27.6 C
Sri Lanka
28 September,2022

සදාචාරවත් ආර්ථිකය

Must read

■ සරත් ද අල්විස්

‘දුප්පත්කම සහ අවාසනාව සමග ජීවත් වන වැඩි පිරිසකගෙන් සමන්විත සමාජය කිසි විටෙකත් සශ්‍රීකත්වය කරා සතුටින් ගමන් කරතැයි සැලකිය නො හැකි ය. බොහෝ ආණ්ඩු පවත්වාගෙන යනු ලබන්නේ පොහොසතුන් විසින් පොහොසතුන් උදෙසා ම ය. පැරැණි හෝ වේවා නූතන හෝ වේවා කවර සමාජයක වුව ද ආණ්ඩු තුළ පැවැතියේ ද පවතින්නේ ද සංවිධානාත්මක අසාධාරණයයි.’ : ඇඩම් ස්මිත්


‘ධනේශ්වරවාදය වනාහි දුෂ්ටතම හේතූන් පදනම් කොට ගනිමින් දුෂ්ටතම මිනිසුන් තුළ පහළ වූවා වූ ද යම් ආකාරයකින් අප සියල්ලනට ම ප්‍රතිලාභ ගෙන දෙන්නා වූ ද චින්තනයකි.’: ජෝන් මේනාඩ් කේන්ස්


‘ආර්ථික විද්‍යාව ඉගෙන ගත යුතු වන්නේ ආර්ථික විද්‍යාඥයන් විසින් රවටනු ලැබීමෙන් මිදීම සඳහා මිස ආර්ථික ගැටලු සඳහා ඒකායන පිළිතුරු සපයාගැනීම සඳහා නොවේ.’: ජෝන් රොබින්සන්


විදුලිය සිඳලීම ජීවිතය අසහනයක් බවට පත් කරයි. නෙට්ෆ්ලික්ස්, එම්එස් වර්ඩ්ස් හෝ වින්ඩෝස් ඔස්සේ පුවත් වෙත ප්‍රවේශ වීම පිණිස ඔබ ද පසු වන්නේ මා මෙන් ම පරිගණකය අබියස නම් විදුලිය සිඳලීම විසින් එම අසහනය විශාදයක් බවට පත් කැරෙනු ඇත.


එබඳු මානසිකත්වයක් සහිතව මම පෙබරවාරි 25 වැනි සිකුරාදා බම්බලපිටියේ වෙසෙන මගේ මිත්‍රයකු ඇමතීමි. එම සතිය තුළ කිසි ම දිනෙක සිය නිවසෙහි විදුලිය සැපයුම ඇණ හිටියේ නැති බව හෙතෙම පැවසී ය. කොළඹ 3 ප්‍රදේශයේ වාසය කරන්නන්ට ද මේ වාසනාව අත් විඳින්නට හැකි වූ බව කොල්ලුපිටියේ වසන මගේ තවත් මිත්‍රයෙක් කීවේ ය. මිරිහාන ප්‍රදේශයේ ජනතාවට ද මෙම වාසනාව හිමි වූ බව ප්‍රධාන ධාරාවට ම අයත් නොවූව ද කියවීමට වටිනා පුවත්පතක් වූ ‘අනිද්දා’ පත්‍රය තුළින් මම දැනගතිමි.


රජයේ වාහනවලට මෙන් ම වරප්‍රසාදලාභී හා ප්‍රභු වාහන සඳහා ඇති තරම් ඉන්ධන සැපයීම කොළඹ මල් පාරෙහි හෝර්ටන් පෙදෙසෙහි පිරවුම්හල්වලදී සිදු වූ බව ගාලු මුවදොර පිටිය ආසන්නයේ සුඛොපභෝගී මහල් නිවාසයක වෙසෙන මගේ තවත් මිත්‍රයෙක් කීවේ ය. ඔහු ඒ බව දැනගෙන ඇත්තේ මධුමේහය විසින් ලබා දෙන හිරිහැර තුනී කරගැනීම පිණිස තමා සමග ගාලු මුවදොර පිටියෙහි සක්මනෙහි යෙදෙන, වාණිජ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ ඇතුළත තොරතුරු දන්නා සෙසු අයගෙනි.


මෙම තත්ත්වයන්හි පවතින අසාධාරණත්වය දුටු මා තුළ, අධිකරණය වනාහි සාධාරණත්වය ම වන්නේ ය’යි සිය “යුක්ති න්‍යාය” (Theory of Justice)හි ලා සඳහන් කළ ජෝන් රෝල්ස්ගේ පොත පත කියවීම සඳහා උනන්දුවක් ඇති වී ය.

කිනම් සමාජ ආයතනයක වුව ද සාධාරණත්වය ප්‍රධාන ගුණය විය යුතු යයි රෝල්ස් කියයි.

‘ආකර්ෂණීයත්වය හා පිරිමැසුම්දායක බව අතින් කෙතරම් ඉහළ තැනෙක තුබුණ ද ඕනෑ ම න්‍යායක් බැහැර ලීම හෝ සංශෝධනයට භාජන කිරීම හෝ අවශ්‍ය වන්නේ ය. සංවිධානාත්මකභාවය හා කාර්යක්ෂමතාව අතින් කෙතරම් ඉහළ තැනෙක තුබුණ ද සාධාරණ නො වන්නේ නම් නීතීන් හා ආයතනයන් අවලංගු කිරීම හෝ සංශෝධනයට භාජන කිරීම හෝ අවශ්‍ය වන්නේ ද ඒ ආකාරයට ම ය. සමස්ත සමාජයේ ශුභ සාධනය විසින් වුව ද අබිබවනය නො කළ හැකි වන්නා වූ සාධාරණත්වය පදනම් කොටගත් අනුල්ලංඝනීය අයිතියක් සෑම පුද්ගලයකුට ම තිබේ. සාධාරණ සමාජයක අධිකරණය විසින් තහවුරු කරනු ලැබ හා සුරක්ෂිත කරනු ලැබ තිබෙන සෑම පුරවැසියකු ගේ ම නිදහස හා අයිතිය දේශපාලන බලය හමුවෙහි ලිහිල් වන්නේ නැත.’

ජෝන් රෝල්ස් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පවතින ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් නොදක්වයි. අඛණ්ඩව විදුලිය ලබාගත හැකි වීමේ වාසනාව සම්බන්ධයෙන් මම කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරමි. හුදෙකලා වී තොරතෝංචියක් නැතිව ඇසෙන මදුරු කෙඳිිරිය ඉවසාගෙන දසත වැනෙන ඉටිපන්දම් දැල්ල දෙස බලාගෙන මා ලැබූ අපරිමිත වින්දනය අත් විඳීමේ භාග්‍යය ඔවුනට ද නුදුරෙහි දී ම ලැබෙනු ඇත. මෙම විදුලිය කැපීම් විසින් මිනිස්සු සැබැවින් ම අසරණ බවට පත් වෙති.

ස්කොට් ෆිට්සිජෙරල්ඩ් එම තත්ත්වය මෙසේ පැහැදිලිව ප්‍රකාශ කරයි. “යම් කිසිවෙකු වඩාත් ම හුදෙකලාභාවයට පත් වන්නේ ස්වකීය ලෝකය කැබෙලි වී යන ආකාරය දකින විට ය. ඔහුට කළ හැකි වන්නේ හිස් බැල්මෙන් යුතුව සිටීම පමණි.

” එළැඹෙන අගෝස්තුවේ දී මම අසූවියට පත් වන්නෙමි. ලෝකය කැබෙලිවලට කැඩී යන ආකාරය ඉවසිල්ලෙන් යුතුව බලා සිටීමට මට පුළුවන. එහෙත් මගේ දරු මුණුබුරන්ගේ ලෝකය මගේ ජීවිත කාලය තුළ දී ම කැබෙලි වනු දැකීම මට වේදනාවකි.

රළු අසමානතාවනුත් අසාධාරණයත් අස්ථාවරභාවයත් නොසැලී සන්සුන්ව ඉවසා සිටීමට අප සමාජය සතු හැකියාව පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

සිය විදුලිය බිල්පත රුපියල් මිලියන දොළහක් දක්වා ඉහළ නගින තෙක් ඉවසා සිටි බව කියන ඇමැතිවරයාගේ ආත්ම කේන්ද්‍රීය මනස හා විකෘත හෘදය සාක්ෂිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ හැකියාව මෙම වෑයම තුළින් මා වෙත ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

යුක්ති ධර්මය යනු සාධාරණත්වය ම වේ ය’ යන මූලධර්මයට එය පටහැනි ය. ඉන් ප්‍රකට වන්නේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ පවතින පරපුටුවාදීත්වයයි.

ආර්ථික විද්‍යාඥයන්ගේ හා දේශපාලන විචාරකයන්ගේ විවේචන සඳහා යෝග්‍ය පරිසරය මෙරට තුළ නිර්මාණය වී ඇති දැඩි සමාජ ආර්ථික ගැටලුව විසින් සකසා දෙනු ලැබ ඇත.

සාමාන්‍ය ජනතාව බොහෝ විට එය සාපයක් ලෙස දකිති. විපක්ෂ දේශපාලකයන් කියන්නේ එය “වීර වියරුවක්” බව ය. පහසු විසඳුම් සෙවිය හැකි නොවන නමුදු සාවද්‍ය තීරණයන් විසින් දුර්භාග්‍යය ව්‍යසනයක් බවට පත් කරනු ලැබ තිබේ.

මෙම තත්ත්වය ‘ආර්ථිකයට ‘මුරුගසං වරුසාවක් ’(economic Armageddon) හා සමාන බව විපක්ෂයේ තවත් නායකයෙක් කියයි. හෝමර් ජීවත්ව සිටියේ නම් මෙම විප්‍රකාරී නර්මාලාපය දෙස කෙසේ බලනු ඇත් ද?


සැබැවින් ම ආර්ථික විද්‍යාඥයන් ඉදිරියට පැමිණිය යුතු කාලය මෙයයි. අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලුව සඳහා මනා ආර්ථික නිරවද්‍යකරණයක් අවශ්‍ය බව, වෘත්තිකයන් ලෙස හෝ පර්යේෂකයන් ලෙස හෝ ගුරුවරුන් ලෙස හෝ එසේත් නැති නම් පොදු චින්තකයන් ලෙස හෝ විෂයය ප්‍රගුණ කරන කවුරු වුව ද පිළිගනිති.


කිසියම් ප්‍රශ්නයක දිග පළල හා ගැඹුර තත් වූ පරිද්දෙන් දැකීමෙහි ලා පවතින හැකියාව සම්බන්ධයෙන් මගේ ඉමහත් ගෞරවය දිනාගෙන සිටින එක්තරා විචාරකයෙක් මෙම ගැටලුව විසඳීමේ සරල හා කෙටි වැඩ පිළිවෙළක් යෝජනා කරමින් ඒ සඳහා පූර්ව අවශ්‍යතාවක් ද සඳහන් කෙළේ ය. ඔහු කියන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතු කොටගෙන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති බාධක දුරලිය හැකි ක්‍රමය සෙවීම මුලින් කළ යුතුව තිබෙන බවයි.


නගරයේ පොහොසතුන්ගේ ප්‍රදේශවලට පමණක් අඛණ්ඩව විදුලිය ලැබීමටත් ඉන්ධන හිඟයෙහි දුර්විපාක විඳීමට සෙසු ප්‍රදේශවල ජනතාවට සිදු වීමටත් හේතුව 20 වැනි සංශෝධනයෙන් කියැවෙයි. පිතෘමූලික සමාජයක් සහිත මෙම රටෙහි අනුග්‍රාහකත්වයට නැඹුරු දේශපාලනයක් ක්‍රියාත්මක වන අතර තීරණ ගැනීමේ බලය ද අවභාවිත වේ.


පොහොට්ටු පක්ෂය නොබෝ දා අනුරාධපුරයෙහි දී මහජන රැළියක් පැවැත්වූයේ ය. සැලසුම් කළ ආකාරයට එයට මහ සෙනගක් සහභාගි වූහ. දේශකයාට සවන් දීම සඳහා අණ ලැබ සිටි සාවධාන පිරිසක් විනා ඔවුහු සාමාන්‍ය පුරවැසියෝ නොවූහ. රැස්වීම ආරම්භ වන ආකාරය මම බලා සිටියෙමි. චිත්තාකර්ෂණීය පෙනුමකින් යුතු නායක හිමි නමක් රැස්ව සිටි මහ පිරිස පිළිබඳව උදම් අනමින් ආශ්චර්යවත් මහ වෙනසක පෙරනිමිති ගෙනහැර පෑවේ ය.


ඉදිරි යම් දිනෙක ප්‍රධාන විපක්ෂය සහ එහි ජනපති සිහින දකින්නා විසින් එයට එරෙහි සන්දර්ශනයක් පවත්වනු ඇත. ඉන් පලක් වේ ද? නව පරපුර විහිළු ‘ඇඟට ගන්නේ’ නැත. ජවිපෙ විසින් මෙහෙයැවෙන ජාතික ජන බලවේගය පිළිබඳව යම් පමණක හෝ අපේක්ෂාවක් විණි නම් එය ද එහි නායකයා මහනුවර දෙපාර්ශ්වයේ හිමිවරුන් බැහැදැකීමත් සමග ‘වාෂ්ප’ වී ගියේ ය.


දැනෙන වෙනසක් වෙත යාමට අපේක්ෂා කරන්නෙකු කිසි විට පවත්නා ක්‍රමයෙහි ගැලෙන්නට යන බව පෙන්වන්නේ නැත.


පොහොට්ටු රැස්වීමෙහි මුල් කථාව පැවැත්වූ බෞද්ධ හිමිනමට සවන් දෙන විට නිදහස් වෙළෙඳපොළ ප්‍රතිපත්තිවල ප්‍රතිඵල වශයෙන් නිර්මාණය වූ සමාජ අසාධාරණයන් සහ අසමානතාවන් පිළිබඳව කළ පර්යේෂණයන් හේතු කොටගෙන වර්තමානයෛ් දී සාකච්ඡාවට භාජන වන ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයකු වූ තෝමස් පිකෙටිගේ සඳහනක් මගේ මතකයට පැමිණියේ ය.


සිය “ධනය සහ මතවාදය” නම් කෘතියෙහි පිකෙටි මෙම විශිෂ්ට අදහස ඇතුළත් කරයි. “කවර මිනිස් සමාජයක වුව ද පවතින අසමානකම් හේතු සහගත විය යුතු ය. එසේ හේතු සොයාගත නො හැකි වන්නේ නම් සමස්ත දේශපාලන හා සමාජ දේහය ම පවතින්නේ බිඳ වැටීමේ අවදානම හමුවෙහි ය.”


“අපේ හාමුදුරුවනේ” යි ආයාචනාත්මකව අමතා මෙවැනි විකාර ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමේ වැදගත්කම මෙම ලිපිය කියන්නනට නොවැටහෙන්නේ ද?


අපගේ ව්‍යවහාරික බුදුසමය වනාහි මහනුවර රාජධානිය සමයේ පැවැති වැඩවසම් සමාජයේ නෂ්ටාවශේෂයකි. යටත්විජිත සමයෙහි දී සිය කාර්යයන් පහසු කරගැනීම සඳහා එම පාලකයන් විසින් කිහිලිකරුවක් ලෙස යොදාගනු ලැබීම හේතු කොටගෙන බුදු සමය මෙපමණට සුරක්ෂිතව තිබේ. බි්‍රතාන්‍ය පාලකයන්ගේ අනුප්‍රාප්තිකයන් වූ මෙරට ඉඩම් හා පතල් හිමි භක්තිමත් ප්‍රභූහු එහි යහපත පිණිස රාජ්‍ය අනුග්‍රහය ද ලබාගත්හ. ලෞකිකත්වය හා අධ්‍යාත්මය අතර පවතින හිඩැස බොඳ කරවන ප්‍රමුඛස්ථානය 1972 ව්‍යවස්ථාව තුළින් එයට ලැබිණ. යුද්ධයෙන් පසුව සත්‍යය, යථාර්ථය සහ ධාර්මිකත්වය අතර තීරකයා ලෙස නව භූමිකාවක් ඉටු කරමින් එය වේගවත්ව විකාශනය වූයේ ය.


“පවත්නා මෙන් ම මිනිසුන් සිතන පරිදි පැවතිය යුතු අසමානතාවන් සාධාරණීකරණය උදෙසා විවිධ වූ පරස්පර කතිකාවන් හා මතවාදයන් සෑම යුගයක දී ම නිර්මාණය වන්නේ ය” යි තොමස් පිකටි සඳහන් කරයි.


50 වැනි ලෝක ආර්ථික සමුළුව (The Great Reset) ආරම්භයේ සිට ම ආර්ථික පිළිවෙත්වලට සීමා නො විය යුතුව තිබිණි. සමාජ, සාංස්කෘතික හා මතවාදමය කරුණු සඳහා ද එය විවෘත විය යුතු ය.


කෙතරම් අර්බුදකාරී තත්ත්වයක් මැද වුව ද අප තිරසර මනසකින් යුතුව පසු වන්නේ කොතැනක සිට කොතැනකට යන්නේදැයි හරිහැටි නො දැන ය. සියල්ල අසුරු සැණෙකින් විසඳීමේ හැකියාව තමන් සතු බව අපගේ ප්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්වති. කැළිකසළ හා කපුටු ප්‍රශ්නය එයට නිදර්ශනයකි.


ගුවන් තොටුපොළ ආසන්නයේ කැළිකසළ ගොඩගැසීම සිදු නොවිය යුතු ය. දුගඳ වහනය වීමට අමතරව ගුවන් යානාවලට අනතුරුදායක වන සේ විවිධ පක්ෂීහු ද කසළ ගොඩවල් වෙත ඇදී එති. ජර්මානු දාර්ශනිකයකු වූ හීගල් බුද්ධිය සංකේතවත් කිරීම සඳහා බකමූණු රුවක් (owl of Minerva) යොදාගත්තේ ය. අපේ ‘නැණවතා’ සිය බුද්ධිය ප්‍රදර්ශනය කරන්නේ තමනට සමීප පක්ෂියකු ආශ්‍රයෙනි.


තෝමස් පේන් මෙසේ කියයි.


“උච්චස්ථාන ගත වීම සහ හාස්‍යජනකභාවය යනු කිසිසේත් වෙන් කළ නොහැකි වන සේ නිරන්තරයෙන් එකිනෙක බැඳී පවත්නා ධර්මතා දෙකකි. පවතින උච්චස්ථානය මඳක් අබිබවා ගිය විට ඉස්මතු වන්නේ හාස්‍යජනකභාවයයි. හාස්‍යජනකභාවය මඳක් අබිබවා ගිය විට නැවත පත් වන්නේ උච්චස්ථානයට ය.”


අපගේ පාර්ලිමේන්තු රැස්වීම් දෙස අවධානය යොමු කරන කවරෙකුට වුව ද තෝමස් පේන්ගේ මතය බැහැර කළ නොහැකි වනු ඇත.


අපගේ ගැටලුව සරල ය. සාධාරණත්වය යන්නෙන් කුමක් අදහස් කරන්නේ ද? යන්න පිළිබඳ පැහැදිලි අදහසක් අප තුළ නැත. නිදහස් වෙළෙඳපොළක යහපත් පැත්ත පිළිබඳව අන්ධ විශ්වාසයෙන් යුතු වූවෝ ද ඒ අතර වෙති.


ලෝක ආර්ථික සමුළුව විසින් හෝ වේවා වෙනත් ප්‍රමුඛ රටවල මූලිකත්වයෙන් හෝ වේවා පැවැත්වෙන ඕනෑ ම සම්මන්ත්‍රණයක නිගමනයන්හි ඉලක්කය විය යුත්තේ රෝල්ස් (John Rawls) විසින් දක්වන ලද ආකාරයේ සමාජ සාධාරණත්වය ම බව සඳහන් කළ යුතු ය.
මෙහි ඉහතදී ද දක්වන ලද පරිදි මේ ආර්ථික විද්‍යාඥයන් ඉදිරියට පැමිණිය යුතු කාලයයි. විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු වන නමුදු මම ආර්ථික විද්‍යාඥයෙක් නොවෙමි. ගුනාර් මයර්ඩාල් විසින් රචිත ඒසියන් ඩ්‍රාමා නමැති පොත මම 1971 දී කියවීමි. වෙළුම් තුනකින් යුතු එය මගේ පොත් රාක්කයෙහි අදත් සුරක්ෂිතව තිබේ.


හැටේ දශකය තුළ ලේඛන කටයුතුවල යෙදුණු මයර්ඩාල් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ කියයි.
“විවෘතව අදහස් දක්වන ඉන්දියානුවන් මෙන් නොව, ලාංකික බුද්ධිමතුන් සිතන්නේ පුළුල් අරමුණු හා අධ්‍යාශයන් සහිත වීම අර්ථශූන්‍ය බව ය. වගකීමෙන් තොර දේශපාලනයට මග පාදන්නේ මෙම ආකල්පයයි. විශ්වාස කිරීමට ද අපහසු වන ආකාරයට සීමා මායිම් කිසිවකින් තොරව පැවැත්වෙන පාර්ලිමේන්තු වාද විවාද තුළින් පෙනෙන්නේ හුදෙක් තර්කයකින් ජයගැනීම හෝ විරුද්ධවාදියකුට පහර ගැසීම හෝ තුළින් ආස්වාදය ලැබීම පිණිස කැරෙන කාර්යයක් විනා වෙනත් හරයක් ඒවායෙහි දක්නට නොමැති බවයි. ඉන්දියානු ද්විත්වාකාර චින්තනය පිළිබඳ කළකිරීමට යම් කිසිවකු පත්ව සිටී නම් ඒ සඳහා හොඳ පිළියමක් වන්නේ අතිශය සර්ව අශුභවාදීත්වය හේතු කොටගෙන ලංකාව පත්ව සිටින තත්ත්වය පිළිබඳව සිතා බැලීමයි.” (ඒසියන් ඩ්‍රාමා, 1 වැනි වෙළුම, 357 පිටුව)


සිත් තැවුලකින් යුතුව මයර්ඩාල් මෙසේ ද සඳහන් කරයි.


“නිරවුල්බවින් තොර සමාජවාදයකින් පෝෂණය ලැබ තිබෙන නමුදු විපර්යාසාභිලාෂී ජාතිකත්වය තුළ පවතින්නේ මතවාදමය අරමුණකට වඩා රැකියා පිළිබඳ අරමුණු ය”
අප ගමන් කරමින් සිටින්නේ ද අතීතයේ දී අප ගැලී සිටි අසංස්කෘත අශුභවාදීත්වයක් සහිතව නිර්මාණය වූ අනුග්‍රාහකත්ව දේශපාලනය වෙතට ම ය. දැන් පෙනෙන්නට තිබෙන්නේ අපගේ කූට ප්‍රකෝටිපතියන් අතිසංකීර්ණ ගැටලු සඳහා සරල විසඳුම් රැගෙන සෙවණැලි අතරින් මතු වෙමින් සිටින ආකාරයකි.


ව්‍යවසායකත්වය පිළිබඳව අප තුළ අව්‍යාකුල අදහසක් නැති බව පෙනේ. ඉස්කාගාර හෝ කැසිනෝ පොළවල් පවත්වාගෙන යාම ද මූල්‍ය සේවාවන් සේ සලකා ප්‍රභූ පන්තිය වෙත මහ පරිමාණ ණය ලබා දීම ද තුළින් ධනය නිර්මාණය වීමක් සිදු නොවේ.


මගේ පොත් රාක්කයේ ඇති මා බෙහෙවින් අගය කරන තවත් පොතක් වූ මහාචාර්ය ජෝන් රොබින්සන්ගේ “ආර්ථික දර්ශනය (Economic Philosophy)” වෙත මෙහි දී මගේ අවධානය යොමු වෙයි. පිටු 140කින් සමන්විත පෙන්ගුයින් පෙලිකන් ප්‍රකාශනයක් වූ එහි මහාචාර්ය රොබින්සන් උපදෙස් දෙන්නේ හුදෙක් ප්‍රගුණ කිරීම සඳහා පමණක් නොව ආර්ථික විද්‍යාඥයන් කියන දෙය වටහාගැනීම පිණිස ආර්ථික විද්‍යාව ඉගනගන්නා ලෙසටයි.

ආර්ථික විද්‍යාව නමැති මෙම විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොර පුද්ගලයකු වන නමුදු මම, විසි වැනි සිය වසට අයත් විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥවරියක වන ඇය ඉමහත් ගෞරවයකින් සලකන්නෙමි. ඕ නිදහස් වෙළෙඳපොළ ධනවාදය නොබියව සිය විමර්ශනයට භාජන කළා ය. ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් ඇතිව සිය අදහස් පළ කරමින් එසමයෙහි ඉමහත් ගෞරවයට පාත්‍ර වූ මෙම ආර්ථික විද්‍යාඥවරිය නවසිය පනහේ දශකයේ දී ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ.

වටිනාකම සහ වටිනාකම් යන දෙක අතර පවතින වෙනස ජෝන් රොබින්සන් මහාචාර්යවරිය දුටුවා ය. ‘ආර්ථිකමය වටිනාකම් සහ මානුෂීය වටිනාකම් යනු එකක් ම නොවන්නේ ය’ යන්න නිදහස් වෙළෙඳපොළ හිස් මුදුනින් පිළිගන්නවුනට හසු නො වූ සත්‍යයකි.

සෑම ආර්ථික තීරණයක ම යම් යම් වටිනාකම් අන්තර්ගතව ඇති බව මහාචාර්ය ජෝන් රොබින්සන් “ආර්ථික දර්ශනය” නමැති මෙම කුඩා ග්‍රන්ථය තුළ සඳහන් කරන්නී ය.

“එක් එක් යුගයන් හි දී පාලනය මෙහෙයවන මතවාදයන් විසින් ද යම් පමණකින් විද්‍යාත්මක විමර්ශනයන්හි යෙදෙන්නවුන් විසින් ද ආර්ථික විද්‍යාව යොදාගනු ලැබ තිබෙන්නේ ගාමක මාධ්‍යයක් ලෙස ය.” අප කිසිවක් කර කියාගත නො හැකිව කළුකුහරයක (black hole) වැටී සිටිය ද කිනම් ප්‍රතිසංස්කරණයක් වුව ද ක්‍රියාත්මක කළ යුතු වන්නේ පුළුල් නිරාගමික ජාතිකවාදී චින්තනයක් සහිතව ය.


නිර්ව්‍යාජව ප්‍රවර්තන ‘දුර්ගය’ පසු කිරීමේ ක්‍රමෝපායන් සොයන්නවුන් ද මාක් කාර්නීගේ අදහස වෙත අවධානය යොමු කළ යුතු ය. එංගලන්ත බැංකුවෙහි අධිපති ලෙස කලක් සේවය කළ මාක් කාර්නී දැනට එක්සත් ජාතීන්ගේ දේශගුණ හා මූල්‍ය පිළිබඳ විශේෂ නියෝජිත වශයෙන් සේවය කරයි.


ජී7 සංචිත බැංකු දෙකක ද අධිපති වශයෙන් කටයුතු කර ඇති මාක් කාර්නී දැන් මෙසේ කියයි.
“සමාජය විෂයෙහි අප්‍රමාණ හානියක් කරමින් අප ජීවත් වන්නේ ඔස්කා වයිල්ඩ් සංක්ෂිප්ත ලෙස සඳහන් කළ පරිදි කිසිවක වටිනාකම පිළිබඳ හැඟීමකින් තොරව හැම දෙයක ම මිල පිළිබඳව පමණක් අවධානය යොමු කරමිනි.”

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි