19.3 C
Sri Lanka
27 September,2022

ජීවන වියදමෙන් බැටකන
සිංගප්පූරුවෙ දුගියෝ

Must read

■ නිසංසලා දිසානායක

චිකන් රයිස් හෙවත් කුකුළු මස් බත් ගිනිකොනදිග ආසියාවේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයකි. සිංගප්පූරුවේ ජාතික ආහාරවලින් එකක් ලෙස සැලකෙන චිකන් රයිස්, එරට ඕනෑම අවන්හලකින් මිලදී ගත හැකිය.


සිංගප්පූරුවේ චිකන් රයිස් අලෙවිසැල් හයක හිමිකරුවෙකු වෙන ඩැනියෙල් ටැන්, කුඩා බත් පැකට්ටුවක් අලෙවි කළේ ඇමරිකන් ඩොලර් 2.20කටය (ශ්‍රී ලංකා රුපියල් 443ක්)
කොවිඩ් වසංගතය නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ ගොසිනි. කුකුළුමස් මිල සියයට 50ක් පමණද, එළවළු මිල 2020 ජනවාරියේ සිට දෙගුණයක් පමණද ඉහළ ගොස් තිබේ.


මාස හයක් නැතිනම් වසරක් පමණ ගත වෙන විට වසංගතය අවසන් වී නැවත සුපුරුදු පරිදි ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි වේ යැයි සිතූ බොහෝ වෙළෙන්දෝ මාස හයක් පමණ මිල වෙනස පාරිභෝගිකයාට දැනෙන්නට නොදී ව්‍යාපාර කළහ.


ඩොලර් දහස් ගණනකින් විදුලි බිල වැඩිවීම නිසා අවසානයේ ආහාරවල මිල ඉහළ නැංවීමට චිකන් රයිස් අලෙවිකරු ඩැනියෙල් ටැන් තීරණය කළේය.


සිය අවන්හල්වල සේවකයනට වැටුප් නොගෙවා හෝ අලෙවිසැල් කිහිපයක් වසා දමමින් හෝ ව්‍යාපාරය කිරීමට හෙතෙම අකමැති විය. දේශ සීමා වසා දමා ඇති බැවින් නව සේවකයන් සොයා ගැනීමත් අපහසු වී තිබෙන අතර, කොවිඩ් නිසා පැනවුණු නව නීති රීති නිසා සේවකයන්ගේ වැටුප් ද වැඩි කරන්නට සිදුව තිබේ.


ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝකය පුරා ආහාර මිල 2021දී සියයට 28කින් වැඩිවී තිබේ.


මීට පෙර අවසන් වරට ආහාර මිල ඉහළ නැංගේ 2011දී, ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් අනතුරු අඟවා තිබුණු සමයේදී බව ආසියානු සංවර්ධන බැංකුවේ ආචාර්ය අබ්දුල් අබියද් ප්‍රකාශ කරයි.


ආහාර සහ පොහොර නිපැයුමට බලපාන මෙම මිල ඉහළ යාමට හේතුව බලශක්තිය සඳහා වැය වෙන මිල වැඩි වී තිබීමයි. ගෝලීය සැපයුම් ජාලවල ගැටලු ඇතිවීම ද මෙම තත්ත්වය උද්ගත වීමට බලපා ඇත.


සිංගප්පූරුව වැනි ධනවත් රටක පවා උපකාර බලාපොරොත්තු වෙන පවුල් සංඛ්‍යාව වැඩි වී තිබේ.


කොවිඩ් නිසා වැඩියෙන්ම හානි සිදුව තිබෙන්නේ සැමියා සහ බිරිඳ යන යුවළම රැකියාවල නිරත වෙමින්, අතිරේක රැකියාවලද යෙදුණු, සුළු පරිමාණ ආහාර සැපයුම් සේවා ව්‍යපාර ආදිය කරමින් සිටි තරුණ පිරිසටය. අතිරේක රැකියා බොහොමයක් නැවතීම ඊට බෙහෙවින් බලපෑය.
ජනගහනයෙන් අන්ත දුගී තත්ත්වයේ සිටින සියයට 10ද ඉක්මවා, ආර්ථික අපහසුතා ඇතිවිට උපකාර ඉල්ලා සිටින්නේ කොතැනින්ද යන්න වත් නොදන්නා මධ්‍යම ආදායම් ලබන පවුල් දක්වා, ජනගහනයෙන් සියයට 20කට පමණ දැන් දිවි ගෙවන්නට රජයේ උපකාර අවශ්‍ය වී තිබේ.


වසංගතය නිසා පිරිසුදුකම පවත්වාගෙන යාමට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගන්නට සිදුවීම දුගී බවෙන් මිරිකුණු ජනයා මත පැටවුණු තවත් බරකි.


පාම් තෙල් මිල ඉහළ යාම සමඟ ඒවා භාවිත කර නිපදවන ෂැම්පු වර්ග, අත් සෝදන සබන් වර්ග හා සැනිටයිසර් වර්ගවල මිල තවත් වැඩි වී ඇත.


පසුගිය වසරේ දෙවන භාගයෙන් පසු විශේෂයෙන්ම පුද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබිණ.


ආසියානු කලාපයේ අනෙකුත් තැන්වල අර්බුදය මීටත් වඩා උග්‍ර තත්ත්වයට පත්වී ඇත. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නවතම වාර්තාවට අනුව, ආසියාවේ ජනතාව මිලියන 375කට වඩා 2020 වසරේ සාගතයෙන් පෙළුණෝය. එය පෙර වසරට වඩා මිලියන 54ක වැඩිවීමකි.
ලෝ වැසියන්ගේ කුසගින්න තුරන් කිරීම සඳහා කටයුතු කරන ග්ලෝබල් ෆුඩ් බෑන්කින් නෙට්වර්ක් වෙතින් වාර්තා වෙන ආකාරයට ඔවුන්ගේ උපකාර අවශ්‍ය පිරිස සියයට 130කින් වැඩි වී තිබේ. කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් අඩක් පමණ ආසියානුවෝ බව ඔවුහු හෙළිදරව් කරති.


දශක ගණනාවකින් නුදුටු මට්ටමකට උද්ධමනය ඉහළ ගොස් තිබෙන එක්සත් ජනපදය හා යුරෝපයට සාපේක්ෂව ආසියානු කලාපයේ ආහාර මිල ඉහළ යන්නේ නිහඬවය. ඒ සඳහා බලපාන හේතු කිහිපයක්ම තිබේ.


ආසියානු බැංකුවේ ආචාර්ය අබියද් පවසන ආකාරයට 2021 වසරේදී ප්‍රශස්ත සහල් අස්වැන්නක් ලැබීම, ඒ වසරේදී සහල් මිල අඩු වීමට හේතු වී ඇත. 2021දී බඩ ඉරිඟු මිල සියයට 44කින් සහ තිරිඟු මිල සියයට 31කින් ඉහළ ගිය අතර සහල් මිල සියයට 4කින් අඩු විය.


ආසියානු ආර්ථිකයන් රැසක ප්‍රධාන ආහාරය සහල් වීම කලාපයේ ආහාර මිල උද්ධමනය අඩු වීමට බලපෑ බව ආචාර්ය අබියද් පවසයි.


ආසියානු ජාතීන් රැසක් තම ආහාර තමා විසින්ම නිපදවා ගෙන ඒවා වෙළඳපළට නිකුත් කරති. ආසියානු රටවල රජයන්ද ආහාර සැපයුම ස්ථාවර කිරීමට වෙහෙස වෙයි.


පිලිපීනයේ සහල් ආනයනය ලිහිල් කිරීම නිසා එරට සහල් සැපයුම වැඩිවී තිබෙන අතර මිල අඩුවෙන් පවත්වාගැනීමටද හැකි වී තිබේ.


මේ අතර චීනය වැදගත් ආහාර නිපැයුම් ගබඩා කරගැනීම නිසා 2021දී චීනයේ ආහාර මිල පහළ ගියේය. ලෝක ජනගහනයෙන් සියයට 20ක් ජීවත්වෙන, ලෝකයේ දෙවැනි දැවැන්තම ආර්ථිකයට හිමිකම් කියන චීනය, අනාගත ප්‍රයෝජනය උදෙසා ආහාර ද්‍රව්‍ය එක්රැස් කරගන්නේ යැයි විවේචනයට ලක්ව සිටියි. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව 2022 වසරේ මැද ලෝකයේ ඉරිඟු සංචිතවලින් සියයට 69ක්, සහල් සංචිතවලින් සියයට 60ක් සහ තිරිඟු සංචිතවලින් සියයට 51ක් චීනය රඳවා ගන්නේ යැයි ඇස්තමේන්තු කර තිබේ.


අවශ්‍ය ආහාර බහුතරයක් ආනයනය කරන සිංගප්පූරුවේ තිබෙන දැවැන්ත සුපිරි වෙළඳසැල් ජාල, මිල ඉහළ යාම පාරිභෝගිකයාට දැනෙන්නට නොදී ව්‍යාපාර පවත්වාගෙන යයි.
දිනපතා අත්‍යවශ්‍ය වන නිපැයුම් තොග වශයෙන් ගබඩා කර තබාගැනීම, සැපයුම් අවශ්‍ය කාලයට පෙර නැවත මිලදී ගැනීම හා රටවල් 100ක් පමණ ආනයනය කරන මූලාශ්‍ර වශයෙන් තබාගැනීම වැනි විවිධ උපාය මාර්ගික ක්‍රම එම සුපිරි වෙළඳසැල් ජාල අනුගමනය කරන්නේ ප්‍රධාන ආහාර වර්ගවල මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහාය.


සහල්, තෙල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා පිරිසුදු කිරීමට ගන්නා ද්‍රව්‍ය ඇතුළු නිපැයුම් 2000කට අධික ප්‍රමාණයක් එම සුපිරි වෙළඳසැල් ජාල විසින්ම නිපදවන අතර ජනප්‍රිය වෙළඳ සන්නාමවලට සාපේක්ෂව බලන කල එම නිපැයුම් භාවිතය සියයට 10ක් පමණ ලාභ බව එම ආයතන සඳහන් කරයි.


සිංගප්පූරුවේ චිකන් රයිස් ආපනශාලා හිමිකරු ඩැනියෙල් ටැන් කුඩා පරිමාණ සුපිරි වෙළඳසැල් තුනක් ද පවත්වාගෙන යන අතර ඔහු වැනි සිල්ලර වෙළෙන්දෝ භාණ්ඩ මිල කිරීමේදී රටේ තිබෙන දැවැන්ත සුපිරි වෙළෙඳසැල් ජාලයන්හි මිල අනුව තම ආයතනවල මිල සකසා ගනිති.
ඔහුගේ අදහස වන්නේ එම සුපිරි වෙළෙඳසැල් රටේ අනෙකුත් සිල්ලර වෙළෙන්දන්ට මධ්‍යම බැංකුවක් වශයෙන් ක්‍රියා කරන බවයි. එවැනි හේතූන් මත මෙවැනි අර්බුදයකදී උද්ධමනය විශාල වශයෙන් සිදුනොවන නමුත් ව්‍යවසායකයින්ගේ වර්ධනය ඇණහිටීම සහ අර්ධ රාජ්‍ය ආයතන පමණක් රැකෙන්නට වීම එහි අයහපත් අතුරු ප්‍රතිඵල බව ඔහු පෙන්වා දෙයි.
මේ සියලු අර්බුද අවසන් වූ පසු කුඩා පරිමාණ වෙළෙන්දන් කොපමණ ඉතිරි වී සිටියිද යන්න ගැන අවධානය යොමු වේ.


මේ වසරේ ඉතිරි කාලයේදීත් ලෝකයේ ආහාර මිල ඉහළ මට්ටමක පවතින්නට නියමිත බවත්, මිල ඉහළ දැමීම් තවමත් රටවල පද්ධති ඔස්සේ ක්‍රියාත්මක වී නොමැති නිසා ආසියානු රජයන් මේ පිළිබඳව සැලකිල්ල යොමු කළ යුතු තත්ත්වයක් උදාවෙන බවත් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ඩේවිඩ් ඩේව් ප්‍රකාශ කරයි.


ගෝලීය ආහාර මිල අඛණ්ඩවම ඉහළ යන්නේ නම්, ආදායමෙන් වැඩි කොටසක් ආහාර අවශ්‍යතාව වෙනුවෙන් වැය කරන අඩු ආදායම්ලාභී පවුල්වලට ඉන් විශාල බලපෑමක් සිදුවෙන බවත් ඔහු පෙන්වා දෙයි.


ඩේව් හා ආචාර්ය අබියද් වැනි ආර්ථික විද්‍යාඥයෝ ඉලක්කම් දෙකේ ආහාර උද්ධමනයකින් ආසියානු රටවල් ආරක්ෂා වී සිටින්නේ යැයි තවමත් සුබවාදීව සිටිති.


තත්ත්වය වඩාත් බරපතළ වන්නේ ඩැනියෙල් ටැන් වැනි බිම් මට්ටමේ ව්‍යාපාරිකයන්ටය. අපේක්ෂිත පරිදි අවසන් නොවී වසංගතය පවතින්නා සේ මිල ඉහළ යාමද සංක්‍රාන්තියට පත් නොවී පවතින්නේද යන්න පිළිබඳව ඔවුහු කල්පනා කරති.■
බී.බී.සී ඇසුරිනි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි