20.4 C
Sri Lanka
25 September,2022

ත්‍රාසජනකයන්ගේ රෝද හතරෙ ලෑල්ල, ස්කේට් බෝර්ඩ්

Must read

■ ඇන්තනී වෙරංග පුෂ්පික

‘මේක උඩ කකුල් දෙකම තියාගෙන යනකොට දැනෙන්නෙ හරියට පාවෙනවා වගේ. මාරම නිදහසක් හිතෙට දැනෙනවා. ඒ නිදහසත් එක්කම පරිසරයෙ තිබෙන ගස් වැල් මිනිස්සු, වාහන එහා මෙහා යද්දි දැනෙන බය ඇතුළෙත් වෙනම දැනීමක් තියෙන්නෙ. මම ස්කේට් බෝඩ් එක පදිනකොට මට හිතෙනවා කුරුල්ලෙක් වගේ කියලා. තවත් වෙලාවකට මතක් වෙනවා ඇලඩින් චිත්‍රපටයේ ඇලඩින්ගෙ පියාඹින පාපිස්ස. මම පොඩි වෙලාවකට හරි පියාඹන පාපිස්සක් උඩ යනවාද කියලාත් හිතෙනවා. කෙනාගෙන් කෙනාට ස්කේට් බෝර්ඩ් පදින එකේ ෆීලින් එක වෙනස්. කොහොම වුණත් වැටෙන්න බලාගෙන හරි ඒ අත්දැකීම ගන්න නම් ස්කේට් බෝර්ඩ් එකට නගින්නම වෙනවා.’


බැලූ බැල්මට නම් අඩි තුනක විතර ලෑලි කෑල්ලක රෝද හතරක් සවි කළ සෙල්ලම් වාහනයක් වගේ හුරු බුහුටි පෙනුමක් තමයි මෙහි තිබෙන්නෙ. ලංකාවෙ ස්කේට් බෝර්ඩ් ගැන ගොඩක් අය දැනගත්තාට හරිහමන් ස්කේඩ් බෝර්ඩ් එකක නැගලා පදිනවා තියා, සජීවී ලෙස ස්කේට් බෝර්ඩ් එකක් උඩ නැගලා ස්කේට් බෝර්ඩ් පදින්නේ කොහොමද කියලා දකිනවා කියන එකත් හරිම දුර්ලභයි. ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව ආරම්භ වෙලා දශක ගණනාවක් ගතවෙලා තිබුණත් ගොඩක් රටවලට ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව කියන්නේ අලුත් සහ වෙනස් අත්දැකීමක්. ලංකාවටත් ඒක එහෙමම තමයි. කලාතුරකින් හරි ස්කේට් බෝර්ඩ් පදිනවා දකිනවා කියන්නෙ, ඒ දිහා මිනිස්සු බලන් ඉන්නෙ හරියට මැජික් එකක් දිහා බලන් ඉන්නවා වගේ.


ලෝකයේ ස්කේටින් ක්‍රීඩා කිහිපයක් තියෙනවා. අයිස් ස්කේටින්, ෆිගර් ස්කේටින්, රෝලර් ස්කේටින්, ස්පීඩ් ස්කේටින්. මේ සියලුම ස්කේටින්වල තියෙන සමානකමක් තමයි, යම් කිසි උපකරණයක් හෝ කිසියම් ආධාරකයක් ශරීරයට සම්බන්ධකරගෙන ක්‍රීඩාවේ යෙදීම. නමුත් අපි මේ කතා කරන ස්කේට් බෝර්ඩ් එක, ඒක උඩ නැගලා යන කෙනාගෙ ශරීරයත් සමග බැඳෙන්නෙ නැහැ. ස්කේට් බෝඩ් එක පදින කෙනා තමන්ට ඕනෑ විදිහට හැසිරෙව්වාට ස්කේට් බෝර්ඩ් එක තියෙන්නේ ශරීරයෙන් නිදහස්ව. ඒක තමයි අනෙක් ස්කේට් ක්‍රීඩාවලින් ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව වෙනස්වන ප්‍රධානතම ලක්ෂණය.


ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව ආරම්භවෙලා තියෙන්නෙ ඇමරිකාවෙ කැලිෆෝනියා නගරය කේන්ද්‍ර කරගෙන. සම්භවය ගැන කතා කළොත් සර්ෆින් ක්‍රීඩාවත් එක්ක තමයි ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාවෙ සම්භවය සිද්ධ වෙන්නෙ. සර්ෆින් ක්‍රීඩාව කරන්න පුළුවන් මුහුදෙ රැල්ල තියෙන කාලෙට විතරයි. සර්ෆින් කරන්න බැරි මුහුදෙ රැල්ල නැති කාලෙට ගොඩබිමේ කරන්න පුළුවන් විකල්ප ක්‍රීඩාවක් විදිහට තමයි ස්කේට් බෝර්ඩ් ආරම්භ වෙන්නෙ. බැලූ බැල්මට සර්ෆින් බෝර්ඩ් එකෙයි, ස්කේට් බෝර්ඩ් එකෙයි ප්‍රමාණයේ යම් යම් වෙනස්කම් තිබුණාට ඒ දෙකේ හැඩය නම් යම් කිසි සමානකමක් පෙනෙන්නට තිබෙනවා.


පෙනුමෙන් හුරුබුහුටි ආස හිතෙන පෙනුමක් තිබුණාට ස්කේට් බෝර්ඩ් එකක් පදිනවා කියන එක නම් ඒ තරම් සරල දෙයක් නෙමෙයි. පදින්න පටන් ගත්ත මුල් කාලයේ ස්කේට් බෝර්ඩ් පදින අය ගොඩක් අනතුරුවලට ලක් වෙලා තියෙනවා. ඒ නිසාම කාලයක් ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව අනතුරුදායක ක්‍රීඩාවක් විදිහට නම් කරලා තහනම් කරලාත් තියෙනවා. ඒ නිසා එය ත්‍රාසජනක ක්‍රීඩාවන් අතර අදටත් ඉදිරියෙන්ම තියෙන ක්‍රීඩාවක්. ත්‍රාසජනකයන්ගේ විනෝදාංශයක් විදිහටත් ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. 1950 කාලයේ ආරම්භ වුණාට ස්කේට් බෝර්ඩ් පදින එක ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ 2000 දශකයේ වගේ කාල වකවානුවක. ස්කේට් බෝර්ඩ් වඩාත්ම ප්‍රචලිත ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය එංගලන්තය වගේ බටහිර රටවල. ක්‍රීඩාවක් විදිහට දිනුම පැරදුම හොයනවාට වඩා ස්කේට් බෝර්ඩ් පදින්නේ සහ කැමති ඒ තුළ තියෙන ත්‍රාසයට සහ ආස්වාදයට. අනිත් එක තමයි මිනිසුන්ට පේන්න ප්‍රසිද්ධ තැන්වලට ගිහිල්ලා ස්කේට් බෝර්ඩ් එකෙන් වැඩ පෙන්නන එක. බෝර්ඩ් එකක් පදින්නෙ එක් අයෙක් වුණාට ගොඩක් වෙලාවට ස්කේට් බෝර්ඩ් පදින පිරිස් එකට එකතුවෙලා කණ්ඩායම් විදිහට ගිහිල්ලා තමයි පාරෙ වැඩ පෙන්නන්නේ.


ලංකාව ස්කේට් බෝර්ඩ් පදින්න ප්‍රසිද්ධ රටක් නෙමෙයි. හැබැයි ලංකාවෙත් ඉතාම සුළුතරයක් ස්කේට් බෝර්ඩ් පදින්න යොමුවෙලා ඉන්නවා. පදින්නෙ කොළඹ, නුවර, ගාල්ල වගේ ප්‍රධාන නගර කේන්ද්‍රකරගෙන.


ටිරාන් කාවින්ද ඉඳන් ස්කේට් බෝර්ඩ් පදින, ස්කේට් බෝර්ඩ් එකෙන් වැඩ පෙන්නන කොළඹ කොල්ලෙක්. ස්කේට් බෝර්ඩ් ගැන නොදන්න ගොඩක් දේවල් ගැන ටිරාන් අපිත් එක්ක කතා කළා.


‘ලංකාවෙ නීතිමය පැත්තෙන් තහනම් නැති වුණාට ස්කේට් බෝර්ඩ් ක්‍රීඩාව ලංකාව ඇතුළෙ ව්‍යාප්ත වෙලා නැහැ. මිනිස්සු ඒ ගැන දන්නේත් නැහැ. සමහර මිනිස්සු මේක ස්පෝර්ට් එකක් කියලාවත් දන්නේ නැහැ. මේක වාහනයක්ද කියලාත් අහනවා. මේක පදිද්දි එන ෆීලින් එක වචනයෙන් විස්තර කරන්න පවා අමාරුයි. කවුරුහරි ත්‍රාසජනක දේවල්වලට කැමතියි නම් මේක නියම ස්පෝර්ට් එකක්. තනිකරම තියෙන්නෙ ත්‍රාසය. උඩ පනින ඒවා, වැඩ කෑලි දාන ඒවා, උඩින් ගිහිල්ලා පනින ඒවා, මේ සියල්ලෙම තියෙන්නෙ ත්‍රාසය. මේක පදිද්දි එන ෆීලින් එක මුළු ශරීරයටම දැනෙනවා.’


ලෝකයේ ගොඩාක් දෙනෙක් දැනගත්තාට ස්කේට් බෝර්ඩ් පදින අය ලෝකයේ රටවල් කිහිපයක ඇරෙන්න ගොඩාක් අඩුයි. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. මූලිකම දේ තමයි ගොඩක් අය ස්කේට් බෝර්ඩ් පදින්න පටන් ගත්ත ගමන් අත පය කඩා ගන්නවා, තුවාල කර ගන්නවා, වාහනවලට හැප්පෙනවා. ස්කේට් බෝර්ඩ් පදින එක ඇතුළෙ තියෙන අධික ත්‍රාසය වෙනුවෙන් මිනිස්සු අවදානමක් ගන්න කැමති නැහැ. ඒ වගේම තමයි බෝර්ඩ් එකක් සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක්ට නම් හීනයක්ම තමයි. බෝර්ඩ් එකක් ගන්න අධික මුදලක් වැය කරන්න ඕනෑ. විශේෂයෙන්ම ආසියානු කලාපයේ රටවල ස්කේට් බෝර්ඩ් පදින අය අඩු වෙන්න මේ හේතුවත් බලපානවා. ස්කේට් බෝර්ඩ් පදිනවා කියන එක හැම තැනම කරන්න බැහැ. ස්කේට් බෝර්ඩ් පදින බටහිර රටවල්වල පාරවල් ඉතාමත් හොඳ තත්වයක තියෙනවා. නමුත් ලංකාව ඉන්දියාව වගේ රටවල ගැටිති තියෙන රළු පෘෂ්ඨ මත ස්කේට් බෝර්ඩ් පදින්න හිතන්නවත් බැහැ. බටහිර රටවල නම් සාමාන්‍ය මිනිස්සු ඇවිදින පාරවලත් ස්කේට් බෝර්ඩ් පදිනවා. ඒ වගේම ස්කේට් බෝර්ඩ් පදින්නම වෙනම පාර්ක් හදලා තියෙනවා. ලංකාවෙ නම් ඒ විදිහෙ ස්කේට් බෝර්ඩ් පදින්න පාර්ක් නැහැ. පදින්නෙත් බොහොම පොඩි පිරිසක්. ගොඩක් වෙලාවට නිදහස් චතුරස්‍රය ගාව, බෙල්ලන්විල වැව ගාව ස්කේට් බෝර්ඩ් පදින්න එන අයව හවස් වෙලාවක ඒ පැත්තෙ ගියොත් බලා ගන්න පුළුවන්.


‘බෝර්ඩ් එකක් ලංකාවෙ මුදලින් නම් අවම වශයෙන් රුපියල් 40,000ක් වත් ඕනෑ වෙනවා. ලංකාවෙ සමහර කඩවල 3000ට 4000ටත් ස්කේට් බෝර්ඩ් විකුණන්න තියෙනවා. හැබැයි ස්කේට් බෝර්ඩ් කියන්නේ ඒවාට නෙමෙයි. ස්කේට් බෝර්ඩ් එකක් කියන්නේ හොඳට පදම් කරලා හදපු එකකට. ස්කේට් බෝර්ඩ් එක හදන්න වෙනම තාක්ෂණයක් තියෙනවා. ඒ විදිහෙ තාක්ෂණයක් ලංකාවෙ නැහැ. ලංකාවෙ කෙනෙක් හොඳ ස්කේට් බෝර්ඩ් එකක් පදින්න හිතන් ඉන්නවා නම් පිට රටකින් ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගෙන්නන්න වෙන්නෙ. අවශ්‍ය නම් ස්කේට් බෝර්ඩ් එකේ කොටස් විදිහටත් ගෙන්නගෙන හදාගන්න පුළුවන්. ඒ විදිහට ගෙන්නද්දි සල්ලි ටිකක් වියදම් වෙන එකත් අඩු කර ගන්න පුළුවන්. ස්කේට් බෝර්ඩ් එකේ ඩෙක් එක කියලා කොටසක් තියෙනවා, ඒක තමයි අපි හිටගෙන ඉන්න ලෑල්ල වගේ කොටස. ඩෙක් එක උඩ තියෙනවා වැලි කඩදාසියක් වගේ රෆ් ග්‍රිප් එකක්. ඒකට කියන්නෙ ග්‍රිප් ටේප් කියලා. ඒ වගේම වීල්ස් හතරක් තියෙනවා. ඩෙක් එක උඩ නැග්ගාට පස්සෙ වීල්ස් ටික කන්ට්‍රෝල් වෙන්නෙ ට්‍රක් එක කියන කොටසින්. ට්‍රක් එකට තමයි වීල්ස් ටික සෙට් වෙන්නෙ. ඉස්සරහටයි පිටිපස්සටයි ඒ විදිහට ට්‍රක් දෙකක් තියෙනවා. ට්‍රක් එකටයි ඩෙක් එකටයි මැද තියෙන්නෙ රේස පෑඩ් එක. ඩෙක් එකයි වීල්ස් අතරයි තියෙන පීඩනය අවම කරන්නෙ රේස් පෑඩ් එකෙන්. මේ පාර්ට්ස් ටික ඕනෑ කෙනෙක්ට වෙනම ගෙන්නගෙන හොඳ ස්කේට් බෝර්ඩ් එකක් හදා ගන්නත් පුළුවන්.’


ඔව්, රෝදහතරකුත් තියෙන නිසා ස්කේට් බෝර්ඩ් එක බැලූ බැල්මට අමුතු ජාතියෙ වාහනයක්වගේ තමයි පේන්නෙනම්. හැබැයි වෙන වාහන වගේ මේකෙ බ්‍රේක් ගහන්න බ්‍රේක් එකක්නම් නැහැ. ස්කේට් බෝර්ඩ් එකේ යට තියෙන රෝද ඉතාමත් ලිහිල්ව නිදහස්ව තියෙන්නෙ. ස්කේට් බෝර්ඩ් පදින්න දන්නෙ නැති කෙනෙක් නගිනවා කියන්නෙ කොහෙන් ගිහිල්ලා වැටිලා ලිස්සලා නතර වෙන්න වෙයිද දන්නෙ නැහැ. ඒ නිසා ස්කේට් බෝර්ඩ් එක කන්ට්‍රෝල් කර ගන්න එක, ස්කිල්ස් හදා ගන්න එක හරිම වැදගත්.


‘ස්කේට් බෝර්ඩ් එකක් පදින්න පුරුදුවෙන ක්‍රම ගොඩක් තියෙනවා. බෝර්ඩ් එක උඩට නගින එකේනම් අමාරුවක් නැහැ. ඒත් පළවෙනි පාර නගින කෙනෙක් නම් වැටෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. එක කකුලක් තියලා අනිත් කකුල බෝර්ඩ් එකට තියන ගමන්ම වැටෙන්න පුළුවන්. මුලින්ම අපි බෝර්ඩ් එකට තියන්නෙ මොන කකුලද කියලා දැනගෙන ඉන්න ඕනෑ. වම් අත හුරු කෙනෙක් නම් එයාගෙ දකුණු කකුල බෝර්ඩ් එකට තියලා වම් කකුලෙන් තමයි පුෂ් එක දෙන්න ඕනෑ. ඊට පස්සෙ කකුල් දෙකම බෝර්ඩ් එකේ තියන්න පුරුදු වෙන්න ඕනෑ. බෝර්ඩ් එකේ කකුල් තියන්න ඕනෑ ක්‍රමත් තියෙනවා. මම නම් බිත්තියක් අල්ලගෙන තමයි මුලින්ම කකුල් දෙකම තියාගෙන එහාට මෙහාට ගිහින් පුරුදු වුණේ. ඊට පස්සෙ බෝර්ඩ් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඒකටත් එක එක ක්‍රම තියෙනවා. බෝර්ඩ් එක බැලන්ස් කර ගත්තාට පස්සෙ කකුලෙන් පුෂ් කර කර යන එක එච්චර අමාරු නෑ. මම නම් පොඩි ඉඩක තමයි මුලින්ම කකුලෙන් පුෂ් කර කර යන්න පුරුදු වුණේ. පුරුදු වෙන කාලෙ ඕනෑ තරම් වැටෙන්න ඇති. අත පය උලුක්කු කර ගන්න ඇති, තුවාල කර ගන්න ඇති. කොහොමත් ස්කේට් බෝර්ඩ් පදින එක වැටෙන්නැතිව ඉගෙන ගන්න බැහැ. වැටි වැටිම තමයි පුරුදු වෙන්න ඕනෑ. සාමාන්‍ය විදිහට ස්කේට් බෝර්ඩ් එක කකුලෙන් පුෂ් කර කර යන්න පුළුවන් වුණාට පස්සෙ තමයි වැඩ දාන්න පටන් ගන්නෙ. එක එක ජාතියේ වැඩ දාන අය ඉන්නවා. ඒ වැඩ දාන ඒවාට කියන්නෙ ෆ්ලිප් කරනවා කියලා. ජනප්‍රියම ෆ්ලිප් කිරීමක් තමයි අංශක 360 ෆ්ලිප් කිරීම. ඒකෙදි ස්කේට් බෝර්ඩ් එක අංශක 360ම කරකවලා කරණමක් ගහනවා. ඒ වගේ තවත් ෆ්ලිප් එකක් තමයි හොස්පිටල් ෆ්ලිප් කියන්නෙ. මේ නම දාන්න හේතුවම තමයි මේ ෆ්ලිප් එක ගහන්න ගිහිල්ලා ගොඩක් අය තුවාල වෙලා හොස්පිටල් යන්න වෙලා තියෙනවා. ඒ තරමටම අවදානම් ෆ්ලිප් කිරීමක් තමයි හොස්පිටල් ෆිලිප් කියන්නේ. මේ වගේ තවත් ෆ්ලිප් වර්ග ගණනාවක්ම තියෙනවා පුරුදු වෙනවානම්.’


ස්කේට් බෝර්ඩ් පදින්න ගැහැනු පිරිමි භේදයක් නැහැ. දෙපාර්ශ්වයටම මුල ඉඳන් පුරුදු වුණොත් ස්කේට් බෝර්ඩ් පදින්න පුළුවන්. හැබැයි මේකේ අවදානමකුත් තියෙන නිසා ශරීර යෝග්‍යතාව තියෙන තරුණ වයස් සීමාවල ඉන්න අයට තමයි ගැළපෙන්නෙ. ලංකාවෙ තරග නැති වුණාට ලෝකයේ සමහර රටවල නම් ස්කේට් බෝර්ඩ් තරග පවත්වනවා. ස්කේට් බෝර්ඩ් පදින එක ක්‍රීඩාවකට වඩා සංස්කෘතියක් කිව්වොත් වඩා නිවැරදියි. මේක එක්තරා විදිහක විලාසිතාවක්. හිප් පොප් සංගීතය, ඇඳුම් පැළඳුම්, සමහර හුරුපුරුදු ස්කේට් බෝර්ඩ් කියන දේ එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ස්කේට් බෝර්ඩ් හා බැඳිච්ච වෙනමම කලාවක් ලෝකය හඳුනාගෙන තිබෙනවා. චිත්‍රපට විශාල ප්‍රමාණයක් ස්කේට් බෝර්ඩ් සම්බන්ධව බිහිවෙලා තියෙනවා. 2021 වර්ෂයේ ඉන්දියාවේ තිරගත වුණ ‘ස්කේට් ගර්ල්’ චිත්‍රපටය ලෝකයක් නරඹපු කතාබහ කරපු චිත්‍රපටයක් වුණා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි