20.4 C
Sri Lanka
2 October,2022

මනුෂ්‍යත්වය වෙනුවෙන් අකම්පිත
දිවි සැරිය

Must read

‘ඉතිහාසය නිර්මාණය කළේ සාමූහික මිනිසා මිස, තනි මිනිසකු හෝ දෙවියෙක් නොවේ. මනුෂ්‍යත්වය මිනිසාට ස්වභාව ධර්මයෙන් ලැබුණු මහඟු සම්පතකි. එය සාමූහික ජීවිතය උදෙසා පවත්වා ගැනීම මිනිසා විසින් සිය ශ්‍රමයෙන්ම කළ යුතුය. එහෙත් ඓතිහාසික ඛේදවාචකය වන්නේ, මිනිසා විසින්ම තැනුණු මානසික හා භෞතික සිරගෙවල් තුළ එය සිරකර තබා ගැනීම ය. එනම් ජාතිය, ආගම, කුලය, භාෂාව, දේශපාලනය දෘෂ්ටිවාදය හෝ ආර්ථික ක්‍රමය ආදි වශයෙනි. මිනිසාගේ තණ්හාව, ආශාව ආදිය එයින් වෙන්කළ නොහැකිය.’: විද්‍යාත්මක චින්තනය සහ සමාජ නිර්මාණය, 85 පිටුව.


අද මේ සටහන ලියන්නේ කලාතුරකින් රටක උපදින ‘වෙසෙස් මිනිසුන් අතරින් දැකිය වෙනස් මිනිසෙකු’ ගැන ය. අප්‍රමාණ රෝගීන් වාසය කරන රටක නිරෝගීව ජීවත්වන මිනිසෙකු ගැන ය. පණ පිටින් මියැදී සිටින මිනිසුන් අතර පණ පිටින් නොමැරී සිටින මිනිසෙකු ගැන ය. අත්තුක්කංසනයත් පරවම්භනයත් තුනී කළ මිනිසෙකු ගැන ය.


අද අපේ කතා නායකයා අසාමාන්‍ය අන්දමේ, ගුරුවරයෙකි. කථිකයෙකි. කවියෙකි. ලේඛකයෙකි. පරිවර්තකයෙකි. මානවහිතවාදියෙකි. හෙතෙම නීතිඥ එස්.ජී. පුංචිහේවා නම් වේ. ඔහුගේ සමීපතමයන් බුහුමනින් හඳුන්වන්නේ ‘මහාහේවා’ නමිනි. හේතුව ඔහු බරපතළ වැඩවලට අකම්පිතව – නිර්භීතව මුළු ජීවිත කාලයම කැප කර සිටීම ය.

සුදු වත ඇඳි සුදු වත


සුදු වතින් සැරසී පන්සල් යන අහිංසක බැතිමතුන්ය අප කුඩා කල දුටුවේ. අද දරුවන් දකින්නේ සුදු වතින් සැරසී පාර්ලිමේන්තු යන ‘මහා බැතිමතුන්‘ ය. සුදු වතින් පේවී සිටින මහාබැතිමතුන්ගේ වත කළු ය. ඉහළම තත්වයේ – වටිනාම සුදු වතින් සැරසී සිටින උදවිය විවිධ අවස්ථාවන්හි අද සුලභ දසුනකි. සුදු වතින් සැරසී විවිධ සභාවන්හි පේවී සිටින බොහෝ උදවියගේ සුදු වස්ත්‍රය විනිවිද විද්‍යමාන වන්නේ කළුම කළු – කැතම කැත වත ය, සිරිත ය.
සුදු නම් පවිත්‍රයේ වර්ණය ලෙසය අප ඉගෙන ගෙන තිබෙන්නේ. සුදු ශෝකයේ වර්ණය ද වේ. අද සුදු වර්ණය අප දකින්නේ ‘චෞර රාජ්‍යයක’ වර්ණය ලෙසිනි. සුදු ඇඳගෙන හොඳටම හොරකම් කළ හැකි ය. මනුෂ්‍ය ඝාතන සිදු කළ හැකිය. විවිධ අපරාධ කළ හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම් කළ හැකිය. ස්ත්‍රී දූෂණ – ළමා අපචාර කළ හැකිය. අරුමයකි, මහජන වරම් ලබන්නට ද හැකිය. මහනායක හිමිවරුන්ගෙන් බුහුමන් ලබන්නට – පිරිත් නූල් බැඳගන්නටත් හැකි ය.
සුදු වත කැත වී අපවිත්‍ර වී තිබෙන රටක හැමදාම – හැම විටකම අකම්පිතව සුදු වතින් සැරසී සිටින එස්.ජී. තම වත ගැන ආඩම්බරයකින් පසුවෙන්නේ කෙසේ ද? ඔහු වත තුළ – ‘එස්.ජී. සිරිත’ තුළ, නීති ගරුක බව සිය දිවිසැරිය පුරාම පවතින බවට තිබෙන දැඩි ආත්ම විශ්වාසය නිසා යයි සිතමි.

සුදු වත හැඳි ගුරුවත


අප කුඩා කල සුදු ජාතික ඇඳුම ඇන්දේ සිංහල ගුරුතුමා ය. ඔහු රටට – ජාතියට – භාෂාවට ඇල්මකින් පසුවුව පැවතුණේ ජාතිවාදයෙන් හෝ ව්‍යාජ දේශප්‍රේමයකින් නොවේ. එදවස සිංහල ගුරුතුමා දැන සිටියේ සිංහල පමණක් නොවේ. පාලි – සංස්කෘත සහ ඉංග්‍රීසි ද දැන සිටියේය. සිංහලෙන් ලියවී තිබුණ කවියක් ඉගැන්වූයේ ඊට සමාන්තර ඉංග්‍රීසි කවියක් ද සමාන්තරව පරිහරණය කරමිනි. සැබවින්ම පැරණි සිංහල ගුරුතුමා පඬිවරයෙකි. භාෂා ශාස්ත්‍ර පමණක් නොව, සමාජ දේශපාලන තත්වය – ලෝකය ගැන ද ඔහු දැන සිටියේය. ඔහුගේ පෞරුෂයට මුල් වුණේ විෂයාන්තර කියවීමක නිමග්නව සිටීමය.


එස්.ජී. නම් ගුරුවරයා මා දීර්ඝ කාලයක සිට දකින්නේ ‘මානව හිමිකම්’ – ‘මූලික අයිතිවාසිකම්’ විවිධාකර ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට – සමාජ ක්‍රියාධරයන්ට නිරවුල්ව – පැහැදිලිව – සරලව හා රසවත්ව උගන්වන සුදුර්ලභ ගුරුතුමෙකු ලෙසිනි. ඔහුගේ ඉගැන්වීම නිර්ව්‍යාජ කටයුත්තක් වී තිබෙන්නේ ඔහු තම මුවින් පිටවන අදහස් ගැන වගවීමකින් හෙවත් හෘදය සාක්ෂියකින් අනූනව තිබීම ය. මානව හිමිකම් ගැන අති දක්ෂ විදිහට කතා කරන – කියාදෙන බොහෝ නීතිඥයන්ගේ ජීවන වෘත්තිය තුළින් හෘදය සාක්ෂිය විද්‍යමාන නොවේ. සමහර විට හෘදය සාක්ෂියකට වගවෙමින් නීතිඥ වෘත්තියේ නිමග්න වීමට පුළුවන් කමක් නොතිබෙනවා විය හැකිය. නීතිඥයෙකු ලෙස එස්.ජී. එකම එක නඩුවකට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ පෙනී සිටි බවත්, ඒ වෙනුවෙන් ඔහුට එදවස ලැබුණ රුපියල් සියයක ගාස්තුව තම හිතට වදයක් වූ බැවින් නඩුව වෙනුවෙන් ගාස්තු ගෙවූ පුද්ගලයා අතටම පත් කළ බවත්, එය ඔහුගේ ප්‍රථම උසාවි ගමන හා අවසාන උසාවි ගමන බවත් මා අසා තිබේ. එහෙත් නීතිය හිසින්ගෙන උසාවි නොගිය ද, නඩු කථා නොකළ ද ඔහුගේ ගුරුවතට පදනම වූයේ නීතිය නම් විෂයකේෂ්ත්‍රය වීම විශේෂයකි. ඊට හේතුව ලෙස පැහැදිලිවම පෙනී යන්නේ මනුෂ්‍යත්වය විෂයෙහි කැපවුණ භූමිකාවක් තෝරාගෙන එහි නියැලීම බව පෙනේ.

සුදු වත සහ පිළිවෙත


එස්.ජී. සම්ප්‍රදායන් හිසින් ගෙන කටයුතු නොකළ කෙනෙකු වුව, ඔහු සිය ජීවන පිළිවෙත තමන් පසක් කළ හා විශ්වාස කළ අගයන් මත පදනම් කර ගෙන කටයුතු කළ බව පෙනේ. ඔහු ගමකින් මතුවුණ කෙනෙකි. අධ්‍යාපනයෙන් දීප්තිමත් වූ කෙනෙකි. නිරවුල් දැක්මකින් ඉදිරිය බැලූ කෙනෙකි. ඒ වෙනුවෙන් අවැසි ප්‍රඥාව ඔහු ලබන්නේ මාක්ස්වාදයෙනි. එහෙත් ඔහු මාක්ස්වාදය කියවන්නේ – හදාරන්නේ හා වටහා ගන්නා මනුෂ්‍යත්වය වෙනුවෙන් දීප්තිමත් ඥාන සම්භාරයක පහස ලබන්නටය. එසේ වුව ඔහුගේ ජීවන පිළිවෙත සාම්ප්‍රදායික මාක්ස්වාදීන්ගෙන් වෙනස් වූ ඔහුට අනන්‍ය වූ එකකි. මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවුණ වැඩ කිරීමට කාලය වැය කළ ද හැමදේටම ඔහු ‘තමා මනුෂ්‍යයෙකු‘ වීම හා ඒ භාග්‍යයට ගෞරවණීය විය.


එස්.ජී. නිහඬව අපට ඉගැන්වූ කාරණා තුනක් තිබේ. එකක් නම් පිළිවෙත හෙවත් ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීම ය. එය ඔහු ජීවිතයට හා ජීවත්වීමට අවශ්‍ය ‘විනය’ ලෙස අවබෝධ කර ගෙන සිටියේය. අනෙක ‘මුඳුන් මුල’ රැක ගැනීම ය. කිසිම හේතුවක් නිසා හෝ කෙනෙකු අවබෝධයෙන් උරුම කර ගත් අනන්‍යතාව රැක ගෙන ස්වාධීනව කටයුතු කිරීම ඔහු ප්‍රායෝගිකව විදහා පෑවේ ය. තුන්වැන්න නිරවුල් මනසකින් ‘බුද්ධිමය පෝෂණය’ ලැබීමේ වැදගත්කමය. ඔහුගේ අලුත්ම කෘතිය වන ‘විද්‍යාත්මක චින්තනය සහ සමාජ නිර්මාණය’ එස්.ජී. ස්වකීය ජීවිත කාලය තුළ මනුෂ්‍යයෙකු ලෙස අකම්පිතව දෙපයින් නැඟී සිටින්නට අදාළ වූ පිළිවෙත් විෂයෙහි ඥානාලෝකය විදහා පෑමකි. එහි ඔහු ‘පිරිසිදුකම හා මනුෂ්‍යයා’ යන මැයෙන් ලියන මේ සටහන විශද කරන්නේ තමා සම්ප්‍රදාය හිසමත තබා නොගත්තේ වී නමුත් සම්ප්‍රදායෙන් ලද ආලෝකය යයි සිතමි.


‘සිත පිරිසිදු කරගත යුතුය යනු දහමෙහි ඉගැන්වෙයි. ගත පිරිසිදුව තබා ගැනීම කුඩා කාලයේ සිට අනිවාර්යයෙන් පුරුදු පුහුණු විය යුත්තකි. ගත පිරිසිදුව තබා ගැනීමෙන් සිත පිරිසිදුව තබා ගැනීම පහසුය. ගෙදර සමාජය යහපත් සබඳතා ඇතිව පවත්වා ගැනීමට පිරිසිදුකම අත්‍යවශ්‍ය ය. අනුන්ට සේවය කරන හා අනුන්ගෙන් සේවය ලබන සියලු දෙනා පිරිසිදුව සිටීම සමාජ පැවැත්ම ශක්තිමත් වීමට අනිවාර්යය. එසේ සිටීම අත්‍යවශ්‍ය වන්නේ අපගේ ක්‍රියාකාරිත්වය සමග ශරීරය වැඩෙමින් හා අභාවයට යමින් අපිරිසිදු වන හෙයිනි. ව්‍යවහාරය අනුව නව දොරකින් ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීමත්ය. මේ දෙකම සමබරව පැවතිය යුතුය. නිසි පෝෂණය පිරිසිදුව ලබාගැනීම මෙන්ම අප ද්‍රව්‍ය බැහැර කිරීම සමානව වැදගත්ය එකක් වැදගත්, අනික නොවැදගත් නැත. එහිදී උසස් හෝ පහත් සිදුවීම් නැත. අවශ්‍ය වන්නේ ඒ සෑම ඉන්ද්‍රියයක්ම ඉතා පිරිසිදුව හා නීරෝගීව තබා ගැනීම ය.” (විද්‍යාත්මක චින්තනය, 134 පිටුව)


මේ අදහස් දැක්වීම මා දකින්නේ ගුරුවරයෙකු ස්වකීය අත්දැකීම්වලින් ලබා දෙන ඥානයක් ලෙසිනි. මෙහි වැදි බණක් නැත. ස්වකීය ජීවිතය ශතකයකට ආසන්න කාලයක් තමා අනුදත් පිළිවෙත් මත පිහිටා ගත කොට ‘පිරිසිදුකම, ගත සිත දෙකම’ පිරිසිදුව තබාගෙන නීරෝගීව ජීවත්වීමෙන් ලබා දෙන ආදර්ශවත් ඉගැන්වීමක් ලෙසය මා මේ අදහස් හෙවත් ඉගැන්වීම දකින්නේ. මේ බව පවසන්නට එස්.ජී. හැර තව කෙනෙකු ජීවමානව සිටින්නේ දැයි මම මේ මාහැඟි පොත කියවූ දා සිට තවමත් කල්පනා කරමි.

තාරුණ්‍යය හා නවීනත්වය


එස්.ජී. සිරිතෙහි කැපී පෙනුණේ වියපත් ‘කයින් දුබල – මනසින් පසුගාමී’ මහලු සමාජයක අසුනකට බර නොවීම ය. විස්මය නම් වයසින් මුහුකුරා ගිය එස්.ජී.ට ‘තරුණ සමාජයක’ අසුන් ගන්නට පුළුවන් වීම ය. ඊට හේතුව ඔහු ‘නවීන සමාජයක්’ ගැන කල්පනා කිරීමය. ඔහු කල්පනා කළ නවීන සමාජය යනු ආගමික මතාන්තරවලින් වැසුණු එකක් හෝ මුල් ඉදිරුණු නිරුවත් පුරුෂාර්ථ හිසින් ගත් එකක හෝ නොවේ. ඔහු අපේක්ෂා කළ නවීන සමාජය තුළ මනුෂ්‍යත්වය – සමානාත්මතාව – යුක්තිය හා සාධාරණත්වය පැවතිය යුතුය. ඉතා ඈත පිටිසර ගමක් වෙත ගොස් නූගත් දිළිඳු ජනයාට ඇහුම්කන් දීමට – අවධානය යොමු කිරීමට හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තිබුණ ධෛර්යය හා උවමනාව නිසා එස්.ජී. අන්‍යයා වටහා ගන්නා ඔවුන්ගේ යහපත උදෙසා යමක් කළ යුතුය යන අධිෂ්ඨානයකින් මඬනා ලද්දෙකි. ඒ වෙනුවෙන් වැදගත් වූයේ මතවාදීව තාරුණ්‍යයකි. එස්.ජී.ට දහම ගැන හැඟීමක් තිබුණ ද ආගමික ඉගැන්වීම්වල නිසරුබව, අවිද්‍යාව බැහැර කර සිතන්නට පුළුවන් විය. ආගමකින් මනුෂ්‍යයාගේ ජීවන ලාලසාවන් හීන කිරීම ද එස්.ජී.ට අභිමත නොවීය. ඇතැම් ආගමික ඉගැන්වීමක් එස්.ජී. විභාග කරන්නේ යථාර්ථවාදීව ය. මේ සම්බන්ධයෙන් නිදසුනකින් යමක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.


‘…. බුද්ධාගමේ එක් අබුද්ධික ඉගැන්වීමක් නම් ‘පිළිකුල් භාවනාව’ ය. එනම් ශරීරයෙන් ඇට, සම්, මස් නහර ආදියත්, දහඩිය, සෙම්, සොටු, මල, මුත්‍ර ආදියත් නිසා මුළු හරීරයම පිළිකුල් කොට සිතීම ය. ලෝකයේ සියලු අප ද්‍රව්‍ය යළි ප්‍රතිචක්‍රියවී සතුන්, ගහකොළ ඇතුළුව මිනිසාගේ පෝෂණයට යෙදේ. එම අප ද්‍රව්‍ය නිකුත් වන ඉන්ද්‍රියයන් හෝ ශරීරය හෝ දෙතිස් කුණප ලෙස පහත්කොට සලකා පිළිකුල් කිරීම මෝඩ භාවනාවකි. අවශ්‍ය වන්නේ පූර්ණ පිරිසිදු භාවයයි.
මෙසේ ශරීරය පිළිකුල් කිරීම නිසා ශාරීරික ශ්‍රමය පහත්කොට සැලකීමට ද යොමු වනු ඇත. එය තම ශ්‍රමය අත්පා අගයකොට සැලකීමට බාධාවකි. පිරිසිදුකම දහමක් මෙන් පිළිපැදිය යුතු අතර තම ශරීරය, අවයව සහ ඉන්ද්‍රියයන් අඩුවැඩි නැති වටිනාකමකින් පවත්වාගත යුතු ය. මනුෂ්‍යයාගේ මොළය, ඇස, කන, හෘදය, අස්ථි, නහර ආදි සියල්ල ස්වභාව ධර්මයේ විස්මය ජනක විද්‍යානුකූල නිර්මාණ වේ. එයින් එකක් අනිකට වඩා උසස් හෝ පහත් ලෙස නොසැලකිය යුතුය. පහත්ය යි සැලකෙන මලපහ කිරීම අනිවාර්යයෙන් නිසිලෙස සිදු නොවුණොත්, උසස් යයි සැලකෙන සිතීම නිසි පරිදි නොසිදුවිය හැකිය. සිදුවිය යුත්තේ සියල්ල ඉටු කරන ශරීරය පිළිකුල් කිරීම නොව සියලු කාර්ය නිසි ලෙස කරන ශරීරයට කෘතඥවීම සඳහා නිර්බාධිතව නිසි පරිදි පවත්වා ගැනීමය.” (විද්‍යාත්මක චින්තනය, 135 පිටුව)
මේ අදහස් පළ කරන්නේ ශතකයකට ආසන්න දිවි පෙවතක් ගත කළ මනුෂ්‍යයෙකි. ඒ මනුෂ්‍යයා ජීවත් වන්නේ අංග සම්පූර්ණ ශරීරයක් උරුම තරුණයන් හා තරුණියන් ශරීරය නිසරුය යන අදහසින් සසුන් ගත වන රටක ය.


මනුෂ්‍යයෙක් මනුෂ්‍ය සමාජය වෙනුවෙන් යහපත් දේ කිරීමට නම් තම කය මනස දෙකම පිරිසිදුව තබා ගත යුතුය යන අදහස වියපත් පුද්ගලයෙකු පැවසීම සන්තුෂ්ටියට හේතුවක් නොවේ ද? ඒ බස පවසන්නට එස්.ජී. හැර තවත් අය විරල නම් ඉන් ගම්‍ය වන්නේ මනුෂ්‍යයන් ලෙස අපගේ දිවි පැවැත්ම විෂයෙහි ශෝචනීය තත්වයක් නොවේ ද?

භාෂණය සහ ලේඛනය


එස්.ජී. ද්විභාෂික උගතෙකි. ඔහුගේ උගත්කම -ඇසූ පිරූතැන් ඇති බව ඔහු තමන්ගේ කීර්තියට හෝ බැබළීමට භාවිත කරන්නේ හෝ අලෙවි කරන්නේ නැත. ඔහු තමන් සතු ශක්‍යතා භාවිතයට ගන්නේ මනුෂ්‍යත්වය උදෙසා ය. මනුෂ්‍ය සමාජයේ කවර අන්දමක හෝ අභිවෘද්ධිය උදෙසා ය. එබැවින් ලද දේකින් සැහීමට හැකි දිවි පෙවතකි ඔහු ගත කරන්නේ. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන ලංකාවේ කවර තැනකට හෝ ගොස් මනුෂ්‍යයන් දැනුවත් කිරීමට ඔහු සමත් ය. ‘හරි දුරනේ‘ – ‘ඔච්චර දුර යන්නෙ කොහොමද?‘ යනාදි ප්‍රශ්න ඔහු අසන්නේ නැත. අනෙක් වැදගත්ම කරුණ නම් එස්.ජී. භාෂණයේ බුහුටි බව හා ප්‍රියතාවයි. ඔහු පිළිසඳරක දී අන්‍යයාට ඇහුම් කන් දෙන්නේ උපරිම අවධානයෙනි. අවශ්‍යම තැනකදී වදනකින් යෙදුමකින් මැදිහත් වන්නේ සියුම් උත්ප්‍රාසයකින් සිය මතය පළ කරමිනි. වචන වැඩිය පරිහරණය නොකරන එස්.ජී. අඩු වචන ප්‍රමාණයකින් හැඟීම් රැසක් – අදහස් රැසක් කුළු ගන්වමින් පාඨකයාගේ කල්පනය විකසිත කරන්නට සමතෙකි. සභාවක් ආමන්ත්‍රණය කරන්නට තිබේ නම් ‘නිසි සූදානම’ සහ සවන් දෙන්නන්ගේ කාලයට නිසා සාධාරණයක් කිරීම – කිසිවිට ශ්‍රාවකයෙකුගේ බුද්ධියට නිගා නොකිරීම ඔහුගේ භාෂණ රීතියේ කැපී පෙනෙන ලක්ෂණයකි.
එස්.ජී. සිය භාෂා නෛපුණ්‍යය ස්වාධීනව ඔප මට්ටම් කර ගෙන සිටින්නෙකි. කුමාරතුංග රීතියට ඔහුගේ ප්‍රේමය අනල්පය. එහෙත් ඔහු භාෂණය හා ලේඛනය සන්නිවේදන අභිමතාර්ථ අනුව විවෘත අවකාශයකින් භාවිතයට ගනියි. භාෂා රීතියක ‘සිරවීම’ වෙනුවට ‘විවෘතවීම’ වැදගත් යයි සිතන ඔහු නිවැරදිව – නිරවුල්ව ලියන්නට තමන්ට අභිමත රීතියක් තනා ගනියි. ඔහු හැම විටම සම්ප්‍රදාය මත පිහිටන්නේ ‘වෙනස්වීම’ ගැන නිසි අවබෝධයකිනි. එනිසා ඔහු තම පරම්පරාවේ පමණක් නොව නූතන පරම්පරාවේ ද අවධානය දිනා සිටින කථිකයෙකි, ලේඛකයෙකි.


එස්.ජී.ගේ ලේඛන කාර්යය යනු එක්තරා අන්දමක ‘සාංඝික’ තත්වයක එකකි. විවිධ ආයතනවල සම්පත්දායකයෙකු ලෙස, ඒ ඒ අවශ්‍යතාව අනුව එස්.ජී. ලියා තිබෙන දේ එක් රැස් කළේ නම් ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කරන්නට තරම් ය. එහෙත් එස්.ජී. සිය නමින් පළ කර තිබෙන්නේ කෘති විසි පහක් පමණය. විවිධ ආයතන වෙනුවෙන් ලියා ඇති – සංස්කරණය කර ඇති – පරිවර්තනය කර ඇති – අනුවර්තනය කර ඇති විවිධ තත්වයේ කෘති කොපමණදැයි කියන්නට එස්.ජී. හෝ දන්නේ නැතැයි සිතමි. කවර අවශ්‍යතාවකට හෝ කවර වේලාවක හෝ යමක් ලියන්නට යයි එස්.ජී.ට පැවරුණහොත් එය පසුව – අසවල් දින ලියා දෙන බවට පොරොන්දු ඔහුගේ නැත. ලිවීම ඒ මොහොතේම ය. අවශ්‍ය අන්දමටය. ඊට හේතුව නිරවුල්ව සිතීමට හා සිතන දේ හොඳම අන්දමට ලියන්නට භාෂාව පරිහරණය කිරීමට ඔහු සතු පරිචය වන්නේය.

වින්දනය සහ චින්තනය


එස්.ජී. උසස් වින්දන ශක්තියකින් පොහොසත් කෙනෙකි. ඔහු පුවත් පතකට ලියන කුඩා තීරු ලිපියකින් වුව පළ වූයේ ඔහුගේ වින්දන ශක්තිය හා චින්තන ශක්තියයි. ඔහුගේ කතුවැකි සංග්‍රහයක් වන ‘කළුවර කැටයම’ තීරණාත්මක අවස්ථාවක – සියුම් හා සංකීර්ණ සමාජ දේශපාලනික සංස්කෘතික කරුණක් අරභයා ව්‍යක්තව විවේචනයක නිමග්න වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට සුදුසු අත් පොතක් වැන්න.


එස්.ජී. පාඨකයාගේ කල්පනය විකසිත කරන්නට යොදා ගන්නා උපක්‍රමය නම් ‘සිනා’ රසයයි. ඔහු කුළු ගන්වන සිනා රසය බාළ එකක් නොවේ. අවකැපෙන වචනවලින් මතු කරන අවිනීත බවකින් වියුක්ත එස්.ජී.ගේ ‘හාස්‍යයෝපක්‍රම’ පාඨක මනසෙහි විකසිත වන්නේ සෙමිනි. එයින් ඔහු උත්සුක වන්නේ පාඨකයාගේ කල්පනය පුබුදු කරන්නටය.


”අහේතුවට හේතුව” -”කතා ගෙත්තම” – ”නාඩි ඇල්ලීම” – ”මෙහෙවු රටේ” වැනි කෘති තුළ සංගෘහිත එස්.ජී. රචනා කියවන විට ඔහුගේ ඇසූ පිරූතැන් ඇති බව සේ ම, හාස්‍යය හා තර්කණය මිශ්‍ර කරගෙන ඔහු නිපදවාගෙන තියෙන රචනා විලාසය – භාෂා රීතිය භාෂාඥානය පමණක් නොව, සමාජ දේශපාලන – සංස්කෘතික විඥානය විෂයෙහි සිය පරිණතභාවය ද හොඳින් විද්‍යමාන වේ.


හැම විටම භාෂණයේ දී ශ්‍රාවකයා ග්‍රහණයට නතු කර ගන්නට එස්.ජී. කතාවක් උපමා කර ගනියි. ඔහුගේ කතා ගබඩාව හිස් නොවන්නකි. එස්.ජී. යමක් ලියන විට ද උපමා කතාවක් විෂය කර ගැනීම සිරිත ය. මේ, එස්.ජී නමැති ගුරුවරයාගේ භූමිකාවට අනන්‍ය ගුණයක් යයි සිතේ.


එස්.ජී. සාහිත්‍ය පරිවර්තනයේ දී විශද කරන්නේ පුදුමාකාර නිර්මාණශීලී බවකි. ඔහු කවර කතුවරයෙකුගේ නිර්මාණයක් පරිවර්තනය කළත් එහි එස්.ජී. සාමාන්‍යයෙන් ලියන නිර්මාණාත්මක රචනාවක උත්ප්‍රාසනීය ශෛලිය විද්‍යමාන වේ. ඔහු සිංහලයට නඟන ලද ‘මිනිසි අසිරිය’ නම් ඛලීල් ජිබ්රාන්ගේ නිර්මාණ සමුච්චය පුරාම තිබෙන්නේ එකක් එකකින් වෙනස් නොවන උත්ප්‍රාසනීය ගුණයයි. එහිදී මුල් රචනාව තුළ ගැබ්වුණ රස නුසුන් නොකොට – අරුත හා ගැඹුර ‘එස්ජීකරණය’ කොටගෙන ප්‍රතිනිර්මාණයක නිමග්න වීමට ඔහු සමත් වී දැයි සිතේ. මතු දැක්වෙන ජිබ්රාන්ගේ නිමැවුම එස්.ජී. ‘සිහින’ මැයෙන් අපට කියන සැටි ය.


‘මිනිසෙක් සිහිනයක් දිටි. ඔහු නින්දෙන් පිබිදුණු වහාම පේන කියන්නෙකු වෙත ගොස් තමා දුටු සිහිනයේ තේරුම පහදා දෙන මෙන් ඉල්ලීය.


පේනයා ඔහුට මෙසේ පැවැසීය.


ඔබ අවදියෙන් සිටිනා විට දකින සිහින මට කියන්න. එවිට මම ඒවා පහදා දෙන්නෙමි. හැබැයි ඔබට නින්දේදී පෙනෙන සිහින මගේ බුද්ධියෙහි වත් ඔබේ සංකල්පනා වෙහි වත් ඇති ඒවා නොවේ.’


ඉතා සියුම් උත්ප්‍රාසනීය රචනයක් ලෙස පාඨක මනසේ මේ කුඩා නිමැවුව විකසිත කිරීමට එස්.ජී. වගබලා ගනියි.


මේ තවත් නිදසුනකි. ‘දෙවියන් සෙවීම’ යනු එහි මැය වේ.


‘දෙණි බිමේ ගමන් කරමින් සිටි මිනිසුන් දෙදෙනෙකි. එකෙක් කඳු පාවුල දක්වමින් අනිකාට මෙසේ පැවැසී. ‘බලන්න අර අසපුව. එහි සිටින තවුසා දෙවියන් සෙවුම පිණිස ලොව සියලු දේ අත්හැර දැමුවෙකි.‘


අනෙකා කියන්නේ, ‘හුදෙකලාභාවය හා අසපුව අත් හරින තුරු ඔහුට දෙවියන් හමු නොවෙයි. අපේ ලෝකයට බැස අපේ සැප හා දුක බෙදා ගන්නා තුරුත් අප අපගේ මඟුලෙක දී වැලැපෙන්නන් සමඟ වැලපෙන තුරු හේ දෙවියන් නොදකී’


ඔහුගේ විවේචනයට ඉවසිල්ලෙන් පිළිතුරු දෙමින් අනිකා මෙසේ විමැසී.


‘මම ඔබ කියන්නක් ගැන එකඟ වෙමි. එහෙත් ඒ තවුසා යහපත් මිනිසෙකි යි මම සිතමි. මක් නිසා ද? අප අතරම සිටිමින් ව්‍යාජ යහපත් බවක් පෙන්වා ගෙන සිටින බොහෝ මිනිසුන්ට වඩා එක හොඳ මිනිසකු වත් අපෙන් වෙන් වීමෙන් අව්‍යාජත්වය පෙන්වීම වඩා හොඳ නේද?”
එස්.ජී.ට ප්‍රිය මෙබඳු නිමැවුම් රැසක් ඔහු මුද්‍රිතව පමණක් නොව වාචිකව ද ප්‍රදානය කර තිබේ. ඒ හැම නිමැවුමකම අන්තර්ගතව තිබෙන්නේ මිනිසාට දැනුම් එළි දල්වන නුවණාංකුර ය.

දේශපාලන කවියා


එස්.ජී. කවියට අතිශයින් ප්‍රිය වේ. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ‘දේශපාලනික’ කවියටයි. කවියක රසයට වඩා ගැඹුර ඔහු වැදගත් යයි සිතන සේ ය. ජන මාධ්‍ය ඔස්සේ සේම, ‘විවරණ’ සඟරාව ඔස්සේ ඔහු ජන ජීවිතයට අදාළ ගැටලු අනාවරණය කරන නිරූපණය කරන දේශපාලනික සාකච්ඡාවක නිමග්න විය. මේ නිසාදෝ එස්.ජී. දැඩි ඇල්මකින් කියවන්නට නැඹුරුව සිටින්නේ මානව ජීවිතයේ – මානව සංස්කෘතියේ අභිවෘද්ධියට කැපවුණ කවීන්ගේ කවි ය. එස්.ජී. පරිවර්තනයට තෝරා ගත් කවි ගැනත් සිය පරිවර්තන ව්‍යායමය ගැනත් මෙසේ පවසයි.


‘අතොරක් නැතිව අකුණු පහළ වේවා!


මක් නිසාද, අඳුරේ සිට දුෂ්ටකම්හි යෙදෙන සියලු බියකරු මුහුණු ඉන් මොහොතකට වත් දිස්වී පසක් වී යන හෙයිනි. මෙහි එන ගැදි වෙස් ගත් පැදි බුරුත්ත සමාජයේ අඳුර එළියට අදී. ඒ අතර එය එකම මානව දයා වාහිනියක් මෙන් අප ආත්මය වැළඳ ගනී. ඉක්බිතිව බුද්ධියේ ආලෝක ධාරාවක් මෙන් මතුවී මඟ පෙන්වයි. එහෙත් ඒ එවන් එළියක් වුවමනා අයට පමණි! බර්ටෝල් බ්‍රෙෂ්ට් ‘සිංහ රූපය‘ නම් කවි සිඟිත්තකින් මෙසේ පවසයි.


-දුෂ්ට මිනිසුන් එහි නිය පහුරු ගැන බියවෙති.


යහපත් මිනිස්සු එහි ප්‍රෞඪ අලංකාරය රස විඳිති.


මගේ කවි ගැනත් එයම වේවා!


මෙහි එන කවි විඳිය හැක්කේ එසේ එක් පසෙක සිටිමිනි. බ්‍රෙෂ්ට්ගේ පැතුම පාඨකයන්ට ද වේවා!”


එස්.ජී. ”අකුණු පහන” මැයෙන් පළ කරන පරිවර්තිත කාව්‍ය සංග්‍රහයෙහි බර්ටෝල් බ්‍රෙෂ්ට් ප්‍රමුඛව කවීන් තිහකට ආසන්න සංඛ්‍යාවකගේ නිර්මාණ හෙවත් ‘දේශපාලනික චින්තා’ සිංහලයට නඟා ඇත. මේ කවි කිසිවක ‘යල්පිනූ‘ ගතියක් නැත. බොහෝ කවි ‘අද දවස වෙනුවෙන් – අප වෙනුවෙන් – අප රටට අදාළව‘ ලියැවුණ ඒවා වැනි ය. මේ බ්‍රෙෂ්ට්ගේ කවකි.


දෙවියන් වහන්සේ
ගැඹුරු අගාධයන් හි
අඳුරු සෙවණැලි අතර
කුස ගින්නෙන් පෙළෙන්නෝ
මිය යමින් සිටිති.
දෙවියනි, ඔබ
මෙලොවට පාන් මැවූ සේක
එහෙත් ඔවුහු කුස ගින්නේ මිය යති
අපේ ඇසට නොපෙනී ඔබ
අභිෂේක ලබති
සදාකාලිකව වැඩ වෙසෙති
දීප්තිමත්ව බැබැළෙති. එහෙත් ඔබේම
ලෝක නිර්මාණය කොතරම් කුරිරු ද?
ඔබ සැබෑවටම නොසිටිතියි
සමහරු කියති
එය එසේ වුණා නම් කොතරම් හොඳ ද?
නමුත් එසේ නොසිටිත් නම්
මිනිසුන් මේ තරම් රැවටිල්ලෙන්
මුළා වන්නේ කවරකට ද?
මේ සදාතනික ‘දේශපාලනික අරුතක්‘ පවසන පැනයක් නොවේ ද?
මේ කවත් බ්‍රෙෂ්ට්ගේ ය.

දෙවියන්ට පැමිණිල්ලක්
යහපත් මිනිසුන්ට හොඳ ලෝකයක්
ලබා දීමට තමන් බැඳී සිටින බව
උඩ සිටින දෙවිවරුන්
කෑ ගසා නොකියන්නේ ඇයි?
එහෙම බැරි නම්, යහපත් මිනිසුන් සමඟ,
ඔවුන්ගේ කාල තුවක්කු සහ
යුද්ධ ටැංකි අතර හිඳ,
”ඉතින් ඉවසා සිටියා ඇති,
”වෙඩි තබනු”යි
අණ නොදෙන්නේ ඇයි?

තමන්ට දැනෙන්න ජීවත් වීම


මේ ඉර හඳ පායන ලොව තුළ විවිධාකර මිනිස්සු ඉපිද මියයති. අප රට තුළ ද එසේම ය. අප රටේ ඉපදී මිය යන බහුතරය මියැදෙන්නේ තමන් ගැන තෘප්තියෙන් ද? තමන්ට හෝ රටට හෝ පලක් නැති ජීවිත ගත කොට මිය යන්නන් නිසා නොවේ ද රටක් විනාශය කරා ගමන් කරන්නේ?


තවත් පැත්තකින් ඉපදී යෙහෙන් වැජඹෙන පුද්ගලයන් රට තුළ ඉපිද රටෙන්ම පෝෂණය වුණ මහා උගත්තු වෙති. ඔවුහු දැනුමෙන් සන්නද්ධ බවත් පැවසෙති. එහෙත් බලය රකිනු පිණිස වැල යන අතට මැස්ස ගසන්නෝ වෙති.


මිනිහෙක් ජීවත් විය යුත්තේ බුද්ධිමත්ව නම්, ඊට අදාළ වන්නේ අධ්‍යාපනය නම්, අද අපේ රටේ බුද්ධිමත්තු කියා පිරිසක් නොමැති ද? උගත්තු නම් සිටිති. එස්.ජී. ‘අකුණු පහන‘ තුළ පරිවර්තනය කරන ෆෙඩ්රික් එන්ගල්ස්ගේ ‘පොතේ දැනුම‘ මැයෙන් එන කව තුළින් උගතා සහ බුද්ධිමතා ගැන විවරණයක් කර තිබේ. ඒ කව මේ සටහන අවසන් කිරීමට උපුටා දක්වනු කැමැත්තෙමි.


තමන්ගේ ජීවිතය තමන්ට දැනෙන අන්දමට දීර්ඝ කාලයක් තිස්සේ ගත කළ මිනිසෙකුට මා රටට ණය නැති මිනිසෙකි යනුවෙන් උදානයක් හඬගා පවසා දිවි සැරිය නිම කළ හැකිය. තමන්ගේ ජීවිතය මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප කළ මිනිසෙකුව ‘තමන්ටත් දැනෙන‘ අන්දමට ජීවත් වුණ මනුෂ්‍යයෙකු නම් ඔහු මිය යන්නේ කායිකව පමණකි. එහි බොරුවක් නැත. එස්.ජී. ප්‍රකටව තමන් ජීවත්වුණ ජන සමාජයට කළ දේට වඩා අප්‍රකටව රටේ දිළිඳු ජනයා වෙනුවෙන් කළ දේ අගනේය. ඔහුට එය කළ හැකිවූයේ ජනහදවත් ගැහෙන රිද්මයට සංවේදී වූ බැවිනි. ඔහු පොතේ ගුරෙක් නොවීය. එබැවින් එස්.ජී. පරිවර්තනය කළ එන්ගලස්ගේ කව ඔහුටම උපහාරයක් වේවා!


පොතේ දැනුම
පොතින් කියවා
ගන බොල් කසළ කඳු ගණන්
හිස තුළ පුරවන තැනැත්තේ
සැබෑ බුද්ධිමතෙක් නොවේ.
ජීවිතේ අබිරහස
නමැති පොත ඔහුට නොවැටහෙන හෙයිනි
තෘණ විද්‍යාව පොතින් උගත්තහුට
තණ පත් පිබිදෙන හඬ සවනට නෑසේ
දන්නා තාක් සිප් සත දෙසා බෑව ද
ඔහු කියන දෙයින් ගැඹුරු සම්බුද්ධියක්
ඔබට නොලැබෙනු ඇත
ජීවිතය වටහා ගැන්මට
ජීවිතය දෙස ම බලනු මිස
රෑ පහන් වන තුරා
පොත් පිටු අතර මැරි මැරී ඉපදීම
කවර පලයක් එලවා ද?
තම හදවත ගැහෙන හඬ
වැරදියට වටහා ගෙන එය ගලවා
වීසි කරන අය බුද්ධිමත්තු ද?
ඔබේ සියලුම වදන් අතර
ඉතාම ගැඹුරු ඉතාම මිහිරි රස වන්නේ
මිනිසා ගැන
මිනිසාට දැනුම දෙන වදන් ය,


ස්වකීය ජීවිත කාලයම මිනිසා වෙනුවෙන් මිනිසාට දැනුම ලබා දෙන්නට කැපවුණ මිනිසෙකු වන එස්.ජී. කලාතුරකින් පහළ වන – කලාතුරකින් ඇසුරු කරන්නට ලැබෙන යහපත් මනුෂ්‍යයෙකි. ඔහු කැපවුණේ යහපත් සමාජයක් – රටක් වෙනුවෙනි.


ඔබ කළ මෙහෙය අගනේය. ඔබ මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ දෑ අගනේය.
ඉතින් චිරං ජයතු එස්.ජී.!■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි