20.9 C
Sri Lanka
3 October,2022

සුනාමි කුලුනු 77යි වැඩ නොකරන කුලුනු ගොඩයි

Must read

■ ඇන්තනී වෙරංග පුෂ්පික

ලෝකයේ රටවල් එකොළහකට බලපෑම් කරමින් ජීවිත 2,81,998ක් අහිමි කළ සුනාමි ව්‍යසනය ඇති වී පසුගිය දෙසැම්බර් 26 වන දිනට වසර 17 කි. සුනාමියෙන් ලංකාවේ ද 39000කගේ පමණ ජීවිත රටට අහිමි විය. සුනාමිය මෙරට වෙරළ කලාපයෙන් 3/4 කට බලපෑ අතර එය දැඩිව බලපෑවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරයටයි. සුනාමිය නිසා පුද්ගලයන් 4100ක් ද අතුරුදන් වී ඇත. දිස්ත්‍රික් 11 ක නිවාස 63472 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදු විය.
සුනාමිය නිසා ආර්ථික සංවර්ධන වේගය 0.5 කින් අඩු විය. මෙය මූල්‍යමය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 900 -930 අතර ප්‍රමාණයක් බවට තක්සේරු කර ඇත. සුනාමි ව්‍යසනය නිසා ධීවරයන්ට වූ හානිය ද අතිමහත්ය. සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්ෂයකට අධික ප්‍රමාණයකට අහිතකර අන්දමේ බලපෑම් ඇති විය.


විශේෂයෙන්ම ලංකාවේ වෙරළ පරිසරයට සුනාමියෙන් දැඩි බලපෑමක් ඇති විය. කොරල්, කඩොලාන, වැලිවැටි, කඩොලාන, කලපු හා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි හානියක් ඇති විය. ලවණ වගුරුබිම් හා දකුණු පළාතේ බොහෝ වෙරළබඩ ජලාශ හා කලපු සුනාමි රළ පහරින් ගෙන ආ අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ විය.


සුනාමි තත්වයක් වළක්වාගත නොහැක නමුත් සුනාමි තත්වයකින් ඇතිවිය හැකි පුද්ගල හා දේපළ හානි අවම කර ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා පෙර සූදානමක් තිබිය යුතුය. සුනාමි අවදානමක් ඇති ලෝකයේ වෙනත් රටවල් තාක්ෂණය යොදා ගනිමින් රටේ ජනතාවටත් දේපලවලටත් ඇති විය හැකි හානිදායක තත්වයන් වළක්වා ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළ සකස් කොට ඇත.


2004 දෙසැම්බර් 26 ලංකාවේ නැගෙනහිර වෙරළින් සුනාමි රළ පහර රටට ඇතුළු වනවිට දැන සිටියේ විහාරමහා දේවියගේ ඓතිහාසික කතා පුවත පමණි. ‘සුනාමි’ කියන වචනය දැනගත්තේද දින කිහිපයකට පසුය. එවැනි වූ ව්‍යසනයක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය. ඒ නිසාම රටට අහිමි වූ ජීවිත හා දේපළ හානිය හරියාකාරව තවමත් ගණනය කර නොමැත. නමුත් අද වන සුනාමි තත්වය පිළිබඳව හා එවැනි මොහොතක කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලිය. නැවත සුනාමිය ඇති නොවේ යැයි කිසිවෙකුට කිව නොහැකිය. මේ නිසා ඕනෑම එවැනි තත්වයකට සූදානමෙන් සිටිය යුතුය.
ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති අතර ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය වටා අප්‍රිකානු භූ තැටියට ඉහළින් හිමාලයානු භූ තැටිය ද දකුණින් ඇන්ටාටික් භූ තැටිය ද පිහිටා ඇත. මෙම භූ තැටි මායිම් සැලකූ විට ලංකාව තුළ අඩු භූ චලන හට ගැනීමේ ප්‍රවණතාවක් සහිත සීමාවක පිහිටා ඇතත් භූ විද්‍යාඥයින් පවසන පරිදි ශ්‍රී ලංකාවට දකුණුදිග මුහුදු සීමාවේ ඉන්දු ඕස්ටේ්‍රලියානු භූ තැටිය කොටස් දෙකකට වෙන් වෙමින් පවතී. එය එතරම් ලංකාවට හිතකර තත්වයක් නොවේ.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහාචාර්ය සී. බී දිසානායක පවසන්නේ ලංකාවට දකුණු ගිනිකොන දෙසින් කිලෝ මීටර් 300-400 අතර ප්‍රදේශයේ අලුතින් ඇති වී තිබෙන භූ පැල්ලම් නිසා එම ප්‍රදේශවල භූමිකම්පා බහුලව ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබෙන බවයි. ඒ පැල්ම මේ වන විට ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් පවතින අතර භූ ගර්භය අස්ථායි වී ඇත. භූ තැටිය වෙන්වන භූ පැල්ලම ලංකාවට කිලෝමීටර් 300ක් දුරින් තිබෙන නිසා එම ප්‍රදේශවල සිදුවන භූමිකම්පා හේතුවෙන් ලංකාවට ද සුනාමි ඇති වීමේ ඉඩකඩක් ඇති බවට සොයාගෙන ඇත.


ශ්‍රී ලංකාව තුළ සිදුවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාව දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කාර්යයකි. මේ සඳහා චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය, ගුවන්විදුලි සන්නිවේදන ක්‍රමවේද, අන්තර්ජාල පහසුකම්, කෙටි පණිවිඩ සේවාවන්, දුරකතන පහසුකම් ආදි විවිධ ක්‍රමවේද ඔස්සේ පූර්ව අනතුරු ඇඟවීම් පණිවිඩ ආපදා ප්‍රතිචාර දක්වන්නන් හරහා මහජනතාවට සන්නිවේදනය කළ යුතුය. සුනාමි තත්වයක් නැවත ඇති වුවහොත් ලංකාව වැනි රටකට ඇති කළ හැකි බලපෑම අති මහත්ය.


එවැනි සුනාමි තත්වයක් ඇති වුවහොත් ජනතාවට පූර්ව දැනුවත් කිරීම සඳහා ඇති එක් ක්‍රමවේදයක් වනුයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පද්ධතියයි. මුහුදුබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික් 14 ක් තුළ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු 77 ක් ස්ථාපිත කොට ඇත. එම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ස්ථාපිත සැටලයිට් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන පරිදි වූවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරියෙකු අපත් සමග පැවසුවේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධික මූල්‍යමය පිරිවැයක් දරන්නට සිදුවෙන බැවින් රට තුළ ස්ථාපිත කුලුනු 77 ම සැටලයිට් තාක්ෂණයෙන් ක්‍රියාත්මක නොවන බවයි.


මේ නිසා එම කුලුනු පද්ධතිය ගුවන්විදුලි තරංග ඔස්සේ ක්‍රියාත්මක කරන බවයි. ගුවන්විදුලි තරංගවලින් ක්‍රියාත්මක වන විට සැටලයිට් තාක්‍ෂණයෙන් මෙන් වේගවත් ලෙස පණිවිඩ හුවමාරු නොවන බව එම කුලුනු භාරව සිටින නිලධාරීහු කියති.


එමෙන්ම කුලුනු 77 න් බොහොමයක් මේ වන විට අක්‍රිය වී ඇති බව අප කළ සොයා බැලීමක දී අනාවරණය විය.


ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු 8 ක් ඇති අතර ඉන් ක්‍රියාකාරී මට්ටමේ තිබෙන්නේ කුලුනු තුනක් පමණි. කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන කුලුනු 6න් තුනක්ම ක්‍රියාත්මක වන්නේ නැත. මන්නාරම දිස්ත්‍රික්කයේ තිබෙන්නේ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු තුනකි. එම කුලුනු තුනෙන් මේ වන විට එක් කුලුනක් හෝ ක්‍රියාකාරී මට්ටමේ නැත. මුලතිව් දිස්ත්‍රික්කයේ ද තිබෙන කුලුනු පහම ක්‍රියාකාරී නැත.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තිබෙන එකම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු ද අක්‍රීය වී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන කුලුනු පහෙන් එක් කුලුනක ක්‍රියාකාරීත්වයක් නැත. එමෙන්ම ඇතැම් දිස්ත්‍රික් සඳහා තිබෙන කුලුනු ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි.
ලංකාව කිසි දිනක ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව නැවත නැවත පෙන්වමින් සිටියි. සුනාමියේන් නැඟුණු අඳෝනාවන් අද බොහෝ දෙනෙකුගේ දෙසවනෙන් මැකී ගොස් ඇත. වසර 17 කට පෙර සිදු වූ ඒ අමිහිරි මතකය අද වන විට වසරේ එක් දිනක පවත්වන සමරු දිනයක් වී ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි