20.2 C
Sri Lanka
3 July,2022

සමහර කවි පාරේදී වුව හමුවිය හැකිය!

Must read

■ ඡායාරූප : සමීර වීරසේකර

මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං ඔත්පලව පුටුවක් උඩ හිඳ ඉන්න මේ කොල්ලා දකින්න මම ගෙවල් පොකුරක් අස්සට වීසිවුණා. මේ ගම තමයි මුංකොටුව. බ්ලොග් ගල් වහපු ගෙදරක මිදුලක් හරහා මෙහෙම වීසිවෙනකොට වයසක මනුස්සයෙක් හීනියට හිනාවක් දැම්මා. උඩු කයට ඇඳුම් සාත්තුවක් නැතුව හිටිය මේ උන්නැහේ දැක්කාම මට හිතුණේ මුන්දැ නම් රඹුක්කන අලි ගාලේ අලි බලන්නෙක් කියලා. මිනිහා ඒ සුබාවට තමයි සරොම ඇඳලා කොරලා හිටියේ. පටි බෙල්ටුවට පිහිකොපුව යටවෙලා. පිහියේ මිට එළියට ආවේ ‘අලි බාසෙක්‘ කියලා කෑගහලා. අමුතු කුහුලක් හිතේ ඇඳුණා. මට මතක් වුණා කාලෙකට කලින් එනසාල් කුමාරි ගැන ලිපියක් කරන්න දුම්බර පීරනකොට මුණගැහුණ සෙල්ලයියා මාමා. ‘සෙල්ලයියා මාමයි.. එනසාල් සුවඳයි.. සංගිලි මුඩුක්කුවයි..‘ කියලා මම මේ සෙල්ලයියා මාමාගේ කතාව රාවයට ලිව්වා.


ජීවිත නවකතාව හමේ රැලි අස්සේ හංගාගෙන ඇස් දෙකෙන් ඒ කතාව කියන්න අඬගහන මේවගේ චරිත හැම වෙලාවෙම හැම තැනකදීම හමුවෙන්නේ නෑ. මාත් එක්ක සමියා හිටියා. සමීර වීරසේකර. මම මිනිහට කිව්වා පොටෝ ටිකක් ගනින් බන් කියලා. එහෙම කියලා මම මිනිහා ළඟින් වාඩි වුණා, යන ගමන පැත්තකට වීසිකරලා. මොකද ඔය කියන ළමයා ගෙදර ඉන්නවා නේ.. ඒත් මේ මනුස්සයා මිස් වුණොත් සේරම ඉවරයි..! කාලෙකට පස්සේ පත්තරේට ලිපියක් ඔඩොක්කුවේ තියාගෙන ජුවානිස් මාමා මට හිනාවුණා.


නම මින්වානේ ගෙදර ජුවානිස්, 1951 රඹුක්කන ඉස්පිරිතාලේ තමයි උප්පත්තිය. තාත්තා සිරියා. අම්මා පුංචිනා. ගම තමයි හඳගම. ඉතිං අපි කතා සාගරයක කිමිදුණා. සමියා ඒ අස්සේ ක්ලික් ක්ලික් ගාලා පොටෝ දෙකතුනක් කැප්චර් කළා. කවි තියෙන්නේ පොත්වල විතරක් නෙවෙයි. කවි අපිට පාරේතොටේදිත් හමුවෙනවා. ඒවා ලස්සන කවි. අපිට කියවීමේ නුවණ තියෙයි නම්..! මම ජුවානිස් මාමා කියවන්න ට්‍රයි කළා…

ගස් මතක නදිය


ගස් කියන්නේ මතකයක්. ඔව් ලස්සන නෙක පැහැ මතකයක්. පොඩිම කාලේ ගස් එක්ක කතාකරන්න පුරුදු වෙලා හිටියා. ගස් හිනාවෙලා සරසර ගාලා නිකං හිටියා. සමහර වෙලාවට පතක් දෙකක් හලලා ඔහොක් කරගෙන බලං හිටියා. ඒත් ඉතිං ගස් එපා වෙනවද? නෑනේ නෑනේ. පස්සේ කාලේ කෑලෑගත වෙන එක, ජීවිතේ එක කෑල්ලක් වුණා. ගිහිං ගස් යට ඔහේ ඉන්න එක මරු. හැබැයි මේ කියන්න යන්නේ ගස් ගැන එහෙව් කතාවක් නම් නෙවෙයි.
ඉස්සර මම ගස් නඟින්න මාර ආසයි. හැබැයි බයයි. අම්මා ගහක බඩගාන්න හදනවා දැක්කාම, පපුව රෝසපාට වෙලා තියෙනවා දැක්කාම, මට කියන්නේ ‘උඹ කොටියෙක්. උඹට ගහට ගොඩවෙන්න විතරයි පුළුවන්‘ කියලා. ඔව්, ඒක ඇත්ත, අමාරුවෙන් ගහට නැග්ගාම බහින්න දෙන වධවේදනාවක්. අම්මෝ.. ඉනිමඟවල් ගෙනල්ලා ගස්වලින් බැහැපු ලස්සන අතීතයක් තියෙයි.


මේ හින්දාම ගස් නඟිනවා කියන්නේ මට අඟහරුවලට යන්න රොකට් එකක නඟිනවා තරම් පුදුමයක්. ඉතිං මම ඉස්සර ඇක්මන් මාමා පොල් කඩන්න ආවාම පොල් ඇහිඳින්න යන්නේ ස්වේච්ඡාවෙන්. ඒක සොමියක්. වළල්ලක් කකුලට දාගෙන ගහේ උඩට උඩට ගෙම්බා පනින මේ මනුස්සයා දිහා අනේ අම්මපා කියලා බලන් ඉන්න තමයි ඉතිං පස්සෙන් වැටෙන්නේ. ඉස්සර අපිට තිබුණා ආවාටයක් වගේ කොස් ගහක්, මේ යකා මේකට කොස් කඩන්න නැග්ගාම පොළවේ යනවාට වඩා හොඳට අතු උඩ පයින් යනවා. එක ගෙඩියක් කඩලා ඒ ගෙඩියෙන් ගහලා තව ගෙඩි දෙකක් විතර වට්ටන්න මාර දක්ෂයා. ඉතිං ගස් නැගලා ගෙඩි කඩනවා කියන්නේ මාර වැඩක්. බලන් ඉන්න ආස දෙයක් ඒක.


පස්සේ කාලේ එක පන්තියේ හිටපු චුට්ටා වයර් මාරු කරගෙන පාර දිගේ ඇවිදින්න පටන් ගත්තා. ඒක සෝචනීය කතාවක්. මිනිහා බඩ කෙන්ද රැකගත්තේ පොල් ගස් බඩගාලා. හොඳටම කසිප්පු බීලා නාකපන වැස්සේ ගස් නගින එක මිනිහට කිරි කජු. ඒක බලා ඉන්න වටින රස්සාවක් වෙච්ච ක්‍රීඩාවක්. ඔන්න ඉතිං දැන් ආයෙත් ජුවානිස් මාමා ළඟට අපිට යන්න පුළු‍වන්..

මගේ රැකියාව ගස් නගින එක


‘අපේ පවුලේ කොල්ලෝ 05යි මම තුන්වෙනියා, මුලින්ම කරපු රස්සාවත් මේකම තමයි. අවුරුදු 15 දී තමයි මම මුලින්ම පොල් ගහකට නැග්ගේ. ඉස්කෝලේ යනකාලෙත් විනෝදෙට නැග්ගා. ඉස්සර මෙහේ පුවක් ලන්ද, එක ගහකින් නැග්ගාම ගස් 30ක් 40කින් උඩින් ගිහිං තමයි බහින්නේ‘ මේ කතාව සමහර කෙනෙක්ට හිතාගන්න බැරිවෙන්න පුළු‍වන්. මේක ගස් නැගිල්ලක් එක්ක සෙට්වුණ ගස් පැනිල්ලක්. මම මේක පොඩි කාලේ දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් පුවක් ගස් හිටුවන්නේ වත්තේ මායිමට. නැත්තං කුඹුරේ මායිමට. එතකොට එක ළඟින් එක පෙළට තමයි හිටුවන්නේ. එතකොට ගොඩක් වෙලාවට එක වයස ගස් එක උස. එක ගහකින් නගින මේ පළපුරුදු නගින්නෝ මොකෝ කරන්නේ? මේ යක්කු කරන්නේ එක ගහක පුවක් වල්ල කපලා ඊළඟට අනික් ගහ කොළ අත්තෙන් ළඟට ඇදලා ඒ ගහට පනින එක. පුහුණුව එක්ක සුටුස් ගාලා කරන්න පුළු‍වන් වැඩක් මේක. වඳුරොයි මේ නඟින්නොයි අතර වෙනසක් නෑ අයිබෝං..!


හක හක ගාලා හිනාවෙන ගමන් මේ පැනිල්ලේ සතුට විඳින අපේ ජුවානිස් මාමා මට මෙහෙම කියනවා. ‘අපොයි දැන් එහෙම පනින්න ගස් නෑ මහත්තයෝ. ඒක පුදුම කාලයක්. එක පුවක් ඉත්තකට සත්දෙකක් දෙනවා. දැන්නම් පුවක් ගහකට රුපියල් 50යි.’ ජුවානිස් කියන්නේ හොඳ පැනිලිකාරයෙක් කියලා මූණේ ලියවිලා තියෙනවා. හක හකය නතර කරලා මිනිහා මොහොතක් අතීතයේ කිමිf​දනවා. ඒ නිහැඬියාව අස්සේ මම මිනිහගේ මූණ කියවනවා.


‘එක දවසට පොල් ගස් 250 බඩගාලා තියේ මහත්තයෝ මම. මට මතක විදිහට ඒ 1980 විතර. කසාදයක් බැන්ඳා ළමයි තුනක් හැදුවා‘ පොල් ගස් අතීතය වචනවලට පෙරළෙනවා. මම නිහැඬියාවන් කියවනවා. ජීවිතේ තියෙන්නේ ඒ නිහඬතාවන් අස්සේ. ඒ ජීවිතේ සමියා අස ඉඳලා කැප්චර් කරනවා.

බීමත් සොමිය


‘ඉස්සර නම් ඕනි ජරාවක් බිව්වා. ඇරියේ නෑ. හොඳටම බීලා තමයි ගස් නැග්ගේ. එකම දවසක් වැටුණා. ඒත් පොල් කඩන්න ගිහිං නෙවෙයි. ගහක අතුපාහින්න ගිහිං. මැරෙන්නේ නැතුව නූලෙන් බේරුණා. ඒක වෙලාව මොනා කරන්නද ඉතිං..‘


බැන්දේ ආදරේ කරලද? මම ඉඳලා හිටලා ඔහොම ප්‍රශ්නයක් පාකරලා දානවා. ‘ නැහැ කතාකරලා‘ නෝනා ඉතිං ගස් නගිනවට කැමතිවුණාද? ‘ම්ම්ම්ම්ම්‘ පොඩි කල්පනාවකින් පස්සේ මිනිහා වචනේ හොයාගෙන.. ‘නැහැ.. ඒත් ඉතිං ජීවත් වෙන්න මොනාහරි කරන්න වෙනවා. මේක තමයි මගේ ජීවිතේ‘ එක පාරටම කතාව නතර වෙනවා. මාත් ඔහේ කරබා ගන්නවා. ‘මම රුපියල් 3.50ට පොළොන්නරුවේ ගිහිං කුලී වැඩ කළා. ඒත් මට ඒවා මොකවත් මේ තරම් අල්ලලා ගියේ නෑ මහත්තයෝ. ඒක මගේ වෙලාව වෙන්න ඇති‘


ඔව් අපි හැවෝටම එහෙම වෙලාවක් තියෙනවා. එහෙම කියලා මම මේ කතාව චැප්ටර්ස්වලට කඩනවා.


දැන් කොහොමද ජීවිතේ? පොල් ගස් නගින්න බැරි දවස්වලට මොකෝ කරන්නේ? මම ආයෙත් මේ කතාව පටන් ගන්නවා.


‘ගස් නගින්න බැරි වැහි දවසට ගෙදරට වෙලා කල්පනා කරනවා. නැත්තං අලි ගාල ළඟ යාළුවාගේ හෝටලේට යනවා. එහෙම ගියාම මට කන්න ටිකක් හම්බවෙනවා. එච්චර තමයි. හවසට ආයෙත් ගෙදරට ඇවිත් සිංදුවක් හීනියට දාගෙන කාමරේට වෙලා අහගෙන ඉන්නවා. ඉස්සර මම පොල් කැඩුවාම කවදාවත් පොල් ලෙලිගහන්න ගියේ නෑ. ලෙලි ගැහුවාම අත සිනිඳු වෙනවා. ඊටපස්සේ ගස් නඟින්න අමාරුයි. පොල් ගස් නඟිනවාට අමතරව මම පොල් ගස් මැද්දා. අවුරුදු 50ක් විතර බිව්වා. හැම ජාතියම. දැන් ඉතිං හතිය තියෙනවා. ඒක නිසා විටක් කාගෙන ඔහේ බලාගෙන කල්පනාකර කර ඉන්නවා. රෑට ටිකක් ජීවිතේ අමාරුයි මහත්තයෝ. දරුවෝ බීලා ගෙදර එනවා නේ…’ ඒ කතාව අවසන් වෙන්නේ තවත් වචන එළියට නොඑන වේදනාවේ නිමේෂයකින්. ඒක ඇත්තටම දරන්න අමාරු මොහොතක්. කොහොමද ඒක වචනවලට පෙරළන්නේ. මට තේරෙන්නේ නෑ. සෑහෙන්න නිහැඬියාවකට පස්සේ මම ආයෙත් වචන සොයනවා.


මොනවද ඔච්චර කල්පනා කරන්නේ? මම නිකමට වගේ අහලා දානවා. හිනාවක් ජුවානිස් මාමාගේ මූණේ පිපිලා පරවෙලා යනවා. මුහුණේ ඇඳුණු රේඛා සිතුවම් ආයෙත් හිටි අඩියට මාරුවෙනවා. ‘කල්පනා කරන්න දේවල්ද නැත්තේ. මම ඉතිං කල්පනාකරනවා. සමහර දවස්වලට දූගේ ගෙදරට යනවා. එහෙම තමයි’ ජුවානිස් මාමාගේ නෝනා ඉන්නේ මැදපෙරදිග. නෝනා ගැන ඇහුවාම මිනිහා මට මෙහෙම කියනවා. ‘අද උදෙත් කතාකළා මහත්තයා.’
මිනිස්සු එක එක විදිහට ජීවිතේ ජීවත් වෙනවා. එක එක විදිහට ජීවිතය විඳිනවා. සමහර වෙලාවට විඳවනවා. ජීවිතේ කියන්නේ ඒකට තමයි. වෙන මොකටද? මම එහෙම හිතනවා. ජුවානිස් මාමා නිහඬවෙලා ඔහේ බලාගෙන ඉන්නවා. ලණු වළල්ලට කානු ගැහුණු කකුලේ සලකුණු දැන් ටික ටික මැකිලා යනවා. ඒ පොල් ගස් නැති නිසා මිසක් මාමා විශ්‍රාම අරගෙන කියලා නෙවෙයි. තවමත් පිහිය දිලිසෙනවා. සරස් ගාලා කැපෙන සෙයියාවෙන් හිනාවෙනවා. අපි යන්න හැරෙනවා. ජීවිතේ එහෙම තමයි. මට හිතෙනවා..!■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි