No menu items!
32.5 C
Sri Lanka
18 September,2024

පසුපෙළ මන්ත්‍රීවරු කියලා කණ්ඩායමක් නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේතු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

Must read

■ අමන්දිකා කුරේ

වර්තමාන දේශපාලන තත්වය ගැන සැකෙවින් පැහැදිලි කළොත්?


ආණ්ඩුව විශාල පොරොන්දු ප්‍රමාණයක් දීලා ආවේ. අන්තිමට ඩොලර් අර්බුදයත් එක්ක ජනතාව බලාපොරොත්තු වුණු දේවල් ඔක්කොම අපට කරන්න බැරි වුණු එකත් එක්ක තමයි දැන් මේ විශාල ප්‍රශ්නයක් ගොඩනැගිලා තියෙන්නේ. රාජ්‍ය දේපල විකුණන්න ඇතැම් අවස්ථාවල උත්සාහ කළත් අපි ආණ්ඩුව ඇතුළේ සිටිමින් ම ඒවා නවත්වා ගන්න කටයුතු කළා. මේ හැම ප්‍රශ්නයක් ම එක්ක ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් නිර්මාණය වෙලා තියෙන නිසා ජනතාව තුළින් ආණ්ඩුවට විශාල ප්‍රතිරෝධයක් නිර්මාණය වෙලා තියෙනවා.

ආණ්ඩුව තුළ අර්බුදයක් නිර්මාණය වෙන්න හේතුව කුමක්ද?


දේශපාලන වශයෙන් සාකච්ඡා සිදුනොවීමේ අඩුව තමයි ඒකට හේතුව. පසුගිය දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහින් ජනාධිපතිතුමාව හමුවුණා. මහජන පක්ෂය සමගත් සාකච්ඡාවක් තිබුණා. එවැනි සාකච්ඡා කලින් ඇති නොවුණු නිසා මේ ගැටලු ඇති වුණා කියලා මම හිතනවා.

ඒ කියන්නේ ආණ්ඩුව තුළ වෙනස් මත ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාව අඩුයි කියන එකද?


එහෙමමයි කියලා කියන්න බෑ. අපිත් පසුගිය කාලයේ නැගෙනහිර ජැටිය විකුණන්න ගිය අවස්ථාවේ සහ කොතලාවල පනත ගෙන එන්න ගිය අවස්ථාව වගේ අවස්ථාවලදී දීදිගින් දිගටම ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඒවා වළක්වන්න කටයුතු කළා. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ අපි ඔක්කොම ඒකාබද්ධ විපක්ෂයක් ඇතුළේ කරපු දේශපාලනය දැන් නොකිරීමේ පොඩි අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා තමයි මේ වගේ ඝට්ටනයක් නිර්මාණය වුණේ. නමුත් එයත් දැන් කෙමෙන් කෙමෙන් ඉවත් වෙමින් යනවා. ජනාධිපතිතුමා සාකච්ඡා කළ සියලු පක්ෂවල අය සුබවාදීව හිතනවා කියලා මම හිතනවා.

‘මුළු රටම හරි මගට’ ගිහින් ඔබත් අමාරුවේ වැටෙන වැඩක්ද වුණේ?


යහපාලන ආණ්ඩුවේ බලය පරාජය කරන්න අපි එක්ක එකතු වෙලා හිටපු අය තමයි මේක සංවිධානය කළේ. අපිත් ඔවුන් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. අපි ඔක්කොම එක කඳවුරක්. මේ, තියෙන ව්‍යාකූලත්වය බිඳින්න එයාලා කරපු යෝජනාවක්. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා පසුපෙළට ඉස්සරහට එන්න දෙන්න හොඳ නෑ කියලා. ඒ අය හිතාගෙන ඉන්නවා ඉන්න සාමාජිකයො එලෙව්වාම ඒ ඇතිවන රික්තයෙන් තමන්ට මොනවා හරි ලැබෙයි කියලා. මට යන්න කිව්වා නම් මම යනවා. නමුත් නායකයො ඒවා තේරුම් අරගෙන ඉන්නේ. මම විනය පරීක්ෂණවලට බය නෑ. මුල් අවස්ථාවේ ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණේ කොහොමද?


මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කරන විට අපි කළේ අපෙන් අය ගිලිහෙන්න දෙනවාට වඩා කොහොම හරි හැමෝම එකතු කරගෙන ඉඳපු එක. කෙනෙක්ගේ වැරැද්දක් ගැන කතා කරද්දී ඒක නිවැරදි කරන්න කතා කරනවා මිසක් ඒකට පෝර දාන්න කටයුතු කිරීම තුළ සිදුවෙන්නේ අපෙන් එක එක්කෙනා ඉවත් වෙලා යන එක. මටත් බොහෝ දෙනෙක් කළේ ඒක තමයි. මට විනය පරීක්ෂණයක් එයිද කියලා මම බලාගෙන ඉන්නවා. පහුගිය කාලයේ පළාත් පාලන මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා ඇතිවුණු ප්‍රශ්නවලදී මම මැදිහත් වුණා. විනය පරීක්ෂණ තියන්න ඕනෑ කියලා ලොකුවට කෑගහන අය කරන්නේ කඳවුර දුර්වල කිරීමක් මිසල් කඳවුර ශක්තිමත් කිරීමක් නෙවෙයි. පක්ෂ 11 විසින් ගෙන එන ඇතැම් විවේචනවලත් යම් කර්කශභාවයක් තිබෙනවා කියලා මම දකිනවා. ඒ නිසා මැද තැනකට එන්න ඕනෑ. අපට තව අවුරුදු තුනක් තිබෙනවා. ආණ්ඩු ඇතුළේ හැලහැප්පිලි වෙන්න පුළුවන්. නමුත් ජනතාව බලාගෙන ඉන්නවා අපි වැඩකරන තුරු.

නමුත් ඉතින් මේ වෙනස් මත දැරූ අයව එළියට ඇදලා දැම්මා නේද?


ජනාධිපතිතුමාට ඒ සඳහා තනි සහ අනන්‍ය බලයක් තියෙනවා. අපිත් ඒ බලය ලබා දෙන්න අත් ඔසවලා තියෙනවා. පුද්ගලිකව අපිත් එක්ක වැඩ කරපු අයව එහෙම ඉවත් කිරීම ගැන යහපත් හැඟීමක් මට නෑ. ඒ අයගේ දහඩිය කඳුළුත් එක්ක තමයි අපේ ජයග්‍රහණය සැමරුවේ. එක් එක්කෙනා බැගින් අඩු කරගන්නවා කියන්නේ ම අපේ බලය හීනකරගන්නවා කියන එක.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙනුත් මේ සමුළුවට දැවැන්ත විරෝධයක් ආවා නේද?


ඔව්, මමත් දැක්කා පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට මාව ගන්නේ නැ වගේ කතාවක්. මම මුල සිටම විශ්වාස කළා, පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් කියලා එකක් නෑ. මමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරුන්. නමුත් පසුගිය කාලයේ එක එක නම්වලින් හඳුන්වපු පසුපෙළ කියන මන්ත්‍රී කණ්ඩායම් ආණ්ඩුව වෙනුවෙන් විපක්ෂයේ කාර්යය කරනවා වගේ එකක් දැක්කා. නමුත් අවාසනාවකට වර්තමානයේ එවැනි මන්ත්‍රීවරු අවධානය යොමු කරන්නේ තමන් ඊළඟ ඇමති ධුරයට පැනගන්නේ කොහොමද කියලා. මම රාජපක්ෂ පවුලට ඉතාම ළඟින් සිටි කෙනෙක්. ඒ නිසා අමාත්‍ය ධුර හිස්වෙද්දී මට අවස්ථාවක් තිබුණා ඇමති ධුරයකට යන්න. නමුත් මම එහෙම කළේ නෑ. අවශ්‍ය දේ විතරයි කළේ.
මට මාර්තු 08 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකළා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවෙන්න යන්න. නමුත් එම රැස්වීමට සහභාගි වීම මම කැමැත්තෙන් ප්‍රතික්ෂේප කළා. මට මුදල් ඇමති එන්න එපා කියලා නෑ. මාර්තු 09 පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමටත් මම සම්බන්ධ වුණා. ඒ නිසා මට දැනට ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් නෑ.


පසුපෙළ කියන රැස්වීම්වලට මම යන්නේත් නෑ. පසුපෙළ කියලා බැනර් එකක් එල්ලන් තුන්දෙනෙක් විතර කතා කරනවා. ඒ තුන්දෙනා දැන් කරන වැඩ ආණ්ඩු නැතිව අපි විපක්ෂයේ ඉඳපු කාලයේ කළා. බැනර් එල්ලන් මාධ්‍ය හමු තියනවාට වඩා අපි ආණ්ඩු ගේන්න වැඩ කළා ඒ කාලයේ. මම බැසිල් ඇමතිතුමා සමග පැවති රැස්වීමට සහභාගි වුණේ නැත්තේත් ආපහු පසුපෙළ කියන රැස්වීම්වලට යන්නේ නෑ කියලා තීරණය කළ නිසා. මිනිසුන්ට මඩ ගහන්න විවේචනය කරන්න මම යන්නේ නෑ.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි