19.5 C
Sri Lanka
27 September,2022

ඉන්දියාවේ ෆ්‍රීඩා කාලෝ:
අම්රිතා ෂෙර් ගිල්

Must read

■ සුභාෂිණි චතුරිකා

සමාජය තුළ මුල් බැසගෙන ඇති අධිපතිවාදී මතවාදයන් අභියෝගයට ලක් කිරීමේ දී, කලාව විසින් අති විශේෂ භූමිකාවක් රඟ දක්වනු ලබයි, එසේම එවැනි කලා මෙහෙවරක යෙදෙන්නේ අපූරු කලාකාරියක නම් එම තත්වය තවත් සුවිශේෂ වෙයි. ඉන්දියාවේ බොහෝ කැපී පෙනෙන කලා පෞරුෂයන් අතර, සංස්කෘතික කැරැල්ලක් ලෙස කලා ලෝකය තුළ මතුවුණු අම්රිතා ෂෙර් ගිල්, මවිත කරවනසුලු සූක්ෂ්ම බුද්ධි ප්‍රභාවකින් සහ කලා කෞශල්‍යයකින් හෙබි වූ කලාකාරියකි. ඇයගේ කලා නිර්මාණ ඉන්දීය ස්ත්‍රී කලා භාවිතාව තුළ පමණක් නොව සමකාලින ඉන්දීය කලා ලෝකය තුළ ද බලපෑම් සහගත සංධිස්ථානයක් බවට පත් විණි. ජීවිතයේ සංකීර්ණ යථාර්ථයන් තුළ සැඟව ඇති සජීවත්වය චිත්‍රණය කිරීමේ විරල හැකියාව නිසා, ඇයගේ සමකාලීන කිසිදු කලාකරුවෙකු නොකළ පරිද්දෙන්, ඇය මානව සබඳකම් පිළිබඳ තම අදහස් ඉතා විවෘත ලෙස නිරූපණය කිරීමට සමත් වූවාය. නිතරම තම කලා නිර්මාණ තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පුද්ගල අනන්‍යතාව සහ ලිංගිකත්වය වැනි කාරණා පිළිබඳ සංවාද මතු කරමින්, කිසියම් ආකාරයක ස්ත්‍රීවාදි කලා භාවිතාවක නියැලුණාය.

කලා ජීවිතයේ මුල් අවධිය


අම්රිතා ෂෙර් ගිල් 1913 වසරේ හන්ගේරියානු ජාතික මවකට සහ ඉන්දියානු සීක් ජාතික පියෙකුට දාව හන්ගේරියාවේ බුදාපේස්ට් නගරයේ උපත ලද අතර පවුලේ ගැහැනු දරුවන් දෙදෙනකු අතරින් වැඩිමලී වූවාය. කුඩා කල සිටම ඇය ස්වභාවයෙන්ම කැරලිකාරී ගැහැනු දරුවෙකි. ඇය සාමාන්‍ය පරිදි පාසල් යාමට කැමැත්තක් දැක්වූයේ නැත. ඇය පසුකලෙක ඉන්දියාවේ ෂිම්ලා නුවර කන්‍යාරාමයකට ඇතුළත් කළත්, ක්‍රිස්තියානි විශ්වාසයන් සහ සිරිත් විරිත් ප්‍රතික්ෂේප කිරීම නිසා 1924 වසරේදී ඇය එම පාසලින් නෙරපා දැමීම ද සිදුවිය.
ඇය කුඩා කාලයේ සිටම තම කාලය ගත කළේ චිත්‍ර අඳිමින් සහ පියානෝ වාදනය කරමිනි. චිත්‍ර ශිල්පිනියක වීමේ නිසඟ හැකියාව ඇය තුළ කුඩා කල සිටම පැළපැදියම් වී තිබෙන්නට ඇත. ඇය වරෙක මෙසේ ලීවාය : “මට හිතෙන විදියට මා කෙදිනකවත් චිත්‍ර ඇඳීමට පටන් ගත්තේ නැත, මම නිතරම කල් ගතකළේ චිත්‍ර අඳිමිනි. එසේම වෙන කිසිවෙකු නොව චිත්‍ර ශිල්පිනියක් වෙමියි යන අපූරු ඒකාන්තභාවය සහ දැඩි විශ්වාසය මා තුළ නිතරම තිබිණි.”


මාමා කෙනෙකු ඇය සතු චිත්‍ර කුසලතාව හඳුනාගෙන පැරිසියේ ලලිත කලා පාසලකට ඇතුළත් කළ නමුත් තම ශෛලියකට අනුව චිත්‍ර ඇඳීමේ නිදහස නොතිබූ නිසා ඉන් ඉවත්වී, ටික කලකින් ඇය පැරිසියේEcole Nationale des Beaux Art ආයතනයේ චිත්‍ර කලාව ප්‍රගුණ කිරීම ඇරඹුවාය. ඇය එහිදී මානව ස්වභාවයන් ඇඳීමට කැමැත්තක් පළ අතර පින්සල් සහ අඟු‍රු භාවිත කරමින් නග්න පිරිමි සහ ගැහැනු සිරුරු දැක්වෙන චිත්‍ර සියයකට වඩා නිම කළාය. 1930-1932 වසරවලදී නිසල වස්තූන්, භූමි දර්ශන, ස්වයං ආලේඛ්‍ය සහ ආලේඛ්‍ය ඇතුළත් චිත්‍ර හැටකට වඩා නිර්මාණය කළාය. ඇය සැබවින්ම ඥාන ගවේෂණයට තුඩු දෙන ජීවිතයක් පැරිසියේදී ගත කළ අතර 1930 වසරේ සිය නිර්මාණ ඇතුළත් දැවැන්ත චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට සමත් වූවාය. 1933 වසරේ තියුණු කලා හැකියාවන් නිසාම පැරිසියේ ග්‍රෝං සැලොං කලාගාරයේ හවුල්කාරියක ලෙස ඇය පත් කර ගන්නා ලදි. එතරම් ළාබාල කාලයේ, එනම් වයස අවුරුදු විස්සේදී එවැනි තනතුරක් කිසිවෙකුට ලබා දීම එම ආයතනය තුළ සිදු වී ඇත්තේ ප්‍රථම වතාවට වන අතර අම්රිතාගේ කලා ජිවිතය තුළ ද එය ඇය ලැබූ මාහැඟි ගරු බුහුමනකි.

ඉන්දියානු චිත්‍ර කලා ඇසුර


හන්ගේරියානු- ඉන්දියානු සම්භවයක් ඇති අම්රිතා ෂෙර් ගිල් වරෙක මෙසේ කීවාය “පිකාසෝ, මතීස් සහ බ්‍රාක් සහ තව බොහෝ දෙනෙකුට යුරෝපය අයිතියි. ඉන්දියාව අයිති මට පමණය.” එම නිසා 1935 වසරේදී චිත්‍ර කලා හැකියාව දියුණු කරගැනීමේ අරමුණින් ඇය ඉන්දියාවට පැමිණියාය. ඉන්දියාවේ අජන්තා සහ එලෝරා ගුහා චිත්‍ර ඇයගේ චිත්‍ර ශෛලීන්වලට දැඩි ලෙස බලපෑවේය. ඇය සැබවින්ම තම කලා ඥානය දියුණු කරගැනීම උදෙසා ඉන්දියාව පුරා සංචාරය කළාය. 1938 වසරේදී තම ඥාති සොහොයුරෙකු වන වික්ටර් ඊගන් හා විවාහ වී අනතුරුව ඔවුහු ඉන්දියාවේ ෂිම්ලා නුවර පදිංචි වූහ. ඊගන් වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. අම්රිතා විවාහයෙන් පසුද චිත්‍ර කලාවේ නිරතවීම නැවැත්වූයේ නැත.


චිත්‍ර ඇඳීමට අමතරව ජීවිතයේ සමීප සහ වැදගත් පුද්ගලයන්ට ඇය ලියූ ලිපිද ඇයගේ ජිවිතයේ සුවිශේෂ ඉඩක් අත්පත් කරගෙන තිබුණි. එම වචන තුළ ඇය ඇයගේ ආවේගික, උද්යෝගිමත්, නිදහස්, නිර්භීත සහ තියුණු ජීවිතය විදහා දැක්වූවාය. එම ලිපි එක් රැස් කොට, අම්රිතාගේ පවුලේ ඥාතියෙකු සහ කලාකරුවෙකු වන විවාන් සුන්දරම්Amrita Sher- Gil – Self portraits in letters and writings නම් චරිතාපදානමය කෘතියක් ද පළ කර ඇත. එම කෘතියට පෙරවදන ලියා ඇත්තේ සල්මන් රුෂ්ඩි වන අතර ඔහු එහි ෂෙර් ගිල්ගේ චිත්‍ර කලාව පිළිබද මෙසේ සඳහන් කොට ඇත. “අම්රිතා ෂෙර් ගිල්ගේ චිත්‍ර කලාව ස්වභාවයෙන්ම අපගේ දෑස් සුන්දරත්වයේ පරමාදර්ශයන් වෙත ඉතා තදින් ඇඳ බැඳ තබා ගන්නා අතර අපව උකටලී සහ දුඛඃදායක මනෝභාවයක් වෙත ගෙන යයි.”

චිත්‍රකලා නිර්මාණ


ඇයගේ කලා කෘති විවිධ පැතිකඩවලින් ආශ්චර්යවත් යැයි කිව හැකිය. විවිධ විලාසිතාවලින්, විවිධ මනෝභාවයන් සහ විවිධ හැඟීම් ප්‍රකාශනයන් සහිතව තමාවම නැවත නැවත ඉන්දියානු සහ යුරෝපීය ශෛලීනට අනුව චිත්‍රයට නැඟු‍වාය. ඇයගේ එක් අපූර්ව ස්වයං ආලේඛ්‍ය චිත්‍රයක් තුළ ඇය සැරසී සිටින්නේ ටහිටියානු තරුණ කාන්තාවක ලෙසය. පාඨකයාගේ හුස්ම ඇද බැඳ තබන තරම් ආකර්ෂණිය පෙනුමකින් යුතු ඇයගේ සමීප රූපයක් කැන්වසය පුරා අරක් ගෙන තිබෙයි. 1931 වසරේදී ඇය තමාව නිරූපණ ශිල්පිනියක බවට පත් කොට ගෙන, සිය නග්න රූපය යොදා ගනිමින්, හැඟීම් කුප්පනසුලු උඩු කය පිටුපස පෙනුම සහිත ස්වයං අලේඛ්‍යයක් චිත්‍රයට නැඟු‍වාය. එසේම සිය නග්න උඩුකය පැති පෙනුමද ඇය ඉතාමත් සෞන්දර්යාත්මකව චිත්‍රයට නඟා ඇත. ස්ත්‍රී සිරුර ප්‍රශ්න කිරීමත්, එහි ප්‍රකාශනයත්, එහි අනන්‍යතා හඳුනාගැනීමත් කලා භාවිතාව තුළ දක්නට ලැබීම, ඇයගේ කලා ජිවිතයේ මුල් කාලයේ සිටම හඳුනාගැනීමට හැකි සුවිශේෂ ලක්ෂණයකි. අම්රිතා තම චිත්‍රවලට මෙහෙකාරියන් ද නිරූපණ ශිල්පිනියන් ලෙස යොදා ගත්තාය. ඇය නිරූපණය කළ ඉන්දියානු ගැමි සමාජයට ඇය කිසි දිනෙක අයත් වූයේ නැත. එම නිසා ඇයගේ නිර්මාණ බිහි කළේ එම ලෝකයට පිටතින්, එම ලෝකයට පිටස්තරයෙකු ලෙසය. ඇයගේ සිතුවම් එම නිසාම පෙරදිග අපරදිග ‍ලෝක අයත් සීමා රේඛාවට යටින් පවතින ද්වීකයන්ගේ ප්‍රතිනිර්මාණයන් ලෙස දැක්විය හැකිය.


අම්රිතාගේ දෙමව්පියන්ගේ වෙනස් සංස්කෘතික පසුබිම් නිසා ඇය ඔවුන් දෙදෙනාටම අයත් ලෝක දෙකෙහිම දේවල් උකහා ගත්තාය. විටෙක පැරිසීයේදී පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය තුළ ඇයගේ ඉන්දියානු බව ඉතාමත් විවෘතව ප්‍රදර්ශ‍නය කළාය. ඇය එම අවස්ථාවන්වලදී සැරසුණේ බොහෝ විට ඉන්දියානු සාරිවලිනි. එවැනි ක්‍රියා නිසා පුරුෂ මූලික සමාජයක් තුළ ඇය සැබවින්ම සුවිශේෂ කාන්තා චරිතයක් බවට පත් වන්නට ඇත. බොහෝ විචාරකයන් ඇය ඉන්දියාවේ ෆ්‍රීඩා කාලෝ ලෙස හැඳින්වීම එම නිසා පුදුමයට කරුණක් නොවේ.


1936 ව‍සර පමණ වන විට ඉන්දියානු මාධ්‍ය විසින් ඇයගේ නිර්මාණ තුළ, සාමාන්‍ය තත්වයට එපිටින් ඇති සුවිශේෂ බවක් නිරීක්ෂණය කිරීමට පටන් ගෙන තිබුණි. එසේම ඇය සමස්ත ඉන්දියානු ලලිත කලා සංගමය විසින් පවත්වන ලද පස්වැනි වාර්ෂික ප්‍රදර්ශනයේ සම්මාන දෙකක් දිනා ගත්තාය. ඉන්පසු එම වසරේදී බොම්බායේදී චිත්‍ර ප්‍රදර්ශනයක් ඇය පැවැත්වීමට සමත් වූවාය. එම ප්‍රදර්ශනයේදී රසික අවධානය දිනාගත් නිර්මාණ නම් ‘කුඩා ගැහැනු ළමයි’, ‘ළමා බිරිඳ’, ‘කඳුකර ගැහනිය’, ‘මගේ පියාගේ ආලේඛ්‍ය චිත්‍රය’, ‘ගැමියෝ’ වැනි ශීර්ෂයන්ගෙන් යුක්ත වූ චිත්‍ර ය.


ජවහර්ලාල් නේරූ වැනි පුද්ගලයෝ පවා අම්රිතාගේ කලා නිර්මාණ අගය කළෝය. ඔවුන් දෙදෙනා එකිනෙකාට ලිවීම පුරුද්දක් කොටගෙන තිබිණි. වරෙක ජවහර්ලාල් නේරු අම්රිතාට මෙසේ ලීවේය. “මම ඔබේ චිත්‍රවලට කැමති, ඒවා තුළ විශාල ශක්තියක් සහ සංජානන ගුණයක් ගැබ් වී ඇති නිසාය.” දකුණු ඉන්දියාව පසුබිම් කරගත් අම්රිතාගේ තුන්ඈඳුතු චිත්‍ර ඇගේ විශිෂ්ටතම නිර්මාණ ලෙස සලකනු ලබයි. එහි පළමුවැන්නිඊරසාැ‘Bride’s Toilet’” fojekak ‘Brahmchari’ සහ තුන්වැන්න‘South Indian Villager Going to Market’ නම් චිත්‍ර ත්‍රිත්වය ඉන්දියාවේ එම ශතවර්ෂයේ විශිෂ්ටතම චිත්‍ර ලෙස සැලකුම් ලබයි.


අම්රිතා ඉතාමත් පැහැදිලි, මධ්‍යම පන්තික ජීවන විලාසයක් තිබු, බෙහෙවින් මනබඳිනසුලු කාන්තාවක් වූවාය, එහෙත් කලාත්මක වූ ඇයගේම විලාසයකට ඇය ජීවත්වන සමාජයට සංවේදි වීම ඉන් වැළකුණේ නැත. ඉන්දියානු සහ බටහිර සමාජයන්ට පිටස්තරයෙකු සේම ඊට අයත්වන්නියක ලෙසද සිය කලාත්මක ප්‍රකාශනය සිදු කිරීමේ විරල වරප්‍රසාදය ඇයට හිමි වී තිබුණි. ඇය සමකාලීන ඉන්දියානු කලාවේ විවිධ පැතිකඩ විවේචනය කළාය, විවිධ හේතු නිසා ඒවා හෙළා දැක්කාය. තාගෝර් සහ රාජා රවි වර්මා වැන්නවුන් හැරෙන්නට අනෙක් සියල්ලන්ම කලා සංකල්ප සහ අදහස්වලට අසාධාරණයක් සිදු කරන්නේ යැයි කියා සිටියාය. ඉහළ මධ්‍යම පන්තික ඉන්දියානු සමාජය සේම, දුඃඛිත තත්වයට පත් දිළිඳු ඉන්දියානුවන් ඇයගේ චිත්‍ර තුළ ප්‍රතිනිර්මාණය වී තිබුණි. ඇයගේ වදන්වලට අනුව “ඔවුන්ගේ අවලස්සන තුළ අපූරු අන්දමින් ඔවුන් සුන්දරය.” සැබවින්ම ඇයගේ බොහෝමයක් චිත්‍ර තුළින් ඉන්දියානු ජන ජිවිතයේ අඳුරු දුඃඛිත ස්වභාවය ලෝකයට කියා පායි.

අම්රිතා සහ ‍ෆ්‍රීඩා කාලෝ


අම්රිතා පැරිසියේදී ඉතාමත් නිදහස් ජිවින විලාසයක් අනුගමනය කළාය. නිදහසට ඇති නැමියාව ඇයගේ කලා භාවිතාව තුළින් මෙන්ම ජීවිතය තුළින්ද විද්‍යමාන විය. ඇය පැරිසියේ ගත කළ ජීවිතය, සැබවින්ම ඉතාමත් විචිත්‍ර වූත් විපුල වූත් ජීවිතයකි. කාමරය බෙදා හදාගත් හොඳම මිතුරිය වූ මරි ලු‍විස් චස්නි සමඟ ඇය සමරිසි ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බව ද කියැවේ. ඇය තම මවට ලියූ ලිපිවල ඒ බවක් සඳහන්ව ඇත. එසේම ජිවිතයේ විවිධ කාලවලදී ඇය පෙම්වතුන් බොහෝ දෙනෙකු ඇසුරු කළ අතර ජීවත් වූ කාලයට අනුව ඇය ඉතාමත් නිදහස් ලිංගික ජිවිතයක් ගත කළ බව පැහැදිලි කාරණයකි.


ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් නම් වූ විසි වැනි සියවසේ ජිවත් වූ කලාකාරියන් දෙදෙනා එකිනෙකාට බොහෝ ඈතින් භෞතිකව ජීවත්වූ නමුත් ඔවුන් දෙදෙනාම ජීවිත ගත කර ඇත්තේ අඩු වැඩි වශයෙන් සමාන විශ්වයන් තුළය. ඔවුහු දෙදෙනාම නිදහස්කාමී, කාලයට ඔබ්බෙන් සිතූ වඩාත් ප්‍රගතිශීලී අදහස්වලින් යුතු, තම කලා දහරාවේ නව ප්‍රවණතා මතු කළ පුරෝගාමිනියෝ වූහ. එසේම දෙදෙනාම තම ජීවිතය සහ කලා නිර්මාණ තුළින් ස්ත්‍රීවාදී මතවාදයන් නව මුහුණුවරකින් සමාජය තුළ ස්ථාපිත කිරීමට සමත් වූහ.


ඔවුන් දෙදෙනාම ගත කළ කෙටි ජීවිත කාලය සන්සුන් සහ සාමකාමී ලෙස ගත වූයේ නැත. ඔවුන්ගේ නිදහස්බව නිසාම ඔවුන් ගතකළේ කාලයට අනුගත නොවූ පෙරළිකාර සහ කැරලිකාර ජීවිත ය. ඔවුහු දෙදෙනා තමන් දුටු ජීවිතයත්, තම ජීවිතයත් අඩු වැඩි වශයෙන් කැන්වසය මත ප්‍රතිනිර්මාණය කළෝය. ‍‍ෆ්‍රීඩා කාලෝ මෙන්ම අම්රිතා ද විවිධ හැඟීම් ප්‍රකාශනයන් සහිත තම රූපයම චිත්‍රයට නැඟීමට ලොල් වූහ. එහෙයින් අම්රිතා ෂෙර් ගිල්, ඉන්දියාවේ ෆ්‍රීඩා කාලෝ ලෙස හැඳින්වීම එතරම් අසාධාරණ නැත.


ෆ්‍රීඩා මෙන්ම අම්රිතා ද ජිවිත කාලය පුරාම නිරෝගී සුවදායි ජීවිත ගතකළේ නැත. අම්රිතා ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා නිතර මානසික අවපීඩන තත්වයකින් පෙළුණාය. දෙදෙනාම තම කුසින් දරුවෙකු වැදීමේ ආසාවෙන් පෙළුණු අතර ෆ්‍රීඩා සේම අම්රිතා ද අවාසනාවන්ත ගබ්සා වීම් දෙකකට මුහුණ දී තිබුණි. 1941 වසරේ ඉතාමත් ළාබාල වයසේදී එනම්, අම්රිතාට වයස අවුරුදු 28 ක්ව තිබිය දී ඇය මිය ගියේද එවැනි ආකාරයේ අවදානම්සහගත ගබ්සා වීමක් නිසාය.


ෆ්‍රීඩා කාලෝටත් වඩා ඉතාමත් කෙටි, එහෙත් ෆ්‍රීඩා කාලෝ සේම ගැඹුරු සහ විචිත්‍ර ජිවිතයක් ගත කළ අම්රිතා ෂෙර් ගිල්, 1976 වසරේදී එරට රජය විසින් ජාතික වස්තුවක් බවට ප්‍රකාශයට පත් කරන ලදි. ඒ තමන් ජිවත් වූ කාලයට වඩා ඉදිරිගාමී, පෙරළිකාර සහ නිර්මාණශීලි ජීවිතයක් ගත කළ මාහැඟි කලා ශිල්පිනියට ගෞරවයක් වශයෙනි. ඇය පිළිබඳව චරිතාපදාන කෘති ද්විත්වයක් ඇතුළු, ඇයගේ ජිවිතය සහ කලාව පාදක කර ගත් කෘති හතක් පමණ මේ වන විට ප්‍රකාශයට පත් වී ඇත. එසේම විශිෂ්ට ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකා මීරා නායර් කරන මීළඟ සිනමා නිර්මාණයට පදනම් වන්නේ අම්රිතා ෂෙර් ගිල් නම් සුවිශේෂ කලාකාරියගේ ජිවිතය සහ ඇයගේ කලා නිර්මාණ බව මීරා නායර් කීප විටක්ම ප්‍රකාශ කොට ඇත. ඇයට අනුව අම්රිතා ෂෙර් ගිල් යනු “මිහිපිට නූතන කලා ලෝකය තුළ එක් විශිෂ්ටතම කලාකාරියකි.”■

මූලාශ්‍ර:

feminisminindia.com/2017/01/30/amrita-sher-gil-artist-life/
widewalls.ch/magazine/amrita-sher-gil-art

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි