19 C
Sri Lanka
1 December,2022

ප්‍රේමයේ දෙවන මුහුණුවර

Must read

ඡායාරූපය සහ සටහන:
■ හේමන්ත අරුණසිරි

‘ස්ත්‍රියකට හා පුරුෂයකුට සතුටුදායක සම්බන්ධයක ප්‍රතිලාභය ලැබීම සඳහා විවාහය වඩාත් ම හොඳ අවස්ථාවන් සලසා දෙයි. සමාජීය බන්ධනය ප්‍රේමයට අවහිර නොකරයි. එයින් ප්‍රේමය වඩාත් ශක්තිමත් කෙරෙයි. සෑම ප්‍රේම සම්බන්ධයක ම ආරම්භයේ දී ආශාව නිසා ස්ත්‍රියටත්, පුරුෂයාටත්, ඔවුනොවුන් අගය කිරීමටත්, තේරුම් ගැනීමටත් පුළුවන්කම ලැබේ. ස්ත්‍රී – පුරුෂ දෙපක්ෂය අතර සානුකම්පිකබව හා උනුන් පිළිබඳ අවබෝධය වැඩි දියුණු වීමට උපයෝගී වන වඩාත් ම නිවැරදි සම්බන්ධතාව ලෙස නිශ්චය වී ඇත්තේත් මේ විවාහ ක්‍රමය මැයි. නිඳි ඇඳේ දී පොත්පත් කියවීම පිළිබඳ අදහස්, පොරොවන්නට වුවමනා පොරෝනයේ ප්‍රමාණය, කාමරයේ තිබිය යුතු ය යි සලකන උෂ්ණත්ව ප්‍රමාණය, කැමැති වන ආහාර පිළිවෙළ – මේ වැනි දේ අතින් එක සමාන පුරුදුකම් හා රුචිකම් ඇති සැමියෙකුත් බිරිඳකුත් ඇති වීම බලාපොරොත්තු නොවිය හැකි අපූරු තත්වයකි. මේ කරුණු සුදුසු පරිදි හැඩ ගසා ගත හැක්කේ දෙදෙනා තුළ හොඳ මුවහත්කමත්, මනා රසික ස්වභාවයක් හා බලවත් ආත්ම පරිත්‍යාගයක් ඇති නම් පමණි.’ : ජීවත්වීමේ කලාව, ප්‍රංශ දාර්ශනික අන්ද්‍ර මොරෝවා, පරිවර්තනය: සුගුණපාල සමරසේකර


ජාති, ආගම් සහ සංස්කෘතික සහ තවත් විවිධ සමාජීය කරුණු කාරණා මත්තෙ බෙදුණු මිනිස්සු තම තමන්ගෙ විවාහ චාරිත්‍ර කටයුතු ඒවාට අනුකූල විදිහට පවත්වනවා. එක එක අයගෙ වර්ගීකරණයන්ට අනුව මේ පුංචි මංගල මොහොතෙ ඉෂ්ට සිද්ධ කරන චාරිත්‍ර මාලාවන් එකිනෙකට වෙනස්. නමුත් මේ කොයි තැනකදි වුණත් සිද්ධ වෙන්නෙ ආශීර්වාදය ප්‍රමුඛ කර ගත්තු බැඳීමක්. මේ චාරිත්‍ර ඇතුළෙ මොන තරම් ගම්භිර, සෞන්දර්යයෙන් අනූන, භක්තිමත්, විශ්වසනීයත්වයෙන් අග තැන්පත් ප්‍රකාශවලට මූණ දුන්නත් ඉන් පස්සෙ තමයි විවාහක යුවළට ඇත්ත ජීවිතේට මූණ දෙන්න සිද්ධවෙන්නෙ. කසාද බැන්දා කියන එකෙත් නීතිමය සාක්ෂිය නැත්නම් පිළිගැනීම ස්ථිර වෙන්නෙ මනාල යුවළගෙ සහ තවත් සාක්ෂිකරුවන් දෙන්නෙක්ගෙ අත්සන් විවාහ රෙජිස්ට්‍රාර්වරයගෙ පොතේ නියම තැන්වල තැබුවායින් පස්සෙ. නමුත් ඕනෑම තරුණයෙක්ගෙ හරි යුවතියකගේ ජීවිතේ සුන්දරත්වයෙන් පිරුණු දවසක් තමයි මංගල මොහොත කියල කියන්නෙ. බහුතරයක් උදවිය තමන්ට පුළුවන් උපරිමම නෑදෑ හිතවතුන් සංඛ්‍යාවක් තමන්ගෙ මංගල දිනයට ගෙන්න ගන්න උත්සාහ කරනවා. මට හිතෙන විදිහට ඇත්තටම මේ මංගල මොහොත සුබ වෙන්නෙත්, ලස්සන වෙන්නෙත් තමන්ට සුබ පතන සහ ආශීර්වාද කරන ගොන්නම මෙතන හිටියොත් තමයි. ඉතිං වැඩිහිටියන්ගෙ ආශිර්වාද මැද්දෙ නිසි සුබ මොහොතෙදි නිසි ආකාරයට මංගල චාරිත්‍ර සිදු කළාම සියලු‍ අපල උපද්‍රව දුරු වෙලා ඵලදායි යුග දිවියකට යන්න වරම් ලැබෙනවා කියන විශ්වාසෙ සිංහල බෞද්ධ කියන අය අතරෙ නම් තියෙනවා. අනිත් ආගම් සහ ජාතීන්වලට අයත් උදවිය විශ්වාස කරන්නෙත් මීටම සමාන දෙයක්.


ඒ වගේමයි මේ සිද්ධියෙ තව පැත්තකුත් තියෙනවනෙ. ඒ තමයි පෙම්වතා සහ පෙම්වතියගේ තනි කැමැත්ත මත සිදුවෙන විවාහ. වැඩිහිටි ආශීර්වාදය නැතුව දෙන්නාගේ කැමැත්තෙන් විතරක් විවාහ පොතේ ලියවෙන මේ වගේ විවාහවල මංගල චාරිත්‍ර නැති ගානයි. මංගල පෝරුවේ නැගීමක්, බැසීමක් නැති, සරසපු යාන වාහන නැති මේ වගේ මංගල ගමන් සිද්ධ වෙන්නෙ චන්ද්‍රාලෝකයෙ උදව්වෙන්. එතකොට අඩු ආශීර්වාද ගණනකින් සමන්විත එහෙම විවාහවල අනාගතය සාර්ථක එකක් වෙන්නෙ නැද්ද? මොකක්ද උත්තරේ? අපි දන්න විදිහට එහෙම විවාහයනුත් ඕන තරම් සාර්ථක වෙලා තියෙනවා වගේම අපි කලින් කතාකරපු උත්කර්ෂවත් ආශීර්වාදජනක විවාහ ඇති පදම් අසාර්ථක වෙලාත් තියෙනවා. ඒ කියන්නෙ මෙතෙන්ට ඕනෑ කරන්නෙ ටිකක් පුළුල් සමාජවිද්‍යාත්මක විවරණයක්.


ඒක අපේ විෂය පථයට ටිකක් ඈතින් තියෙන එකක් නිසා අපි මේ දෘශ්‍ය රූපය පැත්තට හැරෙමු. මේක සිංහල, බෞද්ධ කියලා හැඳින්වෙන මංගල උත්සවයකට උරුම පාරිසරික ප්‍රකාශනයක්. ප්‍රධාන ප්‍රස්තුතය විදිහට නිරූපණය වෙන්නෙ පැන් කෙණ්ඩියක්. සුදු විශාල කෝප්පයක් තුළ තැන්පත් කර තිබෙන එය තබා තිබෙන්නෙ නොඉඳුල් මංගල පෝරුවක් මත. මේ මනාල යුවළ වෙනුවෙන් සකස් කෙරුණු පෝරුවක්. මංගල උත්සවයේ චාරිත්‍රවිධි වෙනුවෙන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන පැන් කෙණ්ඩිය රූපයේ දකුණු පස පහළින් ස්ථාන ගත කිරීමත්, රූපයේ පසුබිමෙහි අපැහැදිලිව සටහන් කෙරුණු සහල්වලින් සහ අනෙකුත් ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය අතුරා ඇති සැටියෙනුත් ප්‍රකාශවෙන්නේ ‘අපි මංගල මොහොතට සුදානම්‘ බව. මනාල යුවළගේ මංගල්ලයේ මුඛ්‍ය චාරිත්‍රය වන අත පැන් වත්කිරීමේ කටයුත්තේ සංකේතය විදිහට පැන් කෙණ්ඩිය පැහැදිලි කර සටහන් කර දැක්වීමත්, පෝරු මස්තකාරූඪයේ පසුබිම් කතාවට වැදගත් සහල් රටාව කෙණ්ඩියට අනුපාතව මඳක් අඩු ගහනතාවකින් අපැහැදිලි කර දැක්වීමත් යන කාරණා ද්වයම ගොඩනැංවෙන්නේ මංගල උත්සවය කියන සන්දර්භය මත්තෙ. මේ පැන් කෙණ්ඩිය මේ ස්ථානයේ නැතුව, නිවසක මේසයක් උඩ හරි වෙනත් තැනක තිබෙන ඡායාරූපයක් ගත්තා නම් ඒ රූපයෙන් කියවෙන්නෙ මෙය ඒ නිවසෙ තිබෙන තවත් එක ගෘහ භාණ්ඩයක් කියන එක විතරයි. ඒ වගේමයි මේ පෝරුව මත මල් ලියකමක රටාවට අතුරා තිබෙන සහල් ටික නිවසේ කුමක් හෝ භාජනයක දමා තිබියදී ඡායාරූප ගත කළේ නම්, එයින් පැවසෙන්නෙත් වෙනත් අරුතක්. මේ විෂයයන් දෙකම මංගල පෝරුව කියන පසුබිමේ ස්ථානගත වීම නිසායි, මෙතන විධිමත් සන්නිවේදන ප්‍රකාශනයක් බිහිවෙන්නෙ. රූප භාෂාව හැසිරෙන්නෙ රාමුවේ හතර කොනත් එක්කම සංවාදයේ යෙදෙමින්. රූපයෙන් පවසන සංජානනය ග්‍රාහකයා වෙත විද්‍යාත්මක සංවේදනයක් අත්කර දෙන්නේ ඒ හේතුවෙන්. ඡායාරූප භාෂාවේ මූලික ප්‍රමුඛ අධාරක වාහකයක් වන ආලෝකය පතිත කිරීමත්, ඡායාරූපයට අත්කර දෙන්නෙ ව්‍යක්ත ස්වභාවයක්. ඡායාරූප ගත කළ කෝණයට අනුපාතව රාමුවට පතිත කෙරුණු එකම පැති ආලෝක කදම්බය පැන් කෙණ්ඩියේ සහ රූපයේ ගැඹුර මොනවට සටහන් කර දක්වනවා.


අන්තිමට කියන්න තියෙන්නෙ මේ ලියවිල්ල මැදදි සමාජ විද්‍යාව කියලා පැත්තකට වුණාට අපි කාටවත් කිසිම විෂයයකින් පැනලා යන්න බැහැ. දැන් ආපහු මෙතෙන්ට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, කළමනාකරණ ප්‍රවේශය වගේ දේවල් රාශියක්ම ඇතුළත් වෙනවා. රූපය මුළු සමාජයත් එක්කම බද්ධ වුණ එකක්. මේ පින්තුරෙ අඩංගු වෙලා තියෙන ප්‍රධානම ආනුෂංගික ද්‍රව්‍යය තමයි සහල්. මනාළ යුවළ ප්‍රීතියෙන් තමන්ගෙ මංගල චාරිත්‍ර ටික මේ සහල් මත හිටගෙනම කළත්, සමහර විට හෙට මේ දෙන්නටම හාල් ගන්න සතොස පෝලිමේ ඉන්න වෙයි. එකක් සහල් මිල. අනික සහල් හිඟකම. ඒ නිසායි මම කිව්වෙ මේ රූපයේ ප්‍රකාශනය තව තවත් විෂයයන් රාශියකටම ප්‍රවිෂ්ටයක් ලබා දෙනවා කියලා. රූප භාෂාව කියන්නෙ අන්න එහෙම එකක්. දැන් ටික කාලෙකට ඉස්සෙල්ල අපෙන් සමුගත්ත ජ්‍යෙෂ්ඨ ලේඛක සිරිලාල් කොඩිකාර මහත්තයා කිව්ව කතාවත් මතක් වුණා. දැනට අවුරුදු 30කටත් කලින් එතුමා කවිපොතක් ලියා පළ කළා ‘කණේරු මල්’ කියලා. ඒක ලියලා ඉවර කරලා ඒ කවි ටික උදේම තමන්ගෙ ආදරණීය භාර්යාවට දුන්නාලු‍ මේක කියවල, මේ ගැන ඔයාගෙ අදහස කෙටියෙන් මට කියන්න කියලා. කැමතිනම් හවස මම වැඩ ඇරිලා එනකොට මට බලන්න ලියලා තියන්න කිව්වලු‍. ඇත්ත පත්තරේ වැඩ කරපු කොඩිකාර මහත්තය හවස එනකොට අර කවි ටිකත් එක්ක පුංචි කඩදාසි කෑල්ලක් තියලා තිබුණ ලු‍.


‘කවියෙන් ගෙදරට වැඩක් නැත. ගෙදරට ඕනෑ හාල් ය.’‍■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි