20.2 C
Sri Lanka
3 October,2022

1983: කළුබෝවිල බෝගස

Must read

■ තිවංක සපරමාදු

කළුබෝවිල බෝගස තිබෙන්නේ බුද්ධඝෝෂ විiාලය ළඟින් ම ය.


කොහොමටත් එය බෝධියක් නොවේ. බෝගසක් පමණෙකි. එය හැමදාම සිටියේ තමාගේ අතපොවන මානයේ එතරම් මහන්තත්ත්වයක් නැති ගෙවල්වලට අරක්ගෙන සිටි අල්පේශාඛ්‍ය ජනීජනයාගේ වැඳුම් පිදුම් පමණක් ලබමිනි. ඒ වැඳුම්වලට කළගුණ සැලකීමක් ලෙස මහා ප්‍රාතිහාර්ය පාන්නට තරම් මහේශාඛ්‍යකමක් බෝගසට කවදාවත් නොතිබිණි. එහෙත්, තමා වටේ හිටියවුන්ගේ සතුට, කඳුළ මෙන්ම කෝපය, වෛරය හා අමනකමද බෝගස සැමදා අත්විඳිමින් සිටියේය. ඒ අතින් මේ කිසිවක් කරකියා ගත නොහැකි බෝගසද ගම සිරස සිටි මහකන්ද වාගේ ම ය.


මතක හැටියට ඒ 1983 ජුලි 29 වැනිදා ය.


බෝගස තමන් හැර යන්නට තතනමින් සිටි උදා හිරු කිරණේ අවසන් රැස් විඳිමින් බලා සිටියේය.


මිනිස්සු මහත් භීතියෙන් ඇළැලී සිටියෝය. කොළඹට කොටි ආ බවට පැතිරී තිබූ ආරංචිය නිසාය. ගමේ මිනිසුන් අතර සිටි අමනයෝ කඩු පොලු අතැ’තිව පාරට බැස සිටියෝය. කොළඹට එන හෝ කොළඹින් යන කොටි සමූලඝාතනය සඳහාය. ආවේගයෙන් දැවෙමින් එහා මෙහා කරක් ගසමින් සිටි අමනයන්ගෙන්ද, උනට උඩගෙඩි දෙමින් කෝපාග්නියෙහි ගිලී සිටි බෝ ගස අවට නිවැසියන්ගෙන්ද මහපාර තදබද වී තිබුණෙන් වාහන ගියේ ආවේ ද එතරම් වේගයෙන් නොවේ.


මහ රෝහල පැත්තේ සිට කුඩා සුදු වෑන්රියක් හෙමින් පදවාගෙන ඒ අහිංසක මිනිසා ආවේ ඒ මොහොතෙහිය. පාරේ තදබදය ඔහුගේ ගමන අඩාළ කළේය. බැලූ බැල්මට ම හේ සිංහලයකු නොවන බව බෝ ගස යට සිටි අමනයෝ වටහාගත්හ. සිංහලයකු නොවන්නේ නම් කොටියකු විය යුතුය.


ක්‍ෂණිකව ඝාතනය රඟදැක්විණි.


වෑන්රිය වටකරගත් අමනයෝ එතුළ හුන් මිනිසා හෙවත් කොටියා පිටතට ඇදගන්නට පොරකෑහ. මිනිසා මේ මාරයන්ගේ ආක්‍රමණයෙන් දිවි ගලවාගනු වස් සැර දමා වෑන්රිය අතුරු පාරට හැරෙව්වේය. එහෙත්, අඩි කිහිපයකදී ගමන නිමවිය.


අමනයෝ අතැ’ති පොලුවලින් මිනිසාට පහර දුන්හ. කිහිපදෙනකු පසෙක තිබූ හාඩ්වෙයාර් එකට අයත් ගල්ගොඩෙන් ගත් කළුගල්වලින් මේ මිනිසාට පහර දුන්හ. කළුගල් පහර වැදුණේ අහිංසකයාගේ මුහුණට හා හිසටය. දෑස් පියවිණි. කට ඇරිණි. කිසිවක් කියන්නට ක්‍ෂණයක්වත් ඔහුට නොතිබිණි. පිට පිට වැදුණු ගල් පහරින් මුහුණේ හැඩය විකෘතව ගියේය. සිරුර අඩපණව රියැදුරු අසුන මත ම කඩාවැටිණි.


එහෙත්, බෝ ගසට හොඳට ම මතක ය: ඔහු මළේ නැත.


බලමුක්ත සිරුර වෑන්රියෙන් පිටතට ඇදගැනිණි. යාර කිහිපයක් බිම ඇදගෙන යනු ලදුව මහමග අතුරනු ලැබිණි. බෝ ගසට හොඳට ම මතක ය: ඔහු මිය ගොස් තුබුණේ නැත.
කවුදෝ ගෙනා පෙට්‍රල් කෑනයකින් සිරුර නහවනු ලැබිණි. ගිනි දැල්විණි. කොටියකු නොවන බව හොඳටම දන්නා නමුත් දෙමළකු මරාදැමීමේ අභිමානයෙන් අමනයෝ ප්‍රීතිඝෝෂා නැගූහ. මහමඟ වැතිර හුන් මිනිසා විරෝධයක් නොපා ම ගිනිදැල් අතර සැඟව ගියේය. තමන්ගේ ගොදුරට කිසිවකුට ළංවනු නොදී අමනයෝ බොහෝ වේලා රැකවල් ලා සිටියහ. ඉන්පසු, ඒ අවට ම නිවැසි අනෙක් දෙමළුන් සොයා ගියෝය.
රාත්‍රිය සන්සුන් විය. අඳුර පුරාම එතැන සිටියේ බෝගසත්, හෙමි හෙමින් පිළිස්සෙමින් සිටි අහිංසකයාත් පමණි.


කොහොමටත් බෝගසට මහන්තත්ත්වයක් තිබුණේ නැත. ඒ නිසා අසරණයා වෙනුවෙන් කොළ දෙක තුනක් බිම හළන්නට බෝගසට සිතුණේය. එහෙත්, ඊට ස්තුතියි කියන්නට තරම් ශක්තියක් අළු ගොඩකට නැති වග බෝගස දැන සිටියේය.


අදත්, කළුබෝවිල බෝගසට ජූලි 29වැනිදා රාත්‍රිය ගෙවා ගැනීමට අමාරු එකකි.■

(පසුව ලියමි: එදා බෝගස යටදී මියගියේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ චිත්‍රපටි අධ්‍යක්‍ෂණයෙහි යෙදුණු කේ. වෙන්කට් බවත් ‘ශ්‍රී පතුල’ චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කළේ ඔහු බවත්, ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ’ ගීය එම චිත්‍රපටියේ අඩංගු ගීතයක් බවත් අනුමාන කරන්නට තරම් සාක්‍ෂි කළුබෝවිල බෝගසට තිබේ.)

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි