22.6 C
Sri Lanka
26 September,2022

අපි මාංශභක්ෂක වෙමු (ආහාර අර්බුදයට මගේ සත දෙක – 01)

Must read

හැමතැනම කතාව සාගතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ.

ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික අර්බුදය නිසා මිසක් මිනිහට ‘වස විස නැති ගොවිතැන‘ ගැන තිබුණ අමාරුවකට නෙවෙයි.


කොහොම වුණත් දැන් පේන්න තියෙන සත්‍යය තමයි අගෝස්තු මාසේ විතර වෙනකොට අපිට කන්න නැතිවෙයි කියන එක. රසායනික පොහොර ගහෙන් ගෙඩි එන්නා වගේ නතර කරපු එකෙන් සාගතය ඉක්මන් වුණා. පසුගිය කන්නේ අස්වැන්න භාගයයි. දැන් අපිට පේනවා කුඹුරු වගා කරන්නේ නෑ. මේ යන තත්ත්වය දිගටම ගියොත් 50%ක් කුඹුරු මේ කන්නයේ වපුරන එකක් නෑ. එතකොට ඉතිං කන්න නම් පිටරටින් හාල් ගේන්න වෙනවා. ඒකට සල්ලි නෑ. එහෙනම් හිඟා කන්න තමයි වෙන්නේ. මොකද මේක දැන් ණය ගෙවන්න බැරි රටක්..! එහෙම වුණාම කවුරුත් ණය දෙන්නේ නෑ.


මට හිතෙන්නේ අපි මොන ගේම ගැහුවත් අපිට අවුරුද්දක් විතර යනකම් මේ ආහාර අහේනියෙන් විතරක් නෙවෙයි ආර්ථික අර්බුදයෙනුත් යම් තාක් හෝ ගොඩට එන්න බැරිවෙයි. එතකොට අපි මොකද කරන්නේ? ඇති හැකි අය කියලා වර්ගයක් ඉතුරු වෙන එකක් නැති නිසා කොල්ලකන්න කියලා කෙනෙක් නැතිවෙයි. හොරකම් කරන්න කියලා තියෙන තැනක් නැතිවෙයි.


මේ වෙනකොට වෙළඳපොළට ගියාම සමහර බඩු භාණ්ඩ විශේෂයෙන් කෑම සහ බීම ජාති 1:8 වගේ අනුපාතයකින් මිල ඉහළ ගිහිං. හැබැයි මිනිස්සු මාසෙකට ගන්න වේතනය ඒ අනුපාතයට වැඩි වෙලා නැහැ. ඉන්ධන මිල ගණන් දවසින් දවස ඉහළ යනවා. මේ ඉහළ යාම කොහෙන් නතරවෙයිද කියලා කියන්න දෙයියෝ තමයි දන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැති වුණ ගමන් ඩොලර් බිලියන 08ක් විතර ලැබෙනවා නම් මේක තාවකාලිකව සමහන් වෙයි. ඒත් කොහෙන්ද කවුද එහෙම අපිට දෙන්නේ?


දැනගන්න තියෙන විදිහට ඇමරිකානු අධාර වැඩසටහන, ජපානය, ජී 7 එකතුව, යුරෝපා සංගමය වගේ ආධාර ලබාගන්න පුළුවන් තැන්වලින් තවමත් කොළ එළියක් පේන්න නෑ. අයිඑමෙෆ් මැදහත්වීම උඩ තමයි ඒවා තීරණය වෙනු ඇත්තේ. ඒකට අවම මාස 06ක් හෝ අවුරුද්දක් යාවි. රනිල් වික්‍රමසිංහ අගමැති වුණා කියලා මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නෑ. ඒක හින්දා දේශපාලන සාමයක් හෙටානිද්දට උදාවෙයි කියලා කියන්නත් අමාරුයි.


අද (24) මම ඇල්පිටියේ ඉඳලා කොළඹ එන්න හයිවේ බස් එකට නඟිනකොට බසෙකේ ටිකට් එකේ මිල තිබුණේ රුපියල් 540ක්. ඒත් බසෙක ඇල්පිටිය බස් නැවතුමෙන් එළියට අරගෙන හයිවේ එකට දානකොට බස් ගාස්තුව රුපියල් 650ක් වෙලා කියලා කෝල් එකක් එනවා කොන්දොස්තරට. ‘කොළයක් එන්නේ නැතුව මට 650ක් ගන්න බෑ’ කියලා කොන්දොස්තර කියපු නිසා අපිට පොඩි වාසනාවක් පෑදුණා. අද ලංකාවේ ගොඩක් දේවල් එහෙමයි.


පෙට්‍රල් ලීටරය රුපියල් 338ට ගන්න පෝලිමට ආපු පාරිභෝගිකයෙක්ට තමන්ගේ වාහනේට තෙල් ලීටරයක් ගහන්න වෙන්නේ රුපියල් 420ට. අද ලංකාව එහෙමයි. ලංකාවේ ගොඩක් දේවල් අද වෙන්නේ එහෙම. තියෙන එකාගේ ගෙදර පෙට්‍රල් ඩීසල් ලාම්පුතෙල් ලීටර් සංචිත තියෙනවා. නැති එකාට හුළඟත් නෑ. සමහරු තවම ගාන්නේ පරණ මිල සබන්. බොන්නේ පරණ මිල කිරි පිටි. ඒත් සමහරු අලුත් මිලට ඒවා ගන්න බැරුව සබන් ගාන්නේ නැතුව කිරි බොන්නේ නැතුව ඉන්නවා.


මේක ලේසි අවුලක් නෙවෙයි. ක්‍රමයෙන් ගඩොල ගඩොල අපිම අයින් කරලා දැන් ගොඩනැඟිල්ල ‘බිම හොත්තේ ය’ තමයි. තවමත් අපි මේක සීරියස් අරගෙන නෑ කියන එකයි මගේ හැඟීම. අපි අඳුරේ අතපත ගානවා. ‘ගෝඨා ගෝ හෝම්’ කීවාම රනිල් වික්‍රමසිංහ අගමැති වුණා වගේ සරල නෑ මේ ප්‍රශ්නය.


ඉතිං මට හිතුණා ගමේ මිනිස්සුන්ට මේ ආහාර අහේනියෙන් මිදෙන්න පොඩි කතා ටිකක් කියලා දාන්න. මොකද මගේ පුංචි කාලේ කියන්නේ දවසට තුන්වේල බත් කාපු කාලයක් නෙවෙයි. දවසට එක වේලක් බත් කාලා ඉතුරු වේල් ගෙවාගත්ත විදිහ තාමත් මතකයි. හොඳට කාපු දවස් තිබුණා. ඒත් වැඩිපුර තිබුණේ එහෙම සරු කෑම් වේල් නෙවෙයි. ඉතිං දැන් ආයෙත් ඒ වගේ කාලයක් ඇවිත්. එදා අපි නොකා හිටියේ සල්ලි නැති නිසා. හැබැයි අද නොකා ඉන්න වෙන්නේ සල්ලි තිබුණත් බඩු නැති නිසා.


ලෝකයේ වෙනත් රටවල ආහාර රටාවන් ගොඩනැගෙන්න මේ වගේ අවස්ථා බලපාල තියෙනවා. ඉතිං අපිටත් පුළුවන් දැන් අපේ පරණ ආහාර රටාවට යන්න. පොඩි කාලකට හරි. අපි කොහොමත් හැමදාම අපේ දේ පයිසෙකට මායිම් නොකර හිටිය අමු සිතුවිලි හිඟන්නෝ ටිකක් නිසා, ඉතිං මේ කියන දේවල් උනත් විහිළුවක් වෙන්න පුළුවන්.


ඉතිං නිකමට වගේ සාගතයක් ආවොත් රැකෙන හැටි ගැන පොඩි කයියක් ගහන්නම්. මේක 1 කොටස. මස් මාංශ ගැන..!

වල් ඌරා – තලගොයා ජන සතු කරමු


මිනිස්සුන්ට ලෙඩ රෝග නැතුව ශක්තිවන්තව සොමිෆුල්ව ජීවත් වෙන්න නම් හොඳට ප්‍රෝටීන් ඕනි. (වෙජි අය පැත්තකට වෙන්න..) ඉතිං අපිට ගම්වල දැන් තියෙන හොඳම ප්‍රෝටීන් රැගෙන එන්නා තමයි වල් ඌරා (මට හිතෙන විදිහට). ගමට තුවක්කුවක් හෝ දෙකක් දීම විතරයි කරන්න ඕනි. ඊට පස්සේ මස් ටික සාධාරණ ක්‍රමයකට ගම පුරා බෙදෙනවා නම් මේ ආහාර අහේනිය අස්සේ මිනිස්සුන්ට පොඩි හරි අස්වැසිල්ලක් වෙයි. අද ලංකාවේ ඌරෝ නැති තැනක් නෑ. වගාවට හානි වෙනවා කියලා හැමතැනින්ම අඳෝනා නැඟෙන මේ කාලේ ඌරෝ මරන්න නීතියෙන් අවසර දුන්නා නම් වැඩේ අහවරයි. ඌරා කියන්නේ ඕසෙට ඕනෑම පරිසර සාධකයක් අස්සේ බෝවෙන සතෙක්. ඒ නිසා වඳවෙලා යයි කියලා බයක් තියාගන්න කාරියක් නෑ. ඔය අභයභූමි, රක්ෂිත වගේ වැට මායිමේ ඉන්න මිනිස්සුන්ට නිදහසේ ඇතුළට ගිහින් වෙඩිල්ලක් දෙකක් තියාගන්න ඉඩ දෙන්න ඕනි.


ඉස්සර ගම්වල වල් ඌරෝ වගේම වැඩිපුර කාපු මසක් තමයි තලගොයි මස. මහනුවර මාලිගාවේ කෑම වට්ටෝරු අස්සේ තලගොයියාටත් ඉඩ වෙන් වෙලා තිබුණා. අපේ ගම ඉහත්තාවේ තිබුණ පිල්ලෑව කියන පුංචි ගමේ හිටියා මෙහෙම තලගොයි මරන්නෙක්. මිනිහා මේ මැරිල්ලට එක්ස්පර්ට්. මිනිහගෙන් තලගොයි මාංශය අරගෙන නොකාපු ගෙයක් ඉස්සර හොයාගන්න නෑ, අපේ ගමේ. ඒත් කාලයත් එක්ක අද මිනිස්සු තලගොයියා දිහා බලන්නෙත් නෑ. ඒත් ඉතිං සාගත කාලයක් ආවොත් අහක බලාගෙන ඉන්න එපා. ඉඳලා හිටලාවත් අල්ලලා කාලා බලන්න.


අද ගම්නියම් ගම් හැමතැනම පියාසරන කතරගම දෙයියන්ගේ වාහනෙත් හොඳ මසක්. රජ කාලේ රජගෙදර උයපු සුපිරිම මස තමයි මේ මොනර මස. ‘මොනර මාලු උඩහල්ලේ නොවෙද තියෙන්නේ, අපිට මාලු අලකොළ ඇයිද කුඩම්මේ’ අමතක වෙන්න විදිහක් නෑනේ. අද ගොයියෝ දවස තිස්සේ හූල්ලනවා මේ සත්තු තමන්ගේ වගාවට හානි කළා කියලා. මම නම් කියන්නේ සාගතයක් ආවොත් ප්‍රෝටීන හොයාගන්න තියෙන හොඳ තැනක් තමයි මොනර මස්. කුකුලා කනවා නම් මොනරා මොන කෙහෙල්මලක් ද ආයිබෝන්..!


ගමේ ඉන්න දඩයමේ යන උගුල් අටෝන මිනිස්සු ගැන අපුලකින් බලපු, ඒ මිනිස්සු කානුවට වීසි කරපු කාලේ අවසන් කරන්න වෙයි ඉස්සරහට. අපි හොඳට දඩමස් කාපු ජාතියක්. ඔය ගිරුවායෙයි අරවායෙයි මේවායෙයි කියන මිනිස්සු ඉස්සර කුරහන් සුඟක් එක්ක දඩමස් ගොඩක් කෑවා. වෙන බක්කක් තිබුණේ නෑ කන්න.

බිලී පිත්තට තැන දෙන්න


ඉස්සර අපි අම්මට හොරෙන් ගඟේ ගිහිං මාළු බානවා. ලොක්කයියගේ බිලී පිති හොරකම් කරලා තමයි අපි මාළු බාන්නේ. දවසක් මාළු එකට අමුණපු මාළු මාලයක් ගෙදරට ගෙනාවාම, අම්මා ඒක පාරට උඩින්ම පාකරලා යැව්වා. ඒ මාළු මාලේ පණ යදින නැටුම නිසා. ඊට පස්සේ මම පණ ගිය මාළු විතරක් ගෙදරට ගේන්න පරිස්සම් වුණා. බිලී පිතිවලින් මාළු බානවාට අමතරව ඉස්සර අපි, මැණික් වට්ටියෙන් ගඟ අයිනේ කෙකටිය පඳුරු පාදලා ඉස්සෝ අල්ලනවා. ඒකත් හරි ආසාවෙන් කරපු දෙයක්. ඊළඟට තිත්ත ගෙඩි තලලා ගඟ ඉහත්තාවට දාලා පහළින් සිහි නැතුව උඩ පාවෙන මාළු අල්ලලා උයලා කනවා. මේ හැමදෙයක්ම අපි අනාගතයට උරුම කළේ නෑ. මේකට හේතුව බුදු දහම. ජීවන අරගලයට සමාන්තර නොවූ හිස් අවිහිංසාව. මේ හින්දා ගේ ඉස්සරහ මාළු එක රෑනට ඉන්න දිය කඩිත්තක් තිබුණත් අපිට අද මාළුවෙක් බාගන්න දන්නේ නෑ. හැබැයි ලෝකයා ළඟ තියෙන මිල අධික විනෝදාංශයක් තමයි බිලී බානවා කියන්නේ. ඒක මානසික සුවය හදන වැඩක්. භාවනාවක් වගේ.


මේ ආහාර අහේනිය අස්සේ මම හිතෙන්නේ අපි ආයෙත් ගඟට බහින්න ඕනි. දියකඩිතිවල ඉන්න මාළු අල්ලගන්න ඕනි. හරියට බිලී බාන්න දන්නවා නම්, ඒක විනෝදාංශයක් විදිහට හරි මිනිස්සු කරන්න පුරුදු වුණා නම්, මුහුදට ළඟ මිනිස් ප්‍රජාවට ඒක හොඳ දෙයක් වෙයි, පවුලට අවශ්‍ය ප්‍රෝටීන් ගන්න. ලංකාව වටේම මුහුද, ධීවරයෝ මාළු අල්ලලා දෙනකම්ම බලාගෙන ඉන්න ඕනි නෑ. නිකං හවසට විනෝදෙට වගේ මූද අයිනට ගිහිං ගලක් උඩ වාඩිවෙලා ඇමදාගෙන බලන් ඉන්න. ඒක ආතල්. කෑම වේලත් සරු වෙනවා. එක දවසක් බෑවනම් හැමදාම බායි.


ඊට පස්සේ ගමේ කුඹුරු තියෙන ඈයොන්ට පුළුවන් ලොකු වළවල් හාරලා තිලාපියා නැත්තං කොරළි හදන්න. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. රසායනික පොහොර ඕනිත් නෑ. පැටි මාළු ටිකක් ගෙනල්ලා ඉස්සනම් මාස තුන යනකොට මාළු වගාව ඕසෙට. ඒ වගේම කුකුලෝ හදන එක හාවෝ හදන එක උනත් ඌරෝ හදන එක උනත් මේ එන සාගතය ගැන හිතලම කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මේවා අමාරු වැඩ නෙවෙයි.

හරකාත් හොඳ විසඳුමක්


අද ලංකාවේ හරක් ගත්තොත් පාරේ කොච්චර ඉබාගාතේ වැටිලා ඉන්නවද? මොනරාගල සියඹලාණ්ඩුව පැනලා පොතුවිල පැත්තට යනකොට මුහුදේ මාළු අහිනක් වගේ තමයි හරක් රංචු. අපි අවිහිංසාව හින්දම අද හරක් මරන්නේ අඩුවෙන්. හරක් මරන්නේ නැතුව හරක් කර්මාන්තය කරන්න බෑ කියලා තමයි විද්වතුන් කියන්නේ. සාගතයක් ආවාම ඉතිං ඔය අවිහිංසාව ප්‍රවර්ධනය කර කර ඉන්න දෙයක් නෑ. හරක් මරන මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕනි. ඊටපස්සේ සාධාරණ මිලකට හරක් මස් අලවි කරන්න ක්‍රමයක් හදන්න ඕනි. මම පොඩි කාලේ කියන්නේ, හොඳට හරක් මස් කාපු හැම නගරයකම හරක් මස් කඩ තිබුණ කාලයක්. ‘සෝම දහම’ තමයි මේ මස් ආහාර රටාව වෙනස් කළේ. ඒ හින්දා මම නම් කියන්නේ ඔය සාගතයක් ආවොත් පාරේ ඉබාගාතේ යන හරකා උනත් ඒකට පිළිතුරක් කියලා. අනික අපිට පුළුවන් මස් වෙනුවෙන්ම හරක් සහ එළුවෝ හදන්න. සාපේක්ෂව මස්වලට මේ සතුන් හදන එක ඒ තරම් අමාරු නෑ.


මීහරක් උනත් මසට ගන්න පුළුවන්. අනික මී කිරි කියන්නේ හොඳම ආහාරයක්. ඒක අමතක කරන්න එපා. මීහරක් බෝවීමත් වැඩී. හදාවඩා ගන්න එකත් මහා අමාරු රාජකාරියක් නෙවෙයි.


අපි මේ සාගතය ගැන හිතලා හරි අපේ ආහාර රටාව ආයෙත් වෙනස් කරගත්තොත් ඒක අපේ අනාගතයට හොඳවෙයි. අපේ සිතුවිලි උනත් හොඳ වෙයි. අපි ලෝකය දිහා බලන විදිහ උනත් ඒ හරහා වෙනස් වෙන්න පුළුවන්. ඉතිං ටිකක් මේ ගැන හිතන්න. මස් රසට කන හැටි ගැනත් වෙනම ලියන්නම්. ඉස්සෙල්ලා මාංශ භක්ෂක වෙමු.


ඉතිං ඊළඟ එකෙන් කොළ සහ ගෙඩි අල ජාති කාලා ජීවත් වෙන්නේ කොහොමද කියලා නිකමට වගේ කියන්නම්. අපි කැමති වුණත් අකමැති වුණත් ආහාර අර්බුදයක් ආවොත් මේවා කරන්න වෙනවා…!■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි