22.9 C
Sri Lanka
27 September,2022

මගේ පළමු පෙම් කවිය හා ඩෝලේ

Must read

■ කරුණාරත්න අමරසිංහ

මගේ පාසැල් වියේදී මා හද බැඳි කවියා ඩෝල්ටන් අල්විසුන්ය. එකල මා ඉරිදා වන තෙක් නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ‘සිළුමිණ‘ කවි පිටුව බලන්නටය. බෙන්තර ඩී.ඩී. ඩෝල්ටන් අල්විස් කිවිඳුන්ගේ කවි පෙළක් එදාට නොවරදවාම සිත්තමකුත් සමග එහි ඉහළින්ම පළවෙයි. ඔහුගේ වදන් සිනිඳුය. මුදුය. කුසුම සුකුමාලය. ඒ මට සිලිටි වදන් එක්ව නගන නැවුම් හැඟු‍ම් මගේ සිත පොබයාලයි. පිනවාලයි. නළවාලයි. ඒ කෙසේදැයි මම නොදත්තෙමි. හෙළ බසෙහි වදන් තුළ මිහිරක් ඉහිරී ඇතැයි මට මුලින්ම හැඟු‍ණේ ඩෝලේ ගේ මේ වෙසෙස් කවි බසේ වශීයෙනි.


සිංහල ඉස්කෝලේ මගේ පන්තියේ සිටි සපුමල් කැකුළක් වන් පියකරු දැරියකට මගේ නෑඹුල් පෙම් හැඟු‍ම දුක සේ කවියකින් කීමට දැරූ මිහිරි උට්ඨාන වීරියේදී ඩෝලේගේ කවි රසත් කවි බසත් මට පිහිට වූයේ වාජිකරණ රසායනයක් මෙනි. පසු කලෙක අප දෙදෙනා ගුවන්විදුලියට අල්ලපු වත්තේ පිහිටි පී.ඩබ්ලිව්.ඩී අවන් හලේ සාද සාමිචීයක පසුවන අවස්ථාවක මා මේ ගැන කියූ වේලේ අහිංසක ලෙස හිනැහුණු ඔහු යමක් රස විඳින කලෙක තලු‍ මරන්නා සේ කට හදමින් මේ කවි පද දෙක ගැයුවේය.


”‍ආලය මිහිරි කරදරයකි විඳිය හැකී
ගැහැනිය කඳුළු අතරින් එහි ගැඹුර දකී”‍


මෙසේ පසු කලෙක ඔහු මගේ ඉතා ළෙන්ගතු මිතුරෙකු, කුලු‍පගයෙකු, සාද සගයෙකු මෙන්ම ගුවන්විදුලි සද්ධි විහාරිකයෙකුද බවට පත් වෙතියි එදා මම තුන් හිතකිනුදු නොසිතුවෙමි.


ඩෝලේ මට මුලින්ම මුණ ගැහී හඳූනාගන්නේද මගේ පාසැල් වියේදීමය. ඒ පනහේ දසකයේ අග හරියේ වාගේය. ඔහු එකල බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ පොත්ගුල් පතිය. නූස් නොමිටි සිරුරකින් යුත් ඔහුගේ දෙතොල මත නිතර මතුවෙන මන්දස්මිතයකි. මේ ප්‍රසන්න මුහුණකින් හොබනා තරුණයා, මගේ හද බැඳි කවියා පොත්ගුල් මේසය ළඟ හිඳගෙන නිරන්තරයෙන් ත්‍රිපිටක සාහිත්‍යය කියවයි. එකල ඔහු දුම්වැටියෙන් හා මී විතෙන් සපුරා මිදුණෙකි. බුලත් කෑ ලකුණක් පවා මට සිහි කළ නොහැක. ත්‍රිපිටක සාහිත්‍යයේ සෞන්දර්ය හා මාධූර්ය පාසල් වියේ උන් ගැටවර මට ඉඳුල් ගැන්වුයේ තරුණ ඩෝල්ටන් කිවිඳුය. ඒ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ පොත්ගුලෙහිදීය. කලින් මගේ සිතේ වැඩ උන් අද්භූත බුදුන් වෙනුවට මනුෂ්‍ය බුදුන් මගේ සිතට වැඩැම්මුවේ ඩෝලේය. මා බුදුන් නමැති මහා කවියා හැඳින ගත්තේ ද ඩෝලේගේ හදවතේ සැරිසරමිනි. මට මෙවේලේ විමලරත්න කුමාරගම කවියා බුදු තෙමඟු‍ල ගැන ලියූ රමණීය පැදියක් සිහියට නැගෙයි.


තුන් ලොව දිනූ මහාකවි දිනුවේ අදය
තුන් ලොව සසල කර බුදු වූයේ අදය
නිල් නෙත් පියාගෙන පිරිනිවුණේ අදය
ගල්වල පවා මල් පූදින්නේ අදය


බුදුන් කෙරෙහි මා සිත්හි වූ භක්තිය දුරලා එය ආදරෙන් පිරවූයේ ඩෝලේය.


“කරූ, බුදුහාමුදුරුවො දෙවියෙක් බඹෙක් නෙමෙයි. ‘අච්ඡරියෝ මනුස්සෝ‘. පාලියෙන් ත්‍රිපිටකයෙ හඳුන්නල තියෙන්නෙ එහෙමයි. අසිරිමත් මිනිහෙක්! උතුම් හිතකුයි උතුම් හදකුයි තිබුණු මිනිහෙක්. කෙලෙස් නසපුවාම මිනිහෙකුගෙ හිතයි හදයි උතුම් වෙන එක පුදුමයක් නෙමෙයි නෙ! ඒකයි අසිරිමත්!”‍


බුදුන් කෙරෙහි උපන් ස්නේහාර්ද්‍ර චිත්තය නිසා ඩෝලේගේ ස්වරයද ස්නේහාර්ද්‍රය.
“‍කරූ, ඔබට නියම බුදුහාමුදුරුවො දකින්න ඕන නං පරිනිබ්බාන සුත්‍රය කියවන්න. උන්වහන්සෙ ලේ අතීසාරය හැදිල ඇඟපත වාරු නැතුව ගහක් මුල වැඩ ඉන්නව. උහුලන්න බැරි තරම් වේදනාව දැනෙනව. ලේ පාචනය නිසා විජලනය වෙලා. ළඟින් ඉන්න ආනන්ද හාමුදුරුවන් අමතනව.


‘පිපාසිතෝස්මි ආනන්ද! පානීය ආහර ආනන්ද!’
(මට තිබහයි ආනන්ද! වතුර ටිකක් ගේන්න!)


“අද්භූත ප්‍රාතිහාර්ය පාන්නෙක් එහෙම කෑ ගහනවද?උන්වහන්සෙ මනුෂ්‍යයෙක්. උතුම් හිතකුයි උතුම් හදවතකුයි තියෙන. බහු ජන හිත සුව පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස ඇවිද්ද එකමයි කළේ. නිදාගත්තෙ පැය කීයද?”‍


මගේ හදවත බර වෙයි. ඇසට කඳුළු පිරෙයි. ඩෝලේ කටින් පමණක් නොව මුහුණෙන්, ඇසින්, හිසින් හා අතින්ද කතා කරයි.


“බලන්නකො කරූ බුදු හාමුදුරුවො බුදුවෙන්න තෝරගත්ත ගහ. ඇසතු. ඒකට බෝ කියන නම වැටුණෙ ඒ ගහ මුල බුදු වුණ හින්ද. කිසිම ගහක නෑ බෝ ගහේ වගේ කොළ පිහිටල. එකින් එකට වෙන් වෙච්ච තනි තනි කොළ. ඒක බුදු හාමුදුරුවන්ගෙ නොඇලෙන මනසෙ සංකේතයක් වගෙයි”‍


පසු කලෙක ඩෝලේ පොත්ගුල් පති තනතුරෙන් මිදී ගුවන් විදුලියේ ස්ථිර සේවයට පිවිසෙයි. ඔහු අකාලයේ මිය යන තෙක්ම අප දෙදෙනා අතර පැවැති ඉතා ළෙන්ගතු ඇසුර අතු ඉති ලියලා සුහුඹුල්ව වැඩී ගියේ ඔහු ගුවන් විදුලියට බැඳීමත් සමගය. එකල මා ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු බවට පත්ව සිටීම ඊට බලවත් රුකුලක් විය. ඩෝල්ටන් අල්විස් නමැති කවියා ගීත රචකයෙකු ලෙස යළි උපන්නේ ගුවන් විදුලි මවු කුසිනි.
මගේ ළබඳ සබඳ කිවිඳාණෙනි! මම ඔබට මෙසේ ගයමි.


නිති කියැවුණ දෙයද ඔබ කී කල වෙනසී
එය කියනට යොදන ඔබ රස බස වෙසෙසී
කවි සිත්තම් මැවී යයි ඉන් පෙර නොදිසී
උවමට කෙනෙක් නැත ඔබ හට ඔබ සදිසී


ඩෝලේගේ බාල පුත්, මගේ රසික, ගයාරම්‍ය තම පියා ගැන පළ කළ ඇෆ්.බී මතක වත දුටු මගේ මතකය මගේ පරණ ලිපි ගොනුවක් සොයා ගියේය. මේ එතුළින් මතුවූ ඩෝලේ ගේ අප්‍රකට කාව්‍ය රචනයකි. එය ඔහුගේම මුතු කැට වන් අත් අකුරෙන් ලියා තිබුණකි.


බක් මහේ සීත වැහි රුක් මුදුන් නාවලා
වත්ත මැද්දෙන් ඇදී ආ නමුත් ගේ සොයා
පැල් ගැසී ඉන්න තුන් මාසයක් නෑ වුණේ
කාටවත් කිව්වෙ නෑ ඈ ගියා මා දමා
කොයි තැනැත්තා යතත් නෑ කියන්නේ කලින්
ඈ ගියෙත් ඒ ලෙසින් මා පවා දන්නෙ නෑ
පේන තෙක් මානයේ ඉන්නවා නම් අනේ
නෙත් දෙකින් රෑ දවල් මං වඩා ගන්නෙමී
ඈ කනේ ලූ අරුංගල් දෙකත් පෙට්ටියේ
රෝස මල් රෙද්ද තාමත් වැනෙයි ගෙයි වැලේ
මා මළත් කම් නැතේ ඒ උතුම් වස්තු නම්
කාටවත් දෙන්නෙ නෑ දෙන්නෙ නෑ දෙන්නෙ නෑ
ඈ අතින් බත් කටක් නෑ ලැබෙන්නේ ඉතින්
දෙව් බොජුන් දුන්නු මුත් කන්න බෑ දෙයියනේ
කුස්සියේ හිස් වළං නාකි ගෑනුන් වගේ
ඈනුමෙන් කල් ගෙවයි මා දමා හාමතේ
යන්න පංසල් බැතින් පේවිලා ඉන්නෙමූ
ඇයි නෙළා ගන්න නාවේ අපේ පිංවතී
දැන් දෙපෝයක් ගියා ඈ කොහේදැයි කියා
ළිං තොටේ පිච්ච මල් වැල් අසන්නේ මගෙන්
පාළුවේ මූසලී ගෙයි වැදී ඉන්නවා
ඒ යකින්නී ඉතින් යන්නෙ නෑ මා දමා
වේදනා වේවැලෙන් මා තළන්නේ මොකෝ
ආදරේ යන්නකෝ ඈ සොයා දෙන්නකෝ
1983-12-18■ (ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ.)

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි