27.6 C
Sri Lanka
28 September,2022

මිනීමස් කන ගෝත්‍රිකයන්
ජීවත්වන රතුකඳු

Must read

■ සංජීවනී රූපසිංහ

එදා මාගේ රියැදුරා වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහුට ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකිවිය. ඔහු මටත් වඩා උනන්දුවෙන් මට ඉන්දියාව පෙන්වමින් හිටියේය. ඔහු එදා මට කීවේ තවමත් මිනිසුන් මරා කන ගෝත්‍රිකයින් පිරිසක් රෙඩ් හිල්ස් ආශ්‍රිත දූපත්වල වාසය කරන බවයි. එහි කිසිවෙකු නොයන බවත් ගිය සතියේත් එහි ගිය පෙම් යුවළක් කපා මරා දමා ඇති බවත් මගේ රියැදුරා පැවසීය. මට එහි යාමේ සහ ඔවුන් දැැක බලා ගැනීමේ මහත් ආශාවක් ඇති විය. ඒ බව රියැදුරාට කී විට ඔහු ඔළුවේ අත ගසා ගත්තේය.


“ඒක නම් හිතන්නවත් එපා මැඩම්. ඒ පැත්තට ජීවිත ආසාව තියෙන කවුරුත් යන්නේ නැහැ” ඔහු කීය.


එහෙත් මට යන්නම ඕනෑය. මට ඔවුන් දකින්නට ඕනෑය.


මම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මිතුරෙකුට කතා කර මගේ අවශ්‍යතාව කීවෙමි. ඔහුට ඒ පළාතේ සෑහෙන සම්බන්ධතා පැවතුණි. පොලීසියේ දන්නා කියන ලොක්කන් සිටින මිතුරෙකි. ඇතැම් ගමන් සඳහා මට පොලිස් වාහන සැපයුවේත් ඔහුය.


“ඒක ටිකක් රිස්කි”


“මට යන්නම ඕනෑ. ඔයා එන්න මා එක්ක යන්න”


“මම ටිකක් හොයලා කියන්නම්. පොලීසියේ යාළුවෙකුටත් කියලා” ඔහු කීය.
“මට යන්නම ඕනෑ” මම යළිත් කීවෙමි.


මඳ වේලාවකින් ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.


“හරි. මම එන්නම්. එහෙ කෙනෙක් සෙට් කර ගත්තා. දූපත් කිහිපයකට ගිහින් අපි ඉක්මනට එමු පොලීසියේ එක්කෙනෙකුත් එක්ක. වැඩිය ඇවිදින්න බැහැ”


මගේ රියැදුරා මේ ගමන යාමට අකමැත්ත පළ කළ නිසා මගේ මිතුරා තවත් මිතුරෙකුත් සමඟ පැමිණ තිබූ වාහනයෙන් අපි රෙඩ් හිල් බලා ගමන් ඇරඹුවෙමු. මිතුරාගේ මිතුරා පැමිණ සිටියේ පොලිස් යුනිෆෝම් එකෙන් වීම නිසා ආරක්ෂාව පිළිබඳ යම්කිසි සහනයක් මසිත ඇති විය.


එය අතිශය සුන්දර කලපුවලින් සමන්විත තෙරක් නොපෙනෙන භූමියකි. හිම වැටුණාක් මෙන් සුදු පැහැතිය. වැල්ල ද සුදුය. ඇතැම් විට ලුණු තැන්පත් වීම නිසා හෝ කලෙකදී ලුණු මිදවීම නිසා මෙසේ සිදුවන්නට ඇතැයි මම අනුමාන කළෙමි. මන්ද මෙම මුහුදු තීරයේ මා දිගින් දිගටම දුටු දෙයක් නම් විශාල වශයෙන් පැවති ලුණු කර්මාන්තයයි. නොගැඹුරු විශාල තටාකවල ලුණු මිදවීම කිලෝමීටර් ගණන් එක දිගට සිදුවනු දක්නට ලැබිණි.


හැම තැනම ධීවර බෝට්ටුය. හෙලුකොට්ටෙන් දුව ඇවිදින දරුවෝය. ඇතැමෙකුට කලිසම් කොටයක් ඇත. තවෙකෙකුගේ කලිසම් කොටය ඉරී කෑලි එල්ලෙයි. එක් පසෙක තැන තැන කටු පඳුරුය. එක දිගට වැවුණු තල් ගස් පේළි පසුකර අපි ගියෙමු. තල් ගස් පේළි අතර සුන්දර දිය අගල්ය. ඒවායේ කුඩා පෙතිවන් ලා කොළ පැහැති කොළ සහිත ජලජ ශාක පාවේ.
මගේ මිතුරා කලින් කතා කර ගත් මැදිවියේ පුද්ගලයෙක් අපේ ජීප් එක වෙත දිව ආවේය.
මාගේ මිතුරාද ඔහුගේ මිතුරාද ජීප් රථයෙන් බැස දෙමළෙන් මොන මොනවදෝ කතා කරති. මැදි වියේ මිනිසා අසන සියල්ලට පුළුවන් කියන්නාක් සේ මට හැඟේ. අපේ පොලිස්කාරයාට ඔහු දෙකට නැමෙමින් එකඟතාව පළ කරයි. ඒ අතර ජීප් එක වටේට හෙලු දරුවෝ රොක් වෙන්නට වූහ. මම මගේ මිතුරන්ගේ ආරාධනයෙන් තොරව ජීප් රථයෙන් බිමට බැස අර දරුවන්ගේ ඡායාරූප ගතිමි. ඔවුහු ඒවා පෙන්වන්න යැයි ඔවුන්ගේ භාෂාවෙන් කියන්නට වූහ. එය වටහා ගත් මම කැමරාව අනෙක් පස හරවා ඔවුන්ට එම ඡායාරූප පෙන්වන්නට හැදුවා පමණි. මගේ මිතුරා යක්ෂාවේශ වී කෑගැසුවේය.


“කව්ද ඔයාට බහින්න කිව්වේ?”


ඔහු වහා පැමිණ මා ජීප් රථයට තල්ලු කර දමා දොර වැසුවේය. ඔහු ඉස්සරහින් වාඩි වී යළිත් මට බනින්නට විය.


“ඔයා නිකං වෙස්ටන් ෆිල්ම්වල දකින ඒවා කරන්න යන්න එපා. ඔය කැමරාව ඇදන් දිව්වා නම් අපිට උන් පස්සේ දුවන්න වෙනවා ඕක ගන්න. ඒ තැනකදී අපි මැරුම් කන්නත් තිබ්බා.

පොලීසිය කියලා නෑ මරනවා. පොලීසියත් එකක් මුං හරි තරහයි. අපි දෙන්නා මැරුවාට පස්සේ ඔයාව මරන්නේ රේප් කරලා. මෝඩ වැඩ කරන්න එපා.”


මගේ ගොංකම ගැන සමාව ඉල්ලන්නට නොගොස් කට පියාගෙන සිටියෙමි. එහෙත් ඔය කියන කිසිවක් වන්නේ නැතැයි මසිත කියයි. ඒ අහිංසක දරුවන්ගේ ඡායාරූප ඔවුන්ට පෙන්වූවාට ඇති වරද කුමක්ද? ඒවා කියන්නට යන්නට මෙය වෙලාව නොවේ. තවත් බැනුම් අහ ගන්නට සිදු වනු ඒකාන්තය. මගේ හිතුවක්කාර ගමන්වලට මොහු ආ එකම මදිද යැයි මම සිතුවෙමි.
ජීප් එක බලා ගන්නට අර මැදිවයසේ මිනිසා පෙන්වූ පිරිසකට බාර දුන් මගේ මිතුරන් මා ද ඉස්සර කර ගෙන ඉතා පටු මාවත් ඔස්සේ යයි. කෙමෙන් අපි ගං ඉවුරකට ළඟා වීමු. එය ගං ඉවුරකට වඩා රැලි නොනගින නිශ්චල ජලය සහිත කලපුවකට සමානය. අවට අති සුන්දරය. මැදිවියේ මිනිසා කියන දේවල් මගේ මිතුරා පරිවර්තනය කරන්නට විය. මෙහි දූපත් තුන්සියයක් පමණ ඇතැයි ඔහු කියයි. මගේ මිතුරා දූරකථනය සාක්කුවෙන් ගෙන ගූගල් මැප් දමා ඉන්දියාවේ බටහිර වෙරළේ ඇති මෙම අති විශාල ප්‍රමාණයක් වූ කුඩා කුඩා දූපත් මට පෙන්වන්නට විය. මේ සියල්ලටම යන්නට මගේ හිත ආසා කරයි. කියන්න ගොස් බැනුම් අසන්නට වනු ඇත.


මේ දූපත්වල ඉරුලා නම් ගෝත්‍රික ජනතාවක් වාසය කරති. අප පැමිණෙන විට මේ අවට දුටු සියලු දෙනා ඉතා කළුය. එය විශ්වාස නොකළ හැකි කළුවකි. මට මතක් වෙන්නේ ආර්යාවතරණයෙදී සිටින්නට ඇත්තේද මෙවැනි ජන වර්ගයක් විය යුතු බවයි. කෘෂ්ණ ජාතීන් යැයි නම් ලද්දේ ඔවුන් විය හැකිය. මොවුන් පහළට පහළට පැමිණ තමිල්නාඩුවේ නතර විණි ද? එතැනිනුත් පහළට යන්න තැනක් නැත. ඇත්තේ මුහුදෙන් එතෙර වන ලංකාව පමණි.
“ඉරුල කියන්නේ දෙමළෙන් සහ මලයාලම් භාෂාවලින් කළු කියන එකට” මගේ මිතුරා පැහැදිලි කරයි.


“ඔවුන් කතා කරන්නේ කුමන භාෂාවද?”


මම ඇසුවෙමි.


“ඉරුල භාෂාව. ඒක දෙමළට ටිකක් සමානයි”


අපි ඔරුවක නැගුණෙමු. දැන් මැදි වියේ මිනිසා එය හබල් ගායි. ක්‍රමයෙන් අප පැමිණි ගොඩබිම දුරින් දුර යයි. දුරින් දුර ගොස් නොපෙනී යයි. නිශ්චල ජලය පීරා අපි ගමන් කරමු. ජල තලය පීරා ඔරුව ඇදෙන හඬ පමණි. වෙනත් හඬක් නැත. මගේ මිතුරා අවට දර්ශන වීඩියෝ කරයි.
“මං කොච්චර කල් මෙහෙ හිටියත් මේ දූපත් බලන්න කවදාවත් ගිහින් නෑ”


ඔහු කියයි.


ඈත දූපතක් පෙනෙන්නට වෙයි. දැන් ඉතිං ඉරුලාවන් දැක ගැනීමේ ආශාවෙන් මම දෑස් දල්වා හිඳිමි. බියක අංශුමාත්‍රයක් නොදැනේ. අපි එහි ගොඩ බැස්සෙමු. මිනිස් පහසක් කවදාවත් නොලද දූපත්ය. කිලිටි යැයි කිසිවක් එහි නැත. සුන්දර පිරිසිදු වෙරළකි. හෙමින් රළ ගසයි. ඈතට ඈතට දූපතේ අපි ඇවිද යමු. කිසිවෙක් පෙනෙන තෙක් මානයේ නැත. ගිනි මැල ගැසූ ස්ථානයක් පසුවිය. එනම් කිසිවෙක් මෙහි පැමිණ ඇති බවට සාක්ෂියකි. කටු පඳුරු බිම්තඹුරු වැල් ගහනය. සුදු වැල්ල දිගට අපි ඇවිද යමු. කොයි මොහොතක හෝ ඉරුලාවන් මුණ ගැසෙනු ඇත. ඔවුන් භයානක ආයුධ අත දරන්නන් බව මගේ මිතුරා යළිත් කියයි. ඒවායින් අප මරා ආහාරයට ගනීද? මේ කාලයේ එහෙම ජනතාවක් සිටිය නොහැකි යැයි මසිත කියයි. අනෙක් අතට අහිංසකම මිනිසුන් කණ්ඩායමකට මොවුන් මෙසේ කියනවාදැයි කව්ද දන්නේ? ■ (ලබන සතියට)

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි