20.2 C
Sri Lanka
2 July,2022

විරුසමරු, ධර්ම යුද්ධ අතරේ බුදුදහම?

Must read

ඔහු (දුට්ඨගාමිණී) සමාජයෙහි හේවිසි වාදනය කිරීමට සැලැස්වී ය. එමෙන්ම එළාර රජුගේ මළසිරුර ළඟ මිනිසුන් කැඳවූ දුටුගැමුණු රජු ඔහු වෙනුවෙන් අවමංගල වාරිත්‍රවල යෙදුණි. ඔහු මියගිය ස්ථානයේ ඔහුගේ සිරුර විශේෂ පීඨිකාවක් මත තබා ආදාහනය කළේ ය. එමෙන්ම එම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදිකොට එය වන්දනාමානන කළ යුතු ස්ථානයක් ලෙස නම් කළේ ය.

අතීත සැමරුම් කරළියට රැගෙන ආ යුතු ආකාරය, ඒ සැබෑ මානුෂීය මුහුණුවර පිළිබඳ නවමු පූර්වාදර්ශයක් අප දුටුවේ, ඇසුවේ පසුගිය මැයි 18 වන දා ය. අමුතුම මාදිලියේ විරුසමරු උලෙළක් වූ එය පැවැත්වුණේ ‘ගෝඨාගෝගම’ දී ය. 13 වන රණවිරු සමරු දිනයේදී යුදවිරුවන් ස්මරණය කළ යුතු දයාවේ මානය එළිදක්වමින් එහිදී අපූරු අදහසක් ඉදිරිපත් කළේ කතෝලික පියතුමකු වන ජීවන්ත පීරිස් ය. එය සාරාංශගත කළ හැකිවන්නේ මෙසේ ය.


මනුෂ්‍යයන් වන අප ස්මරණය කළ යුතු වන්නේ, පහන් දැල්විය යුතු වන්නේ ජීවිතය අහිමි වූ සියලු මනුෂ්‍යයන් සඳහා ය.


මේ ප්‍රකාශයේ නැවුම් බව සිත්සතන් සසල කරවනසුලු වූවේ ය. එය ක්ෂණිකවම අප රැගෙන ගියේ බුදුදහමේ එන කරණීය මෙත්ත සූත්‍ර දේශනාව වෙත ය. කරණීය මෙත්ත සූත්‍රය යැයි කියන්නේ බුදුදහමේ කොස්මොපොලිටන (සාර්වභෞමික, විශ්වීය) ධර්මයට ය. මේ සූත්‍රයට අනුව අප කිසිවකුට, සමාජයට හෝ ලෝකයට හෝ මුඵමහත් විශ්වයට හෝ කිසිදු අහිතක් සිතිය නොහැකි ය; හානියක් කළ නොහැකි ය. විශ්වීය මෛත්‍රීකරුණාව ජාති, කුල, ආගම් වැනි විෂමතා කිසිවකින් ඛණ්ඩනය වන්නේ ද නැත. ඉතා අඩුතරමින් මානව වර්ගයා (මානව වාදය) අසල එය නැංගුරම් ලන්නේ ද නැත. මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ කුලේසු අනනුගිද්ධෝ යන යෙදුම පිළිබඳව ය. ඉන් අර්ථ ගැන්වෙන්නේ කුලයේ නොබැඳීම ය. කිසිදු භේදයක්, පංගුපේරුවක් නැත්තකු බවට පත්වීම ය. එය මිනිසුන් විසින් පසුකාලීනව නිර්මාණය කර ගනු ලැබූ සියලු භේදභින්නතා නිෂේධනය කරයි. සියලු වාර්ගිකයන් අබිබවමින් සියලු වර්ගයේ තිරිසන් සතුන්, ක්ෂුද්‍ර ජීවීන්, උපන්-නූපන්, පෙනෙන-නොපෙනන සත්ත්වයන් ඇතුඵ සකලවිධ සංඝටක දක්වාම එය ප්‍රසාරණය වෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ පළමු ගාථාවේ එන සක්කෝ උජූච සූජූච, සුවචෝ චස්ස මුදු අනතිමාණී යන කොටස නිවැරදිව හා නිරවුල්ව වටහාගැනීමෙන් වුව ඒ විශ්වීය චින්තනය රෝපණය කළ හැකි තෝතැන්නක් නිර්මාණය වෙයි.


බෞද්ධයෝ බොහෝ දෙනෙක් දිනපතා, සතිපතා හෝ මාසයකට වරක් (පුර පසළොස්වක් පොහෝ දිනයකදී හෝ) කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරති. එහෙත් ප්‍රශ්නය වන්නේ එය නාදනංවා ඇත්තේ හුදු සජ්ඣායනයක් වශයෙන් පමණක් ම වීම ය; සුළඟේ විසිරී ගිය ද එය මිනිස් හදවත් ස්පර්ශ නොකිරීම ය. මිනිස්සු පන්සල් ගියහ; බෝධිපූජා කළහ. බැලූබැල්මට නම් බුදුසසුණේ දියුණුවක් ද දක්නට තිබුණේ ය. දේශපාලකයෝ නිරතුරුවම පාහේ ආගමික නායකයන් බැහැදුටුවහ. සුවිසල් චෛත්‍ය ගොඩනැගූහ; රණවිරු සෑය වැනි නම් ද ඒවාට යෙදිණ. තරගකාරී ලෙස උසින් වැඩි බුදුපිළිම ද ඉදිවෙමින් පැවතුණේ ය.


එහෙත් බුදුදහම හා බුද්ධාගම අතරේ පරතරයක් ද නිර්මාණය වෙමින් පැවතුණේ ය. රට ආගාධයක ගිළීයමින් තිබිණ. විනිමය සංචිත සිඳී ගියේ ය. පාලකයෝ චෞරයන් බවට රූපාන්තරණය වෙමින් සිටියහ. ලොව සුපතළ ‘ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය’ චෞර රාජ්‍යයක් බවට පත්වීමේ විළිබිය ඇතැම් මිනිසුන්ගේ සිතට දැනුණේ ය. කෙසේ වුව ද මේ පරාභවය සිදු වූයේ දේශපාලන ලෝකයේ පමණකි යි කිවහැකි ද නැත. ජනසමාජයේ අතිමහත් බහුතරය ගැලී සිටියේ ද දැඩි ආත්මාර්ථකාමී පරිභෝජන රටාවකට ය. ඒ සඳහා යහමින් ඕනෑ වූයේ මුදල් ය. ටයිකෝට් චෞරයින් බුරුතුපිටින් මතුවන්නට වූයේ ඒ අනුව ය. සොරුන්, වංචනිකයන් යැයි කිව යුතු වූයේ පොකට් ගසන්නන්ට, මාල කඩන්නන්ට පමණක් නොවේ. සියල්ලන්ම රැඳී සිටියේ ආගාධයේ මුවදොර නොව නරාවළේ ගැට්ටෙහි ය.


එහෙත්…?


නරාවළට, නිරයට කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියා තිබියදී, අනූනමයයි දශම නමයේදී, නොසිතූවිරූ තත්ත්වයක් උද්ගතවෙමින් තිබිණ. ‘ග්‍රහ මාරුවක්’ වැනි වූ එය බලගන්වා තිබුණේ නවග්‍රහයින් හෝ පිටසක්වළ ජීවීන් හෝ නොව මේ රටේ තරුණ තරුණියෝ ය. උකටලීව සිටි බොහෝ කොටස් හදිසියේම පණ ලැබූ අයුරක් දිස්විණ. නීතිඥ ප්‍රජාව ද ඉදිරියට පැමිණ සිටියේ ‘කුමට මෙරට අධිකරණය, නීතිය හා විනිසුරන්’ යන ප්‍රශ්නය ඉදිරියේ බොහෝ දෙනෙක් අසරණව සිටි මොහොතක ය. නීතිය වළපල්ලට ඇදැවැටී ඇති බව මිනිසුන්ගේ පොදු විශ්වාසය වූවේ ය.


කෙටි කාලසීමාවක් තුළ බලගැන්වුණ අරගලයේ ගමනාන්තය ගැන තිතට නූලට සහතික විය හැකි නොවෙතත් 74 වසරක් සපුරන මේ රටේ නිදහසින් පසු දේශපාලනයේ, ඒ දේශපාලන ව්‍යුහයේ පාදම පුපුරුවා හැරීමට අරගලකරුවන් සමත්ව ඇති බව නම් පැහැදිලි ය. මතුයම් දිනෙක මුඵ ගොඩනැගිල්ලම බිඳවැටෙන්නට නියමිත ය. අවිනිශ්චිත වන්නේ දිනය පමණි.

මේ හැරවුම අර්ථවත් කරගැනීමට නම් ආගමික හා සංස්කෘතික වෙනසක් ද බලගැන්විය යුතුව තිබේ. එහිදී අවකාශයක් විවර විය යුතු වන්නේ සැබෑ බුදුදහම හඳුනා ගැනීමට හා සැබෑ බුදුදහම සමාජගත කිරීමට ය. ඉන් අදහස් වන්නේ බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතු බව නොවේ; බුද්ධ ශාසන අමාත්‍යාංශයක අවශ්‍යතාව ද නොවේ; බෞද්ධ නාලිකා වැඩි වැඩියෙන් බිහිවිය යුතු බවක් ද ඉන් අදහස් නොවේ. බුදුන්ගේ දහම් පණිවිඩය නිකැළැල් ලෙස හදවත් තුළට කාන්දු කිරීම සඳහා කිසිදු ලේබලයක් අවශ්‍ය වන්නේ නැත.

යුද්ධයට පෙර හා පසු ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාවට බොහෝවිට අසන්නට ලැබුණු ධර්මදේශනාවලින් යුද්ධය හා රණවිරු සංකල්පය උත්කර්ෂයට නැගුණු අයුරු අපට සිහිකළ හැකි ය. එහිදී ඉස්මතු කෙරුණේ බෞද්ධ ස්ථාවරයට වැඩියෙන් හින්දු ස්ථාවරය වන බව අපගේ අදහස ය. ධර්ම යුද්ධය යැයි කියන්නේ හින්දු සංකල්පයකට මිස බෞද්ධ සංකල්පයකට නොවේ.

බුදුදහම, යුද්ධය සමාජ යථාර්ථයක් ලෙස පිළිගන්නා බව සැබෑ ය. එහෙත් හින්දු ආගම, හින්දු සංස්කෘතිය යුද්ධය හඳුනා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට ය. මේ බව සනාථ කරන්නේ හින්දු දහමට හා සංස්කෘතියට අයත් මූලික ග්‍රන්ථ දෙකකි. මේ ග්‍රන්ථ දෙක වන්නේ භගවද් ගීතාව හා මනුස්මෘතියයි.

හින්දු සංස්කෘතියේ මූලික පිළිගැනීමක් වන්නේ වර්ණ ධර්මයයි. වර්ණ ධර්මය කියන්නේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර වශයෙන් කොටස් හතරයකට බෙදී වෙන් කළ සමාජ සංස්ථාවටයි. බුදුදහම වර්ණ ධර්මය පිළි නොගනියි. හින්දු සංස්කෘතියේ එන ස්වධර්ම න්‍යාය යටතේ ක්ෂත්‍රියයාට (රජුට) පැවරෙන වගකීම් හා යුතුකම්වලට අනුව පැහැර හැරිය නොහැකි කාර්යභාරයක් බවට පත්වන්නේ යුද්ධයයි. වර්ණ ධර්මය යනු දේව නියමයකි. ඒ හා සම්බන්ධ ස්වධර්ම යනු ද දේව නියමයකි. ඒ අනුව යුද වදින එමෙන් ම යුද්ධයේදී පසු නොබසින රජු ස්වර්ගයෙහි උපත ලබයි. යුද්ධයේදී පසුබට වන්නා පාපියෙකි. යුද්ධයේදී මිය යන ක්ෂත්‍රියයා පුණ්‍යවන්තයෙකි. භගවද් ගීතාව බැතිමතුන් පොළඹවන්නේ සතුරන් ඝාතනය හා යුද්ධය සදාචාර ප්‍රතිෂ්ඨාපනයට ඉවහල් වන්නක් ලෙස හඳුනාගැනීමට ය. යුද භූමියේදී පසුබට වන අර්ජුන අමතා ක්‍රිෂ්ණ කියන්නේ ක්ෂත්‍රියයකු වශයෙන් යුද්ධයෙහි නියැළීමට වඩා යහපත්වූ වෙනත් කාර්යයක් නොවන හෙයින් මන්දෝත්සාහී නොවිය යුතු බව ය. ඒ අනුව යුද්ධය යනු ස්වර්ගයට දොරටුවකි. ක්ෂත්‍රියකුව උපත ලැබූවකු යුද සේවයට අන්තර්ග්‍රහණය කෙරෙන බැවින් මොනම හේතුවක් නිසා හෝ යුද්ධයෙන් වැළකී සිටීමට ඔහුට අයිතියක් නැත. වන්දනාමානයට පවා සුදුස්සන්ට, ඥාතීන්ට මරණය අත්පත්කරදීම, ඔවුන් ඝාතනය කිරීම කෙසේ නම් කළ හැකි දැයි අර්ජුන ශෝකයෙන් පීඩිතව අසා සිටි මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ ඥාතීන් ඝාතනය කිරීමට ද වඩා බරපතළ පාපකර්මය වන්නේ ස්වධර්මය ඉක්මවීම වන බව ය.

බුදුදහම මීට සපුරා වෙනස් ය. කොතරම් දුරට මෙය බුදුදහමට අනුරූප දැයි සිතා බැලීම බෙහෙවින් වැදගත් වන්නේ අනුවයි. බුදුදහමට අනුව යුද්ධ හටගන්නේ දෙවියන්ගේ හෝ බාහිර බලපෑමක හෝ මෙහෙයවීමෙන් නොවේ. යුද්ධයේ කර්තෘ වන්නේ මිනිසා ය. යුද්ධයේදී පරසතුරන් හෝ පාපිෂ්ඨයන් ඝාතනය කිරීමෙන් පාපයක් සිදු නොවන්නේ යැයි බුදුදහම කිසිසේත්ම නොකියයි.

යුද්ධ හටගන්නේ දෙපාර්ශ්වයක් අතරේ ය. දිනූ පාර්ශ්වය නියෝජනය කරන්නෝ රණවිරුවෝ ය. පරදින්නෝ පරසතුරෝ ය. මේ දෙපාර්ශ්වයම මනුෂ්‍යයන් ලෙස (සත්ත්වයන් ලෙස) හඳුනා ගන්නේ බුදුදහම ය. කාලයක් අපට අසන්නට ලැබුණ ධර්ම දේශනා හා අදාළ දහම් පණිවිඩය බොහෝවිට බෙදාහැරුණේ දුටුගැමුණු රජු රට එක්සේසත් කිරීම හා අදාළව ය. මහාවංස පාඨ ද එහිදී ඇතැම් විට යොදා ගැනුණේ ය. එහෙත් මහාවංසය ලියූ මහානාම හිමියන් සඳහන් කළ එක් වැදගත් ඡේදයක් ඒ ධර්ම දේශනා ඔස්සේ රාව නැංවුණේ දැයි මතක් කර ගැනීම අසීරු ය. ඉන් විශද වූයේ එළාර රජුගේ මරණයෙන් පසු දුටුගැමුණු රජු කෙසේ නම් ක්‍රියා කළේ ද යන්නයි.

ඔහු (දුට්ඨගාමිණී) සමාජයෙහි හේවිසි වාදනය කිරීමට සැලැස්වී ය. එමෙන්ම එළාර රජුගේ මළසිරුර ළඟ මිනිසුන් කැඳවූ දුටුගැමුණු රජු ඔහු වෙනුවෙන් අවමංගල වාරිත්‍රවල යෙදුණි. ඔහු මියගිය ස්ථානයේ ඔහුගේ සිරුර විශේෂ පීඨිකාවක් මත තබා ආදාහනය කළේ ය. එමෙන්ම එම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදිකොට එය වන්දනාමානන කළ යුතු ස්ථානයක් ලෙස නම් කළේ ය.

මේ මහාවංශ පාඨය අවධාරණය කෙරුණේ නම් සතුරාගේ මරණය ප්‍රස්තුතව කිරිබත් කන්නට දකුණේ මිනිසුන් යොමු නොවන බව නිසැක ය.

අපේ යුද්ධය අපට ධර්ම යුද්ධයක් වන්නා සේ ම අනෙක් පාර්ශ්වයට ද එය එසේම වන බව තේරුම් ගැනීමට අපහසු වීම බොහෝ ගැටලු නිර්මාණය කළ බව පැහැදිලි ය. උතුරේ යුද්ධය අවසන් වූයේ සාධනීය දේශපාලන විසඳුමකින් තොරව ය. කලක් උතුරේ මිනිසුන්ට සිය ඥාතිමිත්‍රාදීන්ගේ අභාවයන් සිහිකිරීමේ තහනමක් ද බලගැන්වී තිබිණ.

උතුරේ මිනිසුන් දැල්වූ පහන්සිඵ නිවා දැමූ යුගය අවසන් වෙමින් ඇති බවට පූර්ව සංඥා නිකුත් කළේ පසුගිය මැයි 18 වන දා ය. එදා ‘ගෝඨාගෝගම’ දී ද රණවිරු සමරු උලෙළක් පැවැත්වුණේ ය. එහිදී සිහිකෙරුණේ යුද්ධයෙන් මියගිය සියල්ලන්ම ය. ආබාධිත රණවිරුවෝ ද විවිධ ජාතිකයෝ ද විවිධ ආගමිකයෝ ද එය නියෝජනය කළහ. අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි යුද සැමරුම් ස්මාරකය අසල විශාල ජනකායක් පහන් දැල්වූ බවක් ද ඒ සමඟම දැනගන්නට ලැබුණේ ය. මේ සියල්ල අප දුටුවේ සැබෑ බෞද්ධ පරිසරයක් නිර්මාණය වීමේ පෙරමග ලකුණු ලෙස ය.


ශාස්තෘ දහම්, සංවිධිත ආගම් බවට පත්වීමේදී කිසියම් පරිහානියකට පත්වීම ස්වාභාවික ය. කලකට පෙර එය බරපතළ ලෙස සිදුවූයේ කතෝලික පල්ලිය ආශ්‍රිතව ය. එහෙත් පසුකලෙක දී ඒ තත්ත්වයට එරෙහි අරගලයක් පැනනැගුණේ ද ඒ පල්ලිය තුළින්ම ය. පාප්වහන්සේ පවා එහිදී ඉතා සාධනීය ස්වයං විවේචනයක යෙදුණහ. නව ප්‍රතිසංස්කරණයන් සඳහා මුලපිරුණේ ඉන්පසුව ය. බෞද්ධාගමික ආයතනය තුළ ද මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බව ඇතැම් යතිවරු අවධාරණය කරති.


බුදුදහමේ කොස්මොපොලිටන සංකල්පය වන මෛත්‍රීකරුණාවට යළිත් වරක් අලුත් ඉඩහසරක් පාදාදීම නූතන ධර්මදේශනාවන්හි මූලික හරය විය යුතු බව අපගේ පෞද්ගලික විශ්වාසයයි. මිනිසා යනු හුදෙකලා ජීවියකු නොවන බවත් මහා පරිමාණ පරිසරයේ කුඩා ඒකකයක් පමණක් වන ඔහුට අන්‍යයන් හා සහජීවනයකින් තොරව පැවැත්ම තහවුරු කරගත නොහැකි බවත් මේ වන විට මු`ඵ ලෝකයටම පිළිගැනීමට සිදුවී තිබේ.


දශකයක් දෙකක් තුළ මේ රටේ අනුපිළිවෙලින් සිදුවූ යම් යම් සිදුවීම් දෙස විමර්ශනාත්මක අවලෝකනයක යෙදෙන්නකුට පෙනී යන මූලික කරුණක් වන්නේ ලෝකයේ අනවරත වෙනස බලගැන්වෙන ආකාරයයි. අෂ්ටලෝක ධර්ම චක්‍රය යැයි කියන්නේ ද ඊටමයි. මෙදා ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල වරුගණන් රැඳී සිටිද්දී අපට හැඟෙන දැනෙන වෙහෙස, පීඩනය එදා උතුරට බලපෑ තෙල් හා භාණ්ඩ හිඟය හමුවේ උතුරේ වැසියනට කෙසේ නම් බලපාන්නට ඇද්දැයි සිතා බලන්නට අවකාශයක් විවර වන්නේ ඒ අනුවයි. මෙදා (මැයි 9 දා) ප්‍රහාරකයන් විසින් සුපිරි මැදුරු ගිනිලනු ලැබූ අයුරු රූපතිරයෙන් දකිමින් ඒවා සැහැසිකම් ලෙස හඳුනාගත් අප, එදා උතුරේ නිවෙස්, ගොඩනැගිලි ෂෙල්වෙඩිවලින්, මෝටාර්වලින් බිමට සමතලා වී ඇති අයුරු පියවි ඇසින් දැකබලා ගන්නට, නරඹන්නට විනෝද ගමන් සංවිධානය කළ අයුරු ගැන ද නැවත වරක් සිතාබැලීම සඳහා මේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකියි.


බුදුදහමේ වැදගත්ම පණිවුඩය වන්නේ තමා උපමා කොට අනෙකා දෙස බැලීමයි. අනෙකාගේ විපතේදී ඉවත බලා ගැනීම, මගහැර සිටීම යැයි කියන්නේ ඒ විපත තමන් වෙතට ද කැඳවාගැනීමයි.


මේ පරපුරේදී අප හට
සිදු වේ තැවිලි ගන්නට
දුදනන් විසින් කළ දුෂ්ටකම් ගැන නොව
සුදනන් පෑ
භයංකර අශෝභන නිහැඬියාව ගැන


ආචාර්ය මාටින් ලූතර් කිං වරක් එසේ කියා ඇත්තේ ද මේ විශ්වීය ධර්මතාව පිළිබඳවයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි