19.8 C
Sri Lanka
7 August,2022

ධවල වස්ත්‍ර – කසාවස්ත්‍ර සහ
අල්ලස් ක්‍රීඩාව

Must read

ලංකාව ‘අල්ලස් දීම සහ – අල්ලස් ගැනීමට‘ නම් දරා සිටියි. අල්ලස් දීම සහ ගැනීමට නම් දරා සිටින්නේ දේශපාලනඥයන් බව කිව යුතු නැත. රාජපක්ෂවරුන්ගේ පාලනය යටතේ අල්ලස් දීම සහ ගැනීම අභිමානවත් තත්වයකට පත් වුණ වග විත්තිද කිව යුතු නැත. අල්ලස් දීම සහ ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පමණි තව තිබෙන්නේ. මහජන සුබ සෙත වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම ඒ ත්‍යාග භාර ගැනීමට නීතියෙන් අවසරය ඇත යන වැකියක් අලංකාර වදන්වලින් ජී.ඇල්. පීරිස්ට ලියන්නට හැකි ය. ඒ වැකිය ඔහු සමඟ අලි සබ්රිට සමාජ ගත කිරීමට මාධය බලය නිසි අන්දමින් උපරිම සේවයක් කරනු ඇත.


අල්ලස් දීමෙන් හෝ ගැනීමෙන් වැරදුණ කෙනෙකු වී ද? එහෙම වැරදුණ අය වෙත්නම් නොපමාව වියත්මඟට බැඳී සුදුසුකම් සපුරාගෙන හේවායන් ද සමඟින් ගොඩ යන්නට පුළුවන.

නීතියේ දෙවොල තුළ


සියලු රාජ්‍ය ආයතනවල ඒ ඒ තරාතිරම්වලට අනුව විධිමත්ව සිදු කෙරෙන අල්ලස් ක්‍රීඩා තිබෙන බව කියන්නට නොදන්නා පුරවැසියෙකු සොයා ගත හොත් ඒ නොමළ ගේකින් අබ ස්වල්පයක් සොයා ගත්තාට සමාන ය.


අතීතයේ දවසක මට අධිකරණයේ පෙනී සිටීමට සිදු විය. මට ඇප නියම කෙරිණි. මට ඇප මුදල් තැන්පත් කළ වෛද්‍යවරයා අදාළ කුවිතාන්සිය රැගෙන විත් නීතිඥයාට දුන් විට ඔහු වෛද්‍යවරයාට පැවසුවේ ඒ කුවිතාන්සිය රුපියල් සීයක් සමඟ (මේ රුපියල් සීය 1990 වසරට අදාළ එකකි.) කූඩුව භාරව සිටින රාළහාමිට දෙන ලෙස ය. වෛද්‍යවරයා බිය වූ සේය. හේතුව විනිසුරුතුමා ඉදිරිපිට එය කිරීම වරදක් යයි සිතුණ නිසා ය. ඔහු කුවිතාන්සිය පමණක් දුන්නේය. මා පිටතට යවන්නට රාළහාමි සූදානම් නැත. පැය භාගයකට පමණ පසුව අපගේ නීතිඥ තැන මා සිටිනවා දැක වෛද්‍යවරයාට කතා කොට රාළහාමිට කතා කොට යමක් විමසීය. අනතුරුව නීතිඥ තැන රුපියල් සීයක් ඉල්ලාගෙන ගොස් රාළහාමි අත තබා මාව යවන ලෙස පැවසීය අසුරුසැණින් රාළහාමි සිය රාජකාරිය කළේය. මට චූ බරක් දැනුණි. හේතුව මේ සිද්ධිය මහාධිකරණයක විනිසුරු අබිමුව සිදු වූ බැවිනි. එදායින් පසුව රජයේ වෙනත් කිසිම ආයතනයක අල්ලස් ගැනීම හා අල්ලස් දීම මුල් කරගෙන චූ බර දැනී නැත. ඒ වෙනුවෙන් මා ශක්තිමත් වීමට තව හේතුවක් නම්, මේ කාරණය මා යම් යම් අවස්ථාවල විනිසුරුතුමන් කීප දෙනෙකුට පෞද්ගලිකවත්, එවැනි උතුමන් සිටින අවස්ථාවක සභාව අමතමින් යම් කරුණක් පැහැදිලි කිරීමට නිදසුනක් ලෙස දක්වන විටත් ඒ උදවිය ‘යස සිනා රසයක්‘ විඳීමය. මා තවමත් සිතින් ඉපැරණි යුගයක බව ක්‍රමයෙන් ඉගෙන ගතිමි.

මිතුදම් මනරම්


පළවෙනි වතාවට වාහන බලපත්‍රයක් ලැබුණ විට පරිස්සමට වාහනයක් ගෙන්වා ගතිමි. එය නිදහස් කර ගැනීමට මිතුරන්ගෙන් උපකාර පැතීමි. හැම මිතුරෙක්ම උපකාර කළෝය. ඒ හැම මිතුරාම ඔහුගේ මිතුරෙකු වෙත යොමු කරමින් අවශ්‍ය කටයුතු නොපමාව සිද්ධ කර ගන්නට මඟ පෙන්වීය. වැදගත්ම කාරණය නම් හැම මිතුරෙකුම ‘අසවල් අසවල්‘ පුද්ගලයන් වෙතට මා යොමු කරන විට ලබා දිය යුතු සංග්‍රහ ගාස්තුව ද (අල්ලස යන වචනය රාජ්‍ය සේවයට නොගැළපෙන නිසා මේ යෙදුම භාවිත කළෙමි. මේ ගැන මිතුරන් පවසා සිටියේ ‘අපි පොඩි සන්තෝසමක් දෙමු‘ ලෙසිනි.) මට පැවසීම ය. ක්‍රමානුකූලව නීතියට අනුව සියල්ල සිදු විය. මගේ එක මිතුරෙකුවත් සංග්‍රහ ගාස්තු ගත්තේ නැත. එහෙත් මා උගත් පාඩම නම් මැරිගෝ රවුමේ එක අසුනක වාඩි වී සිටියත් හැම කෙනාම වටේ යන බව ය. වටේ ගමනින් සිරි නොදකින කිසිවෙකුත් නැත.
වාහනය ලියා පදිංචි කර ගැනීමට මාව තවත් මිතුරෙකු යම් නිලයක් දරන මහත්මයෙකු වෙතට යොමු කළේය. රජයට ගෙවිය යුතු ගාස්තුවලට අමතරව ඔහු තව ගාස්තුවක් මගෙන් ඉල්ලුවේය. ඒ අදාළ අදාළ තැන්වල කටයුතු කරන නෝනලාට සහ මහත්වරුන්ට සංග්‍රහ දීමනා ලෙස දෙන්නට බව ඔහු විවෘතව පැවසීය. මට වාඩිවී සිටීමට පවසා ඔහු සියල්ල කර දුන්නේය. එදා මා උගත් පාඩම නම් රාජ්‍ය සේවයේ මනා කාර්යක්ෂමතාව නිර්මාණය වී තිබෙන සැටිය. ඉතින් බලාගෙන යන විට අල්ලස් ගැනීම හා අල්ලස් දීම නම් ක්‍රියාදාමය තුළ මමත් මගේ මිතුරනුත් සිටිනවා නම් අල්ලස ලංකාව තුළ යම් ශිෂ්ටත්වයකට පත්ව නොතිබේ ද?

පිරිසිදුව පිළිවෙළට


යහ පාලනය වෙනුවෙන් සෝභිත හිමියන් සමඟ එක්වුණ මගේ මිතුරෙක් සිටියි. ඔහු ව්‍යාපාරිකයෙකි. ඔහු මුදලින් ද දැනුමෙන් ද බොහෝ දේ කළේය. යම් අවස්ථාවක මගේ මිතුරාගේ ව්‍යාපාරය කරගෙන යන්නට අසීරු තත්වයකට මුදල් අර්බුදය උත්සන්න විය. නීත්‍යනුකූල ටෙන්ඩර් පටිපාටිවලට අනුව රජයට සිදු කර තිබෙන සැපයීම් හා සේවා වෙනුවෙන් ගෙවීම් ලැබෙන්නේම නැත. මේ කාරණය වටහා ගත් මා ස්වේච්ඡාවෙන්ම අදාළ ඇමතිවරයා මුණ ගැසුණි. ඔහුගේ අනුදැනුමකින් තොරව බරපතළ වරදක් තැනක සිදුවන වගය මට වැටහුණේ. අමාත්‍යවරයා මට ගරු සරු ඇතිව සලකා තතු විත්ති අසා සියල්ල නොපමාව සොයා බලා කටයුතු කරන බවට පොරොන්දු වූයේ මගෙ සිත ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි. මම ටිකක් ආඩම්බරයෙන් මිතුරාට මගේ ස්වේච්ඡා මෙහෙයුම ගැන වාර්තා කළෙමි. යම් දවසක් ගත විය. මගේ මිතුරාගෙන් සාධනීය ප්‍රතිචාරයක් නැත. මම කම්පා වීමි. ඔහු මට පැවසුවේ මෙයයි.


”මගේ දරුවො මට කිව්වා මට පැත්තකට වෙලා ඉන්න කියලා ඒ අය බලාගන්නම් කියලා”


ක්‍රමයෙන් මා වටහා ගත්තේ මිත්‍රයාගේ දරුවන් කොම්පැණිය බංකොළොත් නොවී පවත්වාගෙන යන්නට සමත් වීම ගැනය. ඒ පුවත් අසා මම සැනසුණෙමි.


මම වැදගත් පාඩමක් උගත්තෙමි. එය නම් දක්ෂ අමාත්‍යවරුන් පිරිසිදුව පිළිවෙළට වැඩ කරන්නට නිර්මිත විධිමත් ක්‍රමවේදයක් පවතින බව ය. එහෙත් මගේ මිත්‍රයා පවසන්නේ නම් රාජපක්ෂවරුන් යටතේ ඇමතිකම් කළ පදම් වුණ ‘එදාටත් මෙදාටත් හෙටටත්‘ නීට් එකට ධවල වස්ත්‍ර හඳින ජ්‍යෙෂ්ඨ තලයේ දේශපාලනඥයන් සමහරක් අමු නිරුවතින් හම්බ කරන බව ය. තවත් අය ‘ස්මාර්ට්‘ විදිහට හම්බ කරන බව ය. එස්.බී. නම් දේශපාලනඥයා හුස්ම නාල්ලා තවමත් දුවන්නේ අමාත්‍ය පදවියක් නැති ජීවිතය හුණු නැති බුලත් විට නිසා ය. රාජ්‍ය අමාත්‍ය පදවියක් කොහොම හරි ලැබුණත් ඒ ඇමතිකම නම් හුණු පමණක් නොව පුවක් සහ දුම්කොළත් නැති බුලත් විටකි. ඒ නිසා දඟ පන්දු යවමින් ක්‍රීඩා කරමින් බලන්නේ අමාත්‍ය කඩුල්ලක් දිනා ගන්නටය. දිනා ගන්නට බැරිවුණ පසුව ගඳ පන්දුවල වේගය තවත් වැඩි කරන්නේ පන්දුව ද පළුදු කරමිනි. ඒ සෙල්ලම් සිස්ටම් එක චේන්ජ් කළ විරුවෙකුට නොගැළපේ. එය ගැළපෙන්නේ කුරහන් සුවඳ දැනෙන්නෙකුටය. ඉතින් හුණුත් නැති – පුවක් දුම්කළත් නැති බුලත් විට නැතිවුණාට කමක් නෑ කියා ජහමනයා වෙනුවෙන් අවදි වීම සුපිරිසුදු දේශපාලනඥයෙකුගේ චරිත ලක්ෂණය නොවන්නේ ද?

දේශප්‍රේමය නිසා වස්තරය කැතවීම


වෛශ්‍යාවකගෙන් මන දොළ සපුරා ගන්නා උදවිය ඇය කරේ තබාගෙන උත්සවවලට සහභාගි වෙන්නේ නැත. ඇතමෙකු ප්‍රගතිශීලීව – දේශප්‍රේමීව ඇයට කන්‍යාභාවයක් උරුම කර දෙන බවට ප්‍රතිඥා දෙන අන්දමක් නැතුවා නොවේ. එය නාටකීය ගුණයෙන් හරි ඉහළය.


ඉතිහාසයේ කිසිම කිසි ආණ්ඩුවක් තුළ කැබිනට් අමාත්‍යවරුන් බුරුත්තක් එකවර වත්මනේ මෙන් අසූචි සමඟ බත් කන සැටියක් නොතිබුණේ යයි සිතමි. විටෙක අසූචි ගඳ බව ඔව්හු කියති. තව විටක අසූචි සුවඳ බව කියති. අභාග්‍යය දෙකම එක බුදින නිවටුන් වී සිටීම ය. හැමදේම සාධාරණී කරණය කරන වාමවාදී මහලු දේශපාලනඥයා අසූචිවල ගුණ පවා ඉදිරියේ දී ජන මාධ්‍ය ඔස්සේ පවසන්නට බැරි නැත.


දුම්මල ගැහුවත් හැර නොගොස් සිටින තත්වයක් නොව වස්තරය ඉරා දමා අතින් පයින් පහර දුන්නත් අමාත්‍ය පදවිය අත් හැර නොයන ගල් ඉබ්බන් වැනි අමාත්‍යවරුන් පිරිසක් සිටීම පෙන්වන්නේ එක අතකට විරු බලය වේ. මේ හරිම බඩු එකොළහ වෙනුවෙන් නාට්‍ය රසය හරි වැදගත්ය. අමාත්‍ය පදවියක් නොදරන ප්‍රබල පක්ෂ නායකයෙකු අවිධිමත්ව සභයට පැමිණ පොතේ ගුරුගේ භූමිකාවට පණ දෙන්නට මාන බලන සැටියක් ද දකින්නට ඇත. පලයව් කියා කට කැඩෙනකල් කිව්වත් නොයන අමාත්‍යවරුන් ආත්ම ගෞරවය වෙනුවෙන් අත් නොහරින්නේ ආත්ම ගෞරවය කියා එකක් ඔවුන්ට නැති බව මැනවින් දන්නා බැවින් බව නම් රටටම නොරහසකි.


ගෝඨාභය රාජපක්ෂ කිසිම පැත්තකින් කිසිම සාධනීය ලක්ෂණයක් පළ නොකිරීම නිසා ය එකොළහේ කල්ලියක් සෑදුණේ. සමස්ත ආණ්ඩුවම එකම අසූචි ගොඩක් වැන්න. දත්මිටි කාගෙන සියල්ලෝ සිටිති. ඊට හේතු දෙකකි. එකක ප්‍රාණ බය වේ. අනෙක අධිකරණ බය වේ. මේ සම්බන්ධව කාටත් වඩා හොඳින් දන්නා කියන දේශප්‍රේමීන් වස්තරය කැතකරගෙන සිටින්නේ දැඩි වේදනාවකින් නිදි රෑවල් පහන් කරමින් වන්නටත් පුළුවන. වස්තරය අපුල්ලා ගන්නට නම් ගැලවිය යුතුය. ගලවන්නේ කෙසේ ද? නපුරු සිහින හිස් ගෙඩි උඩ ලබදෙමින් දෙන වද හිංසා අපමණය.

කසාවත සහ අල්ලස


දේශපාලන ක්ෂේත්‍රය හැරුණ විට අල්ලස සම්බන්ධයෙන් දක්ෂ ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් මතු වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙනි. ඉතින් අල්ලස් දී කඩදාසි පිළියෙල කොට – තවත් ලොකු අල්ලස් කුට්ටි දී පාසලකට ඇතුළත් කරන දරුවා වයසින් වැඩෙන විට වටහා ගන්නේ අල්ලස යනු ලාංකේය සංස්කෘතියේ සාමාන්‍ය තත්වයක් බව නොවේ ද?
ඉතින් අල්ලස යනු පාපයක්ය රටට උදේ හවා කියන කසාවත්ධාරීන් යහමින් අල්ලස් ගන්නා ගමන් අභිමානවත් අන්දමට අල්ලස් දීමේ නිමග්නව සිටින තත්වයක් ද ලංකා දේශපාලන සංස්කෘතිය විසින් ගොඩ නඟා ඇත. ඇත්ත වශයෙන්ම අද නම් අපට හැඟෙන්නේ කුඩා කල හිස කෙස් බූ ගා දමන විට අති බහුතරයකගේ මොළේ ඇබින්දක් වී නම් එය කෙස් සමඟ බූ ගා දැමී ඇති බවය.


විනයධර – ධර්මධර – සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සිටිත්නම්, මහනායකහිමිවරු සිටිත් නම් නිසි බුහුමන් දක්වමින් පවසන්නේ ඇතැම් කසාවත්ධාරීන් පජාත දේශපාලනඥයන්ටත් වඩා පජාත වැඩ කරන බවය.


රටට කෙළවී තිබෙන අන්දම දසතින් අසන්නට ලැබේ. ඇතැම් භික්ෂූන් තියුණු වේවැල් පාරවල් ද එල්ල කරන සැටියක් ඇත. ආණ්ඩුවේ හෙද භික්ෂුව උන්හිටි ගමන් කටමැත දොඩවයි. උන්හිටි ගමන් පජාත වෙයි. අල්ලස කොතරම් බලගතු ද යන්න මේ හෙද භික්ෂුව පසුගියදා කසාවත උනා දමා ප්‍රදර්ශනය කළේය.


අපේ පාලකයන්ට ඇති කෞශල්‍යයක් වන්නේ ධර්මානුකූලව අල්ලස් දෙන්නට පුළුවන්කම ය. එය අටපිරිකරෙන් පටන් ගෙන පදවියකින් බබළවා බෙන්ස් රියකින් නිම කළ හැකිය. ඉන් පසුව කසාවත්ධාරීන් ද එකොළහේ කල්ලිය සේ එකම විලාසයකින් නිරුවත්ව ලැජ්ජා බයකින් තොරව එකම කවි පද ගයන්නෝ බවට පත් වෙති.


දේශපාලනය මොන අන්දමකට පිරිහී තිබේද? ඊට වඩා සිය ගුණයකින් සාසනය පිරිහී ඇත.


රාජ්‍ය මුදල් සහ දේපොළ සොරකම් කිරීමේ සිට මනුෂ්‍ය ඝාතනය දක්වා සකල විධ අපරාධ කරන්නන් පිළිගෙන ගෙනෙන දැක්ම භාරගෙන පිරිත් නූල් බැඳ සෙත් පැතීම කරන්නේ බුදුන් වදාළ ධර්මය අමු අමුවේ විනාශ කරමින් බව රටටම පෙනේ. මහනායක හිමිවරුන්ට රට ගැන – ජනතාව ගැන හැඟීමක් වේ නම් එක පෙළට වඩා වී ඉහළම සිට පහළට දේහපාලනඥයන් තමන් වහන්සේලා බැහැ දකින්නට පැමිණීම නතර කරන ලෙස දන්වමින් එය ප්‍රතිපත්තියක් ලෙස පිළිපැදීමට එකඟත්වයක් ඇති කර නොගන්නේ මන්ද?

ධර්මයේ නාමයෙන් සංවර්ධනය


සෑහෙන කලක සිට ලංකාවේ පන්සල් පැවතුණේ දායක දායිකාවන්ගේ අනුග්‍රහයන් මතය. ඒ පන්සල් බොහොමයක තිබුණේ සරල බව ය. මේ තත්වය වෙනස් වෙන්නට පටන් ගන්නේ ජපන් පන්සල් ඔස්සේය. ජපානයෙන් අනුග්‍රහය ලබමින් අලංකාර පන්සල් බිහි විය. ඒවා ‘පොෂ් පන්සල්‘ වූ අතර ඒවායේ වැඩ ද ‘පොෂ්‘ විය. බබළන මන්දිර හා විදුලි වේගයෙන් පියාඹා යා හැකි වාහන සමඟින් අලුත් පන්සල් සංස්කෘතියක් ඇති වෙන්නට පටන් ගත්තේය. ලංකාවේ බෞද්ධයන්ට හැම විටම අවශ්‍ය වන්නේ බබළන තැන් ය. මේ ජපන් පන්සල් වටා රොද බැදෙන්නට හේතු කාරණා ද විය. ප්‍රථමයෙන් පෙර පාසල් ආරම්භ කෙරිණි. දෙවනුව පරිගණක අධ්‍යාපනයේ සිට රූප ලාවණ්‍ය හරහා ගොස් සම්පූර්ණ විෂය නිර්දේශ උගන්වන පාසල්ද නිර්මාණය විය. මේ බබළන පන්සල් දියුණු කිරීමට ආර්. ප්‍රේමදාස මහතා ඉඩකඩම්වලින් අනුග්‍රහය ලබා දුන්නේය. ධර්මධර විනයධර භික්ෂූන් වෙනුවට ‘ජනප්‍රිය සාදුලා‘ සංස්කෘතියක් බිහිවිය. ඇතැම් ජනප්‍රිය භික්ෂූන් නොකළේ ගීත ගායනය පමණකි. මේ පන්සල්වලින් සිදු වුණ සේවය කෙසේ වෙතත් හැම පන්සලක්ම ‘දියුණු කළ යුතුය‘ යන අදහස වැඩී වර්ධනය විය. හැම තැනටම ජපන් සල්ලි ආවේ නැත. වෙන වෙන රටවල ආධාර ලැබුණේ ද නැත. මේ අඩුව පිරිමහන්නට අවස්ථාව ලැබෙන්නේ දේශපාලනඥයන්ටය. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන් කරන්නේ පන්සල් ආගමික සිද්ධාස්ථාන තත්වයෙන් වියුක්ත කොට ‘සමාගම්‘ තත්වයට පත් කිරීම ය. මේ සංදර්භය තුළ දක්ෂ භික්ෂුන් වහන්සේලා පිරිසක් කරළියට පැමිණියෝය. ඒ භික්ෂූන් සතු හැකියාවන් ඔස්සේ පන්සල්වල සංවර්ධනය දිගටම සිදු වුණ අතර, ඒ පන්සල්වල අනුභාවය ලබමින් හා මුසපත් වෙමින් තනිව ගොඩ නැඟෙන භික්ෂු පරපුරක් නිර්මාණය වීමට පටන් ගත්තේය. ඒ භික්ෂූන් ගොඩ නැඟුවේ ජන මාධ්‍ය මගිනි. මේ භික්ෂු ප්‍රතිරූප සියල්ලම තම ඔඩොක්කුවට ගන්නට මහින්ද රාජපක්ෂ යුද්ධය ඔස්සේ සමත් විය. ඉතාම නරක අන්දමට ජාතිවාදය ධජයක් කරගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ – මාධ්‍ය අනුග්‍රහය යටතේ තනි තනි භික්ෂු ප්‍රතිරූප රට තුළ ගොඩ නැඟුණි. මොවුන්ගේ කූට ප්‍රාප්තිය සලකුණ වන්නේ සෝම හිමියන්ගේ හදිසි අභාවයෙනි. සෝම හිමියන්ට වසඟ වුණ උපාසක උපාසිකාවන් අතර නැති බැරි අය නොව ඇති හැකි අය වැඩියෙන් සිටි බැවින් මේ භික්ෂූන් නතර වූයේ පාර්ලිමේන්තුවෙනි. පාර්ලිමේන්තු ගිය භික්ෂූන්ගෙන් ශේෂවුණ කසාවත රතන නම් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නට කැස කවා බැරි වූ තැන එක රටක් එක නීතියක් වෙනුවෙන් විරුවා අභිෂේක කරන්නේ නීතියෙන් වැරදිකාරයෙකු වී සිරගතව සිට කෙළවුණ මෛත්‍රී පාලනයක් යටතේ නිදහස ලැබූ ගෝත්‍රික ලක්ෂණ ම විදහාපාන කසාවතකි. මේ කවුරුත් බුද්ධාගම ජාතිය රට කියා තුනක් හිසින් දරාගෙන දක්ෂ ලෙස දියුණුව ලබා සිටින්නෝ වෙති. මේ අතුරින් බහුතරය බුදුන් සරණ ගිය උදවිය ලෙස නොව හැඳින්විය යුත්තේ රාජපක්ෂ සරණ ගිය උදවිය ලෙසිනි. මේ කාටවත් කිසි වරදක් සිදුව නැත. ඇතමෙකුට කෝටි ප්‍රකෝටි වස්තුවක් හිමිය.

බහුතරය කිසියම් ව්‍යවසායකින් හරි හම්බ කළ ව්‍යාපාරිකයෙකුට වඩා සමෘද්ධිමත් බවත් කුප්‍රකට රහසකි. සිංහල බෞද්ධ ආණ්ඩුවක් ගොඩ නැඟීමට බුද්ධාගම අවභාවිත කොට – ජාතිවාදය ඇවිලවූ මේ භික්ෂූන් අද අඤ්ඤකොරොස් වී සිටියත් යළි අලුත් කසාවත් පොරවා ගෙන කරළියට අවැසි විදිහට පැමිණ ක්‍රීඩා කරනු නියතය. ලංකාවේ ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයක් – ආණ්ඩුකරණයක් කරන්නට මේ කසාවත් නිසා පහසු නැත. මේ යථාර්ථය විවෘතව රටට කිව්වේ මංගල සමරවීර පමණි. රටේ අභාග්‍යය ඔහු අකල් මරණයකට ලක් විය.

මහනායක සම්මාන


අපේ නායකයන් කල්පනා කරන්නේ යම් යම් භික්ෂූන්ට අනුග්‍රහ කිරීම යනු බුද්ධාගම ආරක්ෂා කිරීම කියාය. යම් යම් භික්ෂූන් දිනා ගැනීම රාජ්‍ය පාලනයට අවශ්‍ය බව ද අදහසකි. ඇත්ත වශයෙන්ම අද මහනායක හිමිවරුන්ට සාසනයේ ජරා ජීර්ණවීම පාලනය කර ගන්නටවත් පුළුවන්කමක් නැත. ජනතාව භික්ෂුවට ගෞරවනීය නැත. දුටු තැන වැන්දත් – දාන මාන දුන්නත්, පිරිහුණු භික්ෂූන් ගැන තක්සේරුව පිරිහුණු දේශපාලනඥයන් සම්බන්ධව තිබෙන තක්සේරුවමය.


නායකයන් වෙර දරන්නේ කසාවතින් යැපෙන්නටය. භික්ෂූන් වෙර දරන්නේ සුදු වතින් යැපෙන්නටය. මේ ක්‍රියාදාමය අන්‍යොන්‍ය ගනු දෙනුවකි.


එක තැනකට උපකුලපති පදවි පිරිනමන විට තව තැනකින් සම්මාන ප්‍රණාම පිරිනැමීමක් කරයි. මේ මොන විලිසංගයක් නැති වැඩ ද? දෙපිරිසම උනුන් රවටා ගැනීමකි කරන්නේ. උපකුලපති පදවිය දෙනවිට කිසිම සුදුසුකමක් වැදගත් නැතුවා සේ සම්මාන ප්‍රදානය කරන විට ද කිසිම සුදුසුකමක් නැත. නින්දිතම තත්වය නම් සම්මානය දී ප්‍රශස්ති ගායනා කිරීම ද හිරිකිතයකින් තොරව සිදු කිරීමය. ප්‍රශස්ති ගයන්නේ රට නැත්තටම නැති කළ පුද්ගලයෙකුට බව හෝ නොදැකීම පවසන්නේ මොළේ බූ ගෑවී නොව මියැදී ඇති බව නොවේ ද?


රට අන්තිම දරුණු තත්වයකට පත්ව තිබෙන අවස්ථාවේ – ජනතාව දහදුක් විඳිමින් සිටින අවස්ථාවේ – රටට ආහාර සැපයූ ගොවියන් මහපාරේ කඳුළු සලන අවස්ථාවේ, ගෘහණියන් ආහාර පිසින මිට මියයන්නට පටන් ගත් පසුබිමක් යටතේ – මහ පොළොව නුහුලන අන්දමේ ජාවාරම් ඉහවහා ගිය අවස්ථාවේ මහනායක කෙනෙකුට රටේ පාලකයාට ප්‍රශස්ති ගායනා කළ හැකි නම් ඒ හිමි බුදුන් සරණ ගිය බුද්ධ පුත්‍රයෙකු විය හැකි ද?


මේ සම්මාන – ප්‍රශස්ති උපදින්නේ රටේ ජනතාව දහදුක් විඳිමින් සිටින යථාර්ථයක රාජ්‍ය මුදල් පරිහරණයෙන් භික්ෂු බලය උදෙසා පන්සල් බබළවන වැඩ කිරීමෙනි. ජනතාව ජීවන අරගලයක පොර බදන සංදර්භයක් තුළ පන්සල් භූමි බබළවා ගැනීම් කරවා ගැනීම හෘදය සාක්ෂියක් ඇති භික්ෂුවකට කළ හැකි දෙයක් ද?


ලංකාවේ ජනතාවගේ අභාග්‍යය බුද්ධාගම ද? බුද්ධාගම දඩමීමා කර ගත් පිරිහුණ භික්ෂූන් ද?


ලංකාව යළි ගොඩ නඟන්නට හැක්කේ ආගම්වලට ආගම් සම්බන්ධ කටයුතු කර ගන්නට ඉඩ දී රාජ්‍ය පාලනයට මොනම අන්දමකින්වත් හවුල් කර නොගන්නා නිර්භීත පාලකයෙකුට පමණි. අවාසනාව ධවල වස්ත්‍ර හඳින්නෝ කසාවත් දරන්නන් ගැන කිසිම හැබෑ ගෞරවයක් නැති වුව දේශපාලන බලය සම්බන්ධ භීතිකාවකින් පෙළීම ය.


ලංකාව දියුණු රටක් බවට පත් කළ හැකි නායකයෙකුට ආගම් ඒ ඒ ආගමික ස්ථාන තුළ පවතින්නට ඉඩ හැරීම කළ යුතු බව අද වන විට කාට වුව වටහා ගැනීමට අවශ්‍ය සාධක අපමණය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි