නේ මාළු රාත්තලකි. එක් දිනකට පුද්ගලයකුට ලැබෙන්නේ පාන් ගෙඩියකි. ඇතැම් තරුණයින් කොකේන් මත්ද්‍රව්‍ය විකිණීමට පෙළඹී ඇත. ගරා වැටුණු, අපිරිසිදු නිවාස සංකීර්ණවලින් නගර පිරී ඇත. ඒ වන විට සෑම දිනකම පැය හතරක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වේ.


1993 වර්ෂය උදාවී ඇත. ජෝන් කැමරාව රැගෙන ෆිදෙල් හමුවට ගොස් කියුබාවේ ආහාර හිඟය ගැන ෆිදෙල්ගෙන් විමසයි. “අපගේ මූලික ප්‍රශ්නය යුරෝපයේ ප්‍රශ්න නොවේ. ඇමරිකාවේ ප්‍රශ්න නොවේ. අපගේ ප්‍රශ්නය සම්බාධකයි. සෝවියට් දේශයේ බිඳවැටීම කනගාටුදායකයි. ඒ තත්වය අප වැනි රටවලට මහත් ඛේදවාචකයක්”.


ජෝන් නැවත කියුබාවේ ගම්බද ජීවත් වන ගැමි මිතුරන් තිදෙනා (සහෝදරයන් තිදෙනා) හමුවීමට යයි. ඔවුන් දැන් වයස අසූ ගණන්වලය. මස් පිණිස ඔවුන්ගේ එක් ගවයකු කොල්ල කා ඇත. දැන් ඔවුන්ට සිටින්නේ එක් ගවයෙකි. මේ නිසා වැඩියෙන් කායික ශ්‍රමය වගුරන්නට ඔවුන්ට සිදුවී ඇත. ඒ මදිවාට අශ්වයන් ද ඔවුන්ට අහිමි වී ඇත. ඔවුන් වගා කරන අස්වනු සොරා ගන්නා අය ද වෙති. සොරුන් නිවාසවලට පැන බඩු භාණ්ඩ ද සොරා ගන්නා බව මේ ගොවියෝ කියති. සුබසාධන කටයුතු අඩපණ වී ඇත. යොවුන් වියේ පාසල් සිසුන් පවසන්නේ තත්වය නරක බවත් වැඩියෙන් ආහාර අවශ්‍ය බවත්ය. පාසල් සිසුන්ට ආහාර ලෙස දෙන්නේ අර්තාපල් සහ බිත්තර පමණි. මස් සොයා ගන්නට නැත. රෝහල්වල අවශ්‍ය තරම් බෙහෙත් ඇත්තේ නැත. ශල්‍යාගාරවල ඇත්තේ ඉතා පැරණි උපකරණය. ශල්‍ය කටයුතු සඳහා භාවිත කරන අත්වැසුම් ඉරෙන තුරු නැවත නැවත සෝදා භාවිතයට ගැනීමට සිදුව ඇත.


1995 වර්ෂය උදාවෙයි. කියුබාවේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වී දැන් වසර පහක් ගතවී ඇත. ඔහු ගැමි පළාතේ මිතුරු ගොවියන් හමුවට යයි. ක්‍රිස්ටොබාල්, ග්‍රෙගරියෝ සහ ඇන්ජෙල් වයෝවෘද්ධ වයසේ වුවත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙති. ඔවුන්ට ඉතිරි ව සිටි සතුන් ගවයින්, අශ්වයින්, ඌරන් ආදි සියලු දෙනාම මස් පිණිස සොරකම් කර ඇත.


වර්ෂ 2000 වන විට තත්වය තරමක් සතුටුදායක වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය නිසාය. හවානා නුවර සංචාරක හෝටල් නවීකරණය වෙමින් තිබේ. කලා වෙළඳ පොළ සංචාරකයින්ගෙන් පිරී ඇත. චේ ගුවේරාගේ සුප්‍රසිද්ධ අලේඛ්‍ය ඡායාරූප විවිධ ආකාරයෙන් ඩොලර්වලට අලෙවි වෙයි. කියුබාවේ ඉංජිනේරුවෝ, ජනමාධ්‍යවේදියෝ කලා වෙළඳපොලේ විවිධ කලා නිර්මාණ අලෙවි කරති.


එක් තරුණයකු දුර්වල අපැහැදිලි රූප ඇති රූපවාහිනිය දෙස බලමින් කියන්නේ තමන් ෆිදෙල්ගේ උත්සවයක් නරඹන බවය. එහෙත් ඔහු කියන්නේ සියල්ල බොරු බවයි. තමන් කොමියුනිස්ට් නොවන අතර තමන් යථාර්ථවාදියකු යයි ඔහු කියයි.


ජෝන් ගොවිපලේ මිතුරන් තිදෙනා හමුවීමට යයි. දැන් එක් අයෙකුගේ වයස අවුරුදු 92 කි. ඔහු තවමත් හොඳින් ගොවිපලේ වැඩ කටයුතු කරයි. ගොගෙරියෝගේ වයස අවුරුදු 88 කි. ක්‍රිස්ටොබාල්ට උගුරේ පිළිකාවක් ඇති වී ශල්‍යකර්මයක් සිදු කොට ඇත. දැන් ඔහුට කතා කිරීමට නොහැකිය. නැවත කතා කරන්නට නම් විද්‍යුත් උපකරණයක් අවශ්‍යය. එහෙත් එවැන්නක් කියුබාවේ නැත. නොමිලේ සෞඛ්‍ය සේවය ඇතත් රෝහල්වල ඇත්තේ යල් පැන ගිය පැරණි උපකරණය. ඇතැම් ඒවා 50-60 දශකයේ භාවිත වූ උපකරණය. ක්‍රිස්ටොබාල් ශල්‍යකර්ම සිදුකරන වෛද්‍යවරයාගේ වැටුප මසකට ඩොලර් 25 කි. එය ඒ වන විට එරට ටැක්සි රියැදුරකු සොයන මුදලටත් වඩා අඩුය.


මාස දෙකකට පසු නැවත ජෝන් ඇමරිකාවේ සිට පැමිණෙන විට ක්‍රිස්ටොබාල්ට කතා කිරීමට පහසුවන විද්‍යුත් උපකරණයක් ගෙන එයි. ක්‍රිස්ටොබාල් සිය ඥාතින් අතරට ගොස් සතුටින් කතා කරයි. ඔහුගේ සහෝදරයන් දෙදෙනාද, සහෝදරිය ද සතුටට පත්වෙති. එය වාර්තා වැඩසටහනේ එක්තරා සංකේතාත්මක උත්ප්‍රාසයකි. සමාජවාදී කියුබානුවන්ගේ වියැකී ගිය හඬ නගන්නට ධනවාදී ඇමරිකානු තාක්ෂණයෟ
2006 වසර එළඹී ඇත. වාර්ෂිකව සමරන ෆිදෙල්ගේ උපන් දින උත්සවය දැවන්ත හමුදා සංදර්ශනයකි. කියුබානු මෙන්ම ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීහු ද එය වාර්තා කිරීමට සැදීපැහැදී සිටිති. නමුත් 80 වියේ පසුවන ෆිදෙල් රොගාතුර වී ඇති බැවින් ඔහු වෙනුවට උත්සවයට පැමිණෙන්නේ ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝය. සමාජවාදී රටවල පාලකයින්ට තිබුණු “පෞරුෂත්ව උන්මාදය” (Cult of Personality) යම් ප්‍රමාණයකට ෆිදෙල්ට ද තිබුණේය.


ජෝන් ගැමි ගම්මානයේ ගොවි මිතුරන් සොයාගෙන යයි. ඒ යන විට සහෝදරයන් තිදෙනාම මිය ගොසිනි. ඉතිරිව සිටින්නේ වයෝවෘදිධ නැගනිය ලිලෝ පමණි.


2016 වසර එළඹෙයි. දැන් කියුබාවේ හවානා නුවර වීදි සංචාරකයින්ගෙන් පිරී ඇත. නව ගොඩනැගිලි ඉදි කෙරී ඇත. මුදල් ලබාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ද කියුබාවට පැමිණ ඇත. තරුණ ජනයා ස්මාර්ට් දූරකථන භාවිතා කරති. එහෙත් ජෝන්ගේ මිතුරන් ජීවත්වන නාගරික නිවාස සංකීර්ණය නම් පසුගිය වසර 20 තුළ කිසි ආකාරයකින් දියුණු වී නැත. නාගරිකව වෙසෙන එක් මිතුරෙකු යන්තම් ආර්ථිකය දියුණු කර ගෙන ඇත. ඊට හේතුව කියුබානු රජය සමාජවාදී ආර්ථික මොඩලය ප්‍රතිසංස්කරණය කරමින් පුද්ගලික දේපළ ක්‍රමයට යම් ප්‍රමාණයකට ඉඩ දීම නිසා පුද්ගලික ව්‍යාපාර කිරීමට හැකි වී තිබිමය. ජෝන්ගේ මිතුරාගේ අභිප්‍රාය රාජ්‍ය අංශයේ මෙන් විශාල වෙළඳ සැලක් ආරම්භ කිරීමය.


ෆිදෙල් ගේ 90 වන උපන් දිනය යෙදී ඇති දිනයේ තව එක් වරක් හෝ ෆිදෙල් දැක බලා ගැනීමට ජෝන්ට අවශ්‍ය ය. ඔහුට ෆිදෙල් හමු වීමට අවස්ථාව උදාවේ. ඒ වන විට ෆිදෙල් සිටින්නේ රෝද පුටුවකය. ජෝන් ෆිදෙල්ට හිස් වැසුමක් පරිත්‍යාග කරන අතර ෆිදෙල් ජෝන්ගේ කමිසයේ සිය අත්සන යොදයි. ඔහු ෆිදෙල්ට සමු දෙයි. 2016 නොවැම්බර් 25 ෆිදෙල්ගේ සොයුරු රාවුල් කස්ත්‍රෝ ෆිදෙල් අභාවප්‍රාප්ත වූ බව නිල වශයෙන් නිවේදනය කරයි.
ආධාරකරුවන් ෆිදෙල්ගේ ඇමරිකානු විරෝධී ස්ථාවරය ප්‍රශංසාවට ලක් කළත්, මානව හිමිකම් ක්‍රියාකාරීහු ෆිදෙල්ගේ ඒකාධිපතිත්වය විවේචනය කරති. පැරණි පරම්පරාව ද, තරුණ පරම්පරාව ද ෆිදෙල්ගේ භස්මාවශේෂ රැගෙන යන රථ පෙරහැරට එක්වී කඳුළු සලති. හඬා වැටෙති. එක් පියෙකු කොකා කෝලා කැප් තොප්පියක් පැළඳ හඬමින් සිටින සිය පුත්‍රයාට කියන්නේ “ෆිදෙල්ගේ කාලය ඉවරයි. ඔබ වැනි දරුවන්ගේ යුතුකම වන්නේ කියුබාව වෙනුවෙන් සටන දිගටම ගෙන යාම” බවයි.


කියුබාව දැන් සමාජවාදයට ප්‍රතිසංස්කරණ එක් කරමින් ධනවාදය දෙසට ඉතා සෙමින් වුවද පරිවර්තනය වෙමින් සිටී. දේශපාලනික පසමිතුරුභාවයන් අමතක කොට, ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 2016 කියුබාවට ගොඩබැස්සේය. කියුබානු විප්ලවයෙන් පසු කියුබාවට පැමිණ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා ඔබාමාය. සෝවියට් ආධාර සහ සුබ සාධනය පමණක් ප්‍රමුඛත්වය දුන් කියුබාව විද්‍යාත්මක, තාක්ෂණික නිෂ්පාදන කෙරෙහි එතරම් අවධානය කළ බවක් නොපෙනේ. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කියුබාවද බිඳ වැටෙන්නට එක් හේතුවක් වූයේ එයයි.


වාර්තා චිත්‍රපටය යනු සමාජයක තථ්‍ය ස්වරූපය විදහා දක්වන්නකි. යුරෝපයට, ඇමරිකාවට සංක්‍රමණය වන්නට සිහින දකිනවා විනා, සංක්‍රමණය වනවා විනා කියුබාවට මොහොතකට හෝ යන්නට ලංකාවේ සමාජවාදී අනුරාගයෙන් පෙළෙන වාමාංශිකයින් සිතන්නේ වත් නැත. එහෙත් කියුබාවට අවසානයේ කුමක් සිදුවී ද යන්න ගැන මූලික අදහසක් ලබා ගැනීමට මේ සුවිශේෂ වාර්තා චිත්‍රපටය ඉවහල් වනු ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි