20.4 C
Sri Lanka
2 October,2022

තොම්සන් නදී නිම්නය වැනි විනයගරුක හෙටක්

Must read

මේ රටේ දේශපාලනයෙහි යෙදෙන්නන් හැම දස දෙනෙකුගෙන් තිදෙනෙකු මොනවා හෝ තක්කඩිකමකට වගකිව යුතු වේ. මේ උපකල්පනය අනුව, ජනතා විමුක්ති පෙරමුණට රට අල්ලා අපට ස්වර්ගය නිර්මාණය කිරීමට අවශ්‍ය පිරිස් කැඳවීමට විදේශ රටකින් සහාය අවශ්‍ය වෙනවාමය.

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වලහල්ලා ප්‍රදේශයේ මහ වනය මැදින් ගලා යන නදියක අසිරිය විඳීමේ අවස්ථාව ගිය බදාදා හිමිවිය. මේ සංචාරයේ සමහර අත්දැකීම් මට දැනුණේ මහ බරක් ලෙසය. එකී සංචාරයට මා සහභාගි කරවා ගත්තේ හිතවතුන් පිරිසකි. නාගරික ජනාවාස පසු කොට පැයක් හමාරක් ගෙවා වලහල්ලා උප නගරයේ කූපර්ස් ක්‍රීක් ප්‍රදේශයෙන් කඳුකර වනාන්තාරයට ඇතුථවූ අපට තොම්සන් නදියට සමීප වීමට තවත් පැයකට අධික කාලයක් මහ වනාන්තරයක දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවිය.

තොම්සන් නදිය මහා කඳු දෙකක් අතර කුඩා නිම්නයක හුදෙකලාව ගලා බසින්නීය. නදී දෑල මහ වනය විවෘත ලෝකයෙන් මේ මනරම් දිය පහර දැඩි සේ ආරක්‍ෂා කරනවා වැනි යයි මට දැනිණ. හේතුව නදිය වෙත ගමන් කිරීමට කිසිදු මාර්ග පහසුකමක් සකසා නොතිබුණ හෙයිනි. වනාන්තරය පුරා අප ගමන් කළ කිසිදු මාර්ගයකට තාර දමා නොතිබිණ. යටත් පිරිසෙයින් එකී පාරවල් වසර ගණනාවකින් බොරලු අතුරා හෝ නැත. සමහර ස්ථානවල පාරේ හරුණ වලවල් අඩි හය හත තරම් ගැඹුරට හෑරී තිබිණ. පටු හැරවුම් සහිත පාර වාහනයකට යා හැකි ලෙස සකසා තිබුණේම නැත.

අති නවීන පහසුකම්වලින් පිරුණ අප ගමන් කළ වාහන ඕනෑම දුෂ්කර පාරක ගමන් කිරීමට ඔරොත්තු දෙන තරමට ශිල්පීය ශක්තියෙන් සන්නද්ධ කර තිබිණ. පළමුව අප නදිය වෙක ප්‍රවේශවූ ස්ථානයේ වාහන රාශියක් නතර කර ඇති බව දුටු සැණින් අපට එකී ස්ථානයේ පැවති ජනාකීර්ණත්වය ගැන සතුටක් දැනුණේ නැත. නිසල හුදෙකලා නදී ඉවුරක් සොයා යාම සඳහා නැවත ඉහතින් විස්තර කළ දුෂ්කර මාර්ගයට අවතීර්ණව යළිත් ගමන් ආරම්භ කළෙමු. මුල් ස්ථානයෙන් ආපසු හැරෙන විට, නිල ඇඳුම් සහිතව සිටි දෙදෙනෙකු සංචරණය පිණිස එහි ආගන්තුකයන් සමග යම් කතාබහක නියැලෙනු දක්නට ලැබිණ. ඒ වන සත්ව හෝ වන සංරක්‍ෂණ බලධාරින් විය හැකිය. ඔවුන් විමසමින් සිටියේ එකී ආගන්තුකයන් නදිය මැදදී රිවස් ගියර් පාවිච්චි කිරීමක් නිරීක්‍ෂණය වූ නිසාය. එක් ඉවුරක සිට අනෙක් ඉවුරට නදිය හරහා ධාවනය කරන වාහන නදී දිය බොරවීම හෝ නදී පත්ල හෑරෙන ආකාරයට ක්‍රියා නොකළ යුතුය යන්න රෙගුලාසියකි.

“මමත් වාහනය එගොඩටට අරන් ගිහින් ආපසු ආවේ ඒ නිසා. අපි කොහොමටත් මේ වාහන කන්දට ඇතුථ වෙන කොටම ෆෝ ගියර් කර ගන්නවා. ඊට පස්සේ වාහන ගමන් කරන්නේ පොළොව බදාගෙන. රිවස් කිරීමකදී පොළොවට වෙන හානිය වැඩියි.” ඕස්ටේ‍රලියාවේ පරිසර සුරක්‍ෂණය පිණිස ක්‍රියාක්මක නීති රෙගුලාසි එසේය. මහ වනය මැදින් ගලා යන මේ නදියේ ආරක්‍ෂාව පිණිස ඒ සුන්දරත්වය විඳීමට පැමිණෙන්නෝ එකී රෙගුලාසියෙන් බැඳි සිටිති. ඒ තත්වය ලංකාවට සමගාමීව ආශ්චර්යයක් ලෙස මට දැනිණ.


අප ඇතුල්ව සිටින මේ අර්ධ වනාන්තරය සමහර විට අක්කර දහසකට ආසන්න විය හැකිය. මේ වනය තුළ නිදහසේ ගලා බසිනා මේ රමණීය නදිය ආරක්‍ෂාවට පැනවූ නීති එහි පැමිණෙන්නන් අනුගමනය කරනු විනා ඒවා ඉටු කරත්දැයි විමසා බැලීමට කිසිවෙකු නැති තරම්ය. එහෙත් පැය ගණනාවක් එහි හැසිරුණ මට නදී වපසරියේ පවත්නා පිරිසිදුභාවය හරහා එකී නීති දිවුරුමක් ලෙස රැකෙන හැටි මහා ආශ්චර්යයකි. අප පෙරටු කොට යළි ගමනාරම්භ කළ පිරිස නදියේ තවත් නිසසල ඉවුරක් වෙත අප කැඳවා ගෙන ගියහ. මේ පරිසරයේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂාවීමේ පරම රහස කුමක්ද?


ජනාවාසයේ සිටි එකී ප්‍රදේශය තෙක් විහිදුණ මාර්ග පද්ධතිය වැඩි දියුණු නොකිරීම ය. එය නොකර සිටීමේ උපායශීලි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් බවට සැකයක් නැත. මිල අධික වාහනයක සේවාව ලබා ගත නොහැකි කිසිවෙකුට මේ පරිසරයේ ස්පර්ශය ලැබිය නොහැකි බවට කිසිදු සකයක් නැත. රූස්ස වනාන්තරය මැදින් නිදහසේ ගලා යන නදියේ ආරක්‍ෂාව පිණිස ඕස්ටේ්‍රලියානු බලධාරීන් මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ කිසිවෙකුට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්තියකට අනුගතව විය හැකිය. ලංකාවේ මෙවැනි වන සම්පතක් තිබුණා නම් ඒ වන ගහනය හරහා නවීන පන්නයේ මාර්ග පහසුකම් සමග සමහර විට එක් වර්ග සැතපුමකට සංචාරක හෝටල් හත අටක් ඉදි කෙරෙනවාමය. මාතලේ දිස්ත්‍රික්කයේ රිවෙස්ටන් ප්‍රදේශය ඊට උදාහරණයකි.


සත්තකින්ම ඕස්ටේ්‍රලියානු චින්තනය අනුව, මේ ගංගා ඇළදොළ කඳු වනාන්තර පවතින්නේ භූමියේ ආරක්‍ෂාවට මිස, සංචාරකයන් සඳහා නොවේ. මට මේ ගමන අතර, සියැටෙල්ගේ ලිපිය සිහිපත් විය. ක්‍රිස්තු වර්ෂ 1505දී පෘතුගීසින් පැමිණෙන තෙක් අප ශ්‍රී ලාංකේය භූමියේ හිමිකරුවන් සිටියෙමු. කඳු වන දුර්ග සහ සතා සිවුපාවන්ට පමණක් නොව සරණාගත ආගමිකයන්ට සහ සංක්‍රමණික ජාතීන්ට පවා ගම්වර දී ආරක්‍ෂා කළ ජාතියක්ව සිටියෙමු. එයින් වසර සිය ගණනකින් අනතුරුව අප භූමියේ උරුමය විකුණාකමින් සිටින ජාතියක් බවට පත්ව ඇත. මේ විනාසය සිරස ලක්‍ෂපති වැඩ සටහනෙන් ප්‍රකාශ කළ රක්වානේ පාසල් දැරිය භාග්‍යා සොයා පොලිසිය පිටත් කළ පාලකයන් සමග මේ ඕස්ටේ්‍රලියානු අත්දැකීම විමසිය යුතුවේ.
පිරිස නදී ඉවුරේ තුන්වෙනි ස්ථානයේ මඩු කූඩාරම් ඇටවීමට තිරණය කළෝය. ගමන් සගයන් අතර සිටි ජ්‍යෙෂ්ඨම පුරවැසියා මෙන්ම පිරිසේ ආගන්තුකයාද මා වීම හේතුවෙන් කරුණු නිරීක්‍ෂණය කිරීමේ ඉඩකඩ හිමිවිය.


ඒ නදී තෙර වැල්ල විමසීමේදී එක් සිගරට් කොටයක් හෝ දැකිය නොහැකි විය. බාබකිව් සඳහා අවුථවන ලද ගිනි මැල ලකුණු තැන තැන විය. එහෙත් ඒ හැම ගිනි මැලයක්ම ඉතා ප්‍රවේශමෙන් නිවා දමා ගිය ලකුණු දක්නට ලැබිණ. මේ වනයට ඇතුල්වන සියල්ලන්ම මේ විනයෙන් බැඳී සිටින බව හැර වෙන කිසිදු බලපෑමක් නොතිබිය හැකිය. නීතිය විනය ගුරු කොට ගත් පැවැතීමට මේ රටේ ලැබෙන වටිනාකම මේ භූමියෙහි ඇවිද ගිය හැම කෙනෙකුම මැනවින් තේරුම් ගැනීමක් හැර අප මේ අතක් විඳින්නේ වෙන කුමක්ද?

ලංකාවේ නීතිය අනුව හීලෑ අලින් සඳහා ඇති සියලු නීති යම් කාල පරාසයක එක දිගට උල්ලංඝනය වූ බව රටම දනිති. පන්සල් අසල අලි පැටවුන් දමා යාම තෙක් ඒ තත්වය පහත වැටිණ. මේ නිසා ප්‍රකට ශීලවන්ත භික්‍ෂූන් අලිහොරුන් ලෙස හංවඩු ගැසිණ. පාලනය වෙනස්වූ පසුව ඒ නඩු කටයුතු උඩු යටිකුරු වෙමින් යළි ඒ හොරුන් අතට අර අලි පැටවුන් භාරදීමේ අකටයුත්ත යළි නතරව ඇත. ඒ අධිකරණ මැදිහත්වීම් නිසාය. ගැබ්බර ඇතින්නන් මරා සොරා ගත් අලි පැටවුන් එකිනෙකා අයිති කර ගත්තේ වනජීවි දෙපාර්තමේන්තුවේ අලි පොත අතුරුදන් කිරීමෙන් පැවති නීතිය යටපත් කරලාය. මේ සිද්ධි කියවන කිසිදු ලාංකිකයෙකු කල්පනා කළ යුත්තේ නීතියට ගරු කරන ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය විමට උත්සාහ කිරීමට නොවේ. මේ නීති ගරුක සමාජය අප උපන් ලංකාවේ ඇති කිරීමය. මේ සඳහා රට පෙරළීමට වෙර දරන අපේ දේශපාලන පක්‍ෂ කිසි විටක උත්සාහ කරන්නේ නම් නැත. ඒ සඳහා පෙළ ගැසී සිටින සිවිල් සමාජයද හුදෙකලාවී සිටිති. රට දැනුවත් කරනු මිස තවත් එකෙකු බලයට පත් කර නීතිගත සමාජයක් ගොඩ නැගීම යනු විහිථවකි.


මේ වසරේ මුල් දිනයේ රිය අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව විසි ගණනකි. හේතුව අපරීක්‍ෂාකාරි රිය ධාවනය සහ රියැදුරන්ගේ අදාන්තකමය. පසුගිය යහ පාලන කාලයේ මේ තත්වය සැලකිල්ට ගෙන රථ වාහන වැරදි සඳහා එතෙක් පැවති දඩ මුදල් ප්‍රමාණය බරපතළ ලෙස ඉහළ දැමීමට පියවර ගත්තේය. 2018 මැතිවරණ ආසන්නයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සමුථවක් ඇමතු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සිය කතා ආරම්භ කරමින් ඇසුවේ කුමක්ද?

“දඩ මුදල් වැඩියි නේද? මේ ඡන්දෙන් පස්සේ මොනවා හරි කරමු.

” මෙවන් රටක පාලකයන් අතින් ඉබේ වැවෙන ගහ කොළ ආරක්‍ෂා කිරීමට ලැබෙන සහාය කුමක්ද? මහින්දගේ මේ ප්‍රකාශය හරහා අප ඉගෙන ගත යුතු පාඩම කුමක්ද? බලය ඡන්දය අපේක්‍ෂාවෙන් ක්‍රියා කරන පාලකයන් කිසි විටෙක රටට ජනතාවට ආදරය නොකරන බවය. නිරෝධායන නීති නොතකා සාදයකට සහභාගි වීමෙන් අපහසුවට පත්ව සිටින බි්‍රතාන්‍ය අගමැතිගෙන් මාධ්‍ය විමසා සිටියේ තනතුරෙන් ඉල්ලා අස් වන්නේද කියාය. ඒ ප්‍රශ්නය බි්‍රතාන්‍ය ජනතාවම අසන ප්‍රශ්නයකි. ලංකාවේ ඒ ප්‍රශ්නය දෙකොනින් සිනාසිය හැකි විහිථවකි. අර ප්‍රශ්නයට බි්‍රතාන්‍ය අගමැති දුන් පිළිතුර කුමක්ද? කමිටු වාර්තාව ලැබුණ පසුව ඒ ගැන සලකා බලන බවය.


සිරකරුවන් විසි ගණනක් පෙළ ගස්වා ඝාතනය කරවීමේ නඩු තීන්දු රටම දනිති. එයින් සාධාරණයක් වුණාද? පරීක්‍ෂණ සිදු කළ පොලිසිය තමන්ගේ එකා බේරා ගත්තාදැයි කිසිවෙකු සැක කරයි නම් එහි අසාධාරණයක් නැත. හේතුව චුදිත පොලිස් නිලධාරියා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමය. හේතුව පැමිණිල්ලේ හෝ විමර්ශන වාර්තාවේ අඩුපාඩු නොවේද? චුදිත නිදහස් වුණාට මැරුම් කෑ කිසිවෙක් ගෙදර නොපැමිණෙති. ඊයේ පෙරේදා සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු කොට කාලි දේවාලයට ගොස් පළි ගැසුවේ ඇයි? ඇයට අධිකරණ භූමියේදී අසභ්‍ය වචන කියා බැන වැදීම හේතුවෙන් වරදකරුවූ කාසාවකණ්ඨකයා නිදහස් කළේ කවුද?


අපට අවශ්‍ය අප ප්‍රාර්ථනා කළ යුත්තේ ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වලහල්ලා ප්‍රදේශයේ මහ වනය මැදින් ගලා යන තොම්සන් නදී නිම්නය මෙන් සුරක්‍ෂිත සුන්දර වටාපිටවක් සහිත ලංකාවකි. ලෝකයේ උත්සාහ කළ කිසිවෙකු පරාදවී නැත. අවශ්‍ය ආරම්භයක් පමණකි. අනුරාධපුර ශුද්ධ භූමිය ආරක්‍ෂා කර ගැනීමට කළ සටන් බොහෝය. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර එහි පුරෝගාමියෙකි. එහෙත් ඒ අරමුණ එක දවසක ඉටු විය. අද අනුරාධපුර ශුද්ධ භූමියට ලැබෙන ආරක්‍ෂාව එහි ප්‍රතිඵලය වේ. යහපත් රටක් යනු නීති ගරුක සමාජයක් යනු ශුද්ධ භූමියක් මෙන් ප්‍රාර්ථනා කළ යුතු අරමුණකි.


ඕස්ටේ්‍රලියාවේ දියුණුවටත් ලංකාවේ පරිහානියටත් හේතු අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. තමන්ට එරෙහි නඩුවට එක් දිනක් පෙනී නොසිටීම හේතුවෙන් පාඨලී චම්පික පිළිබඳ මහා කතිකාවක් මාධ්‍ය හරහා නිර්මාණය වී ඇත. අධිකරණයට අපහාස කොට වරදකරුවන්ව මහජන මන්ත්‍රීන් කී දෙනෙකු හිරේ ලැග්ගාද? ඒ කිසිවෙකු එක් දිනක් හෝ සිර කුඩුවක සිටියාද යන්න විමසිය යුතු නැත. තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති කළ මිනිස් ඝාතනය පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලනය ලංකාවේ නොපැවැත්වී නම් කිසි විටෙක නඩුවක් නොවන්නට ඉඩ තිබිණ.
පවත්නා තත්වය වෙනස් කිරිමට අවශ්‍ය කුමක්ද? උත්තරය හෝඩියේ දරුවෝ පවා දනිති. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරුන් අපරාධකරුවන් නොවන අය පමණක් තමන් වෙත පැමිණිය යුතු බවය. ඔවුහු නිදහසින් පසු රටේ හැම පාලකයාම වැරදි කළ බව කියති. මේ රටේ දේශපාලනයෙහි යෙදෙන්නන් හැම දස දෙනෙකුගෙන් තිදෙනෙකු මොනවා හෝ තක්කඩිකමකට වගකිව යුතු වේ. මේ උපකල්පනය අනුව, ජනතා විමුක්ති පෙරමුණට රට අල්ලා අපට ස්වර්ගය නිර්මාණය කිරීමට අවශ්‍ය පිරිස් කැඳවීමට විදේශ රටකින් සහාය අවශ්‍ය වෙනවාමය.


ආණමඩුව නවගත්තේම නවෝද්‍යා පාසලේ ගුරුවරිය දණ ගැස්සවූ සිද්ධිය මට මෙහිදී සිහිපත් වේ. සැකකාර දේශපාලනඥයාට ඇප ලැබුණ දවසේ ආණමඩුවෙන් බාගයක් ඔහු වෙනුවෙන් අධිකරණ භූමියෙහි පෙළ ගැසිණ. මේ පරණ සිද්ධියට ඈඳා ජනතා විමුක්ති පෙරමුණේ සුද්ධවන්තභාවය සමග ගැළපූ විට, එදා ආණමඩුවේ අධිකරණය භූමියට පැමිණි කිසිවෙකුට ජවිපෙ දොර හැරෙන්නේ නැත. රටම මහා අවදානමකට තල්ලු වෙන අවස්ථාවක අනුර කුමාරලා හුවා දක්වන ජවිපෙ කන්‍යාභාවය යන්නට ඉතිහාසයෙන් උදාහරණ දැක්විය හැකිය. 1971 අප්‍රේල් කැරැල්ල අතර, කෑගල්ල අධිකරණයේ නඩු ඇසුවේ තමන්ම විනිසුරුකම පවරා ගත් ගල් කටස්කාරයෙකි. නඩු ඇසීමට පෙර ඔහු සිය සුදුසුකම ප්‍රකාශ කළ බව කියැවිණ. ඒ අනුව, මම හත් වතාවක් හිරේ ගොස් ඇති නිසා උසාවි කටයුතු හොඳින් දනිමි. එදා ඉඩම් නඩුවේ වැරදිකරුට වෙඩි තබා මැරූ බවට කටකතා පැතිරිණ. අපට ඉතිහාසයෙන් බේරී ගමන් කළ නොහැකිය. ඉහත කී ඕස්ටේ්‍රලියා වනගත අත් දැකීම සමග මට සිහි වුණේ ඒ රටේ ව්‍යවස්ථාව නොවේ. අමෙරිකාවේ රතු ඉන්දීය නායක සියටෙල්ගේ ලිපියයි. මනුෂ්‍ය සංහතිය යනු සුවිශාල කතාන්තරයකි. ඉතිහාසය මා නිදහස් කරති’යි කළ ප්‍රකට ප්‍රකාශය මෙහිදී සිහිපත් කළ යුතු වේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි