21 C
Sri Lanka
6 October,2022

ගොපලු ගීතයෙන් දැනුවත් සංවාදයකට?

Must read

රටේ ප්‍රශ්නවලට විසඳුම් තබා ප්‍රශ්න පිළිබඳ අවබෝධයක්වත් පාලක පවුලට නොමැත. ඔවුන් දකින එකම ප්‍රශ්නය නම් ‘ප්‍රේක්ෂක ජනතාව’ බහුතරයක් තමන් වෙතින් ඉවත්වීමය.

2019 ජනපතිවරණය නූතන ලාංකීය ඉතිහාසයේ දැවැන්තම වීර නාටකයයි. සිංහල-ජාතිය (විශේෂයෙන්ම සිංහල-බෞද්ධයින්) පරසතුරු උවදුරින් ගලවා මව්බිමට සෞභාග්‍යය කැන්දන දේශපාලන-ආර්ථික විශ්ව කර්මයකු නිරූපණය කිරීම එහි අරමුණ විය. නාටකය ඓතිහාසික සාර්ථකත්වයක් ලැබුවේ නළුවාගේ දක්ෂතාව නිසා නොවේ. ඡන්දදායකයන් බහුතරයක් එවැනි රැවටිල්ලක් අපේක්ෂා කළ නිසාය.


සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ වැරදි හා අඩුපාඩු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඓන්ද්‍රීය හා ව්‍යුහාත්මක දුර්වලතා ලෙස නිර්වචනය කරන්නට රාජපක්ෂ-විපක්ෂය සමත් විය. නොනිල රජකු වන් ගැලවුම්කාරී නායකයකු පිළිබඳව ලාංකීය සමාජය තුළ ඇති ආශාව හා විශ්වාසය සමග මෙම නිර්වචනය කදිමට ගැළපුණි. මහින්ද රාජපක්ෂ නිෂ්පාදනය කළ, බැසිල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ගෝඨාභය හෙවත් දියසෙන් කුමාරයා නළුව කල එළි බැස්සේ මෙම සංදර්භය තුළය.
නාටකයේ ප්‍රධාන නළුවා දක්ෂයකු නොවන බව ඔහුගේ මුල්ම මාධ්‍ය හමුවෙන් පැහැදිලි විය. විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳ ඇසුණු ඉතාමත් සරල ප්‍රශ්න දෙක තුනකට පිළිතුරු දීමටවත් ඔහු අසමත් විය. ඒ මුල් මාධ්‍ය හමුව එකම මාධ්‍ය හමුව වූයේද එබැවිනි. ඉන්පසු මැතිවරණ වේදිකාවල පවා ඔහු බොහෝ විට ටෙලිප්‍රොම්ප්ටරයක පිහිටෙන් ලියා ගත් කතාවක් ශබ්ද නගා කියවූයේය.


මේ සියල්ල නළුව මායාවක් විනා සැබෑවක් නොවන බවට පැහැදිලි ඉඟි සැපයීය. නමුත් ආණ්ඩුව පිළිබඳව කලකිරී පාස්කු ප්‍රහාරයෙන් බියගැන්වී සිටි අතිබහුතරයක් සිංහල ජනතාව ඒ පෙර මග ලකුණු දැක නොදැක්කා මෙන් ඉවත බලා ගත්හ. 2019 ජනපතිවරණය රැවටිල්ලකට වඩා ස්වයං-රැවටිල්ලක් විය.


ගිනි අව්වේ පැය ගණනක් ගෑස් පෝලිම්වල හෝ කිරිපිටි පෝලිම්වල කල් ගෙවන විට, වෙනදා සුපිරි සම්බා ගත් මිලටත් වැඩි මිලකට නාඩු සහල් ගන්නා විට, ස්වයං-රැවටිල්ල පවත්වා ගැනීම අපහසුය. කැපුවත් රාජපක්ෂවාදී සුළුතරයක් හැරුණු විට 69 ලක්ෂයෙන් බහුතරයක් දැන් සුබ සිහිනයෙන් කටුක යථාර්ථයට අවදි වී සිටී. අන්තර්ජාලයේ සමච්චල් සිනාවන්ගෙන් හා සැබෑ ලෝකයේ හූ හඬින් එළිවනුයේ ගෝඨාභය හෙවත් දියසෙන් කුමාරයා නාටකය සැබෑවක් ලෙස ගත් ඡන්දදායකයන්ගේ ශෝකාලාපයයි.


69 ලක්ෂයෙන් බහුතරයකට ඇස් ඇරුණද රාජපක්ෂවරුන් තවමත් ජීවත් වනුයේ ඔවුන් නිර්මාණය කළ නාටකය තුළය. ඔවුහු තවමත් ගැලවුම්කාරයන්ට රඟති. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය යහපත් නොමැති බව ඔවුන් සියලුදෙනාටම අඩු වැඩි වශයෙන් වැටහෙන බව පැහැදිලිය. මේ තත්ත්වයට ඔවුන් ප්‍රතිචාර දක්වනුයේ වේදිකාවෙන් සැබෑ ලෝකයට පා තැබීමෙන් නොව, නාටකය වඩාත් වර්ණවත් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දැරීමෙනි.
නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා කළ කතාවෙන් මෙය කදිමට පැහැදිලි වේ. රටේ ප්‍රශ්නවලට විසඳුම් තබා ප්‍රශ්න පිළිබඳ අවබෝධයක්වත් පාලක පවුලට නොමැත. ඔවුන් දකින එකම ප්‍රශ්නය නම් ‘ප්‍රේක්ෂක ජනතාව’ බහුතරයක් තමන් වෙතින් ඉවත්වීමය. මහින්ද අගමැතිවරයා පොහොට්ටු සමුළුවේ කළ කතාවේත්, ගෝඨාභය ජනපතිවරයා නවතම අධිවේගය විවෘත කරමින් කළ කතාවේත් හරය එයයි. ඊට හේතුව තමන්ගේ වරදක් යැයි ඔවුහු නොදකිති. වරදක් ඇතිනම් ඒ අන්තේවාසිකයන්ගේය. නැතහොත් ඒ සියල්ලටම හේතුව දෙස්-විදෙස් කුමන්ත්‍රණය.


තැන තැන බෝම්බ නාටක රඟදැක්වෙනුයේ මෙම සංදර්භය තුළය. සතුරන් නොමැති තැන වීරයන්ද නොමැත; පැවැත්ම පිළිබඳ තර්ජන නොමැති තැන ගැලවුම්කාරයන්ද නොමැත. මාස කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් පිළිබඳව කිතුනු පල්ලිවලට හා පන්සල් කිහිපයකටද අනතුරු හැඟවුණි. මේ පිළිබඳව ප්‍රශ්න නැගුණු විට එය පෙරහුරුවක් යයි කියමින් පාලකයෝ ඇඟ බේරා ගත්හ.


බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය මෙහි නවතම දිගහැරුමයි. සිද්ධිය පිටුපස මහා මොළකරුවකු සිටින බව මහජන ආරක්ෂක ඇමතිවරයා කීවේය. මෙවැනි සිදුවීම්වල අරමුණ ‘මේ රජය’ සහ ‘පොලිසිය, හමුදාව අපහසුතාවට පත් කිරීම’ බව ඔහුගේ ප්‍රකාශිත මතයයි.


කතාවට දින දෙක තුනකට පසු සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට බෝම්බය ගොස් තැබීම සඳහා රුපියල් 50,000ක් දුන්නේ මුස්ලිම් ජාතිකයකු බවත් පොලිසිය ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය වාර්තා කළ වෙබ් අඩවියක එක් පාඨකයකු ලියා තිබුණේ ‘මේ වගේ ීජරසචඑ දැන් හරියන්නේ නැතිවෙයි. වෙනස් එකක් ලියලා බලමු.’ යන්නයි. නමුත් සතුරන් හා කුමන්ත්‍රණ හැරුණු විට වෙනස් තිර රචනාවක් ලිවීමට රාජපක්ෂවරුන්ට හැකියාවක් නොමැත. ජාතික ආර්ථිකය කඩා වැටීම වේගවත් වත්ම ජනතාවගේ ආර්ථික පීඩනය දැඩි වත්ම මුස්ලිම්, දෙමළ හා ඇතැම්විට කිතුනු මහා මොළකරුවන් පිළිබඳ, ඔවුන්ට සහාය දෙන දේශද්‍රෝහී සිංහලයන් පිළිබඳ යළි යළිත් රංගනයන් ඉදිරිපත් කිරීම විනා වෙන ගැලවීමක් රාජපක්ෂවරුන්ට තිබේද?


පොරොන්දු හා සටන් පාඨ විකල්ප නොවේ


මහාචාර්ය ලී බුක්හයිට්(Lee Buchheit) සැලකෙන්නේ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥයකු ලෙසය. ශ්‍රී ලංකාව පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණය හිමියන් නගන ප්‍රධාන ප්‍රශ්නය නම් ප්‍රතිව්‍යුහගත කිරීමේ බරෙන් කවර කොටසක් අදාළ රටේ ජනතාව දරනවාද යන්න බවයි.


ජනතාව යනු ඒකස්තම්භයක් (monolith) නොවේ. ජනතාව ජාති, ආගම්, ලිංගික අනන්‍යතාවන් වශයෙන් පමණක් නොව, පන්ති හා සමාජ පසුබිම වැනි විවිධාකාරයන්ගෙන් බෙදී ඇත. ජනතාවගෙන් එක් කොටසකට හානිකර දෑ තවත් කොටසකට වාසිදායක විය හැක. මෙය ගෝලීය මෙන්ම ඓතිහාසික සත්‍යයකි. කොවිඩ් වසංගතය ලොව ගිල ගත් දෙවසර තුළ පවා එහි බලපෑම සියලුම පන්ති සමාජමය කොටස්වලට ඒකාකාරී නොවීය. ලොව පුරා ජනතාව මිලියන ගණනින් දරිද්‍රතාවට ඇද දැමූ මේ සමයේ ලොව ඉහළම ධනවතුන් තවත් ධනවත් වීම මෙම යථාර්ථය පිළිබිඹු කරයි.


රාජපක්ෂවරුන් නිර්මාණය කළ අසාමාන්‍ය ආර්ථික අර්බුදයේ වැඩි බර කර දරන්නේ මැදි හා අඩු ආදායම් ලබන ජන කොටස්ය. ආර්ථික වෘද්ධිය ඍණ අගයක් ගනිද්දී කොටස් වෙළෙඳපොළ යළි යළිත් වර්ධනය වීම මෙහි එක් පිළිබිඹුවකි. මේ සතියේ කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධනීකරණ අගය ප්‍රථම වරට රුපියල් ටි්‍රලියන 6 ඉක්මවීය. ඉදිරි කාලයේ මෙම තත්ත්වය තවත් උත්සන්න වනු නොඅනුමානය.


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව පාලකයෝ කියති. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවෙන් ඔවුන්ට ගැලවිය නොහැක. චීනයට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉල්ලීම ගෝඨාභය ජනපතිවරයා චීන විදේශ ඇමතිවරයාට ඉදිරිපත් කළේ එබැවිනි. එයට ලැබුණු ප්‍රතිචාරය වූයේ චීනය හා ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට මෙය හොඳ අවස්ථාවක් බවයි. එයින් කියවනුයේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයකට චීනය සූදානම් නොමැති බවයි. (චීනය ලංකාවේ ඉල්ලීමට අනුගත වුවහොත් Belt and Road ව්‍යාපෘතිය යටතේ චීනයට ණයගැතිව සිටින අනෙකුත් ආසියා-අප්‍රිකා-දකුණු ඇමරිකා රටවල්ද මීට සමානව ඉල්ලීම් කිරීමේ අවදානම රාජපක්ෂවරුන්ට නොවැටහුණාට චීන නායකයන්ට වැටහෙනවා නොඅනුමානය.) ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීම් සම්බන්ධයෙන් අනෙක් රටවල හා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් හා ආයතනවල ප්‍රතිචාරයද මෙයට නොවෙනස් වනු ඇත.


මේ වසර තුළ ලංකාව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කි. මේ ණයත් ගෙවමින් අත්‍යවශ්‍යම වූ ආනයන පවත්වා ගැනීමට රාජපක්ෂවරුන්ට සැලැස්මක් ඇති බවක් පෙනෙන්නට නැත. බැසිල් රාජපක්ෂගේ සහන මල්ල නිසා අර්බුදය තවත් උග්‍රවනු ඇති බැවින් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා සහන මල්ල කප්පාදු කිරීමද රාජපක්ෂ අවශ්‍යතාවක් විය හැක.


රාජපක්ෂවරුන්ට ඇති එක් ප්‍රධාන වාසියක් නම් මෙම අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ තවමත් අසමත් වීමය. රාජපක්ෂවරුන් ඉර පෙන්නා හඳ යැයි කීවත් එය පිළිගන්නා ජන කොටසක් සිටී. ඔවුන්ගේ පොදු කාරකයන් නම් සිංහල-බෞද්ධ අගතිගාමීත්වයත් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් පිළිබඳව ඇති නොකැමැත්තත්ය. තමන් අපේක්ෂා කරන අගතිගාමී විසඳුම් සැපයීමට රාජපක්ෂවරුන් අසමත් වෙතොත් ඔවුන් වෙනත් අන්තවාදී නායකත්වයකට හෝ හමුදා මැදිහත්වීමකට ආකර්ෂණය විය හැක. විශේෂයෙන්ම පශ්චාත් මහින්ද රාජපක්ෂ දේශපාලන සංදර්භයක් තුළ මෙවැනි විතැන්වීමක් සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය.


2015දී රාජපක්ෂවරුන්ට විරුද්ධව ඡන්දය භාවිත කොට 2019/2020දී යළිත් රාජපක්ෂවරුන්ට සහාය දැක්වූ කිසිදු පක්ෂයකට අයත් නැති පාවෙන ඡන්දවල තත්ත්වය මෙයට වෙනස්ය. මෙම පාවෙන ඡන්ද මේ වන විට රාජපක්ෂවරුන්ට අහිමි වී ඇති බව නිසැකය. නමුත් ඔවුන් බහුතරයක් තවමත් විපක්ෂයේ කිසිදු පක්ෂයකට සහාය දක්වන බවක් ද නොපෙනේ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කලාමැදිරියාටත් බයවන්නාක් මෙන් රාජපක්ෂවරුන්ට වූ රැවටීම යළිත් ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන් අකමැතිවා විය හැක. ඔවුන් දිනාගැනීමට සටන් පාඨ හා පොරොන්දු ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විග්‍රහයක්, දැක්මක් හා වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ඒ සඳහා නැතිවම බැරිය.


බදු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේදී බදු බර බෙදීයාම තීරණය කරන්නේ කෙසේද? රජයේ වියදම් ප්‍රතිසංස්කරණයේදී වියදම් කැපෙන්නේ කොතැනින්ද? ජනතාව මත බදු බර පටවන්නේ නැති බවට නාස්තිය, දූෂණය නතර කිරීමෙන් රජයේ වියදම් පාලනය කරන බවට පොරොන්දු දීම පමණක් ප්‍රමාණවත් නැත. බදු බර වැඩිපුර පැටවෙනුයේ කවර ජන කොටස් මතද? වියදම් කැපෙනුයේ කොතැනින්ද? මේවා ඉතා මූලික ගැලවිය නොහැකි ප්‍රශ්නය; දේශපාලනික වශයෙන් දුෂ්කර තෝරා ගැනීම්ය. මෙවැනි මූලික කරුණු සම්බන්ධයෙන් පැහැදිලි දැක්මකින් තොරව හුදෙක් රාජපක්ෂවරුන් විවේචනය කිරීමෙන් පමණක් දේශපාලනික වශයෙන් නොබැඳුණු පාවෙන ඡන්ද බහුතරයක් දිනා ගැනීමට විපක්ෂයට අසීරුය.


2024 තෙක් නොවන ජනපතිවරණයකට දැන්ම සිටම අපේක්ෂකත්වය ප්‍රකාශ කොට එකිනෙකා කුළල් කාගනු වෙනුවට රාජපක්ෂවරුන්ගෙන් තොර අනාගතයක් පිළිබඳව යම් අවම හෝ එකඟතාවක් ගොඩ නගා ගැනීමට විපක්ෂයට නොහැකි වී ඇත්තේ මන්ද? වෙන්ඩ-ජනපති සිහිනයෙන් කාගෙ කාගේත් දෑස් නිලංකාර වී ඇති නිසාද? ජනපති ක්‍රමය නිසා බලකාමය සීමා මායිම් ඉක්මවා යාම පිළිබඳ මෙය උදාහරණයක් නොවන්නේද?

බෝම්බ විසඳුම


ඉන්ධන ගෙන්වීම සඳහා ඉන්දියාවෙන් හදිසි ණය ලැබුණද එය ප්‍රමාණවත් වනු ඇත්තේ තව උපරිම වශයෙන් දෙමසකටය. ඉන්පසු සිදුවන්නේ කුමක්ද? ගෑස්වල, කිරිපිටිවල සංයුතිය හා/හෝ සැපයුම් ප්‍රශ්නවල නිමාවක් තිබේද? හාල් මිල ඉහළ යාම නතර වන්නේ කොතැනින්ද?
බහුතරයක් ජනතාව එදා වේල ගැටලුවල නිමග්න වෙද්දී පාලකයන් ජීවත් වනුයේ වෙනම ලෝකවලය. ඔවුන්ට වැදගත් අධිවේගී මාර්ගය; ඇවිදින මං තීරුය; රථ ගාල්ය.


ජනතාව හා තමන් අතරැති පරතරය පියවීම සඳහා අගතිගාමීත්වයේ පාලම, භීතියේ හා වෛරයේ අත්වැල කඩිනමින් ගොඩනැගීමට පාලකයන් උනන්දු වන්නේ ගැලවීමට වෙන මගක් නොමැති නිසාය.


හුදෙක් ත්‍රස්තවාදී ලේබලය ගසා තමන්ට හිතුමතයට සැකකරුවන් (විශේෂයෙන්ම දෙමළ හා මුස්ලිම් ලාංකිකයන්) සිරගත කිරීමේ නීතිමය හැකියාව පාලකයන්ට නොතිබුණා නම් අලුත්ම බෝම්බ කතාව විහිළුවක් වන්නට තිබුණි. පොලිසිය මුලින්ම මේ සිදුවීමට අත්අඩංගුවට ගත් අය අතර පල්ලියේ සේවය කළ දෙමළ ජාතිකයකුත් 14 හැවිරිදි දරුවකුත් වූහ.


මහජන ආරක්ෂක ඇමතිවරයා ජනවාරි 14දා කීවේ බෝම්බය තැබුවේ පල්ලියේ සේවකයා බවය. ඒ පුද්ගලයාගේ කාමරය තුළ සෙලෝටේප්, හඳුන්කූරු හා ගිනිකූරු තිබීම ප්‍රබල සාක්ෂි ලෙස දැක්විණි. ඒ පුද්ගලයා තම වරද පිළිගත් බවද කියවිණි. වසර 14 ළමයා කළ ප්‍රකාශයෙන් එය සනාථ වූ බවද ප්‍රකාශ කෙරුණි.


දැන් පොලිසිය කියන්නේ බෝම්බය තැබුවේ පනාමුර ප්‍රදේශයේ පුද්ගලයකු බවය. ඔහුට බෝම්බය දුන්නේ පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයකු බවය.


ඇමතිවරයාගේ මුල් ප්‍රකාශයත් පොලිසියේ අලුත්ම සොයා ගැනීමත් දෙකම සත්‍යය විය නොහැක. දෙකෙන් එකක් හෝ අසත්‍යය විය යුතුය. පොලිසියේ අලුත්ම සොයා ගැනීම නිවැරදි නම් ඇමතිවරයාගේ මුල් ප්‍රකාශය සත්‍යයෙන් තොරය. ඒ අවස්ථාවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අහිංසකයින් පිරිසකි. එසේ නම් පල්ලියේ සේවකයා තමන් බෝම්බය තැබූ බව කීවේත්, 14 හැවිරිදි දරුවා එම ප්‍රකාශය සනාථ කළේත් මන්ද? ඒ කාගේ අවශ්‍යතාවටද? ඔවුන්ට පොලිසියේදී තර්ජන, ගර්ජන සිදුවූවාද? මානසික හෝ කායික වදහිංසා සිදුවූවාද?
ශානි අබේසේකරට එරෙහිව බොරු සාක්කි දෙන්නැයි සුගත් මොහාන් මෙන්ඩිස් උප පොලිස් පරීක්ෂකවරයාට පොලිසියට බලපෑම් කළ බව අධිකරණයේදී කියැවිණි. තවමත් සිර අඩස්සියේ පසුවන හෙජාස් හෙස්බුල්ලාට එරෙහිව බොරු සාක්කි දෙන්නැයි ළමුන් දෙදෙනකු හා පූජකයන් දෙදෙනකුට පොලිසියෙන් බලපෑම් වූ බවද අධිකරණයේදී කියැවිණි. බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධියේදී වූයේත් එවැන්නක්ද?


කතෝලික පල්ලියේ නායකයන් සිදුවීම වූ දිනයේ සීසීටීවී දර්ශන සියල්ල බැලුවේ නැත්නම් උදෑසන පල්ලියට ආ සැක කටයුතු පුද්ගලයා පිළිබඳව අනාවරණය වන්නේ නැත. එසේ නම් පල්ලියේ සේවකයා බෝම්බය තැබූ කතාව සත්‍යයක් ලෙස ගැනෙනු ඇත.


මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ තිර රචකයාගේ අදක්ෂ බවද? එසේ නම් ඊළඟ බෝම්බ ජවනිකාව දිග හැරෙනුයේ කවදාද? කොතැනද?


විශාරද නන්දා මාලිනිය තම නවතම ගීතයකින් ගව රැළකට හිතැති නව ගොපල්ලෙකු ඉල්ලා සිටියාය. සැබැවින්ම ගොපල්ලෙකු අවශ්‍ය වනුයේ ගව, එළු, බැටලු වැනි සතුන්ටය. ලංකාවේ ජනතාව මෙලෙස ගව රැළකට සමාන කිරීම කෙතරම් යුක්තියුක්තද යන්න වෙනම කතාවකි. රාජපක්ෂවරුන් නම් බහුතර ඡන්ද දායකයන් ගවයන්ට සමාන ලෙස දකිතැයි අනුමාන කළ හැක. වෘක තර්ජන, කොටි තර්ජන සතර වටින් තිබෙන බව පෙන්වමින් ජනතාව නම් ගව රැළ තම ග්‍රහණයේ තබා ගැනීම ඔවුන්ගේ උත්සාහයයි. වෘකයන්ට, කොටින්ට ඇති බිය නිසා ජල උල්පත් සිඳී ගොස් ඇති බවත්, තණකොළ වියළී ගොස් ඇති බවත් ගව රැළට නොදැනෙනු ඇතැයි මේ ගොපලු පවුල සිතනවා විය හැක. පිපාසාව සතුරු බියෙන් යටපත් කළ හැකි යැයි ඔවුන්ගේ මතය විය හැක.


හොඳ හෝ නරක ගොපල්ලන් අවශ්‍ය ගවයන්ටය; මිනිසුන්ට නොවේ. නිල හෝ නොනිල රජුන් අවශ්‍ය යටත් වැසියන්ටය. නිදහස් මිනිසුන්ට නොවේ. 2019 ජනපතිවරණ නාටකයේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා දියසෙන් කුමරු මෙන්ම ගව රැළට හිතැති හොඳ ගොපල්ලාද විය. වෘක නාදයට තැති ගැනෙන ගවයන් මෙන් තැන තැන මතුවන බෝම්බවලට බියවී මෙරට බහුතර ඡන්දදායකයන් යළිත් ගොපලු පවුලට අනුගත වේද? ඒ නරක ගොපල්ලා වෙනුවට යහපත් ගොපල්ලෙක් සොයයිද? නැතහොත් තම මිනිස්කම සිහියට ගෙන වගකීම් සහිත පුරවැසියන් මෙන් ක්‍රියා කරයිද? විවිධ අපේක්ෂකයන් විවිධ ස්වරයෙන් ගයන ගොපලු ගීත වෙනුවට දැනුවත් හා තාර්කික සංවාදයට කාලය පැමිණ තිබේද? ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි