20.7 C
Sri Lanka
3 October,2022

“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”

Must read

‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත් ය. මොවුන් එසේ කීවේ, දැනට කර්කශ විවේචනයට ලක්ව තිබෙන පක්ෂ දේශපාලනය ගැන පමණක් නම්, ඔවුන්ගේ ඒ කතාවේ යම් ගත යුත්තක් ඇතැයි සිතිය හැකිව තිබුණි. නැත, ඔවුන් අදහස් කෙළේ පටු පක්ෂ දේශපාලනය පමණක් නොව, රටේ සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ පොදු තේමාවමයි. ඒ අනුව, ශ්‍රී ලංකාකාරයෙකු හෝ යූ.එන්.පීකාරයෙකු නොවී සිටීම පමණක් නොව, ඒ තට්ටු මාරුව ප්‍රශ්න කරන ජේ.වී.පීකාරයෙකු පවා නොවී සිටීමත් පමණක් නොව, රටටත් පුරවැසියාටත් බලපාන ආර්ථීක හෝ දේශපාලනික කිසිවක් ගැන කතා නොකර පාඩුවේ සිටීමත්, වැදගත් සහ සිල්වත් පුරවැසි ගුණාංගයක් යැයි සිතීම ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය විය.
පසුගිය මාස කිහිපය තුළ මේ පිරිස් තරමක් වැඩිවියට පත්ව සිටිත්. අද පෝලිම්වල සිට කැමරා ඉදිරියට විත් තමන්ගේ දුක කියන, තමන්ගේ කෝපය නිදහසේ මුදාහරින වැඩි පිරිසක්, සම්මත අර්ථයේ පක්ෂ අනුගාමිකයන් නොවේ. එසේම කිසි පක්ෂයකින් මෙහෙයවනු ලබන පිරිසක්ද නොවේ. එක් වැඩිහිටි පිරිමියෙකු තමන්ගේ දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් සොයාගැනීමට නොහැකිවත්, තවත් වැඩිහිටි පිරිමියෙකු තමාගේ රෝගයට බෙහෙත් ටික සොයාගැනීමට නොහැකිවත් සිටිමින්, කැමරාවක් ඉදිරියේ හැඬුම් වළක්වාගත නොහැකි වූ දර්ශන කිහිපයක් පසුගිය සතියේ දැකගැනීමට ලැබුණි. ඒ පුද්ගලයන් රඟපෑමක් කළා නොවේ. ඔවුන්ට ඇත්තෙන්ම දුක වාවාගන්නට බැරි වුණි. මේ තත්වය අපට කියා දෙන පාඩම වන්නේ, අපි හම්බ කරගත් පමණින් කාලා ඉන්නට බැරි තත්වයකුත් රටක ඇති විය හැකි බවයි.

ආණ්ඩු-විරෝධයත්, බඩට දැනෙන තරමට විතරද?


රට පුරා අද ඇවිළෙමින් තිබෙන ආණ්ඩු විරෝධය ඒ ආකාරයෙන්ම නැති ගතියක් දැන් සති දෙක තුනකට කලින් උතුරුමැද පළාතේ යම් ප්‍රදේශයකදී මට දැකගන්නට ලැබුණි. මෙය, අර්ධ-නාගරික, අර්ධ-ග්‍රාමීය පළාතකි. ඒ ගම් පළාතේ කිසි පවුලක් ආණ්ඩුව ගැන බරපතල කළකිරීමකින් සිටිතැයි කිව හැකි සාක්ෂියක් දින දෙක තුනක කාලයක් තිස්සේ මට සොයාගැනීමට නොලැබුණි. ඔවුන්, රාජපක්ෂවාදීන් වූවාමත් නොවේ. සමහර පවුල් ඇත්තෙන්ම රාජපක්ෂ විරෝධී යැයිද සිතන්නට කරුණු තිබුණි. එහෙත් ඒ කිසිවෙකු තුළින් පුපුරා යන ආණ්ඩු විරෝධයක් ප්‍රකාශයට පත්වුණේ නැත. ඒ නිසා, විටින්විට, නාගරික අත්දැකීම් අනුසාරයෙන් වර්තමාන ප්‍රශ්නය වටින්ගොඩින් කතා කිරීමට මම උත්සාහ කෙළෙමි. රට පුරා ගෑස් නැතිව, පෙට්‍රල් නැතිව, කිරිපිටි නැතිව මිනිසුන් පෝලිම්වල සිටින සැටි රෑට ඔවුන්ට රූපවාහිනියෙන් පෙනෙයි. එහෙත් ඒ කිසි අවස්ථාවක රූපවාහිනිය පොළොවේ ගැසීමට සිතෙන මානසික තත්වයක් ඒ කිසිවෙකු තුළ නැතැයි මට පෙනුණි.


ඔවුහු කිසිවෙක් ගෑස් පාවිච්චි නොකරති. තවමත් ඔවුන් උයන්නේ දර ලිප්වල ය. ලිපට ඕනෑ තරම් දර, වත්තේ තිබේ. ඔවුන් කිසිවෙකු කිරිපිටි බොන්නේ නැත. අවශ්‍ය තරම් එළකිරි ගමේ තිබේ. පෙට්‍රල් යනු ඉතා දුරස්ථ අවශ්‍යතාවකි. ත්‍රීවීලරයක් හෝ මෝටර් සයිකලයක් දෙකක් තිබුණත්, ඒවා නැතිව වූවත් ඔවුන්ට පවතින්ට බැරිකමක් නැත. වැඩි දෙනා යන්නේ පයිනි. නැත්නම් බයිසිකලයෙනි. ඒ නිසා, පසුගිය කාලයේ රටේ ගොඩනැඟෙමින් තිබූ විරෝධය පැවතී තිබුණේ ඔවුන්ගෙන් පිටස්තර අත්දැකීමක් වශයෙනි.


ඊට සතියකට පමණ පසු, ගොයම් කපාගැනීමේ දවස් උදාවුණි. ඒ ගම් කිහිපයේ කිසිවෙකු ඉස්සර මෙන් පේළි ගැසී ගොයම් කපා, දවස් ගණන් ශ්‍රමය වගුරා අස්වනු ගෙට ගන්නේ නැත. ඒ වෙනුවට, පැයක් හමාරක් වැනි කෙටි කාලයක් තුළ අක්කරයක තරම් කුඹුරකින් අස්වැන්න නෙළා දීමට සමත් විශාල යන්ත්‍රයක් ඔවුන්ට තිබේ. එය හඳුන්වන්නේ, ‘භූතයා’ කියා ය. ගොයම් කපන කාලයට මේ ‘භූතයාට’ විශාල ඉල්ලුමක් තිබේ. ඉහත කී ගොයම් කපන කාලයේ, මීට පෙර කිසි දවසක අත්විඳ නැති තත්වයකට මුහුණදීමට මේ ගම්වල වැසියන්ට මෙවර සිදු විය. හේතුව, ‘භූතයාට’ ඩීසල් සොයාගැනීමට බැරි වීමයි. නාගරික වැසියන් ගෑස් සම්බන්ධයෙන් කුපිත වන ආකාරයෙන්ම මේ ගම්වල වැසියෝද ඒ අවස්ථාවේ කුපිත වූහ.
මෙයින් මා කියන්නට උත්සාහ කෙළේ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ කිසි සමාජ කොටසකට අහක බලාගෙන සිටීමට අවසරයක් දී නැති බවයි. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේත් පෝලිම් ක්‍රමයක් පැවතුණත්, රටේ සමස්ත ආර්ථික සහ සමාජ පද්ධතිය කඩාවැටුණේ නැත. එදා තිබුණේ, භාණ්ඩ හිඟයක් පමණි. එය පවා, යම් (හරි හෝ වැරදි) මතවාදයක් මත ඇති කරගත් නිශ්චිත සැලසුමක් අනුව ඇති කෙරුණු තත්වයක් මිස, අද මෙන්, ආණ්ඩුවේ හිඟනකමක් නිසා ඇති වූ තත්වයක් නොවේ. අද වන විට, මේ ආණ්ඩුව යටතේ, පෝලිම් නිසා මරණයට පත්ව ඇති සංඛ්‍යාව 4 කි. එයින් එක් කෙනෙකු මියගොස් ඇත්තේ, පෝලිම් නිසා ඇති වූ ඝාතනයකිනි. ගෘහස්ථ ගෑස් පිපිරීම්වලින් මරුමුවට පත්ව ඇති සංඛ්‍යාව 7 කි. මේ සියල්ලටමත් වඩා සමස්ත චිත්‍රය කුළුගන්වා පෙන්වන අවස්ථාව වන්නේ, මිනියක් රැගත් අවමංගල රථයක්ද, එක් පිරවුම් හළක පෝලිමේ සිටි බවට වාර්තා වූ පුවතයි. ජීවත්ව සිටින මිනිසුන් පමණක් නොව, මළමිනී පවා පෝලිමේ තැබීමට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සාර්ථක වී ඇති බව එයින් කියැවෙයි.

ආණ්ඩුව විතරක්ද? ඇයි ජනතාව?


රාජපක්ෂලා ඇතුළු මෙතෙක් රට කරවූ සියලු පාලකයන්ගේ අසාර්ථකත්වයට අමතරව, ජනතාව යැයි හඳුන්වන කොට්ඨාසයේ අසාර්ථකත්වයකුත් මෙහි ඇති බව අප අමතක නොකළ යුතුය. ඕනෑම ප්‍රශ්නයක් තමාට බලපෑමක් ඇති නොකරන තාක්, එය ප්‍රශ්නයක් වශයෙන් ගැනීමට උත්සාහයක් නොගැනීම එවැනි මිනිසුන්ගේ ස්වභාවයයි. එය, ඉහත කී ග්‍රාමීය ජනතාව පැත්තෙන් පමණක් නොව, වෙනත් වෘත්තිකයන් සම්බන්ධයෙන්ද දැකිය හැකි තත්වයකි. වර්තමාන ලෝකයේ සංකීර්ණ ස්වභාවය අනුව, කිසි ප්‍රශ්නයක්, තමන් නොවන, අනිකාට පමණක් බලපාන ප්‍රශ්නයක් වශයෙන් නොපවතින බව බොහෝ දෙනාට නොවැටහෙයි. “අපි හම්බ කරගත්තොත්, අපි කාලා ඉන්නවා” යැයි කියන්ට පුරුදුව සිටියේ, ප්‍රශ්න තිබෙන්නේ, හම්බ නොකරන එවුන්ට පමණකැයි හිසින් ගත් වැරදි විශ්වාසයක් නිසා ය.


ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු අත්කරගෙන තිබෙන එකම සාධනීය දෙය වශයෙන් දැනට පෙනෙන්නේ, රුපියලේ අගය රුසියානු රූබලයේ අගයට සාපේක්ෂව ඉහළ දමා ගැනීමට හැකි වීම පමණි. එයත්, රාජපක්ෂලාගේ හෝ අජිත් නිවාඩ් කබ්රාල්ගේ දක්ෂකමක් නිසා ඇති වු දෙයක් නොව, පුටින්ගේ කෙරුවාව නිසා නිකම් ඇදී ඇති ලොතරැයියකි. රුසියානු රූබලයක කලින් වටිනාකම රුපියල් 2.68 ක් විය. පසුගිය දා එහි වටිනාකම රුපියල් 2.39 ක් වී ඇතැයි වාර්තා වුණි. ඇත්තෙන්ම එය, ලෝකය පුරා රූබලය කඩාවැටීමෙන් ලංකාවේ රුපියලේ අගය ඉහළ යාමකි. එහෙත් ඒ වාසිය පවා දැන් සිටින්නේ ලංකාවේ අවාසියටයි. මන්ද යත්, ලංකාවේ තේ වැඩියෙන්ම අපනයනය කෙරෙන රට රුසියාව වන නිසා, මේ විදිහට රූබලය කඩාවැටීම නිසා, අපේ තේ අපනයනකරුවන්ට තේ කිලෝවකට ලැබෙන මිල පහළ යන්නේය.

උදාහරණයක් වශයෙන්, ගිය සතියේ පැට වූ තේ කිලෝවකට රුපියල් 2.68 ක් අපේ තේ අපනයනකරුවාට ලැබුණේ නම්, දැන් ඔහුට ලැබෙන්නේ රුපියල් 2.39 ක් පමණි. ඉතිං, පුටින්ගේ ආධාරයෙන් අපේ රුපියලේ අගය ඉහළ යාම පවා, උදම් ඇනීමට තරම් හේතුවක් වන්නේ නැත. (ඒ පාඩුව, දැන් රුපියල පාවෙන්නට හැරීමෙන් ඇති වූ බාල්දුව නිසා මඟහැරෙන්නට පුළුවන).

රාජ්‍ය නිලධාරී මාෆියාව


මේ විදිහට හැම පැත්තකින්ම රටක් අර්බුදයට යාමට, පාලකයන් සහ මහජනතාව හැරුණු විට, විශාල වශයෙන් වගකිව යුතු තවත් පිරිසක් සිටිති. ඒ, රාජ්‍ය නිලධාරීන් ය. අවංකව සේවය කරන ඉතා අතලොස්සක් හැරුණුකොට, රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයකි. එක පිරිසක්, කිසි සේවයක් නොකොට, රටට සහ ජනතාවට බරක් වී ඇති නිකමුන් ය. රාජ්‍ය සේවයේ බහුතරය සමන්විත වන්නේ මොවුන්ගෙනි. (හොඳින් හොයා බලන්න: පෞද්ගලික අංශයේ කිසි තැනක මෙවැනි නිකමුන් බෙහෙතකටවත් සොයාගන්නට නැත). අනිත් පිරිස, ඔවුන්ගේ විශේෂඥ භාවය නිසාම, රටත් ජනතාවත් ගෙලග්‍රහණයෙන් ගැනීමට සමත්ව සිටින පිරිසකි. අපේ ආර්ථික අසංවර්ධනයේ ප්‍රධාන පංගුවක වගකීම බැර විය යුතු පිරිස ඔවුන් ය.


මේ දවස්වල දිනපතා පැය 5-8 අතර කාලයක් මිනිසුන්ට විදුලිය නැත. අද තිබෙන සියලු අගහිඟකම්වලට ආසන්තම හේතුව අපේ විදේශ විනිමය සංචිතය (ඩොලර්) ඉවර වී යාමයි. එහෙත් ඒ සාධකය මත පමණක් පිහිටා ප්‍රශ්නයේ සැබෑ ස්වභාවය වටහාගැනීමට පුළුවන්කමක් නැත. විදේශ විනිමය අවම කරගෙන අපේ අවශ්‍යතා පිරිමසාගත හැකි වෙනත් මාර්ග අපට නොතිබුණේද යන ප්‍රශ්නය එහිදී සලකා බැලිය යුතුය. බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන්, ‘ආනයන-ආදේශන’ යන වහරක් අපේ භාවිතයට පැමිණ ඇත. එහි අදහස වන්නේ, ආනයනය කරන භාණ්ඩයට සමාන භාණ්ඩයක් දේශීය වශයෙන් නිපදවාගත යුතුව ඇති බවයි. එම ප්‍රතිපත්තිය මත පිහිටා දියුණු කරගත හැකි දේශීය භාණ්ඩ තිබේ. ඒ අතරින් ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතුව තිබුණු එක භාණ්ඩයක් වන්නේ විදුලිය ජනනයයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් අපේ පාලකයිනුත්, විශේෂඥ රාජ්‍ය නිලධාරීනුත් කටයුතු කොට ඇත්තේ කෙසේද?
ලංකාවේ විදුලිය ජනනය කෙරෙන ප්‍රධාන මූලාශ්‍ර තුනකි. එනම්, තාප (ගල්අඟුරුවලින් සහ ඉන්ධනවලින්), ජල විදුලිය (ජලයෙන්) සහ නව පුනර්ජනනීය බලශක්තිය (හිරු එළිය සහ සුළඟෙන්) ආදී වශයෙනි. අපේ විදුලිය අවශ්‍යතාවෙන් සියයට 70 ක් සැපයෙන්නේ තාප විදුලි ජනනයෙනි. ඒ සඳහා ගල්අඟුරු සහ ඉන්ධනවලට ඩොලර් අවශ්‍ය කෙරේ. අද ලයිට් කැපෙන්නේ ඒ ඩොලර් ප්‍රමාණය අපේ අතේ නැති බැවිනි. (ඉන් ඇති කෙරෙන පරිසර හානිය වෙනම කාරණයකි). ඊළඟට, අපේ විදුලිය අවශ්‍යතාවෙන් සියයට 20 ක් සැපයෙන්නේ ජල විදුලියෙනි. එම අංශයෙන් උපරිම මට්ටමට මේ වන විට අප ළඟා වී තිබේ. ඒ නිසා තවදුරටත් එම අංශයෙන් දියුණු වීමේ ඉඩකඩ අඩුයි. එහෙත්, හිරු එළියෙන් සහ සුළඟෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තව බොහෝ දුරක් යා හැකිය. ඒවා අපට නොමිලේ සහ යහමින් ලැබෙන සම්පත් ය. එහෙත් ඒ ගැන, විය යුතු තරමේ අවංක සැලකිල්ලක් මේ දක්වා යොමු වී නැත.

ලොකුවටම හොරා කන ‘උගතුන්’

ඊට ප්‍රධාන හේතුව, විශාල වශයෙන් ඩොලර් වියදම් වන ගල්අඟුරු සහ ඉන්ධනවලින් විදුලිය ජනනය කිරීමේ වර්තමාන ක්‍රමය දිගටම පවත්වා ගැනීමෙන් ඩොලර් මිලියන ගණනින් ජාවාරම් (කොමිස්) ලාභ ලබන විදුලිබල මණ්ඩලයේ මාෆියාවක් ක්‍රියාත්මක වන බැවිනි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉංජිනේරුවන් වූ පිරිස් මේ මාෆියාවේ සක්‍රීය කොටස්කරුවෝ ය. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීම හැම අතකින්ම අධෛර්යමත් කිරීමට සහ ඊට බාධා කිරීමට, විවිධ රෙගුලාසි සහ නීතිරීතිවල අවසරය යටතේ මේ පිරිස කටයුතු කරති. ඒ බාධක මඟහරවා විදුලි ජනනය නිසි මාර්ගයට ගැනීමට උවමනාවක් දේශපාලනඥයන්ට ඇත්තේද නැත. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, අපේ නිවෙසක වහලේ සවි කෙරෙන සූර්ය පැනල මාර්ගයෙන් විදුලිය ජනනය කිරීමේ ඉතා සුළු ක්‍රියාවලිය පවා අනුමත කොට ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ විදුලිබල මණ්ඩලයට මාස 6 සිට අවුරුදු ගණන් දිග්ගැස්සෙන කාලයක් ගතවෙන අතර, ලංකා පෞද්ගලික විදුලි සමාගමට (ලෙකෝ) ඒ සඳහා ගතවන්නේ සති 2-4 ත් අතර කාලයක් පමණක් බව මෙහිදී පෙන්වා දිය හැකිය. මේ වන විට, මලයාසියානු සමාගමක් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව සිංගප්පූරු අධිකරණයක නඩු පවරා තිබේ. චෝදනාව වන්නේ, සුළං සහ සූර්යබල විදුලිය ජනනය සඳහා එම සමාගමට දී තිබූ අවසර පත්‍රය පසුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් අත්හිටුවා තිබීමයි. එසේ අත්හිටුවීමට හේතුව, විදුලිබල මණ්ඩලයේ එක්තරා නිලධාරියෙකු ඉහත කී සමාගමෙන් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලීම සහ එම සමාගම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි.


විදුලි ජනනය පිළිබඳ මේ කාරණාව, අද අප මුහුණදෙන අර්බුදයේ එක අංශයක් පමණි. ජාවාරම්කාර අවශ්‍යතාවන් නිසා, රටේ අභිවෘද්ධිය පරදුවට වැටී ඇති තව අංශ රාශියක සංකලනයක් වර්තමාන අර්බුදය තුළ ගැබ්ව තිබේ. ඒ සියල්ල පිළිසකර කොට නිසි මඟට ගන්නා තුරු, “අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා” යැයි ඇත්තෙන්ම කිව හැක්කේ, කළු සල්ලිකාර, ජාවාරම්කාර විදේශ ගිණුම් හිමි අතලොස්සකට පමණක් බව දැන්වත් දත යුතුය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි