25.5 C
Sri Lanka
6 October,2022

ගෝඨා (ගෙදර) නොගියොත්

Must read

නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නවකතාව රුසියානු විප්ලවය තුළින් බිහිවූ විප්ලවීයම කෘතිය ලෙස හැඳින්විය හැක. යුක්රේනයේ පාලනය සඳහා 1919දී සුදු හා රතු හමුදාවන් අතර හටගත් සටන් රැලි මාලාව මෙම කෘතියට පසුබිම වේ.


ඉතිහාසය උඩු යටිකුරු කරන දැවැන්ත පරිවර්තනයන් තුළ සාමාන්‍ය ජනතාවගේ භූමිකාව පිළිබඳව අතිශය ප්‍රායෝගික කියවීමක් ඔස්ත්‍රොව්ස්කි වැනි විප්ලවවාදියකු ලියූ ‘වානේ පන්නරය ලැබූ හැටි’ වැනි විප්ලවීය කෘතියක් තුළින් හමුවීම විස්මයජනකය.


යුක්රේනය වෙලා ගත් ‘තියුණු මාරාන්තික පන්ති සටන් තුළින් අලුත් සටන්කාමීන්’ බිහිවිය. නමුත් ‘සාමාන්‍ය මිනිසා’ මෙම සටන් දෙස බැලුවේ ආගන්තුක කෝණයකිනි. ‘සාමාන්‍ය මිනිසාට හුරු පුරුදු සන්සුන් දවස්’ සටන් රැලි නිසා ඔහුට/ඇයට අහිමි විය. තම නගරයේ/ගමේ බලය විප්ලවවාදීන් හා ප්‍රතිවිප්ලවවාදීන් අතර දෝලනය වෙද්දී ‘සාමාන්‍ය මිනිසා පණ බේරා ගැනීමට තැත් කළේය.”


ඔස්ත්‍රොව්ස්කිට 1979 යුක්රේනයේදී හමුවූ ඒ ‘සාමාන්‍ය මිනිසා අකාලික හා ගෝලීය ප්‍රපංචයකි. ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයන් බොහොමයක් මේ ‘සාමාන්‍ය මිනිසා’ නමින් සිදු වුවද ඔස්ත්‍රොව්ස්කි කීවාක් මෙන් මෙම ‘සාමාන්‍ය මිනිසාට’ අවශ්‍ය එවැනි පරිවර්තනයන්ට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීම නොව තම ‘හුරු පුරුදු’ සන්සුන් ජීවිතය හැකි පමණින් හැකි කලක් පවත්වා ගැනීමය.


බලයේ සිටින ආණ්ඩුවක් තම පිළිවෙත් හා ක්‍රියාවන් තුළින් ‘සාමාන්‍ය මිනිසාගේ මෙම ‘හුරුපුරුදු සන්සුන්’ ජීවිතය පවත්වා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළහොත් සිදුවනුයේ කුමක්ද? අඥාන හා අදූරදර්ශී රාජපක්ෂ පාලනය නිසා ලංකාව අද වේගයෙන් ගමන් කරමින් සිටිනුයේ එවැනි තීරණාත්මක කඩඉමකටය.


රාජපක්ෂ පාලනයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක වූ අරගල රැල්ල තුළ ප්‍රධාන ලක්ෂණ දෙකක් දැකිය හැකි විය. එකක් නම් එහි නිර්පාක්ෂිකභාවයයි. අනෙක නම් එහි සංයුතිය ප්‍රධාන වශයෙන් මධ්‍යම පන්තිකයන්ගෙන් සමන්විත වීමයි.


ඔස්ත්‍රොව්ස්කි හඳුනාගත් ‘සාමාන්‍ය මිනිසා’ ගෝඨා ගෝ ගම අරගලයට සිතින් හා වචනයෙන් ආශීර්වාද කළා විය හැක. නමුත් ඒ සඳහා ඔහුගෙන්/ඇයගෙන් වූ ක්‍රියාකාරී දායකත්වය අවම විය. නොකඩවා ඉහළ යන ආර්ථික තාඩන පීඩන කෙසේ හෝ දරාගෙන තම ජීවිකාවත් ජීවිතයත් පවත්වා ගැනීම සාමාන්‍ය මිනිසාගේ උත්සාහය විය. ජීවත්වීම සඳහා දවස වැය කළ ඔහුට/ඇයට අරගල කිරීමට වෙලාවක් නොවීය.


මෙම තත්ත්වය 18දා රාත්‍රියේ වෙනස් වූයේ සිපෙට්කෝ ආයතනය හදිසියේ සිදු කළ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීමත් සමඟය.


මෙතෙක් අරගලයට ඍජුවම සම්බන්ධ නොවූ සාමාන්‍ය ජනතාව මහ පාරට බැස තම වේදනාව හා කෝපය ප්‍රකාශයට පත් කිරීම ඇරඹුණේ ඉන්පසුවය.


රඹුක්කන තවත් රතුපස්වලක් බවට පත් කිරීමට පාලකයින්ට පැය 24ක් ගියේ නැත.
පොලිසිය රඹුක්කන සිද්ධියේදී අවම බලය යෙදූ බව පොලිස්පතිවරයා කියයි. කඳුළු ගෑස් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ගල් ගැසූ ජනතාවට ජීව උණ්ඩවලින් පිළිතුරු දීම ‘අවම බලය යෙදීමක්’ වන්නේ රාජපක්ෂ ක්‍රමයටය.


“මුන් අපිට ජීවත් වෙන්න දෙන්නෙ නැහැ” 19දා උදේ එක් මැදිවියේ උද්ඝෝෂකයෙක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කළේය. එදා උදෑසන පැවති උද්ඝෝෂණ කිහිපයකින් අසන්නට ලැබූ සටන් පාඨයක් වූයේ, “ගියා, ගියා ගණන් ගියා, පෙට්‍රල් මිල ගණන් ගියා” යන්නය. මේ ජනතාව කැමැත්තෙන් බුද්ධියෙන් සිතා බලා, සංවිධානාත්මකව පාරට බැස්සේ නැත. වේලක් හැර වේලක් කා ජීවත් වීමටවත් බැරි තරමට ආර්ථික පීඩනය උග්‍ර කිරීම තුළින් පාලකයෝ ඔවුන්ව පාරට ඇද දැමූහ.


පොලිසියේ වෙඩි තැබීම හමුවේ අතුරු මාර්ගවලට පලා යන ජනතාව හඹා ගොස් ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙන සිදුවීම්වල දර්ශන මේ වන විට අන්තර්ජාලයේ දක්නට ඇත. මියගිය තරුණයා ඇද වැටී සිටියේද එවැනි අතුරු මඟක බව වීඩියෝ දර්ශනවලින් අනුමාන කළ හැක. ඔහුගේ ජීවිතය පැහැර ගත් ජීව උණ්ඩය (පොලිසිය රබර් උණ්ඩ භාවිත කළා නම් ඒ ජීවිතය අහිමි නොවන්නට ඉඩ තිබුණි.) සිරුරට ඇතුළු වූයේ ඉදිරිපසින්ද පසුපසින්ද යන්න මරණ පරීක්ෂණයේදී හෙළිවනු ඇත. පොලිසිය වෙඩි තැබුවේ ආරක්ෂාවටද, නැතහොත් පළිගන්නටද, උද්ඝෝෂකයන් පාලනය කරන්නටද නැතහොත් ඔවුන්ට පාඩමක් උගන්නන්ටද යත්න ඉන් නිගමනය කළ හැක.


රඹුක්කන ආරම්භයක් විනා අවසානයක් නොවේ. මේ ගමනේ දිශාව තීරණය වනුයේ මෙම මිනිස් ඝාතනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුවය. සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තාවකාලිකව වැඩ තහනමකට ලක් කොට ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුව ක්‍රියා කරයිද? නැතහොත් 2010-2015 සමයේ මෙන් කුමන්ත්‍රණකරුවන් ගැන බොරු දොඩවමින් මෙම ඝාතනය සාධාරණීකරණයට ආණ්ඩුව කටයුතු කරයිද?


රටේත්, ජනතාවගේත්, ආණ්ඩුවේත් පමණක් නොව, රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියේද අනාගතය තීරණය වනු ඇත්තේ ඒ ප්‍රතිචාරය අනුවය.

අරගලය හා අරගලය


මාර්තු මස 31 මිරිහානෙන් ආරම්භ වූ අරගලය ලංකාවේ දේශපාලන අරගල ඉතිහාසයට සාධනීය අත්දැකීමක් එකතු කළේය. විශේෂයෙන්ම ගෝ ගෝටා ගම කේන්ද්‍රීය කරගත් විරෝධතාව සාමකාමී, සංයමයෙන් යුතු, බෙහෙවින් නිර්මාණාත්මක අත්දැකීමකි. මේ අරගලය සැණකෙළියක් යයි විවේචන ඉදිරිපත් වුවද එහි ශක්තිය, ආකර්ෂණය හා පැවැත්ම රැඳී ඇත්තේ ඒ නවමු ප්‍රකාශන මාදිලිය තුළිනි.


අධිකාරිවාදී ගමනක් යන පාලකයන්ට වඩාත්ම නොරුස්සනුයේ පාලිතයන්ගේ කෝපය හා වෛරය නොවේ; සමච්චලයයි; උසුලු විසුලුවයි.


වත්මන් තරුණ අරගලය තුළ නිර්මාණය වූ විසුලු ගීත ඛණ්ඩ කුඩා ළමුන්ගේ කෙළි සෙල්ලම්වල කොටසක් වන තරමට සමාජය තුළට කාවැදී ඇත.


ගෝටා ගෝ ගම සැණකෙළියක් යැයි විවේචනය කරනවුන් අමතක කරනුයේ (හෝ නොදන්නේ) 1848 ප්‍රංශ විප්ලවයට (හා යුරෝපීය විප්ලව විසින් ඇරඹුණු රැල්ලට) මුල පිරුණේ පැරිසියේ පැවැත්වූ මහා භෝජන සංග්‍රහයකින් බවය. (the Chateau Rouge banquet) විප්ලවය පත්තු වූයේද පැරිසියේ පැවති තවත් එළිමහන් භෝජන සංග්‍රහයක් තහනම් කිරීමට ලුයි-ෆිල්පේ රජුගේ අගමැතිවරයා දුන් නියෝගයත් සමඟය. සය දෙනකුට වැඩි පිරිස් ඒකරාශි වීමට රාජාණ්ඩුව විසින් පනවා තිබූ තහනම මඟහරවා තම සංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාමට ප්‍රංශ විරෝධතාකරුවන් යොදා ගත් උපක්‍රමය වූයේ මෙලෙස දැවැන්ත (හා බොහෝවිට එළිමහන්) භෝජන සංග්‍රහයන් සංවිධානය කිරීමය.


ගෝටා ගෝ ගම අරගලයේ දුර්වලතාව එහි මේ නැවුම් උපක්‍රම නොවේ. රාජපක්ෂවරුන්ගේ බල අභිරුචියත් ඔවුන්ගේ දේශපාලන ශක්තියත් යම් මට්ටමකින් අවතක්සේරු කිරීමයි.


රාජපක්ෂවරුන් බලයට පත්වූයේ නිදහස් හා සාධාරණ මැතිවරණයකිනි. 69 ලක්ෂයක ඡන්දදායකයන්ගේ කැමැත්තෙනි. ඒ ජනවරමේ දේශපාලනික හා සදාචාරාත්මක (moral) අන්තර්ගතය මේ වන විට නිෂේධනය වී ඇති බව පැහැදිලිය. නමුත් එහි නීතිමය රාමුව (form) තවමත් රාජපක්ෂවරුන් සතුය. ඔවුන්ට බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති වුවද ව්‍යවස්ථාමය අයිතියක් තිබේ. අප අකමැත්තෙන් හෝ පිළිගත යුතු යථාර්ථය එයයි.


රාජපක්ෂවරුන්ගේ බල අභිරුචිය අසීමාන්තිකය. ජනතා අපවාදයට බියවීම ඉන් ලැජ්ජාවට පත්වීම ඔවුන්ට නුහුරුය. ඒ ලැජ්ජා බය නැමති නහරය ඔවුන්ගේ දේශපාලන දේහයේ නොමැත. මුළු රටම මහ පාරට බැස්සත් ඔවුන් බලය අත්හරින්නේ නැත.


රාජපක්ෂවරුන් සාමකාමීව බලයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාමය මාවතක් සොයා ගත යුත්තේ එබැවිනි.


1978 ජනපති ව්‍යවස්ථාව හා ජනපති ක්‍රමය නොවන්නට රාජපක්ෂවරුන් මෙලහකටත් බලයෙන් විසිවී හමාරය. වත්මන් තත්වයෙන් පැහැදිලි වන වැදගත්ම කාරණයක් වනුයේ ජනපති ක්‍රමය අහෝසි කොට විධායක බලය පාර්ලිමේන්තුවට ලබාදෙන නව පාලන ක්‍රමයක අවශ්‍යතාවයි. විපක්ෂ නායකවරයාද ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට පැමිණ ඇති නිසා ලංකාවට කිසිසේත්ම නොගැළපෙන හා මෙරට දේශපාලනයට විනයක් වූ මෙම ක්‍රමය නුදුරු අනාගතයේම වෙනස් කළ හැකිය යන්න බලාපොරොත්තු විය හැක.


ඒ නුදුරු අනාගතයටය; වර්තමානයේ මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාව වනුයේ රාජපක්ෂ පාලනය ව්‍යවස්ථානුකූලව ගෙදර යවන මඟක් සොයා ගැනීමය. ඒ අතරමැදි විසඳුම පමා වුවහොත් ලංකාව අරාජිකවාදයේ නරා වළේ ගිලී යාම වැළැක්විය නොහැක.


රට පුරා පැන නැඟෙන ජනතා අරගලයේ නායකත්වය පාර්ලිමේන්තු විපක්ෂයට අහිමිය. කොතරම් රැඩිකල් කතා පැවැත්වුවද පාගමන් ගියද මේ ජනතා අරගලයේ නායකත්වයට පත්වීමට පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තුවෙන් පරිබාහිර කිසිදු විපක්ෂ පක්ෂයකට හෝ සන්ධානයකට නොහැක. වත්මන් අරගලය බිහිවූ හා විකාශනය වන සුවිශේෂී ස්වභාවය නිසා සාම්ප්‍රදායික විපක්ෂයත් අරගල කරන ජනතාවත් අතර ඇත්තේ පැහැදිලි ශ්‍රම විභජනයකි.
විපක්ෂයේ කාර්යභාරය රාජපක්ෂවරුන් ගෙදර යැවීම සඳහා ව්‍යවස්ථාමය මඟක් සොයා ගෙන එය ක්‍රියාත්මක කිරීමය.


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවකින් හෝ ජනපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකින් වේගයෙන් ඔඩුදුවන අර්බුදය සමනය කිරීමට ඇති හැකියාව සැකසහිතය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති විශාරදයෙකු වූ නිහාල් ජයවික්‍රම මහතාගේ Is the Opposition unaware of Article 42? නම් ලිපියෙන් කළ යෝජනාව විපක්ෂයේ ක්ෂණික අවධානයට බඳුන් විය යුතුය. ව්‍යවස්ථාවේ 42 වන වගන්තිය හරහා ජනපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව එහි ප්‍රධාන තර්කයයි. එවැනි විශ්වාසභංගයක් තුළින් ජනපතිවරයා ඉවත් කොට තාවකාලික ජනපතිවරයෙකු හා ආණ්ඩුවක් හරහා ක්ෂණික ව්‍යවස්ථාමය පරිවර්තනයක් කළ හැකි බව ලිපිය කියයි. අනෙකුත් නීති විශාරදයන්ටත් වත්මන් අර්බුදයට ලැබිය යුතු ව්‍යවස්ථාමය විසඳුම පිළිබඳ විවිධ අදහස් තිබිය හැක. මේවා සලකා බලා යම් ව්‍යවස්ථාමය විසඳුමක් පිළිබඳව පොදු එකඟතාවක් ගොඩ නඟා ගෙන එය නොපමාව ක්‍රියාත්මක කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂයට වත්මන් අරගලයේ නායකත්වය දිනාගත හැක්කේ එවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් හරහා පමණි.


ප්‍රශ්නය නම් කාලයයි.


ගෝටා ගෝ ගම කේන්ද්‍ර කරගත් අරගලයත් 18දා රාත්‍රියේ ඇරඹුණු ජනතා උද්ඝෝෂණ රැල්ලත් අතර පැහැදිලි වෙනසක් ඇත. ඒ වෙනස නිර්මාණය වී ඇත්තේ විරෝධතා මාලා දෙකේ සංයුතිය හරහාය. (මේ ලියන මාද ඇතුළුව) මධ්‍යම පන්තිකයන්ට තවමත් ජීවිතය අවම මට්ටමකින් වත් පවත්වා ගැනීමට නොහැකි මට්ටමකට පත්ව නැත. ප්‍රශ්නය දෙස බුද්ධියෙන් බැලීමට ඊට යම් සංයමයකින් ප්‍රතිචාර දැක්වීමට අපට හැක්කේ එබැවිනි.


18 වෙනිදා රෑ මහ පාරට ඇද දැමුණු ‘සාමාන්‍ය මිනිසාගේ’ තත්ත්වය ඊට වෙනස්ය. ඔවුන්ගේ ජීවිත අවම මට්ටමකින් හෝ පවත්වාගෙන යා නොහැකි තරමට ඔවුන් අත්දකින ආර්ථික පීඩනය උග්‍රවී ඇත. ඔවුන්ට ඉතිරිව ඇත්තේ අපේක්ෂා භංගත්වයෙන් හා වේලක් ඇර වේලක් හෝ කන්නට නොහැකිකමින් බිහිවූ කෝපයයි; වෛරයයි.


පොලිසියද රාජපක්ෂ පාලනයද මෙම විරෝධතා දෙවර්ගයට ප්‍රතිචාර දක්වනුයේ (තවමත්) දෙයාකාරයටය. ගෝටා ගෝ ගම විරෝධතාවන්ට ඔවුහු ඉතාමත් අවම බලයෙන් හා ඉවසීමෙන් ප්‍රතිචාර දක්වති. රඹුක්කන උද්ඝෝෂකයින්ට ජීව උණ්ඩ පත්තු කිරීමටත්, ඒ සඳහා අවසර දීමටත් පොලිසියට හා ආණ්ඩුවට ගතවූයේ පැය කිහිපයකි.


බලය රැක ගැනීම සඳහා වූ ව්‍යායාමයේදී රාජපක්ෂවරුන්ට සිංහල, දෙමළ, බෞද්ධ, කිතුනු, හින්දු, මුස්ලිම් භේදයක් නැත. 2010-15 අතර වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ, මීගමුවේ හා රතුපස්වල ඝාතනයන්ගෙන් සනාථ වූයේ උතුරට හා නැගෙනහිරට තැබූ අත දකුණට තැබීමටත් රාජපක්ෂවරුන් මැලි නොවන බවය.


රාජපක්ෂවරුන් ගෙදර යැවීම සඳහා ව්‍යවස්ථාමය මඟක් නිර්මාණය කිරීමේ විපක්ෂ වගකීම ඉටුවීම පමාවන තරමට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසා පාරට ආ, රාජපක්වරුන් තම අඥාන හා ක්‍රෑර ආර්ථික පිළිවෙත් වලින් පාරට ඇද දැමූ සාමාන්‍ය මිනිසුන්ටය.

ව්‍යවස්ථාමය විසඳුමක් පමාවීම හමුදා මැදිහත්වීමකට පාර කැපීමකි


එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා නිර්මාණය කළ පංච මහා බලවේගයට රාජපක්ෂවරු තවත් බලවේග දෙකක් එක් කළහ. එනම් හමුදාව හා තරුණ ප්‍රජාවයි.
මේ සප්ත මහා බලවේගයෙන් පහක්ම මේ වන විට රාාජපක්ෂ පිලෙන් විතැන්ව ඇත. රාජපක්ෂවරුන්ට ඉතිරිව ඇත්තේ සිංහල-බෞද්ධ භික්ෂූන් (දේශපාලකයන්ගේ අතකොලු වනුයේ සිංහල-බෞද්ධ භික්ෂූන් විනා බෞද්ධ භික්ෂූන් නොවේ) හා සිංහල-බෞද්ධ හමුදාවයි.
2019 ජනපතිවරණයේ හා 2020 මහ මැතිවරණයේ රාජපක්ෂවරුන්ගේ බර වැඩිපුරම ඇද්දේ සිංහල-බෞද්ධ භික්ෂු සංස්ථාවයි. මොවුහු කඨින උත්සවය පවා දේශපාලනීකරණය කළෝය; කඨින බණ ‘ගෝඨාභය ජනපති කරමු’ බණක් බවට පත් කළෝය; මහින්ද අගමැතිවරයා ආගමක්, ධර්මයක්, සංස්කෘතියක් බව දේශනා කළෝය. ආර්ථික පරිහානිය හා පීඩනය තුළින් රාජපක්ෂවරුන් නග්නවත්ම මෙම භික්ෂූන්ගේ දේශපාලනික ශක්තියද හීන වී ඇත. රාජපක්ෂ පාලනය රැක ගැනීමට හෝ ඊට විරුද්ධ වීමට තීරණාත්මක කාර්යභාරයක් කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැත.


හමුදාවේ තත්ත්වය ඊට වෙනස්ය.


හමුදාව එළිපිටම රාජපක්ෂවරුන් වෙනුවෙන් ඡන්ද හිඟමනේ ගියේ නැත. එබැවින් රාජපක්ෂවරුන්ට එල්ල වී ඇති ජනතා අප්‍රසාදය හමුදාවට බලපාන්නේ නැත. රාජපක්ෂවරුන් සිදු කළ හමුදාකරණයට සිංහල බහුතරයක විරෝධයක් නොමැති බව ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය (CPA) මේ වසරේ මුල කළ ජනතා මත සමීක්ෂණයකින් හෙළිදරව් විය. සිංහල ජනතාවගෙන් තුනෙන් එකක් හමුදා ආණ්ඩුවකට පක්ෂ බවද මෙ සමීක්ෂණයෙන් හෙළි විය.
වත්මන් අර්බුදය තුළින් නිල හෝ නොනිල හමුදා පාලනයක් බිහිවීමට ඇති අවදානම කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතුය. අර්බුදය දිග්ගැස්සෙන තරමට මෙම අවදානමද ඉහළ යයි.


මෙම අවදානම දෙයාකාරයකින් සැබෑවක් විය හැක. එකක් නම් භූමියේ බලය සියතට යළි ලබා ගැනීම සඳහා රාජපක්ෂවරුන් හමුදාව යෙදවීමයි. අනෙක නම් අර්බුදය විසඳීම සඳහා හමුදාව ඍජුවම මැදිහත්වීමයි.


රාජපක්ෂවරුන් රැකීමේ හමුදා මැදිහත්වීමක් තුළින් හමුදාව හුදෙක් මර්දනයේ මෙවලමක් හා ප්‍රකාශනයක් පමණක් බවට පත්වනු ඇත. එය ගෝඨාභය-මහින්ද-බැසිල්-ශවේන්ද්‍ර පාලනයක් දක්වා වර්ධනය විය හැක.


අර්බුදය නිමා කිරීම සඳහා හමුදාව ඍජුවම මැදිහත් වුවහොත් උදාවනු ඇත්තේ ඊටද වඩා අඳුරු අනාගතයකි. රාජපක්ෂ-හමුදා පාලනයකටද වඩා නිල හමුදා පාලනයක්, බිහිසුණු හා විනාශකාරී වනු නියතය.


ආර්ථික පීඩනයේ මුළු බර දරනුයේත් රාජ්‍ය මර්දනයේ නග්න ප්‍රකාශනයට මුහුණ දෙනුයේත්, ‘සාමාන්‍ය මිනිසාය.’ දුප්පත්කම නිසා ළදරු වයසේ මහණ කරවන්නේත් විරැකියාව නිසා හමුදාවට බැඳෙන්නේත් මේ සාමාන්‍ය මිනිසාගේ දරුවන්ය. සෙබළ නිල ඇඳුම හා කහ සිවුරු දරා සිටිනුයේ රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ ‘තරුණයාගේ සොහොයුරන්ය.’
ප්‍රශ්න දෙස තාර්කිකව බැලීමේ ආර්ථික හැකියාවක් ඇති, මූලික වශයෙන් දේශපාලනික ඉල්ලීම් මත අරගලයට පිළිපන් ගෝඨා ගෝ ගම කේන්ද්‍ර කරගත් විරෝධතාකරුවන්ට හමුදා මැදිහත්වීමක, හමුදා පාලනයක ඇති අවදානම වටහා ගත හැක.


සාමාන්‍ය මිනිසාගේ තත්ත්වය ඊට වෙනස්ය. අර්බුදය නිමා කිරීමට ඍජු හමුදා මැදිහත්වීමක් සිදුවුවහොත් එය සිංහල-බෞද්ධ සාමාන්‍ය මිනිසුන්ගේ අමන්දානන්දයට හේතුවිය හැක. එවැනි තත්වයක් තුළ මේ ජනතාව හමුදාව තම ගැලවුම්කරුවන් ලෙස පිළිගනු ඇත. 69 ලක්ෂයෙන් සැලකිය යුතු කොටසක් හමුදා පාලනයක් රතිඤ්ඤා පත්තු කරමින්, රබන් ගසමින්, මහ පාරේ කිරිබත් උයමින් (ගෑස් නැතිනම් දර ළිප්වල හෝ) පිළිගනු ඇත. නාගරික/අර්ධ නාගරික අරගලයෙන් ආන්තික වී ඇති සිංහල-බෞද්ධ භික්ෂු සංස්ථාව පිරිත් නූල් බඳිමින් එවැනි පාලනයකට ආශීර්වාද කරනු ඇත.


හමුදා පාලනයක් ප්‍රශ්නයට විසඳුම නොව තිබෙන ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයක් එක් කිරීම බව සාමාන්‍ය මිනිසාට වැටහෙන විට නොවිය යුත්ත සිදුවී හමාරය.


වසර 74ක් පුරා මේ රට පාලනය කළ නායක කාරකාදීන් මෙරටට විවිධ රෝග පීඩා උරුම කළ බව සැබෑය. රෝගියකු වූ ලංකාව ඇවිදින රෝහලක් බවට පත් කළේ රාජපක්ෂ පාලනයයි. මෙය අභාග්‍යසම්පන්න අහම්බයකි. කොවිඩ් වසංගතය හෝ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා හටගත්තක් නොවේ. මෙය හට ගත්තේ පාලක පවුලටත් ඔවුන්ගේ දේශපාලනික හා ව්‍යාපාරික අනුගාමිකයන්ටත් සිතූ පැතූ සම්පත් දෙන සුරබි දෙනකගේ තත්ත්වයට ලංකාව පත් කළ නිසාය.


අත්‍යවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට ඩොලර් නැතිවීම නිසා නිදහස් සෞඛ්‍ය සේවය කඩා වැටෙන තත්ත්වයකට පත්ව ඇත. නමුත් පෞද්ගලික සෞඛ්‍ය සේවය එවන් පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ දී නොමැත. රජයේ රෝහල්වල අවශ්‍යතා සපුරාලීමට නැති ඩොලර් පෞද්ගලික රෝහල්වලට ලැබේ. රාජපක්ෂ ‘ජනමූල’ නායකත්වයේ නග්නත්වය මෙසේය.


එදිනෙදා අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් සඳහා ඩොලර් හිඟමනේ යන ආණ්ඩුව ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා විසි ගණනක් බදු ගැනීමට සැරසෙයි.


රාජපක්ෂ පාලනයට හිතක්-පපුවක් හෝ මොළයක් නොමැත. 2019දී දණ වටක් තිබූ අර්බුදය 2022දී ඉහටත් ඉහළින් ගියේ මේ නිසාය. රාජපක්ෂවරුන් බලයෙන් නික්ම යාමෙන් පමණක් අර්බුදය විසඳෙන්නේ නැත. නමුත් අර්බුදය විසඳීමේ මූලිකම කොන්දේසිය රාජපක්ෂවරුන් බලයෙන් ඉවත්වීමය.


220 ලක්ෂයම එක හඬින් කෑගැසුවද ගෝඨා (හෝ රාජපක්ෂ පවුල) ගෙදර යන්නේ නැත. ඔවුන් සාමකාමීව හා නීත්‍යනුකූලව ගෙදර යැවීම සඳහා ව්‍යවස්ථාමය මඟක් නිර්මාණය කිරීමට විපක්ෂය එක්ව කටයුතු කළ යුත්තේ එබැවිනි. ඒ කාර්ය නොපමාව ඉටු නොවේ නම් බිහිවන අරාජිකත්වය නිමාවනු ඇත්තේ එක්කෝ දැවැන්ත රාජ්‍ය මර්දනයකිනි; නැතහොත් හමුදා පාලනයකිනි. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි