No menu items!
27.5 C
Sri Lanka
21 September,2024

එක දෙයයි කියන්නේ..ආදරෙයි! කිලෝමීටර් 40ක් කුරුසය කරගහගෙන ආ ජෙහාන් අප්පුහාමි

Must read

මේ හැමදේම අපටනේ අයිති. රටක ඉපදුණා නම් අපිට අයිති බිමනේ මේක.

ජෙහාන්, දවස් හතරක් තිස්සේ කුරුසයක් කරේ තියාගෙන කිලෝමීටර් හතලිහක් ඇවිද්දා. කටුවාපිටියේ පල්ලියෙ ඉඳලා කොළඹ කොච්චිකඩේටත් එතැනින් ගෝල්ෆේස් එකටත් කුරුසෙ කර තියාගෙන ඔබ ආවා. මේ පෙළඹවීම එන්නේ කොහෙන්ද කියන්න පුළුවන්ද?


පාස්කු දින ප්‍රහාරය ජීවිතේට මට බලපෑවේ මම කතෝලිකයෙක් නිසා. හලාවත පාස්කු නාට්‍යයේ මම ජීසස්ට ඇක්ට් කරනවා. අන්තිමට මම ඇක්ට් කළේ කෝට්ටේ පාස්කු නාට්‍යයේ. ජීසස්ගෙ චරිතය මගේ ජීවිතේටත් ලේසි පාසු චරිතයක් නෙවෙයි.


මගේ යාළු මලිත් පීරිස් මට කිව්වා උඹ ජීසස්ට ඇක්ට් කරනවා නේද, ඇයි උඹට බැරි මේ පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් එළියට බහින්න කියලා. මම කිව්වා මටත් බහින්න ඕනෑ කියලා.
එහෙනම් අපි මෙහෙම කරමු මචං කියලා එයා මට යෝජනා කළා. නමුත් මං කොහොමත් හිතාගෙන හිටියේ, පාස්කු ප්‍රශ්නෙට උත්තර නොදුන්නොත් මම මොකක් හරි දෙයක් කරනවා කියලා. ඒ යෝජනාවේ සහ මම හිතපු දේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම කුරුසියක් අරගෙන කටුවාපිටියෙ ඉඳලා මෙහාට ආවේ.

සංකේතාත්මක විදියට ඒක පාස්කු දින ප්‍රහාරය පිළිබඳ බිය, සංවේදනාව, පසුතැවිල්ල හා යුක්තිය ඉටු නොවීම ගැන කෝපය තිබෙන රටේ හැම කෙනකුගේම බර ඔබ තනියෙන් කරගහගෙන ආවා වගේ දෙයක්නේ. ඒක කොහොමද ඔබට දැනුණේ?


මම විස්වාස කරනවා මේ රට වෙනස් කරන්න පුළුවන් සංස්කෘතික මිනිහෙක්ට කියන එක. අපි ඉන්නේ සංස්කෘතික අරගලයකනේ. මේ රටේ තියෙන්නේ සංස්කෘතික මිනිසෙක් නැති ප්‍රශ්නයක්නේ. අරගළ භූමියේ දී මිනිස්සු සංස්කෘතිකයි කියන එක හොඳටම පේනවා. මම ආගමක් එක්ක ඔට්ටු වෙන මිනිහෙක් නෙවෙයි. ජාතියක්, භාෂාවක් එක්ක ඔට්ටු වෙන මිනිහෙක් නෙවෙයි. නළුවෙක් කියලා මහා ලොකුවට හිතාගෙන ඉන්න මිනිහෙකුත් නෙවෙයි. කතෝලික කියලා මහා ලොකුවට හිතාගෙන ඉන්න මිනිහෙකුත් නෙවෙයි. නමුත් අපිට ඕන සංස්කෘතික ජීවිතයක්. ඒ පොයින්ට් එකට මම සංස්කෘතිකව වැඩ කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.


මං දෙවියො විස්වාස කරන්නේ නෑ. හැබැයි මං ජීසස් විස්වාස කරනවා. එයා කළේත් මේ අරගලයම තමයි. මේ මොහොතේ මට පුළුවන් විදියට මට පුළුවන් ප්‍රමාණයට කළේත් ඒ අරගලයම තමයි.

කිලෝමීටර් 40ක් ඔබ පයින් ඇවිදිනවා. මිනිස්සුන්ගේ ප්‍රතිචාර, මිනිස්සු ඔයාගේ මැදිහත්වීම ගැන දැකපු විදිය ආදිය ගැන මොකක්ද ඔයාගේ අදහස?


දේශපාලන පක්‍ෂයක්වත් වෙන සංවිධානයක්වත් සම්බන්ධ නොවිච්ච වැඩක් මේක. අපි කීප දෙනෙක් තමයි පිටත්වුණේ කටුවාපිටියෙන්. මගේ යාළුවො කීප දෙනෙක් එක්ක මගේ දරුවො සහ බිරිඳ එක්ක තමයි පිටත්වුණේ. ඒකෙදි ගිහි බෞද්ධයො, හාමුදුරුවරු, මුස්ලිම් අය, හැම තිස්සේම ළඟට ඇවිල්ලා ඔළුව අතගාලා, එක දෙයයි කියන්නේ. ‘ආදරෙයිෟ’ කියලා විතරයි කියන්නේ. මට කෑගහලා අඬන්න පුළුවන් සමහර තැන්වලදි. ඒත් අඬන්න බෑ, ඇඬුවත් මට මහන්සි වෙනවා. කෑගහලා අඬන්න හිතෙනවා ඒ මිනිස්සුන්ගේ ආදරේ වෙනුවෙන්, මුන් මොකක්ද මේ රටට කළේ කියලා. මම දන්නවා මම එහෙම ඇඬුවොත් මට පට්ට මහන්සියි. දවස් හතරකින් ඔය ආපු ගමන දවස් දහයකින්වත් ඉවර කරගන්න වෙන්නේ නැහැ එහෙමනම්. සෙරෙප්පු දෙකක්වත් නැතුවයි මම ආවේ. පාරට වතුර දාපු මිනිස්සු, මට වතුර ටිකක් දීපු මිනිස්සු, ඔළුව අතගාපු මිනිස්සු, කෑගහපු මිනිස්සු… ආදරෙයිෟ එච්චරයි. ඒක මේ රට ඇතුළෙ තියෙනවා කියලා දැනගත්තා.

සංස්කෘතික මිනිසෙක් හැදීම දැන් අපි සමාජයක් හැටියට වැටිලා ඉන්න මේ තැනින් ගොඩඑන්න මොන විදියට දායක වෙයි කියලාද ඔබ හිතන්නේ?


මෙහෙමයි, මුං ඇවිල්ලා තක්කඩිනේ. මේ වෙලාවේ මේ මජර දේශපාලනය ඇතුළේ මුං ඇවිල්ල තක්කඩි ගේම් එකක්නේ ගහන්නේ. මුන්ට ඕන මේකට කෙළවන්නනේ. බලය තියාගන්න උං ඕනම දෙයක් කරන ජාතියක්. මරන්න ඕන නං මරනවා. මුංට වෙන වැඩක් කරන්න බෑ. බලය තියාගන්න මිනී මරන ගැන්සියක්නේ මේක. ලංකාව පිළිගන්නවා නම් මම ආටිස්ට් කෙනෙක් කියලා, තව ආටිස්ට්ලා ඇතිනේ. අපිට තව තවත් මිනිස්සුන්ව දැනුවත් කරන්න සංස්කෘතික ක්‍රියාකාරකම් ගොඩක් කරන්න තියෙනවා. ඒක තනියෙං කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හැම ආටිස්ට් කෙනකුගේම වගකීම තමයි මේ සංස්කෘතික මොහොත, සංස්කෘතික වටිනාකම අපි කොහොමද හදන්නේ කියන එක. තව තව තව තව හැම ක්‍ෂෙත්‍රයකම, චිත්‍ර අඳින මිනිස්සු, රඟපාන මිනිස්සු, අධ්‍යක්‍ෂවරු ඇතුළු මේ හැමෝම මේකට කොහොමද මැදිහත්වීම කරන්නෙ? මේ මොහොත අපිට ගිලිහුණොත් තව අවුරුදු හැටකටවත් අපිට මේක ගන්න වෙන්නේ නැහැ. මුං මේ මැච් එකම ගහනවා. ඒක හින්දා අපේ දායකත්වය මොන විදියටද දෙන්න පුළුවන්, මේ අරගළ භූමිය හරහා, ප්‍රාදේශීය මට්ටමෙන්, නගර මට්ටමෙන් මේ අරගළ භූමිය දිගටම පවත්වාගෙන යන්න ඕනේ.


මේ හැමදේම අපටනේ අයිති. රටක ඉපදුණා නම් අපිට අයිති බිමනේ මේක. ඒ බිම අපට අයිති නොවෙන තාක් කල් කෑල්ලෙන් කෑල්ල උන්ට විකුණන්න පුළුවන් නම් උන් කවුද? අපි කවුද එතකොට? රටක් වෙනස් කරන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙන්න එපැයි. මම වෙනස් වෙන්න එපැයි. මම වෙනස් වෙන්නේ නැතුව අනුන් වෙනස් කරන්න පුළුවන්ද? මං වෙනස් වුණාට පස්සේ රට වෙනස් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ඔබ දීර්ඝ කාලයක් තිස්සේ රඟපානවා, නාට්‍ය කරනවා, ලියනවා, සඟරා කරනවා. කතා කරනවා. පාගමන් යනවා. සමාජ ක්‍රියාකාරිකයකු හැටියට වැඩ කරනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි, අපි කියනවා කියනවා, සමාජයට මේක දැනනෙවාද කියන එක. මොකක්ද ඔබ හිතන්නේ?


නාට්‍ය කලාවේ තියෙනවා පොඩි කතාවක්. මම ඇක්ට් කරනවා නම්, මට දැනෙන්නේ නැතුව අනුන්ට දනවන්න බැහැ. ඕඩියන්ස් එකට දනවන්න බැහැ. ඉස්සෙල්ලාම මට දැනෙන්න ඕන. මට දැනුණා නම් ඕඩියන්ස් එකට දැනෙනවා. කුරුසිය කරේ ගහගෙන මම ගියේ මට දැනිලා. මං බොරුවට ගියට ගමනක්, මට කවුරුත් බලකළ නිසා ගිය ගමනක් නෙවෙයිනේ. සල්ලිවලට ගිය ගමනකුත් නෙවෙයි. යාළුවො කීප දෙනෙක් මට කුරුසෙ හදාගන්න සල්ලි දීලා,

බේකරියෙන් කුරුසෙ හදාගෙන ගිය ගමනක්නේ මේක. මිනිහෙකුට ඇත්තට යමක් කියන්න පුළුවන්. බොරු කළ ගමන් මිනිසුන්ට තේරෙනවා මේ බොරුව කරන්නේ කියලා.


අපි මේක පෙරළන්න හරි, වෙනස් කරන්න හරි, ගෝටා යවන්න හරි, රාජපක්‍ෂ ෆැමලි එක අතුගාන්න හරි ඔය ඕන එකකට ඉස්සෙල්ලා ඒක මගේ පපුවට දැනෙන්න ඕන දෙයක්. තමන්ගේ පපුවට. එහෙම දැනිච්ච පපුවවල් තේරුම් ගන්න මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා කියලා මට විශ්වාස වුණා මේ ගමනේදී. මට දැනිලා මම ඒ අනුව වැඩ කරනවා නම් මේක පෙරළනවා කියන එක නතිං. මිනිස්සු එහෙම මෝඩ නැහැ. මිනිස්සුන්ට හරියට ආමන්ත්‍රණය කළා නම් ඒක හරියට වැඩ කරනවා. මං හිතනවා ඔය ගමනේදි මම හරියට ආමන්ත්‍රණය කළා කියලා. මේක මට දැනිච්ච දේ. කුරුසයක් කරගහන්න මට හයියක් තියෙනවා.

ඔබ පෙනීසිටියේ මේ පාස්කු දින ප්‍රහාරයෙන් යුක්තිය අහිමිවෙච්ච මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම පහුගිය අවුරුදු තිහක හතළිහක කාලය ඇතුළත ලංකාවේ හතරදිබ්බාගෙම, දකුණෙ, උතුර නැගනෙහිර හැම තැනම මිනිසුන්ට යුක්තිය අහිමි වෙලා තියෙනවා. අද වෙනකං ඒක ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ඔබ එක ප්‍රකාශනයක් කළා දවස් හරක් තිස්සේ කුරුසෙ කරගහගෙන ඇවිල්ලා. යුක්තිය ඉල්ලන මේ මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ?


අපි කාටවත් වැරදි කරලා නෑනේ. අපි හැමදාම මිනිස්සු එක්ක හොඳින් ඉන්න හදන්නේ. අපිට ඕන සාමයෙන් ඉන්න. අපිට ඕන එකමුතු වෙලා වැඩ කරන්න. දැන් මේකට කෙළවන්නේ කවුද? මේ ඉන්න පාලකයොනේ. මේ විනාස වෙන හැම තත්පරයකටම වගකියන්න ඕන මේ පාලකයෝ. ගතවෙන හැම මොහොතකටම, තරුණයෙක් රස්තියාදු වෙන හැම මොහොතකටම, තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දරුවෙක් නොකා ඉන්නවා නම්, බස්වල රස්තියාදු වෙනවා නම්, බස් එකක් එනකං පැය ගානක් බලා ඉන්නවා නම්, මේ හැම දේටම වගකියන්න ඕන මේ පාලකයො.


මට කියන්න තියෙන්නේ මෙච්චරයි. යුක්තියක් අපිට ඕන. යුද්දයක් අපේ ඇස් පනාපිට දැක්ක පරම්පරාවක් මම. හැත්තෑඑක කැරැල්ල ගැන අත්දැකීමක් මට නෑ. අසූඅට අසූනවය ගැන එහෙම ලොකු අත්දැකීමක් නැ. අසූතුනේ කළු ජූලිය ගැන එහෙම ලොකු අත්දැකීමක් නෑ. නමුත් ඒ ඔක්කොටම හරියන්න තිස් අවුරුදු යුද්දයක අවසාන මොහොත මම දැක්කානේ. සුදු කොඩියක් උස්සං ආපු මිනිස්සුන්ටත් වෙඩි තිබ්බ හැතිකරයක්නේ මේ. ඊටත් එහා මිනිස්සු මරද්දි කිරිබත් කාපු ජාතියක්නේ මේ. මනුස්ස ජීවිතයක් කියන්නේ කොච්චර උතුම් දෙයක්ද කියලා දන්නේ නැති ජාතියක්නේ මේ. මෙහේ මිලිටරි ආමි එක වෙන්නත් පුළුවන් අරහේ එල්ටීටීඊ එක වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම සිද්දවෙන්නේ පාලකයාට අනුරූපවනේ. එහෙං ප්‍රභාකරන් ඉන්නවා. මෙහෙං මහින්ද රාජපක්‍ෂ ඉන්නවා. එයා ඕඩර් දෙනවා සරත් ෆොන්සේකාට. සරත් ෆොන්සේකා ගහගෙන ගහගෙන යනවා. ඉතින් ඒගොල්ලො යුද වීරයො කියලා කියනවා.
තමන්ට දැනෙන තැනින් තමන් යුක්තිය ඉල්ලන එක තමන්ගේ දෙයක්. ඒ වෙනුවෙන් කෑගහන්න හරි, ඒ වෙනුවෙන් පෙනීහිටින්න හරි, ඒ වෙනුවෙන් දේවල් කරන්න හරි ඕන මිනිහෙකුට පුළුවන්. මෙච්චරයි මං කියන්නේ. අවුරුදු තිස්නවයක මට දැන් තේරිලා තියෙනවා, මට කිසිම තැනකින් පෞද්ගලිකව අසාධාරණයක් වෙලා නැහැ. නමුත් මේ රටෙන්, පාලනයෙන් මට ලොකු අසාධාරණයක් කෙරිලා තියෙනවා. මම ඒකට විරුද්ධව නැගී සිටිනවා. ඒකට මං වැඩ පටන් අරගෙන තියෙන්නේ දැන්. කුරුසෙ කරගහගෙන ආපු එක පළවෙනි විදිය විතරයි. තව දේවල් තියෙනවා, මම ඒවා කල්පනා කරනවා. එක එක විදියෙන් මම එන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලන්ට අපිත් එක්ක හැප්පෙන්න බැහැ. ඒගොල්ලො හැප්පුණේ වැරදි පරම්පරාවක් එක්ක.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි