20.9 C
Sri Lanka
3 October,2022

නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි: වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ
අසංක සායක්කාර

Must read

■ ඇන්තනී වෙරංග පුෂ්පික

අලු‍තින් කරන්න යන කෙටි නාට්‍ය පොකුරෙන්ම කතාව පටන් ගනිමු.


මේ කෙටි නාට්‍ය 4ක්. ‘ශ්‍රීමත් සුමන’‍ කියන මගේ පරණ කෙටි නාට්‍යයකුත් මේ අතර තියෙනවා. ඊට පස්සෙ එක එක වකවානුවල ඔළු‍වෙ වැඩ කළ, සමහරවිට ස්ක්‍රිප්ට් එක ලියලා ඉවරකළ නාට්‍ය මේ කෙටි කතා පොකුරෙ තියෙනවා. ‘නයන ලලන’‍ කියන්නෙ මගේ කෙටිකතා ඇසුරෙන් හදපු කෙටි නාට්‍යයක්. ඒක මුලින්ම කරන්නේ 2020 විතර. 2019දී මගේ කෙටිකතා පොතක් එළියට ආවා. ඒ අනුව මේ කෙටි නාට්‍ය කරන්නේ පර්යේෂණාත්මක වැඩක් හැටියට. ඒ වගේම ‘වික්ටර්’ කියන කෙටි නාට්‍යය සහ අලු‍ත්ම නිෂ්පාදනයක් විදිහට ‘දුලා’‍ කියන කෙටි නාට්‍යයත් එකතු කරලා තමයි කෙටි නාට්‍ය පොකුරක් විදිහට පෙන්වන්න කටයුතු කරන්නේ. ලංකාවෙ දිගු නාට්‍යයක් පෙන්වන්න පුළුවන්. නමුත් තනි කෙටි නාට්‍යයක් පෙන්වන්න විදිහක් නැහැ. තනි කෙටි නාට්‍යයක් විදිහට දර්ශනවාර පෙන්වන්න බැහැ. විනාඩි 20ක 30ක නාට්‍යයක් බලන්න ටිකට් අරගෙන මිනිස්සු එන්නේ නැහැ. ඒක නිසා තමයි කෙටි නාට්‍ය එකතු කළ වැඩක් විදිහට යන්න බැලු‍වේ.

අලු‍ත් කෙටි නාට්‍යයට අමතරව අසංක සායක්කාරට 2009දී කළ ‘ශ්‍රීමත් සුමන’‍ විශේෂ වෙන්නේ ඇයිද කියලාත් කතාකරමු.


‘‍ශ්‍රීමත් සුමන’‍ කිහිප පැත්තකින් විශේෂයි. මට විතරක් නෙමෙයි, සමිත සුධීෂ්වර සහ පූර්ණිමා විජේසිංහ කියන අපි තුන් දෙනාගෙම එකතුවක් තමයි සුමන කියන්නෙ. සුමන කෙටි නාට්‍යයේ රඟපාන්නෙ සමිත. ඒකෙ මියුසික් කරන්නෙ පූර්ණිමා විජේසූරිය. අපි තුන්දෙනාගෙම ගමන් මගේ එක්තරා විදිහකට ටර්නින් පොයින්ට් එකක් වෙන තැනක් වුණා ශ්‍රීමත් සුමන කෙටි නාට්‍යය. මේ නාට්‍යය 2009 ඉඳලාම අඛණ්ඩව කරගෙන ආ නාට්‍යයක්. මේ නාට්‍යයේ දර්ශනවාර 40 ක් විතර කරලා තියෙනවා. 2009දී මේ නාට්‍යය හරහා කතා කළ දේශපාලනික, සමාජ හා ආර්ථික කාරණා එදාටත් වැඩිය අදට ඉතාම හොඳට ගැළපෙනවා. ඒ නිසා ශ්‍රීමත් සුමන කියන්නේ මේ වෙලාවෙ කරන්නම වටිනා නාට්‍යයක් හැටියට අපිත් හිතනවා.

මේ නාට්‍ය පොකුර නම් කරලා තියෙන්නේ ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා. ඒ වගේම මේ නාට්‍ය බලන්නත් පුළුවන් වැඩිහිටියන්ට පමණයි.


මේ කෙටි නාට්‍ය 4න් ශ්‍රීමත් සුමන ඇරෙන්න අනෙක් නාට්‍ය තුනටම රැඟුම් පාලක මණ්ඩලයෙන් පෙන්වන්නට සහතිකය ලැබෙන්නේ වැඩිහිටියන්ට පමණයි කියන නිර්ණායකය උඩ. අපි බලාපොරොත්තු වුණෙත් ඒ විදිහෙ නිර්ණායකයක්ම තමයි. මොකද පොඩි අයත් එක්ක මේ ගනුදෙනුව කරන්න පුළුවන්කමක් නැහැ. වැඩිහිටියන් එක්ක තමයි අපිට මේ සංවාදය ගෙනියන්න ඕනෑ. නාට්‍ය හතරෙම තියෙන්නේ වැඩිහිටි තේමාවන්. ඒ නිසා තමයි අපි ඒ නමම දැම්මෙ.

ඔබගෙ නාට්‍යවල දකින ලක්ෂණයක් තමයි ගැඹුරක් තියෙන සමාජ, දේශපාලන හා ලිංගිකත්වය පිළිබඳ කාරණා ඉතාමත් සරල විදිහට ප්‍රහසනාත්මකව ප්‍රේක්ෂාගාරයට ගෙනයෑම.


අපි නාට්‍ය හරහා කතාකරන්නේත් ඒ ගැඹුරම තමයි. උදාහරණයක් විදිහට අපි ‘ඌරෝ අතර පෝර්ක්’‍ නාට්‍යයෙන් කතාකරන්නේ සංස්කෘතික මිනිසා ගැන. ඒක ලංකාවෙ දේශපාලනයේ ගැඹුරුම මාතෘකාවක්. ‘‍මම කෙලින් මිනිහෙක්’‍ නාට්‍යයේ කතාකළේ ලිංගිකත්වය සහ බලය පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේ කාරණා ගැඹුරුයි කියලා ශේක්ස්පියරියානු හෝ බ්‍රෙෂ්ට්ගේ තියරියකින් නෙමෙයි අපි කතාකරන්නේ. අපි මේක ගෙනෙන්නෙ නාට්‍ය ඇතුළෙ තියෙන බ්ලැක් කොමඩි එකෙන්. දාරියෝ ෆෝ ගේන්නෙත් බ්ලැක් කොමඩි එකෙන්. අපි හැමතිස්සෙම නාට්‍යය හරහා එළියට ගන්නේ මේකත් එක්ක තියෙන ස්වෝපහාසය සහ අඳුරු ප්‍රහසනය.

ඔබ නාට්‍ය හරහා ගෙනඑන දේශපාලන, සමාජ හා ලිංගිකත්ව කාරණා නිසා එක්තරා කාලයක ජාතික හා සංස්කෘතික විරෝධියෙක් විදිහටත් අතැම් අය හඳුන්වන්න ගත්තා. ඒ වගේම ඔබගේ නාට්‍ය කිහිප විටකදීම වාරණයටත් ලක්වුණා.


නාට්‍ය බලන කෙනෙක්ට ඔය කියන දේවල් එක එක තැන්වලට දාගන්න පුළුවන්. අපි ජාති විරෝධී ද නැද්ද කියන එක නාට්‍ය බලන අයටම තීරණය කරගන්න පුළුවන්. ජාතිය කියන එකේම තියෙනවා ප්‍රශ්නයක්. මම කියන්නේ ලංකාවෙ සංස්කෘතිය තියෙන්නේම අප්සෙට් තැනක. ඒ නිසා මම ඒ කියන දේවල් ගැන හිතන්න කලබල වෙන්නේ නැහැ. ‘මං කෙලින් මිනිහෙක්’‍ නාට්‍යය බලලා, ඒක වාම විරෝධී නාට්‍යයක් කියලා වමේ අය කලබල වුණා. තවත් පැත්තකින් කිව්වා මේක බෞද්ධ විරෝධී නාට්‍යයක් කියලා. නමුත් ඒ කියන දේවල් මට අදාළ වෙන්නේ නැහැ.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ඔබගේ ඌරෝ අතර පෝර්ක් නාට්‍යයට හොඳම නළුවා, හොඳම සංගීතය, හොඳම වේදිකා පරිපාලනය සමග හොඳම ඇඳුම් නිර්මාණය සඳහා කුසලතා සම්මානයකුත් හිමිවුණා.


මම මුලින්ම රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් කරන්නේ 2001 අවුරුද්දෙදි. 2001 අවුරුද්දෙ ඉඳන් අවස්ථා කිහිපයකදී ම රාජ්‍ය නාට්‍ය උළෙල මම නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම එළියෙ ඉඳන් බලාගෙන ඉඳලාත් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් ඉදිරිපත් කිරීම ඇතුළේ නාට්‍යකරුවෙක්ට දේවල් තුනක් තිබෙනවා. පළවෙනිම කාරණය තමයි නාට්‍ය උළෙලේ අවසාන වටයේ නාට්‍ය බලන්න එන ඕඩියන්ස් එක. ඉස්සර මීට වඩා ලොකු සහ සවිඥානික ඕඩියන්ස් එකක් හිටියා. එන්න එන්න ඕඩියන්ස් එක කුඩා වුණත් තවමත් දෙයක් ඉතුරුවෙලා තියෙනවා. මෙවර නාට්‍ය උළෙලෙත් මගේ නාට්‍යයට වගේම තවත් නාට්‍ය කිහිපයකටම පිරී ඉතිරිලා යන ඕඩියන්ස් එකක් හිටියා. දෙවන වැදගත් කාරණය තමයි, යම් නාට්‍යයකට සම්මානයක් ලැබුණොත් ඒක හොඳයි නාට්‍යය දුවාගන්න ප්‍රචාරණ වැඩක් විදිහට. තුන්වෙනි කාරණය තමයි, හදිස්සියේවත් සම්මානයත් එක්ක යම්කිසි මුදලක් ලැබුණොත් ඒක නාට්‍ය ශිල්පීන්ට හොඳයි. මොකද මේ නාට්‍ය කතන්දරය ඇතුළේ ශිල්පීන්ට මහා ලොකු ගෙවීමක් ලැබෙන්නේ නැහැ. ඒ කාරණා තුන ඇරෙන්න රාජ්‍ය නාට්‍ය උළෙලේ හෝ වෙනත් නාට්‍ය උළෙලක කිසිම උපයෝගිතාවක් පේන්නේ නැහැ. පිරී ඉතිරිලා යන ප්‍රේක්ෂාගාරයක් තිබීම ඕනෑම නාට්‍යකරුවෙක්ට පොඩි ආතල් එකක් තියෙන වැඩක්.

ඌරෝ අතර පෝර්ක් නාට්‍ය ආරම්භයට පළමුවෙනි සීනුව නාද කිරීමට පෙර සිටම මෑත කාලයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් නිර්මාණය වුණ තේමා ගීත කිහිපයක් වාදනය වෙනවා. එම තේමා ගීත සහ නාට්‍ය අතර තිබෙන සම්බන්ධය මොකක්ද?


ඌරෝ අතර පෝර්ක් නාට්‍යයෙන් අපි කතා කරන්නේ සමකාලීන සංස්කෘතික මිනිසා ගැන. ඒ නිසා නාට්‍යය බද්ධ වෙන්නේ කාලීන දේවල් එක්ක. මේ නාට්‍යයේ අවසානයක් නැහැ. අපි නාට්‍යය එන්ඩ් කරද්දිත් කියන්නේ නාට්‍යය ආරම්භ වුණා කියලා. වේදිකාවෙ පෙන්වන නාට්‍යයේ නෙවෙයි, සැබෑ නාට්‍යය තියෙන්නේ මෙතැනින් එළියේ. නාට්‍යයේ ආරම්භය කියන්නේ බෙල් ගහලා පටන් ගන්න ආරම්භයක් නෙමෙයි. ඕඩියන්ස් එක ඇවිල්ලා වාඩිවෙන මොහොතේ සිට තිබෙන්නේ නාට්‍යය. ඒකට අපි ගේන්නේ ලංකාවෙ දේශපාලන ඉතිහාසයේ මැතිවරණ කැම්පේන්වලට ගත්ත සිංදු. මිනිස්සු අහුවුණෙත් ඒ කැම්පේන්වල සිංදුවලට. ලංකාවෙ අපිව ඌරො බවට පත් කරපු ඉතිහාසය කියන්නේ මේ කැම්පේන් හරහා ගොඩනැගිච්ච ඉතිහාසය.

අපි දන්නවානේ රටේ මොනවාගේ තත්වයක්ද තියෙන්නේ කියලා. එහෙම එකේ රුපියල් 1000ක් 1500ක් දීල නාට්‍යයක් බලන්න පුළුවන් ප්‍රේක්ෂාගාරයක් ඉන්නවාද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.


දැන් රට තිබෙන්නේ අර්බුදයක තමයි. හැබැයි මීට කලින් වුණත් අර්බුදය අර්බුදයම තමයි. රුපියල් 1000ක් දීලා නාට්‍යයක් බලන්න එනවා කියන එක මිනිසුන්ගෙ අවශ්‍යතාවලින් සෑහෙන්න ඈත තියෙන දෙයක්. ඒක දැන් ඈත්වුණා නෙමෙයි. පෙට්‍රල් 180 ගණන්වලට තියෙද්දිත් ඔය මිනිසුන්ගෙ තත්වය ඔහොම්මම තමයි. ඒක එහෙමයි කියලා නාට්‍යකරුවෝ කවදා හරි පෙට්‍රල් අඩුවෙලා, උද්ධමනය අඩුවෙලා ඩොලර් ලංකාවට එනකන් නාට්‍ය හදාගෙන ගෙවල් ඇතුළට වෙලා ඉන්න ඕනෑ නැහැ. අපිට නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි. අපි මෙච්චරකල් නාට්‍ය කළේත් අර්බුද ඇතුළේ. අපි දන්නේ නැහැ ඉස්සරහට කොහොම නාට්‍ය කරන්න වෙයිද, තියෙන ටිකත් නැතිවෙලාම යයිද කියලා. නමුත් කොහොම කෙළවිලා ගියත් අපිට නාට්‍ය කරන එක නතර කරන්න බැහැ. තාමත් මොන ප්‍රශ්නෙ තිබුණත් සල්ලි දීලා නාට්‍ය බලන්න එන මිනිස්සු ටිකක් ඉන්නවා. මිනිසුන්ටත් ඒ රසවින්දනය ඕනෑ කරනවා. ඒ නිසා මේක ඔහොම තමයි යන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. එහෙම නම් අපි වැඩේ අකුලාගෙන ගෙවල්වලට වෙලා ඉන්න වෙනවා. මම සූදානම් නෑ අකුලාගෙන ගෙවල්වලට වෙලා ඉන්න. පුළුවන් තරමක් අල්ලාගෙන කරගෙන යනවා. හැබැයි මිනිස්සු එයිද නැද්ද කියන අවදානමක් තියෙනවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි