No menu items!
27.1 C
Sri Lanka
6 November,2024

මාධ්‍යවේදීන්ට වැටුප් නොගෙවා තර්ජනය කළ රිවිරේ රාජපක්ෂ සංස්කෘතිය

Must read


පුවත්පත් වැසී යෑම මේ වෙද්දී එදිනෙදා දෙයක් බවට පත්ව තිබෙන්නේය. සත්හඬ, සැබෑ, , ඉරිදා ඇපල් සහ රිවිර යන පුවත්පත් 2018 වර්ෂය තුළ වැසීගිය පුවත්පත්ය. ඒ අතරින් පුවත්පත් දෙකක්ම 2018 අවුරුද්දේම පටන්ගත් ඒවාය. රිවිර පුවත්පත 2018 වර්ෂයේදීම අලු‍තෙන් පටන්ගත් පුවත්පතකි.
අපේ කතාව මෙම පුවත්පත් අතරින් රිවිර පුවත්පත පිළිබඳවය. රිවිර පුවත්පත රාජපක්ෂලාගේ අතිශය සමීප හිතවාදීන් විසින් මුදල් යොදවා පවත්වාගෙන ගිය පුවත්පතක් බව අමුතුවෙන් කිව යුතු නැත. රිවිට සැමදා පැවතුණේ රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන්ය.
මාස කිහිපයකට පෙර දිනක් රිවිර පුවත්පතේ මාධ්‍යවේදීන් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මාවතේ පිහිටි කාර්යාලයට යද්දී එතැන රිවිර කාර්යාලය තිබුණේ නැත. ඔවුන්ට පසුව දැනගන්නට ලැබී තිබුණේ ඔවුන්ව ඉවත් කොට ඉරිදා රිවිර පුවත්පතක් අලු‍තෙන් මුද්‍රණය වෙන බවයි. ඉරිදා ජනයුගය පුවත්පත වැසෙද්දී ඉවත් වූ මාධ්‍යවේදීන් පිරිසක් නව රිවිර පුවත්පතේ කර්තෘ මණ්ඩලය බවට පත්ව තිබුණි.
එක් සේවකයන් කණ්ඩායමකට පයින් ගසා ඇරඹුණු ඉරිදා රිවිර නිව් එඩිෂන් පුවත්පත මේ වෙද්දී නැවත වතාවක් වැසී ගොස්ය. මාධ්‍යවේදීන්ට මාස දෙකකට වැඩි කාලයක් වැටුප් ගෙවා නැත. වැටුප් ගෙවන තෙක් කැමරා ආදී උපකරණ ලබා නොදෙන බව පවසමින් මාධ්‍යවේදීන් විසින් ඒවා තමන් ළඟ තබාගෙන සිට ඇත. එහෙත් එලෙස උපකරණ ළඟ තබාගත් මාධ්‍යවේදීන්ට ඩිෆෙන්ඩර් වලින් පැමිණි පිරිසක් විසින් මරණ තර්ජන එල්ලකොට ඇත්තේ උපකරණ දෙන ලෙස පවසමින්ය. අවසානයේදී එක් මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ කතාව රිවිරේ සිදුවීම ගැනය.

රිවිර ආරම්භය
රිවිර පුවත්පත 2006 වර්ෂයේ දි රිවිර මීඩියා කෝපරේෂන් නමින් සමාගමක් ලෙස ලියාපදිංචි කර පටන් ගත් පුවත්පතකි. රිවිර හා ද නේෂන් පුවත්පත් එම සමාගම සතු විය. 2012 වර්ෂය වන විට රිවිර මිඩියා ‍කෝපරේෂන් රිවිර මැනේජ්මන්ට් කන්සල්ටේසන් නම් විය. රිවිර පුවත්පත ආරම්භ කල සමයේ එම පුවත්පතේ සේවය කිරිම සඳහා මාධ්‍යවේදින් ඇතුළු සේවකයන් 200 ක් පමණ සිටි අතර 2018 අවසානය වන විට එම සේවකයන්ගේ ගණන 52 කට ආසන්න ප්‍රමාණයකට පහල ගොස් ඇත.
2006 සිට මේ දක්වා රිවිර පුවත්පතේ නිල නාමය සහ හිමිකාරීත්වය වෙනස් වී ඇත්තේ කිහිප වතාවක් පමණි. එහෙත් රිවිර පාලනය කළ ආයෝජකයන් කලින් කළට වෙනස් වී ඇත. ඒ සියළුදෙනාම පාහේ රාජපක්ෂ හිතවාදීන් විය. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමයේදී රිවිර හිමිකාරීත්වය දැරුවේ අසංග විජයරත්න විසින්ය. අසංග විජයරත්න යනු රාජපක්ෂ පුතුන්ගේ සමීපතමයෙකි.
රාජපක්ෂ සමයේදී රිවිරේ පළවූ සියලු‍ දේ ඍජුව රාජපක්ෂලාගේ නිරීක්ෂණයට ලක් වූ බව කියැවෙයි. පුවත්පතේ හැම පිටපතක්ම රාජපක්ෂ පවුලේ හෝ පවුලේ සමීපතමයෙකුගේ නිරීක්ෂණයට ලක් වී අනුමැතිය ලැබීමෙන් පසුව පිටවෙන බව කියන්නේ එදා රිවිරේ සේවය කළ සේවකයන් විසින්ය.
රිවිරේ සිටි මාධ්‍යවේදියෙකු විසින්ම කී කතාවක් මෙසේය. ‘ආයතනයේ ඉහළ තනතුරු දැරු නිලධාරින් මහින්දවාදින් නොවුනත් ඔවුන් සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට බොහෝ යටහත් පහත්ව. මහින්ද මහත්තයා රට යනවා, යන්න කලින් පත්තරේ කොපියක් යවන්න ඕනෑ බව කියා පත්තරේ වැඩ දවල් 2.00 ට වගේ නතර කරලා පත්තරේ සියළු පිටු සැකසුම් මහින්ද රාජපක්ෂ මහතාට යැවු අවස්ථා බොහෝයි. එක කාලයක පත්තරේ පළවෙනි පිටුව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙන් කර තිබුණා. දෙවනි පිටුව ජෝතිශ්‍ය සඳහා. , තුන්වන පිටුව ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන්. ක්‍රීඩා පිටු වෙන්වී තිබුණේ නාමල් , රෝහිත , යෝෂිත යන පුතුන් ත්‍රිත්වය වෙනුවෙන්. ඔවුන් ක්‍රීඩාවේ ක්‍රියාකාරීව නියැලෙන අන්දම ඡායාරූපයට නැඟීම අපගේ වගකීම වී තිබුණා. ඒ අතීතය 2015 අවසන් වුණා. ඒත් දේශපාලන අර්බුදයෙන් පස්සේ ඒ තත්වය නැවත ප්‍රතිස්ථාපනය වෙමින් තියෙනවා. මේ වෙද්දී ලොකු භීෂණයක් පත්තරයෙ වැඩ කරන අයට පවා එල්ලවෙලා තීයෙනවා. ඒත් මේ භීෂණය එල්ල වෙලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ තමන්ගේ නායකයායැයි කියමින් මහින්දලාව ඉහළින්ම ඔසවා තබපු අයට. මහින්දව මේ තරම් ඉහළින් වර්ණනා කළ මිනිස්සුන්ට මේ වෙද්දී තියෙන තර්ජනය මෙහෙම නම්, සාමාන්‍ය සමාජයට මොනවගේ තර්ජනයක් ඉදිරියේ එල්ලවේවිදැයි අපට හිතාගන්න බැහැ.’

රිවිර කඩාවැටීම
රාජපක්ෂලාට ආණ්ඩුව තිබුණු සමයේදී රිවිර පුවත්පතට ලොකු ආර්ථික අර්බුදයක් තිබුණේ නැත. එසමයෙහි පුවත්පත පවත්වාගෙන යෑමට කෙසේ හෝ මුදල් ලැබී තිබුණි. එහෙත් 2015 පහු වෙද්දී රිවිර පවත්වාගෙන යෑමට මුදල් උපයාගැනීම අසීරු කටයුත්තක් බවට පත්ව තිබුණි. රාජපක්ෂලාට ආණ්ඩුවක් නොවීය.
ඒ නිසා වරින් වර රිවිරට මුදල් යෙදවූ පරිපාලකයන් වෙනස් වී තිබුණි. රිවිරේ සිටි ප්‍රධාන මාධ්‍යවේදීන් රැසක් වෙනත් පුවත්පත්වලට යන්නට පටන්ගෙන තිබුණි. ඒ කඩාවැටීම නිසා පුවත්පත් බෙදාහැරීමේ සේවාවන්ට මාස ගණනාවක් මුදල් නොගෙවා මඟහැර තිබුණි. පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණාලයන්ට මුදල් ගෙවීම අසීරු වී තිබුණි. මේ තත්වය 2017 වෙද්දී වර්ධනය වී තිබුණි. පුවත්පත් බෙදාහැරීමේ සේවා සපයන්නන් විසින් පුවත්පත බෙදාහැරීම ප්‍රතික්ෂේප කිරීමටද පටන්ගෙන තිබුණි.

රිවිර නිව් එඩිෂන්
රිවිර මීඩියා කෝපරේෂන් ආයතනය එක්වරම රිවිර නිව් එඩිෂන් බවට පත්ව, බොරැල්ලේ පිහිටි කාර්යාලයෙන් රාජගිරියට කාර්යාලයකට පැමිණ තිබුණේ එක රැයින්ය. ඒ 2018 ජනවාරි මාසයේ අග කාලයේදීය. රිවිර ආයතනයේ සේවය කළ සේවකයන්ට ඒ වෙද්දීත් මාස කිහිපයක වැටුප් ගෙවා තිබුණේ නැත. මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ව ඉවත් කිරීම ගැන කිසිදු ලියැවිල්ලක් හෝ ලබා දී නොතිබුණි. එය එම සේවකයන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් විය.
එක් මාධ්‍යවේදීන් පිරිසකගේ අයිතිවාසිකම් නැති කරමින් රිවිර නිව් එඩිෂන් පටන්ගෙන තිබුණද නව පුවත්පතට එක්වීම සඳහා මාධ්‍යවේදීන් ඕනෑතරම් විය. මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් තඹේකට නොතකන මාධ්‍යවේදීන් ඕනෑ තරම්ය. රිවිර නිව් එඩිෂන් සමඟ එක්වී තිබුණු පිරිස අතරින් බහුතරය අර්ජුන් ඇලෝසියස්ලාගේ ජනයුගය පුවත්පතේ සිටි මාධ්‍යවේදීන්ය. ජනයුගය පුවත්පත එකවර වසා දැමීමෙන් එම මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබුණි. ඔවුන් කළ යුතුව තිබුණේ තමන් ලක්වූ අසාධාරණයටම ලක්වූ රිවිර කෝපරේෂන්හි මාධ්‍යවේදීන් සමග එක්ව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමය. එහෙත් ඔවුන් කළේ තවත් පිරිසක් අසාධාරණයට ලක් කරමින් රිවිර නව සංස්කරණයෙහි කර්තෘ මණ්ඩලය බවට පත්වීමයි.
කෙසේ හෝ නව කර්තෘ මණ්ඩලයක් සමඟ ආරම්භ කළ රිවිර නව සංස්කරණය ජනතාව අතට පත්කිරීමට අදාල සේවා සපයන ආයතන කිහිපයක්ම රිවිර බෙදාහැරීමේ කටයුත්ත ප්‍රතික්ෂේප කර තිබුණි. එයට හේතුව වී තිබුණේ රිවිර විසින් මීට පෙර ගෙවිය යුතු මුදල් ගෙවා නොතිබීමය. අවසානයේදී එවැනි සේවා සපයන්නන් කිහිපදෙනෙක්වම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්ම මුණගැසී තිබුණි. නැවත මුදල් ගෙවීමේ ගැටලු‍ සිදුනොවෙන බවට සහතික වී තිබුණි. මීට පෙර හිඟ මුදල්ද ගෙවන බව කියා තිබුණි. මුද්‍රණාල සඳහාද ඒ පොරොන්දුවම ලබා දී තිබුණි. ඒ 2018 අප්‍රේල් මාසයේය.
එතෙක් රිවිරට මුදල් යෙදවූ කණ්ඩායම වෙනුවට කොළඹ නාගරික මන්ත්‍රීවරියක වන ප්‍රියංකා ජයසේකර නමැත්තිය විසින් රිවිරට මුදල් යොදවන බව නව පුවත්පතේ මාධ්‍යවේදීන්ට හා පුවත්පත මුද්‍රණය, බෙදාහැරීම හා අලෙවි කිරීම යන කටුයුතුවලට අදාළ කණ්ඩායම් වලට දන්වා තිබුණි.ඉන්පසුව රිවිර කාර්යාලය රාජගිරියෙන් බත්තරමුල්ලේ සුභූතිපුර කාර්යාලයකට ගෙන ගියේය.
කෙසේ වෙතත් 2018 අගෝස්තු පහු වෙද්දී රිවිරට මුදල් යෙදවූ අය විසින් මුදල් යෙදවීම අඩපණ කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මාධ්‍යවේදීන්ට මුදල් නොගෙවීමේ සිට සේවා සපයන ආයතනවලට මුදල් නොගෙවීම දක්වා අර්බුදය ගමන් කර තිබුණි. අවසාන කාලය වෙද්දී පුවත්පත් බෙදා හරින්නන් රිවිර බෙදාහැරීම ප්‍රතික්ෂේප කර තිබුණි. අන්තිමේදී රිවිර පුවත්පත පිටවීම හෝ නොවීම ඒ ඒ සතියේ මුදල් ලැබෙන ආකාරය අනුව තීරණය වන තත්ත්වයට පත්විය. රිවිර බෙදා හැරුණේ මුදල් යෙදවූ කණ්ඩායමේ වාහන කිහිපයකින්, කොළඹ අවට පමණි. මාධ්‍යවේදීන් මුදල් නොමැතිව අපහසුතාවයට පත්ව තිබුණි. මේ කඩාවැටීම තවත් උඝ්‍ර වෙමින්, පුවත්පතේ මුද්‍රනය විය යුතු පිටපත් ගණන මුද්‍රණාලයට තීරණය කිරීමේ හැකියාව ලැබෙන තත්වයට පත්ව තිබුණි. ලැබෙන මුදල් ප්‍රමාණයත්, ඉතිරි වී තිබෙන කාලයත් අනුව පුවත්පතේ පිටපත් ගණන තීරණය වන තත්වයට පසුබා තිබුණි.
කාර්යාල පවත්වාගෙන යෑමද අසීරු වී තිබුණි. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ රිවිර කාර්යාලය අභයාරාමය දක්වා ගෙනගොස් තිබුණි. අභයාරාමය යනු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිනමගේ විහාරස්ථානය වෙයි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජපක්ෂලාගේ සමීපතමයෙකි. කෙසේ වුවත් රිවිරේ වෙබ් අඩවිය පමණක් අඛණ්ඩව ක්‍රියාත්මක විය. පුවත්පත මුද්‍රණය වීම අවිනිශ්චිත විය. අවසානයේදී මුද්‍රණය නවතා තිබුණු අතර ඔක්තෝබර් 26 වැනිදා රාජපක්ෂලා ආණ්ඩුව ගත් මොහොතේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දැවැන්ත ඡායාරූපයක් සමඟ ජයග්‍රාහී ස්වරූපයේ මුල් පිටුවක් රැගත් පුවත්පතක් මුද්‍රණය කර තිබුණි. ඉන්පසුව සති කිහිපයක් අභයාරාමයේ සිට පුවත්පත මුද්‍රණය කර තිබුණි. එහෙත් මාධ්‍යවේදීන්ට වැටුප් ගෙවා තිබුණේ නැත.
වැටුප් නොගෙවීම නිසා මාධ්‍යවේදීන් විසින් පුවත්පතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඇතැම් අය නිවෙස්වල නැවතී සිට ඇති අතර පුවත්පත මුද්‍රණය කිරීම ඇණහිට ඇත. වැටුප් ගෙවන තෙක් තමන් සතු කැමරා ආදී උපකරණ නැවත ලබා නොදෙන බව මාධ්‍යවේදීන් කියා ඇත.
කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා රිවිර මාධ්‍යවේදීන්ගේ නිවෙස්වලට ඩිෆෙන්ඩර් පැමිණෙන්නට පටන්ගෙන තිබේ. නිවෙස්වලට පැමිණ මාධ්‍යවේදීන්ව සොයන්නටත්, උපකරණ බාරදෙන ලෙස තර්ජනය කරන්නටත් පටන්ගෙන තිබේ.
ඔක්තෝබර් 10 වන සඳුදා රිවිර ඡායාරූප කර්තෘ චමිල කරුණාරත්න මහතා පදිංචිව සිටින ගොතටුව නව නගරයේ නිවසට ඩිෆෙන්ඩර් මැරයන් කණ්ඩායමක් පැමිණ ඇත. ඔහුට තර්ජනය කොට ඔහු සතු කැමරා උපකරණ කිහිපයක් පැහැරගැනීමට තැත් කර ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් චමිල කරුණාරත්න විසින් නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද කර තිබේ.
චමිල කරුණාරත්නට සහ තවත් ඡායාරූප මාධ්‍යවේදියෙකු තර්ජන හේතුවෙන් තමන් සතු කැමරා උපකරණ නාරාහේන්පිට පොලීසියට බාරදී ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානය විසින් එම උපකරණ රිවිර ආයතනයට බාර දී ඇත.
රිවිර කෝපරේෂන් ආයතනයේ මාධ්‍යවේදින්ව දොට්ට දමා පටන්ගත් රිවිර නිව් එඩිෂන් ආයතනයේද මාධ්‍යවේදීන්ට දැන් අත් වී ඇත්තේ පෙර ඉරණමමය. නැවත රිවිර ආයතනයේම හෝ තවත් ආයතනයක මාධ්‍යවේදීන්ට මෙවැනි ඉරණමක් අත් නොවෙන්නට නම් මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණ සටන් කළ යුතුය. තමන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහි විය යුතුය.

කළු සල්ලි පත්තර
රිවිර පුවත්පත පැහැදිළිවම දේශපාලනඥයන් හා ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි මත පදනම් වූ පුවත්පතකි. එය පැවතුණේ කළු සල්ලි පවතින තාක් කල්ය. රිවිර පුවත්පතට සාධාරණ වාර්තාකරණයක් සිදුකොට පුවත්පතක් ලෙස ආදායමක් ඉපැයීමේ අවශ්‍යතාවයක් නොවීය.‘අලු‍ත්ම බිල්ලකට කොටි යළි නැඟිටියි’ වැනි භයානක ජාතිවාදී ප්‍රධාන ප්‍රවෘත්ති රිවිරේ පළ විය. දෙසැම්බර් 02 රිවිරේ ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබුණේ ‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර’ යනුවෙනි. ඊට පෙර පුවත්පතක ‘කථානායක බටහිර බළල් අතක්’ යැයි ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.
මේ ප්‍රවෘත්ති පැහැදිළිවම ජාතිවාදී රාජපක්ෂ ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්වස්ත්‍රව මෙන්ම මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් පෙනී සිටීම් විය. රිවිර මාධ්‍යවේදීන්ව පාවිච්චි කළේ ඒ ලැජ්ජා විරහිත කටයුත්ත වෙනුවෙන් බව කණගාටුවෙන් වුව කියන්නට සිදුවෙයි. ඒ කටයුත්ත වෙනුවෙන් පාවිච්චි කළ මාධ්‍යවේදීන්ටද වැටුප් නොගෙවා, අසාධාරණ ලෙස සලකමින්, තර්ජනය කරමින් සිටින රාජපක්ෂ සංස්කෘතිය රටින් අතුගා දැමිය යුතුය. එමෙන්ම කළු සල්ලිවලින් දුවන මාධ්‍ය සංස්කෘතියද අතුගා දැමිය යුතුමය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි