19.3 C
Sri Lanka
27 September,2022

හතර කොන අවුලා
රටම විනාශ කළ වගයි

Must read

භික්ෂූන් බණ යයි මොනවාදෝ දොඩවා, ගායක ගායිකාවන් – කලාකරුවන් රොද බැඳගෙන මුසා බස් ගයා – පවසා, උගතුන් යයි සළු පිළි හැඳ වියත් මඟක් යයි සෙප්පඩ විජ්ජාවක් අටවා, ජාතික ආරක්ෂාවක් නැත – රට බෙදනවා යයි භීතිය උත්සන්න කිරීමට හතර කොන අවුලා, රටට කළ විපත සුළු පටු නැත. දැන් දුක් විඳින්නේ මුළු රටේම වැසියන්ය. විනාශය දරුණු වෙනවා මිස අඩුවෙන පාටක් නැත. කටේ නරිවාදන් බේරෙන එක විතරක් නතරව නැත. හොඳින්ම කෙරුණේ හා කෙරෙන්නේ ‘නිදොස් කොට නිදහස්‘ කිරීම පමණි. දැන් දැන් පිට පොට ගසන්නේ හිතේ හැටියට පළිගැනීමටය. මේ ආණ්ඩුව තව දුරටත් පැවතුණහොත් පස් කා මැරෙන්නටවත් බැරි තත්වයක් උදා විය හැකිය. හැත්ත බුරුත්ත තොලොංචි වී ගොස් සුර සැප විඳිනු ඇත. මේ අපරාදයට වග කියන කිසිවෙකුත් නැත.


තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් ගොඩ නඟන්නට ලේ රත්කර ගත් කිසිවෙකුත් නැත. ඔවුන්ට තවමත් ප්‍රශ්නයක් නැත. යම් යම් ප්‍රශ්න තියෙන්නේ යහ පාලන ආණ්ඩුවේ වරදිනි. අසූචිත් අනුභව කරන්නට ඒවා කියනවුන්ට හැකි යයි සිතමි.

විනාශය වසංගතය නොවේ


ලෝකවාසීන්ම වසංගතයකට ගොදුරු විය. ඒත් මුග්ධ පාලනයක් නිසා වසංගතය ලංකාවට කැඳවිණි. ඒ සියතින් සිරුරට භුමිතෙල් දමා ගිනි තබා ගැනීමකි. මුග්ධ අහංකාරය – උද්ධච්ඡකම නිසා ජන ජීවිත හැම පැත්කින්ම අවුල් වී අද විනාශ වෙමින් පවතී. යළි බලය තහවුරු කර ගන්නට හිරිකිතයකින් තොරව මාන බලති.


සහගහන අපරාධ යනු මොනවාද? සහගහනවා යනු නිකංම වචනයක් ද? නැත්නම් අදෘශ්‍යමාන විනාශයක් ද?


සීනි – පොල් තෙල්වලින් පටන් ගෙන, නිර්ලජ්ජිතව වසංගතයෙන් ද හොරකම් කළ තක්කඩි ජාවාරම්කාරයන් කළේ සහගහන අපරාධ ය. එහෙත් විඳවන්නේ අසරණ පුරවැසියන්ය.
කිසිවෙකුට බරක් නොවී ගොවිතැන් බත් කරගෙන හිටපු මිනිස්සුන් මුළා කොට රවටා ඡන්දය කොල්ල කාගෙන වගා බිමි පාළු කර දැමීම සහගහන අපරාධයක් නොවේ ද?


රටේ රීරිමාංශ උරා බිව් නම් දරාපු තක්කඩියෙකුට මූල්‍ය කළමනාකරණය පැවරීම නරියාට කුකුළන් භාර දීමක් විය. නාවික හමුදාව ලබා ගත් ශුද්ධ ආදායම දූෂිත තක්කඩියෙකුට භාර දී ඔහු නීතියෙන් පිරිසිදු කිරීම සහගහන අපරාධයක් නොවේ ද?


හිර බත් බුදින්නට හිටි පිරිසකට රට භාර දෙන්නේ අවිචාරාත්මකව හතර කොන අවුළා ය.
අද වන විට වසංගතය කෘත්‍රිමව හංගා ඇත. පරීක්ෂණ නැත. දිනපතා සිදු වන මරණ නිවසකින් අපද්‍රව්‍ය ඉවත් කරන අන්දමේ අති සරල ක්‍රියාවක් බවට පත් කර තිබේ. පුළුවන් තරං මැරෙන්නට හැර ජන ගහනය අඩු කර ගත හැකිය, එයින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිය යන්න කබ්රාලානු තියරිය දැයි නොදනිමි.


මේ වන විට මහමඟක යන්නට බැරි තරමට ජන ජීවිතයේ පීඩනය ඉන්ධන ප්‍රශ්නවලින් ඇති කොට හමාරය. ජනාධිපති මහ සභා කැඳවා විදුලි බලයට විසඳුම් යෝජනා කරන්නට පවසන්නේ අව සිහියෙන් ද? පොහොර – විදුලි – ඉන්ධන යන ගැටලු තුනම පැන නැගී තිබෙන්නේ එකම තැනකිනි. ඩොලර් සංචිත ටික ගජ මිතුරන්ට කොල්ල කා ගන්නට ඉඩ හැරීම සියල්ලට මුළ බව ඇත්තකි. ඒ සහගහන අපරාධය හේතුවෙන් රක්සාවක් කර ගන්නට බැරි – කළුවරේ සිටින්නට හා බඩගින්නේ සිටින්නට රටටම සිදුව ඇත. දුක විඳින්නේ හැට නව ලක්ෂය පමණක් නොවේ. බොරු කියා ලේ හලා බලය ගෙන සියලු අවශ්‍යතා මුඳුන්පත් කරගෙන රටක් විපතට ඇද දැමීම සහගහන අපරාධයක් නොවේ ද? රට අද පත්ව තිබෙන තත්වය හොරමැරකම්වලින් බේරීමට හා හැකි තරම් හරි හම්බ කර ගැනීමට වියරුවෙන් කළ දේවල ඵලයක් විනා වංසගතය පිට පවරා අත සෝදා ගත හැකි දෙයක් නොවේ.

කිසිම ප්‍රශ්නයක් නොවිසඳේ


හොරකම සමඟ අත්වැල් පටලා ගෙන තිබෙන්නේ අසමත්කම ය. සියලු වැරදි කරන්නට පමණක් සමත් ශිෂ්ට පාලනයකට පමණක් අසමත්කම පෙන්වා දෙන්නේ කුමක් ද? නීති ගරුක පුරවැසියන් දශක ගණනාවක් තිස්සේ රටට පවසා සිටි එක පුද්ගලයෙක් ‘බලය අත මිට මොළවා ගැනීම‘ බව දැන්වත් වටහා ගන්නට රට සමත් වේ ද? හැම පුද්ගලයාම බලන්නේ මොන විදිහකින් හෝ ජනාධිපති පුටුවේ වාඩි වෙන්නටය. වාඩි වුණ පසුව වෙන්නේ එකම සන්තෑසියකි.


බලය එක පුද්ගලයෙකු අත මිට මොළවා ගැනීම – ඒ පුද්ගලයා අනුවණ තැනැත්තෙකු වීම – ඒ පුද්ගලයා සැහැසි පුද්ගලයෙකු වීම හේතුවෙන් සිදු වෙන්නේ කැබිනට් මණ්ඩලය ද – මැති සභය ද – රාජ්‍ය නිලධාරීන් ද නපුංසකයන් බවට පත්වීම ය. නපුංසක රැළ පදවිය රැක බලා ගන්නට ඕනෑ නිසා කටක් අරින්නේ නැත. කටක් අරින්නේ අනුවණකමින් කළ කී දෑ මුරුංගා අත්තේ තබා මෝඩ චූන් දෙන්නටය. ඒකටම හරි යන බාන් බාන් පේවී සිටින බව ද පෙනේ. මේ අවසනාවන්ත තත්වය නිසා උද්ගතව තිබෙන බරපතළ ප්‍රශ්න නොව – උද්ගත විය හැකි සුළු ප්‍රශ්නයක් හෝ විසඳා ගන්නට පුළුවන්කමක් නැත.


ප්‍රශ්නයක් විසඳන්නේ කෙසේ ද? කවුරුන් ද? පැරණි පත පොතට අනුව නම් ප්‍රශ්න විසඳුවේ මහෞෂධ පඬිතුමන්ය. අද වන විට වියත් මගේ මහෞෂධලා කැන්සල් වී පැත්ත වැටී හමාරය. ශක්‍ර දෙවියා විසඳා විදැයි හීන දකින්න ද?


රාජ්‍ය පාලනය කාට වුණත් පුළුවන්ය යන අදහසක් හෙමින් මෝදුවී වැඩී වර්ධනය වීම ලංකාවේ අභාග්‍යයකි. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව සිරිමා මැතිනිය රට පාලනය කරන්නට වරම් ලබන්නීය. ඇයට ඒ වරම ලැබෙන විට ලෝකයේ තත්වය ඉතා හොඳ ය. රටේ ආර්ථික තත්වය ද නරක නැත. සිවිල් සේවය හා විදේශ සේවය හොඳම තත්වයක පැවතිණි. මැති සභයට තේරී පත්වීම දූෂණය වී නොතිබුණි. රාජ්‍ය පාලනයට දායක විය හැකි යම් තරමක මහජන නියෝජිතයෝ ද සිටියහ. රටේ වාමවාදී පක්ෂ හොඳ තත්වයක පැවතිණි. පාර්ලිමේන්තුවට රටේ ජන ජීවිතයේ අභිවෘද්ධියට මැදිහත් වන්නට බලයක් තිබිණි. 71 කැරැල්ලට රටේ බලය අල්ලා ගන්නට ද බැරි විය. වැහි වැසි අඳුර මැදින් ගංගාවේ ඔරුව පහළට ඇදී ගියේ ය. එහෙත් ඇදී ගියේ පහළට බව වැටහුණේ කාට ද? ජන ජීවිතය අසීරුතාවලින් පීඩාවට පත්වන අවධියක් කරා සේන්දු විය. ඒ අසීරුතාවලින් මිදී ආර්ථිකය ගොඩ නඟා රට දියුණු කිරීමට එවකට තිබුණ විපක්ෂය සමත් වේ. ජේ. ආර් ජයවර්ධන සමත් වේ. එහෙත් ඒ සමඟින් ජේ. ආර්. වරදක් කළේය. එය නම් රාජ්‍ය බලය එජාපය සන්තක කර ගැනීමට හැකි අයුරින් ව්‍යවස්ථා සංශෝධන සිදු කර ගත්තේය. ඒ අවස්ථාවේ ඊට විරෝධයක් මතු කරන්නට තරම් තත්වයක් පාර්ලිමේන්තුවේ නොතිබිණි. මෙතැන සිට රටේ ආර්ථික දියුණුවක් ඇති වී ජන ජීවිතය විශාල වෙනසකට භාජනය වීම සිදු වුව ද මේ වෙනස නිසාම උතුරේ ජනතාව තුළින් අසහනයක් මෝදුවේ. බණ්ඩාරනායක මැතිනියට මුහුණ දෙන්නට සිදුවුණ කැරැල්ල මැඬ පවත්වන්නට හැකි විය. ජේ. ආර්.ට මුහුණ දෙන්නට සිදුවුණ කැරැල්ල මැඬ පවත්වන්නට නොහැකි විය. 71 කැරැල්ල නිසා සිදුවුණ විනාශය එකලට අනුව බලන කල දරුණු විනාශයකි. එල්.ටී.ටී.ඊ කැරැල්ල යුද්ධයක් දක්වා මෝරා වැඩුණි. මේ යුද්ධය ඇති වුණේ කෙසේ ද? යුද්ධයක් නැති රටක සාමය ඇති කර ගන්නේ කෙසේද යන ප්‍රශ්න දෙක විසඳා ගත යුතු බව විවිධ පාර්ශ්වයන්ගෙන් පෙන්වා දුන්න ද කිසිවෙකුත් ඊට අවංකව පියවර ගත්තේ නැත. යුද්ධයෙන් රටම විනාශ විය. ඒ භෞතික විනාශයට වඩා දරුණු විනාශය රටේ දේශපාලන සංස්කෘතිය විනාශ වීම ය. දේශපාලන සංස්කෘතිය හෝ නිරුපද්‍රිතව පැවතියේ නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොව, මහින්ද රාජපක්ෂ කෙනෙකුවත් රාජ්‍ය බලය හිමි පුද්ගලයා බවට පත් වන්නේ නැත. මහින්ද රාජපක්ෂ කළ රටට කළ අනර්ථයන් නිසා ඔහු රාජ්‍ය පාලනයට නුසුදුසු බව රටේ ජනතාවගෙන් බහුතරයක් වටහා ගත් බැවින් 2015 දී ඔහු බලයෙන් නෙරපා හැරිණි. අභාග්‍යයට රට තල්ලු වෙන්නේ එතැන් සිට යයි සිතමි.

සමාවක් නොතිබිය යුතුය


ලංකාව අද පත්ව ඇති තත්වයට වග කිව යුතු ප්‍රධාන චරිත දෙක වන්නේ මෛත්රී සහ රනිල්ය. එබැවින් මේ දෙන්නාට කිසිම අවකාශයක කිසිම සමාවක් තිබිය යුතු නැත. රාජපක්ෂවරුන් අද රට නැත්තටම නැති කර දමා සිටින්නේ 2015 ජන වරමට රනිල් – මෛත්‍රී ගරු නොකළ බැවිනි. මේ දෙන්නාම මාරුවෙන් මාරුවට රාපක්ෂවරුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්නට තිබුණ අවස්ථා අහුරා දැමීය. දෙන්නාටම අවශ්‍ය වුණේ තනි තනිව බලයේ අයිතිකාරයන් වීමටය. එය අවසන බල අරගලයක් බවට පෙරළුණි. මේ බල අරගලය නිර්මාණය කළේ මහින් ද බැසිල් දෙදෙනා වෙති.


මහින්ද – බැසිල් දෙදෙනාම රාජ්‍ය පාලනයට දූර දර්ශී දැක්මක් ඇති අය නොවේ. බැසිල්ට කිසිම භාෂාවකින් වත් වාක්‍ය පහක් එක දිගට කියන්නට තරමේ අධ්‍යාපනයක් නැති බව ඔහුම පෙන්වා සිටියේ නොබෝදා ය. එහෙත් මේ දෙදෙනාට, රාජ්‍ය පාලනයට අවශ්‍ය දැනුමක් ඇතියි සිතන රනිල්ව හකුළුවා කිහිල්ලේ ගසා ගන්නට අවශ්‍ය සමත්කම නොඅඩුව තිබුණ බව පැහැදිලිය.
2015 ජන වරම කණපිට හැරවීමට පළමු ගුලිය මහින්ද ගිල්ලුවේ රනිල්ටය. ඒ සමඟින් ඔහු සිරිසේනට ද ගුලියක් දිය කර පෙව්වේය. ඒ ගුලි දෙකම වැඩ කළේය. පාරවල් දෙකකින් එකම විදිහට රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට නීතියෙන් දඬුවම් නොකර සිටින්නට ජන වරමට කෙළ ගසමින් මේ දෙන්නා පියවර ගත්හ. එහි ප්‍රතිඵලය හිර ගෙවල්වල ලැගිය යුතු උදවිය රාජ්‍ය නායකයන් බවට පත්වීමය. මේ නිසා ලංකාවේ ඉදිරි කවර මැතිවරණයකදී හෝ රනිල් – මෛත්‍රී ජනවරමක් නොලැබිය යුතුය.


රනිල් – මෛත්‍රී සන්ධානය 2015 දී ඇති වුණේ ගැඹුරු පදනමක පිහිටා නොවේ. රනිල්ට අගමැතිකම නිසා ඔහු අන්තිමට කැමැත්ත දුන්නේය. සිරිසේන රනිල් සමඟ වාඩි වෙන්නට කැමති වන්නේ ඔහුට ඡන්ද පදනමක් නොතිබුණ බැවිනි. මේ දෙන්නාම ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ ඔවුන්ගේ දක්ෂතාව හෝ සුදුසුකම් නිසා නොව 2015 රට තුළ වැඩී වර්ධනය වුණ රාජපක්ෂවාදයට එරෙහි බලයයි. මේ දෙන්නාටම ඒ බලයට අදාළ පදනම නිසි අන්දමින් වටහා ගන්නට බැරි විය. වටහා ගත්තා නම් අපරාධකාරයන් හෝ මනුෂ්‍ය ඝාතකයන් රැක බලා ගන්නා තැනකට සේන්දු වන්නේ නැත.


සිරිසේන ජන වරමට පමණක් නොව අන්තිමේ රනිල්ට ද කළ හැකි හොඳම දේ කළේය. එහෙත් ඔහු ඔහුට වරද්දා ගත්තේ නැත. ඔහු දරුණු ගණයේ අමාරුකාරයෙකි. ඔහු මුළා කළේ ලෝක නායකයන් එක පොකුරට තබා ය. බලය උපරිමව භුක්ති වින්දේය. හිතේ හැටියට ලෝකය පුරා සැරි සැරීය. බලය අතට ලැබුණ වහාම මියෙන තුරා ජීවත්වන්නට අගනුවරින් සුපිරි මන්දිරයක් තනා එය උරුම කර ගත්තේය. ඔහු ජනාධිපති පදවියට පත්ව අරලිය ගහ මැඳුරේ හෝ ජනාධිපති මැඳුරේ පදිංචියට ගියේ නම් අද ඔහු පොලොන්නරුවේය. (කොළඹින් තවත් බංගලා තිබෙනවා වන්නටත් පුළුවන) ඉතින් මේ චරිතයට ලංකාවේ දේශපාලන වැඩ බිම තුළ තව දුරටත් මහජන මුදල් අවභාවිත කරමින් දේශපාලනය කරන්නට පුළුවන් වී ඇත. ඔහු දේශපාලන වැඩවලට වැය කරන හැම සතයක්ම මහජන මුදල් නොවේද? සහගහන අපරාධ නොවේ ද ඔහු තවමත් කරන්නේ? ඉතින් රට දැන ගත යුත්තේ රනිල්ට සේම සිරිසේනටත් සමාවක් නැති බව ය.

ඝාතන සහ බලය


ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ බලය වෙනුවෙන් ඝාතනය – මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය වී තිබේ. යුද්ධයෙන් අනතුරුව සිදුවුණ ඝාතන පමණක් සලකා බලන විට ඒ හැම ඝාතනයක්ම බලය හා බලයේ පැවැත්ම වෙනුවෙන් සිදුවුණ ඝාතන වන්නේය. ඒ කිසිම ඝාතනයක් වෙනුවෙන් යුක්තිය පසිඳලීමක් සිදු නොවීය – නීතිය ක්‍රියාත්මක නොවීය. උත්ප්‍රාසය නම් දරුණුම – අවලස්සණම දේශපාලන ඝාතනයක් වුණ විජය කුමාරතුංගගේ ඝාතනය සම්බන්ධව ඔහුගේ බිරිඳ හෝ අපරාධකරුවාට නීතියෙන් දඬුවම් කරන්නට අපොහොසත් වීමය. ලංකාව පුදුම රටක් නොවේ ද?


මහින්ද රාජපක්ෂ බලයට පත්වුණ පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බවට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහු යුද සමයේ වෛද්‍ය වාර්තාවකින් හමුදාවෙන් ඉවත්ව රටින් පිටවුණ බව කුප්‍රකට අන්දමින් සහතිකව තිබෙන්නකි. යුද්ධය නිම වීමෙන් පසුවය ලංකාව තුළ සාපරාධී මනුෂ්‍ය ඝාතන රැසක් සිදු වන්නේ. ඒ කිසිම ඝාතනයක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ඒ රජය පොහොසත් නොවීය. ඉතා පැහැදිලිව කොටින්ම අද විස්තර කළ හැකි කාරණාව නම් රාජපක්ෂ පාලන සමයේ සිදුවුණ කිසිම මනුෂ්‍ය ඝාතනයකට යුක්තිය පසිඳලීමක් සිදු නොවුණ බවයි. එය සුළු පටු කරුණක් ද? එහෙත් අභාග්‍යය නම් රටක පුරවැසියන්ට මේ අපරාධ දේශපාලන සංස්කෘතිය කියවා වටහා ගන්නට පුළුවන් නොවීමය. අපරාධ යනු දේශපාලන බලය ලබා ගැනීමට හෝ බලය රැක ගැනීමට අදාළ සාධකයක් බව ලංකාවේ පුරවැසියන්ට වටා ගන්නට අපහසු මන් ද? වාචාලකමට හෝ හිතට දැනෙන දේ කතා කළ බැවින් රන්ජන් රාමනායකට සිරදඬුවම් විඳින්නට සිදු ව ඇත. කුඩා දරුවන් – මාධ්‍යවේදීන් ඇතුළු විවිධ මට්ටම්වල පුද්ගලයන් මහ මඟ ඝාතනය කළ බව ලෝකයම දන්නා පිරිසිදු ඇත්තක් වීමත් ඒ කිසි අපරාධයකට අපරාධ කළ කෙනෙකු හෝ අපරාධ කරවපු කෙනෙකු දඬුවම් ලබන්නේ නැත. ඉතින් ලංකාවේ දේශපාලන බලය තිබේ නම් – දේශපාලන රැකවරණය තිබේ නම් මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සාමාන්‍ය දෙයක් වැනිය. මෙවැනි රටකය පාස්කු ප්‍රහාරය සිදු වන්නේ. ඒ ගැන හෝ යථාර්ථය එට වැසියන්ට වටහා ගත හැකි ද?

ගිනි අවුළුවා ඵල නෙළා නොගත්තේ ද?


පාස්කු ප්‍රහාරය සිදු නොවන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වන්නේ නැත. ජනාධිපතිවරණය ආසන්න වන විට රනිල් – සිරිසේන ජනතාවගේ අප්‍රසාදයට පත්ව සිටි බව ඇත්තකි. දෙන්නම එපා යන තත්වයක් පොදු ජන විඥානයේ තිබුණි. ඊළඟ ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන් බලයට පත්විය යුතු නැත යන අදහස සමාජයේ හොඳ මට්ටමක පැවතිණි. මේ පසුබිමේ නරක වැඩ කීපයක් සිදු විය. එය නම් එජාප නායක රනිල් බලයට පත්වීමට අවශ්‍යය යන මතය දැරීමය. රට තුළ යහ පාලන අපේක්ෂා මුඳුන් පත් නොවීම නිසා පවතින තත්වය යහපත් නැති බව වටහා ගෙන රනිල් කල් ඇතිව මෙවර එජාපයේ ජනාධිපති අපේක්ෂක ලෙස කරූ ජයසූරිය නම් කරන බව නිල වශයෙන් රටට පැවසුවේ කරු ජයසූරියට ජන වරමක් උරුම කර ගැනීමට තිබුණ හැකියාව ඉතා ඉහළය. ඇත්ත වශයෙන්ම රනිල් කරු ජයසූරියට කැරට් අලයක් පෙන්වා සිටියා විය හැකිය. නැත්නම් ඔහුට යම් ප්‍රතිඥාවක් රහසින් ලබා දී සිටියා විය හැකිය. තමන්ට රාජපක්ෂවරුන්ට විරුද්ධ බලවේගයකට නායකත්වය ලබා දිය හැකි බව පමණක් නොව එය හැකි බව ද මහ පොළොවේ සාකච්ඡා වෙමින් තිබිණි. අන්තිම තත්පරය වනතුරු කරූ ජයසූරිය බලා සිටියේ රනිල් වැදගත් විදිහට තමන්ට අපේක්ෂකත්වය ලබා දෙනු ඇත යන්නය. එය සිදු නොවුණා පමණක් නොව ඊට පෙර රනිල්ට එරෙහිව කැරැල්ලක් ගසා මංගල මුල්ව සජිත් සමඟ ජනාධිපතිවරණයට මුහුණ දීමට පෙර මං බැලුවේය. මේ පසුබිමේ කරූ ජයසූරිය පසෙකට විය. රනිල් එජාපයේ සහාය අකමැත්තෙන් – එපා වාහෙට හොදි බෙදන්නා සේ පළ කරන බව පැවසීය. මංගල සහ සිවිල් බලවේග ඒකරාශීව යළි රාජපක්ෂලා එපා යන මතවාදය කරළියට ගෙන එන්නට සූදානම්වුණ අල්ල පනල්ලේය පාස්කු ප්‍රහාරය සිදු වන්නේ. මෙහිදී වැදගත් කරුණක් වටහා ගත යුතුව ඇත. එය නම් පාස්කු ප්‍රහාරයෙන් රටම කණපිට හරවා ඇති පසුබිමක සජිත් ලක්ෂ පනස් පහක ජන වරමක් හිමි කර ගන්නේය. පාස්කු ප්‍රහාරය සිදු නොවුණේ නම් කිතුනු ජනතාවගේ ඡන්ද ලැබෙන්නේද සජිත්ටය. මොනම අන්දමකින්වත් ගෝඨාභය රාජපක්ෂට හැට නව ලක්ෂයක් ලබා ගන්නට පුළුවන් වන්නේ නැත. ගෝඨාභයගේ ජයග්‍රහණය පාස්කු ප්‍රහාරයට ලේ නෑකමක් ඇති බව වටහා ගත නොහැක්කේ කාට ද?
තව ද, ගෝඨාභය රාජපක්ෂ කරළියට පැමිණෙන්නේ තමා පාස්කු ප්‍රහාරය සිදු කළ අයට නොපමාව දඬුවම් ලබා දෙන බවට පරපතළ අන්දමට ප්‍රතිඥාවක් ද ලබා දෙමිනි. කාදිනල් හිමිපාණන්ගේ සහයෝගය ඊට ඉහළින්ම හිමි වන්නේය. එහෙත් අද තත්වය කුමක් ද? පාස්කු ප්‍රහාරය සිදු කළ උදවිය හඳුනාගෙන ඇතත් දඬුවම් දීමක් නැත. සිරිසේන කට පැත්ත අද ගිගුම් දෙන්නේ මාව කොටු කරන්න හැදුවොත් මම සේරම ඇත්ත කියනවා යන්නයි. එහි සැඟවුණ අර්ථ කොතරම් ද?


ලංකාව පුදුම රටක් වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන විට බලයේ සිටි නායකයා සියල්ල දැනගෙන – ඇත්ත දැනගෙන ඇත්ත හෙළි නොකර සිටීමය. පාස්කු ප්‍රහාරය සිදු කළ උදවියට නිසි දඬුවම් ලබා දෙන බවට රටට සපථ කළ බලයේ සිටින ජනාධිපතිවරයාට සිරිසේන දේ නොඇසීමය – අදාළ නොවීමය.


රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සමඟ ඇතිවුණ ආරෝවක් නිසා කැබිනට් මණ්ඩලයෙන් නැඟිට පැමිණ සිරිසේන මහ හඬින් එදවසව පැවසුවේ “මං නිකං යන්නේ නෑ මං යන්නේ හනුමා වගේ ගිනි තියාගෙන බව” ය. ඇත්තටම ඔහු එය නොකළේ ද? මැනවින්ම කළ බව පිළිගන්නට බැරි ද?


වත්මන් ආණ්ඩුව බලය පත් වන්නේ සහගහන අන්දමේ බොරු කියමිනි. බොරු පමණක් ද?
අද මුළු රටම විඳවන්නේ පාලකයන් කළ අපරාධ ද? ඇයි පාලකයන්ට විඳවීමක් නැත්තේ?■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි