No menu items!
21.8 C
Sri Lanka
20 September,2024

තිත් ඥත් හාන් ජීවිත කතාව
දිදුලන දිවියක්

Must read

■ කුඩගම්මන සීලරතන හිමි

සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග්‍රන්ථ රචනා කරමින්, ගුරුවරයෙකු වශයෙන් මහඟු මෙහෙයක් කළ ගෝලීය ආධ්‍යාත්මික නායක සෙන් ඇදුරුවරයෙකු වූ ඥත් හාන් හිමිපාණන්, කවියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකි. මෘදු ගුණැති, නිහතමානී සමාජ ක්‍රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං උන්වහන්සේ 1967 දී නොබෙල් සාම සම්මානයට නාම යෝජනා කරමින් හැඳින්වූයේ; ‘සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා’ නමිනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, Courage of Conscience සම්මානය ප්‍රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු වූ උන්වහන්සේ, 21වන සියවස සඳහා ‘සමාජය හා සබැඳි බුදු දහම’ හඳුන්වා දුන්හ.

මුල් අවුරුදු


මධ්‍ය වියට්නාමයේ දී 1926 උපත ලද උන්වහන්සේ, රට මැද පිහිටි හ්‍යු නගරයේ, හ්‍යු ආරාමයට පැමිණ සාමණේර නමක් වශයෙන් පැවිදි වන්නේ වයස අවුරුදු 16 දී ය. 1950 දශකයේ මුල තරුණ භික්ෂුවක වශයෙන් උන්වහන්සේ වියට්නාම් බුදුදහම නවීකරණය සඳහා සක්‍රිය ව සහභාගි වූහ. සයිගොන් සරසවියේ සාමාන්‍ය විෂයයන් හදාළ මුල් ම භික්ෂූන් වහන්සේ වන උන්වහන්සේ, මුලින් ම බයිසිකල් පැදීමට ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලා හයනමෙන් එක් නමකි.

වියට්නාම් යුද සමයේ සමාජ කටයුතු


යුද්ධය වියට්නාමයට ආ කාලයේ, භික්ෂු භික්ෂුණීන් වහන්සේලා භාවනානුයෝගී ව ආරාමයන්හි වැඩ වෙසෙන්නේ ද, නැතහොත්, බෝම්බ ප්‍රහාරයන්ට සහ යුද්ධයේ කලිකලහයට මැදිවූවන්ට සහායට කැපවන්නේ ද යන ගැටලුවට මුහුණ පෑහ.


ඥත් හාන් තෙරුන් වහන්සේ ඒ දෙක ම තෝරා ගත් ස්වල්ප දෙනාගෙන් එක් නමකි. උන්වහන්සේ විසින් රචිත “ගිනිගත් සයුරක පිපුන පියුම” නම් පොතෙහි මුල්වරට සඳහන් කෙරෙමින් සමාජය හා සබැඳි බෞද්ධාගමික සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ එසමයෙහි ය. එතැන් පටන් උන්වහන්සේගේ ජීවිතය කැප කෙරුණේ, සමාජීය මානව මානවිකාවන්ගේ ආධ්‍යාත්මික විපර්යාසයක් ඇති කරවීම සඳහා ය.


1961 දී, ඥත් හාන් හිමියෝ එක්සත් ජනපදයට පැමිණයහ. ඒ ප්‍රින්ස්ටන් දේවධර්ම විද්‍යායතනයෙහි තුලනාත්මක ආගම් අධ්‍යයනයට ලැබුණ ශිෂ්‍යත්වයක් මගිනි. එතැනින් උන්වහන්සේ කොළොම්බියා සරසවියේ බුදුදහම පිළිබඳ පර්යේෂණාත්මක හැදෑරීම් සඳහා සහායක ඇදුරුවරයෙකු ලෙස ක්‍රියා කළහ. 1960 දශකයේ මුල් කාලයේ දී උන්වහන්සේ තරුණයන් සඳහා වියට්නාමයේ පාසලක් ඇරඹූහ. දස දහසක් ස්වේච්ඡා සේවකයන්ගෙන් සැදුම්ලත් එය, අවිහිංසාව සහ දයාවන්ත කටයුතු යන බෞද්ධ පරමාදර්ශයන් පදනම් කරගත් බිම් මට්ටමේ පුනර්ජීවනයක් ඇති කරවීමට කැපවුණ සංවිධානයකි.


වියත් ගුරුවරයෙකු මෙන් ම, 1960 ගණන්වල සමාජයෙහි සක්‍රිය ක්‍රියාධරයෙකු වූ ඥත් හාන් හාමුදුරුවෝ සයිගොන් නගරයේ Van Hanh බෞද්ධ සරසවිය, La Boi ප්‍රකාශන මන්දිරය සහ සාම ක්‍රියාකාරකම් සඳහා බලපෑම් එල්ල කළ හැකි තරමේ ශක්තිමත් සඟරාවක් ඇරඹී ය. ඒ සමග ම බුදුදහමේ ඉගැන්වෙන බෝධිසත්ව පිළිවෙත් පදනම් කරගත් මේ නව බෞද්ධ සම්ප්‍රදාය ස්ථාපනය කරන ලද්දේ ද 1966 දී ය.

මව්බිමෙන් නෙරපීම


ඉන් මාස කිහිපයකට පසු ව උන්වහන්සේ නැවත වරක් එක්සත් ජනපදයෙහි සහ යුරෝපයේ සංචාරයකට පිටත් වූහ. එහි අරමුණ, වියට්නාම් වැසියන්ට කෙරුණ හිරිහැර නවත්වා සාමය ඇතිකරවීම සදහා ලෝක බලවතුන්ගේ සහාය ලබා ගැනීම ය. උන්වහන්සේට ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කනිටු) හමු වන්නේ, 1966 දී යෙදුණ මෙම ගමනෙහි දී ය. ඒ දැනහැඳුනුම්කම 1967 දී උන්වහන්සේගේ නම නොබෙල් සාම සම්මානය සඳහා යෝජනා කෙරෙන තැනට පත්විය. එහෙත්, 1967 වසරේ නොබෙල් සාම සම්මානය නොපිළිගැන්විණ. මාර්ටින් ලූතර් කිං සහ ඥත් හාන් හිමියන් අතර ඇති වූ සබඳතාවේ ප්‍රතිඵලය වූයේ ඥත් හාන් හිමියන් උතුරු සහ දකුණු වියට්නාම් යන වියට්නාමයේ ප්‍රධාන බිම් ප්‍රදේශ දෙකෙන් ම ප්‍රතික්ෂේප වීම ය. එය අවසන් වූයේ 39 වසරකට පසුව ය.


ඉන්පසු ව, සාමයේ සහ සහෝදරත්වයේ පණිවිඩය පතුරුවා හරිමින් ලොව සිසාරා සංචාරය කළ ඥත් හාන් හාමුදුරුවෝ වියට්නාම් යුද්ධය අවසන් කිරීමට බටහිර නායකයන්ට බලපෑම් කරමින්, 1969 පැරිස් සාම සාකච්ඡාවට සහභාගි වූ බෞද්ධ නියෝජිතයන් මෙහෙයවූහ.

ප්‍රංශයේ Plum Village ගොඩනැගීම


සතිමත් බව සහ සාමයෙන් ජීවත්වීම පිළිබඳ කලාව ඉගැන්වීම, දේශන සහ ලිවීම දිගටම කරගෙන ගිය උන්වහන්සේ, 1970 ගණන්වල මුල් භාගයේදී පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ බුදුදහම පිළිබඳ කථිකාචාර්යවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙස පත්වූහ. 1975 දී ඔහු පැරිස් අසල ‘බතල ප්‍රජාව’ පිහිටුවා ගත් අතර, 1982 දී ප්‍රංශයේ නිරිත දිග ප්‍රදේශයේ විශාල ප්‍රදේශයකට සංක්‍රමණය වූ අතර එය ඉක්මනින්ම Plum Village ලෙස හැඳින්විය.
ඥත් හාන් හිමියන්ගේ ආධ්‍යාත්මික මග පෙන්වීම යටතේ පිටිසරබද කුඩා ගොවිපළක් ලෙස ඇරඹුණ Plum Village අද බටහිර ලෝකයේ විශාලතම බෞද්ධ ආරාමයයි. එහි 200ක පමණ පැවිදි පිරිසක් වැඩ සිටින අතර වසරකට දසදහසක පමණ පිරිසක් ආගමික වැඩ සටහන්වලට සහභාගි වන බව කියවේ. ලොව නන් දෙසින් පැමිණෙන මේ අය, සතිමත් ජීවන රටාව මෙහි දී පුහුණු වෙති.


කවර වයසක වුව ද පිරිස් පිළිගන්නා Plum Village වැඩසටහන්වල දී ඔවුන්ගේ සමාජ/ සංස්කෘතික පසුබිම, ආගමික විශ්වාසයන් පිළිබඳ තැකීමක් නොකෙරෙන අතර, ඔවුනට, සක්මන් භාවනා, වාඩි වී භාවනා කිරීම, සතිමත් අනුභවය, මුළුමනින් ම සංසිඳීම, වැඩ කිරීමේ දී, නැවතී සිටීමේ දී, සිනාසීමේ දී සහ හුස්ම ගැනීමේ දී ද සතිමත් බව පවත්වා ගැනීම පුහුණු වීමට ලැබෙයි. ඥත් හාන් හිමියන් මේවා උකහා ගෙන සංවර්ධනය කර කාලීන දුෂ්කරතා සහ අභියෝගයන් හමුවේ බලසම්පන්න ලෙස භාවිතයට ගන්නේ පෞරාණික බෞද්ධ ඉගැන්වීම් අනුසාරයෙනි.


ඥත් හාන් හිමියන් නවීකරණය කළ මේ ගෝලීය සදාචාරාත්මක මග පෙන්වීම හැඳින්වෙන්නේ “සතිමත් බව පුහුණු වන පස්විධ ආකාරයන්” වශයෙනි. මේ වන විට, ඒ සඳහා කැපවී සිටින ලෝක සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව කියවේ.


ඥත් හාන් හාමුදුරුවෝ කලාකරුවෙක් ද වෙති. උන්වහන්සේට ම අනන්‍ය වූ කෙටි කාව්‍යමය ප්‍රකාශ, කෙටි වගන්ති සහ වචනවල ගැබ්වන්නේ උන්වහන්සේ අවධාරණය කරන සතිමත් බව පිළිබඳ පාඩම් ය. මේවා 2010 වසරේ දී හොංකොං, තායිවාන්, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල ද නිව්යෝර්ක් නගරයේ ද ප්‍රදර්ශනය කරවී ය.


පසුගිය දශක දෙකෙහි ඥත් හාන් හාමුදුරුවෝ උතුරු ඇමරිකාවේ කැලිෆෝර්නියා, මිසිසිපි සහ නිව් යෝර්ක් යන ප්‍රාන්තවලත්, වියට්නාමය, පැරිසිය, හොංකොං, තායිලන්තය, ඔස්ටේ්‍රලියාව සහ යුරෝපයේ ජර්මනියෙහි ද මුල් ම ‘සමාජය හා සබැඳි බුදුදහම’ ආයතනයන් ආරම්භ කළහ.
Plum Village සම්ප්‍රදාය අනුගමනය කරන සතිමත් බව පුහුණුවීමේ මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට, ගුරුවරුන්ට, පවුල්වලට, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට,

මනෝචිකිත්සකයන්ට, දේශපාලනඥයන්ට සහ තරුණයන්ට මෙන් ම යුද භටයන්ට ද ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන්ට ද විශේෂ භාවනා සැසි සංවිධානය කරයි. වාර්ෂික ව, Plum Village ශ්‍රාවක ශාවිකාවන් මගින් ලොවපුරා භාවනා පුහුණුව ලබන පිරිස 75000ක් පමණ වේ යයි කියැවේ.


මෑත වසරවල ඥත් හාන් හාමුදුරුවෝ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ඉන්දියාවේ සහ තායිලන්තයේ ද පාර්ලිමේන්තු සභිකයන්ට භාවනා සැසි පැවැත්වූහ. මෙල්බෝර්න් නුවර ලෝක ආගම් පාර්ලිමේන්තුව ඇමතූ උන්වහන්සේ, ප්‍රංශයේ යුනෙස්කෝව අමතමින්, ප්‍රචණ්ඩකාරී අවස්ථාවන්, යුද්ධය සහ ගෝලීය උණුසුම ඉහළයාම, ආපසු පෙළගැසුණ චක්‍රානුකූල මාර්ගය ඔස්සේ ම සුවිශේෂ පියවර අනුගමනය කරමින් අවිහිංසාව කරා කරකවා යවන ආකාරයත් ඉගැන්වූහ. 2013 වසරේ, එක්සත් ජනපද සංචාරයේ දී, ඉහළ මට්ටමේ සතිමත් බව පුහුණුවීමේ සැසියක් ද ගූගල්, ලෝක බැංකුව සහ හාර්වර්ඩ් වෛද්‍ය විද්‍යාලය යන ආයතනයන්හි දී උන්වහන්සේ මෙහෙයවූහ.


2014 නොවැම්බර් මස 11දින, සිය 88 වන ජන්ම දිනයට මසකට පසුව දරුණු සෞඛ්‍යමය බිඳ වැටීමකට මුහුණ පෑ උන්වහන්සේ මාස කිහිපයක් ම ගිලන් ව ගත කළහ. එහිදී මොළයේ ලේ කැටියක් හිරවීම නිසා දරුණු ලෙස රෝගාතුර වූහ. එයින් උන්වහන්සේට කතා කරගත නොහැකි වී ගොස්, සිරුරේ දකුණුපස අංසබාග තත්වයක් ඇති වුව ද, උන්වහන්සේ සාමකාමී ව, සන්සුන් ව, ධෛර්ය සම්පන්නව පිරිස ඉදිරියෙහි තැන්පත් ව හිඳිමින් ලෝකයාට දහම් මග පහදා දුන්හ.


2018 නොවැම්බරයේ දී, ඥත් හාන් හාමුදුරුවෝ 16 වන වියේ දී පැවිදි වී සිය ගුරු හිමියන් සමග වැඩ විසූ වියට්නාමයේ හ්‍යු ආරාමයට වැඩම කර ජීවිතයේ ඉතිරි කාලය එහි වැඩ සිටින්නට කැමැත්ත පළ කළහ. සිය රෝද පුටුවෙන් දිනපතා බුදුමැදුරට වැඩම කළ උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පෞරාණික චෛත්‍ය සහ පොකුණු වටා සක්මන් භාවනාවෙහි යෙදවූහ.


උන්වහන්සේ ආපසු හ්‍යු ආරාමය වෙත වැඩම කරවීම, ගැඹුරට මුල්බැස ගත් ආධ්‍යාත්මික පෙළපතකට අයත් වීම කොතරම් අගනේ ද යන්න කාටත් සිහිපත් කරවන සතිමත් බවේ සීනුවක් මෙන් විය. උන්වහන්සේ දිවි ගමන නිම කළ මේ මොහොත අපට අගනා ගුරුවරයෙකු අහිමි වී යයි හැඟෙන මුත්, උන්වහන්සේගේ පොතක් කියවා හෝ කතාවකට සවන් දී, එම ඉගැන්වීම්වල ස්පර්ශය ලබමින් කවරෙකුට වුව ද ප්‍රඥාවේ සහ දයාවේ පාරම්පරික ප්‍රවාහයට සම්බන්ධ වී සිටීමට බාධාවක් නොමැත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි