No menu items!
21.7 C
Sri Lanka
20 September,2024

යුක්‍රේන කාල බෝම්බය

Must read

■ නිසංසලා දිසානායක

එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර එවමින් සිටියි.
නැගෙනහිර යුරෝපයේ නේටෝ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් එක්සත් ජනපදය ජර්මනිය, රුමේනියාව හා පෝලන්තය යන රටවලට හමුදාවන් යවමින් සිටියි. නේටෝ සාමාජිකයෙකු නොවන යුක්‍රේනයට හමුදා නොයවන බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි උදක්ම පවසා සිටියි.


යුක්‍රේන රුසියා දේශ සීමාවේ හමුදා පෙළගස්වමින් සිටින ආකාරය නිසා රුසියාව යුක්‍රේනයට දැවැන්ත ආක්‍රමණයක් සිදු කරන්නට යන්නේ යැයි එක්සත් ජනපදය හා යුරෝපය තැති ගැනී සිටියද, රුසියාව එය ප්‍රතික්ෂේප කරන නමුත්, නේටෝහි සාමාජිකත්වය ලබාගැනීමට යුක්‍රේනය දරන වෑයමට දැඩි විරෝධයක් දක්වයි.


ඒ අතරම එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන්, අතීත සෝවියට් සංගමයට අයත්ව පැවති රටවලට ආරක්ෂාව සැපයීම මුවාවෙන් හමුදා ස්ථානගත කිරීම නැවතීමට ආරක්ෂක සහතිකයක් රුසියාව බලාපොරොත්තු වේ.


තිබෙන බලය වැඩි කරගැනීමටත්, නැති බලයක් ඇති කරගැනීමටත් රුසියාව හා ඇමරිකාව වැනි ලෝක බලවතුන් දරන වෑයම නිසා යුක්‍රේනය කාල බෝම්බයක් බවට පත්වී හමාරය.
රුසියානු ආක්‍රමණයකින් සිය රට සහ පවුල ආරක්ෂා කරගැනීම සඳහා පියවර ගන්නා බව කියූ මැදි වියේ යුක්‍රේන ජාතිකයෙකුගේ වීඩියෝවක් ළැව්ගින්නක් මෙන් ටික් ටොක් සමාජ මාධ්‍යයේ පැතිර ගියේ පසුගිය දිනකය.


“මම තුවක්කුවක් අරගෙන සටනට යනවා. මම පොළවේ රස බලන්න සුදානම්.” රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් එසේ පැවසූ ඔහු සිය පවුලේ සාමාජිකයන් ගිම්හාන නිවස්නය වෙත ගෙන ගොස් දමා කාර්කිව් නගරයට පැමිණ ආයුධ අතට ගන්නා සැලැස්ම පිළිබඳව විස්තර කළේය.


යුක්‍රේන – රුසියා දේශ සීමාවේ සිට පැයකට අඩු කාලයකින් ළඟා විය හැකි දුරක පිහිටා තිබෙන බැවින්ද, රුසියානු භට කණ්ඩායම් දහස් ගණනක් දැනටමත් දේශ සීමාවේ රැඳී සිටීම හේතුවෙන්ද, රුසියානු බස කතා කරන බහුතරයක් වෙසෙන කාර්කිව් නගරයට පැහැදිලි තර්ජනයක් පවතී. ඒ පිළිබඳව විශේෂඥයන් මෙන්ම යුක්‍රේන ජනපති වොලාදිමිර් සෙලෙන්ස්කිද අනතුරු අඟවා තිබේ.


ඊට දින කිහිපයකට පෙර යුක්‍රේන ජනපතිවරයා අත්‍යවශ්‍ය භාණ්ඩ එකතු කිරීමට වෙහෙස නොවී, සන්සුන්ව සිටින්නැයි ජනතාවට කියා සිටියේය. එහෙත් සිදුවෙන්නට යන අර්බුදය ගැන කල් තියා දුරදිග කල්පනා කරන ජනතාව ආහාර, ජලය, ඇඳුම් මෙන්ම ඉන්ධනද ගබඩා කරගැනීමට පෙළඹී තිබෙන්නේ තත්ත්වය දරුණු අතට හැරුණහොත් ඊට සූදානමක් වශයෙනි.
යුක්‍රේනයේ නැගෙනහිර කොටසේ ජීවත්වෙන ජනයාට හිස්වූ සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන හිඟය හොඳින් හුරුපුරුදුය. රුසියාවේ උපකාර ලබාගන්නා බෙදුම්වාදීහු පසුගිය වසර 8 පුරාවටම ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්හි විශාල කොටසක පාලනය අල්ලාගෙන සිටියහ.


වර්ෂ 2015දී සාම ගනුදෙනුවකට එකඟතාව පළවුවත්, යුක්‍රේනයේ ගැටුම් හේතුවෙන් 14,000කට අධික පිරිසකට දිවි අහිමි වී ඇති බව කියැවේ. 2014 හා 2015 යන වසරවල නැගෙනහිර යුක්‍රේනයේ පැවති ඩොන්බාස් යුද්ධය සහ ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් එහි වැසියෝ බොහොමයක් ආරක්ෂාව පතා නිවෙස්වල තැනූ බංකරවලට වී ජීවත් වූහ. එබැවින් යුක්‍රේනයේ නැගෙනහිර වැසියනට තිබෙන ගැටලුව රුසියානුවන් කවදා කෙසේ ආක්‍රමණය කරාවිද නැද්ද යන්න නොව, පවතින ගැටුම තවදුරටත් උග්‍ර වේද නැද්ද යන්නයි. අඛණ්ඩව පැවති අර්බුද නිසාම ඔවුන් ජීවත්වෙන්නේ ඕනෑම වෙලාවක ඉවත්වී යාමට හැකි පරිදි අවශ්‍ය ගමන් බලපත්‍ර ආදි ලියකියවිලි සහ මුදල් නිතර සූදානමින් තබාගෙනයි.


ආක්‍රමණයක් සැලසුම් කරන්නේ යැයි එල්ලවෙන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කළද, මීට පෙරද රුසියාව යුක්‍රේන භූමිය බලෙන් අත්පත් කරගෙන තිබේ. දේශ සීමාවේ ලක්ෂයකට ආසන්න භට පිරිසක්ද ස්ථානගත කර තිබෙන හෙයින් යුක්‍රේන වැසියන් කලබල වීම පුදුමයක් නොවේ.


ගැටුම්වලින් දුරස්ථව ජීවත්වුවද, කියෙව් අගනුවර වැසියන් පවසන ආකාරයට ඔවුන් ජීවත්වෙන්නේ බහු-පෞරුෂ ආබාධය ඇත්තවුන් මෙනි. එක් මිනිත්තුවකදී ගුවන් ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ළඟම තිබෙන ආවරණය ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සොයන කියෙව් වැසියෝ ඊළඟ මිනිත්තුවේ සාමාන්‍ය ලෙස දෛනික වැඩකටයුතුවල නිරත වෙති. නූතන තත්ත්වය නිසා ජීවිතය පිළිබඳව බිය වැඩිවී ඇතත්, දශකයකට ආසන්න කාලයක් නැගෙනහිර පෙදෙසේ පැවති අඛණ්ඩ ගැටුම් හුරුපුරුදු බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතිව ජීවත්වීමට තමන් හැඩගැසී ඇතැයි බහුතරයක් යුක්‍රේන වැසියෝ පවසති.


“අපේ දේශ සීමාවලට රුසියාවෙන් එල්ලවෙන නිරන්තර තර්ජන නිසා යුරෝපයේ ඉන්න හොඳටම පදම් වුණු ජාතිය අපි වෙන්න ඇති. ඊළඟට සිදුවෙන්නේ මොකක් වුණත් අපි ඒකට හොඳටම සූදානම් වෙලා ඉන්නෙ. ඒක මුදල් ආධාර දීම වුණත්, හමුදාවට සහය දැක්වීම වුණත්, එන ඕනෑම දේකට අපි සූදානම්. අපේ රට රැකගන්න අපි සූදානම්…..” කියෙව්හි ව්‍යාපාරිකයෙක් අදහස් දැක්වීය.■
බී.බී.සී. පුවත් ඇසුරිනි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි