22.9 C
Sri Lanka
27 September,2022

භාරතය නම් ප්‍රේමයයි
ප්‍රේමය නම් භාරතයයි

Must read

මා භාරතය පුරා ඇවිද්දේ කුඩා කල මා අත්විඳි ගූඪමය සෞන්දර්යයෙන් පිරි මනසිනි. මට භාරතය පෙනෙන්නේ ඇත්ත ලෝකයේ ඇති දෙයක් ලෙස නොව මායාමය විජිතයක ඇති ස්වර්ණ වර්ණ පුරයක් ලෙසිනි. මම සිහිනයෙන් ඇවිද යමි. ඒ සිහිනයේ ඇවිදින්නට
මම ආශා කරමි.

■ සංජීවනී රූපසිංහ

භාරත භූමිය කෙරෙහි අපට ඇල්මක් ඇත. සිංහල දෙමළ අප සියල්ලටම එම ඇල්ම ඇත. එය ආවේ කොහෙන්ද? පුංචිම කාලයේ අපට කතා කියා දුන් වැඩිහිටියන් සැරිසැරුවේ ඒ බිමේය. මට සාම ජාතක සිහි වෙයි. ලින්ඩ්සේ බාලිකාවේ එකේ පංතියේදී තෑලිස් මිස් ඒ කතාව කියා දෙද්දී මම ඉකිබිඳ හැඬුවෙමි. මගේ ගුරුවරියට මා නළවාගත නොහැකි විය. මා සිටියේ භාරතයේ මහා වනයක් මැදය. බරණැස් රජු සාම කුමාරයාට විදි විෂ පෙවූ හීය ඇනී තිබුණේ මටය. සාම කුමාරයාගේ නොව එය මගේ වම් ඇලයෙන් ඇතුල් වී දකුණු ඇලයෙන් පිටව තිබුණි. මට වේදනාව දැනුණි. මම ඇඬුවේ මගේ වේදනාවටය. දැන් දැන් මා සුවපත් කරන්නට මගේ අම්මාත් තාත්තාත් පැමිණෙනු ඇත. ඔවුන් කෙතරම් වේදනාවක් විඳිනු ඇද්ද? ඔවුහු අන්ධ දෙමව්පියෝය. මගේ අම්මාත් තාත්තාත් අන්ධ විණි නම්, මම තව තව අඬමි. සිත සිතා අඬමි. වේදනාවේ නිමක් නැත. සාම කුමාරයා මෙන්ම මම ද එකම දරුවාය. ඔවුන් මේ වේදනාව කෙසේ දරන්නද? මගේ කඳුළු කෙසේ මා නවතා ගන්නද? ඉතිං මගේ ගුරුවරිය කෙසේ නම් මා සනසන්නද? මට මතක හැටියට මා ඉන්දියාවේ මහ වන මැද තනි වූ පළමු අවස්ථාව එයයි.


“මිසිස් රූපසිංහ ඔයාගේ දුව ගොඩාක් සෙන්සිටිව්. අද පංතියේ කිසි වැඩක් කරන්න බැරි වුණා. මෙයාව නලවන්න මට සිද්ධ වුණා.”


අම්මා එනතුරු මා උකුලේ තබා ගෙන සිට අම්මාට මා බාර දෙමින් තෑලිස් මිස් කීවාය.
මා සිටියේ භාරතයේ මහ වනයක් මැද අතරමං වී ය. තවත් කලෙක වරෙක මම සීතා වී රාම දර සෑයට පනින්නට කීවා යැයි ඔහු හා උරණ වීමි. දහස් ගණනකගේ ජීවිත විනාශ කර මා බේරා ගැනීමෙන් ඇති ඵලය කුමක්දැයි මම සිතුවෙමි. දරුවන් ලැබෙන්නට සිටිද්දී පවා මාලිගයෙන් වනාන්තරයට පිටමං කරවූ රාම සමඟ මම තවමත් උරණව හිඳිමි. අතින්වත් නොඇල්ලූ රාවණට පෙම් බැන්දෙමි. එදවස අයෝධ්‍යාවේ, දණ්ඩකාරණ්‍යයේ ඇවිද ගියෙමි. කුඩා කළ අප වශී කළ රාමායණය, මහාභාරතය වැනි වීර කාව්‍යයන්හි අප සැරිසැරූ තරම් දන්නේ ඒවා මහත් අභිරුචියෙන් කියවූවන් පමණි. එවිට භාරතයේ අප ඇවිදින්නට පටන් ගෙන තිබුණේ ඉතාමත් කුඩා කාලයේ සිටය. නැතහොත් සංසාර ගණනකට පෙර සිටය.


තව කලෙක ගාන්ධිට නේරුට පෙම් කළෙමි. හොය හොයා ඔවුන්ගේ වගතුග කියෙව්වෙමි. තාගෝර්ට ආදරය කළෙමි. ශාන්ති නිකේතනයට යන්නට සිහින දුටුවෙමි. චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ ඇසින් අපූලාගේ ලෝකයේ සැරිසැරුවෙමි. මගේ පුතාට අපූර්ව යැයි නම් තබන්නට ආශාවෙන් සිටියෙමි. මගේ ලොකු පුතාගේ තාවකාලික උප්පැන්න සහතිකයේ ඔහුගේ නම වූයේ අපූර්ව ය. අරණකට පෙම් බැඳ කෘතියේ අවසානයේ වනය විනාශ වන විට පපුව හිර කර ගත්තෙමි. මේ භාරතයට බැඳි මගේ ප්‍රේමයේ සංක්ෂිප්ත ඉතිහාසයයි.


පසුකලෙක මා භාරතයේ මහ වන මැදින් ගමන් කරන විට කුඩා කළ මා සිතින් ඇත්විඳි භාරතයේ මහා වනාන්තර සහ ඇත්තටම දුටු මහා වනාන්තර අතර වෙනසක් වූයේ නැත. භාරතයේ මහා ගංගා මම මනසින් දුටුවෙමි. අචිරවතී ගංගාව පණ ඇති පෙම්වතෙකු සේ මට පෙනෙයි. මා එහි ගිය විට මා ආදරයෙන් තුරුලු කොට ගනු ඇත. කලකට පසුව හමුවන පෙම්වතෙකුගේ පපුවේ උණුසුම සේ ඒ සීතල දිය දහර මා වෙළා ගනී. මා වැළඳ ගනී. භාරතයේ ගංගා ගුවනින් දකින විට මම පුදුම වෙමි. භාරත භූමිය සිසාරා යන රිදීවන් නදී රේඛා ඉහළ ගුවනට පෙනෙයි. ඒවා අවසානයේ වළාකුළු වනාන්තර හා එකතු වී නොපෙනී යයි. මම සිතින් ගංගාව දිගේ එක්කෝ ඉහළ ගොස් සුදුම සුදු වළාකුළු හා එකතු වෙමි. නැතහොත් ගංගාව දිගේ පහළ බැස නිල ඉළු සාගරය හා එකතු වෙමි.


ඉන්දියාවේදී දකින සෑම ගැහැනියකම මම හොඳින් හඳුනමි. ඒ කුඩා කල අප ඇසූ කතන්දරවල සිටි කිසාගෝතමීලාය. පටාචාරාලාය. ඔවුන්ගේ මුහුණුවල ඇති ඉසියුම් රේඛා පවා මම හොඳින් හඳුනමි. ලොකු කඩුක්කන් දමා සිටින මහත ගැහැනුන් කෙරෙහි මට ඇතිවන්නේ අතිශය ආදරයකි. දිග කුර්තා කමිසය ඇඳි පිරිමි ඇසට සුන්දර දසුනකි. මගේ සැමියාට මා දුන් පළමු තිළිණය නම් දිග කුර්තා ඇඳුමකි. ඒ ඇඳුමට මගේ යටිහිතේ තිබූ ආශාව නිසා ඔහුට එසේ අන්දවා බැලීමට මම ආසා කළෙමි. ඔහු ඉතා කෘත්‍රිමව ඒ ඇඳුම හැඳ මංගල උත්සවයකට සහභාගි වූවාට වඩා ඉන්දීය සාමාන්‍ය ජීවිතයේ තුර්තා හැඳ මගතොටේ යන පිරිමින් දෙස මම දෙවරක් හැරී බලමි. එය එතරම්ම සුන්දරය.
මා කුඩා කළ ආශා කළේ හින්දු තරුණයෙකු හා විවාහ වන්නටය. මම තවමත් ඉන්දියාවේදී පිච්ච මල් හිස පළඳා නළලේ රතු තිලක තියා හින්දු ගැහැනියකව මා දෙසම බලමි. එහි ඉමිහිරි සුගන්ධය දවස පුරා මගේ නාස් පුඩු විනිවිද යමින් මා ප්‍රමෝදයෙන් ඇහැරවා තබයි. මට ජීවත් වනවා සේ දැනෙන්ට සලස්වන්නට ඒ මල් සුවඳට හැකිය.
භාරතය සුවිසල්ය. ලුම්බිණියේ සල් උයන, නේරංජනා නදිය, වේළුවනය,

ජේතවනාරාමය, ඉසිපතනය, කිඹුල්වත් පුරය අප දන්නේ නැතැයි අප කියන්නේ කෙසේද? අප තරම් භාරතය දන්නා වෙනත් කිසිවෙක් ඇද්ද? කුඩා කල ඇසූ කතන්දරවල අපගේ ජීවිතය තවමත් හුස්ම ගනී. ඒවා වසර දෙදහස් ගණනක් පැරණි නගර පමණක් නොවේ. අප පෝෂණය වූ ජාතක කතා තවත් වසර දහස් ගණනක් පැරණි නගර ගම් දනව් ගැන අපට කියා දී ඇත. බෝධිසත්ත්වයන් සමඟ අපි ඒවායේ ඇවිද ඇත්තෙමු. වරෙක උන්ට සිනා වෙමින් ද වරෙක හඬමින් ද වරෙක හිත දීප්තියෙන් බබලමින් ද අප ඒවා අසා සිටිමු. බෝධිසත්ත්වයන් ගැල් සාත්තුවල යද්දී අප ද ගැල්වල නැගී භාරතය පුරා ඇවිද නොගියා යැයි අප කියන්නේ කෙසේද? පැන් පොදක් නැතිව කාන්තාර තරණය කරද්දී එක ඊතණ ගසක් දකින අපි කෙතරම් සතුටු වූයෙමුද?


මා භාරතය පුරා ඇවිද්දේ කුඩා කල මා අත්විඳි ගූඪමය සෞන්දර්යයෙන් පිරි මනසිනි. මට භාරතය පෙනෙන්නේ ඇත්ත ලෝකයේ ඇති දෙයක් ලෙස නොව මායාමය විජිතයක ඇති ස්වර්ණ වර්ණ පුරයක් ලෙසිනි. මම සිහිනයෙන් ඇවිද යමි. ඒ සිහිනයේ ඇවිදින්නට මම ආශා කරමි.


මා දුටු භාරතය සැබෑ භාරතය නොවිය හැක. එයට සමාවන්න. මේ මගේ සිහිනමය භාරතයයි. එහි සිටින්නේ මගේ සිහිනවල සිටි කුමාරයන්ය. කුමාරියන්ය. යශෝධරාලාය. පුණ්ණලාය. තවමත් යෝගී මුනිවරුන් සිටින, නිරුවත් මුනිවරුන් සිටින, ව්‍රත සමාදන්ව නිවන් සොයන පැවිද්දන් සිටින භාරතයයි. අපරිමිත භක්තියෙන් දෙවියන් වදින මිනිසුන් සිටින භාරතයයි. දහස් ගණනක් දෙවිවරු සාදා ගත් භාරතයයි. නළලේ පොට්ටු තියා ගත් ගැහැනුන් මිනිසුන් සිටින, පිච්ච මල් මාලා හිස පැළඳි අත් වළලුවලින් බර වූ රතු කහ කොළ පච්ච වර්ණ දිලිසෙන සාරි අඳින ගැහැනුන් සිටින භාරතයයි. උත්තර ප්‍රදේශවල කහ පැහැති ඡවි වර්ණයෙන් යුත් ගැහැනු ද දක්ෂිණ ප්‍රදේශවල කාලවර්ණ සිරුරු හිමි ගැහැනු ද එක සේ සුන්දරය. ලොකු උඩු රැවුළ තැබූ මිනිසුන්ගේ තීක්ෂ්ණ බැල්ම සහිත ඇස් ඔවුන් සසර පුරා දැක ඇති එක් මිනිසෙකු පිළිබඳ මතකයන් රැගෙන එයි. ඔවුහු පුදුමාකාර තරම් හෘදයංගමය. ඔවුහු ගැහැනුන්ට ගරු කරන්නට දනිති. මිය ගිය සැමියාගේ දර සෑයට ගැහැනියට පනින්නට බල කළ භාරතය ම ද මේ යැයි වරෙක සැක සිතේ.
මේ භාරතය සුන්දරය. එහි මාවත් සැතපුම් ගණනක් එක දිගට පෙනේ. මාවත ගොස් අහස හා එකතු වෙයි. එහි රියැදුරන් විනයගරුක නැත. එහෙත් රිය අනතුරක් මම දැක නැත්තෙමි. මොටර් සයිකල් පදින කිසිවෙකු හෙල්මටයක් පළඳින්නේ නැත. එහෙත් ඔළුකටු චප්ප වූ අනතුරු ද නැත. ගැහැනුන් මෝටර් සයිකල්වල කකුල් දෙපසට දමා ඉඳගෙන යන්නේ නැත. වාඩි වී යන්නේ පැත්තටය.


දකුණේ ඉඩ්ලි වඩේ සාම්බාරු සමඟ කුළුබඩු රසැති ආහාරවලට ද උතුරේදී රොටි බත් සමඟ හොදි රසම් මීකිරි සහිත පැණි රස ආහාරවලටද මම එක සේ පෙරේත වෙමි. රුලංවලින් සෑදූ බත් මෙන්ම කජු මුද්දරප්පලම් මිශ්‍ර පොංගල් බත ඕනෑම කුස පිරුණු මොහොතක පවා අන්දරේට කිරි පැණි මෙනි.


එන්න අපි ඇවිද යමු. සුවිසල් භාරත භූමිය පුරා නිදහසේ ඇවිද යමු. අප නවත්වන්නේ කව්රුන්ද? මේ ප්‍රේමයේ භූමියයි. ■ (ලබන සතියට)

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි