25.6 C
Sri Lanka
26 September,2022

ලෝකය උණුසුම් කළ වීදි සටන්

Must read

■ කැබිනට් මණ්ඩලය අස්කළත් ජනාධිපති අස්නොවේ
■ පාලන සඳහා කාන්තාවකගෙන් උපදෙස් ගත් ජනාධිපති
■ ඩීසල්වල බදු ඉවත් කරන ලෙස උද්ඝෝෂණ

■ අමන්දිකා කුරේ

පසුගිය සතිය ම හරිම උණුසුම් සතියක්. ජාති බේදයක් ආගම් බේදයක් මේ කිසිම දෙයක් නැතිව ජනතාව හිටියේ මහ පාරේ. තමන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලලා කාලයක් තිස්සේ අරගල කළ මිනිස්සු එක මිටකට එකතු වෙලා මහ පාරට බැහැලා අරගල කරන්න පටන් අරන්. රටේ පාලකයන්ගේ නිවෙස්, මර්මස්ථාන වටකරලා ජනතාව දිවා රෑ, අවු, වැසි නොතකා මහපාරට බැහැලා.


ලෝක ඉතිහාසය තුළත් අසාධාරණය, අයුක්තිය හමුවේ මිනිස්සු පාරට බැහැලා යුක්තිය වෙනුවෙන් අරගල කළ අවස්ථා ඕනෑ තරම්. ඒ අතරින් මෑත කාලීනව සිදු වූ දැවැන්ත අරගල කිහිපයක් ගැනයි මේ.

දූෂිත ආණ්ඩුකාරවරයා ඇතුළු පාලකයන් එළවීමේ අරගලය

පොර්තො රීකෝ 2019


මාරියා සුළි කුණාටුවෙන් පසුව රාජ්‍ය නැවත ගොඩනැගීමට ගෙන ගිය මන්දගාමී ප්‍රතිපත්තියත් ආණ්ඩුකාරවරයාගේ දූෂිතභාවයත් නිසා 2019 දී පොර්තො රීකෝහි ජනතාව මහ පාරට බැස්සා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ දූෂිත ආණ්ඩුකාරවරයා ඇතුළු පාලන ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු බව.


2019 ජුලි 13 වන දින ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ කාර්යමණ්ඩල විසින් විවිධ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සිවිල් පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදු කළ කුමන්ත්‍රණවල විද්‍යුත් පණිවුඩ විශාල ප්‍රමාණයක් රටට හෙළි වුණා. මේ සමග ජනතාව දැඩිව ආණ්ඩුකාරවරයාට විරුද්ධව නැගී සිටින්නට පටන් ගත් අතර ආණ්ඩුකාර රොසෙලෝ විසින් මෙය තමා විසින් නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත් සිය කැබිනට් මණ්ඩලය අස් වන බවත් කියමින් නිවේදනයක් නිකුත් කළා. කෙසේවෙතත් එම නිවේදනයෙන් කියවුණේ සිය කැබිනට් මණ්ඩලය අස්වූවත් තමා ඉල්ලා අස් නොවන බවයි.


2019 ජුලි 14 වන දින, ඔහුගේ නිවසින් පිටත විරෝධතා ආරම්භ වූ අතර, පොලිසිය නිවස ආරක්ෂා කර ගැනීමට කඳුළු ගෑස් භාවිත කළා. මහජන විරෝධතාවන් සති ගණනාවක් පැවතුණා. විරෝධතා ව්‍යාප්ත වී තීව්‍ර වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන මහා මාර්ගයක් වසා දමා දිවයින පුරා වැඩ වර්ජනයක් පවා සිදුවුණා.


අඛණ්ඩ ජනතා අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් 2019 ජූලි 24 දින, රොසෙලෝ එම වසරේ අගෝස්තු 2 සිට බලපැවැත්වෙන පරිදි ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා. 2019 අගෝස්තු 7 වෙනිදා පොර්තො රීකෝ වැසියන් විසින් රටට හිතකර පාලන තන්ත්‍රයක් ගොඩ නගා ගනු ලැබුවා.

දූෂිත ආණ්ඩුව පන්නා දැමීමේ අරගලය

දකුණු කොරියාව 2016


එවකට දකුණු කොරියාවේ ජනාධිපතිවරයා වූ පාක් ගුම් හයි විසින් කිසි නිල තත්වයක් නොමැති චෝයි සුන් සිල් නැමැති කාන්තාවකගෙන් පාලනය සඳහා උපදෙස් ගන්නා බව 2016 ඔක්තෝබර් මාසයේ දී රටට හෙළි වුණා. රජයේ නිල තනතුරක් නොතිබූ චෝයිට ජනාධිපතිවරයාගේ රහස්‍ය ලියකියවිලි සහ තොරතුරු සඳහා ප්‍රවේශය ඇති බව හෙළි වුණා. චෝයි නැමති මෙම කාන්තාව ජනාධිපතිවරයාගේ බලය උපයෝගි කරගනිමින් විශාල ක්‍රීඩා ආයතන දෙකක්, ව්‍යාපාරික ආයතන සහ මාධ්‍ය ආයතන කිහිපයක් පිහිටුවා වංචනික ලෙස මුදල් ඉපැයීම ආරම්භ කර තිබෙනවා. ඒ අතරම ඇය රජයේ මුදල් වංචා කර තිබෙනවා. සිය දියණියට වංචනික අයුරින් උපාධියක් ලබා දීමට ද මෙම කාන්තාව ජනාධිපතිවරයාගේ බලය උපයෝගි කරගෙන තිබුණා. මෙම කාන්තාවගේ වංචාවලට උදවු කළ ජනාධිපතිවරයාගේ ඉහළ නිලධාරියෙකු අධිකරණයට පැවසුවේ ජනාධිපතිවරයා විසින් තමාට අණ කළ දේවල් පමණක් තමා සිදු කළ බවත් එම නිසා තමා නිර්දෝෂී බවත්. මෙම සිදුවීම් දාමයත් සමග දූෂිත ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස බල කරමින් උද්ඝෝෂණ රැල්ලක් රට පුරා ආරම්භ වුණා. විශේෂයෙන් ම අගමැතිවරයා ජනාධිපතිවරයාට විරුද්ධ වූ අතර ඔහුව බිය ගැන්වීමට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා. එම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට චෝයි විසින් ජනාධිපතිවරයාට යොමු කළ කෙටි පණිවුඩය හෙළි වීමත් සමග ජනතාව වීදිවලට බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගත්තා.


2016 නොවැම්බර් මාසය වන විට රැල්ලක් ලෙස මෙය දකුණු කොරියාව පුරා පැතිර ගියා. දෙසැම්බර් මාසයේ දී ලක්ෂ 23ක් පමණ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් සෝල් නගරයේ රැඳී සිටියා. කොරියාවේ අනෙකුත් නගරවලත් මේ ආකරයෙන් ම ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයමින් සිටියා.


අධික හිමපතනයක් මැද්දේ වුවත් 2017 ජනවාරි 07 වන දින සෝල් වෙත රැස් වූ ජනතාව ජනාධිපතිවරයාව වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් එකම අවස්ථාවක ඉටිපන්දම් දැල්වූවා. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. මෙම දැවැන්ත විරෝධතාවන් මාස ගණනාවක් අඛණ්ඩව පැවතුණත් දකුණු කොරියානු වැසියන් සිය ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය අත් නොහැර සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා බලයෙන් පහ කර ඔහු සිදු කළ වැරදි සම්බන්ධයෙන් වැරදිකරු කර බන්ධනාගාර ගත කළා.

කහ කමිසකරුවන්ගේ අරගලය

ප්‍රංශය 2018


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් මිලියන ගණනක් ජනතාව ප්‍රංශයේ වීදී පුරා විරෝධතාවන් ආරම්භ කළා. ඔවුන් කහ පැහැති ආරක්ෂක කබායන් පැළැඳ සිටි නිසා කහ කමිස අරගලකරුවන් ලෙස ලෝකයේ ප්‍රචාරය වුණා.
මුලදී, කහ කමිස විරෝධතාකරුවන් ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණි අය වූ අතර ඔවුන්ට එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස දිගු දුර ධාවනය කිරීමට සිදුවූ අයයි. ඉන්ධන මිල වැඩි කිරීම තමන්ට දරාගත නොහැකි බව ඔවුන් පැවසුවා. මැක්‍රොන්ගේ මිල සූත්‍රය හා ජීවන මට්ටම් පහත වැටීම ගැන කලකිරීම ප්‍රකාශ කරන කම්කරු හා මධ්‍යම පන්තික සාමාජිකයන් ඇතුළත් විශාල ව්‍යාපාරයක් බවට කහ කමිස අරගලය ඉක්මනින් වර්ධනය වුණා. ඔවුන් පැවසුවේ ඔවුන්ගේ ආදායම එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට නොහැකි තරම් අඩු බවයි. මෙම ව්‍යාපාරයට නිල නායකත්වයක් නොමැති වූ අතර මුලින් සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා අරගලය සංවිධානය වුණා.


සති අන්තවල දී මෙම අරගල වඩාත් තීව්‍ර වුණා. එමෙන් ම රාත්‍රියේදීත් මෙම අරගලය වඩාත් තීව්‍ර වුණා. අරගලය මැඩපැවැත්වීමට කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ගම්මිරිස් වතුර ප්‍රහාර සිට වෙඩි තැබීම් ද සිදු වුණා.


මේ නිසාම විරෝධතාකරුවන් ඉතාම ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරෙන්න පටන් ගත්තා. ඔවුන් කඩ සාප්පුවලට හානි කළා. විවිධ ස්මාරක කඩා බිඳ දැමුවා. අරගලය පැවති සමයේ සිදු වූ හානිය ඩොලර් මිලියන 3.4ක් බව ප්‍රංශ පොලිසිය පවසනවා.


ඔවුන්ගේ මූලික ඉල්ලීම වූයේ ඩීසල් සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙසයි. ජාතික සභාව විසුරුවා හැර නව මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද ඉල්ලීම් කළා. ”මැක්‍රොන් ඉල්ලා අස්වේවා!” යනුවෙන් ගීත ගැයීමත් ප්‍රංශ අරගලකරුවන් සිදු කළා.


ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශ ජනතාවගෙන් 74%ක් මෙම අරගලයට සහාය දක්වන බවයි. අරගලය ප්‍රචණ්ඩ වූ නිසාම අරගලකරුවන් පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමටත් සිදු වුණා. ඒ නිසා ප්‍රංශ ජනතාවගෙන් 85%ක් සාමකාමී විරෝධතාවක් බලාපොරොත්තු වුණා.
දේශපාලන නායකයන් කහ කමිස පැළැඳගෙන අරගලයට එක් වීමට පැමිණියත් ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ වුණා.


රජය විසින් ප්‍රතිසංස්කරණ සහ විසඳුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද පවත්වනු ඇති නමුත් යෝජනා සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප්‍රංශ අගමැතිවරයා ප්‍රකාශ කළා.


2018 වසර අවසාන වන විට ප්‍රචණ්ඩ තත්වයක තිබූ මෙම කහ කමිසකරුවන්ගේ කැරලි 2019 වසර පුරාමත් පැවතුණා. කොවිඩ් වසංගතය පමිණීමත් සමග අරගලය අත්හැරීමට කහ කමිසකරුවන්ට සිදු වුවත් දැන් දැන් ඔවුන් කුඩා ප්‍රමාණයේ විරෝධතාවලට යොමු වී සිටිනවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි