No menu items!
27.4 C
Sri Lanka
29 March,2024

ඔබටත් ජටාවක් පැළඳිය හැකිය

Must read

■ අමන්දිකා කුරේ

විලාසිතා හා විලාසිතා නිර්මාණකරණය අද වන විට ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. වයස් සීමාවකින් තොරව ලෝකයේ බොහෝ අය විවිධ විලාසිතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. විලාසිතා නිර්මාණකරුවනුත් විවිධ දේවල් ඔවුන්ගේ විලාසිතාවලට වස්තු බීජ කරගෙන තියෙනවා. ස්වභාවධර්මයේ ඇති දේවල් බහුලවම විවිධ විලාසිතාවලට වස්තු බීජ වෙලා තිබෙනවා. නමුත් යම් රෝගයක් නිසාම ලෝකය පුරා සමහර විලාසිතා ඇති වෙලා තියෙනවා කිව්වොත් ඔබ සමහර විට පුදුමයට පත් වේවි.


වික්ටෝරියානු සම්ප්‍රදායේ එන දිගු සායත් එවැන්නක්. 1800 කාලයේදී එංගලන්තය පුරාම ක්ෂය රෝගය පැතිරෙනවා. ඒ නිසාම එහි බලපෑමට ලක් වුණු කාන්තාවන් කෘශ බවට පත් වෙනවා. මෙම වික්ටොරියානු සාය සිහින් ඉඟක් සහිත විලාසිතාවක්. එය පසුපසින් පිම්බී තිබෙනවා. රෝගය නිසා කෘශ වුණු කාන්තාවන්ට භාවිත කළ හැකි විලාසිතාවක් වශයෙන් මේ සාය ඒ කාලයේ ජනප්‍රිය වුණා. පසුකාලීනව ඒ මුල් විලසිතාවේ යම් යම් වෙනස්කම් සිදුවුණා.


ලිතුවේනියාව හා ආජන්ටිනාවත් ඇමරිකාව වැනි රටවල විලාසිතා නිර්මාණකරුවන් දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වූ ඇඳුම් නිර්මාණය කරනවා. දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට ඇඳුමක වර්ණය අනුව තෝරා ගැනීම් කරන්න බෑ. ඒ නිසාම ඇඳුම් මත විවිධ කැටයම් මගින් මෝස්තර නිර්මාණය මෙහිදී සිදුකරනවා. ඒ රටවල දෘශ්‍යාබාධිත පාරිභෝගිකයන් මේ විලාසිතා සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා.


ලංකාවෙත් පිළිකා රෝගයෙන් පීඩා විඳින අය වෙනුවෙන් කළ විලාසිතා නිර්මාණයක් පහුගිය දවසක එළිදැක්වුණා. පිළිකා රෝගයට කීමෝතෙරපි ප්‍රතිකාර ගැනීම නිසා හිසකෙස් අහිමි වුණු කාන්තාවන්ට පාවිච්චි කරන්න පුළුවන් හිස් ආවරණයක් විදිහට ඔවුන් මෙය නිර්මාණය කර තිබෙනවා. එහි නම ‘ජටා’.


ඇත්තෙන් ම එය නිර්මාණය කර තිබෙන්නේ ජටාවක් ආකාරයට. විවිධ හැඩවලින් අලංකා ජටා මෙමඟින් ලබා ගන්න පුළුවන්. ගැහැනු පිරිමි දෙගොල්ලන්ට ම ගැළපෙන ආකාරයට මේ ජටා නිර්මාණය කරලායි තියෙන්නේ.


ජටා ව්‍යාපරය ආරම්භ කරන්න මූල් වන්නේ ලංකාවේ හිටපු විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි. ඇගේ කණ්ඩායමත් මෙයට විශාල හයියක් කියලා ඇය කියනවා.
මේ විලාසිතාව ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වුණොත් පිළිකා රෝගියෙක් ජටාවක් පැළැඳ සිටීම විශේෂයක් වශයෙන් නොදැනේවි. ඔවුන්ටත් සාමාන්‍ය විදිහටම සමාජයේ සැරිසැරීමට පුළුවන්.


ජටා ආයතනය මේ අලංකාර ජටාවලින් ලැබෙන ලාභය 100%ක්ම පිළිකා රෝගයට ගොදුරු වුණ පුද්ගලයන් සවිබල ගැන්වීම වෙනුවෙන් යොදවන බව ඔවුන් කියනවා. පිළිකා රෝගයෙන් පීඩාවිඳින්නන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ පළමු පියවර විදිහට ජටා ආයතනය මේ විලාසිතාව නම් කරලා තිබෙනවා.


මේ සංකල්පය ගැන ”අනිද්දා” ජටා ආයතනයෙන් විමසීමක් කළා. ඒ ආයතනයේ නියෝජිතවරියක් ජටා හඳුන්වා දුන්නේ මෙහෙමයි.


‘ජටා කියන නම අපිට ගොඩක් කිට්ටුයි ජටාව හින්දා.


ජටා කියන්නෙ පිළිකාව සමග කරන සටන තවත් පණ ගන්වන්න ගෙනාපු අදහසක්. ඇත්තටම ජටා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ලාභ ලබන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. අපේ අරමුණ තමයි ජටා සමාජය තුළ ප්‍රසිද්ධ කරන එක. එතකොට ගොඩක් මිනිස්සු ජටා බඳීවි. එහෙම බැන්දාම කෙනෙක් දිහා බලලා අපිට කියන්න බැහැ ‘මෙයා පිළිකාවට ප්‍රතිකාර කරන කෙනෙක් හෝ මෙයා ෆැෂන් එකට ජටා බඳින කෙනෙක් කියලා. එහෙම වුණා ම පිළිකාවට එරෙහිව සටන් කරන කෙනෙක්ට ශක්තිය හා ධෛර්යක් ලැබෙනවා. ජටාවලින් ලැබෙන ලාභයේ සෑම සතයක්ම යන්නෙ පිළිකාවට එරෙහිව සටන් කරන අය වෙනුවෙන්. ඉදිරියේ දී අපි ඉන්දිරා පිළිකා අරමුදලත් එක්ක සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නෙ.”


ජටා ආයතනයේ කොළඹ 03 පිහිටා ඇති ප්‍රදර්ශනාගාරයෙන් වගේම ඔවුන්ට අන්තර්ජාලය හරහා ඇණවුම් ලබා දීමෙන් ජටා ලබා ගන්න පුළුවන්. පිළිකා රෝගීන් වෙනුවෙන් වර්තමානය වන විටත් ලංකාවේ විවිධ සත්කාර කෙරෙනවා. පිළිකා රෝහලට කෙරෙන පරිත්‍යාගවල පටන් හිසකෙස් අහිමි වූ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් කළඹ සැකසීම සඳහා බොහෝ දෙනෙක් තමන්ගේ වරලස පරිත්‍යාග කරනවා. යමෙක් පිළිකාවට ගොදුරු වුණාම ඔවුන් විශාල මානසික කඩාවැටීමකට ලක් වෙනවා. පිළිකා රෝගියෙකු හඳුනාගන්න පුළුවන් එක විදිහක් ඔවුන්ගේ ප්‍රතිකාර නිසා හිසකෙස් අහිමි වී තිබීම. එය ඔවුන්ට ඉතාම සංවේදී කාරණයක්. ඉතින් මේ විදිහට හිස කෙස් ආවරණය වෙන විදිහට කරන විලාසිතාවන් නිසා අපට කෙනෙක් පිළිකාවෙන් පෙළෙනවාද කියලා ඔවුන්ගේ හිස දිහා බලලා නිගමනය කරන්න බැරි වෙනවා. ඒ වගේම එවැනි රෝගීන් දිහා අනවශ්‍ය විදිහට බලන එක වැළකෙන නිසාම ඔවුන්ට මානසික සහනයක් සැලසෙනවා.
මේ සංකල්පය හරිම අලුත් සහ වෙනස් සංකල්පයක්. බාහිර සමාජයට පෙනෙන ආකාරයට රෝග ලක්ෂණ මතුවී තිබෙන රෝගවලින් පෙළෙන අය ඔවුන්ට ලැබෙන අනවශ්‍ය අවධානය නිසාම බෙහෙවින් මානසික පීඩාවකින් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අලුතෙන් හිතන අයට විවිධ නිර්මාණ කරන්න පුළුවන් කියන එකට ජටා කියන්නේ හොඳ උදාහරණයක්.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි