19.3 C
Sri Lanka
27 September,2022

මග්දෙලේනා නම් දේවතාවිය සිත්තම් කළ
කැරලිකාර ඩාවින්චි

Must read

ෆ්‍රොයිඩ් වැනි මනෝ විශ්ලේෂණවාදියෙක් එම ළදරු මතකය හරහා ඩාවින්චිගේ මනෝලෝකයට එබෙමින්, ඔහු සමලිංගික
සිත්තරකු වීමට එය බලපාන්නට ඇත්දැයි සොයා බලන්නට විය.

■ අනුසර වීරසිංහ

එක් රාත්‍රියක අඩ අඳුරේ ගිලු‍ණු පැරීසියේ සුප්‍රකට ලූවර් කෞතුකාගාරය තුළ, එහි භාරකරු වූ හැත්තෑ හය වියැති ‘ශාක් සවුනියර්‘ නාඳුනන ඝාතකයෙකු විසින් අබිරහස් ලෙස මරා දමා ගොස් තිබුණි. ඔහු අසලම කෞතුකාගාරයේ බිත්තියෙන් ගැලවී වැටී තිබූ සුප්‍රකට කැරවෑජියෝ සිත්තරාගේ සිතුවමක් වූ අතර මහලු සවුනියර් සිය සිරුරේ වූ සියලු‍ ඇඳුම් උනා දමා නිරුවතින් වැතිර සිටියේය. එමතු නොව, මියැදෙන්නට පෙර කෞතුකාගාරයේ පොළොව මත තමන්ගේම සිරුරෙන් ගලා ගිය රුධිරයෙන් යම්කිසි රහස් පණිවිඩයක් ලියා තබන්නටද ඔහු අමතක කර නොතිබුණි. පුරාණ ආගමික සංකේත සහ සිතුවම් ගැන හසල දැනුමක් වූ මේ කීර්තිමත් මිනිසාගේ මරණයේ පුවත ප්‍රංශය පුරා ළැව්ගින්නක් සේ පැතිර යන්නට විය. ප්‍රංශ අපරාධ විමර්ශන පොලිස් කාර්යාංශයේ කපිතාන්වරයා වූ ‘බෙසූ ෆෂේ‘ මෙම හදිසි මරණයේ සහ ඊට සම්බන්ධ වූ රහසිගත සංකේතවල අක්මුල් සොයා යාම සඳහා හාවඩ් සරසවියේ ආගමික සංකේත පිළිබඳ විශේෂඥයෙකු වූ රොබට් ලැන්ග්ඩන්ගේ සහාය ලබාගන්නට තීරණය කළේය. එහෙත්, ඔවුන්ගේ ගවේෂණය අතරමග ඔවුන්ට ශිෂ්ටාචාර ගණනාවක් පුරා පොළොව යට වැළලී ගිය මහා අබිරහසක් හෙළි වේ. එම රහස එතෙක් යුරෝපය පුරා අධිපති ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටිවාදය විසින් ගොඩනගන ලද, පරම්පරා ගණනාවක් තිස්සේ සත්‍ය සේ පිළිගත් ඉතිහාසය කනපිට හරවනසුලු සොයා ගැනීමක් බවට පත් වේ.


මෙවන් කුතුහලය දනවන සිදුවීම් සමුදායකින් ඇරඹෙමින් යුරෝපය පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් විකල්ප ඉතිහාසයක් ගොඩනගන්නේ, ඩෑන් බ්‍රවුන් අතින් 2003 වසරේදී අබිරහස්-ත්‍රාසජනක ශානරයට අයත් නවකතාවක් ලෙස රචනා වූ ‘Da Vinci Code‘ (කුමාර සිරිවර්ධන විසින් ”‍ඩාවින්චි කේතය”‍ ලෙස සිංහලට නැගූ කෘතිය) හරහාය. කෙතරම් වාර්තා තබමින් අලෙවි වුවද, මින් අපූර්ව සිනමාපටයක් පවා ගොඩනැගුණද, බොහෝ රටවල මෙම ආන්දෝලනාත්මක නවකතාව තහනමට ලක්විය.
රොබට් ලැන්ග්ඩන් නම් මහාචාර්යවරයා ප්‍රංශයට සේන්දු වන්නේ පූර්ව ක්‍රිස්තියානි සමයේ පැවති, බහුදේවවාදී ආගමික විශ්වාසයක් වූ ‘පේගන්වාදයේ’ (Paganism) සැඟවුණු සංකේත පිළිබඳ විශේෂ දේශනයක් සිදුකිරීමටය. එහෙත්, හදිසියේම ඔහුගේ හෝටල් කාමරයට කඩාවදින ‘කොලේට්’ නම් ලු‍තිනන්වරයා ඔහු සවුනියර්ගේ මිනීමැරුම සිදු වූ ස්ථානයට කැඳවාගෙන යයි. ඒ වෙනත් කිසිවක් නිසා නොව, මියගිය මිනිසා ලියා තැබූ සංකේතයන්හි අරුත පිරික්සීමට ලැන්ග්ඩන් තරම් සමතෙකු වෙන නොමැති නිසාවෙනි. අනෙක් හේතුව නම්, සවුනියර් සිය මරණය සිදු වූ දිනයේම දෛවයේ හාස්කමකට මෙන් ලැන්ග්ඩන් මහාචාර්යතුමා හමුවීමට යොදාගෙන සිටීමය. එම මරණය නිරීක්ෂණයේදී මුලින්ම මහාචාර්යවරයාගේ නෙත ගැටෙන්නේ, මහල්ලා ඔහුගේම රුධිරයෙන් ඔහුගේ පපුතුර මත ඇඳගත් තාරකාවක සංකේතයකි. එය පුරාණ පේගන් ආගමිකයන්ගේ සංකේතයක් වූ කොන් පහක් ඇති ‘පස්කොන් තරුව’ බැව් ඔහු හඳුනා ගනී. පල්ලියේ ආධිපත්‍යය විසින් සර්වබලධාරී තනි දෙවියෙකු විසින් ලෝකය මැවූ බවට ගොඩනැගූ මිථ්‍යාව පතුරවන්නට පෙර කාලසමයේ මිනිසුන් වන්දනාමාන කළේ ස්වභාවධර්මයටය. එකී ස්වභාවධර්මයේ පැවැත්ම තහවුරු වන්නට නම්, ස්ත්‍රී සහ පුරුෂ යන අර්ධ ද්විත්වය ‘යින්-යැන්‘ නම් කළු-සුදු සංකේතය මෙන් සමබරව පැවතිය යුතු බැව් ඔවුහු විශ්වාස කළහ. එවිට, මෙම පස්කොන් තරුව බොහෝවිට නිරූපණය කරන්නේ එහි ස්ත්‍රී අර්ධයයි. මන්ද යත්, එය ආදරයේ සහ ලිංගිකත්වයේ රෝම දේවතාවිය වූ ‘වීනස්’ සංකේතවත් කරයි. එසේම, පුදුමාකාර ලෙස සෑම වසර හතරකටම වරක් ඇගේ නමින්ම නම් කළ වීනස් ග්‍රහලෝකය සිය කක්ෂතලයේ පස්කොන් තරුවක හැඩයට ගමන් කරන බවද ලැන්ග්ඩන් දැන සිටියේය.


එහෙත්, ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියට මෙම මිනිසුන් තුළ පැවති බහුත්වවාදී දේව ආකල්ප අභියෝගයක් වූ බැවින්, ඔවුන් සාතන් හෙවත් යක්ෂයාගේ සේවකයන් ලෙස පල්ලිය හංවඩු ගැසුවේය. ඔවුන්ගේ ආගමික සංකේත පවා යක්ෂාරෝපිත බැව් ප්‍රකාශ කළ අතර, එකී ආධිපත්‍යය ප්‍රශ්න කළ ප්‍රඥාවන්ත ස්ත්‍රීන් මායාකාරියන් ලෙස සලකා පුළුස්සා දමන්නට විය. පල්ලියට එරෙහි වූ ටෙම්ප්ලර් නයිට්වරු ආදිහු දැඩි වධ බන්ධනවලට ලක් වූහ.


මේ මිනීමැරුම තවත් අබිරහස් අතට හැරෙන්නේ සවුනියර්ගේ සිරුර වැතිරී සිටින ආකාරය ලැන්ග්ඩන්ගේ සමීප නිරීක්ෂණයට ලක්වීමත් සමගයි. ඔහු සිය දෑත් දෙපා විහිදා වැටී සිටින්නේ ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රසිද්ධ නිරුවත් පිරිමි සිතුවමක් වූ ‘විටෘවියන් මිනිසා‘ (Vitruvian man) හැඩයට බව ඔහු හඳුනාගනී. ඩාවින්චි යනු නිතැතින්ම තමා ජීවත් වූ යුගයට වඩා දියුණු මිනිසෙකි. හේ විද්‍යාව, සිතුවම් කලාව, ගෘහ නිර්මාණශිල්පය, ඉංජිනේරුවේදය ඈ විවිධ විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි දැක්වූ දස්කම් පුදුමාකාර බැව් නූතනයේ ‘‍Da Vinci’s demons”‍ වැනි ටෙලිකතා මාලාවක් හරහා පවා පෙනී යයි. මිනිස් සිරුරේ දිව්‍යමය සැකැස්ම ඔහු තරම් වේලාසනින් අවබෝධ කරගත් තවෙකෙක් නොවීය. ඩාවින්චි, මිනීවළවල්වලින් ගොඩගත් මිනිස් සිරුරු අධ්‍යයනය කරමින් මිනිස් ඇටකටුවල සිට අභ්‍යන්තර ව්‍යුහයන්ගේ ක්‍රියාකාරීත්වය දක්වා දැනුම එක්‍ රැස් කරන්නට විය. ඒ අතරතුර ඔහු තවත් අපූර්ව සොයාගැනීමකට සමීප විය. එනම්, මිනිස් සිරුර ගොඩනැගී ඇත්තේ ස්වභාවධර්මයේ පවතින ‘දිව්‍යමය අනුපාතයට’ අනුව බවයි.

සැබැවින්ම, මේ දිව්‍යමය අනුපාතය යනු කුමක්ද? දිව්‍යමය අනුපාතය යනු ආසන්න වශයෙන් 1.618 අගයක් ගන්නා සංඛ්‍යාවකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙලොව පවතින තුරුලතා, සත්වයන්, භූමිය, විශ්වය පවා එකී අනුපාතයට අනුව නිර්මාණය වී තිබීමයි. තවත් පැහැදිලි කළහොත්, මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරය, සලබයාගේ ඇස් වැනි සලකුණු අතර පරතරය, මුහුදු බෙල්ලාගේ කටුව මෙන්ම ගසක අතු බෙදෙන ආකාරය, සෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු‍ අතර පරතරයත් සිදුවන්නේ මේ අනුපාතයට අනුවයි. එසේම, මිනිස් සිරුරේ ඇස්, කන්, අත් ඇතුළු ඉන්ද්‍රියන් සේම ඔවුන්ගේ ඩීඑන්ඒ පවා නිර්මාණය වී ඇත්තේද ඒ අනුපාතයට අනුවයි. ඩාවින්චි මේ විස්මයජනක කරුණ දැනසිටි අතර එය විටෘසියන් මානව සිතුවම ඇඳීමේදී යොදාගෙන ඇති බැව් පෙනී යයි.


කතාව තුළද, මියැදුණු සවුනියර් රුධිරයෙන් පොළොවේ ලියා තබන අපිළිවෙළ අංක මාලාව ගැන සොයා බලන ‘සොෆී නෙවෙයු‘ නම් වූ පොලීසියේ රහස් කේත කියවන්නිය සොයාගන්නේ, එය පිළිවෙළට සැකසූ විට පෙර සඳහන් කළ දිව්‍යමය අනුපාතයට අනුව එයද ගොඩනැගී ඇති බවයි. කෙසේ වුවද, මෙලෙස පර්යේෂණ දියත්වන අතරතුර, සොෆී නම් මේ තරුණිය ලැන්ග්ඩන්ට රහසෙන් ප්‍රකාශ කර සිටින්නේ සැබැවින්ම ප්‍රංශ පොලිසිය ඔහු මෙහි රඳවාගෙන සිටින්නේ එකී සංකේත කියවාගැනීමට පමණක් නොව, ඔහුද සවුනියර්ගේ මිනීමැරුමේ කොටස්කාරයෙකු යැයි ඔවුන් තුළ සැකයක් පවතින බැවින් බවයි. එසේම, විස්මයජනක ලෙස, මේ මියගොස් සිටින තැනැත්තා තම සීයා බවද සොෆී ඔහුට ප්‍රකාශ කරයි. ඉනික්බිති, ඔවුන් දෙදෙනාට හිමිවන දුෂ්කරම කාර්යය වන්නේ ප්‍රංශ පොලීසියේ ඇස්වලට හොරෙන් මෙම කෞතුකාගාරයෙන් පලා ගොස් නියම මිනීමරුවා සොයාගන්නා අතරතුර මියගිය ඇගේ සීයා කියන්නට තැත් කළ රහස සොයාගැනීමය.


ඔවුන්ගේ පළායාමේ සැලැස්ම අතරතුර කෞතුකාගාරයේ වූ ‘මොනාලිසා‘ සිතුවමේ ඇගේ සීයා සටහන් කර තිබූ රහස් පණිවිඩයකට අනුව යන සොෆීට රහස් යතුරක් හමුවේ. ඩාවින්චිගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ මොනාලිසා සිතුවමේද, මා පෙර කී ලෝක සමබරතාවට බලපාන ස්ත්‍රී-පුරුෂ අර්ධයන්ගේ ලක්ෂණ ද්විත්වයම නිරූපිතය. මන්ද යත්, ඊට ‘මොනාලිසා‘ යන නම තැබෙන්නේම පුරුෂ ලිංගික සශ්‍රිකත්වයේ සංකේතීය ඊජිප්තු දේවතාවා වූ ආමොන් (Amon) හා ඔහුගේ ස්ත්‍රී අර්ධය වූ ‘අයිසිස්‘ නම් දෙවඟනගේ අන්වර්ථ නාමයක් වන ලිසා (Lisa) යන නම් දෙකේ අකුරුවලිනි. එම ‘අයිසිස්‘ නම් මව් දෙවඟන නිරූපණය කරන්නට පුරාණ ඊජිප්තු වැසියන් ‘ගිජුලිහිණියා’ගේ සංකේතය යොදාගත් බව මම අසා ඇත්තෙමි. එසේම, ඩාවින්චිටද, සිය ළදරු වියේදී ගිජුලිහිණියෙකු ඇවිදින් තොටිල්ල මත වසා උගේ වලිගය ඔහුගේ මුවට ඇතුළු කළ බවට මතකයක් ඇත. ෆ්‍රොයිඩ් වැනි මනෝවිශ්ලේෂණවාදියෙක් එම ළදරු මතකය හරහා ඩාවින්චිගේ මනෝලෝකයට එබෙමින්, ඔහු සමලිංගික සිත්තරකු වීමට එය බලපාන්නට ඇත්දැයි සොයා බලන්නට විය.


කොහොම නමුත්, ඩාවින්චිගේ මේ සිතුවම් අතරින් හමුවූ යතුර, නීතියෙන් පළායන මොවුන් දෙදෙනා රැගෙන යන්නේ පෙර කී ඉතිහාසය උඩු යටිකුරු කරන රහස වෙතයි. ඊට පෙර, සොෆීට දැනගන්නට ලැබෙන්නේ සිය සීයා වූ සවුනියර් වනාහි ‘ප්‍රයරි ඔෆ් සියෝන්‘ (priory of Sion) නම් රහසිගත සංවිධානයක ප්‍රධාන සාමාජිකයෙකු බවයි. සැබැවින්ම එලෙස අධිපති රෝමානු කතෝලික ආධිපත්‍යය විසින් වළලා දැමුණු ඉතිහාස සාක්ෂි සමග ගනුදෙනු කළ සංවිධානයක් පැවැතුණු අතර වික්ටර් හියුගෝ වැනි ලේඛකයන්, ඩාවින්චි වැනි චිත්‍රශිල්පීන් සහ අයිසැක් නිව්ටන් වැනි විද්‍යාඥයන් පවා එහි සාමාජිකයන් වූ බැව් කියැවේ. අධිපති ඉතිහාසයට අනුව නසරතයේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ජේසුන් කිසිදාක මිනිස් ගැහැනියක හා ආදරයෙන් නොබැඳුණු දිව්‍යමය චරිතයකි. එහෙත්, මෙම සංවිධානයේ පේගන් අර්ථකථන අනුව, ලෝකයේ සමබරතාව රඳාපවතින්නට නම්, ජේසුන්ගේද පුරුෂ අර්ධයට සම ස්ත්‍රී අර්ධයක් පවතියි. ඇය නමින්, ඔහුගේ බිරින්දෑ ලෙස පේගන් ආගමිකයන් සලකන මරියා මග්දෙලේනායි. ඔවුන්ට අනුව ඇය වන්දනාවට පත්වන දිව්‍යමය ස්ත්‍රියකි. ඔවුනට සාරා නම් දියණියක සිටි බවද, ඔවුන් ආරක්ෂාව පතා ප්‍රංශයට පැනගිය බවද, පසුව ඔවුන්ගෙන් පැවතුණු ලේ පරම්පරාව සමග මේ සංවිධානයේ සබඳතාවක් වූ බවටද ජන විශ්වාසයන් සාක්ෂි දරයි. මේ ආන්දෝලනාත්මක කතාව ඩෑන් බ්‍රවුන්ට පෙර, නිකොස් කසන්ට්සාකිස් වැනි ලේඛකයෙකු සිය ‍‍Last Temptation of Jesus Christ කෘතිය හරහා කියාපෑමට තැත් කළද, පල්ලිය අවසානයේ එම ලේඛකයාගේ මිනියවත් වළලන්නට ඉඩ නොදුන්නේ ඔහු යක්ෂයාගේ සේවකයෙකු බව කියමිනි. රචකයාට අනුව, ඩාවින්චිද මේ රහස දැනසිටියේය. ඔහු එය ස්වකීය සුප්‍රසිද්ධ ”‍අවසන් භෝජන සංග්‍රහය”‍ සිතුවමේද සඟවා තැබුවේය. කතාවට අනුව ඒ මොහොතේ අවසන් භෝජන සංග්‍රහය අතරතුර තබා තිබූ ‘ශුද්ධ වූ කුසලානය‘ යනු, තම ඊළඟ පරම්පරාවේ බීජය ගර්භාෂයේ දරා සිටි මරියා මග්දෙලේනා නිරූපණය කරන රූපකයකි. එහෙත්, ඒ දිව්‍යමය ස්ත්‍රිය අධිපති ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ හුදෙක් අසරණ ගණිකාවක පමණක් වූ බැව් කියමින් හංවඩු ගසයි.


ඉතින්, ඉතිහාසයේ අධිපති ආගමික බලය විසින් යටපත් කළ, ‘ශුද්ධ වූ කුසලානය‘ ලෙස නිරූපිත මග්දෙලේනා නම් දිව්‍යමය ස්ත්‍රියගේ රහස සොයායන ලැන්ග්ඩන් සහ සොෆීගේ වීර චාරිකාව අපට ඉනික්බිති දැකිය හැකි වේ. ඒ අතර, තමා මෙන්ම ඒ රහස සොයන ‘ඕපස් ඩෙයි‘ නම් මූලධාර්මික ආගමික කණ්ඩායමක පූජකයෙකු අතින් සිය සීයාගේ මරණය සිදු වූ බවද ඔවුහු සොයාගනිති. මෙම දෙපිරිස අතර අරගලය අවසන කවරෙකු නම් එකී මග්දෙලේනාවගේ රහස් සොහොන මුලින් සොයාගනු ඇත්ද? ඉතිහාසය, පුරාවෘත්ත හා ආගමික විශ්වාසයන් නූතනත්වය සමග අපූරුවට සම්බන්ධ කරන්නා වූ ඩෑන් බවුන්ගේ ”‍ඩාවින්සි කේතය”‍ නිසැකවම ඔබට ඊට පිළිතුරක් සපයනු ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි