No menu items!
32.5 C
Sri Lanka
18 September,2024

හිඟාකන රටේ ලිට්‍රෝ ලොක්කන්ට යෝධ වැටුප්, දීමනා ගෙවූ හැටි

Must read

■ මාසික වැටුප් දීමනා එකතුව ලක්‍ෂ විසිනමයක්
■ චක්‍රලේඛවලට පිටින් මාසිකව තෙල් ලීටර 500ක් දීලා

■ අමන්දිකා කුරේ

ශ්‍රී ලංකාවේ ගැස් වෙළඳපොළට සැපයීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රධාන වගකීම් දැරුවේ රාජ්‍ය සමාගමක් වන ලිට්‍රෝ සමාගම සහ ලාෆ්ස් සමාගමයි. පවතින ඩොලර් අර්බුදය හමුවේ ලාෆ්ස් සමාගමේ සැපයීම් මේ වන විට නැවතී තිබේ. ලිට්‍රෝ සමාගමේ ද විවිධ අර්බුද ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වූ අතර පසුගිය ජනවාරි මස බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ දී එවකට ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාව සිටි තේශාර ජයසිංහ ඉවත් කරන ලදි. කෙසේ වෙතත් ඉවත් කරන ලද දිනම සවස යළිත් ඔහුව එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. පසුව ඔහු අප්‍රේල් මාසයේ දී ඉල්ලා අස් විය. ලිට්‍රෝ සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වරින් වර ලිට්‍රෝ සමාගම පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පෙනී සිටි අතර පසුගිය මූල්‍ය වර්ෂය සඳහා එනම්, 2021 දෙසැම්බර් 31න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන ලද විගණකාධිපති වාර්තාවක් මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

මිලියන 23ක නීතිඥ ගාස්තු


ලිට්‍රෝ ගැස් ලංකා සමගාම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන සමාගම් ද්විත්වය විසින් 2020 වර්ෂයේ ගිණුම් විගණනයෙන් විගණකාධිපති වළකන අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාලව එම නීති කෘත්‍යයන් සඳහා පෞද්ගලික නීතිඥවරුන් වෙත රුපියල් මිලියන 22.95ක් ගෙවා ඇති අතර එම නීතිඥවරුන් තෝරා ගැනීම විනිවිදභාවයකින් යුතුව සිදුව නැතැයි විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.


එම සමාගම් විසින් ම එම නඩුකර ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් එලෙස මුදල් ගෙවීම අනාර්ථික ගනුදෙනුවක් ලෙස විගණකාධිපතිවරයා හඳුන්වා තිබේ. 2020 දී මෙම සමාගම් දෙකේ වාර්ෂික විගණනය කිරීම සඳහා පෞද්ගලික විගණන සමාගමක් වෙත රුපියල් 3159685ක් ගෙවා තිබේ. නඩුකර ඉල්ලා අස් කරගැනීමත් සමග මෙම සමාගම්වල විගණනය විගණකාධිපතිවරයා විසින් මේ වන විට සිදු කරමින් පවතියි.

සභාපතිගේ වැටුප හා දීමනා


මෙම වාර්තාව හරහා ප්‍රතිපාදන නොසලකා සහ ප්‍රතිපාදනවලට පිටින් යමින් ලිට්‍රෝ සමාගමේ හා ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට සහ සභාපතිධුරය දරන පුද්ගලයාට වැටුප් සහ දීමනා ගෙවීම පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වී තිබේ. මෙම වාර්තාව අනුව මෙම මූල්‍ය වර්ෂය තුළ ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරය සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරා ඇත්තේ එක් පුද්ගලයෙකු විසින් ය.


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ 2018 ජුලි 18 දිනැති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අංක 03/2018 ප්‍රකාරව, අදාල බලධාරීන් විසින් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව අනාගතයේ දී සේවකයන් බඳවා ගැනීමෙන් සහ ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.
එම චක්‍රලේඛයට පටහැණිව යමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට මාසික වැටුප ලෙස රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසක් ගෙවා තිබේ. එමෙන් ම ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහුම වන බැවින් 2020 වසරේ සිට මේ දක්වා ඉහත වැටුපෙන් තවත් 50%ක මුදලක් මාසික වැටුප ලෙස ඔහුට හිමිව තිබේ. ඒ අනුව දීමනා රහිතව එම තනතුරු දැරූ පුද්ගලයන් ලබා ගෙන ඇති මාසික වැටුප ලෙස රුපියල් දාහත් ලක්ෂ විසි පන්දහසක් ගෙවා තිබේ.


මෙතරම් විශාල වැටුපක් ලබන අතරම මීට ඉහත සඳහන් කළ චක්‍රලේඛයට පිටින් යමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන තැනැත්තාට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව 2020 වර්ෂයේ සිට රුපියල් ලක්ෂ තුනක විනෝදාස්වාද දීමනාවක් මාසිකව ගෙවා තිබේ. සමාගම්වල විකුණුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන තැනැත්තාට ද ඉහත චක්‍රලේඛයට පිටින් යමින් රුපියල් ලක්ෂයක විනෝදාස්වාද දීමනාවක් මාසිකව ගෙවා තිබේ.
පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 01/2020 අනුව ඕනෑම රජය සතු ව්‍යාපාරයක සභාපතිවරයාට/ ප්‍රධාන විධායක නිලධාරියාට එක් නිල රථයක් සහ මසකට තෙල් ලීටර 150ක දීමනාවක් හිමිවේ. එසේ නොවන්නේ නම් නිල රථයක් සඳහා මසකට රුපියල් 50000ක දීමනාවක් සහ ඉන්ධන දීමනාව ලබා ගැනීමට පමණක් හැකිය. එමෙන් ම එම නිලධාරීන්ට රියැදුරෙකු ලබා දීම හෝ රියැදුරු දීමනාවක් ද නොගෙවනු ලබයි. කෙසේවෙතත් මෙම චක්‍රලේඛයට පටහැණිව යමින් රුපියල් 50000 මාසික වාහන දීමනාව ඉක්මවා 4433000ක වාහන දීමනාවක් මාසිකව ලිට්ට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීධුරය දැරූ අයට ගෙවා තිබේ. එපමණකින් නොනැවතී මාසික ඉන්ධන දීමනාවද ලීටර 150 ඉක්මවා ලීටර 500ක් ලබා දී තිබෙන්නේ චක්‍රලේඛවල ප්‍රතිපාදන නොමැති රුපියල් 50000ක රියැදුරු දීමනාවක් ද මෙම ප්‍රධාන නිලධාරියා වෙත ගෙවමින් ය.


පීඊඩී 01/2015 චක්‍රලේඛය අනුව නිලධාරියෙකු තනතුරු එකට වඩා දරන්නේ නම් ඔහුගේ ස්ථිර තනතුරට අයත් ඉන්ධන දීමනාව පමණක් ලැබීමට හිමිකම් ලැබුවද මෙම සමාගම් දෙකේම සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා එක් අයෙකු වන බැවින් එම සභාපතිවරයාට රුපියල් 4443000 ක බැගින් දීමනා දෙකක් ලබා තිබේ.


මේ අනුව 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන මූල්‍ය වර්ෂයට අදාලව ලිට්‍රෝ සමාගමේ සභාපති සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය දැරූ තැනැත්තාට මාසිකව විසි නව ලක්ෂ හැට දහසක් වැටුප ලෙස චක්‍රලේඛවලට පටහැණිව නීති විරෝධී අන්දමින් ගෙවා තිබෙන බවට විගණකාධිපති වාර්තාවෙන් හෙළි වේ. මෙම කාලවකවානුව තුළ එම තනතුරු දැරූ එක් අයෙකු වන්නේ අනිල් කොස්වත්ත මහතා වන අතර පසුගිය වසරේ එනම් 2021 ජුලි මාසයේදී තෙශාර ජයසිංහ මහතා මෙම තනතුරු භාරගන්නා ලදි. ඔවුන් දෙදෙනාටම මෙම මූල්‍ය වර්ෂය තුළ මෙම අතිවිශාල දීමනා හිමිව තිබේ.


අනිල් කොස්වත්ත මහතා මෙම තනතුරට පත්වන්නේ 2020 ජනවාරි මාසයේදියි. 2020 අගෝස්තු මාසයේ දී ශූන්‍ය පොළී අනුපාතයක් සහිතව එකතුව මිලියන 19.506ක වාහන ණය පහසුකම් දෙකක් ලබා දී තිබෙන්නේ එම ණය මුදලින් සියයයට 580ක් එනම් රුපියල් මිලියන 9.753ක මුදලක් ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගම දරාගන්නා ආකාරයට ය. එලෙස ණය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන නොතිබිය දී එවැනි විශාල ණය මුදලක් එවකට සභාපතිවරයාට ලබා දීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබේ. කෙසේවෙතත් ණය ගිවිසුමේ වසර පහ ඉක්මවී යන්නට පෙර එම තනතුරට වෙනත් අයෙකු පත් වූ නිසා එම හිඟ මුදල් සමාගම් දෙක විසින් දැරූ 50ක කොටස් ද ඇතුළුව හිටපු සභාපතිවරයා විසින් 2021 ජුලි හා අගෝස්තු මාසවල දී ගෙවා අවසන් කර තිබේ. කෙසේ වෙතත් එලෙස ප්‍රතිපාදන නොමැතිව විශාල ණය මුදලක් ශූන්‍ය පොළියකට සහ සමාගම් දෙක විසින් ණය මුදලෙන් සියයට 50ක් දරාගෙන ලබා දීම විමතියට කරුණකි.

වාහන සැප


2015 මැයි 25 දිනැති පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක පීඊඩී 01/2015 සහ 2016 ඔක්තෝබර් 27 දිනැති පොදු ව්‍යාපාර චක්‍රලේඛ අංක පීඊඩී1/2015 (1) ප්‍රකාරව ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද තනතුරක් සඳහා ඕනෑම රජය සතු ව්‍යාපාරයක එච් එම් 1-1 කාණ්ඩයට සමාන හෝ ඉහළින් ස්ථානගත කර ඇති නිලධාරියෙකුට එක නිල රථයක් පමණක් භාවිත කිරීමට අවසර හිමිවේ. එම හිමි වන ඉන්ධන දීමනාව වන්නේ ලීටර 140-120ත් අතර ප්‍රමාණයකුයි. එලෙස නිල වාහනයක් හරහා ඉන්ධන දීමනාව ලබා නොගන්නේ නම් ඒ වෙනුවට රුපියල් පනස් දහසක ඉන්ධන දීමනාවක් මාසිකව ලබා ගත හැකිය. කෙසේවෙතත් මෙම චක්‍රලේඛයට පටහැනිව ලිට්‍රෝ සමාගමේ නිල වාහනවලට හිමිකම් නොලබන නිලධාරීන්ට පවා නිල රථ හෝ වාහන දීමනා ගෙවා තිබේ. වාහන දීමනාවට හිමිකම් ලබන ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් 59 දෙනෙකු සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ නිලධාරීන් 6 දෙනෙකු සඳහා රුපියල් 100000සිට 371800 දක්වා පරාසයක මාසික වාහන දීමනාවක් ගෙවා ඇත, එවැනි නිලධාරීන්ට හිමිවන ඉන්ධන දීමනාවද ඉක්මවා යමින් ඉන්ධන ලීටර 200 සිට ලීටර 550 දක්වා පාරසයක ඉන්ධන දීමනා ද ලබා දී තිබේ.


ශූන්‍ය පොලී අනුපාතික ක්‍රමය යටතේ ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් 22ක් සහ ලිට්‍රෝ ටර්මිනල් සමාගමේ නිලධාරීන් හයදෙනෙකු සඳහා ද රුපියල් මිලියන 127.06ක මාණ්ඩලික වාහන ණය ප්‍රදානය කර ඇත්තේ එයින් සියයට පනහක් එනම්, මිලියන 80.99ක් සමාගම විසින් දරන ආකාරයට ය.


2020 වසරේ ගිණුම විගණනය කිරීමෙන් අනතුරුව 2021 ජුලි 08 දිනැති භාණ්ඩාගාර ලේකම්ගේ පීඊඩී/එස්/බීඩීඒ/2019 ලිපිය මගින් නව සභාපතිවරයෙකු පත් කිරීමට ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව අනිල් කොස්වත්ත මහතා ඉවත් කර තෙශාර ජයසිංහ මහතාව එම තනතුරට පත් කර තිබේ.


විගණකාධිපතිවරයා විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව පෙනී යන කාරණය නම් මෙම සමාගම් දෙකේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වෙත අතිවිශාල දීමනා සහ වැටුපක් ගෙවා ඇති බවයි. ඊට දෙවනි නොවන පරිද්දෙන් එම සමාගම්වල අනෙකුත් විධායක නිලධාරීන් සඳහා ද චක්‍රලේඛ කඩ කරමින් සහ ඒවාට පටහැණිව යමින් විශාල දීමනා, වැටුප් සහ ශූන්‍ය පොළී ණය මුදල් ලබා දී තිබේ. මෙම වැටුප් ද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පටහැණිව ඉතා විශාල දීමනා වශයෙන් ලබා දුන් ඒවා නිසා ඒවාට සමාන්තර අනෙකුත් ආයතනවල තනතුරුවලට හිමිවන වැටුප්වලටත් වඩා වැඩි වැටුප් ය. රාජ්‍ය සමාගමක ආදායම මෙලෙස අතිවිශාල වැටුප් ලෙස අනීතිකව ලබා ගැනීම ද එක්තරා ආකාරයක ජාතික ධනය සොරා කෑමකි.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි